V2025

පුවත්

රනිල් නිසා : ප්‍රසන්න - නාමල් එළිපිට ගැටෙති !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු අවධාරණය කරන්නේ ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වඩාත් සුදුසු බවයි.

පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂයකු සිටින බව තමන්ට නම් පෙනෙන්නට නැතැයිද ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (28) දින පැවැත්වුනේ ගාලු කොටුවේ පිහිටි හෝල් ඩී ගෝල් ශාලාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්න තීන්දුව ගත්තේ අපේ පක්ෂයේ නායකයින්. අපේ පක්ෂයේ නායකයින් දුන් උපදෙස් අනුවයි අපි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න අපේ සහයෝගය ලබා දුන්නේ. ඔහු මේ වනවිට ආර්ථික අභියෝගය ජයග්‍රහණය කරලා රටේ ප්‍රශ්න විසදමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාව පත් කරන්න පොහොට්ටුව ගත් තීරණය ඒ වෙලාවේ ගත යුතුව තිබූ හොඳම තීරණය ලෙසයි මා සලකන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න වෙන කිසිවෙකුට හැකියාවක් තිබුණේ නෑ. ඒ වෙලාවේ ජනාධිපති ධුරය භාර ගන්න කියලා ඉල්ලීම් කළාම ඒ අය ඒක ප්‍රතික්ෂේප කළා. අනුර කුමාර දිසානායාක, සජිත් ප්‍රේමදාස කියන දෙන්නත් මේ වගකීම භාර ගන්න අකමැති වුණා. ඒ නිසා මම හිතනවා මේ මොහොතේ පක්ෂයක් විදියට අපි ගත යුතුව තිබෙන නිවැරැදිම තීන්දුව තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඊළග ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම. ඔහු තරග කරන්න අවශ්‍ය කුමන පක්ෂයෙන්ද කුමන ලකුණෙන්ද කියන එක සාකච්ඡා කරලා තීරණය කරන්න පුළුවන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හැම වෙලාවෙම ජනතාව හා රට ගැන හිතලා තීන්දු තීරණ ගත්ත පක්ෂයක්. බැසිල් රාජපක්ෂ මැතිතුමා ළගදීම ලංකාවට එනවා. එතුමා ලංකාවට ආවට පස්සේ පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා, පක්ෂය ශක්තිමත් කරනවා. ඊට පස්සේ අපි ජනාධිපතිවරණයේදී ගත යුතුව තිබෙන තීරණය කියාවී.

රනිල්ව ඉල්ලන්නේ සුළු පිරිසක් - නාමල්

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ වත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත් එය පක්ෂයේ මතය නොවන බවය.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද ඔහු පවසයි .

මන්ත්‍රීවරයා මේ සඳහන් කර සිටියේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවත් ඔහු පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය .

ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටින අපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවාරනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා . තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා . නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ.

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .

මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුකතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .

සජබ සම්මා ගුටි සමුළුවට පස්සේ ජගත්ට ආසනය එපා වෙලා : ඉල්ලා අස්වෙලා !

සමගි ජන බලවේගය පක්ෂයේ මතුගම ආසන සංවිධායක ජගත් විතාන එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර බාරදී තිබේ.

ඊට පෙර පක්ෂ මූලස්තානයේ සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී ජගත් විතාන දැඩි උද්වේගයෙන් අදහස් දක්වා ඇත.

ඊට හේතුව වන්නේ පසුගියදා බේරුවල පැවැති රැස්වීමකදී සජබ ආසන සංවිධායකවරුන් අතර ඇති වූ ගැටුම නිරාකරණය කිරීමට පක්ෂය නිසි ක්‍රියාමාර්ග නොගෙන සිටීමය.

පසුගියදා සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් බෞද්ධ සමුළුව පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඒ අතරතුර දිස්ත්‍රික් ආසන සංවිධායකයන් කිහිපදෙනෙකු අතර කලහකාරී තත්ත්වයක් ඇතිව තිබේ .

ඒ එම දිස්ත‍්‍රික් ආසන සංවිධායකයින් අතර ඇතිවූ මත ගැටුමක් මුල්කරගෙන ය.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සහ තවත් ආසන සංවිධායකයකුට එරෙහිව සෙසු ආසන සංවිධායකවරුන් විරෝධය පළ කිරීම සමග මෙම ගැටුම හටගෙන ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි !

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය.

දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් පුරා සිදුවූ මෙම කටුක අත්දැකීම රට බිහිසුණු යුද්ධයකට ඇද දැමූ බවද සිහිපත් කළේය.

එබැවින් රට තුළ සංහිඳියාව සහ ආගමික සහජීවනය ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් රජය මේ වන විට සාධනීය පියවර රැසක් ගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමිනි.

දිස්ත්‍රික්ක 17ක් ආවරණය කරමින් වසර 3ක් පුරා ක්‍රියාත්මක කරන ලද "ගැටුම් විපරිවර්තනය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරීත්වය" ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කිරීම වෙනුවෙන් මෙම අන්තර් ආගමික සමුළුව සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි දිස්ත්‍රික් නියෝජිතයන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමටද කටයුතු කළේය.

සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ආගමත්, සංහිඳියාවත් අතර තිබෙන සම්බන්ධතාව අප හොඳින් දන්නවා. ජාතිවාදයේ මෙන්ම ආගම්වාදයේ අත්දැකීම් අපට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අප බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වීමෙන් පසු සහජිවනය පිළිබඳ අපේ අවධානය යොමුව තිබෙනවා.

සහජීවනය ගොඩනැගීමේ දී සියලු ආගමික නායකයන්ට ප්‍රධාන වගකීමක් පැවරී තිබෙනවා. අපගේ සිතුවිලි පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතුයි.

දේශපාලනඥයන්ගේ සිතිවිල්ල නම් බලය ලබා ගැනීමයි. ආගමික නායකයන්ගේ සිතිවිල්ල නම් එම ස්ථානවල රැඳී සිටීමයි. මේ සියල්ලේ කෙටි මාර්ගය තමයි ජාතිවාදය සහ ආගම්වාදය. 1930 සිටම අපේ රට තුළ මෙය සිදුවුණා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කුමක්ද කියා මා අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ.

උදාහරණයක් ලෙස සඳහන් කළහොත් සිංගප්පූරුවේ ජාතිවාදය සහ ආගම්වාදය තිබුණේ නැහැ. භාෂා කිහිපයක් පැවතියත් සිංගප්පූරුව අද වේගවත් සංවර්ධනයක් ලබාගෙන තිබෙනවා.

දැන් යුදමය තත්ත්වයක් නැති නිසා රටේ දේශපාලන ප්‍රශ්න විසඳෙමින් තිබෙනවා. එබැවින් අප සහජිවනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපි පාර්ලිමේන්තුවේ දීත් මේ පිළිබඳව කතා කරනවා. කරු ජයසූරිය මැතිතුමා කථානායකවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එම කාරක සභාව පත් කළේ 2018 මාර්තු මාසයේ මුස්ලිම් ජනතාව සම්බන්ධව ඇති වූ ගැටුම්වලටත්, 2017 වසරේ ගාල්ලේ ඇති වූ ගැටුම්වලටත් ඒ වගේම 2014 වසරේ බේරුවල සිදුවු ගැටුම්වලටත් අදාළවයි. එම ප්‍රශ්න විසඳීම සඳහා මෙම තේරීම්කාරක සභාවලින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එම යෝජනාවලට අප සියලුදෙනාම එකඟ වුණා. අපි කණ්ඩායමක් ලෙස මෙහිදී එකඟත්වයකින් යුතුව කටයුතු කළා. එසේ නම් එම එකඟත්වය අනුව අප ඉදිරියට යා යුතුයි.

පසුගිය වසරේ අවසාන කාලයේ දී සංඝයා වහන්සේ සහ ද්‍රවිඩ නායකයන් කිහිප දෙනකු පැමිණ හිමාලයා ප්‍රකාශය භාර දුන්නා. එම ප්‍රකාශය අනුවත් අපි කටයුතු කරගෙන යනවා. දැන් තිබෙන්නේ සහජීවනය ගොඩනැඟීමේ අවසාන කොටස. විශේෂයෙන් ද්‍රවිඩ දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරු සමඟ අප මේ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. ඉතිරිව තිබෙන ප්‍රශ්න අප විසඳාගත යුතුයි. අතුරුදන්වූවන්ගේ ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර දැනට ගෙන තිබෙන අතර ඒ පිළිබඳ අප ඉදිරියේ දී දැනුම් දෙනවා. ඒ වගේම මේ සම්බන්ධව සිරගතව සිටි පිරිසගෙන් කොටසක් නිදහස් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අතුරුදන්වූවන්ට කුමක්ද සිදු වුණේ යන්න. මේ සඳහා අප සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීම වෙනුවෙන් වන පනත් කෙටුම්පත (TRC) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කොමිෂන් වාර්තා ගණනාවක් තිබුණා. ඒ සියල්ල පිළිබඳ සාකච්ඡා කර ඒ.එච්.එම්.ඩී. නවාස් විනිශ්චයකාරතුමා යටතේ එක් වාර්තාවක් ලබාගෙන තිබෙනවා.

අප සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම පිළිබඳ කෙටුම්පත සම්මත කර ගැනීමෙන් පසුව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමපෝසා මැතිතුමා ප්‍රකාශ කළා මෙම වැඩසටහන් සඳහා ඔවුන්ගේ ආධාර ලබා දෙනවා කියලා. වෙනත් රටවලිනුත් අපට එම ආධාර ලැබෙනවා. ඒ අනුව මෙම කටයුතු ඉදිරියට ගෙන යනවා.

ඉන්පසුව ඉතිරි වන්නේ දේශපාලන ප්‍රශ්නයි. එහිදී ඉඩම් ගැටලුව විසඳීම පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා. යාපනයේ සහ එම ප්‍රදේශවල තිබෙන්නේ ගම්වැසියන් සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර තිබෙන ගැටුම්. මෙවැනි ගැටුම් වවුනියාවේ, ත්‍රිකුණාමලයේ වගේම පොළොන්නරුව සහ මහියංගණය ප්‍රදේශවලත් තිබෙනවා. අප සියලු පාර්ශ්ව කැඳවා මේ ප්‍රශ්න විසඳගෙන යනවා. එහිදී 1985 සිතියම අනුව කටයුතු කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම ලබන සතියේ දී ද්‍රවිඩ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී මුණ ගැහිලා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක හමුදාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට ඔවුන් එකඟව තිබෙනවා. අපට මේ අන්දමින් ඉදිරියට යා හැකියි.

