V2025

පුවත්

මම ජනාධිපතිගේ ආර්ථික ප්‍රතිපත්තියට එකඟයි : හර්ෂ ප්‍රසිද්ධියේ කියයි !

'මේක පූර්ණ අයවැයක් නෙවෙයි. මේ මගින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති දිශාව. මම හැමදාම කියනවා වගේ මම ඒ ආර්ථික ප්‍රතිපත්තියට එකඟයි " යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර් ෂ ද සිල්වා පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ (30) ඉදිරිපත් කළ අතුරු අයවැය යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය .

''රනිල් වික්‍රමසිංහ මහතා මේ වගේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ ⁣මේ පාර විතරක් නෙවෙයි. ඔහු හැමදාම ඉදිරිපත් කළේ පුද්ගලික අංශයට මුල්තැන දෙන, ලෝකය සමග එකතුවුණු, තරගකාරීත්වය වැඩිකළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්.

හැබැයි, ඔහුට ඒක කරන්න කවදාවත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ලිංමැඩි ආර්ථික කල්ලිය ඉඩ දුන්නෙ නෑ. ඉතිං, මේ සැරේ ඒක කරන්න ඉඩ දේවිද? මම නම් හිතන්නේ මේ පාරත් ඔවුන් ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ. කොහාට කූඩුවක් නෑ.

කොහා කාක්කාගේ කූඩුවේ ගිහින් බිත්තර දානවා. පොඩිකාලේ කොහාගේ පැටව්ත් කාක් පැටව් වගේ. හැබැයි, ටික ටික ලොකු වෙනකොට කොහා⁣ පැටව් කාක්කට අඳුරගන්න පුලුවන්. එතකොට කාක්කා කොහා පැටව් එලවලා දානවා.

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියත් කාක් කූඩුවේ දාපු කොහා පැටව් වගේ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියන දේශපාලන තත්ත්වයත් එක්ක ක්‍රියාත්මක කරන්න අමාරුයි.

IMF සාකච්ඡා සාර්ථකයි : නිල නිවේදනය හෙට එයි : රොයිටර් ලෝකයටම කියයි !

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇති වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මූලික එකඟතාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනය හෙට (01) සිදු කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

දැඩි  ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 ක ණය මුදලක් අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් විමසීමක් කර ඇතත් ඒ පිළිබඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට මූලික එකඟතාවයක් ඇති කර ගත් පසු එය විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරන අතර විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන් පසු එම රටට ලබා දෙන ණය මුදල නිදහස් කිරීම ආරම්භ කරයි.

මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී තවමත් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අවසන් නොමැති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය එක් දිනකින් දීර්ඝ කළ බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.

- Lankadeepa

විපක්ෂය අයවැයටත් ආසයි බයයි - ඇමති නිමල් !

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විපක්ෂය ආසයි බයයි ප්‍රතිපත්තියක නොසිට ධනාත්මකව සිතමු යැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .

අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ අද (31) පාර්ලිමේන්තුවේ දී පැවති අතුරු අයවැය විවාදයට එක්වෙමින්ය .

ආචාර්ය හර්ෂ ද සිල්වා අයවැය යෝජනා ගැන දැක්වූ අදහස් අනුව එතුමාට ජනපතිගේ අතුරු අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැති නමුත් එය ක්‍රියාත්මක කරගන්න හැකි වේදැයි ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය .

හැම වෙලාවෙම සෘණාත්මක නොවී ධනාත්මකව සිතමු යැයි පැවසූ අමාත්‍යවරයා එදා අගමැතිකම බාර ගන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට පැය බාගයක් තිස්සේ පැවසූ නමුත් එයින් පලක් නොවූ බවද රනිල් වික්‍රමසිංහ මහතා නොබියව පැමිණ පැමිණ අභියෝගයට බෙල්ල දුන් බවද සිහිපත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් දිනයට වඩා අද දිනය වන විට රටේ ස්ථාවර බවක් ඇතිවී තිබෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික ගිවිසුම අස්සන් කිරීමට හැකි වාතාවරණයක් පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

" ආසයි බයයි " ප්‍රකාශය විපක්ෂය අරඹයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේ , අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්නට එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරාධනා කළ අවස්ථාවේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ හැසිරීම විග්‍රහ කරමින් ය.

අත්අඩංගුවටගත් සිසුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට : ත්‍රස්ත මර්දන පනත යොදාගන්නේ නෑ - අගමැති

කිසිවකුට අවහිර නොවන ආකාරයේ වාතාවරණයක් රටේ පවත්වාගෙන යෑම වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටින බවත් කොළඹදී ඊයේ (30) පැවැත්වුණ ශිෂ්‍ය උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීමට බලාපොරොත්තු නොවන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන පවසයි. .

අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (31) මෙසේ සඳහන් කර සිටියේ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.

අත්අඩංගුවට ගනුලැබූ මේ පිරිස සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ සාමාන්‍ය නීතිය යටතේ බවත් අගමැති පැවසීය .

