V2025

පුවත්

විදුලි කප්පාදුව නවත්වා ගන්නා දිනය බැසිල් කියලා ?

මාර්තු මස 05 ට පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක්ම පළවී ඇත.

වාර්තා වන ආකාරයට ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය (28) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ය.

ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

මේ අතර පෞද්ගලික බස් සඳහාද ලංගම ඩිපෝවවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන බව සඳහන් කර ඇති ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවලද ඉන්ධන ගබඩා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව සදහන් කර තිබේ.

ඊළඟ නැව එනතුරු ඉන්ධන සීමාවක් : මිදි ඇපල් තිබුණට තෙල් නෑ - ගම්මන්පිල

පවතින අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පැනවීමට සිදු වනු ඇතැයිද ඊළඟ ඉන්ධන නැව මෙරටට පැමිණෙන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බවද බල ශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

ඒ හේතුවෙන්, විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනවා ද? යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ය.

“මම ද ඇමතිවරයෙකු වන ආණ්ඩුව දැන් කළ යුත්තේ, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඇපල්, මිදි, දොඩම් කාලා කළුවරේ ඉන්නවා ද? පිටරටින් වතුර ගෙනැල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවා ද? නැත්නම් ඒවාට කැප කිරීම කරලා, අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතාව දෙනවා ද කියන ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුමයි.

ඒ නොගැනීම නිසා තමයි, ඇපල්, මිදි ඇත. තෙල් ටික නැත. පිටරින් ගේන මීපැණි ඇත. ඒත් ඖෂධ නැත. මේ මොහොතේ ත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලාගෙන සිටි යි. නැත්තේ ඩොලර් ය. අපි සතු තොග පහත බැහැලා තියෙනවා. ඒ නිසා ඊළඟ නැව එනතුරු අපිට සීමිත තොගයක් තමයි වෙළෙඳපොළට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ.

එහි අවසාන ප්‍රතිඵලය තමයි ඉන්ධන පිරවුම්හල්වලටත් සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණයක් විතරක් සෑම කෙනෙකුටම ලබා දෙන්න. මේ දුෂ්කර මොහොතේ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරීමක් සහිතව ඉන්ධන නිකුත් කරන්නේ.”

ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල දී ගැනීම සඳහා අඛණ්ඩව ඩොලර් සැපයීමට මුදල් අමාත්‍යංශය සහතික වුවද එය තවමත් ක්‍රියාත්මක වී නැතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙම මාසය ඇතුළත ඉන්ධන මිල වැඩි නොවන්නේ ද? යන්න සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමති උදය ගම්මන්පිල.

“අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න බැහැ. ඒ විතරක් නොවෙයි, තව පැය 24ක්වත් මම ජීවත් වෙනවා කියලා මට සහතික වෙන්නත් බැහැ. ඔබටත් සහතික වෙන්න බැහැ. එතරම් අනිත්‍ය ලෝකේ, තෙල් මිල ගැන විතරක් මගෙන් ඇයි නිත්‍ය ප්‍රකාශ ඉල්ලන්නේ?”

 

ගීතා ඇති වෙන්නම ලෝඩ් කරගෙන ! (Video )

අවුරුද්දකට පමණ ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් තමන් රැස්කරගත් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි.

ඉන්ධන හිගවෙතැනි බියෙන් තමන් මෙසේ කළ බවත් ඇය පවසයි.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින්ය.

තමන් සිදුකළ ආකාරයටම ඇමැතිවරුන් කිහිප දෙනෙකුද ඉන්ධන තොග රැස් කර ඇති බවත් ඇය පැවසුවාය.

ඇගේ අදහස් දැක්වීම ඇතුළත් news 1st video ව පහත දැක්වෙයි.


රන්ජන් වෙනුවෙන් හරීන් සහ මනුෂ ජිනීවා වෙත !

බන්ධනාගාර ගත කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ කරුණු දැක්වීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් ජීනීවා බලා පිටත්ව යාමට නියමිත ය.

ඊට පෙර ඔවුන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂයේ නීතිඥවරුන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

ඒ බව සටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇත.

එම සටහන පහත දැක්වෙයි.

manusha harin

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගැන සුදුසු වෙලාවේ සුදුසු තීන්දුවක් ගන්නවා - පොහොට්ටු ලේකම්

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සිදුකරන වැඩකටයුතු පිළිබඳව තම පක්ෂය ඉතා විමසිල්ලෙන් බලා සිටින බවද ඒ අනුව අවශ්‍ය මොහොතේ සුදුසු තීරණය පක්ෂ ගැනීමට පක්ෂය සූදානම් බවත් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අවධාරණය කර සිටියි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මව්බිම පුවත්පත වෙත අදහස් දක්වමින් ය.

කෙසේ වුවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බවත් ඔහු සඳහන් කර ඇත.

අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් අද (මාර්තු 02) එළිදැක්වීමට යන “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට මෙසේ ප්‍රතිචාර දක්වා ඇති පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් වැඩිදුරටත් පවසා ඇත්තේ , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11න් සාමාජිකයන් කිහිපදෙනකු කැබිනට් ඇමැතිවරුන් නිසා එම පක්ෂවලින් ඉදිරිපත් කිරීමට සැරසෙන “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය මුලින්ම ඉදිරිපත් කළ යුත්තේ, කැබිනට් මණ්ඩලයට බවය.

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාල සීමාව, අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රුසියානු සංචාරකයින් 11,463 සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටී.

රුසියානු – යුක්‍රේන අතර වර්ධනය වී ඇති අර්බුදය හේතුවෙන් ඔවුන්ට නැවත සිය රට කරා යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංචාරකයින්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

යුක්‍රේන අර්බුදය : පෙරටුගාමී නිවේදනය මෙන්න !

යුක්‍රේන අර්බුදය පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ රුසියානු පිළිවෙතට සහ නේටෝ සංවිධානයේ ප්‍රකෝපකාරීත්වයන්ට එරෙහිව ජනතා සහයෝගීතාවයක් ගොඩ නගමු!

මේ වනවිට රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුළු වී දරුණු ජනඝාතක යුද්ධයකට ආරම්භය ලබා දී තිබේ. යුක්‍රේනය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය කලාපය තුළ ඇමරිකා එක්සත් ජනපදය-යුරෝපා සංගමය ප්‍රමුඛ කඳවුරත් රුසියාව ප්‍රමුඛ කඳවුරත් අතර ඇතිවන මිලිටරි ගැටුම් ලෝක යුද්ධයක් දක්වා වුව වර්ධනය වීමේ අවකාශයක් ඇති බැවින් මෙම යුද අන්තරාය බැරෑරුම් ලෙස අවධානයට යොමු කළ යුතුව තිබේ.

යුද්ධය වහා නතර කළ යුතු බවත්, රුසියාව වහාම සිය ආක්‍රමණික හමුදා යුක්‍රේනයෙන් ඉවත් කළ යුතු බවත් අපි බළකොට කියා සිටිමු. නේටෝ සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදයත්, ජර්මනිය ප්‍රමුඛ බටහිර යුරෝපා රටවලුත් විසින් කවර ප්‍රකෝපකාරීත්වයක් ප්‍රදර්ශනය කළද එමගින් ආක්‍රමණික යුද්ධයක් යුක්තියුක්ත වන්නේ නැත.

එමෙන්ම යුක්‍රේනයේ වත්මන් පාලනය වන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කිගේ පාලනයේ ජාතිවාදී හා නව නාසිවාදී මර්දනීය පිළිවෙත විසින් පවා ආක්‍රමණික යුද්ධයක් සාධාරණීකරණය වන්නේ නැත. මෙවැනි යුදමය මැදිහත්වීමක් විසින් සිදුවන්නේ රුසියාවේ සහ යුක්‍රේනයේ වැඩකරන ජනතාවන් අතර තියුණු බෙදීමක් සහ පසමිතුරුතාවයක් ගොඩ නැගීම වන අතර එය නේටෝ උපයමාර්ගයේම කොටසක් මිස ඊට එරෙහි විකල්පය නොවේ. එබැවින් යුද්ධයක් සහ යුක්‍රේනය ආක්‍රමණය සඳහා රුසියාවේ ව්ලැදිමීර් පුටින් පාලනය ගත් ක්‍රියාමාර්ගය අපි තරයේ හෙලා දකින අතර යුද්ධය වහාම නතර කිරීමට බල කරමු.

ආක්‍රමණික යුද්ධයක් ඇති කිරීමේ තනි වගකීමක් රුසියානු පාලනයට පමණක් පැවරිය නොහැක්කේ ඒ සඳහා දීර්ඝ කාලයක සිට නේටෝ යුද හවුල විසින් කළ ක්‍රියාකාරකම් වල සම්බන්ධයක් ඇති බැවිනි. ඇමරිකා එක්සත් ජනපදයේත්, ජර්මනියේත්, එම අධිරාජ්‍යවාදී කඳවුරේ අනෙක් රටවලත් උපායමාර්ගය වන්නේ රුසියාව සතුරු රාජ්‍ය වළල්ලකින් වට කර හුදෙකලා කිරීම සහ නැගෙනහිර යුරෝපා රටවල නේටෝ යුද අවි සහ හමුදා ස්ථානගත කිරීමයි. එවැන්නක් රුසියාවේ ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල කරන බවට විවාදයක් නැත. ආසන්න සිදුවීම වනුයේ රුසියාවට යාබද යුක්‍රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට හෙවත් නේටෝ සංවිධානයට සම්බන්ධ කරගෙන එහි දේශසීමා ඔස්සේ රුසියාවට එරෙහි යුදමය තර්ජනයක් එල්ල කිරීමට ගත් උත්සාහයයි. දැනටමත් ඔවුන් රුසියාවට එරෙහි යුදමය තර්ජනයක් එල්ල කිරීමට නේටෝ සාමාජිකයින් වන පෝලන්තය, රුමේනියාව, එස්තෝනියාව, ලිතුවේනියාව සහ ලැට්වියාව යන රටවල මිලිටරි මැදිහත්වීම් කරමින් සිටී.

