V2025

පුවත්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර  මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර  සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

රිමාන්ඩ් ගත කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන විත් ඇත.

නන්දා මාලනියගේ නමින් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක් නම් කෙරේ

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය නන්දා මාලිනී මැදිරිය ලෙස නම් කිරීම ද, ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යන අය ද, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ රැසක් ද සහභාගී වූහ.

25 large

රනිල්ට එරෙහි නඩු කටයුතු පැය භාගයකට කල්යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඉදිරියේ සලකා බැලුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

තැපැල්පතිගෙන් තැපෑලට රතු එළියක්

වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රුවන් සත්කුමාර  පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ නිවාඩුද අවලංගු කර ඇති පසුබිමකයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර  සදහන් කළේ, ගැටලුවට විසදුම් දෙන තෙක් වැඩ වර්ජනය අත්නොහරින බවයි.

අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු යෙදීම ඇතුලු ඉල්ලීම් 19ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.

දේශබන්දු රිමාන්ඩ්...

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළේය.

ගාලුමුවදොර ජන අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින ඔහු මිරිහාන නිවසේදී අත්අඩංගුවට ගැනුණේ, ඊයේ (20) පස්වරුවේයී.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසිනි.

දේශබන්දු තෙන්නකෝන්  අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළ ද, එය ප්‍රතික්ෂේප විය.

රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමට සතියක්

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

“සෙයිරි සතිය” නමින් ප්‍රකාශයට පත් කර ඇති එම වැඩපිළිවෙල සැප්තැම්බර් මස 01වැනිදා සිට 04 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදුකිරීමට සුදුසු පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත අනතුරුදායක නොවන වටපිටාවක් නිර්මාණය කරදීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලෙක්ම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර ඇති බව සඳහන්ය.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරිමට නියමිත අතර අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගැනීම හා අනවශ්‍ය දේ බැහැර කිරීම මෙහිදි සිදුකිරීමට නියමිත අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

හිටපු ඇමති රාජිතට නොතීසි..

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ට ලබන 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා, අද (20) නොතීසි නිකුත් කළේ ය.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

අල්ලස් කොමිසම විසින් මෝසමක් ගොනු කරමින් කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව සැකකාර හිටපු අමාත්‍යවරයාට නොතීසි නිකුත් කළේ ය.

ලුණු මිල අඩු කරයි

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබේ.

එම සංස්ථාවේ සභාපතිවරයා අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 20කින් මිල පහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30කින් පහළ දමා තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 100ක මිලකට ද කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 200 මිලකට සහ කිලෝග්‍රෑම් 1 කැට ලුණු පැකට්ටුවක් රුපියල් 150ක වැනි මිලකට ලබන සතියේ සිට අලෙවි වනු ඇත.

මේ අතර සතොසෙන් සංස්ථා ලුණු කුඩු ග්‍රෑම් 400 පැකට්ටුවක් රු 90ක වැනි මිලකට ලබාගත හැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

හම්බන්තොට මහලේවායේ, බුන්දල ලේවායේ සහ පලටුපාන ලේවායේ ලුණු අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති බැවින් ජනාතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙලෙස මිල ගණන් පහළ දැමූ බව ද සභාපතිවරයා පැවසීය.

තෙන්නකෝන් CID අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු ‍ තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව, ඔහු සැකකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් කිරීමට අදාළවයි.

මෙම චෝදනාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඇයදුම්පතක් ගොනු තිබු අතර, අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය.

තමන්ගේ වගකීම ගැන සිතා සේවයට වාර්තා කරන්න – තැපැල්පති

තමන්ගේ වගකීම ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ලංකා තැපැල් සේවක සංගමය වර්ජනය අසාර්ථක බව පවසන අතර 80%කට වැඩි පිරිසක් සේවයට වාර්තා කර ඇති බව ද ඔවුන් පවසයි.

ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් ආරම්භ කළ තැපැල් සේවක වැඩ වර්ජනය අද(20) තුන් වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

මේ හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

තැපැල් වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවයට පත්ව තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර  සඳහන් කළේ, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු තැපැල් කාර්යාලවල මේ වන විට විශාල ලෙස ලිපි එකතු වී ඇති බවයි.

තැපැල් වෘත්තිය සමිති පෙරේදා(17) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කල මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ඒ , අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු යන්ත්‍රවල පැමිණීම සහ පිටවීම සටහන් කිරිම ඇතුළු කරුණු 19 ක් මුල් කරගනිමින් ය.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පෙරේදා පස්වරු 4 සිට සේවයෙන් ඉවත් වී වැඩවර්ජනයක් ආරම්භ කළේ ය.

පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා සියලු තැපැල් කාර්යාල වල වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති තීරණය කලේ ඉන් අනතුරුවයි.

එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවා සංගමය, ශ්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ ඇතුළු වෘත්තිය සමිති 23 ක් වැඩවර්ජනයට එක්ව සිටියි.

ඒ අනුව දිවයින පුරා තැපැල් කාර්යාල 653ක සහ පාලන කාර්යාල 70ක සේවකයින් 18000ක් වැඩ වර්ජනයට එක්ව සිටියි.

තැපැත් වෘත්තිය සමිති මෙම වැඩවර්ජනයේ නිරතව සිටින්නේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමකදියි.

වෘත්තිය සමති ක්‍රියාමාර්ගය අතහැර සාකච්ඡා සදහා පැමිණෙන්නැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියි.

මේ අතර තැපැල් සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් ස්ථානවල ලිපි ලක්ෂ 15 කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි වෘත්තීය සමිති සඳහන් කළේ ය.

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු රනිල්ගේ හිටපු මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව  ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ  ලබන 26 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග  මෙම නියෝගය නිකුත් කළාය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000/-ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අලිමංකඩ – උතුර ලුණු ලේවාය නැවත ඇරඹීමට අනුමැතිය

උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවු (අලිමංකඩ – උතුර) ලුණු ලේවාය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වනවිට එහි නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයින් වෙතින් අභිලාස ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත් එමඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගැනීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් අලිමංකඩ උතුර ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

සතොස වෙළඳ සන්නාමය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙදපොළට නිකුත් කිරීම ඇරඹේ

“ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාවගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී අද (18) දින සිදු කෙරිණි.

ඒ අනුව අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාව වන අතර එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයකි. කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ යළි ආරම්භ කරන ලදි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ නිරන්තර මඟ පෙන්වීම යටතේ ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට සැපයී‍ම සහ මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක්, අදියර වශයෙන් අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය, ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන  විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

ප්‍රසන්න යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර  ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුව අද (18) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

පාතාලය මැඩලීමට විධිමත් වැඩපිළිවෙලක් – පොලිස්පති

පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන් ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවද පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශීර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ ද සහාය ලැබී ඇති බවයි.

නීතිය ස්ථාපිත කිරීමේදි කිසිදු දේශපාලන බලපෑමක් ලැබී නැතැයිද ලැබී ඇති දේශපාලන පරිසරය ඉතා හොඳ බවත් යම්කිසි අපරාධයක් සඟවා තැබීමට හෝ නොසළකා හැරීමට කිසිදු අවස්ථාවක තමාගෙන් නියෝග නොලැබෙන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“වෙඩි තැබීම් ගත්තොත් ඒ සම්බන්ධව අපි විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා.‘‘

Page 1 of 482