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා ආර්ථික මූල්‍ය ප්‍රශ්න සර්ව පාක්ෂික එකඟතාවයකින් විසඳා රට ගොඩනැඟීමට උදව් වන ලෙස සියලු පාර්ශවයන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

" ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා ඊයේ ඇතිවුණු සිදුවීම ගැන ප්‍රශ්න කළා. මම ඉතිහාසයට හැරෙන්නේ නැහැ. මම ඉතිහාසය යළිත් සිහි ගන්වන්නෙත් නෑ. නමුත් අපි වර්තමානයේ රට මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය කෙරෙහි කවුරු කවුරුත් අවධානය යොමුකළ යුතුයි.

විරුද්ධ පක්ෂයේ නායකතුමා තමන්ගේ ආසනයේ හිඳගෙන ඉන්නවා නම් වඩා හොඳයි. එතුමා ඇහුවේ හදිසි ප්‍රශ්නයක් නම් එතුමා තමන්ගේ ආසනයේ ඉන්න ඕන . මොකද මගෙන් හදිසි පිළිතුරක් බලාපොරොත්තු වුණ නිසා.

ශිෂ්‍ය ව්‍යාපාරය කලින් ඒ රැස්වෙන තැන පිළිබඳ දැනුම් දීලා තිබුණා. එතනින් එහාට සිදුවීම් පිළිබඳ හෝ ගමන් කරන ආකාරයන් පිළිබඳ දැනුම් දී තිබුණේ නෑ. ගිය ආණ්ඩු කාලේ, ඔබතුමාලගේ ආණ්ඩු කාලෙත් කලින් දැන්වීම කළ යුතුයි කියන එක සාමාන්‍ය එකඟතාවයක් මත ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්තියක්.

එතනින් එහාට මූලික අයිතිවාසිකම් කියන්නේ එක පුද්ගලයෙක්ගේ මූලික අයිතිවාසිකම් පමණක් නෙවෙයි .අනිත් ජීවත් වන සියලු දෙනාගෙත් අයිතිවාසිකම්. ඒ නිසා කාටවත් අවහිරයක් නොවන ආකාරයේ, කටයුතු කරන්න පුළුවන් වාතාවරණය වෙනුවෙන් අපි කැපවී සිටිනවා.

ඒ නිසා යම්කිසි කෙනකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම්, ඒ අරගෙන ති‍බෙන කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වෙන‍කොට අපට දන්වලා තිබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම කෙනෙකුට යම් යම් තනි ක්‍රියාමාර්ග තුළ ඇති කරන්නා වූ මහජන උද්‍ඝෝෂණ හා මහජන අවහිරතාවයන් කියන දෙකම සැලකිල්ලට ගැනීම පොලිසියේ වගකීමක්. මොකද, අපි සියලු දෙනාම නීතිය හා සාමය ආරක්ෂා කිරීම එම ආයතන මඟින් බලාපොරොත්තු වෙන නිසා. ඉතින් මම හිතනවා, කලබල වෙන්න දෙයක් නැහැ ප්‍රශ්නය අහපු එක හොඳයි.

අපේ පරණ මිත්‍රයන් කීප දෙනෙකු එහා පැත්තේ එහාට මෙහාට ඇවිදිනවා. මේ පැත්තෙත් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය යටතේ මම අවුරුදු තිහකට එහා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම දැකලා තියෙනවා මෙහෙන් එහාට යනවා.එහෙන් මෙහාට එනවා. නමුත් ප්‍රජාතන්තුවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමේ ඕනෑකම වෙනුවෙන් අපේ රජය එක ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා, වැඩ කරගෙන යනවා.

ඒ නිසා විරුද්ධ පක්ෂයෙන් මම ඉල්ලීමක් කරනවා.පෙරේදාත් මම සාකච්ඡාවක් කළා. කතානායකතුමනි, මේ සර්ව පාක්ෂික එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්‍රියාදාමයක් ගැන. එයට ප්‍රමුඛත්වය දී මේ අපි මුහුණ දෙන භයානක අර්බුදකාරී ආර්ථික මූල්‍ය ප්‍රශ්නය හමුවේ එකඟතාවයෙන් කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

අකුරු සිරකළ යදම් බිඳලමු : උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමු ! 

 
🔴 නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් "කැට" දේශපාලනය !
 
නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීම   ප්‍රතිපත්තිය , මෙරට තුළ දෛනික සටන් පාඨයකි. ශිෂ්‍ය ව්‍යාපාරවල මුක්තිය ලියාගත් පාර්ශ්ව උදේ හවස ඒ වෙනුවෙන් උද්ඝෝෂණ සිදුකරයි. පෝස්ටර් ඇතුළු විවිධ ප්‍රකාශන බෙදයි. ඒ වෙනුවෙන් කියා " කැට" හොලවයි.
 
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල්වීම යන්න සම්බන්ධ කරුණේදී ඔවුන් නියෝජනය කරන්නේ , මෙරට පසුගාමී වාමාංශික පක්ෂ වල ස්ථාවරයයි. ඒ අධ්‍යාපනය රාජ්‍ය විසින් නොමිලේ ලබාදීමට කටයුතු කළ යුතු බවයි. මේ ස්ථාවරය දශක ගණනක් තිස්සේ දකින්නට හැකි නමුත් , ලබාගත් ප්‍රතිඵලයක් තිබේද යන්න ගැටලුවකි.
 
🔴 උසස් අධ්‍යාපනයේ ඛේදවාචකය !
 