ඒ අතර යුක්‍රේනය පාලමක් කර ගනිමින් රුසියාව තර්ජනයට ලක් කිරීම නේටෝ ක්‍රියාමාර්ගය බව පෙනේ. එබැවින් රුසියාවට යුද්ධය නතර කිරීමට බලපෑම් කිරීමේ වියුක්ත සටන්පාඨ වලින් පලක් නැත. නැගෙනහිර යුරෝපා කලාපයේ, බෝල්ටික් ප්‍රදේශයේ හා මධ්‍යම ආසියාවේ නේටෝ සංවිධානයත්, ඇමරිකා එක්සත් ජනපදයත්, යුරෝපා බලවතුනුත් සිදු කරන ආධිපත්‍යධාරී, ව්‍යාප්තවාදී, තර්ජනාත්මක මිලිටරි ක්‍රියාකාරකම් වහා නතර කළ යුතුය. නේටෝ ඇතුළු අධිරාජ්‍යවාදී යුද සංවිධාන විසුරුවා හැරීමට බලකරන ජාත්‍යන්තර ජනතා බලයක්, අධිරාජ්‍යවිරෝධීන්ගේ - ප්‍රගතිශීලීන්ගේ - ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පුළුල් ජාත්‍යන්තර ව්‍යාපාරයක් අවශ්‍ය වේ.

අන්තර්-අධිරාජ්‍ය ප්‍රතිවිරෝධය සහ ගෝලීය බලවතුන්ගේත්, කලාපීය බලවතුන්ගේත් බල අරගල විනාශකාරී, ජන සංහාරක තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීම වලක්වාලිය හැක්කේ එලෙස පමණි.

යුක්‍රේනයේ යුද්ධය තුළ අවදානමට මුහුණදී සිටින යුක්‍රේනයේ වෙසෙන ලාංකික ශ්‍රමිකයන්ගේ හා ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව කරඇති මැදිහත්වීම කිසිසේත් ප්‍රමාණවත් නැති අතර ඒ සියල්ලන්ගේ ජීවිත වල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව අපි තරයේ අවධාරණය කර සිටිමු.

නැගෙනහිර යුරෝපා කලාපයේ මෙන්ම ඉන්දියානු සාගරයද ඇතුළු ලොව බොහෝ කලාප වල උද්ගත වී තිබෙන යුද ආතතිය සමග ලෝක හා කලාපීය බලවතුන්ගේ ප්‍රාග්ධන අභිලාෂයන් සහ ආර්ථික තරඟය සම්බන්ධිතව තිබේ. එමෙන්ම එය දේශපාලන බලය තහවුරු කර ගැනීමේ හා යුදමය වශයෙන් උපායමාර්ගිකව වැදගත් ස්ථාන අත්පත් කර ගැනීමේ බලපොරය සමග සම්බන්ධිතය. ලෝක ජනතාව ජන සංහාරක යුද්ධයක ගොදුරු බවට පත්වීමේ ඛේදවාචකයට තිත තැබිය හැක්කේ මෙකී ආර්ථික-දේශපාලන-මිලිටරි ප්‍රතිවිරෝධයන් මුලිනුපුටා දැමීමෙන් පමණි. ඒ සඳහා වන ජාත්‍යන්තර පරිමාණ මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ පළමු පියවර ලෙස වත්මන් අර්බුදයට ලෝකයේම වැඩකරන ජනතාව ප්‍රමුඛ පීඩාවට පත් වන්නන්, යුද්ධයේ ගොදුරු බවට පත්වන්නන් සක්‍රියව මැදිහත් විය යුතුය.

එමෙන්ම යුද්ධය දිගු කාලයක් පැවතීම නිසා දැනට ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයන්ට සියරට යාම අපහසු වන්නේනම් ඔවුන් සම්බන්ධයෙන්ද විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම භාර ගන්නා ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. නේටෝ යුද තර්ජන වලට, ඇමරිකා එක්සත් ජනපදයේ හා බටහිර යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල මිලිටරි බලහත්කාරයට, රුසියාවේ ආක්‍රමණික යුද්ධයට එරෙහිව රුසියාවෙත් යුක්‍රේනයේත් වැඩකරන ජනතාව ප්‍රමුඛ ජනකොටස් වල සමගිය හා ඒකාබද්ධතාව වර්ධනය කරන ලෙස එම දෙරටේම ජනතාවගෙන් ඉල්ලා සිටින අපි අධිරාජ්‍යවාදී යුද අවදානමට එරෙහි ලෝක පරිමාණ බලයක් ගොඩ නැගීමට ලොව පුරා ප්‍රගතිශීලීන්ට ආරාධනා කරමු. ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස ලංකාවේ ජනතාවගෙන්ද ඉල්ලා සිටිමු.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2022 පෙබරවාරි 28

ඉන්ධන අර්බුදය : බැසිල් පිලෙන් ගම්මන්පිලට නොනවතින ප්‍රහාරයක් !

