V2025

පුවත්

මෙරට  රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැඟීමේ වැඩක් එයි : සහය ඉන්දියාවෙනු !

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේදී දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයන් එකඟ වූ අතර විශේෂයෙන් දෙරටේ ජනතාව අතර (people-to-people) සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.

මේ වන විට ඉන්දියාව සිවිල් සේවාවන්හි ධාරිතාව ගොඩනැංවීම උදෙසා දැවැන්ත වැඩසටහනක් දියත් කර තිබෙන අතර රාජ්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීමේ ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් නව්‍යකරණයෙන් සහ කාර්යක්ෂමව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ ආරාධනය පරිදි ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (National Center for Good Governance, India) අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

එම සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ගොස් අදාළ ඉන්දීය ආයතන සමඟ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු ධාරිතා සංවර්ධන සහයෝගීතා වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීමට තීරණය විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්, අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ යන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 14 දෙනකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමකට ඉන්දියාවේ යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයෙහි පෙබරවාරි 12 -17 දක්වා පැවැත්වෙන වැඩසටහනක් සඳහා එක්ව සිටී. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඉන්දියානු රජය විසින් සපයා දී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන 12ක් නියෝජනය වන පරිදි ප්‍රධාන වශයෙන් විද්‍යුත් ප්‍රසම්පාදනය (e-procurement) ඇතුළු රජයේ ප්‍රමුඛ සේවාවන් සඳහා ඩිජිටල්කරණ නිරාවරණය (Digitalization Exposure in Core-functions), අලුතින් බඳවාගන්නා රාජ්‍ය සේවකයන්ගේ ධාරිතා සංවර්ධනය, දුෂණ විරෝධී පියවර (Anti-Corruption Measures), ආයෝජන පහසුකම් සැලසීම සහ ආහාර ද්‍රව්‍යවල මධ්‍යම මිලකරණ යාන්ත්‍රණය (Central Pricing Mechanism of Foods) යන ක්ෂේත්‍රවල අදාළ ආයතනවල ධාරිතා සංවර්ධනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ මෙහිඳී අවධානය යොමු කෙරේ.

රාජ්‍ය සේවයේ ගුණාත්මක පරිවර්තනයක් සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද මූලාරම්භයන් හරහා ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය හා අදාළ ඉන්දීය රාජ්‍ය ආයතන විසින් ආර්ථිකය වර්ධනය අරභයා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්තිමය, ආයතනික හා මෙහෙයුම් වැඩි දියුණු කිරීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී නියෝජිත පිරිස කටයුතු කරනු ඇත.

එමෙන්ම තිරසර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට පියවර ගන්නා අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන රාජ්‍ය ආයතනවල ධාරිතාව ඉහළ නංවා ගැනීමත්, අදාළ ඉන්දීය ආයතන සමඟ ඇති කර ගත හැකි ආයතනික සහයෝගීතාවන් හඳුනා ගැනීමත් නියෝජිත කණ්ඩායමේ අපේක්ෂාව වේ.

ශ්‍රී ලංකා දූත පිරිස මෙම සාකච්ඡා සඳහා එක්වන අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, පිරිස් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහජන දුක්ගැනවිලි අමාත්‍ය, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම් ඇතුළු නිලධාරීන් සමඟද අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය විවෘත කෙරේ !

ජනාධිපති අරමුදලේ නව වෙබ් අඩවිය (https://www.presidentsfund.gov.lk) ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (13) නිල වශයෙන් විවෘත කරන ලදී.

මෙමඟින් ජනතාවට ජනාධිපති අරමුදල වෙතින් සපයනු ලබන සේවාවන්ට අදාළ යාවත්කාලීන වූ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර වෛද්‍යාධාර ලබා ගැනීමට අදාළ අයදුම්පත බාගත කරගැනීමේ හැකියාව ද පවතී.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර, ජනාධිපති අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගයාන් මොරලියගේ සහ ජනාධිපති අරමුදලේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඩී.එම්.බොතේජු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2022 ආයෙත් එපා : ආර්ථික පරිවර්තනය වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමු !

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
 
විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අපේක්ෂා කරන බවත්, නව වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ  අද (14) පෙරවරුවේ පැවති පිරිවෙන් හා පාසල් සිසු සිසුවියන්ට  නොමිලේ පාසල් පෙළ පොත් හා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.
 
මෙම පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමේ වැඩසටහනට සමගාමීව  දිවයිනේ පාසල් 10,126ක සිසු දරුවන්ට හා පිරිවෙන් 822ක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීම සිදු කෙරේ.
 
සංකේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ සිසු දරුවන් කිහිප දෙනෙකුට  නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් බෙදාදීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
 
ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඈන් ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වූවාය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .
 
මගේ නිවස අවට පාසල් පහක් තිබෙනවා. ඒ මම අධ්‍යාපනය ලැබූ පාසල් දෙකක් වන රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය වගේම කාන්තා විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ මේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ඒ අවට පිහිටා තිබෙනවා. එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මට හැකි වී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේත් මෙම පාසලේ සංවර්ධන කටයුතු පිළිබඳ අප අවධානය යොමු කළා. 
 
2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට  කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. 
 