මේ බව යළි යළිත් තහවුරු කරන ආසන්නතම උදාහරණය වන්නේ පසුගියදා නිකුත්වූ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵලයයි.
 
2021 වසරට අදාළ විභාගය සඳහා පෙනීසිටි සිසුන් ප්‍රමාණය 272,682කි. එයින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රමාණය 171,497කි. ප්‍රතිශතයක් ලෙස 62.9% ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර , එය සැලකිය යුතු තත්ත්වයකි. 
 
කෙසේ වුවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ මෙවර විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරගන්නා ප්‍රමාණය 42519ක් පමණක් බවය. ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා  විභාගය සමත් වුවත් , ඊට ඇතුළත් වීමට අවස්ථාව අහිමිවන ප්‍රමාණය 128,682කි.
 
මෙය 2021 උසස් පෙළ විභාගයට පමණක් සීමාවූ තත්ත්වයක් නොවේය. මෙය පරම්පරා කිහිපයක් ලද ඛේදවාචී ඉරණමකි. පරම්පරාවක් මේ ඛේදවාචී ඉරණම භුක්ති විඳින අතරේ, උසස් පෙළ අසමත් පදනමින්ද ශ්‍රම බලකායේ ජවසම්පන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රැකියා විරහිත තත්ත්වයට පත්වෙයි. 
 
අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් ප්‍රමාණයත් සැලකීමේදී තත්ත්වය තවත් බරපතළ වෙයි.
 
🔴 අධ්‍යාපනය සඳහා අවස්ථා පුළුල් කිරීම !
 
එක් පසෙකින් අලුත් විශ්ව විද්‍යාල සහ වෘත්තීය පුහුණු අධ්‍යාපන ආයතන ප්‍රමාණය  කාළීනව වැඩි කිරීමට රජයට ප්‍රාග්ධන ප්‍රශ්නයක් ඇත. අප වැනි ආර්ථිකයක් ඇති රටක මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. අනෙක් පසින් ලෝකයේ දියුණු කිසිම රටක් රාජ්‍ය මත අධ්‍යාපන සීමා ඇතිවීමට ඉඩදීද නැත.
 
ඔවුන්ගේ ඊට අදාළ උපායමාර්ගික එළඹුම වී ඇත්තේ , අධ්‍යාපනය සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවකාශය ඇති කිරීමය. ඒ තුළ එක් එක් රටවල් ශිෂ්‍යත්ව , ආධාර , සහන ණය ඇතුළු විවිධ සහයන් ඔස්සේ සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කර ඇත.
 
🔴 ජනාධිපති රනිල්ගේ අතුරු අයවැය තුළ යෝජනාව !
 
කෙසේ වුවත් ශිෂ්‍ය ව්‍යාපාරය සින්නක්කරව ලියාගත් සංවිධාන සහ පසුගාමී වාමාංශික පක්ෂ කණ්ඩායම් වල ප්‍රොපගැන්ඩා හේතුවෙන් මෙරට පත්වූ බොහෝ ආණ්ඩු, අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් වන මෙම උපායමාර්ගික එළඹුමට අත තැබුවේ නැත. එනිසා පරම්පරා ගණනාවක් සටන් පාඨයක් මත ජීවිතය දියකර ගත්තේය. 
 
දැන් ප්‍රශ්නය වන්නේ මේ අවාසනාවට තිතක් තියන්න තවත් කොතරම් වන්දියක් ගෙවීමට අවශ්‍යද යන්නයි. සටන් පාඨ කරේ තබාගත් උදවියගේ නායකයන් , හීන් සැරේ තම දරුවන් මෙරට  තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ විදෙස් අධ්‍යාපනය සඳහා යොමුකරන බවටත් ඕනෑ තරම් උදාහරණ ඇත.
 
2022 අතුරු අයවැය තුළ උසස් අධ්‍යාපනයට අදාළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගතයුතුව ඇත්තේ එවැනි පසුබිමක ය.
 
අතුරු අයවැය ගෙනෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ , උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවකාශය ඇති කරන බවය. 
 
🔴 විදෙස් සිසුන් ලංකාවට අකැපද ?
 
මෙකී යෝජනාව වැදගත් වන්නේ , උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙන සිසුන් මෙරට තුළ රඳවා ගෙන විදෙස් විනිමය ඉතුරු කිරීම වැනි සරල තර්කයක් තුළ නොවේ. මෙකී යෝජනාව වැදගත් වන්නේ විදෙස් සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා විවර කිරීම හරහා විදෙස් සංචිතයට සැළකිය යුතු ආදායමක් ලැබීමට පැහැදිලි ඉඩක් ඇති නිසාය. ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සිය අතුරු අයවැය කතාව තුළ අවධාරණය කර සිටියේය.
 
එසේම මේ වන විට දකුණු ආසියානු කළාපය තුළ බංග්ලාදේශය , ඉන්දියාව , නේපාලය වැනි රටවල් මේ සඳහා යොමුව ඇත බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
මෙහිදී වැදගත් වන්නේ ,විදෙස් සිසුන් මෙරටට කැඳවීම සඳහා  දකුණු ආසියාවේ මෙම රටවල් සමග තරග කිරීමට අපට ඇති අවස්ථා තේරුම් ගැනීමය. 
 
