V2025

පුවත්

පාන් මිල රු. 100 ඉක්මවයිද ?

පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

“අද වෙනකොට බේකරි 1000 ක් පමණ වහලා දාලා තියෙනවා වැඩ කරගන්න බැරුව. අනිත් බේකරිත් වැඩ කරන්නේ සතියට දවස් 5යි. ඉතින් මේ විදියට යනකොට ඉදිරියේදී පාන් ගෙඩිය රුපියල් 100 නම් පනිනවා අනිවාර්යයෙන්ම. 100 නෙවෙයි 150න් වත් මෙහා නැවතුණොත් ඇති මේ යන විදියට. මේ තියෙන බඩු ගණන්, ගෑස්, අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100 ට වැඩියෙන් විකුණන්න ඕනෙ. 100 ට අඩුවෙන් විකුණුවා නම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියක් නෙවෙයි. ඉතින් අපට කියන්න දැන් කරුණු ඉතුරුවෙලා නැහැ. අර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ සියලුම ප්‍රශ්න ටික අපේ කර පිටට ඇවිල්ලා ඉවරයි. තව සතියක් මේ විදියට ගියොත් මුළු ලංකාවෙ තියෙන සියලුම බේකරි ටික වහලා දාන මට්ටමට එයි. ඉතා සුළු ප්‍රමාණයක් විතරක් පවතීවි, 90%ක් බේකරි හිමියන් බැංකුවලට ණය ගෙවාගන්න බැරුව වහ බොන තත්වයට පත්වෙනවා. අපි රජයේ බලධාරීන්ට කියන්නෙ අප පිළිබඳව සැලකිල්ල දක්වන්න. අපේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒත් එහෙම කරන්න පුළුවන් වෙයිද කියලාත් සැකයි. මේ සියල්ලටම මුල ඩොලර් ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට විසඳුමක් එනතුරු අපේ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙ නැහැ”

ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම ද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ එන්.කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව පැවසුවේ අද (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එස්.බී. ඇතුළට ගත්තාට ලොහාන් කණස්සල්ලෙන් !

සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  කණස්සල්ලට පත්ව සිටින බව ලංකා සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

ඒ හේතුවෙන් ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට ඔහු සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් දිලුම් අමුණුගම  ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූ අතර එස්.බී. දිසානායකද කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට එක් විය.

ලොහාන් රත්වත්තේ  තම හිතවත් පිරිස් සමග සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරූ පුද්ගලයන්ටද මෙම රජයේ කැබිනට් අමාත්‍ය ධුර හිමිවීම ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඔහු ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ  බොහෝ දෙනා හැර යද්දී තමන් සමග දිගටම සිට ඔහු අරක්ෂා කල බවද රත්වත්තේ  තවදුරටත් සඳහන් කර ඇත.

ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී , බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 97 වන වියේ පසුවිය.

ප්‍රහසන,රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියව සිටි ඒ මහතා රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මාස්ටර් සහ වීසා සමාගම් රුසියාවේ මෙහෙයුම් අත්හිටුවයි

ක්‍රෙඩිට් කාඩ්පත් සමාගම් දෙකක් වන මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් සමාගම් රුසියාවට සිය සේවා සැපයීම අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අදාල සමාගම් මගින් රුසියානු බැංකුවල පාරිභෝගිකයන්ට ලබාදුන් කාඩ්පත් මින්පසු අක්‍රිය වනු ඇත.

මීට අමතරව රුසියාවෙන් බැහැර රටකදී නිකුත් කරන ලද මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් රුසියාව තුළදී මුදල් ගනුදෙනු සඳහා භාවිතා කිරීමටද නොහැකි වනු ඇත.

මෙම තත්වය හේතුවෙන් රුසියානු බැංකු බරපතල ගැටලුවකට මුහුණ දෙනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන අර්බුදය හේතුවෙන් අදාල සමාගම් රුසියාවට මෙසේ සම්බාධක පනවා තිබේ.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පවත්වා ඇත. විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති මෙම සංවාදයේදී යුක්රේනයට ආර්ථික සහන ලබාදීම සම්බන්ධයෙන් සහ රුසියානු සම්බාධක තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

යුක්රේනයට ප්‍රහාරක ගුවන් යානා සැපයීමට අදාල ගිවිසුමකට එළඹීමට පෝලන්තය සහ ඇමරිකාව සූදානම්ව සිටී.

