V2025

පුවත්

එජාපයේ 76 සංවත්සරය සංවිධානය : රුවන්ගේ මූලිකත්වයෙන් !

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර උත්සවයේ වැඩ කටයුතු එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධනගේ නායකත්වයෙන් යුතු කමිටුවක් මගින් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි .

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය “එක්වෙමු“ යන තේමාව යටතේ ලබන සැප්තැම්බර් 06 ද කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.

පක්ෂ සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 04 දා දිවයින පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකම සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ද නියමිත බවත් වාර්තා වෙයි .

ආබාධිත ප්‍රජාවට ලබන අයවැයෙන් සහන : සාගල කියයි !

ආබාධිත ප්‍රජාවට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ගෙන්වීම සඳහා 2023 අයවැය මගින් සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක පැවසීය.

ජාතික සහකම්පන පෙරමුණ හා අබාධිත ප්‍රජාව සමග ජනාධිපති කාර්යාලයේ අද (29) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

ආබාධිත ප්‍රජාව සඳහා මෙවර අයවැයෙන් සහන ලබාදීමට නොහැකි වූවද, ආබාධිත ප්‍රජාවට සහන සලසාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට නව වැඩපිළිවෙළක් යටතේ නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ආබාධිත ප්‍රජාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.

තමන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ ගෙන්වීම පිළිබඳ ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ආබාධිත ප්‍රජාව මෙහිදී ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙතින් ඉල්ලා සිටි අතර ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් වූ පනත් කෙටුම්පත සහ සංඥා භාෂාව පිළිබඳ වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හරහා සම්මත කර දෙන ලෙස ද ඉල්ලා සිටියහ.

ජාතික සහකම්පන පෙරමුණේ සභාපති ඩබ්.එම්.පී.කේ. වික්‍රමසිංහ, ලේකම් පී.ආර්. කුරුප්පු ඇතුළු නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

රටේ ප්‍රශ්න විසඳීමට : ජාතික එකඟතාවක් අවශ්‍යයි - කරූ

රට මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය ප්‍රකාශ කළේය.

එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීම වහාම කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය

"යහපත් රටක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" තේමාවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික් හමුවට එක්වෙමින් හිටපු කතානායක මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය හිටපු කතානායක මෙසේද කීවේය.

"අද අප මුහුණ පා සිටින්නේ මෙරට ඉතිහාසයේ කිසිදා සිදු නොවූ ජාතික අර්බුද රැසකටයි. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වශයෙන් දැනටමත් අන්තර්ජාතිකව නම් වී ඇත. ආර්ථිකය මුළුමනින්ම විනාශ වී ඇත. විදුලි කප්පාදුව, අධික ජීවන වියදම හා මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතී.

මේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට තුළ ජාතික එකඟතාවයක් ඇති කරගතහොත් පමණි. අවාසනාවකට එය තවමත් එය සිදුවී නැහැ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හා ගමනාගමන දුර්වලතා ආදී බොහෝ ගැටලු සඳහා රජය විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීම අපි අගය කරමු.

ජාතික ව්‍යාපාරයක් වශයෙන් අපි සෑම විටම යෝජනා කළේ දේශපාලන භේදයෙන් තොරව සියලුම ජාතික නායකයන් එක්ව විසඳුමක් පාර්ලිමේන්තුව තුළින් ගෙන එන ලෙසයි. එවිට ජනතාව මුළු පාර්ලිමේන්තුවටම චෝදනා කරන්නේ නැහැ. එවිට දේශපාලන නායකයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් හා ජනතාවගේ ආශිර්වාදයෙන් වාද - භේද වලින් තොරව අප රට නැවතත් ගොඩ නැගිය හැක.

පැය 24 ම විදුලිය ලබා දීමත්, අඛණ්ඩව ඉන්ධන සැපයුමත්, ඇති කර ගතහොත් රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනු ඇත. කර්මාන්ත හා අපනයන ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වනු ඇත. යුරෝපියානු සීත සෘතුවේ දී අපට මෙය ඉහළ නැංවිය හැකියි.

