ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
අද (29) නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හිදී ජනාධිපතිනිය වෙත නිල වශයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සිය අක්තපත්‍ර භාර දුනි.
මෙහිදී 2024 දෙසැම්බර් මාසයේදී ජනාධිපති දිසානායකගේ ඉන්දීය සංචාරය සහ 2025 අප්‍රේල් මාසයේදී අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයන් දෙරට අතර හවුල්කාරිත්වය විශිෂ්ට මට්ටමකට ඔසවා තැබූ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
විශේෂයෙන් ඇය අර්බුදකාරී කාලවලදී ලබා දුන් අඛණ්ඩ සහයෝගය සඳහා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළාය.
අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ තමන්ට මරණ තර්ජන කළේයැයි පවසමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවටපත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණි.
ඒ රාගම පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනමින් සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහර මහෙස්‍ර්තාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ඔහුට ආරක්ෂාව ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට මේවන විට තොරතුරු හෙළිවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.
එසේම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිද පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමන්ටද තර්ජනය කළ බව පවසමින්ය.
අනතුරුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය.
ඒ අනුව පැමිණිලිකරුවන්ට දුරකථන ඇමතුම් ලබාදුන් බවට සැකපිට පුද්ගලයෙකු පසුගියදා පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සැකකරු විසින් එම ප්‍රශ්නගත තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදුන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ ඉල්ලීමකට අනුව බව විමර්ශනයේදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
ඒ අනුව රාගම පිහිටි පෞද්ගලික රෝහලක වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමන්ට තර්ජනය කළ බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සහ සාපරාධී බියගැන්වීම යන චෝදනා යටතේය.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ආරක්ෂාව ලබාගැනීම වෙනුවෙන් අදාළ කටයුත්ත කර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
අනතුරුව මහර මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු රැඳී සිටි රෝහලට ගොස් ඔහුව අගෝස්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේය.
රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ මීට අදාළ නඩුව අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී වන අතර එහිදී මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා මුදා හරින බව ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා නියෝග කර ඇත.
ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1 සහ 2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් මස 06 වන දින කැඳවීමට ද ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා නියෝග කර තිබේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණි.
පසුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 14 වැනි දින ඇප කොන්දේසි මත නිදහස් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද (29) එම අධිකරණය නියෝග කළේය.
ඒ, මාලදිවයිනේ සංචාරය නිමා කරමින් අද උදෑසන දිවයිනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෝසමක් මාර්ගයෙන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුවය.
2017 වසරේ දී හම්බන්තොට වරාය විදෙස් රටවලට පැවරීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණ නියෝග නොතකමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුව ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝගයක් නිකුත් කර තිබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිකා සනත් කුමානායක විසින් අද (28) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇයට පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දෙන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ප්‍රනාන්දු, මීට පෙර බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා, ක්‍රීඩා සහ යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කළාය.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක විමර්ශනවලට අදාළවයි.
සැකකාර නිශාන්ත උළුගේතැන්න අදාළ සිද්ධිය සිදුවූ කාලසීමාවේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා සිරගත කර තිබූ බව කියන නීති විරෝධී රඳවා ගැනීමේ මධ්‍යස්ථානය, ඔහු යටතේ ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය අනාවරණය කළේ ය.
පොලිසිය පැවසුවේ පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා දින ගණනාවකට පසු රැඳවුම් මධ්‍යස්ථානයේ සිට යොමුකරන ලද ලිපියක් මූලික කරගනිමින් විමර්ශන ක්‍රියාත්මක කළ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.
මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.
එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් මාලදිවයිනේ වලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් අලංකාර සංස්කෘතික නර්තනයක් ඉදිරිපත් කළ අතර, ජනපතිවරයා එම දැරියන් සමඟ කෙටි කතාබහකද නිරත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලදිවයිනේ අගනුවර වන මාලේහි ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වේ.
ජනාධිපතිවරයා සමඟ මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිති.


දකුණු ආසියාතික දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති Asish Gupta සහ මහලේකම් Karamot Ullah Biplob යන අද (28) පරිසර අමාත්‍යංශයේ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි හමුවීය.
විශේෂයෙන් මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ නව රජයේ පරිසර ප්‍රතිපත්ති සහ එහි ප්‍රගතීන් පිළිබඳ සාකච්ඡා වූ අතර “වනස්පති” ජාතික වැඩසටහන පිළිබඳ එම සංසදය විසින් පැසසීමට ලක් කෙරිණ.