අනෙක් කාරණය වන්නේ බලය බෙදීමයි. මෙහි මුලික ඉල්ලීමක්ව පවතින්නේ බලය බෙදීම පිළිබඳ 3වන ලැයිස්තුවේ බලතල ලබාදීමයි. අපි පොලිස් බලතලවලට අත තැබීමට යන්නේ නැහැ. එය පසුව කළහැකියි. ඉඩම් පනත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම 3 වන ලැයිස්තුවේ තිබෙන අනෙකුත් විෂයයන් භාරදීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. තුනෙන් දෙකක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟත් ඊට එකඟවීමට සිදු වෙනවා. ඒ පිළිබඳ අපේ ගැටලුවක් නැහැ.

ඒ සමඟම පළාත් අධ්‍යාපන මණ්ඩලය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප දැනට සාකච්ඡා කරගෙන යනවා. එහිදී සෑම පළාතකම පළාත් වෘත්තීය පුහුණු ආයතන ඇති කිරීමට අප යෝජනා කර තිබෙනවා. ඒ වගේම සංචාරක මණ්ඩලයක් වගේම කෘෂිකර්ම නවීකරණය සඳහා පළාත් මට්ටමේ කමිටු පත් කර අදාළ වැඩකටයුතු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අමාත්‍යාංශ විසි ගණනක වැඩ කටයුතු පළාත් අමාත්‍යාංශ 05කින් සිදු කිරීමට ද බලාපොරොත්තු වෙනවා. එහිදී සාමාන්‍ය අමාත්‍යාංශයක ස්වරූපය ගන්න බැහැ. ඒ නිසා ඒවායේ ස්වරූපය වෙනස් කිරීම පිළිබඳ නිලධාරීන් දැන් සාකච්ඡා කරගෙන යනවා.

සියලු පක්ෂ එක් වූ පසු මෙහි අවසන් කොටස වන විමධ්‍යගත අයවැය පිළිබඳ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ද්විතීය මණ්ඩලයක් පිළිබඳ ඉල්ලීමක් තිබෙනවා. ඒ කියන්නේ සෙනෙට් සභාවක්. ඒ සඳහා ආණ්ඩුවේ විරුද්ධත්වයක් නැහැ. නමුත් එය කිරීමට සිදු වන්නේ ව්‍යවස්ථාවක් සකස් කරන අවස්ථාවකදීයි. මොකද ජනමත විචාරණයකට වුවත් යාමට සිදුවිය හැකියි. මේ පිළිබඳ අනෙකුත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා.

මෙම පියවරයන් සමඟ රට තුළ අප නව පසුබිමක් සකස් කළ යුතුයි. ඒ සඳහා ආගමික නායකයන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙනවා. මෙම කරුණු පිළිබඳ මෙහිදී තවදුරටත් සාකච්ඡා කර සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි කියා මම විශ්වාස කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් සහ නියෝජිතයන් ද , හිටපු කථානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Dr. Felix Neumann), ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩල් එඩ්වින් ශල්ක් (Sandile Edwin Schalk), මිසරියෝ සංවිධානයේ ශ්‍රී ලංකාව සහ ඕෂනියා කලාපීය නිලධාරී කොරීනා බෘක්මාන් (Corinna Broeckmann), යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී යොහාන් හෙස් (Johann Hesse) යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයින්, අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝතී සරවනමුත්තු, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝ විලියම් යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහ “ගැටුම් විපරිවර්තනය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරීත්වය" ව්‍යාපෘතියේ නියෝජිතයන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240228 WA0024

නාමල් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුද : තීරණය ඔහු සතුයි - ජගත් කුමාර

එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුදුසුද යන්න ඔහු විසින් තීරණය කළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

ජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයකු පොදුජන පෙරමුණ පක්ෂයේ සිටීද යන්න බරපතළ ගැටළුවක් බව ද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ය.

අස්වැසුමට බොරු කළ 7000ක් දොට්ට !

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් අවසන් වන අතර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකු අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නොලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම සාවද්‍ය තොරතුරු හරහා අස්වැසුම ප්‍රතිලාභ ලබාගත් 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අස්වැසුම මුල් අදියර සඳහා පවුල් ඒකක ලක්ෂ 34ක ප්‍රමාණයක තොරතුරු සහතික කිරීම සිදු කෙරුණා. ඒ අනුව මේ වන විට පවුල් ලක්ෂ 19ක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා. දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා පදනම් කරගනිමින් සුදුසුකම් ලැබූ අය සඳහා 2024 ජූලි මාසයේ සිට ගෙවීම් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සූදානමින් සිටිනවා.