මින් පසු සිදු විය යුත්තේ කෘෂිකර්මය දියුණු කිරීමයි. අවශ්‍ය බීජ පොහොර හා කෘමිනාශක අවශ්‍යතා සාධාරණ මිලක් ගොවියාට ලබාදුනහොත්, අපට වාර්තා වාර්තාගත වන මහ කන්නයක් බලාපොරොත්තු විය හැකි බව කෘෂිකර්ම විද්වතුන් දැනටමත් අපට පෙන්වා දී ඇත.

මේ දිනවල සිදුවන වෘත්තීය සමිති හා ශිෂ්‍ය නායකයන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවභාවිතා කිරීම පි පිළිබඳවත්, අපගේ විරෝධය පළ කර ඇත.

එසේ නම් වහා සිදුවිය යුත්තේ රට, ජන ජීවිතය යථා තත්ත්වයට පත්කර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ ආශිර්වාදයෙන් අවුරුද්දක් සමගියෙන් වැඩ කර රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමයි. එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් රැකදීමයි. ඉන්පසු පුරවැසියන්ට තමන්ට කැමති නායකයෙක් දේශපාලන පක්ෂයක් හා තම ප්‍රදේශය නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකු පත්කර ගත හැකියි.

මෙම අවස්ථාවට ආගමික නායකයන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, වෘත්තීය සමිති නායකයින්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සනත් කට වරද්දා ගත්තද ? අධිකරණයට අපහාස කළ බවට පෙත්සමක් !

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි .

එම පෙත්සම ඉදිරිපත්කර ඇත්තේ නීතීඥවරයෙක් වන ප්‍රියලාල් සිරිසේන ය.

පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ අධිකරණයට අපහාස ගෙන දෙන ප්‍රකාශයක් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පමුණුවන ලෙසය.

සරත්ට බැරි වුණ දේ : ටිරාන් දින 100 න් කරලා !

රට අරාජික නොවී ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කර පවත්වා ගෙන යාමට සිදුකළ මැදිහත්වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැරුණකොට මේවනවිට අරගලයේ නියුතු විරෝධතාකරුවන්ගේ වැඩිම විරෝධයට එල්ලවී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත එල්ලවී ඇති බව දේශපාලන විචාරකයන් පවසයි .

ඔවුන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය විමර්ශනය කිරීමේදී මේ බව තහවුරු වන බවයි.

මේ වන විට අරගල භූමියෙන් විරෝධතාකරුවන් ඉවත්කිරීමේ  සිට විරෝධතාවයේ නිරත හඹා යමින් පොලිසිය විසින් සිදුකරනු ලබන දැවැන්ත මෙහෙයුම සම්බන්ධයෙන්  සහ  ව්‍යවස්ථානුකුලව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි හෙයින්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරිය යුතු බව ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයින් ප්‍රසිද්ධියේම ප්‍රකාශකර තිබේ.

එසේම, ඔහු විසින් පාතාලය මර්ධනය කිරීමට පොලිසිය වෙත ලබාදී ඇති ඇතැම් නියෝග අතිශයින් බරපතල බව මානව හිමිකම් ක්‍රියාකාරීන් දැන්තියාම ප්‍රකාශයට පත්කර ඇත.

විමල් වීරවංශ ගේ නායකත්වයෙන් යුතු ස්වාධින පක්ෂ එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ටිරාන් අලස්ව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි.

 ඒ, පසුගිය මැයි මස 20 වෙනිදා ය. එසේ ඔහු පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස දිව්රුම් දී ඊයේ  (28) දිනට හරියටම දින 100කි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුවද ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කරනු ලැබුවේ ටිරාන් අලස්වයි.

පසුගිය දිනවල සිදුවූ පොලිස් මැදිහත්වීම් සම්බන්ධයෙන් කොතරම් විවේචන එල්ල වුවද විෂයබාර අමාත්‍යවරයා ලෙස ඔහු මෙතෙක් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෝ මාධ්‍ය ඔස්සේ හෝ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති වීම විශේෂ කාරණයකි.

පසුගියදා ඒ සම්බන්ධයෙන් පොලිසිය බාර හිටපු අමාත්‍යවරයකු සිය පාර්ලිමේන්තු සගයින්ට පවසා තිබුනේ ''මම කතාකරන්න ගිහින් ඇන ගත්තා... ඔන්න ටිරාන් කිසිම කතාවක් නැතුව වැඩේ දීගෙන යනවා'' කියයි.