ශ්‍රී ලංකාවේ පෙර පැවති රජයන්ට සාපේක්ෂව නව රජය විසින් පරිසර සංරක්ෂණ ක්‍රියාවලීන් සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බවත් ඊට සමගාමීව දකුණු ආසියාතික කලාපයේ මාධ්‍යවේදීන් තුළ ප්රබෝධයක් ඇති වී ඇති බවත් එම සංසදය විසින් කරුණු සඳහන් කරන ලදී.
ලොව ප්‍රථම වරට දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ කලාපීය සංසදයක් “දකුණු ආසියානු දේශගුණික විපර්යාස මාධ්‍යවේදීන්ගේ සංසදය (SACCJF)” නමින් 2022 නොවැම්බර් මාසයේදී ෂාර්ම්-එල් ෂෙයික් (ඊජිප්තුව) හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (COP 27) අතරතුර විධිමත් ලෙස ස්ථාපිත කෙරිණ.
මෙම සංසදය ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් එක්ව දකුණු ආසියාතික කලාපයේ රටවලට මුහුණ පෑමට සිදුවන ගංවතුර, නායයෑම් වැනි දේශගුණ විපර්යාස සඳහා ජනතාව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් මැදිහත්වීමේ අරමුණෙන් පිහිටුවන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.
පොලිසිය පැවසුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි.
හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහිව 2017 වසරේ ඔක්තෝම්බර් 06 වන දින පැවති විරෝධතාවකට අදාළව විභාග වන නඩුවේ 35 වෙනි වගඋත්තරකරු වන නාමල් රාජපක්ෂ පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කෙරිණි.
නීති විරෝධී රැස්වීම, අධිකරණ නියෝග කඩ කිරීම, ජීප් රථ 03කට අලාභානි සිදුකිරීම සහ අනර්ථය , රාජකාරියට බාධා කිරීම සහ මහා මාර්ගය ගිනි තබා අනර්ථය යන චෝදනා යටතේ එම නඩුව පවරා තිබේ.
නඩුව ලබන වසරේ ජනවාරි 26 වන දින යළි කැඳවිමට නියමිතයි.
අපි පළමුව කළ යුත්තේ මේ බංකොලොත් භාවයෙන් එළියට පැමිණ ඒ සමග ම ඇමරිකාව බදු පනවන්නේ නම් අපි ඒ පිළිබඳව ද කතා කළ යුතු යැයි රවි කරුණානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (27) පැවති මාධ්‍ය සාකච්ඡවෙක දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක...
නූල් සූත්තරෙන් වැඩ කරමු
''ඇමරිකාව සමග තවම සාකච්ඡාවල අවසානයක් නෑ කියල තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. ජපානය, පිලිපීනය යන රටවල් තමන්ගේ බද්ද යම් මට්ටමකින් නිදහස් කරගන්න සමත් වෙලා තියනව. අපි ජනාධිපති මුණගැහුණ වෙලාවෙ කිව්වෙ නූල් සුත්තරෙන් වැඩ කරල අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගමු කියල.
අපි පළමුව කරන්න ඔනෙ මේ බංකොලොත් බාවයෙන් එළියට එන එක. ඒත් එක්කම ඇමරිකාව බදු දානවනං අපි ඒ ගැන කතා කරන්න ඕනේ.. ලංකාව තියෙන අපේ සම්පත් හරියට පාවිච්චි කරන්න ඕන .එයාල කියන වැඩ කරන්න වෙනවනං අපි හරියට කේවල් කිරීමක් කරන්න ඕන. අපිට මේ පරතරයක් තියනව. එහෙනං එහෙන් ගේන්න පුළුවන් බාණ්ඩ මොනව ද, ඩොනලඩ් ට්‍රම්ප් කියන්නේ මොනව ද, ඒ අය උදව් කරනවනං අපි උදවු කරනව කියල තමයි කියන්නේ. මේ ලංකාව ඉන්දියාවට කේන්ද්‍ර කරගන්න ලස්සනට පුළුවන්.
රජයේ නිලධාරින් වැඩ කරන්නේ ඉන්දියාවේ වුවමනාවට ද...?
අපි කතාකරනව පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව. මේ LNG ගේන්න කටයුතු කරල තාම රුපියල් 70ක් විතර ගෙවනව. මොකද මේක තෙල්වලින් තමයි කටයුතු කරන්නේ. LNG සම්බන්ධව ඇමරිකාවෙන් කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේක. දැන් විදුලිබල මණ්ඩලය කියනව මේ LNG චීනෙන් ගේමු කියල. හොඳයි නමුත් චීනය අපෙන් මොනාවත් ගන්නෑ.