බලශක්ති අමාත්‍යවරයා තවදුරටත් එකී ධූරයෙ කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති , කථිකාචාර්ය මහින්ද පතිරණ සමාජ මාධ්‍ය තුළ සටනක් දියත්කර ඇත.

දේශපාලන ක්ශේත්‍රයේ මහින්ද පතිරණ සැලකෙන උග්‍ර බැසිල් රාජපක්ෂවාදියකු ලෙසය.

කෙසේ වුවත් ඔහු එල්ල කරමින් සිටින චෝදනා බරපතළ බව දේශපාලන විචාරකයන් පවසයි.

ඒ අනුව පසුගිය දින කිහිපයක මහින්ද පතිරණ තැබූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහත දැක්වෙයි.

2022- 02- 28

"මේ තරම් අර්බුදයක් ඇති කර තිබියදීත් බලශක්ති ඇමතිවරයා තවදුරටත් ධූරයේ රැඳී සිටීම හා ධුරයේ තබා ගැනීම මෙරට ජනතාවට කරන විශාලතම නින්දාවකි."

2022-02- 27

"ඩොලර් හිගයක් ඇති වන බව දැනගෙන වත්මන් ගෝඨාභය ආණ්ඩුව පත් වූ විගස බලශක්ති ඇමතිවරයාට කැබිනට් මණ්ඩලය උපදෙස් ලබා දී තිබුණේ මැද පෙරදිග රටක් සමග, දිගුකාලීන ගිවිසුමක් මත ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයකට වහා යන ලෙසයි. එය දුර දිග බලා දුන් වෘත්තිය උපදේශයකි. එසේ කළේ නම් ඩොලර් හිග වුවද Line of credit මත ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව තිබුණි. බොහෝ රටවල් ඉන්ධන ලබා ගන්නේ මේ ක්‍රමයට වේ. එහෙත් ඇමතිවරයා ඊට එකඟ නොවූ අතර, ඔහු සිංගප්පූරුවේ තැරැව්කරුවන්ගෙන් spot purchasing ක්‍රමයට ඉන්ධන ලබා ගැනීම පමණක් තෝරා ගත්තේය. පසුකාලීන ආණ්ඩුවේ දැඩි ඉල්ලුම මත ඕමානය සමග මෙවැනි ගිවිසුමකට යෑමට ඇමතිවරයා එරටට ගිය ද එය සාර්ථක වූයේ නැත. ඊට හේතුව ඒ වන විටත් ලෝක වෙළෙඳපොලෙහි තෙල් මිළ ඉහළ යමින් තිබීමයි. එවන් තත්වයක රටවල් දිගුකාලීන ගිවිසුම්වලට එකඟ වන්නේ නැත. නිසි කලට මෙවැනි උපක්‍රමික තීන්දු ගැනීම සඳහායි අමාත්‍යාංශයක් තිබෙන්නේ. එය පූර්ණ වශයෙන් බලශක්ති අමාත්‍යාංශයේ වගකීමකි. ඩොලර් ලැබේනම් තෙල් ගෙන්වන්නම් යනු පිළිතුරක් නොවේ."

............

"ඉන්ධන ප්‍රශ්නය ඔඩු දිවීමට සැලසීමෙන් ආණ්ඩුව ජනතාව අතර විරෝධයට ලක්වීමට ඉඩ හැර "හරි මග" යනුවෙන් නව යෝජනාවලියක් ආණ්ඩුවට දීමට යන්නේ ඇමති ගම්මන්පිල රෙදි ඇඳගෙනද? හරිමග යන්නේ ඩීසල් නැතිවද? ඇමති ගම්මන්පිල, පළමුව ඔබේ වගකීම ඉටුකරන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි."

................

"ඉන්ධන ප්‍රශ්නය ඔඩු දිවීමට සැලසීමෙන් ආණ්ඩුව ජනතාව අතර විරෝධයට ලක්වීමට ඉඩ හැර "හරි මග" යනුවෙන් නව යෝජනාවලියක් ආණ්ඩුවට දීමට යන්නේ ඇමති ගම්මන්පිල රෙදි ඇඳගෙනද? හරිමග යන්නේ ඩීසල් නැතිවද? ඇමති ගම්මන්පිල, පළමුව ඔබේ වගකීම ඉටුකරන්න. ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි."

 

 

නීතිපතිය නඩුව හකුළයි : තවත් නඩුවකින් බැසිල් නිදොස්කොට නිදහස් !