එම ආර්ථික වැඩපිළිවෙළ නිසා අද වන විට රට යම්කිසි ආර්ථික ස්ථාවරභාවයකට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් නියමිත කාලයට ලබා දීමට රජයට හැකි වුණා. ඒ සඳහා රුපියල් බිලියන 14කට වඩා වැඩි මුදලක් වැය කළා.
 
 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කර නව අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතුයි. ලෝකයට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් අධ්‍යාපන ක්‍රමවේදය ලොවට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කළ යුතුයි. එමඟින් ලොවට ගැළපෙන වෘත්තිකයන් බිහි කළ හැකියි. ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කිරීමට එමඟින් හැකියාව තිබෙනවා. විභාග බර අඩුකර ඉංග්‍රීසි සහ තාක්ෂණ විෂයන් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරමින් රැකියාවට සුදුසු දරුවෙක් බිහි කිරීමට අප  බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල හා තාක්ෂණ විශ්වවිද්‍යාල ඇති කිරීමටද අපේක්ෂා කරනවා.
 
අප කිසිවෙක් 2022 මේ රට පැවති තත්ත්වයට නැවත යාමට කැමති නැහැ. ගෑස් පෝලිම් නැති, ඉන්ධන පෝලිම් නැති,  ආහාර පෝලිම් නැති සමාජයක් තමයි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ.  එවැනි අඳුරු යුගයකට නැවත රට පත්නොවී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. 
 
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය  සුසිල් ප්‍රේමජයන්ත :
 
මෙම ජාතික වැඩසටහනට සමගාමීව පළාත් 09 තුළ  සියලු පාසල්වලට නිල ඇඳුම් රෙදි සහ පාසල්පෙළ පොත්  ලබාදීම අද දින සිදු කරනවා. 2022 වසරේදී රට තුළ පැවති ආර්ථික අර්බුදය නිසා  පාසල් නිල ඇඳුම් රෙදි හා පාසල් පෙළ පොත් ලබාදීම නියමිත දිනට සිදු කිරීමට නොහැකි වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ වැඩ භාර ගත් වහාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අංශ හතරක්, එකම අමාත්‍යාංශයක් යටතට ගෙන මානව සම්පත කළමනාකරණය කරමින් දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට අදාළ පහසුකම් සම්පාදනය කළා. 
 
අද ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි 80%ක් පරිත්‍යාග කළේ චීන රජයයි. ඉතිරි 20%ක ප්‍රමාණය ශ්‍රී ලංකා රජය විසින් දරනු ලැබුවා.
 
ඉන්දියානු ණය ආධාර ක්‍රමය අනුව ලැබුණු  කඩදාසිවලින් පෙළපොත් මුද්‍රණය කිරීම එදා සිදුකළා. අද වන විට නියමිත දිනට පෙළ පොත් ලබාදීමට රජයට හැකි වී තිබෙනවා. රජයේ මුද්‍රණාලය මුද්‍රිණ කටයුතුවලින් පසුගිය වසරේදී ලාභයක් ඉපයීමටද සමත් වී තිබෙනවා. සියලුම පාසල් සිසු දරුවන් වෙනුවෙන් පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් ලබාදීම සඳහා රජය රුපියල් බිලියන 19ක් වැය කර තිබෙනවා.
 
ඒ වගේම කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ප්‍රමාද වී තිබෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග 2025 වසර වන විට නියමිත දින වකවානුවට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විශාල දායකත්වයක් සපයනවා. ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් එතුමා කැපවී සිටිනවා. මේ සියලු වැඩපිළිවෙළ සමඟ ලොව දිනන දරු පරපුරක් නිර්මාණය කිරීම අපේ බලාපොරොත්තුවයි.
 
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන , බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉසෙඩ්. තාජුඩීන්  යන මහත්වරුන් ද,  ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරුන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
IMG 20240214 WA0009

වර්ජනය අස්සේ සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය කරන ගැසට් නිවේදනයක් එයි !

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඊට අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

කෙසේ වුවත් මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ වෛද්‍යවරුන් වෙත ලබාදෙන DAT දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් වන අතර , සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති 72ක් මේ සඳහා එක්ව සිටියි.

මේ අතර රජය පවසන්නේ වෛද්‍යවරුන් සඳහා ලබාදෙන අදාළ දීමනාව රජයේ මාණ්ඩලික නිලධාරීන් වෙත පමණක් හිමිවන්නක් බැවින් රෝගී ජීවිත ප්‍රාණ ඇපයට ගෙන දියත්කර ඇති මෙම වර්ජනය අසාධාරණ මෙන්ම අමානුෂික බවය.

එසේම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 10000 ක ජීවන වියදම මෙම වෘත්තීය සමිති වලට හිමිවෙන බවත් රජයේ පාර්ශ්වය සිහිපත් කරයි.

ජ්ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අණ පරිදි නිකුත්කළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

01

ජනාධිපතිවරණය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් !

ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වෙන බව අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (12) විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති බවත්, වත්මන් කාල රාමුවට අනුව මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදීමට නියමිතය.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ලබන බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපවත්වා සිටින බව ඇතුළු ගෙනගිය සාවද්‍ය ප්‍රකාශ හේතුවෙන් මෙවැනි නිශ්චිත නිවේදනයක් නිකුත්කරන්නට ඇති බවය.