ටිරාන් අලස් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස පසුගිය මාස කිහිපයේ කුමක් කර තිබේදැයි අප කල විමසීමකදී ඔහුගේ අමාත්‍යංශ පෞද්ගලික කාර්ය මණ්ඩල මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරිවරයා ප්‍රතිචාර දැක්වුයේ, ''දින 100ක වැඩ මෙන්නැයි'' පවසමින් ඊ තැපෑල හරහා දීර්ග සටහනක් යොමුකරමිනි.

tiran

එම සටහනේ පළවූ කරුණු සංක්ෂිප්තව පහත පළකර ඇත.     

පොලිසියේ ගෙවුනු දින 100 : 

01- පොලීසියේ අණ හා බලය යලි පිහිටුවීම:

පසුගිය කාලයේදී සිදුවූ සමාජ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් අහිමි ව තිබූ පොලිසියේ බලය හා අණට කීකරුවීම යලි ස්ථාපිත කිරීමට පොලිසියේ මානසික මට්ටම ආත්මවිශ්වාසය ඔසවා තැබීම, අවශය පහසුකම් සැලසීම, වගවීම හා වගකීම තහවුරු කිරීම.

02 - පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව (බටා) වැඩි කිරීම :

පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව දින 14 සිට 21 දක්වා වැඩිකර, 2023 ජනවාරි මස 01 දින සිට ගෙවීමට කටයුතු කිරීම.

03- පොලිස් නිලධාරීන් සඳහා නීති අධාර අරමුදලක් පිහිටුවීම :

පොලිස් නිලධාරීන්ට රාජකාරිය ඉටුකිරීමේදී මුහුණපෑමට සිදුවන නෛතික කටයුතු සඳහා නීති ආධාර අරමුදලක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කල කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

පොලිස්පති ප්‍රමුඛ කමිටුවක් මඟින් මෙම අරමුදල මෙහෙයවන අතර එකී කමිටුවේ නිර්දේශ මත මෙම නීති අධාර සියලුම පොලිස් නිලධාරීන්ට ලබාගත හැකිවන අතරම අවශ්‍ය අවස්ථාවලදී ප්‍රවීනජනාධිපති නීතිඥ මඩුල්ලක සහාය වුවද ලබාගත හැකිය.

04- සහාකාර පොලිස් අධිකාරි තනතුරින් ඉහළ තනතුරුවලට වාහන පහසුකම් :

සහාකාර පොලිස් අධිකාරී තනතුරින් ඉහල තනතුරු වලට වාහන සපයාගැනීමේදී මෙතෙක් පැවති වාහන හිමිකාරත්වය අදාළ පොලිස් නිලධාරිට හෝ නිලධාරිනියට හෝ කලත්‍රයාට තිබීමේ කොන්දේසිය ඉවත් කරනු ලැබිය.

 තවද වසර 15 පැරණි වාහන සඳහා වූ මෙතෙක් පැවති අවසරය පොලිස් ගරාජයේ තාක්ෂණික ඉංජිනේරුවරයාගේ නිර්දේශය මත වසර 20 පැරණි වාහන වලටද අවසර ලබා දී ඇත.

05 - පොලිස් රෝහලේ සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු කිරිම :

අමාත්‍යවරයා, වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග පොලිස් රෝහලේ අඩුපාඩු සාකච්ඡා කෙරුණු අතර එහිදී ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ සඳහන් කල සේවක පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට කටයුතු කළේය.

06-  දේශපාලන නිර්දේශය මත පොලිස් ස්තානාධිපතිවරුන් පත්කිරීම වෙනුවට නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයකට ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම.

මෙහිදී ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් සැපිරූ නිලධාරීන්ගේ අයදුම්පත් කැඳවීම් කොට සම්මුඛ පරීක්ෂණ පවත්වා දේශපාලන මැදිහත්වීමකින් තොරව විධිමත් පාරදෘශ්‍ය ක්‍රමවේදයකින් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට කටයුතු යොදා ඇත.

07-  පොලිස් ස්ථාන නවීකරණය කිරීම.

මෙහිදී දිවයිනපුරා පිහිටා ඇති සෑම පොලිස් කොට්ටාශයකින්ම එක පොලිස් ස්ථානයක් තෝරාගෙන නවීකරණය කිරීම.

මේ අනුව පලමු අදියරෙදී පොලිස් කොට්ටාශ 45 න් පොලිස් ස්ථාන 45 ක් තෝරාගෙන නවීකරණය කිරීම.