අපට අභියාචනා සහ විරෝධතා 12,27,000ක් ලැබී තිබෙනවා. ඉන් 11,97,000ක් පමණ පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර තිබෙනවා. මෙම ප්‍රමාණයට අමතරව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභය සැබවින්ම ලැබිය යුතු පිරිසකට නොලැබී තිබෙනවා. පළමු වටයේ ඉල්ලුම් පත්‍ර කැඳවීමේ දී එම පිරිස් ඉල්ලුම් පත්‍ර ලබා නොදීම ඔවුන්ට අස්වැසුම ප්‍රතිලාභය නොලැබීමට හේතුවක් වී තිබෙනවා.

ඒ අනුව අප විසින් මාර්ගගතව සිදුකළ පුළුල් දැනුවත් කිරීමෙන් පසු දැනට අයදුම්පත් 200,000 – 250,000ත් අතර ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය මාර්ගගත ක්‍රමය ඔස්සේ අපගේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ අනුව දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් පසු අවසන් වනවා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකුට අස්වැසුම ප්‍රතිලාභය ලැබීමේ කිසිදු සුදුසුකමක් නැති බව ද අවධාරණය කළ යුතුයි.

එමෙන්ම අලුතින් ඉල්ලුම් කරන අයගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කිරීමෙන් පසු 2024 ජුනි මාසයේ සිට පවුල් ඒකක ලක්ෂ 24ක් දක්වා අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම වැඩි කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් රුපියල් බිලියන 205ක මුදලක් වැය කිරීමට අප බලාපොරොත්තු වනවා. එහි ප්‍රතිපාදන වෙන් කිරීම මේ වන විට සූදානම් කර අවසන් බව ද පැවසිය යුතුයි.

ඒ වගේම මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙනවා. ඔවුන් විසින් ප්‍රතිලාභ ලබා ගෙන ඇත්තේ සාවද්‍ය තොරතුරු ලබාදීමෙන් බවට තහවුරු වී තිබෙනවා. එවැනි පුද්ගලයන් පිළිබඳව අපට මේ විට තොරතුරු ලැබෙමින් පවතිනවා. එලෙස ඔවුන් හඳුනා ගැනීමෙන් පසු පනත ප්‍රකාරව නැවත ඔවුන්ගෙන් මුදල් අයකරගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අප සූදානම් වන බව පැවසිය යුතුයි.

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට වැඩපිළිවෙලක් !

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබාදෙන බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27) පස්වරුවේ කොළඹ දී පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023” උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙන්ම වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණයි. සාර්ක් කලාපයේ කාන්තාවන්ට විශේෂ අංශයකින් තරග වැදීමේ අවස්ථාව ද සලසා තිබිණ.

සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් ජාතික මට්ටමින් විශිෂ්ට ව්‍යවසායිකාවන් දස දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.

සාර්ක් අංශයේ සම්මාන ප්‍රදානය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  අතින් සිදු වූවාය.

ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ඉහළ නැංවීම සහ ප්‍රධාන ව්‍යාපාරික කටයුතුවලට කාන්තාවන් ඇතුළත් කර ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව ව්‍යාපාරික කාන්තාවන් සඳහා වූ ජාතික වාණිජ මණ්ඩලය(WCIC) 1985 දී වසරේදී පිහිටුවන ලදී.

වෘත්තීයවේදිනියන් සහ තමන්ගේම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ වු ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මේ වන විට සාමාජිකත්වය 300කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

සම්මාන ලබාගත් සියලුදෙනාට පළමුවෙන්ම මම සුබ පතනවා. ඒ වගේම මීට සහභාගී වූ සියලුම දෙනාට ප්‍රශංසා කළ යුතුයි. පසුගිය වසර කිහිපය අපට පහසු කාලයක් වුණේ නැහැ. එය ව්‍යාපාරිකයන් ඇතුළු අප සියලුදෙනාට දුෂ්කර කාල පරිච්ඡේදයක් වුණා. නමුත් එම ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ වුවද තම ව්‍යාපාර සිදුකරගෙන යාමට ඔබ ගත් උත්සාහය ප්‍රශංසනීය බව කිවයුතුයි.

මෙම 2024 වසරේ යම් ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පසුගිය වසරේ අවසාන කාර්තු දෙක තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා. නමුත් එය 2018 වන විට පැවති ආර්ථික වර්ධන වේගය මට්ටමට තවමත් පැමිණ නැහැ.ඒ සඳහා තවත් වසර දෙකක් පමණ ගතවනු ඇතියි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් පසු රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරන පළමු වසර මෙයයි. ඒ වෙනුවෙන් දුෂ්කර තීන්දු තීරණ ගැනීමට අපට සිදු වුණා.

සියලුදෙනාට ජීවත්වීමට හැකි ආර්ථික පරිසරයක් අප රට තුළ නිර්මාණය කර ගත යුතුයි. මුදල් මුද්‍රණය කිරිමට හෝ ණය ගැනීමට දැන් අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට බදු එකතු කිරීමට සිදු වුණා. රුපියල ශක්තිමත් කිරීම සහ උද්ධමනය පහත හෙළීම ද අපගේ අරමුණ වී තිබෙනවා.

