විපක්ෂ නායක වෙතින් විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධ යෝජනා රැසක්

විපක්ෂ නායක වෙතින් විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධ යෝජනා රැසක්

නොරොච්චෝල විදුලි බලාගාරයේ ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මහජන උපයෝගීතා කොමිසම විසින් බස්නාහිර පළාත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමට අද (18) BMICH හි පැවැත්වූ හමුව සමග එක්වෙමිනි.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අඟුරු නැව් 36ම අදාළ කාලයේ ගෙන ඒමට නොහැකි වුවහොත්...

''පසුගිය මාර්තු 12 වැනිදා මෙගාවොට් 51ක්, 13 වැනිදා මෙගාවොට් 130ක්, 14 වැනිදා මෙගාවොට් 135ක්, 15 වැනිදා මෙගාවොට් 132ක්, 16 වැනිදා මෙගාවොට් 148ක් සහ ඊයේ දිනයේ මෙගාවොට් 165ක් නිපදවිය නොහැකි වී තිබෙනවා. මේ නිසා බරපතළ අර්බුධයකට මුහුණ දෙනවා. මේ ජනනයේ අඩුව ඩීසල් බලාගාර හරහා ලබා ගැනීමට යොමුවන විට මේ අතිරේක පිරිවැය පාරිභෝගිකාය මත පැටවීම සිදු කරන්න එපා.

එසේම මේ මොහොත වන විට තෙල් සැපයුම් ගිවිසුම් අත්සන් කිරීමට ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා සිටිනවා. මේ අවස්ථාවේ ගල් අඟුරු නැව් 36ම අදාළ කාලයේ ගෙන ඒමට හැකිවේද ගියා ගැටලුවක් පවතිනවා. යම් හෙයකින් ගෙන ඒමට නොහැකි වුවහොත් ඩීසල් බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩිවේ ද ගියා ගැටලුවක් පවතිනවා. විදුලි බල මණ්ඩලයට මේ පාඩුව නැවත ලබා ගැනීමේ දී සැපයුම්කරුවන්ට හා අදාළ පරීක්ෂණ කළ ආයතනවලට ඒ වගකීම ලබා දිය යුතු යි.

මේ අලාභය අදාළ සමාගම්වලින් ලබා ගත යුතු ම යි

ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් නිර්මාණය වන පිරිවැය සහ අලාභය සැපයුම්කරුවන්ගෙන් සහ පරීක්ෂණ සමාගම්වලින් ලබා ගැනීමේ බලය විදුලි බල පනත හරහා මහජන උපයෝගීතා කොමිසම ට තිබෙනවා. එසේම විදුලි බල මණ්ඩලය දැන් පවතින ආයතනයේ මූල්‍ය ස්ථායිතාව ඇති කිරීමට මහා භාණ්ඩාගාරය මැදිහත්විය යුතු යි. නැප්තා සහ ෆර්නස් ඔයිල් මිලදී ගැනීමේ දී විනිවිදභාවයක් නොමැති නිසා විදුලි බල මණ්ඩලය අදාළ ආයතන යොමු කරන මුදල සම්බන්ධයෙන් විදිවිදභාවයක් නැහැ. වැඩි මුදලක් අය කරන බවට චෝදනා එල්ල වන නිසා මේ මිල දී ගැනීමේ දී විනිවිදභාවයෙන් යුක්ත වැඩපිළිවෙළකට යොමු විය යුතුයි. 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයාට මෙය සෘජුවම බලපානවා.

භාණ්ඩාගාරය මුදල් නොදුන්නොත්...?

යෝජනා කර ඇති විදුලි බල ප්‍රතිපත්තිය පොඩි මිනිසාට හානිදායක ලෙසත් ඇති හැකි අයට වාසිදායක ලෙසත් නිර්මාණය කර තිබෙනවා. ස්ථාවර ගාස්තු වැඩි කිරීම ඇතුළු ගැටලු රැසක් පවතිනවා. මේ නිසා සමාජයේ සාමාන්‍ය ජනතාවට, ආගමික සිද්ධස්ථාන, හෝටල් ආදියට ද හානිදායක යි. මේ ටැරිෆ් ක්‍රමය ක්‍රියාත්මක කරනවා නම් දරාගත හැකි පිරිවැයක් ජනතාව ලබා දීම සහ සමානාත්මතාව අනුගමනය කළ යුතු යි. මෑතක සිදුවූ ප්‍රතිසංස්කරණ හරහා: ජනනය, පද්ධති පාලනය, බෙදාහැරීම හා සම්ප්‍රේෂණය වෙනස් කර තිබෙනවා. මේවායේ මූල්‍ය ස්ථාවරත්වය පදනම්ව ඇත්තේ භාණ්ඩාගාරය සතුව යි. භාණ්ඩාගාරය මුදල් නොදුන්නොත් ඒවා කඩා වැටෙනවා. අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි යි. ස්වාධින ක්‍රමවේද මත එය තහවුරු කළ හැකි යි. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්නට සටන් පාඨ ප්‍රකාශන පමණක් නොවන මහපොළොවේ සත්‍යක් යථාර්ථයක් බව පත් කළ යුතු යි. මේ සදහා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සිදු කරන ලෙස යෝජනා කරනවා.

ඉදිරියේ දී සිදුවන විදුලි කප්පාදු ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි

අද වන විට ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු භාවිත කරනවා. මෙසේ ගෙන්වන ගල් අගුරු වර්ගය දැන ගැනීමට අවශ්‍ය යි. ගල් අඟුරු ගොඩ බෑවයින් පසු මේවා ප්‍රතික්ෂේප වන නිසා එවා නැවත යවන එක ගැන අවධානය යොමු කළ යුතු යි. විදුලිය උත්පාදනය කිරීමේ පිරිවැය ගැන සැලසුම් ඉදිරිපත් කර ඇති මුත් එය ක්‍රියාත්මක කළ හැකි ද කියා ප්‍රශ්නයක් තිබෙනවා. පිරිවැය අඩු කිරීමේ සැලසුමේ LNG භාවිතය ගැන කිව්වත් ඒවා කොළයකට පමණක් සීමා වෙලා. LNG මිල දී ගන්න නොහැකි වුවහොත් පාරිභෝගිකයාට කොපමණ අමතර පිරිවැයක් දරන්න වෙනවා ද කියා ප්‍රශ්න කරනවා.

ඉන්ධන බලාගාරවලට වඩා සූර්ය බලශක්තිය ලාභයි

ඉදිරියේ දී නිරන්තර විදුලි උත්පාදන වැඩපිළිවෙළට බාධාවක් පැමිණෙනවාද කියා මීට වඩා අවධානයෙන් යුක්තව කටයුතු කළ යුතු යි. පිරිවැය අඩු කරනවා යැයි කිව්වත් මේවා මහපොළොවේ යථාර්ථයක් වන්නේ කෙසේද කියා ඉදිරිපත් කළ යුතු යි. පාරිභෝගිකයා වෙනුවෙන් මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතු යි. තෙල් බාලාගාරවලින් විදුලි ඒකකයක් රු. 59ක් වන විට සූර්ය බලාගාරවලින් බැටරියත් සමගම ඒකකයක් රු. 45.80ක් නම් මේ ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් තිබෙනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න