08- නව පොලිස් වෙබ් අඩවියක් හඳුන්වාදීම.

මෙහිදී යල්පැන ගිය පොලිස් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් නවීකරණය කර ළඟදීම එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

එම වෙබ් අඩවිය පොලිස් දිනය යෙදෙන සැප්තැම්බර් 03 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට නියමිතය.

09-පොලිස් මාධ්‍ය ඒකකය හා තොරතුරු හා පරිගණක ඒකක සවිබල නැංවීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම සඳහා මැදිහත් වීම.

10. පොලිස් කාන්තාවන් සවිබල ගැන්වීම.

11. පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් දියත් කිරීම සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් දීම.

12  - දරුවන් හා කාන්තාවන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ව පීඩාවට පත්ව ඇති අවස්ථාවලදී ඔවුන්ගේ අනන්‍යතාවය (නම් - ගම් , ඡායාරූප හෝ වීඩියෝ ප්‍රසිද්ධ නොකරන ලෙස) ආරක්ෂාකරන ලෙස පොලිසියට උපදෙස් දීම.

මෙහිදී චූදිතයන්ට දඬුවම් ලැබුනද සමාජය හමුවේ වින්දිතයා අපහසුතාවයට පත්වීම වැලැක්වීමත් ඔවුන්ගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගොඩ නගාගැනීමටත් මහත් පිටුවහලක් වීම මෙහි මූලික අරමුණයි. 

විමල්ගේ නඩුවක් කල්‍ යයි !

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් ශෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුවේ විභාගය ලබන දෙසැම්බර් 12 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කර ඇත .

ඒ අදාළ නඩුව අද (29) කැඳවූ අවස්ථාවේ ය.

මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මේ නියෝගය නිකුත්කර ඇත .

ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවන් වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන : ආණ්ඩුව තීන්දුවක් අරගෙන !

ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපල මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සෙසු 49% එක කොටස් එලෙස ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බවත් පැවසීය .

කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයන් එක්ව සිටියහ.

ආණ්ඩුවට එරෙහිව : පෙරටුගාමීන් සහ සජබ එක්සත් ක්‍රියාමාර්ගයක ! ඩයස්පෝරාවෙන් වැඩ අල්ලයි !

අරගලයෙන් පසුව සමගි ජනබලවේගය පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්සත් ක්‍රියාමාර්ගයක් වෙත එළඹ කටයුතු කරමින් සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ අද (28) ජිනීවා හී සංවිධානය කර ඇති උද්ඝෝෂණය විසින් ඒ බව තහවුරු කරන බවයි.

මෙහිදී නිල ගිවිසුමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ලියවිල්ලක් නොමැති වුවත් පසුගිය සමයේ මෙරට දේශපාලනය තුළත් දෙපාර්ශවය අප්‍රකාශිත පොදු එකඟතාවක් තුළ කටයුතු කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි .

එසේම විදෙස්ගතව වෙසෙන ශ්‍රී ලංකා ඩයස්පෝරාව නියෝජනය කරන පාර්ශ්ව අතර සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් එක්සත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම තුළ දේශපාලනයට එහා ගිය පෞද්ගලික අපේක්ෂා ඇති බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී තිබේ.

ඒ බව දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ , විදෙස් ගත පිරිස් වෙත දේශපාලන සරණාගත බව ලබාගන්නට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වැදගත් වන බවය.

එහිදී එක් පසෙකින් වීසා කාලය අවසන් වූවන්ට තමන් දරන දේශපාලන මතය සහ පවතින ලංකා ආණ්ඩුවේ දේශපාලනය අතර පරස්පරයක් පෙන්වීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. එසේම තමන් දරන දේශපාලන ස්ථාවරය ආණ්ඩු විරෝධී බැවින් තම පවුලේ සාමාජිකයන් ලංකාව තුළ අනාරක්ෂිත බව පෙන්වා ඔවුන් ගෙන්වා ගැනීමට අවස්ථාවක් ගැනීමත් මේ තුළ වෙයි.