පැරැණි ආර්ථික ක්‍රම මත තවදුරටත් මේ රට ඉදිරියට ගෙන යා නොහැකියි. ඒ නිසා අප රට තුළ කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කළ යුතුයි. නව ආර්ථික ක්‍රමවේදයක් ‍හරහා රට ගොඩනැඟිය යුතුයි.එහිදී රට තරගකාරී අපනයන ආර්ථිකයක් කරා ගෙන යා යුතුයි. ඒ වගේම ව්‍යාපාරිකයන්ට රජයක් ලෙස උපරිම සහාය ලබාදීමට අප අපේක්ෂා කරනවා. එම නිසා මේ වසර අවසානය වනතුරු පරාටේ නිතිය කල් දැමීමටද කටයුතු කර තිබෙනවා.

කාන්තා ව්‍යවසායකයන් අද මෙරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙනවා. මේ අයට අවශ්‍ය සියලු සහාය ලබාදීමට රජය කටයුතු කරන බව ද කිවයුතුයි.

ඒ වගේම කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමට ඔබ සංගමය ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. කාන්තාවන් බලගැන්ම තුළින් මෙරට ආර්ථිකය සැලකිලිමත් ලෙස වර්ධනය කළ හැකි බව අප විශ්වාස කරනවා. ඒවගේම කාන්තාවන් ව්‍යාවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙළ ද රජය මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනැගිමේදී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි.එබැවින් රටේ ආර්ථික පරිවර්තනයට කාන්තාවන්ගේ දායකත්වය අවශ්‍යයි. ඉදිරියේදී ඇතිවන ඩිජිටල් ආර්ථිකය හා හරිත ආර්ථිකයට අනුගත වියහැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරීමට රජය වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

අද කාන්තාවන් බොහෝ පිරිසක් කුඩා, මධ්‍යම සහ මහ පරිමාණ ව්‍යාපාරවල නියැළී සිටිනවා. ඒ වගේම මේ වන විට අප රටේ සංචාරක කර්මාන්තය සැලකියයුතු ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ශක්තිමත් ව්‍යවසායකයන් බිහි කළ හැකියි. සංචාරක ව්‍යාපාරය විධිමත් ලෙස සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සේවා සපයන ව්‍යවසායකයින් වෙනුවෙන් සහාය දැක්වීමට රජය සූදානම්. සංචාරක ව්‍යාපාරයේ එක් පුද්ගලයකුගේ දෛනික ආදායම ඩොලර් 500ක සීමාවටවත් ගෙන ආ යුතුයි. ඒ සඳහා කාන්තා වාණිජ මණ්ඩලයටද වගකීමක් තිබෙනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධිය භාවිතයට ගැනීමටද රජය සැලසුම් කර තිබෙනවා. මෙම ක්ෂේත්‍රවලට අදාළව ව්‍යවසායකයින්ට ඉදිරියේදී වැඩි ඉල්ලුමක් ඇති වනු ඇතියි. ලෝකය තාක්ෂණය සමඟ ඉදිරියට යනවිට අපත් ඒ සමඟ ඉදිරියට යා යුතුයි. අපට එකතැන නැවති සිටිය නොහැකියි. එම නිසා නව තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමග ආර්ථිකය ගොඩනැගිමේ පදනම දැනටමත් අප දමා තිබෙනවා. එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ ස්ථානයකට ඔසවා තැබිය හැකියි.

ඒවගේම රටේ ආර්ථිකය ගොඩනැගිමට අවශ්‍ය අඩිතාලම අප දැනටමත් දමා තිබෙනවා. ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීමට සින්නක්කර ඔප්පු ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එම ඉඩම් අයිතිය ලබා ගන්නා ලක්ෂ 20ක ජනතාවගේ ආදායකත්වය ආර්ථිකයට ඍජුවම ලැබෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තය නවීකරණයට ද ඔවුනගේ සෘජු දායකත්වය ලබා ගත හැකියි. මෙම සියළු වැඩපිළිවෙළ තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමට හැකියාව තිබෙනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, හිටපු රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චැංග්, පාකිස්තාන මහ කොමසාරිස් එච්.ඊ. ෆහීම් උල් අසීස්, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපති අනෝජි ද සිල්වා, සම ලේකම් තුසිතා කුමාරකුලසිංහම් සහ චිත්‍රාංජලී දිසානායක යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240228 WA0020

IMG 20240228 WA0022

මහ බැංකුවේ පඩි වැඩි කළ හේතුව මෙන්න !

රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ ආකාරයෙන් අනෙක් ක්ෂේත්‍රයන්හිද වැටුප් සංශෝධනය විය යුතු බව තම සංගමයේ මතය බවත් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමි වූ බව විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.

ඉන් ඇතැමෙකු ලෝක බැංකුව සහ ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බැංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි නොවූයේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රට හැර යාමට තිබූ බවත් එවිට මහ බැංකුවේ කටයුතු තවත් අඩාල වීමට ඉඩ තිබූ බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

මහ බැංකු සේවකයින්ට ලබාගත හැකි උසස්වීම් අවස්ථාද ඉතා සීමිත බවත් සිය වෘත්තිමය සුදුසුකම් උපයෝගී කොටගෙන පෞද්ගලික ආදායම් මාර්ග සකසා ගැනීමට නොහැකිවන අන්දමේ නීතිමය බාධක සහ තවත් සීමාකාරී සාධක පවතින බවත් විධායක නිලධාරීන්ගේ සංගමය පැවැසුවේය.

