Language Switcher

V2025

අධිකරණයට බොරු කියා බැසිල් අමාරුවේ : මල්වානේ ගේ බැසිල්ගේ පොලිසිය කියලා !

කුප්‍රකට මල්වානේ ඉඩම සහ නිවස තමන්ගේ නොවන බව බැසිල් රාජපක්ෂ ගම්පහ මහ අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණද එය බැසිල්ගේම බව දොම්පෙ පොලිස්ථානාධිපතිවරයා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අනාවරණයක් ජාතික ජන බලවේගයේ නීතීඥයෝ අද (22) පැවත්වූ මාධ්‍ය හමුවකදී නීතීඥ අකලංක උක්වත්ත විසින් හෙළිකරණු ලැබීය.

ඊට අනුව පසුගිය 10 වෙනිදා දහවල් කාලයේ මල්වානේ නිවසට ගිනිතබා ඇති අතර ඒ පිළිබඳ පොදු දේපල පනත යටතේ කරුණු දක්වා ඇති බවත් එසේම දොම්පෙ පොලිස්ථානාධිපති විසින් මෙම ඉඩම බැසිල් රාජපක්ෂට අයත් එකක් බවත් අධිකරණට වාර්තා කර ඇත.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියේ මෙම පරස්පරවිරෝධී කරුණු දැක්වීම් සහ පොදු දේපල පනත යටතේ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර ඇතැයි එම මාධ්‍ය හමුවේදී හෙළිකරණු ලැබීය.

මෙහිදී නීතීඥ අකලංක උක්වත්ත වැඩිදුරටත් මෙසේද පැවසීය .

"ආණ්ඩුව සහ රාජ්‍ය මාධ්‍ය සියල්ල එකතු වෙලා ගෙනයන අසත්‍ය ප්‍රචාර රැසක් තිබෙනවා. මෙම අසත්‍ය ප්‍රචාර තුළම ඇති පරස්පරයන් අපිට පැහැදිලි වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එක් උදාහරණයක් සුප්‍රසිද්ධ මල්වාන නිවාසය සම්බන්ධව ඉදිරිපත් කරන්නම්. ගම්පහ මහාධිකරණයේ විභාග වෙමින් පවතින 26/2017 නඩුවට අදාළ දේපොළ මේ වන විට නඩු භාණ්ඩයක්. 10 වැනිදා දහවල් 1.00 සහ සවස 5.00 අතර තුර මේ දේපළ ගිනිතබා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බී 58890/2022 යටතේ පූගොඩ අධිකරණයට දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. 12-2 අතර මුල් සිදුවීමත් ඊට පසුව සවස 5.00ට පමණ තුන් සියයක් විතර පිරිස ඇවිත් ඇති බවත් සඳහන් වෙනවා. දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත නමැති නිලධාරියා ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය මම දක්වන්නම්.

“2022.05.10 දින පොලිස් ස්ථානයට 119 මධ්‍යස්ථානය මගින් පැය 12.20ට ලද තොරතුරක් මත මල්වාන ප්‍රදේශයේ ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසට පිරිසක් පැමිණ දේපළ අලාභහානි කරන ලද බවට” කියලා සඳහන් වෙනවා. මෙච්චර කල් අපි දැනගෙන හිටියේ ඔය ඉඩම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නොවෙයි කියලා. මොළ හතේ මහත්තයා කීවෙත් එහෙමයි. යුදහමුදා මූලස්ථානයේ සැලසුම අඳින්න දීලා තිබුණ ජයකොඩි කියන මහත්තයාට අයිති ඉඩමක් කියලයි මේ දක්වා කියලා තිබුණේ. දොම්පේ පොලිස් ස්ථානාධිපතිට ඒ බව අමතක වෙනවා. ඇත්ත මතක් වෙනවා. ගරු අධිකරණයට කරුණු වාර්තා කරන්නේ බැසිල් රාජපක්ෂගේ ගෙදරට ගිනි තබලා ඇති බවයි. මෙපමණ කල් කීව කතාව සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපති ගෙනල්ලා ප්‍රශ්න කරන්න බැසිල් රාජපක්ෂට පුළුවන්. මේ නඩු වාර්තාවේ මහේස්ත්‍රාත්තුමා ලබාදී තිබෙන නියෝග මා උපුටා දක්වන්නම්.

“මෙම අපරාධයට අදාළව ගම්පහ මහාධිකරණ නඩු අංක 26/2017 දරන නඩුවට අදාළ නඩු භාණ්ඩයක් වන අදාළ දේපළ ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාව සැලකිල්ලට ගැනීමේදී මෙම අපරාධය 2022.05.10 වන දින සිදුවී ඇති බවත්, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පවා මෙම අපරාධය පරීක්ෂා කිරීමට පැමිණ ඇත්තේ ඊට දින දෙකකට පසුව, 2022.05.12 වන දින බව පැහැදිලිව පෙනී යයි. තවද මේ වන තෙක් රජයේ රස පරීක්ෂකවරයා මෙම ස්ථානයට කැඳවීමට නොහැකි වී ඇති බව පෙනේ. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ පිරිස් මෙල්ල කිරීමට වෙඩි උණ්ඩ තුනක් එල්ල කළ බවට ‘බී’ වාර්තාවේ සඳහන් කර ඇති නමුත් ඒ සඳහා උපයෝගී කර ගන්නා ලද ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීම මෙතෙක් සිදුකර නොමැත. තවද මෙම වරද 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා ගැනෙන පනතේ දෙවැනි වගන්තිය යටතට ගැනෙන වරදක් බවට පැමිණිලිකරු දක්වා ඇත. කෙසේ වුවද මෙම දේපළ මෙතෙක් රාජසන්තක කරන ලද දේපළක් නොවන බවත් ගම්පහ මහාධිකරණ අංක 26/2017 දරන නඩුවේ නඩු භාණ්යක් වන බවත්, ඉදිරිපත් වූ කරුණු අනුව පැහැදිලිව පෙනී යයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පොදු දේපළ පනතේ ලා සැලකෙන 8වැනි වගන්ති ප්‍රකාරව වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙයින් පෙනී යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයාද නිසි විමර්ශනයක් සිදුකොට එම වාර්තාව ඉදිරිපත් කර නොමැති බවයි. මෙම අපරාධය දිවා කාලයේ සිදුකර ඇති අතර, මහාධිකරණයේ නඩු භාණ්ඩයක් වන දේපළක් ආරක්ෂා කර ගැනීමට දොම්පේ ස්ථානාධිපතිවරයාට නොහැකි වීම කනගාටුවට කරුණකි. ඒ අනුව පැහැදිලිව පෙනී යන්නේ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් දොම්පේ පොලිස් ස්ථානාධිපති විසින් සිදුකිරීම මගින් වැඩි ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.”