විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී රැස් වුණි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් 2025 ඔක්තෝබර් 30වන දින ආරම්භ කෙරුණු මෙම වැඩසටහනේ මේ දක්වා ප්‍රගතිය මෙහි දී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි. එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ අපරාධ මැඬලීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ, රජය පිළිබඳව ජනතා විශ්වාසය තහවුරු වීමේ ප්‍රමුඛ කරුණක් වී ඇති බවද මෙහි දී ප්‍රකාශ විය.

මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණය විශාල වශයෙන් වර්ධනය වී ඇති බව මෙහි දී අදාළ අංශ විසින් සංඛ්‍යා දත්ත මාර්ගයෙන් පෙන්වා දෙන ලදී. මෙම අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අදාළව විනිවිදභාවයෙන් යුත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

එහිදී මතු වන ප්‍රමාද වළක්වා ගැනීම සඳහා ඊට අදාළ නීති සංශෝධනය කිරීමට පත් කර ඇති කමිටුව සමඟ සාකච්ඡා කර එම නීති සම්පාදන කටයුතු කඩිනම් කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශක්තිමත් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනා කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කෙරුණු අතර, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, පාසල් මට්ටමෙන් මෙන්ම රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන් සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවද සොයා බැලීම සිදු කෙරිණි. විශේෂයෙන්, පාසල් අවට සිදු කෙරෙන වැටලීම් සහ මත්ද්‍රව්‍ය භාවිතය ආශ්‍රිත නව ප්‍රවණතා පිළිබඳ මෙහි දී අවධානයට යොමු විය.

පුනරුත්ථාපන පනත සංශෝධනය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඒ සඳහා වූ යෝජනා හැකි ඉක්මනින් ලබා ගෙන අවසන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩපිළිවෙළ වෙනුවෙන් ම වෙන් වූ ආගමික වැඩසටහන් ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමේ හැකියාවත්, අත්අඩංගුවට ගැනීම මෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලිය ආදී තොරතුරු පිළිබඳ මාධ්‍ය අවධානය යොමු විය යුතු බව ද මෙහිදී සාකච්ඡා විය.

රට තුළ විවිධ සමාජ සහ ආර්ථික වශයෙන් අභියෝගකාරී තත්ත්ව උද්ගත වුව ද, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොවිය යුතු බව මෙහි දී අවධාරණය කරමින්, ඒ වෙනුවෙන් අඛණ්ඩව කැප වන ලෙස ද ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කළේ ය.

විෂ මත්ද් රව් ය 01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න