රාජ්‍ය මූල්‍ය අවභාවිතා කිරීමට අදාළ නඩුවකින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ නොදොස්කොට නිදහස් කර ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ සමෘද්ධි අරමුදලේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වූ නඩුවකින්ය.

වාර්තා වන ආකාරයට නීතිපතිවරයා විසින් මෙම නඩුව තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවට කළ දැනුම්දීම හමුවේ මෙම නඩුව අවසන් කිරීමට විනිසුරුවරයා පියවර ගෙන තිබේ.

හාල් කිලෝවක් දෙන්නෙකුට සතියකට ඇති නේද ? චමල්

සහල් කිලෝවක් දෙදෙනෙකු සඳහා සතියට ප්‍රමාණවත් බවත් එසේ නොවේ නම් දන්වන ලෙසත් අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 125ක් පමණ වන බව තමන්ට තිස්සමහාරාමයේ සහල් මෝල් හිමියෙකු පැවසූ බවයි.

එහිදී රැස්ව සිටි ජනතාව අමාත්‍යවරයාට පැවසුවේ සහල් කිලෝවක් රුපියල් 156 ක් පමණ වන බවයි.

පසුව චමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළේ රුපියල් 156 කට මිලදී ගන්නා සහල් කිලෝවක් දෙදෙනෙකුට සතියකට ප්‍රමාණවත් වන බවයි.

එසේ නොමැතිනම් එය පවසන ලෙසත් නොදන්නා නිසා අසන බවත් කියා සිටි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ගොස් ඒවා පිළිබඳව දැනුවත් කිරීමට හැකි බවද සඳහන් කරනු ලැබිණ.

වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තාවකාලික බවත් ඒ්වා විසඳාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

භාණ්ඩ 600 ක බදු ඉහළට ?

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ වර්ග 600ක බදු තවත් වැඩි කරන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත.

එවැනි භාණ්ඩ ආනයනය තවත් අධෛර්යමත් කිරීම සඳහා රජයේ ආර්ථික උපදේශකවරයා ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව රජයට බදු වැඩිකිරීමේ යෝජනාවන් ඉදිරිපත් කළ බව මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (27දා) පැවසීය.

එසේම තෙල් මිල වැඩි කරන ලෙස ද මහ බැංකුව රජයට යෝජනා කර ඇත.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ මහ බැංකුව මෙම යෝජනා රජයට ඉදිරිපත් කළත් මේ සඳහා තවමත් රජයෙන් ප‍්‍රතිචාර ලැබී නැත.

මේ සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීම සඳහා එම යෝජනා ගැන මුදල් අමාත්‍යාංශය කරුණු සලකා බලාගෙන යන බවත් තවමත් අදාළ භාණ්ඩවල බදු වැඩි කිරීමට හෝ දේශීය තෙල් මිල ගණන් ඉහළ දැමීමට රජය වශයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් තහවුරු වේ.

මේ යෝජනා ඇතුළු තවත් යෝජනා කිහිපයක්ම මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කර ඇති අතර පවතින විනිමය අර්බුදය සමනය කර ගැනීමේ අරමුණින් සහ ආනයන වියදම තවත් අඩුකර ගැනීමේ අරමුණින් මහ බැංකුව මේ යෝජනා ඉදිරිපත් කර ඇති බව ද වාර්තාවේ.

මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ වර්ග හයසියයක පමණ ඒවා ආනයනය කිරීම සඳහා බැංකු මගින් ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ද මීට කලකට පෙර මහ බැංකුව විසින් නියම කර තිබූ අතර එය පසුව ඉවත් කරනු ලැබිණි.

- lead news

විදුලි කප්පාදුවේ වෙලාව වැඩි වෙයි !

අද (28) සිට විදුලි කප්පාදු කිරීමේ වේලාව තවත් විනාඩි 15කින් වැඩිකර ඇත.

වාර්තා වන ආකාරයට විදුලි බල මණ්ඩලය මේ සඳහා කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප වලට පැය 5.15ක් සහ A,B,C කලාප වලට පැය 4.40ක් ලෙස දිවා සහ රාත‍්‍රී කාලයේදී විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

 

මෛත්‍රී දස අතේ දිව්රයි !

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කිසිඳු තොරතුරක් තමන් දැන නොසිටි බවට බෞද්ධයෙක් ලෙස බුදුන් වහන්සේගේ දෙපා නැමද හෝ ඕනෑම තැනක කුරුසියේ අතගසා කිව හැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

ප්‍රහාරයක් එල්ල වන බවට සිංගප්පූරුවේ සිටියදී හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දී ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව පැවසුවේ පොළොන්නරුව නගරයේ පිහිටි නිර්මල දේවමාතා කිතුණු දේවස්ථානයේ නව දේව මන්දිරය ඉදිකිරීම සඳහා දායකවූවන්ට ආශීර්වාද කිරීම සඳහා එම දේවස්ථානයේදී පැවති ආශීර්වාද පූජාවකට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරක් සිටියේ නම් තමන් එවැනි විනාශයක්වීමට ඉඩනොදෙන බවත්, එවැනි තොරතුරක් ගැන බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තමා දැනුවත් කළේ නම් කිසිදු හේතුවක් මත තමා රටින් පිටව නොයන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ද ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියෙන් ඒ සඳහා ආධාර ලබාදී තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී තමා විදෙස්ගත වූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා තමන් සිංගප්පූරුවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බව ද පැවසීය.

