පුවත්

ලාංකිකයින් 57 ගේ ඉරණම දියාගෝ ගාෂියාවේ හිරවෙලා !
දියාගෝ ගාෂියානි දූපතේ කඳවුරක වසර එකහමාරක් තිස්සේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු තමන් මුදා හරින ලෙස ඉල්ලා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂණයක නියැළී සිටින බව වාර්තා වෙයි .
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ඒකාබද්ධ කඳවුරක ස්ථාපිත කූඩාරමක මෙම 57 දෙනා ම රඳවා සිටින අතර ඔවුන්ට කූඩාරමෙන් පිටතට නොයන ලෙස ද තර්ජනය කර ඇත.
ඒ හේතුවෙන් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සියදිවි හානි කර ගන්නට උත්සහ දරා ඇති අතර එලෙස උත්සහ කළ 5 දෙනෙකු රුවන්ඩාවට රැගෙන ගොස් ඇති බව ද සඳහන් ය.
උද්ඝෝෂණයේ නියැළෙන පිරිසගෙන් දස දෙනෙකු පමණක් ක්ලාන්ත තත්ත්වයකට පත්වූ බව ත් කඳවුරේ කිසිවෙකු ඒ ගැන සොයා නොබලන බවත් කඳවුරේ රැඳවූවන් විදෙස් මාධ්‍යයකට පවසා තිබේ.
මොවුන් මෙසේ දූපතේ හිර වී ඇත්තේ, මන්නාරම පේසාලේ සිට හොර රහසේ යාත්‍රාවකින් කැනඩාව බලා ගමන් කරද්දී ය. දින දහයකට පසු අතරමගදී යාත්‍රාව අනතුරකට පත්ව ඇති අතර පසුව ඊට ආසන්නව ඇති දියාගෝ ගාෂියානි දූපතට මොවුන් සේන්දු වී තිබේ.
පසුව එහි ස්ථාපිත බ්‍රිතාන්‍ය- අමෙරිකා කඳවුරේ නිලධාරීන් යාත්‍රාව අලුත්වැඩියා කිරීමෙන් පසු මොවුන් මුදා හරින ලෙස දැනුම් දී තිබුණ ද දැනට මාස 8ක කාලයක් තිස්සේ මෙම ශ්‍රී ලාංකිකයන් කූඩාරමේ රඳවා සිටින බව කියයි.
කෙසේ වෙතත් වරින් වර සිය ඥාතීන් දුරකතන මාර්ග ඔස්සේ ඇමතීමට මොවුන්ට ඉඩකඩ ලබා දී තිබූ අතර තමන් මෙම කඳවුරේ රඳවා සිටින බවට ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා ද එම අවස්ථාවකදී බවත් සඳහන් ය.
කෙසේ වෙතත් පසුගිය 19 වන දා සිට කූඩාරම තුළ උද්ඝෝෂණ පවත්වමින් ආහාර ප්‍රතික්ෂේප කරමින් කාලය ගත කරන මොවුහු තමන් මුදා හරින ලෙස හෝ සාමාන්‍ය ජනතාව සිටින ප්‍රදේශයකට යවන ලෙස ඉල්ලා ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවට කිලෝමීටර 2,500ක් පමණ දකුණෙන් මෙම කඳවුර පිහිටා තිබේ. මොවුන් මුදා ගැනීමට බ්‍රිතාන්‍ය රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර, අදාළ පිරිස මුදා ගැනීමට අවශ්‍ය මූල්‍ය හා නෛතික ආධාර සපයා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් ද වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මැතිවරණයක් ගැන මහින්දගෙන් ඉඟියක් !
මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පොහොට්ටුවෙන් වෙන්වී සිටින පිරිස් ද නිසි වෙලාවේ දී නැවතත් එක් වනු ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ අදහස් දැක්වීය.

විදෙස් සමාගම් 03කට සිපෙට්කෝ ඉන්ධනහල් 450ක්
විදෙස් සමාගම් 03ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.
ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.
මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවේ.
ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමි වේ.