මහ බැංකුවේ සියලු වෘත්තීය සමිති සහ පාලක මණ්ඩලය එළඹී 2024-2026 සාමූහික වැටුප් ගිවිසුමට යටත්ව කටයුතු කිරීමට සියලු පාර්ශ්ව බැඳී සිටින බවද එම සංගමය සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට බලපෑමකින් තොරව සිය සුපරීක්ෂණ කටයුතු කිරීමට තරඟකාරී වැටුපක් හිමිවිය යුතු බවද එම සංගමය පැවැසුවේය.

බුද්ධි ගලනය නැවැත්වීමට ගත් මෙම පියවරට එරෙහිව හඬ නගන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැති බවත් එම සංගමය පැවැසුවේය.

(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)

බලය ගැනීමත් රට ගොඩනැගීමත් අභියෝගයක් : 2005 ගැන අනුරගෙන් පාපෝච්චාරණයක් !

බලය ලබාගැනීම මෙන්ම බලය ලබාගත් පසු රට ගොඩනැගීම තමන් මුහුණදී සිටින ප්‍රධාන අභියෝග දෙක බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි .

එසේම ඔහු අනෙකාට එරෙහිව ආණ්ඩු තැනූ උපායමාර්ගික එළැඹුම නිවැරදි නොවන බවද සඳහන් කළ අතර , ජවිපෙ සෘජු මැදිහත්වීමක් සිදුකළ 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟීම වරදක් ලෙස නොකියා පිළිගැනීම ද විශේෂත්වයක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ බැංකු සහ මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි .

එහිදී ඔහු මෙසේද පැවසීය.

අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක බලය ලබා ගත්තාට පසුව රට ගොඩනැගීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිව. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ.

අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්, නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා. මේ පතුලේම සිටින ජනතාව මේ කාර්යයට යොදවා ගන්නේ කෙසේද කියන අභියෝගය අපට තිබෙනවා. සමාජයේ යම් උඩ තලයක සිටින අය අපට සමීප නැහැ. ඔවුන්ට අපේ කතා දැනෙන්නේ නැහැ.

ඒ නිසා අපි සිය වතාවකට වඩා පිළිතුරු දී ඇති ප්‍රශ්න තවත් ඔවුන්ගේ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. අපට ගැටෙන්නේ නැති අවධානය නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම වෙත අපේ මතය ගෙන යන්නේ කොහොමද කියන එක අපේ අවධානය යොමු විය යුතු වෙනවා. එය අපේ දෙවැනි අභියෝගයයි. ඒ කණ්ඩායම වෙත මගේ අවධානය යොමු කිරීමට මම උත්සාහ ගන්නවා.

අනුර ගේ පාපෝච්චාරණය සාධනීයයි !

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් newstube හිටපු සංස්කාරක මෙසේ අදහස් දැක්වීය.

" අනුර දිසානායක නායකතුමා ගේ මේ ප්‍රකාශය පොසිටිව් විදිහට ගන්න ඕන . මොකද ඔහු මෙතන අවිඥානික ලෙස හෝ ඇත්ත කියනවා. සමාජ මාධ්‍ය ඇතුලේ කමෙන්ට් ආම් හදලා ගේම ගැහුවට බිම් මට්ටමේ අභියෝගය එහෙම්ම තියෙනවා . දැන් පේන්න තියෙන විදිහට වම සහ ජාතිකවාදී අනුර එක් කඳවුරක ජනාධිපති අපේක්ෂකත්වය නියෝජනය කරනවා.ඒ වගේම විපක්ෂ නායක සජිත් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දකුණ, එහෙමත් නැත්නම් ලිබරල් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය කඳවුරේ තරගයක නිරත වෙනවා. දැනට පේන්න තියෙන ආකාරයට ජනාධිපති රනිල් පියවරෙන් පියවර දකුණේ අපේක්ෂක වෙන්න එනකොට සජිත් අනුර වෙන්න උත්සාහ කරනවා. මෙතැන පොහොට්ටුවේ බහුතරය ජනාධිපති රනිල් ට ගියොත් දකුණේ අපේක්ෂකත්වය ඔහුට හිමිවීම වලක්වන්න බෑ. මොකද සජිත් සජබ - එජාප පදනම් බිඳගෙන වාම ජාතිකවාදී ප්‍රතිපත්තියක් වෙත පල්ලම් බසිමින් සිටින නිසා. ඒ අවබෝධය අනුව ඊළඟ ජනාධිපතිවරණ සටන ජාතිකවාදී වම සහ ලිබරල් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇතිවෙනවා.

මේ කියන බෙදීම ඇතුලේ තමයි අනුරට පේන්නේ බලය ගැනීම වගේම බලය ගෙන රට ගොඩනැගීම තමන් මුහුණදී සිටින ප්‍රධාන අභියෝග දෙක කියලා .