අපිට ඇයි ට්‍රම්ප් එක්ක කතා කරල මේ ගැන කටයුතු කරන්න බැරි. මං දන්නැ රජයේ නිලධාරින් හිතල ප්‍රශ්න ඇති කරනවද කියල. රජයේ නිලධාරින් වැඩ කරන්නේ ඉන්දියාවට ඔන විදිහට; ඇමරිකා නිලධාරින් වැඩ කරන්නේ ට්‍රම්ප්ට ඔන විදිහට. අපේ නිලධාරින් වැඩ කරන්නේ එක එක රටවල්වලට ඕනේ විදිහට කියල තමයි මට හිතෙන්නේ.
ඉන්දියාව ඉදිරියට; ලංකාව අගාධයට
2028 වෙනකොට අපි ණය ගෙවන්න ඕනේ. රනිල් යනකොට තිබ්බ සංචිතය තව වැඩි කරගන්න ඕනේ. ඩොලර් මි 200ක් වත් තව අපි හොයන්න ඕනේ.
පරාටේ ගැන දැන් කතා කරන්නෙත් නැ. ජනතාවට ආදරෙන් කටයුතු කරනවනං වගකීමක් එක්ක වැඩ කරන්න.
ඉන්දියාව දැන් සාර්ථකව ඉදිරියට යනව. ලංකාව දැන් බරපතළ තැනකට වැටෙනව. අපේ ආයෝජකයන් එහේ ගිහිල්ල ආයෝජනය කරොත්. අපනයන කරුවන් බය යි. ඇයි... 10% හොයන්න ගිහින්18% වැට් එක වැටුනම මොකද කරන්නේ කියල.
මේ රට තමයි වැඩිම බදු ගෙවන් ඕනේ; ඒ එක්කම පොලී අනුපාතයත් වැඩිම මේ රටේ. මේ වගේ පසුබිමක බිස්නස් කරන එක ලේසි නැ. මේ නිසා තමයි මං කියන්නේ අපේ අයිතිවාසිකම්වලට අපි සටන් කරන්න ඕනේ ; IMF පදේට නටන් නැතුව.
තනි අලියා මම යි
මොනා කිවුවත් මේ සීමිත විදිහට හිතන කට්ටියට වඩා ඇමරිකන් ආයෝජනය මෙහෙට ගන්නට අපේ වෙනසක් ඇති වෙන් නැද්ද. අපිට මිලියන 500 නැතිවුනාට ඒක මිලියන 10000ක් පමණ වැඩි කරන්න පුළුවන් නම් මේක කරන්න පුළුවන්. රජයේ නිලධාරින්ට තවම ප්‍රායෝගික දැනුමක් නෑ. මේ අය ඉඳගෙනන පුටු රත් කරන එක තමයි කරන්නේ. ඒ අයට මේක කරත් එකයි නැතත් එකයි.
මහබැංකුවට ස්වාධීනව කටයුතු කරන්න ඕනේ නම් ආණ්ඩුවට කතා කරන්න ඕනේ නැහැ නෙ.
පක්ෂවල දැන් කළු සුදු කියල එකක් නෑ; උන් හොඳ නෑ කියල එකක් නෑ; දැන් ඔක්කොම එකයි. ඉන්න එකම අලිය මම නම්, ඉන්න එවුන් අලිය ගලවන්න හදනවනං, එවුන් එළවන්න ඕනේ ; ඒක නෙ කරන්න ඕනේ. මේ ඔක්කොම ඒක රාශි කරන අත්වැල් බැඳගෙන කටයුතු කරන්න ඕනේ .. එකක් තමයි අපි කරන්න ඕනේ .''
2026 වසර තුළ 1 වසරට සහ 6 වසරට පමණක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හදුන්වා දෙන බැවින් මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙන බවත්, ගුරුවරයා කතාකරමින් දරුවන් අසා සිටින සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලියේ සිට විනාඩි 50 කාලපරිච්ඡේද විවේචනය නොකරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (26) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
පවතින අධ්‍යාපන ක්‍රමය සියයට සියයක් වැරදියි කියලා අපි කියන්නේ නැහැ, ඒ තුලින් විශිෂ්ඨයන් බිහි වුණා. නමුත් වසරකට දරුවන් විශාල ප්‍රමාණයක් අතර මගින් හැලෙනවා. ඒ අය ගැන කාගෙවත් අවධානයක නැහැ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙතෙක් පැවති විෂය මාලා සංවර්ධනයට එහා ගිය සමස්ත ව්‍යුහයම ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරන්නේ.