මෙම ගිවිසුමට අනුව පෝලන්තය, සෝවියට් යුද සමයේදී භාවිතා කළ ප්‍රහාරක යානා කිහිපයක් යුක්රේනය වෙත සැපයෙනු ඇති අතර ඒ වෙනුවට පෝලන්තයට ඇමරිකාවෙන් එෆ් 16 වර්ගයේ නවීන ප්‍රහාරක යානා කිහිපයක් ලැබෙනු ඇත.

යුක්රේනය විසින් ප්‍රහාරක යානා සපයන්නැයි සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම ගිවිසුම ක්‍රියාත්මක වනු ඇත.

යුක්රේන – රුසියා අර්බුදයේදී ඉන්දියාව රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ලොව ප්‍රබල රටවල් රැසක විවේචනයට ලක්ව තිබේ. ප්‍රබල රටවල් රැසක් ඉන්දියාවට බලපෑම් කරමින් සිටින්නේ රුසියාව සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ගන්නා ලෙසයි.

රුසියාවට එරෙහිව පසුගියදා ජගත් සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉන්දියාව වැළකී සිටියේය.

ඉන්දියාව ආනයනය කරන යුද උපකරණවලින් 50% කට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ රුසියාව වන අතර මේ නිසා ඉන්දියාවට සෘජුවම රුසියාවට එරෙහිව යා නොහැකි තත්වයක් මතුව තිබේ.

යුක්රේන-රුසියා අර්බුදය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවට මේ වනවිටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා ඇති අතර, විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයට යා හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බවත් එම ආයතනය පවසයි.

ජනාධිපති - ගම්මන්පිල හමුවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අතර අද (05) උදෑසන හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් වාර්තා කර ඇති ආකාරයට මේ අනුරාධපුර ප්‍රදේශයේ දී සිදුව ඇත.

ඒ ප‍්‍රභූවරුන්ගේ ජෝතිෂ්‍ය කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී දේශපාලන කතාවක් සිදුව නොමැති බවත් එහි සඳහන් කර ඇත.

විමල් - ගම්මන්පිල බුලත් කොළයට ගන්න : ශ්‍රීලනිප යෝජනාවක් !

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර අහිමි කෙරුණු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පාර්ශ්වය සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල ඇතුළු පාර්ශ්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්කර ගැනීමේ සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි .

එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් පක්ෂ කිහිපයක් එක්කර ගනිමින් පුළුල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී ඇති අනෙකුත් දේශපාලන සංවිධාන සහ කුඩා පක්ෂ එකතු කරන මධ්‍යස්ථානයක් බවට එක්සත් ජනතා සන්ධානය පත්කර ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ගැනීම ශ්‍රීලනිප උපක්‍රමය බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවස්ථා කිහිපයකදිම අවධාරණය කර සිටියේ ඉදිරි කිසිදු මැතිවරණයකදී පොදුජන පෙරමුණ සමග සන්ධානයක් සඳහා නොයන බවයි.

එසේම මේ වන විට ආණ්ඩුව ලබමින් සිටින ජනතා අප්‍රසාදය දේශපාලන වාසියක් බවට පත්කර ගැනීමට ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු වේගවත් කිරීමටත් ශ්‍රීලනිප ය ක්‍රියාත්මක ව ඇති බව පසුගිය සමයේ නිරීක්ෂණය විය.

ආණ්ඩුවේ මැති ඇමති පිරිසක් රටෙන් යන සූදානමක් : මුලින්ම ලන්සා !

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.

යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ද විදේශයකට ගොස් සිටින්නේය.

රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කළේය.

අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යම් කාලයක් සඳහා මෙලෙස විදේශයකට ගොස් සිටින්නේ යම් මානසික විවේකයක් අපේක්ෂාවෙන් බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ද දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගියදා පිටත්ව ගියේය.

- lankadeepa

කොවිඩ් මළ සිරුරු : ආදාහනයද ? භූමිදානයද ? විවාදයක් අවසන් !

කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කරනවාද භූමිදානය කරනවාද යන්න සම්බන්ධයෙන් පසුගිය සමයේ දැඩි විවාදයක් පැවති අතර ඒ සඳහා වෙනම භූමි භාග පවා වෙන්කෙරෙනු දකින්නට ලැබිණ.

