V2025

පුවත්

පළාත් පාලන ඡන්දයට අලුතින් නාමයෝජනා නොකැඳවයි

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක  පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවය.

මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බවය.

UN නියෝජිත හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන්  අතර හමුවක් ඊයේ (18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම කෘෂිකර්මාන්තයේ වැදගත් අංශ කිහිපයක් කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආනයනික පරිප්පු සඳහා පැවති බද්ද එලෙසම ක්‍රියාත්මකයි - මුදල් අමාත්‍යාංශය

රජය විසින් භාණ්ඩ වර්ග 05ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් සඳහන් කර ඇත්තේ, 2023 ඔක්තෝබර් මස 14 වන දින 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය 2024 ඔක්තෝබර් මස 13 දිනයෙන් අවසන් වු බැවින්, එය නැවත 2024 දෙසැම්බර් මස 31 දින දක්වා එලෙසම දීර්ඝ කිරීමට 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් කටයුතු කර ඇති බවය.

එමඟින් රජය විසින් අලුනින් බදු පැනවීමක් සිදුකර නොමැති අතර, ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි ශත 25ක් වු බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති අතර, දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් සහ විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනෙකුත් භාණ්ඩ 04 සඳහා පැවති බදු අනුපාන යටතේම එලෙසම දීර්ඝ කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

සාමාන්‍යයෙන් මෙම පනත යටතේ ගැසට් නිවේදනයන් වසරක කාලයක් සඳහා නිකුත් කලද, මෙම බදු පිළිබඳව විධිමත් ලෙස අධ්‍යනය කිරීම කෙරෙහි අවධානය යොමුකොට 2024.12.31 දින දක්වා පමණක් පවතින බදු ප්‍රමාණය එලෙසම පවත්වා ගැනීමට තීරණය කළ බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.

පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් අදාළ වූ බවට චෝදනා තිබූ බව ත් නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන් මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස් කිරීමේ කටයුතු සිදු කළ යුතු බව ත් අමාත්‍යවරයා නව අධ්‍යක්ෂක මණ්ඩලය අමතමින් සඳහන් කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ, ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම්‌ ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලය පත්‌ කරමින්‌ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද(ඔක්. 18) පැවති රැස්වීමේදී ය. ය.

2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම්‌ යන සියලු වර්ග නියෝජනය කරමින්‌ සාමාජිකයන්‌ පත්කිරීමට කටයුතු කළ බව ත්‌ දෙමළ සිනමාව කර්මාන්තයක්‌ ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකිවී නොමැති බව ත් දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක්‌ ලෙස වර්ධනය විය යුතු බව ත් ඔහු සඳහන් කළේ ය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පහතින් දැක්වේ.

ඩබ්. ප්‍රින්ස් සේනාධිර – සභාපති

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
එම්. ඩී. මහින්දපාල
ඩබ්. ජී. ටිතිර වික්මල්
නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා
එම්. එස්. කේ. ජේ. බණ්ඩාර
බී. එන්. දම්මින්ද කුමාර
වයි. අයි. ඩී. ගුණවර්ධන

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පහතින් දැක්වේ.

එස්.එම්. සමන් සමරකෝන් – සභාපති

මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි
ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු
ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්
එම්. කේ. ප්‍රසංග චතුරංග
පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා
ජී. එච්. වයි. මංජුල සිරිසෝම
ජෙයචන්ද්‍රමූර්ති රජීවන්
ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්
අයි. ජී. සුලක්ඛනා කුමාරි

ආදායම් බදු ගැන විශේෂ දැනුම්දීමක්

ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024.11.30 දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම www.ird.gow.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගත හැකිය.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම වෙනුවෙන් 2023 වසරේදී හඳුන්වා දෙනු ලැබූ TIN අංකය යටතේ 2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවිය යුතු පුද්ගලයන් සංඛ්‍යාව 868,009ක් දක්වා ඉහළ ගිය බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම ක්‍රමය හඳුන්වාදීමට පෙර එනම් 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුව තිබී ඇත්තේ 333,313ක පුද්ගල සංඛ්‍යාවක් බවද එහි දැක්වේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කර බදු ගෙවිය යුතුය.