ජාතික ජනබලවේගය බලය ගත්තොත් බදු අඩු කරන්න ඕන , වැටුප් වැඩි කරන්න ඕන , දැන් තියෙන IMF සමග වන වැඩසටහන වෙනුවට විකල්පයක් ගේන්න ඕන , ඒකට IMF එකඟ වෙන්න ඕන , එහෙම නැති වුණොත් ආයෙත් 2022 තැනට ගිහින් විදෙස් සංචිත අර්බුදය විසඳීමට සැලසුම් කරන්න ඕන , ඒ එක්කම විදෙස් ණය හිමියන් සමග යළිත් සාකච්ඡා කරන්න වෙනවා. IMF සහතිකය නැති වුනොත් විදෙස් සංචිත අර්බුදය ආයෙත් එනවා. ණය ගෙවන්නේ නැතුව අඩියක් ඉස්සරහට යන්න බැරි වෙනවා.

ඔන්න ඔහොම ප්‍රශ්න වැලක් එක්ක තමයි බලය ලැබුනත් යන්න වෙන්නේ . ඒ කියන්නේ 2022 ගෝඨාභය මුහුණ දුන් අභියෝගය අනුර ට එනවා.

ඒ එක්කම ඔහු පිළිගෙන තියෙනවා , ආර්ථිකයේ බරපතළ දුෂ්කරතා වලට මුහුණදී සිටින ප්‍රජාව ජාතික ජනබලවේගය සමග නැති බව . ජාජබ කොන්දේසි IMF පිළිගත්තේ නැත්නම් "ගෙවන්න පුළුවන් දවසක ගෙවන්න "කියන හඳුන්නෙත්ති තියරිය අවුල් වෙනවා. ඒ එක්කම හොරු කියලා කියපු උදවිය හිරේ දාන්න වෙනවා . ඒක නිදහස් ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් ඇතුලේ කරන්න වෙනවා. ඔය ඇති නේද ප්‍රශ්න ටික. ඔය විදිහට දිගෑරලා ගත්තොත් අනුර දිසානායක නෙවෙයි , අපිත් භීතියට පත්වෙනවා. ඒ නිසා 2005 දී රනිල් වෙනුවට මහින්ද ගෙන ඒම ජාතිවාදී වමේ වරදක් ලෙස අරගෙන , රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යාමට සිදුවීම අනුර මුහුණදී ඇති යථාර්ථය වෙන බව කවුරුත් තේරුම් ගන්න ඕන . එතකොට අනුර ද රනිල් ද වෙනුවට , මේ සිස්ටම් එක හොඳට ප්ලේ කරන්නේ කවුද ? එතන අවධානමක් නැත්නම් තෝරාගැනීම කළ යුත්තේ කොහොමද යන්න මිලියන 22 ජනතාව ට හිතන්න වෙනවා.

කතානායකට එරෙහි විශ්වාසභංගය - ඩලස්ලා හරිනිලා පක්ෂ වෙලා : ආණ්ඩුවේ හයිය පෙන්නනවා - ප්‍රසන්න !

කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ අදාළ විශ්වාසභංග යෝජනාවට තම පාර්ශ්වය අනිවාර්යයෙන්ම සහාය පළ කරන බවයි.

එසේම ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ද පවසා ඇත්තේ යෝජනාවට සහාය පළකරන බවයි.

මෙම විශ්වාසභංගය ගෙන එමින් සමගි ජනබලවේගය පක්ෂය පවසන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවය.

ඒ අනුව මේ සතිය තුළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාරදීමට නියමිත බවත් වාර්තා වෙයි .

ආණ්ඩුවේ හයිය පෙන්නනවා - ප්‍රසන්න

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන බවයි .

කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට හොඳ අවස්ථාවක් බව සඳහන් කරන අමාත්‍යවරයා එබැවින් එම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතු බවද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ය.

පොලිස්පති දේශබන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් : විනිසුරු ස්තුති කරයි !

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයෙකු පොලීසිය වෙත කැඳවනු ලබන අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පාර්ශවකරුවන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකයකු වන එම්. බී. වී. රැළපනාව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම දැනුම් දීම සිදුකළේය.

එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයකු පොලීසිය වෙත කැඳවනු ලැබන අවස්ථාවේදී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කව්ද? සහ එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පුද්ගලයාට දැනුවත් කිරීමට අදාළව චක්‍රලේඛකයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් පුද්ගලයෙක් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට පෙර එම පැමිණිල්ල සිදුකළේ කවුරුන්ද? එම පැමිණිල්ලේ අන්තර්ගතය කුමක්ද? යන තොරතුරු දැනගැනීමට හිමිකමක් තිබෙන බව සඳහන් කළේය.

පොලිස්පතිවරයා විසින් කෙටුම්පත් කරනු ලබන චක්‍රලේඛයේ පිටපත අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තම සේවා දායකයාගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීමට පියවර ගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම මැයි මස 09 වනදා කැඳවීමට ද නියම කළේය.

ඉන් අනතුරුව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ස්තුතිය පළ කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගාමිණී අමරසේකර .පසුව ඔහු මුදා හැරීමටත් නියෝග කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ අදහසක් පළ කිරීමෙන් පසුව ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණ ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තමන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවය.

අදාළ ප්‍රකාශය ලබා ගැනීමට සූදානම් වන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන් දැයි තමන් විමසූ විට ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සන්කරු චෝදනා කළේය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබේ.

  • derana

උද්දිකගේ පුරප්පාඩුවට මුතුකුමාරණ එයි !

අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ පත් කිරීමට නියමිතව ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ මනාප ලයිස්තුවේ ඊළඟ වැඩිම මනාප ලාභියා වශයෙන් එස්. සි. මුතුකුමාරණ මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිමිකම් කියයි.

කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු අතර ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබුණාය.

මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්. සි. මුතුකුමාරණ ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට නියමිතය.

“ලංගම ගැන පැමිණිලි කරන්න 1958 අමතන්න”

ලංගම බස් රථයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365 ම දවසේ ඕනෑ ම වේලාවක 1958 දුරකතන අංකය අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (පෙබ. 27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දක්වමිනි.

තමා ඒ පිළිබඳව දැනුම් දීමක් ද සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා එවැනි විනය විරෝධී කටයුතු සිදුකරන පුද්ගලයන්ට විනයානුකූලව දඬුවම් පමුණුවන බව ද අවධාරණය කළේ ය.

සාමාන්‍ය පිළිගැනීම මෙන් ම තමා අසා ඇති දෙය නම් “ලංගම රියැදුරන් අනෙකුත් රියදුරන්ට සාපේක්ෂව වඩා විනයගරුක, වඩා සුහදශීලී සහ වඩා ආරක්ෂාකාරී පුද්ගලයින් යැයි” ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පෙරවරුවේ දී කතානායකවරයා යොමුකර ඇතැයි වාර්තා වේ.

විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ උද්දික ප්‍රේමරත්න, මෙරට දේශපාලනය තිත්ත වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබිණ.

ඉන් අනතුරුව ඔහුගේ වාහනයට ද වෙඩි තැබීමක් ද සිදුවූ අතර කිසිඳු සැකකරුවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.429941411 10231727339875432 152372225697458378 n

සජබ සමග සාකච්ඡා කරන්න චම්පිකලා ගියත් සජිත් මඟ හරියි !

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පසුගියදා හමුවු එක්සත් ජනරජ පෙරමුණේ පාඨලි චම්පික රණවක ඇතුළු පිරිස සමගි ජන බලවේගයේ කණ්ඩායමක් සමග ද සාකච්ඡා පවත්වා තිබේ.

කෙසේ වුවත් මෙම සාකච්ඡාව සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස සහභාගි ව නොතිබීම විශේෂත්වයකි.

ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් සහභාගි ව ඇත්තේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන නියෝජිත පිරිස ය.

එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන පිරිස ද එක්ව තිබේ.

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සජබ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වු බවයි එම පක්ෂය නිවේදනය කර සිටියි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පවසා ඇත .

“අපේ අරමුණ ඉදිරි මහමැතිවරණය, ජනාධිපතිවරණ සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් බිහිකරගන්න. ඒ සඳහා අපි දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කත්, එක්සත් ජාතික පක්ෂය එක්කත් දැන් අද සමගි ජන බලවේගත් එක්කත් කතා කළා. අපි අනිත් පක්ෂ එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා."

ජනක සහ ප්‍රමිතට නොකියා නාමල් මාතලේට බැහැලා : ජනාධිපති අපේක්ෂක වෙලා !

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇති බව වාර්තා වෙයි .

දඹුල්ල හෝටලයක මෙම නියෝජිත හමුව පවත්වා ඇති අතර ඊට පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් හෝ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් මෙම රැස්වීමට පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නාලක බණ්ඩාර කෝට්ටේ ගොඩ, ඉන්දික අනුරුද්ධ , ජානක තිස්ස කුට්ටිආරච්චි රෝහණ දිසානායක යන මන්ත්‍රීවරුන්, මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද සහභාගිව ඇති බවත් වාර්තා වෙයි .

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු යැයි කෙරුණු යෝජනාවට පළාත් පාලන ආයතන නියෝජිතයන් සියලු දෙනා එහිදී ඒකමතිකව අනුමත කර ඇතැයිද දැනගන්නට ඇත.

පරාටේ තාවකාලිකව අත්හිටුවේ !

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලන්කන් නිකං දුන්නත් ගන්න කෙනෙක් නෑ !

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා සඳහන් කරයි.

අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .

සමාගමේ සේවකයන් පසුගිය කාලයේ සිදු කළ වර්ජන හේතුවෙන් සමාගමට තිබූ පිළිගැනීම බිංදුවට වැටී ඇති බවද පවසන අමාත්‍යවරයා ඒ හේතුවෙන් සමාගම නොමිලේ දුන්නද භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තත්ත්වයට පත්ව ඇතැයි පැවසීය.

මෙරට ගුවන් තොටු‍පොළ ගැනීමට අදානි සමාගම් පමණක් නොව රුසියාව චීනය ඇතුළු රටවල් කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටින බවද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේය .

උරුමයට ක්ෂණික ඇමතුම් අංකයක් !

“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව දිනපතා පෙ.ව 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ දුරකථන අංක 0114 354600/ 0114 354601 ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව සලසා ඇත.

www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා තිබේ.

1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනා අතර සුවිශේෂී යෝජනාවකි.

මෙම උරුමය සින්නක්කර ඔප්පු ලබා ගැනීම තුළින් ඉඩම සඳහා නව වටිනාකමක් හිමි වන අතර, එතුළින් ඔවුන්ගේ උරුමය ආරක්ෂා කර ගනිමින් තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වෙයි.

Page 107 of 474