නමුත් මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවසර ලබා දී ඇත.

මෙයට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) නිකුත් කරනු ලැබීය.

අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවැසීය.

පිවිතුරු පොහොට්ටු ආණ්ඩුවක් හදන්න බැසිල් සූදානම් : සෙසු පක්ෂ දොට්ට !

ආණ්ඩුවට සහාය දැක්වූ සෙසු පක්ෂ නියෝජිතයන් ඉවත් කොට පිරිසිදු පොහොට්ටු තනි ආණ්ඩුවක් සකස් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වීමට ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ 11ක නායකයන් නොනිල තීන්දුවක් ගෙන ඇති පසුබිමේ ජනාධිපති සොයුරු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පොහොට්ටුව සතුව මන්ත්‍රීවරුන් 120කට ආසන්න සංඛ්‍යාවක් සිටින බැවින් බලය රැකගැනීම සම්බන්ධයෙන් අභියෝගයක් නොමැති බවත් ආණ්ඩුවේ තක්සේරුව වී ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයකු පවසා ඇත්තේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යපෘති ගණනාවකට මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා වලට කැබිනට් මණ්ඩලය නියෝජනය කල විමල් විරවංශ හා උදය ගම්මන්පිල ගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුවේ ඇතැම් වැඩසටහන හකුලා ගැනීමට සිදුවූ බවත් මේවනවිට එම බාධා ඉවත්කර ඇති බවත් ය.

ආණ්ඩුව 121ට බහී ! විපක්ෂය 103ට නගී !

ලබන අඟහරුවාදා (08) දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ 30කට ආසන්න මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වූ විමල් වීරවංශත්, උදය ගම්මන්පිල=ත් එම තනතුරුවලින් ඉවත් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ සිටින පක්ෂ 11ක නායකයන් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීන්දු කර ඇති බවත්, බොහෝ දුරට එම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් සිටින නිසා මෙම තත්ත්වය මතුව ඇති බවත් දැනගන්නට තිබේ.

යම් හෙයකින් කැරැලිකාර කණ්ඩායම නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් 30 දෙනා විපක්ෂයේ අසුන්ගත හොත් එවිට විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 103 දක්වා ඉහළ යෑමට නියමිතය.

එවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 121ක් බවට පත්වී, පළමු වටයේදීම තුනෙන් දෙකේ අති බහුතර බලය අහිමි වීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට අමතරව පොහොට්ටුව තුළද කලකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිටින අතර, ඔවුන්ද මේ වන විට දැඩි තීන්දුවක් ගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

එසේ වුවහොත් ආණ්ඩු පක්ෂයට ඉතිරිවන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව තවත් පහත වැටීමට නියමිතව තිබේ.

එසේ වුවද විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට සහාය පළකිරීමට දැනටමත් එකඟතාව පළකොට ඇති බැවින් එම තත්ත්වය වෙනස් වීමේ ඉඩක් මතුව ඇති බවද වාර්තා වේ.

මව්රට

බැසිල්ගේ කඩවුණු පොරොන්දුවක් !

මාර්තු 05 වනදා සිට විදුලි කප්පාදුවක් සිදුනොවනු ඇති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැවසූවත් එදිනද විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ගේ පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් බවට පත්ව ඇත.

වාර්තා වන ආකාරයට ලංකා විදුලි බල මණ්ඩලයට හෙට (05) සහ අනිද්දා (06) දින දෙක සදහා විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ සඳහා අදාල කලාප හා වේලාවන් මෙසේය.

මාර්තු 05

P Q R S T U V W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලයේදී පැය 03ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක්

E F කාණ්ඩ සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් සහ නැවතත් සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක්

මාර්තු 06

A B C කාණ්ඩ සදහා පමණක් පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලයේදී පැය දෙකයි මිනිත්තු 30ක්

ක්‍රිකට් ලොව මවිත කළ ශේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි

ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙකු වූ හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ශේන් වෝන් 52වැනි වියේ පසුවිය.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය.

පා දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොවම මවිත කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශේන් වෝන් හැඳින්විය හැකිය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 145ක් ක්‍රීඩා කර ඇති ශේන් වෝන් කඩුලු 708ක් ලබාගෙන තිබේ.