එහෙත් වාර්ෂික ආදායම හෝ ලාභය රුපියල් 1,200,000ට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු නැති අතර, දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසලකා හැරිය හැකිය.

තමාගේ ආදායම් ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගත ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

යම් පුද්ගලයකුට ආදායම් වාර්තාව මාර්ගගත ක්‍රමය භාවිතයෙන් එවීමට අපහසුතාවයක් වේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ වෙනස්විම් කළමනාකරණ අංශය, මධ්‍යම ලේඛන කළමනාකරණ අංශය හෝ බිම් මහලේ දී හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීමේ පහසුකම සලසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින්

tax

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්නට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න  පත්කර තිබේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක  විසිනි.

රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.

1997 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ වේන් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු ආහාරයට ගත හැකි තෙල් වර්ගවල රසායනික සහ පෝෂණ ගුණ පිළිබඳ පර්යේෂණ රැසක් මෙහෙයවූ ප්‍රමුඛ පෙලේ ආචාර්යවරයෙකු ද වේ.

2014- 2017 දක්වා විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබේ.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව උප සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර  පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන රාහුල අතලගේ, ඕ. ජී. දයාරත්න, සුබ්‍රමනියම් රවිරාජ් සහ ජනාධිපති නීතිඥ කේ. සී. ඩබ්ලිව්. උනම්බූව යන  පත් කර ඇත.

හිටපු ජනාධිපති රනිල් ගේ විශේෂ ප්‍රකාශය

ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරැඹිය යුතු 2028 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් බවට පත්කර ගැනීමේ අභියෝගය නව රජය හමුවේ පවතින බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද(17) පැවසීය.

එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බව කී වික්‍රමසිංහ, ඊළඟ පාර්ලිමේන්තුවට වගකීම් වලින් පැන යන්නේ නැති අත්දැකීම් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව අවධාරණය කළේය.

ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව සඳහන් කළේය.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.

''මම ජනාධිපති ලෙස රට බාරගත්තේ අපට ණය ගෙවන්නට බැරිව බංකොලොත්භාවය ප්‍රකාශ කළ අවස්ථාවේදීයි. මගේ මූලික අරමුණ වුණේ ඒ අවස්ථාවේදී යළිත් ණය තිරසර බව ඇති කර බංකොලොත් භාවය ඉවත් කර ගැනීමයි. ඒ සඳහා මා එම අවුරුදු දෙකේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,අපට ණය ලබා දී තිබූ රටවල් දහ අට සහ පෞද්ගලික බැඳුම්කරුවන් සමග සාකච්ඡා කොට ගිවිසුමකට එළඹුණා. ඒ අනුව අප ණය තිරසර බව ඇති කිරීම සම්බන්ධයෙනුත් අනතුරුව අප රට බංකොලොත් භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙනුත් එකඟතාවයකට පැමිණියා.මේ සියලු ක්‍රමවේද අවසන් කොට පෞද්ගලික බැඳුම්කරුවන්ගේ අනුමැතිය ලැබුණේ මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දීයි.

මෙලෙස අප ඇති කරගත් ක්‍රමවේදය නිසා අපට දැන් විදේශ බැංකු සමග ගනුදෙනු කරන්න පුළුවන්. එමෙන්ම විදේශ ආධාර ලැබෙනවා. අපගේ ණය තිරසර බව නිසා මේ වනවිට බංකොලොත් බව අවසන් වී තිබෙනවා.

රට බංකොලොත් බවින් මුදා ගැනීමේ කාර්යභාරය සඳහා මා පසුගිය පාර්ලිමේන්තුව සමඟ වැඩ කටයුතු කළා.එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමෙන්ම ඒ පාර්ලිමේන්තුව සමග වැඩකටයුතු කළ මගේ නිලධාරී මණ්ඩලයටත් ස්තුතිය ප්‍රකාශ කරනවා.