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ළඟදීම !

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙසේ ද පැවසීය.

වර්තමානයේ අපට තිබුණු ප්‍රධානම අභියෝගයක් වූයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීම සම්බන්ධ ගැටලුවයි. එහිදී අප අමාත්‍යාංශය සතුව පවතින ආයතන 16 පිළිබඳවම විශේෂ අවධානයක් යොමු කළා. ඉන් බහුතරයක්ම මහා භාණ්ඩාගරය මත යැපෙන තත්ත්වයේ පැවතුණා. ඒ නිසා මෙම ආයතන ස්වාධීනව ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් අප කටයුතු කළා.

විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අප කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කොට වැදගත් තීන්දු තීරණ කිහිපයකට එළඹුණා. එමඟින් ධනාත්මක ප්‍රවේශයන් ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම ස්වාධීන රූපවාහිනිය (ITN) සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ද විශාල වෙනස්කම් රාශියකට භාජනය කළා. එම ආයතන ද ලබන වසර වන විට ලාභ ලබන ආයතනයන් බවට පත්කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තුව 2022 වසර වන විට ආදායම රුපියල් මිලියන 9,268ක් පමණයි. නමුත් 2023 වසර වන එමඟින් රුපියල් මිලියන 13,616ක් දක්වා අදායම් ලැබීමට අපට හැකියාව ලැබුණා. මහජනතාව මත බර පැටවීමකින් තොරව සේවාවන් වැඩිකොට කළමානාකාරිත්ව පාර්ශ්වයේ ඇති අඩුපාඩු අවම කොට විධිමත් ලෙස සකස් කිරීමට අපට හැකියාව ලැබුණා. 2021 වර්ෂයේ අලාභය මිලියන 7,173ක් වූ තැපැල් දෙපාර්තමේන්තුවේ 2022 වසරේ අලාභය මිලියන 6,832ක් ලෙස පැවතුණා. නමුත් 2023 වසරේ අලාභය මිලියන 3,222ක් දක්වා අඩු කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 31 වන විට අලාභයෙන් තොර මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති ලාභ ලබන ආයතන බවට පත් කරගැනීමට හැකි බව අපගේ අදහසයි.
එමෙන්ම පෞද්ගලික සහ රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක විශේෂ ව්‍යාපෘති වැඩසටහනක් ආරම්භ කිරීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එමඟින් ලෝකයේ ඕනෑම තැනක සිට ඉතා ඉක්මනින් භාණ්ඩ හුවමාරු කිරීමේ හැකියාව සම්පූර්ණ කර ගැනීමට අපට පුළුවන් කම ලැබෙනවා. එමෙන්ම මෙම වසර තුළ බස්නාහිර පළාත තුළ ත්‍රීවීලර් 200ක් සහ මෝටර් සයිකල් 50ක් යොදා ගනිමින් භාණ්ඩ හුවමාරු කිරීම සඳහා කුරියර් සේවාවක් ආරම්භ කිරීමට ද අප කටයුතු කරනවා.

ඒ වගේම ලංකා බැංකු ශාඛාවක් මඟින් සිදු කර ගන්නා වූ මූලික කටයුතු තැපැල් කාර්යාල 100ක් ආවරණය වන පරිදි සිදු කිරීමටත් අප බලාපොරොත්තු වනවා.
ඒ වගේම විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත බහුතර එකඟතා මත විශාල සංශෝධනයකට භාජන කර තිබෙනවා. අවසන් පනත් කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. ඉදිරියේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වරලත් ආයතනය බිහි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙනවා. එහි මූලික කටයුතු අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. එමඟින් මාධ්‍යවේදීන්ට නිසි පුහුණුවක් සමඟින් ජාත්‍යන්තරය පිළිගත් සහතික පත්‍රයක් ලබාදීමට ද අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වනවා. එය මේ වන විට කැබිනට් අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා. එමඟින් මාධ්‍යකරණයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අධ්‍යාපන ධවල පත්‍රිකාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළා නම් වෙන දේ රජිත් කියයි !

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන් පැවසීය.

රජිත් කීර්ති ‍තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍යට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට පසුගිය (09) දා සහභාගි වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් ඔවුන් ඉල්ලා සිටි සංගීත භාණ්ඩ එම පාසල වෙත ප්‍රදානය කිරීම එම විදුහලේදී සිදු කෙරිණි.

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගණයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීය.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ සිසුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදී එම සිසුන් ඉල්ලා සිටි සියලුම සංගීත භාණ්ඩ මෙදින ප්‍රදානය කෙරිණි.

සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රජිත් කීර්ති ‍තෙන්නකෝන් මෙසේද පැවසීය.

මෙරට අධ්‍යාපනය වෙනස් මාර්ගයකට යොමු කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව කියන ප්‍රතිපත්තිය ගෙන එනු ලැබුවේ අප පාසල් යන කාලයේ දීයි. මේ කාලයේදී වගේම ඒ අවස්ථාවේදීත් ඊට ‍විශාල විරෝධයක් රට තුළින් පැන නැඟුණා. අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සඳහන් වූ දේ සිදු කළ නොහැකි වුණා. එසේත් නොමැති නම් එහි තිබූ දේ අඩක් පමණයි කළ හැකි වුණේ. එදා අධ්‍යාපන අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට මීට වඩා විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව එදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධව ගිය පෙළපාළිවලට නායකත්වය දීමට සිදු වූ මට අද අවබෝධ වෙනවා.