2026 සිට මේ ක්‍රමය හදුන්වා දෙන්නේ 1 වසරට සහ 6 වසරට ඒ වෙනුවෙන් මුලික ප්‍රමුඛතාව ලබා දෙනවා. අදියරෙන් අදියර ඉදිරි ප්‍රතිසංස්කරණය සිදු කරනවා. අධ්‍යාපන කාර්යය තුළ තීරණාත්මක සාධකය ගුරුවරයායි. ගුරු හිඟය විසඳීමට නිවැරදිව ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ගුරු තුළනය නිසි පරිදි සිදු කළ යුතුයි.
සබරගමුව පළාතේ දරුවන් 10ට අඩු පාසල් තිබෙනවා. සමහර පාසල්වල එක ගුරුවරයෙකුට ළමයි ගණන 5යි. මේ තත්වය නිවැරදි විය යුතුයි.
ජාතික සහ පලාත් පාසල් අතර ගුරු මාරුව පිලිබඳව මේ වනවිට අමාත්‍යංශය සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී ඒ පිලිබඳ තිරණයක් ගන්න කටයුතු කරනවා.
2024 අධ්‍යාපන අමාත්‍යංශය කළ සංගණනයකින් හෙළි වුණා ළමුන් 20,000ක් අධ්‍යාපනයෙන් අතරගම නතරවෙලා තිබෙනවා අදටත් ඒ දරුවන්ට සිද්ධ වුණු දේ ගැන කිසි තොරතුරක් නැහැ. ඒ වගෙිම 80,000ක් දරුවන් හරියට පාසලට පැමිණ නැහැ මේක ලොකු ගැටලුවක්,
මේ වෙනකොට අධ්‍යාපන පද්ධතිය දුවන්නේ සුළු පිරිසකගේ කැපවීම මත පුද්ගලයෙක් මත අධ්‍යාපන පද්ධතිය ක්‍රියාත්මක වෙන්න බැහැ, පද්ධතියක් විදිහට ශක්තිමත්ව පැවතිය යුතුයි.
මේ වනවිට කාලපරිච්ඡේදය විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීම ගැන යම් විවාදයක් මතු කරමින් තිබෙනවා, සාම්ප්‍රදායික ඉගෙන්වීම් ක්‍රියාවලියේ සිට මේ කාලය තීරණය කරන්න යන්න එපා. ගුරුවරු කතා කරන දරුවන් අහගෙන ඉන්න ක්‍රමය නෙමෙයි නව ප්රතිසංස්කරණයෙන් හදුන්වා දෙන්නේ. ප්‍රායෝගිකව දරුවන් සහභාගී කරවන ක්‍රමවේදයක්.
මොඩියුල් ක්‍රමය හදුන්වා දෙන්නේ මාලිමා රජය මොඩියුල්වලට පේටන්ට් ගන්න නෙමෙයි, ඒක ලෝකයේ භාවිත කරන ක්‍රම වේදයක්,
මෙතෙක් කලක් පැවති රජයන් අධ්‍යාපනය භාවිත කළේ තමන්ගේ නම ප්‍රචාරය කරගැනීමට බවත්, ඡන්දය ලබාගැනීමේ අරමුණින් දරුවන් පාසලට ඇතුලත් කිරීම හේතුවෙන් අධ්‍යාපනය තවත් අවුලට ගිය බවත් ඒ තත්වය මේ වනවිට වෙනස් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය,
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ප්‍රීති පද්මන් සූරසේන මෙරට 49 වන අගවිනිසුරුවරයා වෙයි.
අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේනගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී.
1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් විය.
2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් පත් වූ අතර 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් විය.
එතැන් පටන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන ප්‍රීති පද්මන් සූරසේන හිටපු අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දුගෙන් පසුව සිටින ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද දිවුරුම් දීමේ අවස්ථාවට එක් විය.
සිවිල් ආරක්ෂක නිලධාරීන් දස දහසක්, පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් මෙසේ බදවා ගැනීමට නියමිතය.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ, දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට අලුතින් බඳවා ගන්නා පිරිස් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි.
දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මේ වන විට දැඩි කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
ඔහු සදහන් කළේ, රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේ ද, එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් පත්කර තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ෆ්‍රන්ක්ලින් ජෝසප් එම ධූරයේ වැඩ භාර ගත් බවයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළේය.
ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා පවසයි.
මීකිරි යෝගට් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ ප්‍රථම වරට බව පැවසූ සභාපතිවරයා, මණ්ඩලය සතු සියලු අලෙවිසල්වලින් මේ යෝගට් මිලදී ගත හැකි බවද කියා සිටියේය.
ජනතාවට ගුණාත්මක කිරි ආශ්රිත නිෂ්පාදන සැපයීමේ පියවරක් ලෙස මෙසේ මීකිරි යෝගට් හඳුන්වා දෙන බවත් මේ සඳහා කිසිදු රසකාරකයක් අන්තර්ගත නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ක්‍රියාත්මක කිරීමේ ලිපියට ඊයේ (24) අත්සන් තබා තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2024 ජුනි 26 වැනි දින ණයහිමියන්ගේ පාලක කාර්යාලය (OCC) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුකූලව, 2025 ජුනි 16 වන දින ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව සිදු කළ බව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ද්විපාර්ශ්වික ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමෙන් පසු, ශ්‍රී ලංකා රජයේ බලයලත් නියෝජිතයා ලෙස, මෙරට මුදල් අමාත්‍යාංශය, ද්විපාර්ශ්වික ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රංශ රජයේ බලයලත් නියෝජිතයන් ලෙස කටයුතු කරන ඒජන්සි ෆ්‍රැන්චයිස් ද ඩිවෙලොප්මන්ට් (AFD), Bpifrance ඇෂුවරන්ස් අපනයනය සහ බෑන්ක් ද ෆ්රාන්ස් සමඟ ක්‍රියාත්මක කිරීමේ ලිපි අවසන් කිරීමට නියමිතව තිබිණි.
ඒ අනුව, 2025 ජූලි 24 වැනි දින මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී, ඒජන්ස් ෆ්‍රැන්චයිස් ඩි ඩිවෙලොප්මන්ට් (AFD) සමඟ එම ක්‍රියාත්මක කිරීමේ ලිපියට අත්සන් තැබීම සිදු විය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ප්‍රංශ රජය වෙනුවෙන් ඒජන්ස් ෆ්‍රැන්චයිස් ඩි ඩිවෙලොප්මන්ට් (AFD) හි රටේ අධ්යක්ෂ යසිඩ් බෙන්සයිඩ් විසින් එම ක්‍රියාත්මක කිරීමේ ලිපියට අත්සන් කරන ලදී.
පසුව, Bpifrance Assurance Export සහ Banque de France සම්බන්ධ ක්‍රියාත්මක කිරීමේ ලිපි ද අත්සන් කරන ලදී.
මෙම ක්‍රියාත්මක කිරීමේ ලිපි අත්සන් කිරීම ශ්‍රී ලංකා සහ ප්‍රංශ රජයන් අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අවසානය සනිටුහන් කරන බව ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.
එහි ප්‍රතිඵලයක් ලෙස, සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට පහසුකම් සලසමින්, තාවකාලිකව අත්හිටුවන ලද ණය මූල්‍යකරණය නැවත ආරම්භ කිරීමට සහ ප්‍රංශ රජයේ සියලුම ණය දෙන ආයතනවලින් නව ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වනු ඇත.
Hotel Show Colombo – 2025 අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එක් විය.
ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරි සංගමය, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටයි.
1998 වසරේ ඇරඹි කොළඹ හෝටල් ප්‍රදර්ශනය මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන අතර, මෙරට සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට එය මහඟු අවස්ථාවක් වනු ඇත.
Hotel Show Colombo – 2025 ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් වූ අතර, එහිදී රැස්ව සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.
මෙම උත්සව සභාව ඇමතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ මේ වන විට මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දින දියුණුවෙමින් පවතින බවයි. එබැවින් ඒ පිළිබඳ සියලුදෙනාට සුභවාදී අපේක්ෂා තබාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කෙරෙන ප්‍රධාන සාධකයක් බවට සංචාරක කර්මාන්තය පත්වනු ඇති බවද සඳහන් කළේය.
Hotel Show Colombo සංවිධාන කමිටුවේ සභාපති ට්‍රෙවින් ගෝමස්, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්රික් පෙරේරා ඇතුළු හෝටල්, හොටල් ආශ්රිත සැපයුම් සහ සේවා ආදී සංචාරක ක්ෂේත්රයේ විවිධ පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