ඉන්දියාව සමාජීය වශයෙන් අර්බුද රැසක් ඇති රටක් වන අතර , දීර්ඝ කාලයක් රැඳී සිටීමට සුදුසු රටක් ලෙස ප්‍රසිද්ධ නැත. එසේම විවිධ අතවර සහ හිංසනයන් ඇතුළත් සංස්කෘතික බාධා රැසක් එහි පවතී. බංග්ලාදේශය සහ පකිස්ථානය සැලකීමේදී ද ආගමික සීමා ඇතුළත් සංස්කෘතික සීමා රැසක් එහි පවතී. 
 
මේ කිසිවක් එකී රටවල තරම් මෙරට නොමැති අතර , ඇකඩමියාව පැත්තෙන් සැලකුවද පැහැදිලිව එම රටවලට තරගයක් දීමට හැකියාවක් ලංකාව සතුවෙයි. එසේම දේශගුණික තත්ත්වය අනුවත් ලංකාවේ තත්ත්වය මේ කලාපයේ අනෙක් සෑම රටකටම වඩා යහපත් ය.
 
ඒ අර්ථයෙන් ජාත්‍යන්තර කීර්තිමත් සහ ප්‍රමිතිගත විශ්ව විද්‍යාල වල කේන්ද්‍රයක් බවට ලංකාව පත්කිරීමේ පැහැදිලි ඉඩප්‍රස්ථා අපට ඇත. එසේ නම් මෙරට අධ්‍යාපන අවස්ථාව විදෙස් සිසුන් වෙත අකැප විය යුතුද යන්න සිතා බැලිය යුතු තත්ත්වයකි.
 
එසේම එම විශ්ව විද්‍යාල විදෙස් සිසුන්ට පමණක් නොව, මෙරට සිසුන්ටද අවස්ථාව හිමිවෙයි.
 
🔴 විදෙස් සිසුන් ආවොත් අපිට නැති වෙන්නේ මොනවද ?
 
 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වූ යහපාලන  සමයේ, රාජ්‍ය විශ්ව විද්‍යාල අවස්ථාව අහිමිවූ සිසුන් සඳහා උසස් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට හඳුන්වාදුන් සහන ණය ක්‍රමය ඔබට මතකද ? ඊට අනුව අදාළ සිසුන්ට තමන් කැමති ක්ෂේත්‍රයේ උපාධියක් ලැබීමට අවස්ථාව හිමිවිය. ඒ වෙනුවෙන් වන ණය මුදල ගෙවිය යුතු වන්නේ , වසර 5කට පසුව , රැකියාවක් කරන අවස්ථාවේ ය. එයත් පොළි රහිතව ය.
 
මෙවැනි ක්‍රම හඳුන්වාදීම මෙරට උසස් අධ්‍යාපන අවස්ථා අහිමිවන සිසුන් වෙත කොතරම් වැදගත් ද ? ලෝකයේ දියුණු රටවල පවා එවැනි ක්‍රම ඇති අතර , එරටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාමට එවැනි ක්‍රම දායක වූ බව ප්‍රතිකේෂ්ප කළ නොහැකිය.
 
ඒ අර්ථයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවස්ථාව සැලසීම , උසස් අධ්‍යාපනය වෙනුවෙන් වන අවස්ථා පුලුල් කිරීමක් මිස අපට තිබෙන දෙයක් නැති කරන්නක් නොවේ.
 
🔴 එක ගලෙන් කුරුල්ලන් කිහිපයක් !
 
2022 අතුරු අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන්නේ , විද්‍යාව, තාක්ෂණය , ඉංජිනේරු විද්‍යාව, ගණිතය (STEM Subjects ),  මූල්‍යකරණය, තොරතුරු තාක්ෂණය , වෛද්‍ය විද්‍යාව මූලික කරගනිමින්, ශාඛා විශ්ව විශ්ව විද්‍යාල පිහිටුවීමට පහසුකම් සැලසීම ය. 
 
ඒ තුළ ඉහළ පෙළේ විශ්ව විද්‍යාල ශාඛා මෙරටට පැමිණීම සිදුවෙයි. විදෙස් සිසුන් ද ඒ වෙත පැමිණෙන අතර , ඒ හරහා මෙකී විශ්ව විද්‍යාල පරිශ්‍රය ආශ්‍රිතව පවා වෙනම ආර්ථික බිහිවෙයි. එසේම විදෙස් සිසුන්ගේ ඥාතීන් මෙරට සංචාරය කිරීමත් සිදුවෙයි. ඒ තුළ සංචාරක ව්‍යාපාරයටද වෙනම ආදායම් එක්වීමක් සිදුවෙයි.
 
මේ සමස්ථය විග්‍රහ කරගැනීමේදී නවීන ලෝකයට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් මෙරට තුළ බිහි කිරීමටත් මෙකී යෝජනාව පැහැදිලි බලපෑමක් සිදුකරයි.
ඒ කියන්නේ යල්පිනූ මෙරට අධ්‍යාපනය ගුණාත්මක පිම්මක් ලබන්නටත් මේ හේතුවනු ඇති බවය.
 
දැන් අපි අහන්නේ, " අප පසුකර ලෝකය දිවයන විට, අධ්‍යාපනය එකතැන කැරකිය යුතුද ?" කියාය. 
 