එක්දින තරග 194කදී ඔහු ලබා ඇති කඩුලු ගණන 293කි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු වෝන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළේය.

බැඳුම්කර ගනුදෙනුව : පොදු දේපළ චෝදනාවලින් රවී නිදහස් !

2016 වසරේ බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනාවලින් නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

එම චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර ඇති බවත් දැනගන්නට ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ,
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක ට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කර ඇත.

ඒ අනුව එම චෝදනාවලින් පමණක් අදාල විත්තිකරුවන් නිදහස් කරන බවත් විනිසුරුවරුන් නියෝග කර තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා එය අද (04) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.

එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු විසින් මෙම බහුතර තීන්දුව ලබා දුන්නා.

බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත පොදු දේපළ පනතේ 7 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බව සඳහන් කළ බවත් වාර්තා වෙයි .

එසේම මෙම නඩුවේ විත්තිකාර පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යා නොහැකි බව ද විනිසුරුවරයා පවසා ඇත.

ඒ අනුව එම සමාගමට එල්ලවී තිබෙන චෝදනා වලට සම්බන්ධ වී පවතින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනා ද පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කර ඇත.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගන යා හැකි බවයි.

මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමඟම සමස්ත අධිචෝදනා පත්‍රයම පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව සඳහන් කර ඇත.

මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බවයි සඳහන් කළ බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනා වලට අදාල විභාගය පැවැත්වීම සඳහා "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය" සඳහා මැයි මස 4 වනදා කැඳවන ලෙස නියෝග කළ බවත් වාර්තා වෙයි.

2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.8 98 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අදාල සමාගම අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පොලිසිය ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත ඇතුළු අණ පනත් කීපයක් යටතේ මෙම නඩුව ගොනු කර තිබිණ.

රුසියා - යුක්‍රේන අර්බුදය ගැන රනිල්ගෙන් අනාවැකියක් !

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම නිසා ඉදිරි වසර දහය ඇතුලත ආසියාව ලොව බලවතා බවට පත් වන ලකුණු ඇතැයි එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකටම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි තේ කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇතැයි ද ඔහු එහිදී පවසා ඇත.

එසේම ඇමරිකාව හෝ එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවද ලංකාව රුසියාව හෝ වෙනත් රටවල් සමඟ වෙළෙඳාම නතර නොකළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

එජාප නියෝජ්‍ය නායකයාගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් !

රජය තම අසාර්ථකත්වය, මහජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මහජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට රජය දරන උත්සාහය ගැනත් එක්සත් ජාතික පක්ෂයේ විවේචනයට යොමුව තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන චෝදනා කළේ මහජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී වූ රැස්වීමකදී විජේවර්ධන පසුගියදා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

“ආණ්ඩුව මහජනතාවට සලකන්නේ මෝඩයන් ලෙසයි, ඔවුන් සිතන්නේ, ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපා හැරීමෙන් රටේ ප්‍රශ්න විසඳන්නේ ඔවුන් යැයි අපට සිතෙන බවයි. මේක අපේ අවධානය වෙනතකට යොමු කරන්න කරන උත්සාහයක් පමණයි. ඩොලර් රටට ඇතුළු වීම වළක්වන ප්‍රතිපත්ති දිගින් දිගටම අනුගමනය කරන මහ බැංකු අධිපතිවරයා ජනාධිපතිවරයා විසින් ඉවත් කළ යුතු නම්, ඩොලර් අර්බුදයට කැබිනට් සංශෝධනය පිළිතුරක් නොවෙයි"

මහජනතාව මුහුණ දෙන ගැටලු දිනෙන් දින ඉහළ යන නමුත් ඒවා විසඳීමට රජය කිසිදු උත්සාහයක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

“මුලින්ම කිරිපිටි හිඟයක්, ඊට පස්සේ සිමෙන්ති හිඟයක්, ඊට පස්සේ ගෑස් හිඟයක් ආවා, දැන් ඉන්ධන හිඟයක්, පැය 7ක විදුලිය කප්පාදුවක්. ගෑස් හිඟයේ තවත් වටයක් ද අපිට ඉදිරියේදී දකින්න පුලුවන් වෙයි. මේ ප්‍රශ්න විසඳන්න මේ රජය මොනවද කරලා තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂය මාස 18ක් තිස්සේ මේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. මේ අර්බුදයට ඔවුන්ගේ විසඳුම කුමක්ද?”

