ආසියාවේ සමගියට බාධා වන කිසිවකට ලංකාවේ අනුබලයක් නෑ - ජනපති

ආසියාවේ සමගියට බාධා වන කිසිවකට ලංකාවේ අනුබලයක් නෑ - ජනපති

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (10) පස්වරුවේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

නොබැඳි ප්‍රතිපත්තිය, පංචසීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකියි. එම පොදු කරුණු අදටත් වලංගු වෙනවා. මෙම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසියාවේ සමගිය සම්බන්ධයෙන් පෙන්වාදිය හැකි හොඳ උදාහරණයක් බව කිවයුතුයි.

මෙය අපට ලැබුණේ ත්‍යාගයක් ලෙසයි. ආසියාවේ පවතින සමගිය අප මෙලෙසින්ම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් මම කියන්න කැමතියි. ලෝක බල අරගලයේ දී අසමගියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණක් බවත් මෙහිදී සිහිපත් කළයුතුයි.

ලෝක බලවතුන් වීමේ අභිලාෂයෙන් ඇතැම් කණ්ඩායම් පැසිෆික් සාගරයේ රටවල් අතර සමගිය යටපත් කරමින් යුදමය තත්ත්වයකට ඇද දමා තිබෙනවා. එය ඉන්දියානු සාගරයට පැමිණීම වැළැක්වීමට අප එක්ව කටයුතු කළ යුතුයි. එමෙන්ම ආසියාවේ සමගිය බිඳ හෙලීමට කිසිදු අයුරකින් ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ද මම අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවේ හමුදාව අප්‍රිකානු කලාපයේ සහ වෙනත් රටවල රාජකාරියේ යොදවා තිබෙනවා. එම රටවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙන්ම මුහුදු මංකොල්ල කරුවන්ගෙන් එම රටවල් මුදවා ගැනීමට අපේ හමුදාව පුළුල් දායකත්වය සපයනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැංහොන්ග් Qi Zhenhong, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ සුනිල් දිසානායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230511 WA0009

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න