 කල්ප අනුත්තර 

රත්නපුරට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

ඉදිරි පැය 24 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල , නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමගයි.

ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් වඩාත් විමසිල්ලෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 පහළ වායු ගෝලයේ කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් බස්නාහිර , දකුණු , සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි හැකි බව කාලගුණ අනාවැකි සදහන් කරයි.

මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි : ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි !

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ.

මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ ගනු ලැබු තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මේ බව සඳහන් කළේය.

විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

නීතිපතිවරයා මේ පිළිබඳ ඊයේ (30) කරුණු විමසූ අවස්ථාවේදී, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන භාවිතා නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.

ඒ අනුව අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේ මේ පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙසද ජනාධිපතිවරයා පවසා තිබේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ය.

එම තීරණයෙහි කිසිදු වෙනසක් නැති බවත් ඔහු සඳහන් කළේය.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තිබේද ? යන්න පිළිබඳ මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලබන වසරේ පෙබරවාරි මස 23දා මෙම පෙත්සම් නැවත කැඳවීමට නියම කළේය.

මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් හතර දෙනකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් තැබීමට තමන් තීරණය කර ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේ ජුනි මස 26 වනදා ප්‍රකාශයක් කර තිබුණි .

ජනාධිපතිවරයාගේ එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය,සිරකරුවන් සුරැකීමේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කෙරිණ.

එවකට සිටි ජනාධිපතිවරයාගේ එම තීරණය මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනි බවට එම පෙත්සම් මගින් චෝදනා කර තිබුණි. එසේම එය ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මයන්ට පටහැනි බව ද අයුක්ති සහ අසාධාරණ බව ද පෙත්සම්කරුවන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

එබැවින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම තීරණය බල රහිත කරන නියෝගක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

අධිකරණයට අපහාස කරලා : සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාගයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් නිතීඥ විජිත කුමාර අභියාචනාධිකරණයට අද (30) පෙත්සමක් ගොනුකරනු ලැබ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා වගඋත්තරකරු ලෙස නම් කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමෙන් පෙත්සම්කාර නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝගයක් ලබා ලබා දෙන ලෙසය.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ඉකුත් මැයි මස 09 වන දින ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ සැකකරුවකු වන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී ඉකුත් 23 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ මෙම වගඋත්තරු අධිකරණයට අපහාස වන අයුරින් කරුණු දක්වනු ලැබූ බවත් මෙමගින් සමස්ථ අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

මීට පෙරද අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ .

එම පෙත්සම ඉදිරිපත්කර සිටියේ නීතීඥවරයෙක් වන ප්‍රියලාල් සිරිසේන ය.

ජොනීට අධි චෝදනා !

සතොස සේවකයන් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ අද (30) අධිචෝදනා භාරදී ඇත .

2012 වසරේදි කළ බවට චෝදනා කරමින් පවරා ඇති මෙම නඩුව අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් තිදෙනා මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ඔක්තෝම්බර් මස විසි එක් වෙනිදා පැවැත්වීමට දින නියම කළේය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් ය .

2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

18+ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න !

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා වයස අවුරුදු 18ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයින් අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ මුදල් අමාත්‍යවරයා ලෙස අද (30) අතුරු අයවැය පිළිබඳ කතාව සිදු කරමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බදු අනුකූලතාවය වැඩිකිරීමටත් බදු ගෙවීම පැහැරහැරීම වැලැක්වීමටත් බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටුකළ යුතු බවය.

ඒ අනුව දැනට පවතින අවශ්‍යතාවයන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා මෙම තීරණය ගත් බවද ජනපතිවරයා පැවසීය.

2025 වසර වනවිට රාජ්‍ය ආදායම 15% කින් වැඩි කරන බවත්, වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බවත් ආදායම් වැඩිකිරීමේ නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

 එමෙන්ම එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 01 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළ දමා ඇති අතර රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රුපියල් මිලියන 200ක් වෙන් කල බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළ පාර්ලිමේන්තු කමිටුවක් හා අබලි ද්‍රව්‍ය බැහැර කිරීමට අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමටත් රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසිය.

ගංවතුර නිවේදන නිකුත් වෙයි !

අද (30) රාත්‍රියේ සිට ඉදිරි දින දෙකකට අදාළ වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

නිවේදනයේ දැක්වෙන්නේ අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ගංගාවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

foot 1000px

ලංකාවට ණය දුන් රටවලට : ජපානයෙන් කැඳවීමක් !

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්වෙන ලෙස සියලුම ණය දුන් රටවලින් ඉල්ලා සිටින බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඔඩු දුවන ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා එය ඉතා වැදගත් බවත් ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇත .

ඔඩු දුවන ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ ජපානය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇතැයි ද ඔහු පවසයි .

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික සහ සමාජීය තත්ත්වය පිළිබඳ ජපානය කණසල්ලට පත්ව ඇති බව ජපාන මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා සිදුකරන සාකච්ඡා කඩිනම් කළ යුතු බවත් චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ද්වි පාර්ශ්වික ණය ලබා දුන් රටවල් ණය ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

පවතින අර්බුදය විසඳන : ආර්ථික රටාව වෙනස් කරන : අතුරු අය වැය පාර්ලිමේන්තුවට !