කෙසේ වුවත් අහම්බෙන් මෙම පාසලට පැමිණි ගරු ජනාධිපතිතුමා එදා කොළඹ සිට ගමන් කිරීමට නියමිතව තිබුණේ මගේ ගම වැලිමඩටයි. කාලගුණයෙන් බාධාවක් නොවී එතුමා එදා වැලිමඩට ගියා නම් අද මේ සංගීත භාණ්ඩ මේ ආකාරයට හිමි වන්නේ නැහැ. ජනාධිපතිතුමා අහම්බෙන් පැමිණි මේ පාසල ඒ වන විටත් නාට්‍ය හා සංගීත අංශයෙන් විශිෂ්ටතා පෙන්වා තිබුණා. දක්ෂතාව, කැපවීම හා හැකියාව තිබෙන සිසුන් වගේම විදුහල්පතිවරයක් හා ගුරු මණ්ඩලයක් මෙහි සිටිනවා. මේ පරිසරය සැකසී නොතිබෙන්න මේ සංගීත භාණ්ඩ හිමි වන්නේ නැති බව කිව යුතුයි.

මෙයින් අප උගත යුතු පාඩම වන්නේ ජීවිතේ සිදු වන අහම්බයන් යථාර්ථයක් බවට පත්වන්නේත්, ඉන් යහපතක් සිදු වන්නේත් ඔබ සූදානම්ව සිටියහොත් පමණක් බව යි. යම් අහම්බයකට ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි. බොහෝ සුවිශේෂ පුද්ගලයන්ගේ ජීවිත මෙවන් අහම්බයන්ගෙන් පිරී තිබෙනවා. එම සුවිශේෂත්වය හා අවස්ථාව ලබා ගැනීමට නම්, ඔබ දැනුමින්, අධ්‍යාපනයෙන්, අත්දැකීම්වලින් වගේම විනය වැනි කරුණුවලින් සන්නද්ධ වී සිටිය යුතුයි.

ඔබේ ජීවිතය ගොඩනඟා ගැනීමට හැකි වන්නේ ඔබටමයි. රටේ ජනාධිපතිවරයාට, ආණ්ඩුකාරවරයාට, විදුහල්පතිවරයාට හෝ වෙන අයකුට ඔබව ගොඩනැඟිය නොහැකියි. තමන් කරන්න කැමති දේ වෙනුවෙන් අධ්‍යාපනය, දැනුම ලබා ගැනීම, අදාළ විභාග සමත් කර ගැනීම ඒ සඳහා අත්‍යවශ්‍යයි. එසේ නොවන්නට ඔබට ඉදිරි ජීවිතය දුෂ්කර විය හැකියි.

ඒ වගේම බිංදුවෙන් ආරම්භ කරන්න බිය වෙන්න එපා. ඔබට මතක ඇති මීට වසර එකහමාරකට පෙර මේ රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය රටක් වී තිබුණා. ඒ රට නැවත සක්‍රිය කළේ තණමල්විල හාදයෙක්. ඒ තමයි නන්දලාල් වීරසිංහ. ගරු ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්ම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය ගෙන ආවේ ඔහුයි. බිංදුවෙන් පටන් ගන්න බය වෙන්න එපා කියන්න මේ උදාහරණය හොඳටම ප්‍රමාණවත්. වාසනාව හිමි වන්නේ බය නැති පුද්ගලයන්ටයි. ඔවුන්ට අවස්ථාවන් හිමි වෙනවා වගේම ඔවුන් ජයග්‍රාහකයන්ද වනවා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වුණේත් එයයි. මැතිවරණ‍යෙන් පරාජය වී, පාර්ලිමේන්තුවේ තනි ආසනයක් හිමි කර ගෙන සිටින අවස්ථාවක , එතුමා ළඟට ඇවිල්ලා මේ රට බාර ගෙන ගොඩ ගන්න කියා ඉල්ලන්න මිනිස්සුන්ට සිදු වුණා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශික්ෂණයක්, දැනුමක්, හැකියාවක්, මාවතක් නොතිබුණා නම් අද අපට මෙහෙම කතා කරන්න ලැබෙන්නේ නැහැ. එය කළ හැකි එකම පුද්ගලයා ඔහු පමණක් නොවිය හැකි වුවත් කළ හැකියි කිවූ එකම පුද්ගලයා ඔහු පමණයි. ඒ නිසයි අද ඔබට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමට මේ අවස්ථාව හිමි වුණේ.

වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. ජේ. සුසිල් විජේතිලක, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කේ. කේ රවින්ද්‍රා මාලනී, වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්යය විෂය සම්බන්ධීකරණ නිලධාරි වසන්තා රෝහිණි දිසානායක, මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. යූ. බී හේරත් යන මහත්ම මහත්මීන් , ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

IMG 20240213 WA0007

පාරිභෝගික තැම්පත් සඳහා පොලිය ගෙවීමට ලංවීම සූදානම් !