රටේ අර්බුදය විසඳීමට ගන්නා ඕනෑම අර්ථවත් ප්‍රයත්නයකට එක්සත් ජාතික පක්ෂය අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව පැවසූ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , “අපි නැගී සිට මෙම ගැටලු විසඳීමට රජයට සහය දීමට ඉදිරිපත් වූ නමුත් ඔවුන් අපව නොසලකා හැර තිබෙනවා. ඔවුන් දැන් මහජනතාව නොසලකා හරිනවා. මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා ජනතාව පාරට බහින්න වැඩි කාලයක් ගත වන්නේ නැහැ." යනුවෙන් ද පැවසීය.

එජාප මාධ්‍ය ඒකකය විසින් මේ සම්බන්ධ නිවේදනය නිකුත්කර ඇත.

 

ගෝඨාභය ජනාධිපති යටතේ නැවත අමාත්‍ය ධූර ගන්නේ නෑ : විමල්ගෙන් සහතිකයක් !

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තමන් යළි කිසිදු දිනෙක අමාත්‍ය ධූර බාර නොගන්නා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.

අද (04) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

අද ඇත්තේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව එම බලය හයිජැක් කරන ලද අවලස්සන ඇමරිකානුවකු පිළිබඳ ප්‍රශ්නයක් බවත් ඔහු එහිදී පැවසීය.

දෙදහස් පහළොවේ පරාජයෙන් පසු මහින්ද සුළඟ සමගින් මේ පොළොවේ ජාතික බලවේගයට පණ දුන් අයට වඩා රට හැර පලා මිනිසුන් වටිනා බව මෙම තීන්නුව සමග ඔප්පු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

අද වන විට ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ උවමනාව මත නැටවෙන තත්ත්වයකට පත්ව ඇතැයිද විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පසුගිය ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව පැවසූ ඔහු 2015 ජනපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් විපක්ෂනායකම බලාපොරොත්තු වූ බවද පැවැසීය.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හා ප්‍රතිපත්තිිමය ගැටුමක් පැවැතිි බවත් එය වරින් වර එළියට පැමිණි බවත් පැවැසූ මන්ත‍්‍රීවරයා වත්මන් ජනපතිවරයා මේ අවස්ථාවේදීත් තම පවුල වෙනුවෙන් පෙනී සිටි බවත් බැසිල් රාජපක්ෂ ගේ පාලනයට ජනපතිවරයාට නතු වී ඇති බවත් පැවසීය.

අරුන්දික ගොඩ : සීබීගේ හිතේ අමාරුවට බෙහෙත් විමලවීරටත් අලුත් අමාත්‍ය ධූරයක් !

රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිද්ධියට ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු යළි එම අමාත්‍ය ධුරය සඳහා පත්කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පත්කල කමිටුව ජනාධිපතිවරයා වෙත ඊයේ (03) අරුන්දික ප්‍රනාන්දු අදාල සිද්ධියට සම්බන්ධ නොමැති බව දැනුම්දීම නිසා බවත් වාර්තා වෙයි.

මේ අතර ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලෙස විමලවීර දිසානායක දිවුරුම් දී ඇති අතර කර්මාන්ත අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක පත්කිරීම හේතුවෙන් කළකිරී සිටි බවට මාධ්‍ය වාර්තා කළ සී.බී. රත්නායක අමාත්‍යවරයා වෙත රාජ්‍ය අමාත්‍ය විමලවීරට තිබූ විෂය පැවරීමටත් ජනාධිපතිවරයා කටයුතු කොට ඇත.

යවන්න කළින් : වාසුත් තීන්දුව අරගෙන !

අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ට සාධාරණයක් ඉටු කරන තුරු තමන් අමාත්‍යධූරයේ කටයුතු කිරීමෙන් ඉවත් වී සිටින බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 අද (04) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

තමන් තව දුරටත් පක්ෂ 11කින් යුත් සන්ධානය සමග කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී තව දුරටත් පැවසීය.

කෙසේ වුවත් එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ තමන් යළි කිසිදු දිනෙක අමාත්‍ය ධූර බාර නොගන්නා බවය.

Page 285 of 388