මහා ගුවන් අනතුර නූලෙන් බේරපු හැටි මෙන්න !

මහා ගුවන් අනතුර නූලෙන් බේරපු හැටි මෙන්න !

ලන්ඩනයේ සිට කටුනායක දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය ඊයේ (14) තුර්කියට ඉහලින් වූ උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් සමග ගැටීමට යාමෙන් සිදුවීමට ගිය විශාල විපතක් වළක්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ගේ දක්ෂකම නිසා හැකිවී ඇති බව වාර්තා වෙයි.

එනිසා මගීන් 275 දෙනෙකු සමග ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළෙන් ගමන් ඇරඹු UL 504 දරන ගුවන් යානය නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ සවස ලඟා වී තිබිණ .

වාර්තා වන ආකාරයට , ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලේ සිට කටුනායක බලා ගමන් ඇරඹු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුල්වීමෙන් පසු අන්කාරා ඉහළින් පියාසර කරමින් සිටියදී එහි ගුවන් පාලක මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගුවන් යානය පියාසර කරවන ලෙසට දැනුම්දී ඇත.

තමන්ට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටි ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් ඇතුළු යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට නිරීක්ෂණය වී ඇත්තේ ඒ වන විටත් ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින් පියාසර කරන බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් පියාසර කරමින් සිටින බවයි.

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරන මාර්ගයට ශ්‍රී ලන්කන් ගුවන් යානය රැගෙන යන ලෙස අන්කාරා හි පිහිටි ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන් ඔවුන් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දීමට පියවර ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි .

බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ඒ වන විට ඩුබායි බලා පියාසර කරමින් සිට ඇති අතර එහි ගමනාන්තය වී තිබුනේ සිංගප්පූරුවයි.

එමෙන්ම මෙම ගුවන් යානය ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොලෙන් පිටත්වී තිබුනේ ශ්‍රී ලන්කන් ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකට පසුව වීමද විශේෂත්වයකි .

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානය සිදුකළ දැනුම් දීමෙන් පසුව පරීක්ෂා කිරීමෙන් පසු, අන්කාරා ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලනක්න් ගුවන් යානයේ කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු ගුවන් යානයක පියාසර කිරීමක් අනාවරණය නොවූ බැවින් ශ්‍රී ලන්කන් ගුවන් යානයට ඉහළ නැගීමට අවසර දුන් බවයි.

ඒ වන විට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තම යානාවේ පිහිටි රේඩාර් පද්ධතියෙන් හඳුනා ගත් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවා යානය අදාළ සීමාවට රැගෙන නොගස් නැවත වරක් අන්කාරා ගුවන් ගමන් පාලකට දන්වා ඇත්තේ ඔවුන් ගේ තීරණය ගැන පරීක්ෂා කර බලන ලෙසයි.

එම දැනුම් දීමෙන් සුළු මොහොතකට පසුව ඇන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය විසින් ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවාට දැනුම් දී ඇත්තේ අඩි 35,000ට ඉහළ අහසේ ගුවන් යානයක් ගමන් කරමින් ඇති බවට නිරීක්ෂණය වූ බැවින් පෙර දැනුම් දුන් නියෝගය අවලංගු කරන බවයි.

තුර්කි ගුවන් ගමන් පාලක මැදිරිය විසින් සිදුකළ දැනුම් දීම අනුව ශ්‍රී ලනක්න් ගුවන් යානය අඩි 35,000ක් ඉහළ මට්ටමට ඔවුන්ගේ යානය ගෙන ගියා නම් එය විශාල ඛේදවාචකයක් වීමට ඉඩ තිබුණි. මන්ද ශ්‍රී ලන්කන් ගුවන් යානයේ වේගයට අධික වේගයෙන් බ්‍රිතාන්‍යය ගුවන් සේවයට අයත් ගුවන් යානය ගමන් කරමින් තිබු බැවින් එම යානා දෙක උඩු ගුවනේදී ගැටීමට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබු බැවින්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන් යානයේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සුපරික්ෂාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ අතර මගීන් 275 දෙනා ද සමග යානාව ආරක්ෂා සහිතව ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළට ලඟා වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න