දැන් අපට තිබෙන්නේ එම තිරසර බව පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. වත්මන් ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කරන බවට වාර්තා වී තිබෙනවා.

එසේ නම් එම සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එය ක්‍රියාත්මක කිරීම අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්.

එම වැඩ කටයුතු ක්‍රියාත්මක කර තිරසර භාවය ඇතිකර ගැනීම සඳහා අපට ඉලක්ක කිහිපයක් තිබෙනවා.

පළමුවෙන්ම 2028 වසරේ සිට අපට ණය ගෙවන්නට තිබෙනවා. 2027 වසර වන විට අපගේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක් විය යුතුයි. දැන් එම අගය සියයට 12 යි. ඒ ඉලක්කයට යෑම සඳහා සෑම වසරකම සියයට එකක වර්ධනයක් ලබාගත යුතුයි.

මූලික වශයෙන් මේ වසර අවසන් වන විට අපට 2019 වසරේ තිබූ දළ දේශීය නිෂ්පාදනය යළිත් ලබාගන්න පුළුවන්. ඒ සමගම අපගේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගත යුතුව තිබෙනවා. එම විදේශ විනිමය සංචිතය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 10-14 අතර අගයක තිබිය යුතුයි.මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව අපට ණය ගෙවන්නට තිබෙනවා.මේ කාල සීමාව ඇතුළත අප ඉහත ඉලක්ක සපුරා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා අප ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කළ යුතුයි.

මේ වැඩසටහනේ තවත් වැදගත් කාරණයක් වන්නේ දුෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කිරීමයි.මේ සියලු කාරණා සම්බන්ධ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.මෙම ජනපතිවරණ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබෙන්නේ නැහැ.

කෙසේ හෝ නව පාර්ලිමේන්තුවේ වගකීම් ඉටු කරන්නට නම් පසුගිය ගිය පාර්ලිමේන්තුවේ ලැබූ අත්දැකීම් නතර කළ යුතුව තිබෙනවා. එනම් පසුගිය පාර්ලිමේන්තුවේදී කිසිවෙකුත් මේ වගකීම් බාරගන්නට ඉදිරිපත් වුණේ නැහැ. මම පැමිණ පොහොට්ටුවේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකතු කරගෙන මේ ආණ්ඩුව හදා වැඩකටයුතු කළා.

ඊළඟ පාර්ලිමේන්තුවේදී මෙවැනි සිදුවීම් වන්නට ඉඩ නොතැබිය යුතුයි. මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා.ඒ කණ්ඩායම් තුන අතුරින් එක කණ්ඩායමක් ගැන මා මෙහිදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි..මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේයි. පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,නව සන්ධානය මෙන්ම අනෙක් සියලු කණ්ඩායම් එකට එකතු වී මට සහයෝගය දුන්නා.මගේ නායකත්වය යටතේ මේ අය වැඩකටයුතු කළා. දැන් ඒ සියලු දෙනා එකට එකතු වී තිබෙනවා.

එම මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් මෙන්ම මා සමග වැඩ කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් කොටසක්ද එකට එක්වී මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.ඒ අය ඉදිරිපත් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාර්ගයෙනුයි .මගේ නායකත්වය යටතේ ඒ අය මේ ඡන්ද වැඩකටයුතු කරන්නට යනවා. මේ සියලු දෙනාටම ඒ පළපුරුද්ද තිබෙනවා. ඒ අය නිසි පරිදි මේ වැඩ කටයුතු කර තිබෙනවා.