පසුගිය සමයේ මෙරට දියත් වූ අරගලය අවස්ථාවේ එහි ප්‍රමුඛ ක්‍රියාකාරීන් ලෙස සඳහන් 6000 කට ආසන්න පිරිසක් යුරෝපා සංගමය ඇතුළු රටවල් කිහිපයක දේශපාලන සරණාගත භාවය ලැබීමට ඉල්ලුම් කර ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

දේශපාලන වාර්තාකරු

අසීරුම අවස්ථාවේ ලංකාවට අවශ්‍ය : සහයෝගය මිස පීඩනය නොවේ ! ඉන්දියාව චීනයට දන්වයි !

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සහයෝගය මිස තවත් පාර්ශවයක න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරිම වෙනුවෙන් එල්ල කරන පීඩනය හෝ මතභේදකාරී තත්ත්වයක් නොවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි .

ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පළ කර තිබූ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ චීන තානාපතිවරයාගේ අදහස් දැක්වීම මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීමේ පුද්ගලික ලක්ෂණයක් හෝ විශාල ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකි බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව පිළිබඳ චීන තානාපතිවරයාගේ අදහස් ඔහුගේ රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇතැයි සිතන බවත්, ඉන්දියාව එයට වඩා බොහෝ සෙයින් වෙනස් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

විනිවිද නොපෙනෙන සුළු ණය පදනම් කරගත් න්‍යාය පත්‍ර මේ වන විට කුඩා රටවලට විශාල අභියෝගයක් බව ද ඉන්දීය මහ කොමාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

එජාපයට 76 යි : සැප්තැම්බර් 06 එක්වෙමු !

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය, “එක්වෙමු“ යන තේමාව යටතේ, ලබන සැප්තැම්බර් 06 වෙනිදා , කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට සූදානම් බව වාර්තා වෙයි.

ඒ, එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

මෙවර සමුළුවේ විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු යටතේ, එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ, වසර 28 කට පසුව වීමය..

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙකු යටතේ, සංවත්සර සමුළුවක් අවසන් වරට පවත්වා ඇත්තේ , 1993 දීය. ඊට පසුව පක්ෂ සංවත්සරයක් ජනාධිපතිවරයකු යටතේ පවත්වන්නේ මෙවර ය..

එසේම මෙවර සමුළුවේ සංවිධාන කටයුතු අමාත්‍ය හරින් ප්‍රන්නන්දුට බාරදී ඇති බවත් වාර්තා වෙයි ...

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ට එක්සත් ජාතික පක්ෂයේ ඉහලම තනතුරක් ලැබෙන බවට මේ තුළ පැහැදිලි ඉඟියක් පළවී ඇති බවය.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට අදාළ සමුළුවට 5000 ක පිරිසක් ගෙන ඒමට සංවිධානය කර ඇත . ඒ තුළ අපේක්ෂාව වී ඇත්තේ , එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රබෝධයක් ඇතිකර වැඩි ජනතා ආකර්ෂණයක් ගැනීම බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විටත් සමගි ජනබලවේගය පක්ෂය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු වල නිරතවීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අවබෝධයක් ඇතිකර ගෙන ඇති බවත් වාර්තා වෙයි .

පුංචි ජන්දයේ දින නියමය දෙසැම්බර්වල !

කල් දමා තිබෙන පළාත් පාලන ඡන්දයට දින නියම කිරීම ලබන දෙසැම්බරයේදී සිදුකෙරෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.

පවත්නා නීතිමය ප්‍රතිපාදන අනුව ලබන වසරේ මාර්තු මස 25 දින දක්වා පළාත් පාලන ඡන්දය කල් දමා තිබේ.

එහෙත් ඊට මාස 6කට පෙර ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඊට දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබේ.

ඒ අනුව මෙම වසරේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ නාමලේඛනය ඔක්තෝබර් මස සහතික කොට නියමිත ඡන්ද ලැයිස්තු ප්‍රකාශයට පත් කළ විට ලබන දෙසැම්බරයෙන් පසු ඕනෑම මොහොතක ඡන්දය පැවැත්වීමේ හැකියාව ඇතැයි මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

අලුතින් මෙවර ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් ලක්ෂ 2 ½ කට පමණ සාධාරණය ඉටුකළ යුතු බැවින් මේ වසරේ ඡන්ද ලැයිස්තු විධිමත් ලෙස සැකසෙන තෙක් ඡන්දය පැවැත්විය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මෙවරද පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මිශ්‍ර අනුපාත ක්‍රමයට බව පැවසූ සභාපතිවරයා එහිදී පළාත් පාලන කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීන් 60% ක්ද සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීන් 40% ක්ද තෝරාගැනෙන බව සඳහන් කළේය.