පවතින අර්බුදය විසඳමින් රටේ ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන 2022 අතුරු අය වැය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ලෝකයට ගැළපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම ලෙස ජනාධිපතිවරයා එම අය වැය හඳුන්වා දුන් අතර ලබන වසරේ (2023) අය වැය මගින් නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය අරම්භ කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“මේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අප සිදු කළ යුතු මූලික කාර්යයක් වන්නේ සාම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තරවලින් බැහැර වී, මහපොළොවේ යථාර්ථයත්, ගෝලීය පරිසරයත් ගැන මැදිහත් සිතින් විමසා බැලීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් මම උපුටා දක්වන්නට කැමතියි.

“රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක, රජයක් තියෙන්නෙ ව්‍යාපාර කරන්න නෙවෙයි”. මෙන්න මේ අයුරින් අලුත් ලෝකයේ අලුත් ප්‍රවණතාවයන්ට අනුව, අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්න හැකිනම්, අපට ආර්ථික අර්බුදය විසඳා ගන්න පුළුවන්”

2025 වසර වන විට ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ගැනීම, ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම, රාජ්‍ය ණය පාලනය කර ගැනීම ඇතුළු ප්‍රමුඛ ඉලක්ක සපුරා ගැනීමට මෙම අතුරු අයවැය අඩිතාලමක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා සඳහන් කළේ, ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ රටත් ජාතියත් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2048 වසරේදී ශ්‍රී ලංකාව සියවන නිදහස් සංවත්සරය සමරන විට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වීමට හැකියාවක් ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ අතුරු අය වැය කතවේ සාරාංශය පහත දැක් වේ.

  •  වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව, මසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම. පොරොත්තු ලේඛනයේ සිටින පිරිසටත් රුපියල් 5000ක්
  • මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5000 - 7500 අතර ප්‍රමාණයකින් වැඩිකිරීම
    පොරොත්තු ලේඛනයේ සිටින පිරිසට රුපියල් 5000ක තාවකාලික දීමනාවක් ලබාදීම
  •  ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරිම සඳහා රුපියල් බිලියන 133ක්
  • කුඩා ධිවර යාත්‍රා හිමියන් සඳහා සහ වතුකර ප්‍රදේශයන්හි ජනතාවට භූමිතෙල් සහනාධාර
  •  ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා එක් පවුලකට මාසිකව රුපියල් 10,000ක් බැගින් ලබාදීම
  •  ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව, රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීම
  • රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන්ට හා සේවකයන් වෙත ලබාදීම
  •  නව නීති මඟින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේශපාලනීකරණවීම
  • රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම (National Agency For Public Private Partnership)
  •  ජාතික ණය කළමනාකරණ ආයතනක් පිහිටුවීම (National Debt Management Agency)
  •  රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කිරිමට (Comptroller General) කොම්ප්ට්‍රෝලර් ජනරල්වරයෙක්
  •  රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේ දී පවතින ගැටලු සමීපව කටයුතු කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරිමට ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීම
  •  රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකරණ පනතක් සම්පාදනය කිරීම
  • මහා පරිමාණයේ පාඩු ලබන රජය සතු ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීම
  •  ආරක්ෂක අංශවල දැනුම හා හැකියාවන් දියුණු කිරිම සඳහා ‘ජාතික ආරක්ෂාව 2030‘ ආරක්ෂක උපායමාර්ග සමාලෝචනයක් සිදු කිරීම
  • රාජ්‍ය සේවයේ කාර්යන් සඳහා විදුලිය මඟින් ක්‍රියාත්මක වන වාහන පමණක් යොදා ගැනීම
  •  2022 වසර අවසන්විමට පෙර සියළුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම
  • මහජනතාව වෙත ලබාදෙන සේවාවන් පහසු කිරිම හා කාර්යක්ෂම කිරීම සඳහාත් අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත සේවා පහසුකම් ලබාදීම
  •  රාජ්‍ය වියදම් ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම දරණ, අමෙරිකා එක්සත් ජනපදයේ පවතින අධීක්ෂණ ජනරල් ක්‍රමය වැනි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
  • සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන ශක්තිමත් කිරිම සඳහා වූ ප්‍රතිපාදන වෙන් කිරීම
  • උද්ධමනය තනි ඉලක්කමක මැදි අගයක් දක්වා නැවත ගෙන ඒම.
  •  2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අය වැය අතිරික්තයක් ළගා කර ගැනීම‍
  •  2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.2% සිට 15% දක්වා වැඩි කිරීම
  •  මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ගෙන්වීමට ඇමරිකන් ඩොලර් මිලියන 110ක් වෙන් කිරිම සහ වගාවට අවශ්‍ය යූරියා පොහොර සැපයීම සහතික කිරීම
  •  ඉදිරියේදී හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීම
  •  ආර්ථික ස්ථායිතාව ඇති කිරිම හා ආර්ථික වර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීමට සංශෝධන හා නව නීති ප්‍රතිසංස්කරණ යෝජනා හඳුන්වාදීම
  •  ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත (TEWA) වෙනුවට තාත්වික යාන්ත්‍රණයක් හඳුන්වාදීම
  •  කුඹුරු හෙක්ටයාර් 2ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් වගා ණය කපා හැරීම
  •  යොවුන් කෘෂිකාර්මික සමාගම් (Youth Agricultural Companies) යෞවන සමාජ 331ක ක්‍රියාත්මක කිරීම
  • දේශීය කෘෂිකාර්මික සංවර්ධන අගය දාම වැඩසටහන ශක්තිමත් කිරීම
  •  දේශීය කිරි නිෂ්පාදන නංවාලීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම හිඟයකින් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම
  •  රජයේ ඉඩම් ඵලදායීව භාවිතා කිරීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගැනීමට වැඩපිළිවෙළක්
    ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක්
     පර්යේෂණ හා සංවර්ධන අංශ වැඩිදියුණු කිරීමට පියවර
     දේශීය විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතනවල සහාය ඇතිව පර්යේෂණ හා සංවර්ධන ප්‍රවර්ධනය සහ වාණිජකරණය සඳහා යාන්ත්‍රණයක්
     කෘෂිකාර්මික නිෂ්පාදන කල්තබා ගැනීම සහ අළෙවි කර ගැනීම සඳහා ආහාර ඇසුරුම් කිරීමේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට පියවර
  •  ආහාර ඇසුරුම් කිරීමට උසස් තාක්ෂණය සහිත උපකරණ ආනයනය කිරීමට බදු සහන
  • ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්. ඉහළ වියදම් දැරීමේ හැකියාවක් ඇති සංචාරකයින් (High-end tourists) ආකර්ශණය කර ගැනීමට විශේෂ වැඩසටහනක්
  •  දේශගුණික බලපෑම අවම කර ගැනීමට පරිසර අමාත්‍යාංශය හරහා පහසුකම්
  •  විදේශ සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීමට පෞද්ගලික ආයෝජන දිරි ගැන් වේ.
  •  තොරතුරු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්ව විද්‍යාල පිහිටුවීමට පහසුකම්