මා සමග ඉකුත් වසර දෙකේ වැඩකටයුතු කළ අයට ආර්ථික අර්බුද වලට මුහුණ දීම සඳහා පලපුරුද්ද තිබෙන නිසා ඔවුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. විපක්ෂයේ සිටියත් පාර්ලිමේන්තුවේ සිටියත් මේ පළපුරුද්ද නැතිව පාර්ලිමේන්තුව ගෙන යන්න බැහැ. එමෙන්ම එවිට ඉලක්ක ලබා ගැනීමේදීත් අසාර්ථක වෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ වැඩකටයුතු කළ අයත් අපට සහයෝගය දුන් පොහොට්ටුවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම නව සන්ධානයේත් අනිත් පක්ෂ වල සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපගේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන ලෙසයි.

එමෙන්ම මීට පෙර අවස්ථාවේ ඡන්දය නුදුන් අයගෙන් ඉල්ලීමක් කරනවා.රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් මේ පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

නව පාර්ලිමේන්තුවෙන් තීරණය වන්නේ ඔබේ අනාගතයයි.අප සාර්ථකව මේ වැඩ කටයුතු කරනවා නම් රටක් ලෙස ගොඩ එන්න පුළුවන්.අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටෙනවා. නැවත පෝලිම් යුගයට ගමන් කරනවා. එම නිසා ගෑස් සිලින්ඩරයට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව.......

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අපේක්ෂකයෙකු පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව මෙසේය.

MR PE 2024 27 page 001

විභාග ප්‍රශ්න පත්‍ර හැදීම පරි­ග­ණක ක්‍රම­වේ­ද­ය­කට

විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරී­මේදී අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව නිර්මා­ණය කිරීමේ නව ක්‍රම­වේ­ද­යක් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­යේදී අනු­ග­ම­නය කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර  පැව­සීය.

විභාග ප්‍රශ්න පත්‍ර පිට­වීම යනාදි වංචා­වන් අවම කර ගැනීම මෙම­ඟින් අපේක්ෂා කරන බවත් අර්ධ ස්වයං­ක්‍රිය ක්‍රම­වේ­ද­ය­කට අනුව ප්‍රශ්න පත්‍ර නිර්මා­ණ­යේදී පුද්ගල දාය­ක­ත්වය අවම කර පරි­ග­ණ­ක­ගත ක්‍රම­වේ­ද­යක් මඟින් ප්‍රශ්න පත්‍ර නිර්මා­ණය සිදු වන බවත්ඔහු කීය.

මෙම නව ක්‍රම­වේ­දය යටතේ වංචා දූෂණ අවම කර ගැනීමේ හැකි­යා­වක් පව­තින්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණත් සමඟ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ ක්‍රියා­ව­ලිය විශාල පරි­ව­ර්ත­න­ය­කට යොමුව ති‍බෙන අතර එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙම නව ක්‍රම­වේ­ද­යන් අනු­ග­ම­නය කරන බව ද හෙතෙම පැව­සීය.

විභාග ප්‍රශ්න පත්‍ර සැක­සීමේ කට­යුතු පුද්ග­ල­යන් සමඟ කරන තාක්කල් වංචා දූෂ­ණ­ව­ලින් සිය­යට සිය­යක් බැහැර වීමට නොහැකි බව ද ඔහු පැව­සු­වේය.

පසු­ගිය කාලය තුළදී ප්‍රශ්න පත්‍ර පිට­වීම ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ යන්ත්‍ර­ණය තුළ ඇති වූ ගැට­ලු­කාරී තත්ත්ව­යක් නොවන බවත් පුද්ග­ල­යන්ගේ විශ්වා­සය හා සම්බන්ධ ගැට­ලු­වක් නිසා විභාග ප්‍රශ්න පත්‍ර පිට­වීම සිදු වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ විධි­වි­ධාන සහ දණ්ඩ­නීති සංග්‍ර­හයේ විධි­වි­ධාන අනුව විභාග වංචා­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන්ට දඬු­වම් ලබා­දීම සිදු කරන අතර වරෙ­න්තු­වක් නැතිව අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි ප්‍රසිද්ධ විභාග පනත සම්පූ­ර්ණ­යෙන්ම අප­රා­ධ­මය වැරදි සඳ­හන් නීති­යක් බව ද ඔහු පැව­සු­වේය.