අලුතෙන් සිදුකරන විදුලි සැපයීමක් අවස්ථාවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා සියයට 11.67ක වාර්ෂික පොලියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නේය.

එම පොලිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය.

මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වන දා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ  මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ලංකා විදුලිබල මණ්ඩල පනතේ 28(3) වගන්තිය යටතේ නව විදුලි සම්බන්ධතා ලබාදීම සඳහා පාරිභෝගිකයින්ගෙන් අය කර ගන්නා තැන්පතු මුදල වෙනුවෙන් පොලියක් ගෙවීමට එම මණ්ඩලය කටයුතු කළ යුතු බවය.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ දක්වා එවැනි පොලී ගෙවීමක් සිදුකර නොමැති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

සජබ විශාල පිරිසක් ආණ්ඩුවට එනවා : පොහොට්ටු මූලස්ථානයේදී ප්‍රකාශයක් !

සජිත් ප්‍රේමදාස ගේ සමඟි ජනබලවේගයෙන් ආණ්ඩුවට සහයෝග දීමට විශාල පිරිසක් අනිවාර්යෙන්ම ආණ්ඩු පක්‍ෂයට එකතු වන බවත් විපක්‍ෂ නායකවරයා රටට සහ දේශපාලනයට එපා වූ පුද්ගලයන් පිම්බීමට උත්සහ කළ ද පිරිසිඳු දේශපාලඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එකතු වෙමින් සිටින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අද (13) පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ය.

සමඟි ජනබලවේගයෙන් හොඳ දේශපාලඥයන් යෑම සජිත් ප්‍රේමදාස ට නතර කළ නොහැකි බවත් රට සහ රටේ ජනතාව පිළිබඳව අවදානය යොමු කරමින් ආදර්ශමත්ව කථා කරන පාඨලි චම්පික රණවක මහතා වැනි වියත් දේශපාලඥයන්ට කථා කිරීමේ අයිතිය නැති කිරීමට ප්‍රේමදාස කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

මන්ත්‍රීවරු විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම නිසා පාර්ලිමේන්තුව තුළ දැවැන්ත පරිවර්ථනයක් වන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සජිත් ප්‍රේමදාස මහතාගේ පටු දේශපාලනයට මෙවැනි සිද්ධීන්වලින් විශාල ප්‍රහාරයක් එල්ල වන බවද පැවසීය .

සජිත් ප්‍රේමදාස සහ කිරිඇල්ල වැනි මහත්වරු නැගිටිලා යන විට සෑබෑ පාර්ලිමේන්තු වගකීම ඉටුකරන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි වී ඔවුන්ගේ යුතුකම ඉටුකරන බවත් විධායක ජනාධිපති ක්‍රමය රටට ගැලපෙන ආකාරයට අවසන් කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ජනතාව ඉහළට ඔසන්න විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරන්නේ නම් එහි ගැටලුවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වැඩි දුරටත් පැවසීය.

ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ අනුව ඊට අදාළ නත් කෙටුම්පතක් සකස් කිරීමට පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව, මේ වන විට එම පනතේ විධිවිධාන ක්‍රියාත්මකව පවතියි.

එසේ වුව ද එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනා එම කෙටුම්පතට හඳුන්වා දීමට හැකි වී නොමැත.

ඒ අනුව, අදාළ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබූ ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමග තවදුරටත් සාකච්ඡා කර හඳුනා ගනු ලැබ ඇති ‌සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කෙරෙනු ඇත.

ජංගම දුරකථන භාවිතා කරන්නන් සිම්පත ලියාපදිංචි කිරීම අනිවාර්යයි

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරයි.

සියලුම පුද්ගලයන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බවත් තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කර ඇද්දැයි #132# යන සළකුණ යොදා පරීක්‍ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ පැවසුවාය.

අද (12) මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ  ඒ බව සඳහන් කළාය.

තවද, ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන කරගත හැකි බව ඇය පෙන්වා දුනි.

ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය.

ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් බව ඇය සඳහන් කළාය.

ලංකාවේ තෙල් බිස්නස් එකට තවත් සමාගමකට ඉඩ : ගිවිසුමත් අත්සන් කරලා !

ෂෙල්-ආර් ඒ,එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබේ.

එම ගිවිසුමට එළැඹීම අද (12) කොළොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත.

පසුගිය වසරේ ජුලි මස 08 වනදා මීට අදාළව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ උපදෙස් මත මෙම ගිවිසුම්ගතවීම සිදුකර ඇත.

මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් ඒ,එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත.

ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම් !

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක් විය.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරිණි. මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී එළිදක්වන ලද “දැක්ම ප්‍රකාශය” අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය (UPI) හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් හඳුන්වාදීමත් සමඟ LankaQR හරහා UPI ගනුදෙනු හඳුන්වාදීම සිදු කෙරේ. දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ.

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා සිටින වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු සංචාරකයන්ට UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකි වන අතර මෙම වැඩපිළිවෙළ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට පමණක් නොව ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන්නකි.