- deshaya

මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරය වෙනුවෙන් : සමාගම් 24 කින් යෝජනා !

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි .

මේ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර ඇත .

යෝජනා ඉදිරිපත් කර ඇති අදාළ සමාගම් 24 ,එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල් නියෝජනය කරන බවත් වාර්තා වෙයි .

මෙම යෝජනා සලකා බැලීම සඳහා පත්කර ඇති කමිටුව යෝජනා ඇගයීමට ලක්කර සති හයකින් අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි .

මුදල් නෑ කියලා ආණ්ඩුවට එන්න හිටපු සමගියේ ප්‍රබලයා රිවර්ස් !

ආණ්ඩුවට සම්බන්ධ වෙයි කියලා , පසුගිය කාලයේදී, ලොකු කතා බහකට ලක්වූ, සමගි ජන බලවේගයේ , නම ගිය පුද්ගලයකු , දැන් දැන් වැඩේට අදි මදි කරමින් ඉන්නවා කියල ආරංචියි..

එහෙම වෙලා තියෙන්නේ , මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා එය නොලැබීම නිසා කියලයි කියන්නේ .

ඒ සජබ මන්ත්‍රීතුමාට ලබාදීමට තීරණය කරලා තියන්නේ, ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය ධූරය ලු.

ඒත් ඒකට මේ මන්ත්‍රී එකඟවෙලා නෑ ලු..

දවසින් දවස කල්යන අමාත්‍ය මණ්ඩලයේ , සෙසු අමාත්‍යවරුන් පත් කිරීම, ලබන සතියේ 30 වෙනිදා අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ, පත්කරන්නලු ජනාධිපති රනිල් තීරණේ කරලා තියන්නේ.

අයවැය විවාදයන්හිදී, එම කාරණය යම් විවේචනයකට ලක්වීමේ ඉඩකඩ වැළැක්වීම ට ලු එහෙම තීරණයක් අරන් තියනවයි කියන්නේ

අන්තිමේදී බැසිලුත් ඒකට එකඟ වුනා ලු.

කොහොමවුනත් කැබිනට් මණ්ඩලේ පත්කරන්න ඉස්සෙල්ල නියෝජ්‍ය ඇමතිවරු පත්කරන්න ලු හදන්නේ..ඒ පත්කිරීම් අතුරු අය වැය සම්මත කිරීමෙන් පස්සේ ලු සිද්දවෙනවයි කියන්නේ..

ඔය අස්සේ තවත් කතාවක් යනවා. ඒ කියන විදියට ලබන 30 වැනිදා ප්‍රකාශ කරන, නව අයවැයෙන් පස්සේ පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක්ලු..

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අවසන් බලාපොරොත්තුවත් ගිලිහිලා ....

අයවැයෙන් පස්සේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය, කොහොමහරි තිහකට වැඩි නොකරන්නලු, ජනාධිපති ට්‍රයි එක දෙන්නේ..

කොහොම වුනත් , ඔය කියන ආණ්ඩුවට එකතුවෙන සෑම සුළු පක්ෂයකටම, කැබිනට් ඇමතිකමක් සමග නියෝජ්‍ය ඇමතිකම් දෙන්න ලු යන්නේ..

ඒ විදියට බැලුවම, සමස්ත ඇමති ධූර 80කට ආසන්න වෙයි කියලයි කියන්නේ..

ඔන්න මේ වෙනකොට, පොහොට්ටුවට ලබා දිය යුතු ඇමති ධූර, නියෝජ්‍ය ඇමති ධූර හා රාජ්‍ය ඇමති ධූර ගැන, ජනාධිපතියි - බැසිලුයි එකඟතාවකට ඇවිත් ලු..

මේ විදියට ඇමති මණ්ඩලය දිවුරුම්දෙන එක, දවසින් දවස ප්‍රමාද වුනේ, අභ්‍යන්තරයේ ඇති වී තිබුණු බරපතල ගැටලු නිසා ලු.

- දේශපාලන වාර්තාකරු

ළමා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට.....