මාධ්‍ය කියන ආකාරයට විශේෂ හෝ අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකර නැහැ - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් අරමුදල් රැස් කරගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතමෙකු නගන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් මහාචාර්යවරයා ඒ බව කීය.

'' ආණ්ඩුවකට එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට, එම සේවා ඉදිරියට පවත්වාගෙන යාමට අරමුදල් අවශ්‍යයි. සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම මගින් මහ බැංකුව අරමුදල් රැස් කර ගන්නවා.

ඒ වගේම නියමිත දිනට කල්පිරෙන ඒවාට ආපසු ගේවිම් සිදු කරනවා.

මේ සාමාන්‍ය ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය මේ දිනවලත් සිදුවනවා. නව ජනාධිපතිවරයා පත් වූවා යැයි කියා විශේෂයක් නැහැ.

අලුතෙන් ණය ගැනීම් සිදුකිරීමක් සිදුකර නැහැ. සාමාන්‍ය පරිදි අරමුදල් රැස් කිරීමක් පමණයි සිදු කරන්නේ. ඒ හැරෙන්නට දේශීය මූල්‍ය වෙළඳපොලෙන් විශේෂ, අමුතු වැඩකට හෝ අසාමාන්‍ය ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමක් සිදු කර නැහැ.

මාධ්‍ය මගින් පෙන්වා දෙන ආකාරයට දේශීය හෝ විදේශීය මූල්‍ය වෙළඳපොළෙන් අප ණය ලබාගෙන ඇත්දැයි සොයා බැලීමක් කළ යුතු යයිද මහාචාර්යවරයා අවධාරණය කළේය.

මූල්‍ය වෙළෙඳපොළ ස්ථායි කරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම. ඒ ඇති කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් පසුගියදා එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා. එය නව ජනාධිපතිවරයා පත්වීමට පෙර කළ දෙයක්. අපි ඒ සම්බන්ධයෙනුත් සොයා බැලීමක් කළ යුතුයි.

දේශීය වෙළඳපොලෙන් අරමුදල් රැස්කර ගැනීම සම්බන්ධයෙන්, කොපමණ මුදලක් රැස් කර තිබේද? යන්න පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනවා මහාචාර්වරයා ප්‍රකාශ කළේය.

(ජේ. මුණසිංහ)

ආණ්ඩුව පසුගිය දවස් 13ට රුපියල් කෝටි 41,900ක ණය අරන් - රෝහිණි කවිරත්න

2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

''රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටිනවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නම් නෑ. තවමත් විශ්‍රාමිකයින්ට ලැබිය යුතු රු. 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ වැටුප ගෙවන්න බැරි බව මේ වෙන කොටත් පැහැදිලිවම පේන්න තියෙනවා යැයි කවිරත්න හිටපු මන්ත්‍රීවරිය පැවසූවේ දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

  • ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200
  • ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500
  • ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500
  • ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 ක් ලෙස රජය අලුත් ණය ලබා ගෙන තියෙනවා.

'' පසුගිය දවස් කිහිපය තුල රජය දවසකට රු. කෝටි 3,223 ක් බැගින්, ඒ කියන්නේ පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ලබාගෙන තියෙනවා. මේ ණය අරගෙන කරන්නේ මොනවාද? මේ ණය වලින් කරන ආයෝජනය මොකක්ද? රජය පැහැදිලි කළ යුතුයි.'' යයි ද ඇය පැවසුවාය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතමෙකු මෙසේ නගන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කර සිටියේ, ඔය කියන ආකාරයට විශේෂ හෝ අමුතු අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකළ නොමැති බවයි.