තමන් රෝහලේ සිටියදීත් මේ ගැන දැනුවත් කර ඇති බවට මාධ්‍ය සහ ඇතැම් අය චෝදනා කළත් තමන් ප්‍රතිකාර ලැබූ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ රෝගීන් අසලට දුරකතන රැගෙනයාමේ හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ ගැන තමා විසින්ම පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ද ප්‍රකාශ කළ බවත් ඔහු පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම හැර විකල්පයක් ආණ්ඩුවට නෑ !

ඉතා ඉක්මනින් ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුවට සිදුවන බවත් එසේ නොවුණුහොත් මතුව ඇති ආර්ථික අර්බුදය තවත් දරුණු විය හැකි බවත් ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂකයන් පවසයි.

ඔවුන් පවසන්නේ ආණ්ඩුව පසුගිය සමයේ අනුගමනය කළ ආර්ථික මූලෝපායන් අසාර්ථක වීම හේතුවෙන් වෙනත් විකල්පයක් නොමැති තැනට පත්ව ඇති බවයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග කියන්නේ ඉක්මනින් තෙල් මිල ඉහළ නොදැමුවහොත් බරපතළ අර්බුද ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් විසින් අගමැතිවරයා වෙත දැනුම්දි ඇති බවයි.

ඩොලර් පමණක් නොව ඉදිරියේදී දැඩි රුපියල් හිගයකට පවා මුහුණදීමට සිදු වනු ඇති බවත් එහිදී ඔවුන් පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

තවද මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් ඇමැතිවරයා සමග සාකච්ජා කරන මෙන් ඔවුන් අගමැති මහින්ද රාජපක්ෂ වෙතින් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මූල්‍ය සහ ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමක් නියමිත ආකාරයට සිදුකළහොත් එය මෙරට සිදුවන ඓතිහාසික මිල ඉහළ දැමීමක් විය හැකි බවයි.

 

ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම් - දයාසිරි

පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.

එනිසා පක්ෂය වැඩපිළිවෙළට ගම් ගම් බිම් මට්ටමේ ඉතා ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බව ද ඔහු පැවසීය.

ඩීසල් අර්බුදයට හේතුව : මහින්ද හොයාගෙන !

රටේ උද්ගතව ඇති ඩීසල් අර්බුදයට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් සොයාගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපතිවරයා පවසන්නේ උද්ගතව ඇති ඩීසල් අර්බුදය ට හේතුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ කෙරුවාව බවය.

එසේම ගම්මන්පිලගේ කට මිස වැඩ නොමැති බවය.

මේ බව සඳහන් කරමින් ඔහු සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

“ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි.

අත්දැකීම් නැති හුදු කටකාරකම පමණක් ම ඇති මෙවැනි පුද්ගලයින්ට තීරණාත්මත ඇමතිකම් දීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදකි.”

ඉන්ධන අර්බුදය බරපතළයි : පොදු ප්‍රවාහනයත් කොට උඩ !

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,

“අපේ සුපුරුදු බස් ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැති තත්ත්වයක් තියෙනවා. ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන නැහැ. IOC එකේ මිල වැඩි කරලා තියෙනවා. ඒකෙන් අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. විශේෂයෙන් මේ දවස්වල අරපරිස්සමෙන් වැඩකටයුතු කරන්න ඕනේ කාලයක්. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා හෙට උදෑසන සිට ගමන් වාර සංඛ්‍යාව අඩු කරන්න. රාජකාරි වෙලාවන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙන්නත් ඇතැම් ගමන්වාර අවලංගු කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දීලා තියෙන්නේ”

සජිත් යන්නේ කොහෙද මල්ලේ පොල් : ආණ්ඩුව ගෙදර යන්න සූදානම් වෙන්න - ලාල්

"සජිත් ප්‍රේමදාස යන්නේ කොහෙද මල්ලේ පොල්. නමුත් අපි ඉතිහාසයෙන් අත්දැකීම් අරගෙන වැඩ පිළිවෙළක් සහිතව වැඩකරගෙන යනවා. ඒ නිසා රාජපක්ෂලාගේ ගේ ඇතුළේ ඉඳලා අපි කියන්නේ යන්න සූදානම් වෙලා හිටපල්ලා." යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

ඒ ජාතික ජන බලවේගය පවත්වන මහජන රැලි මාලාවක මංගල රැලිය ඊයේ (26) තංගල්ලේදී පැවැත්වූ අවස්ථාවේ පිරිස අමතමිනි .

ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇතුළු ජාතික විධායක සභිකයින් රැසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර අති විශාල ජන සහභාගිත්වයක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහෙනම් වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මෙසේද පැවසීය.

“මේ වෙලාවේ ලෝකය පුරාම ජනතාව බලා ඉන්නේ යුක්රේනය සහ රුසියාව දිහා. අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කවද්ද කියලා. මේ ආණ්ඩුව ගෙදර යවන සටන අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ බව ජාතික ජන බලවේගයේ අපි අභිමානයෙන් කියන්න කැමතියි. මේ ජනාධිපතිවරයා බලයට පත්වුණේ 2019 දී. මේ ආණ්ඩුව බලයට පත්වුණෙත් 2020 අගෝස්තු මාසයේදී. මේ ආණ්ඩුව ඉක්මනින්ම ජනතාවට එපා වුණු නිසා ගෙදර යවන අරගලය අපි 2021 අගෝස්තු පළවැනිදා ආරම්භ කළා. ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ආණ්ඩුව පෙරළලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනගන්න සූදානම් කියලා අපි රටට ප්‍රකාශයක් කළා.

ඊට පස්සේ කට්ටිය එක එක කතා කියන්න පටන් ගත්තා. ඒ කතාවලට අභියෝග කරමින් අපේ මිත්‍රයින්ටත් සතුරන්ටත් දෙගොල්ලන්ටම දැනගන්න 2021 දෙසැම්බර් 20 වැනිදා කොළඹදී සමුළුවක් තියලා ජාතික ජන බලවේගයේ රට ගොඩනඟන වැඩපිළිවෙළත්, 73දෙනෙකුගේ නායක මණ්ඩලයත් රටට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඇහුව්වා දිස්ත්‍රික්කවල නායකයන් කෝ කියලා. අපි ජනවාරි මාසයේ 5වැනිදා මහනුවර දිස්ත්‍රික් සමුළුවක් තියලා 37දෙනෙකුගේ නායක මණ්ඩලයක් පතකර ගත්තා. ඉන්පස්සේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් නායකත්වය ජනතාවට ඉදිරිපත් කරමින් දිස්ත්‍රික් සමුළු පවත්වනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලය කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් කරන එන්පීපී සභා හදන වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් යනවා. තවත් අදියරක් හැටියට තංගල්ල නගරයේදී අද මේ ජන බල රැලිය පවත්වනවා. අපි වටා එකතුවෙන්න සූදානම් සියලුම ජනයාට දොරටු විවෘත් කරමින් මේ රැලිය පවත්වනවා. ජාතික ජන බලවේගය වටා ජනතාව පෙළ ගැසෙන ආකාරය අතුරු සිදුරු නැතිව පිරී යන මේ ජනකායෙන් පේනවා.

අපි බලයට ඇවිල්ලා ගොඩනඟන ආණ්ඩුව මොකක්ද කියලත් සමහරු අහනවා. ඒක සමාජවාදීද අහනවා. ඒ වගේම අද ලංකාවේ වැඩිපුරම මඩ ගහන්නේ අවලාද නගන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාටයි. ඒ කියන්නේ සතුරන්ට හොඳටම රිදිලා. ආණ්ඩුව ඇතුළේ විතරක් නොවෙයි එළියේ ඉන්න ද්‍රෝහීනුත් මේ වැඩේම කරනවා. ඒක හොඳයි. අපි ඒ ගැන සතුටු වෙනවා. ඔය අතර සතුරනුත් එක එක මත හදනනවා. ජාතික ජන බලවේගයට බලය අරගෙන ඩොලර් ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා අහනවා. ඒ වගේම අපිට ලැබෙන ඇමතිකම් මොනවාද කියලා අහනවා. ලාංකීය භූමියේ ඊළඟ ආණ්ඩුව කරන්නේ මොනවාද කියලා අහන්නේ ජාතික ජන බලවේගයෙන් විතරයි. අවුරුදු 73ක ප්‍රතිගාමී පාලනය අවසන් කරලා නව සමාජයක් ගොඩනඟන්න මිතුරෝ එකතු වෙනවා. සතුරෝ පහර දෙනවා.

මේ සමාජයේ ගොවි, ධීවර ඇතුළු විවිධ ස්ථරවල ජනතාව අපි වටා එකතු වී සිටියා. නමුත් මේ මොහොත වන විට මේ රටේ ඉහළම ආදායම් ලබන ස්ථරයේ පිරිස විශාල වශයෙන් අපෙන් කරුණු පැහැදිළි කර ගන්නවා. ඔවුන්ට කරුණු පැහැදිළි කරගන්න සිදුවී තිබෙනවා. රාජපක්ෂලාගේ පාලනය යටතේ අද වැඩියෙන්ම ගුටි කාලා තිබෙන්නේ ගොවිජනතාව, ධීවර ජනතාව, විතරක් නොවෙයි. මධ්‍යම පාන්තික ජනතාවත් පොල් ගහක කරටියෙන් බිමට වැටිලා වගේ ඉන්නේ. මම මේ කියන්නේ ජාවාරම්කාරයෝ ගැන නොවෙයි. මේ රටේ කර්මාන්තකරුවෝ, වෙනත් ව්‍යාපාරිකයෝ, මහා පරිමානයෙන් සිටි සියලුම දෙනාට වැදිලා තියෙන්නේ. ගොවි ජනතාව, ධීවර ජනතාව, පැදුරෙන් බිමට වැටිලා නම්, ඉහළම ජනතාව ඊට වඩා බරපතළ වැටීමකට ලක්වෙලා. දැන් ඒ අය අප වටා එකතු වෙමින් ඉන්නවා.