ළමා මන්ද පෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම 06 වැනි ස්ථානයට පත්ව ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

එහි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් සමග දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට දරුණු බලපෑමක් සිදුව ඇති බවයි.

මෙරට ළමුන් තිදෙනකුගෙන් එක් අයෙකුම මේ වනවිටත් යම් ආකාරයක හදිසි ආධාර උපකාර ලැබීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන බව මෙරට සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි මහතා පවසයි.

දැනට පවත්නා අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් ළමුන් පාසල් යාම අඩාලවී ඇති බවත් අර්බුදයට පෙර ඔවුන්ට ලැබුණු රසවත් හා නැවුම් ආහාර වේල අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

ආහාර මිලදී ගැනීමේ හැකියාව නොමැති වීම නිසා පවුල් ඔවුන්ගේ එදිනෙදා ආහාරවේල් මග හරිමින් පසුවන බව පැවසූ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ, මෙරට ළමුන් මීළඟ ආහාර වේල ලැබෙන්නේ කෙසේදැයි නොදැන කුසගින්නේ නින්දට යන බවයි.

ළමුන්ගේ අවශ්‍යතා සපුරලීමට නොහැකි මෙරට දෙමව්පියන්, ළමුන් ළමා ආරක්ෂණ ආයතන වෙත යොමුකිරීමේ ප්‍රවණතාවක් පවතින බවත් ඔහු අනාවරණය කරයි.

ඇමරිකානු හාර්ට් ටු හාර්ට් වෙතින් බිලියන 3ක වෛද්‍ය ආධාර !

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිළිගත් ගෝලීය මානුෂීය ආයතනයක් වන ‘හාර්ට් ටු හාර්ට්’ අන්තර්ජාතික සංවිධානය විසින් මෙරිකානු ඩොලර් 8,222,898.78 ක් (රුපියල් බිලියන තුනක් පමණ) වටිනා හදිසි වෛද්‍ය ආධාර පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත එවීමට රජයේ අනුමැතිය ලබාගෙන ඇත .

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධව මෙම වෛද්‍යාධාර තොගය ඉතා ඉක්මනින් ගුවන්ගත කිරීමට මේ සතියේ සිට පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පළමු පරිත්‍යාගය පරිදිම එහි සියලු වියදම් ‘හාර්ට් ටු හාර්ට්’ අන්තර්ජාතික සංවිධානය විසින් දරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකීය ජනතාව අතර නොමිලේ බෙදාහැරීම සදහා මෙම වෛද්‍ය සැපයුම් තොගය භාරගනු ඇත.

පසුගිය මාසයේදී ද අමෙරිකානු ඩොලර් 908,547ක් (රු. 326,077,518.30) වටිනා පළමු වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලදී.

එය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් බෙදාහැරීමේ කටයුතු සදහා පසුගිය ජුලි මස 13 වන දින භාරගන්නා ලදී.

මෙම හදිසි ආධාර ලබාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ මගපෙන්වීම යටතේ මෙම වෛද්‍ය සැපයුම් තොගයෙහි, ලංකාවේ දැනට හිඟව පවතින අත්‍යාවශ්‍ය වේදනා නාශක, ඇමොක්සිලින්, පොටෑසියම් ක්ලොරයිඩ්, පෙනිසිලින් සහ වෙන්ලෆෙක්සින් වැනි ප්‍රතිජීවක ඖෂධ අඩංගුව ඇත.

මේ දක්වා හාර්ට් ටු හාර්ට් අන්තර්ජාතික සංවිධානය විසින් ඇ.ඩො. 9,131,445.78ක් (රු. 3,378,366.31ක්) වටිනා හදිසි වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත.

මනූෂ දුන්න තනතුර රන්ජන් බාරගෙන : විමලවීරත් සුබ පතයි !

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක විසින් බාරගෙන ඇති බව වාර්තා වෙයි .

ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර රන්ජන් රාමනායකට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක්ද නිකුත් කළේය .

විමලවීර සුබ පතයි !

රන්ජන් රාමනායක, ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට පෙර දින රාත්‍රියේ අමාත්‍ය මනුෂ නානායක්කාර සිය ආධාරකරුවන් සමග ගිය අතර එහිදී අදාළ තනතුර නිල වශයෙන් පිරිනමා ඇති බවත් වාර්තා වෙයි .