ලයිකා බැල්ල මුලින්ම අභ්‍යාවකාශයට යැවූ හේතුව ජවිපෙ සුනිල් හෙළිකරයි !
අභ්‍යවකාශයට මුල්ම වතාවට ‘ලයිකා’ නම් බැල්ලිය යවන ලද්දේ කාන්තාවන්ට දරාගැනීමේ ශක්තිය ඉහළින්ම ඇති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
අභ්‍යවකාශයට යවන පළමු කාන්තාව ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා තෝරා ගත්තේද ඒ නිසා බවත් ඔහු පවසයි.
පිරිමින්ට වඩා කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව ඇති බව ජීව විද්‍යාත්මකව ද තහවුරු වී ඇතැයි සඳහන් කල හිටපු ජවිපෙ මන්ත්‍රීවරයා කාන්තාවන්ට ඇති මෙම සුවිශේෂී දරාගැනීමේ හැකියාව රටක් සංවර්ධනය සඳහා යොදාගත යුතු මිස අසමාන සැලකිල්ලට ලක්විය යුතු නැති බවද කියා සිටියි.
කාන්තාවන්ට නිසි තැන ලබා දුන් පසු එම සමාජය දියුණු වීම වැළැක්වීම කිසි ලෙසකින් නැවැත්විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කෙරේ
බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය
ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන අය විසින් මෙම තීන්දුව ලබා දී තිබෙයි.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල්
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
මෙවර මහ කන්නයේ දී රජය වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි.එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන් කළ අතර වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහල් ලබා දීමට නියමිතය.
ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කළේය. පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය දීමට සැලසුම් කර තිබුනත් පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ දෙන සහල් ඉල්ලා තිබෙි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් පසුගිය කාලයේ සිදු වුනත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටීම සුළුපටු දෙයක් නොවේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් ලබා දීම හෙට (27) අගුණකොළපැලැස්ස හා වීරකැටියේ දී සිදු කෙරේ.

පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08 කට ලක්ෂ 55ක දඩයක්
උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කර තිබේ.
ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය එම ආයතනවලට එරෙහිව අලුත්කඩේ හා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලදී ගොනු කළ නඩුවල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පනවා ඇති උපරිම මිල රුපියල් 1200කි.
එහෙත් එම පරීක්ෂණය සඳහා මෙම ආයතන රුපියල් 3000 ආසන්න වනතෙක් විවිධ ගණනින් මුදල් අයකර ඇති බව අධිකාරීය අධිකරණයට පැවසුවේ ය.
එම ආයතන පූර්ණ රුධිර ගණන පරීක්ෂණයට පනවා තිබූ උපරිම මිළ වන රුපියල් 400 ඉක්මවා රුපියල් 1000කට ආසන්න වන තෙක් මුදල් අයකර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
මේ අතර, උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සිදු කළ තවත් ආයතන 10ක් සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණයට කරුණු ගොනු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය.

අවුරුදු මාසේ රාජ්‍ය සේවක වැටුප් ගැන ආණ්ඩුවේ තීරණය මෙන්න !
අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන එම ගෙවීම් නියමිත පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරවනවද ? සාගලගේ උත්තරේ මෙන්න !
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.
2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක නිරත වීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු කිසිවක් වෙනස් වි නොමැති අතර ඉදිරියට ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළේය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාව අගය කරමින් මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැති ඇගයීම් උළෙලට එක් වෙමිනි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මාතෘ භූමියට ඉටු කළ සේවාව ඇගයීමට ලක් කෙරිණි.
සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරත වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජිත් ළමාහේවගේ (විශ්‍රාමික) මහතා විසින් මෙම සංචාරය සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත සහ සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.
අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බලමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට ද එක් වූහ.
https://www.newstube.lk/news?mdrv=www.newstube.lk&start=3780#sigProIdef52f0ae20

අගමැතිගෙන් මැතිවරණ කොමිසමට කැඳවීමක් !
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිත ආකාරයෙන් කටයුතු කිරීම ගැන එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි .
අගමැති මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
මැතිවරණ කොමිසම අවසානයක් නැති ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙනවා. භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කළා. අපි ඒ අනුව ක්‍රියා ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නැහැ. අධිකරණයට ගියේ අපි නොවේ. මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයත් අවසානයක් නැති ප්‍රකාශයක්. මා අමාත්‍යවරයා විදිහට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා.
කොමිසම අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන සාකච්ඡා කරනවා. කොමිසමට බලපෑමක් කරනවා කියලා සමහරු මේ සභාවේ කිව්වා.කොමිසමේ අය ඒවිද දන්නෙ නැහැ. කොහොම නමුත් මම කැඳවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ආයතන නිල කාලය නීතිය අනුව 19 වැනිදා අවසන් වුණා. ඒ සභාවලින් ජනතාවට අවශ්‍ය සේවාව කරගෙන යනවා.
අධිකරණයට ගිහින් ප්‍රශ්න විසඳගන්න හැදුවේ ඔබතුමාලා. අධිකරණයට ගරු කරනවා. භාණ්ඩාගාරය විදිහට අපි පුළුවන් විදියට අධිකරණයට උත්තර බැඳලා තියනවා.