  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීම

 නිපුණතා පදනම්ව නව රැකියා ලබා ගැනීමට පහසුකම් සැලසීම

 රාජ්‍ය අංශයේ තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවල සේවකයින්ට NVQ සහතික

 ක්ෂුද්‍ර පරිමාණයේ ස්වයං රැකියාවල නියැලී සිටින ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම

 සැපයුම් දාම කාර්යක්ෂම කිරීමේ මූලික පියවරක් ලෙස එළවලු සහ පළතුරු ප්‍රවාහනය සඳහා සැලසුම්සහගතව දුම්රිය යොදා ගැනීම. එහි ආරම්භක පියවරක් ලෙස හාලිඇල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එළවළු, පළතුරු හා අනෙකුත් නිෂ්පදාන ප්‍රවාහනය කිරීමට අදාළ පහසුකම් සහිත දුම්රියක් යෙදවීම

 දුම්රිය සේවයේ ගුණාත්මක භාවය හා ආරක්ෂාව වැඩි කිරීම සඳහා පෞද්ගලික ආයෝජන ලබා ගැනීම. එහි ආදර්ශ වැඩසටහනක් ලෙස කැළණිවැලි දුම්රිය සේවාව සංවර්ධනය කිරීම
 අපනයන සහ අපනයන අරමුණ කරගත් ඝෘජු විදේශ ආයෝජන වැඩි කිරීමට කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීමට අවධානය

 වෙළෙඳ බාධක ක්‍රමානුකූලව ඉවත් කිරීම නිසා බලපෑමට ලක්වන කර්මාන්ත හා සේවකයන්ට සහාය වීම සඳහා වෙළෙඳපොළ ගැළපුම් වැඩසටහනක් හඳුන්වාදීම

 අඩු පිරිවැයෙන් විදුලි උත්පාදනය කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පුළුල් කිරීම

 ඉඩම්වලට සින්නක්කර ඔප්පු ක්‍රමයක්

 එතෙර ශ්‍රි ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් පිහිටුවීම

 විදුලි පාපැදි නිෂ්පාදනය දේශීය කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. අවශ්‍ය ආනයනික කොටස්වලට බදු සහන

 ආයතනික පාලනය ශක්තිමත් කිරීම හා දුෂණයට එරෙහිව කටයුතු කිරීමට පුළුල් නෛතික රාමුවක් සකස් කිරීම

අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් ඇරඹූ පා ගමන ටෙක්නිකල් මංසන්ධියේ දී විසුරුවා හැරීම සඳහා ඒ ආසන්නයේ පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුණත් විරෝධතාකරුවන් ගමන් මග වෙනස් කරමින් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු ආරක්ෂක අංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට ක්‍රියා කළහ.

කඳුළුගෑස් හා ජල ප්‍රහාර මධ්‍යයේ විරෝධතාකරුවන් යළිත් ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් කළ අතර, පොලීසිය හා කැරලි මර්දන අංශ ද ඔවුන් පසුපස හඹා යමින් විරෝධතාව විසුරුවීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

එජාපයේ 76 සංවත්සරය සංවිධානය : රුවන්ගේ මූලිකත්වයෙන් !

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර උත්සවයේ වැඩ කටයුතු එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධනගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.