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ද පැමිණි අතර රන්ජන් රාමනායක අපරාධකරුවකු නොවන සුන්දර මිනිසෙකු වන සිය අසල්වැසියා නිදහස් වීම ගැන හෘදයාංගම සතුටු වන බව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසා ඇති බවත් වාර්තා වෙයි .

 

සජිත්ගේ සහෝදරිය : පවුල් පිටින් රටෙන් මාරු වෙයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ප්‍රකාශයක් ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

ඇය සිය දරුවන් දෙදෙනා සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානාවකින් මෙසේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස ගිනි තැබුණු ජූලි 09 වනදා දුලාංජලී ප්‍රේමදාස එම ස්ථානයේ විරෝධතා උද්ඝෝෂණයක් සිදුකමින් අරගලකරුවන් ඒ වෙත කැඳවූ වීඩියෝ සාක්ෂි පවා තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

බොරු තර්ක එපා : රන්ජන්ව මන්ත්‍රී ධූරයට නම් කරන්න ! සජිත්‍ට අභියෝගයක් !

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ට ලබාදුන් ජනාධිපති සමාව කොන්දේසි සහිත බැවින් ඔහුගේ සිවිල් සහ දේශපාලන නිදහස අහෝසිවී ඇති බවට විපක්ෂ නායක , සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (26) සිදුකළ චෝදනාව පැය 24 ක් යන්න පෙර පුස්ස බින්ද තැනට වැටී ඇත.

ඒ රන්ජන් රාමනායක ගේ නිදහස සම්බන්ධයෙන් පැහැදිලි කරුණු දැක්වීමක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් සිදුකර ඇති නිසාය.

අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර හතක් යනතුරු මැතිවරණයකට තරග කළ නොහැකි බවත් ජනාධිපති සමාව පූර්ණ වශයෙන් හිමි වී නැති බවද සත්‍ය බවය.

නමුත් අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඉඩ ලබාදිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට පෙර ද සරත් ෆොන්සේකාටද ජනාධිපති සමාව පූර්ණ වශයෙන් ලබා දුන්නේ අවස්ථා දෙකකදී බවත් මුල් අවස්ථාවේ දඬුවම අහෝසි කල බවත් ඉන් අනතුරුව පූර්ණ නිදහස ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා රන්ජන් රාමනායකට ද එසේ සිදුවිය හැකි බවය.

මේ අතර දේශපාලන විචාරකයන් ද පවසන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සඳහන් කළ 34 (2) යටතේ ජනාධිපති සමාව ලබාදීම වෙනුවට 34 (2) ( ඈ) යටතේ ජනාධිපති සමාව ලබාදීම ප්‍රගතිශීලී පියවරක් බවය.

ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන් රාමනායක වැරදිකරු කර දඬුවම් පමුණුවා ඇත්තේ , අධිකරණයට අපහාස කිරීම යන චෝදනාවකට බැවින් , රන්ජන්ගේ නිදහස තහවුරු කළ යුතුව ඇත්තේ , අධිකරණය අපහසුතාවට පත්නොවන සහ වැරදි පූර්වාදර්ශයක් නොලැබෙන ලෙස බවත් ඔවුන් පවසයි .

සමගි ජනබලවේගයේ ඉල්ලා අස්වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී කවුද ? ඒ කවද්ද ?

එසේම ඊයේ (26) විපක්ෂ නායක කාර්‍යාලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී ජාතික ලැයිස්තුව හිස් වෙන පළමු අවස්ථාවේ රන්ජන් රාමනායක ට මන්ත්‍රී පුරප්පාඩුව ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සිදුකළ ප්‍රකාශය තේරුමක් රහිත හිස් ප්‍රලාපයක් බවත් දේශපාලන විචාරකයන් පවසයි .

රන්ජන්ගේ නිදහස තුළ ඔහුට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ලබාදීමට නම් සිදුකළ යුතුව ඇත්තේ , සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්කර ඒ සඳහා රන්ජන් රාමනායක පත්කිරීම බවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරයි.

දැන් සිදුව ඇත්තේ , එළුවගේ ගෙලේ ඇති මස් තැල්ල කන්න ආශාවෙන් එළුවා මැරෙන තුරු පස්සෙන් වැටුණු වෘක්කයා තත්ත්වයට රන්ජන් රාමනායක ව ඇද දැමීමක් බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

 

Page 287 of 464