ආණ්ඩු කොහොමත් අභියෝගවලට මුහුණ දිය යුතු බවත්, මේ ආණ්ඩුව පළමුවෙන් ම මුහුණ දුන්අභියෝගය දිට්වා කුණාටුව බවත්, තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා යැයි පොරොන්දු වෙමින් ඇරඹූ ඒ කතන්දරය අදවන විට කෙතරම් විහිළුවක් බවට පත්වී තිබේ දැයි එජාප නියෝජ්‍ය මහ ලේකම් හරින් ප්‍රනාන්දු විමසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (18) පැවැති මෙම මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු...
ඒ කාලෙ හිටියෙ වහල්ලු; දැන් ඉන්නේ අමු ගොං මී පට්ටියක්
''ජනාධිපති රටට අත්වෙලා තිබෙන ඉරණම පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එතුමා විසින් බලය ගන්නට පෙර කියූ කතා මෙන්ම බලය ගත් පසු කියූ කතා බලන විට දෛවයේ සරදම හොඳටම පේන්න තියෙනවා.
ආර්ථිකයේ කඩා වැටීමක් වෙනවා නම් ඊට එතුමා වගකිවයුතු නැති බවත් වගකිව යුත්තේ ලෝක යුද්ධය බවත් ජනාධිපති දිගින් දිගටම කියනවා. ලංකාවේ ඒ කාලේ වහල්ලු කියල සෙට් එකක් හිටියා. දැන් ඉන්නේ අමු ගොං මී පට්ටියක්. ඕනම දෙයක් විශ්වාස කරන තීක්ෂණ බුද්ධියක් නැති පිරිසක් ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැති බව අප මුල සිටම පැවසුවා.මේ ආණ්ඩුව හොරකම් කරලා නැතිලු. හොරකම් කරලා නැත්තේ වැඩ කරලා නැති නිසා. මොවුන් යම්කිසි දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ කරපු පළවෙනි ම දේ නාලා තියෙනවා. ආණ්ඩු කොහොමත් අභියෝග වලට මුහුණ දෙන්න ඕන තමයි. ආණ්ඩුවට ඉස්සෙල්ල ම ආපු අභියෝගය දිට්වා කුණාටුවයි. තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා ආරම්භ කරපු ඒ කතන්දරේ අද මොන තරම් විහිළුවක් බවට පත්වෙලා තියෙනවද?
කජු කන සීයා ගියේ රටට ඩොලර් බිලියන හයක් ඉතුරු කරලා
මුලින්ම නැව් පෝලිමට තියනවා කිව්වා. දැන් අහවල් දවසේ නැවක් එනවා වගේ කතා කියනවා.ගෑස් ගෙන්වා ගැනීමේ දි නාගන්නවා. කිව්.ආර් කෝඩ් එකේ දී නාගන්නවා. තෙල් ඇතිවෙන්න තියෙනවා නම් කිව්.ආර් කෝඩ් එකට දෙනවා නම් පෝලිම් තියෙන්නේ කොහොම ද? අපි කිව්.ආර් කෝඩ් ගෙනත් තෙල් පෝලිම් ඉවත් කර ගත්තා. එදා මිනිස්සු හරි වෙලාවට තෙල් ගහ ගත්තා. ලංකාවට වැඩිපුරම ආදායම් එන මාර්ගය වන්නේ විදේශ ප්‍රේෂණයි. විදේශ ප්‍රේෂණවලින් සියයට 45ක් එන්නේ අරාබිකරයෙන්. එහි රැකියා විශාල වශයෙන් කප්පාදුවක් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ අපේ විදේශ ප්‍රේෂණ නැති වෙනවා. අපි යනකොට කජු කන සීයා ඩොලර් බිලියන හයක් රටට ඉතුරු කරලා ගියේ. 2026 ජනවාරි මාසෙ වෙන විට ඒ මුදල ඩොලර් බිලියන 6.8ක් බවට පත්වී තිබුණා. හැබැයි මේ මුදල් අයි.එම්.එෆ් නීති අනුව තෙල් ගේන්න පාවිච්චි කරන්න බැහැ. ඒ වගේම වැඩිම සංචාරක පිරිසක් ලංකාවට එන්නේ ඩුබායි හරහා. අද සංචාරකයන් රටට එන සංධිස්ථාන වැසී ගොස් තිබෙනවා. ඒකට මුහුණ දෙන්න ආණ්ඩුවේ තියෙන වැඩ සැලැස්ම මොකක්ද? මේ ආර්ථිකය ගොඩ ගන්න කිසිම වැඩ පිළිවෙලක් ආණ්ඩුවට නෑ. ඉදිරියේදී අප ලංකාවට විශාල අභියෝගයක් දකිනවා.
ගෙනා පළමු ගල් අඟුරු ටෙන්ඩරයෙන් ම හොරකම් කළා
යුද කලාප හරහා යන ආනයන අපනයන නෞකාවලට දැන් අමතර මුදලක් ගෙවන්නට සිදුවෙනවා. ලංකාවේ තේවලින් වැඩිම ප්‍රමාණයක් යන්නේ ඉරානයට, රුසියාවට සහ මැද පෙරදිගට. ඒ වගේම ඇඟලුම් අපනයනයටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම ආනයන වියදම් වැඩිවීම නිසා ලංකාවේ බඩු මිල වැඩි වීමට නියමිතයි. මේ තත්ත්වය නොකියා ජනාධිපතිතුමා සුන්දර ලෙස කතා ගොතා වැඩක් නෑ. ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා. මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා. ඒක අපි කිව්වා කියලා හොඳට මතක තියාගන්න. ගෙනාපු පළමු ගල් අඟුරු ටෙන්ඩරයෙන්ම හොරකම් කළා.ඒ හොරකම දන්නේ නෑ කියලා ජනපති කියන්නේ කොහොමද? බිලියන දෙකක් වියදම් කරලා ගෙනාපු වාහන ටික දැන් විකුණගන්න බැරුව ඉන්නවා. දැන් රුපියල අව ප්‍රමාණය වෙමින් පවතිනවා. ජනප්‍රිය තීන්දුවලට කවදාවත් රටක් හදන්න බෑ. රනිල්ට මිනිස්සු බැන්නේ රනිල් කවදාවත් එවැනි තීන්දු නොගත් නිසයි. අද රනිල් හිටියා නම් මොකක්ද වෙන වෙනස කියලා අහන අයට දෙන්නේ එක උත්තරයයි. බ්‍රික්ස් සංවිධානයට සම්බන්ධ වෙන්න රනිල් පිඹුරු පත් හැදුවෙ මේ තත්ත්ව දුටු නිසයි. එවිට යූ.එස් ඩොලර්වලින් ගනුදෙනු කළ යුතු නැහැ. නමුත් අපේ ආණ්ඩුවට ගෙදර යන්න වුණා. දැන් වැඩ බැරි ටාසන්ලා වැඩ්ඩො කරපු මිනිස්සුන්ට ඉල්ලං කන්න වෙලා. පෝලිම්වල ඉද්දි ලෝක යුද්ධ කතා කියන්නේ නැතුව ඔළුවට හොඳ ටොක්කක් ඇන ගන්න. කරපු වරදට. මෙහෙම පීචං වෙච්ච, චාටර් වෙච්ච ආණ්ඩුවක් අපි දැකලා නෑ.''