එසේම ශ්‍රී ලංකාවේ දේශීය බැංකු සහ මූල්‍ය ආයතන 20ක් පමණ මේ සඳහා ඔවුන්ගේ සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර වැඩි සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ වෙත මෙම සේවාව පුළුල් කිරීම සඳහා සැලසුම් කර තිබේ.

මෙම සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමඟ සම්බන්ධ වන බවත්, ඒ හරහා මෙරට ව්‍යාපාරිකයන් 400,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවත්ය.

මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට පමණක් නොව ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

තමා පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ එළිදැක්වූ “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම තමන් පසුගියදා පර්ත් නුවරදී ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් මහතා සමඟ ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා පැවැත්වූ බවත්, “දැක්ම ප්‍රකාශය” ක්‍රියාත්මක කිරීමට අදාළව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්වන බවත් පැවසූ ජනාධිපතිවරයා මොරිෂස් රාජ්‍ය සමඟ ද ඇති වූ සහයෝගීතාව මඟින් නව සම්බන්ධතා ගොඩනැඟීමට දරන ප්‍රයත්නය තවදුරටත් පුළුල් වන බව ද පැවසීය.

ශ්‍රී ලංකාව සහ මොරිෂස් රාජ්‍යය UPI පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කිරීම සහ දේශීය ආර්ථිකයන්හි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ පියවරක් බව මෙම අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේය.

අප්‍රිකාව සඳහා හඳුන්වාදුන් RuPay කාඩ්පතෙහි පවතින වැදගත්කම පෙන්වා දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවට පැමිණෙන මොරිෂස් සාංචාරකයන්ගේ පහසුව වැඩි කිරීම සහ මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කිරීමේ අවශ්‍යතාව අඩු කිරීම සඳහා එමඟින් සිදුකරනු ලබන කාර්යභාරය අවධාරණය කළේය.

ගෝලීය දකුණේ රටවල සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සිය අසල්වැසියන් මුහුණදෙන අර්බුදයන්හි දී “අසල්වැසියාට ප්‍රමුඛතාව” යන ප්‍රතිපත්තියට අනුව සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මොරිෂස් අගමැති ප්‍රවින්ද් ජග්නවුත් සිදු කළ කාර්යභාරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය ස්තූතිය පළ කළ අතර මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රටවල් තුනෙහි මහ බැංකු හා ආයතන විසින් දක්වන ලද දායකත්වය අගය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

මෝදි අගමැතිතුමනි, මෙය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල තවත් වැදගත් අවස්ථාවක් ලෙස මම සලකනවා. මීට සති කිහිපයකට පෙර ඔබ රාම් මන්දිරය විවෘත විවෘත කළා. ඒ පිළිබඳ මම ඔබට සුබ පතනවා. මෙයින් පිළිබිඹු වන්නේ අප දෙරටේ ආර්ථික හා සංස්කෘතික සබඳතාවයි.
වසර දහස් ගණනක සිටම අපගේ රටවල් දෙක අතර ගෙවීම් කටයුතු සිදු වූණා. ඒ කාලයේ භාවිතා කරන ලද කාසි තවමත් අපගේ කෞතුකාගාරවල පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වසර දහස් ගණනක් පැරණි දකුණු ඉන්දියානු කාසි හමුවී තිබෙනවා.

ඉතින්, අප අද සිදු කරන්නේ එම සබඳතාව තාක්ෂණිකව වැඩිදියුණු කිරීම පමණයි. අපට තවදුරටත් කාසි අවශ්‍ය නැහැ. අප වෙනුවෙන් ලංකා QR සහ NIPL එකතු වී තිබෙනවා.
ඒ වගේම, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් සංචාරකයන් පැමි‍ණෙන බැවින් අපේ රටේ සෑම ප්‍රදේශයකම මෙම ක්‍රමය භාවිතා විය යුතුයි.

ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සහ ශ්‍රී ලංකාව සහ මුම්බායි අතර සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඉතා විශාල වන අතර විශේෂයෙන්ම ව්‍යාපාරිකයන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

මම සිතන ආකාරයට ව්‍යාපාරිකයන් 400,000ක් පමණ මේ සඳහා සම්බන්ධ වී සිටිනවා. එබැවින් මෙය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකියි.
මම පසුගියදා සිදු කළ ඉන්දීය නිල සංචාරයේ දී ඉන්දීය අගමැතිතුමා සහ මම එළිදැක්වූ “දැක්ම ප්‍රකාශය” ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

විදේශ අමාත්‍ය ජයිශංකර් මහතා සමඟ මම පසුගියදා පර්ත් නුවරදී සාකච්ඡාවක් පැවැත්වූවා. ඒ අනුව එම වැඩපිළිවෙළේදී අප ලබා ඇති ප්‍රගතිය පිළිබඳව අප සෑහීමකට පත් වෙනවා. එමෙන්ම එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම නව සම්බන්ධතා ගොඩනඟා ගත හැකි වෙනත් ක්ෂේත්‍ර ද හඳුනාගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා. මට නම් මෙය සතුටට කරුණක්. මේ වැඩසටහන හරහා, අපි මොරිෂස් සමඟත් සම්බන්ධවී තිබෙනවා.