පක්ෂ සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 04 දා දිවයින පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකම සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ද නියමිත බවත් වාර්තා වෙයි .

ආබාධිත ප්‍රජාවට ලබන අයවැයෙන් සහන : සාගල කියයි !

ආබාධිත ප්‍රජාවට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ගෙන්වීම සඳහා 2023 අයවැය මගින් සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පැවසීය.

ජාතික සහකම්පන පෙරමුණ හා අබාධිත ප්‍රජාව සමග ජනාධිපති කාර්යාලයේ අද (29) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

ආබාධිත ප්‍රජාව සඳහා මෙවර අයවැයෙන් සහන ලබාදීමට නොහැකි වූවද, ආබාධිත ප්‍රජාවට සහන සලසාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට නව වැඩපිළිවෙළක් යටතේ නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ආබාධිත ප්‍රජාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.

තමන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ගෙන්වීම පිළිබඳ ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ආබාධිත ප්‍රජාව මෙහිදී ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙතින් ඉල්ලා සිටි අතර ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වූ පනත් කෙටුම්පත සහ සංඥා භාෂාව පිළිබඳ වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හරහා සම්මත කර දෙන ලෙස ද ඉල්ලා සිටියහ.

ජාතික සහකම්පන පෙරමුණේ සභාපති ඩබ්.එම්.පී.කේ. වික්‍රමසිංහ, ලේකම් පී.ආර්. කුරුප්පු ඇතුළු නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

රටේ ප්‍රශ්න විසඳීමට : ජාතික එකඟතාවක් අවශ්‍යයි - කරූ

රට මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය ප්‍රකාශ කළේය.

එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීම වහාම කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය

"යහපත් රටක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" තේමාවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික් හමුවට එක්වෙමින් හිටපු කතානායක මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය හිටපු කතානායක මෙසේද කීවේය.

"අද අප මුහුණ පා සිටින්නේ මෙරට ඉතිහාසයේ කිසිදා සිදු නොවූ ජාතික අර්බුද රැසකටයි. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වශයෙන් දැනටමත් අන්තර්ජාතිකව නම් වී ඇත. ආර්ථිකය මුළුමනින්ම විනාශ වී ඇත. විදුලි කප්පාදුව, අධික ජීවන වියදම හා මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතී.

මේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණි. අවාසනාවකට එය තවමත් එය සිදුවී නැහැ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හා ගමනාගමන දුර්වලතා ආදී බොහෝ ගැටලු සඳහා රජය විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීම අපි අගය කරමු.

ජාතික ව්‍යාපාරයක් වශයෙන් අපි සෑම විටම යෝජනා කළේ දේශපාලන භේදයෙන් තොරව සියලුම ජාතික නායකයන් එක්ව විසඳුමක් පාර්ලිමේන්තුව තුළින් ගෙන එන ලෙසයි. එවිට ජනතාව මුළු පාර්ලිමේන්තුවටම චෝදනා කරන්නේ නැහැ. එවිට දේශපාලන නායකයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් හා ජනතාවගේ ආශිර්වාදයෙන් වාද - භේද වලින් තොරව අප රට නැවතත් ගොඩ නැගිය හැක.

පැය 24 ම විදුලිය ලබා දීමත්, අඛණ්ඩව ඉන්ධන සැපයුමත්, ඇති කර ගතහොත් රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනු ඇත. කර්මාන්ත හා අපනයන ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වනු ඇත. යුරෝපියානු සීත සෘතුවේ දී අපට මෙය ඉහළ නැංවිය හැකියි.

මින් පසු සිදු විය යුත්තේ කෘෂිකර්මය දියුණු කිරීමයි. අවශ්‍ය බීජ පොහොර හා කෘමිනාශක අවශ්‍යතා සාධාරණ මිලක් ගොවියාට ලබාදුනහොත්, අපට වාර්තා වාර්තාගත වන මහ කන්නයක් බලාපොරොත්තු විය හැකි බව කෘෂිකර්ම විද්වතුන් දැනටමත් අපට පෙන්වා දී ඇත.

මේ දිනවල සිදුවන වෘත්තීය සමිති හා ශිෂ්‍ය නායකයන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවභාවිතා කිරීම පි පිළිබඳවත්, අපගේ විරෝධය පළ කර ඇත.

එසේ නම් වහා සිදුවිය යුත්තේ රට, ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ ආශිර්වාදයෙන් අවුරුද්දක් සමගියෙන් වැඩ කර රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමයි. එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීමයි. ඉන්පසු පුරවැසියන්ට තමන්ට කැමති නායකයෙක් දේශපාලන පක්ෂයක් හා තම ප්‍රදේශය නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකු පත්කර ගත හැකියි.

මෙම අවස්ථාවට ආගමික නායකයන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, වෘත්තීය සමිති නායකයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සනත් කට වරද්දා ගත්තද ? අධිකරණයට අපහාස කළ බවට පෙත්සමක් !

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි .

එම පෙත්සම ඉදිරිපත්කර ඇත්තේ නීතීඥවරයෙක් වන ප්‍රියලාල් සිරිසේන ය.

පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ අධිකරණයට අපහාස ගෙන දෙන ප්‍රකාශයක් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පමුණුවන ලෙසය.

Page 286 of 463