මේ සියලුම දෙනාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන රටක් ගොඩනඟන වැඩපිළිවෙළ වටා ඒකරාශී වන ජනතාව කොතරම්ද කියලා පෙන්නුම් කරන ඓතිහාසික රැලියක් මේක. මුලින්ම මොන ඡන්දයක් එයිද කියලා අපි දන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයක් ඉස්සෙල්ලාම ආවොත් කුමන්ත්‍රණ කරලා අපෙන් පැහැර ගත්ත තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවත්, තවත් ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා කියන එකත් අපට කිසිම සැකයක් නැහැ. මහ මැතිවරණයකට තව අවුරුදු 3 1/2ක් තියෙනවා. මේ විදිහට අවුරුදු තුනහමාරක් යන්න බැහැ. රාජපක්ෂලාගේ ගේ ඇතුළට ඇවිල්ලා අපි කෑගහලා කියනවා මැතිවරණයක් තියපල්ලා. යුද්ධය ඉවර වුණාට පස්සේ රාජපක්ෂලා ඈත තිබුණු ඡන්ද ළඟට ගත්තා. නමුත් දැන් රාජපක්ෂලා පවත්වන්න ඕනෑ ඡන්දත් කල්දානවා. ඒ විතරක් නොවෙයි පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගන්න ජනතාව සූදානම් නම් ඒකත් කරන්න පුළුවන්. රටේ ජනතාව හඬගාලා කියනවා නම් පාර්ලිමේන්තුවට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ජන බලයට වඩා බලයක් වෙන කොහේවත් නැහැ. දැන් පලයල්ලා කියලා තිබෙන ජන මතය ජන බලයක් බවට පත්කරලා මේ හඬ නඟන්න ඕනෑ. ජන බලය කියන්නේ සංවිධානය වුණු ජනතාවගේ ශක්තිය.

අපේ ගුරුවරයා වුණු, ලෙනින් අපට කියලා තිබෙන්නේ වැඩ කරන ජනතාවට සංවිධානය වීම හැර වෙනත් අවියක් නැත කියලයි. සතුරු බලවේග අවදිවෙලා තියෙනවා. ලෙනින් සහෝදරයා අපට කියලා තිබෙන්නේ විප්ලවය අවදි වන්නේ ප්‍රතිවිප්ලවයද අවදිකර ගනිමිනි කියලයි. අපි සමාජ පරිවර්තනය ආරම්භ කර තිබෙනවා. ඒ නිසා ප්‍රතිගාමී බලවේගත් අවදිවී තිබෙනවා. අපි අයාලේ යනවා නොවෙයි. දැනගෙන පිළිවෙළකට වැඩ කරන්නේ. තංගල්ලේ රැලිය නිකම්ම පවත්වනවා නොවෙයි. මාධ්‍ය සාකච්ඡාවක් තියලා පටන් ගත්ත වැඩ පිළිවෙළක තවත් අදියරක් තමයි මේ රැලිය.

සජිත් ප්‍රේමදාස යන්නේ කොහෙද මල්ලේ පොල්. නමුත් අපි ඉතිහාසයෙන් අත්දැකීම් අරගෙන වැඩ පිළිවෙළක් සහිතව වැඩකරගෙන යනවා. ඒ නිසා රාජපක්ෂලාගේ ගේ ඇතුළේ ඉඳලා අපි කියන්නේ යන්න සූදානම් වෙලා හිටපල්ලා. ජනතාව රවට්ටලා නැවතත් බලය ලබාගන්න උත්සාහ කරන ප්‍රතිගාමින් අපිත් එක්ක තරගයට ආවා. සජිත් ප්‍රේමදාස එහෙ මෙහෙ ගියා. රාජපක්ෂ පාලනය පලවා හැර නූතන වැඩපිළිවෙළක් සහිතව රට ගොඩනැගීමට කටයුතු කරන ලාංකීය සමාජයේ ඉදිරියෙන්ම ඉන්න බලවේගය ජාතික ජන බලවේගය විතරයි කියලා අවධාරණය කරනවා. හැමෝම එකතු වී අත්වැල් බැඳගෙන මේ පාලනය පලවා හැර ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනඟමු. ජාතික ජන බලවේගයට ජයවේවා!”

Page 363 of 464