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් අරමුදල් රැස් කරගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව මහචාර්යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

'වෙනත් විකල්පයක් නැ' - මුදල් අමාත්‍යංශයේ ලේකම්

අලුතෙන් පත්වූ ජනපති අනුර කුමාර දිසානායක ගේ පාලන කාලය තුල දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබාගෙන ඇතැයි ඇතැමෙකු කරන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන පැවසුයේ, වාර්ෂිකව ඉහළ අයවැය හිගයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා - කැබිනට් ප්‍රකාශක

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු තීරු බදු සහන සහිත වාහන ගෙන්වීම සිදු කර නොමැති බවත් නිවැරදි ක්‍රමවේදයකට යටත්ව වාහන ගෙන්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

''වාහන ගෙන්වීම නිවැරදි ක්‍රමවේදයකට යටත්ව අපේ ඩොලර් ප්‍රමාණයන් පිටට ඇදී යන්නේ නැති විදිහට අපට නැවත රට තුළ ඩොලර් අර්බුදයක් ඇති නොවන ලෙසට වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීම සඳහා අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා '' යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

(lankadeepa.lk)

ශ්‍රී ලංකන් ගැන රජයේ තීරණය මෙන්න

ශ්‍රී ලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් කරන බව සභාපතිවරයා පැවසූ බවයි.

වර්ෂ ගණනාවක් පුරා ශ්‍රීලංකන් ගුවන්සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබුණි.

එම සැලසුම යටතේ ගුවන්සේවයේ කොටස් 51% රජය යටතේ තබාගෙන ඉතිරි කොටස් 49% ආයෝජකයින්ට විකිණීමට නියමිතව තිබුණු අතර ඒ සඳහා පාර්ශ්ව 06ක් සිය කැමැත්ත දන්වා තිබූ බව සඳහන්වේ.

නමුත් එම ක්‍රමවේදයේ ඊළඟ පියවර සඳහා ඉන් කිසිවෙකුත් සුදුසුකම් ලැබුවේ නැහැ.

මේ අතර 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා වූ කාලය සඳහා මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් වී තිබේ.

එහි එකතුවී ඇති ණය ඩොලර් බිලියන 1.2ක් ලෙස දැක්වේ.

සභාපතිවරයා පවසා ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් බවයි.

එමෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50% ක් පමණ භාවිතා කරන්නේද ශ්‍රී ලංකන් ගුවන් සේවයයි.

2024 සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කරන ශ්‍රී ලංකාව 2030 වනවිට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමාගැනීමට සැලසුම් කරන බවද සඳහන්වේ.

අර්ජුන්ගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අද (ඔක්. 16) මෙම නියෝගය ලබා දුන්නේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසිනි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සාරුක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම පුද්ගලයන්ට එරෙහි නඩුකරය මේ වනවිට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇපමත මුදා හරින ලෙස ය.

මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කරනු ලැබූ නඩුවක් බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සඳහන් කළේ ය.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරට ත් සඳහන් කළේ, විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන බව ත් එම නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ත් ය.

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තුන් දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිර දඩුවම් නියම කෙරිණි.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

රනිල් විශේෂ ප්‍රකාශයකට සැරසෙයි!

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

රනිල් වික්‍රමසිංහ මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.

රාජ්‍ය සේවකයින්ගෙන් ජනපති කළ ඉල්ලීම

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක  පවසයි.

ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම, මහජන ධනය සාංඝික දේපොළක් හා සමානව සුරැකිය යුතු බවත් එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදුකළහොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වම්න් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බවය.

සන්ධ්‍යා කුමුදුනී රජයේ රස පරීක්ෂක ධුරයට

රජයේ රස පරීක්ෂක ලෙස සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ පත් කර ති‌බේ.

ඒ, අග්‍රාමාත්‍යවරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ රජයේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

එම තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න විශ්‍රාම යාම හේතුවෙන් වූ පුරප්පාඩුව සඳහා නව පත් කිරීම සිදුකර ඇත.

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (15) උදෑසන 05.30 පමණ වනවිට හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්ව මධ්‍ය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය ඉදිරි දින 2 තුළ පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇත.

උතුරු අක්ෂාංශ 07ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 90 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 60-70), සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

පහත සිතියමේ “Warning”කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශයට ඔක්තෝබර් 17 දක්වා යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Page 36 of 471