අපේ කොන්දේසි වලට ණය දීපන් : මාලිමාව IMF යන හැටි සමන්ත කියයි !
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි .
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.
මුල්‍ය අරමුදල විසින් රටට අහිතකර කොන්දෙසි පනවන්නේ නම් ඊට එකඟ නැති බවත් පවසන ඔහු එම තත්වයන් යටතේ ණය දිය හැකි නම් ලබා දෙන ලෙසත් නැතිනම් එපා කියන බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට තම දරුවන්ගේ අනාගතය දණ ගැස්වීමට සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
හිටපු ජවිපෙ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ය.
මෙරට ඩොලර් හිගතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාලකයන්ගේ මිත්‍රයන් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තමන්ගේ ඩොලර් විදේශ රට වල සඟවා ගැනීම බව ද ඔහු එහිදී පැවසීය .
එම ධනස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වා ගත් පසුව මෙරට ඩොලර් හිගය යම් ප්‍රමාණයකට හෝ සමනය වනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා පැවසීය .

රටම අඩපණ කරනවා : GMOA රජයට තර්ජනය කරයි !
එළැඹෙන සතියේදී ලක්ෂ ගණනක වෘතිකයන් සමඟ මහ පාරට පැමිණ විරෝධතා සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .
අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයකට යාමට සිදුවන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ සඳහන් කරයි.
රජය විසින් පනවා ඇති ආදායම් බද්දට විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදුනහොත් මෙම පියවරයන් සඳහා එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි .
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිදු කළ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

මාලිමාවට හමුදා ජන්ද හදන්න ගිය විශ්‍රාමික එයාර් වයිස් මාෂල්ට වාරණයක් !
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නමැති නිලධාරියා දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද පොලඹවන ආකාරයට විවිධ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ නිලධාරියා ගුවන් හමුදා පරිශ්‍රයන්ට ඇතුළු වීම වැළැක්වීමට ගුවන් හමුදාව පියවර ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම අදාළ විශ්‍රාමික නිලධාරියාට ගුවන් හමුදා කඳවුරක් වෙත ඇතුළු වීම සඳහා පවතින වරප්‍රසාදය අත්හිටුවීමට තීරණය කිරීම රාජ්‍ය ආරක්ෂාව සහ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව ආරක්ෂා කිරීම සඳහා ගත් තීරණයක් වන අතර, ඒ තීරණය ගුවන් හමුදා අභ්‍යන්තර ස්ථාවර කමිටුවක් මඟින් ගන්නා ලද තීරණයක් බවද ඇමැතිවරයා අවධාරණය කළේය. එම තීරණය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගෙන් කරුණු විමසීමක් හෝ හේතු දැක්වීම සඳහා නෛතික බැඳීමක් ගුවන් හමුදාව වෙත නැති බවද ඇමැතිවරයා කීය.
රාජ්‍ය ආරක්ෂාවට සහ රාජ්‍ය නායකයන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාවට හානිදායක කටයුතු විෂයයෙහි සක්‍රීය සේවයේ යෙදී සිටින පුද්ගලයන් තුළ පෙලඹවීක් ඇති වීම වැළැක්වීමත් මෙම විශ්‍රාමික නිලධාරියා කිසිඳු කඳවුරකට හෝ ආයතනයක් වෙත ඇතුළු වීම අත්හිටුවීම හේතු සාධක වූ තවත් කරුණක් බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
සක්‍රීය සේවයේ යෙදී සිටින සාමාජිකයන්ට දැඩි බලපෑමක් කළ හැකි තත්ත්වයක සිටින මේ හිටපු ජ්‍යේෂ්ඨ නිලධාරියා විසින් සක්‍රීය සේවයේ යෙදී සිටින සාමාජිකයන්ද එම නිලධාරියාගේ පෞද්ගලික දේශපාලන මතවාද සමඟ එකතු වන බවට කරන ලද ප්‍රකාශය මඟින් සක්‍රීය සේවයෙහි යෙදී සිටින තැනැත්තන් තුළ රාජ්‍ය විරෝධයක්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සිදුකිරීමක් විෂයෙහි යම් පෙලඹවීමක් ඇති විය හැකි බවද රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය.
ත්‍රිවිධ හමුදාව කිසිවිටෙකත් දේශපාලනයට ගාවා නොගන්නා ලෙස සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා විශ්‍රාමික හමුදා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට දේශපාලන කටයුතුවල නිරත වන බවද පැවසීය. වගකීමෙන් යුතුව තම දේශපාලන කටයුතු නිරත වන ලෙස එවැනි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 27/2 යටතේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරින් කිහිප දෙනකු සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම බවයි.

