හණමිටි ඉඩම් අණ පනත් සංශෝධනයට : ජනපතිගෙන් නියෝගයක් !

හණමිටි ඉඩම් අණ පනත් සංශෝධනයට : ජනපතිගෙන් නියෝගයක් !

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

තවමත් රට තුළ ක්‍රියාත්මක වන්නේ යටත්විජිත සමයේ ගෙනෙන ලද ඉඩම් ප්‍රතිපත්ති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉඩම් පරිහරණය සම්බන්ධව විවිධ අවස්ථාවලදී ගෙන එන ලද අණ පනත් කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට නොගැලපෙන බව ද කියා සිටියේය.

සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබා දීමේදී දැනට පවතින බාධාවන් ඉවත් කර, නව ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඉඩම් කොමිෂන් සභාවක් හරහා පළාත් සභා යටතේ පවතින ඉඩම්වල ගැටලු නිරාකරණය කර ගන්නා ලෙසත්, ග්‍රාමසේවා වසම් මට්ටමින් පවතින ඉඩම්වල හිමිකරුවන්ගේ විස්තර සහ එම ඉඩම් වලින් දැනට ප්‍රයෝජනයට ගෙන ඇති ඉඩම් ප්‍රමාණය සහ ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය හඳුනා ගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාවක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

රජයේ අවශ්‍යතාවයන් සඳහා පවරාගෙන ඇති නමුත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති ඉඩම් නැවත ජනතාව අතර බෙදාදීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී රජයේ කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ ඉඩම්වල වෙළෙඳපොළ වටිනාකම ගෙවා අත්පත් කර ගැනීම් සිදු කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යයන්වල පවතින ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක , සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.බී.පී.හේරත්, වන සම්පත් හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙන්ම දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූහ.

IMG 20230511 WA0003

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න