අප දෙරටම දූපත් රාජ්‍යයන් නිසා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම අපේ රටවල් දෙක අතර ඓතිහාසික සම්බන්ධතා තිබෙනවා. ශ්‍රී ලංකාව මොරිෂස් රාජ්‍ය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මම ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟ පර්ත් නුවරදී නැවතත් සාකච්ඡා කළා. මෙම වැඩසටහන ආරම්භ කිරීමට දැක්වූ සහයෝගය පිළිබඳ මම මෝදි අග්‍රාමාත්‍යවරයාට නැවතත් ස්තූතිවන්ත වෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240212 WA0011

කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති නිරාවරණය කරයි !

කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුවිය.

තායිලන්තයේ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලුවම් පු සෘෂි කෙත් කැච් තාපසතුමා ඇතුළු තායිලන්ත දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙම ලෝහමය ප්‍රතිමාව ඉදිකර තිබේ.

නාම පුවරුව විවෘත කර කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙයට සමගාමීව විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කර තිබූ පූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ පිළිරුව සහ සියම් දේශයේ උපාලි මහ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පිළිරුව නිරාවණය කිරීම පූජ්‍ය මහරගම නන්ද නා හිමිපාණන් වහන්සේගේ සහ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදු කෙරිණි.

අනතුරුව ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාරාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ විසින් රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් පසුව පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේ මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි පිරිස පිළිගනිමින් අනුශාසනාවක් සිදු කළහ.

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ බුදු දහම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නාහිමිපාණන් වහන්සේට සහ ලුවම් පු සෘෂි කෙත්කෑව් තාපසතුමා වෙනුවෙන් සහ මහාචාර්ය නුවන් කාවින්ද විජේසිංහ වෙත සමරු තිළිණ පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදුවිය.

මෙහිදී ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

ඓතිහාසික රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර, කටුනායක බෝධිරත්නාරාමාධිපති පූජ්‍ය අමන්දොළුවේ ධම්මරතන යන ස්වාමීන් වහන්සේලා ද, වාළුකාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේ ඇතුළු මෙරට සහ තායිලන්ත ස්වාමීන් වහන්සේලා ද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240212 WA0008

IMG 20240212 WA0006

අනුර 90%ක් ගන්නවා : චීනය , ජපානය සහ දකුණු කොරියාවටත් ගෙන්වීමට ඉල්ලීමක් !

මෙවර ජනාධිපති මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ ඉතිහාසයේ නොවී විරූ වාර්තාවක් තබමින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සඳහන් කරයි.

මෙවර සියයට හැටපහ හැත්තෑ නොව සියයි අසූවක අනූවක දැවැන්ත බලයක් නිර්මාණය වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් බද්දේගම ප්‍රදේශයේදී අමතමිනි.

ඉන්දියාවන් නිකම්ම නිකම් අනුර දිසානායකට ආරාධනා නොකරන බවත් ලංකාවේ දේශපාලනය හැරවුමකට ලක්ව ඇති බව ඉන්දියාව දන්නා බවත් හෙතෙම කියා සිටියේය.

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක බව ආසියාවේ බලවතා දන්නා බවත් ජනාධිපතිවරණයෙන් ඔහු පරදින්නේ නම් ඉන්දියාව මේ ආකාරයේ රාජතාන්ත‍්‍රික ගනුදෙනු පවත්වන්නේ නැතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

කෙසේ වුවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන්ගෙන් එකක් වන ඉන්දියාව එම තත්ත්වය අත්පත් කර ගැනීමට පසුගිය දශක කිහිපය තුළ සිදුකර ඇති වෙනස්කම් ඉන්ද්‍රිය ගෝචරව අවබෝධ කර ගැනීමට ජනතාව විමුක්ති පෙරමුණ ඉන්දියාවේ සංචාරය කිරීම ඉතා හොඳ දෙයක් බව ය.

ඉන්දියාව පමණක් නොව ජපානය, දකුණු කොරියාව, චීනය යන රටවලටද මෙම පක්ෂයේ නියෝජිතයින් කැඳවා ගැනීමට ඉක්මනින්ම එම රටවල සහයෝගය ලබා දෙන්නේ නම් එය ඉතා විශාල වැදගත්කමකින් යුතු බවද අමාත්‍යවරයා පවසයි .

වැල්ලවාය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම සංචාරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ සාමාජිකයන්ද සහභාගී කරවා ගන්නේ නම් ඔවුන්ට ද එම තත්ත්වය අවබෝධ කරගත හැකිවනු ඇතැයිද කියා සිටියේය.

වෛද්‍යවරුන්ට අනුමත දීමනාවක් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් යළි වර්ජනයක !

  වෛද්‍යවරුන් සඳහා ලබාදුන් DAT දීමනාව තමන්ටත් අවශ්‍ය බවට බලකරමින් හෙට (13) පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිතිය හැත්තෑ දෙකක් තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ නියෝජිතයන් සමඟ අද (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම මත මෙම පියවර ගෙන ඇත.

කෙසේ වුවත් මේ දීමනාව ලැබීමට අදාළ වෘත්තීය සමිති සාමාජිකයන්ට නොහැකි බවත් ඒ ඔවුන් මාණ්ඩලික නිලධාරීන් නොවන නිසා බවත් රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය .

රාජ්‍ය සේවයේ මාණ්ඩලික  නිලධාරීන් වෙත ඔවුන්ගේ ශ්‍රේණිය මත ප්‍රවාහන දීමනාවක් හෝ ප්‍රවාහන පහසුකම ලබාදීමට කටයුතු කරන නමුත් වෛද්‍යවරුන් මාණ්ඩලික නිලධාරීන් කැටගරියේ සිටියත් ඔවුන්ට එය නොලැබෙන බැවින් මේ Dat දීමනාව දෙන බවද ඔහු පැවසීය . ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරියා පවසා සිටියේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72 මේ ඉල්ලා සිටින්නේ ඔවුන්ට කොහෙත්ම අනුමත නොමැති දීමනාවක් බවත් එනිසාම මේ වර්ජනය ද රෝගී ජීවිත ප්‍රාණ ඇපයට ගත් අමානුෂික සහ  අසාධාරණ වර්ජනයක්  බවත් ය.

රනිල් ජයවික්‍රම පෙරේරා බලන්න යයි : සජිත් පුතාව ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කරයි !

දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ කටුගම්පළ පිහිටි නිවසට ඊයේ (11) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසමින් කෙටි කථා බහක නිරත විය.

අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ නිවස අසළට රැස්ව සිටී ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහද පිළිසඳරකට එක් විය.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම පුවත වාර්තා වූ වහාම ගාමිණී ජයවික්‍රම ගේ පුත්‍රයා වන අසංක ජයවික්‍රම දැරූ සමගි ජනබලවේගය පක්ෂයේ කටුගම්පොල ආසන සංවිධායක ධූරයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇති බවයි.

මේ වන විට එම ආසන්නයේ සමසංවිධායකවරුන් ලෙස නිලන්ත හේරත් සහ තුෂාර ඉදුනිල් පත්කර තිබෙන බවත් වාර්තා වෙයි .

උමා ඔයට අදාළ කැබිනට් පත්‍රිකාව අනුර ගේ : මහින්දගෙන් නිවේදනයක් !

2005 ජනවාරි මාසයේදී උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි .

2005 ජනවාරි 4 දින අංක 05/0036/039/002 දරන අනුර දිසානායක ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ ස්ථිර ජල මුලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් උමා ඔය ජලය එම ප්‍රදේශයට හරවා යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යනුවෙන් බවද හිටපු ජනාධිපති පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර ඇත්තේ "උමා ඔය ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම" යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කළ නිවේදනයක ය.

එහි මෙසේද සඳහන් කර ඇත .

උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය මේ මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙය වික්ටෝරියා, කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර වලට පසුව රටේ විශාලම ජල විදුලි බලාගාර වලින් එකක් වනු ඇති අතර, ඒ හරහා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය තවත් අඩු වියදම් විදුලි ප්‍රභවයක් දායාද වනු ඇත. මධ්‍යම කදුකරයේ සිට ජලය ගිනිකොනදිග වියළි කලාපයට හරවා යැවීම ඉලක්ක කරගත් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2010 මාර්තු මාසයේදීය. දශක ගණනාවක් මුලුල්ලේ සාකච්ඡා සහ සැලසුම් මට්ටමේ තිබුනත් කිසිදු ආණ්ඩුවකට මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූ යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක්ම මම ජනාධිපති ධූරය දැරූ කාලයේ එකින් එක ඉදි වීමට පටන් ගත් විට එම සාර්ථකත්වයට ඊර්ෂියා කළ පාර්ශවයන් මේ ජයග්‍රහණ හෑල්ලූවට ලක් කිරීම සඳහා මගේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ ව්‍යාපෘතිවල වියදම් ඇස්තමේන්තු අසාමාන්‍ය ලෙස වැඩිකොට, එමගින් අයතා ලෙස මුදල් ඉපයූ බවට ප්‍රචාරයක් ගෙන ගියේ ය.

මෙවැනි මුල්‍යමය අකටයුතුකම් පිළිබඳ සාක්ෂි කිසිදාක කිසිවෙකුවත් විසින් මහජනතාව ඉදිරියේ ගෙන හැර දක්වා නොතිබුණද, මෙවන් ප්‍රචාර නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන කවුරුන් වූවත් හොරෙකු යැයි විශ්වාස කරන මුළු පරම්පරාවක්ම බිහි වී ඇත. මෙවැනි ප්‍රචාර හේතුකොට ගෙන රටට යමක් කිරීමේ හැකියාව ඇති අය දුෂ්ඨයන් ලෙස හංවඩු ගැසුණු අතර, කයිවාරු ගැසීම, විවේචනය කිරීම හා බොරු කීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැති අය වීරයන් බවට පත් විය. යම්කිසි ඉදිකිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී දූෂණයක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ නම් එම සාක්ෂි පරීක්ෂා කර බැලීම වෙනම කාරණයකි. නමුත් කිසිදු සාක්ෂියක් නොමැතිව දේශපාලනික චේතනාවෙන් කරන චෝදනා නිසා අත්‍යවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති පවා ආරම්භ කිරීමට ආණ්ඩු සහ දේශපාලඥයින් අතර මැලිකමක් ඇතිවීම වැලැක්විය නොහැක.

Page 103 of 464