මැනිං වෙළෙඳපොළේ එළවළු මිල පහළට
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍ර ලෙස පහළ බැස තිබේ.
මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස් සඳහන් කළේ අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බවය.
ඔහු පැවුසවේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවය.
සාමාන්‍යයෙන් සිල්ලර වෙළෙඳාම සඳහා දෛනිකව එළවළු කිලෝ 50 ක් මිල දී ගත් වෙළෙන්දෙකු මේ වන විට කිලෝ 10ක් පමණක් මිදී ගැනීමට යොමු වී ඇති බවද ඒ පවසයි.
මීට පෙර උත්සව මාසවල එළවළු මිල ඉහළ ගියද මෙම අර්ථික අපහසුතා හේතුවෙන් මිල දී ගැනීම් අවම වී ඇති බැවින් එළවළුවල මිල පහළ යා හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

IMF කොටසකින් ඉන්දියාවේ ණය වාරික ගෙවයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔහු පවසන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර් මිලියන 121ක ණය වාරිකය ගෙවීමට පියවර ගත් බවය.
මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක මුදල, මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට බැරවී තිබූ අතර ඉන් කොටසක් මෙලෙස ඉන්දීය ණය වාරිකය සඳහා ගෙවූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල රටේ මූල්‍ය ස්ථායීකරණය සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලංකන් - ටෙලිකොම් ඇතුළු ආයතන 7 ක රජයේ කොටස් විකුණන්න යයි !
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ, පසුගිය මාර්තු 13 වැනිදා ගත් කැබිනට් තීරණයට අනුව එම පියවර ගෙන ඇති බවයි.
කැබිනට් තීරණයට අනුව රජයේ කොටස් විකිණීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර ලැයිස්තුව වන්නේ,
(1) ශ්‍රීලංකන් ගුවන් සමාගම හා ඇතුළු ශ්‍රී ලංකන් කේටරින් සමාගම
(2) ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
(3) සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
(4) කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ - ෆ්‍රැන්ඩ් හයට් )
(5) හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
(6) සී/ස ලිට්‍රෝ ගැස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
(7) ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී. යන ආයතනවල කොටස් අයිතිය එලෙස පැවරීමට තීරණය කර ඇති බවයි.
එම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවා සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීමට පළපුරුදු උපදේශන හෝ සංවර්ධන මූල්‍ය ආයතන පත්කර ගැනීමට නියමිතයි.
එම උපදේශකවරුන් විසින් විකුණුම් පාර්ශ්වය වෙනුවෙන් නිසි ඇගයීම් හා විමර්ශන කටයුතු තක්සේරු කිරීම හා ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගනුදෙනු උපක්‍රම හා අලෙවිකරණ උපක්‍රම සකස් කිරීම මඟින් එම ව්‍යපාර බැහැර කිරීමට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.
ඒ අනුව ඉදිරියේදී මෙම රාජ්‍ය ව්‍යාපාරවල රජයේ කොටස් අලෙවි කිරීමට අදාළව කැමැත්ත පලකිරීමේ නිවේදනය හා යෝජනා කැදවීමේ නිවේදන ක්‍රියාවළිය සඳහා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට නියමිතයි.

අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහළට
ලංකා සතොස අද (24) සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහත හෙළා තිබේ.
මේ යටතේ වියලි මිරිස්, සුදු ළුෑණු ,හාල්මැස්සන්, කඩල, සම්බා සහල් මිල පහත වැටෙනු ඇති
ලංකා සතොස නිවේදනය නිකුත් කරමින් දක්වා ඇත්තේ, මෙම මිල පහත හෙලීම හේතුවෙන් ටින් මාලු, ලොකු ළූණු, අර්තාපල්, සුදු සීනී, හා වටානා පරිප්පු මිල ගණනන් ද පහළ යන බවයි.

රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වී තිබෙයි.
වසර 45 ක් පමණ තිස්සේ රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති ජයතිලක හේරත් ප්‍රවීණ රංගන ශිල්පියා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.
කෝපි කඩේ ටෙලිනාට්‍ය යේ ආරම්භක අවධියේ සිට සම්බන්ධවූ රංගන ශිල්පියෙකු වූ ඔහු මිරිඟුවෙන් එහා ටෙලි නාට්‍යයෙහි සිදු කළ ‘කට්ටඩි‘ චරිතය නිසා වඩාත් ප්‍රකට විය. පසුව ඔහුව බොහෝ අවස්ථාවල කට්ටඩියන් ගුරුකම් කරන්නන් කපු මහත්වරු වැනි චරිත සඳහා තෝරා ගෙන තිබුණි.
වේදිකා නාට්‍ය සහ චිත්‍රපටවලටද සම්බන්ධ විය. ලොකු දුව, සංගිලි, සුබා ඔහු රඟපෑ චිත්‍රපට අතර තිබේ.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පි ජයතිලක හේරත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු දෙන බව පවුලේ ඥාතීන් පවසයි
Page 211 of 464