V2025

පුවත්

තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට : භූමිතෙල් සහනාධාරයක් !

භූමිතෙල් මත යැපෙන ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඊට අනුව අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා මෙම මුදල් සහනාධාරය රජය විසින් ලබාදීමට කටයුතු යෙදෙනු ඇත.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 87ක්ව පැවති භූමිතෙල් මිල රුපියල් 253 කින් ඉහළ ගියේය. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340කි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත .

“භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතුව තිබූ දෙයක්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩු සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට විකිණීමයි. මිල ගණන් නව පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇත.”

වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ගෙදර යන්න - ජනපති

වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන්නැයි (21) ජනපති රනිල් වික්‍රමසිංහ  අනුරාධපුරයේදී අවධාරණය කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් පල කළේ, අනුරාධපුර පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පවසා සිටියේය.

”අද අපේ ආර්ථිකය වෙන අවුරුදුවලට වඩා 8%කින් අඩු වෙන්න යනවා.ඒක සීඝ්‍රයෙන් දැන් සිදු වෙනවා. ඒකේ විපාකය තව ටිකකින් හැම එක්කෙනාටම තේරෙන්න යනවා.මෙහෙම සීග්‍රයෙන් අඩු වුණා නම් ඒ වගේම අපි බලන්න ඕන ආපහු තල්ලු කරලා දියුණු වෙන්න.ඉතිං කොහෙන්ද අපිට ඉස්සෙල්ලම ආර්ථිකය සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්.මහ කන්නයේ ගොවිතැන අපි ගොවිතැන හරියට සාර්ථකව කරනවනම් ආපහු අඩු වුණා. ආර්ථිකය ඇකිලුණ ආර්ථිකය තල්ලු කරන්න පුළුවන්.එහෙනම් අපි බලන්නේ ආණ්ඩුවක් හැටියට මහ කන්නයට යොදවලා වැඩ කටයුතු කරන්න.පොහොර දෙන්න පොහොර වලට අපිට දැන් ආධාර ලැබිලා තියනවා.බීජ ලබලා දෙන්න , ඩීසල් ලබලා දෙන්න ,තෙල් ලබලා දෙන්න, ඒ වැඩසටහන දැන් ආණ්ඩුවෙන් කරගෙන යනවා. ආණ්ඩුව හැම එකක්ම ලබලා දෙනවා මෙතනින් අපි පටන් ගමු.ඒ වගේම ධීවරයන්ට පුළුවන් තෙල් ලබලා දෙන්න.විශේෂයෙන්ම තේ රබර් පොල් ක්‍රමාණුකූලව ඒ අයටත් පොහොර ලබලා දෙන්න.කෘෂිකර්මයෙන් අපි ඉස්සෙල්ලම ඉදිරියට යන්න බලන්න ඕන.අපි කැපවෙමු දැන් මහ කන්නෙදී හොද අස්වැන්නක් ලබා ගන්න.ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්නවා නිලධාරීන් දිසා ලේකම්තුමා තුන්දෙනෙක්ද හතරදෙනෙක්ද ?නමයක් ඉන්නවද ඒගොල්ලො ගොවිතැන් කළත් ඇතිනේ. තව මොකක්වත් උවමනා නෑ.අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසේ බෙදලා හැම එක්කෙනාම කොටසක් වාර්තා කරන්න කියමු. වැඩ කරනවනම් වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න.නිකන් ගෙවන්න ලෑස්ති නෑ . ඒක දිසාලේකම් තුමාට බලාගන්න වෙයි. ප්‍රාදේශීය ලේකම්වරු එක්ක. දැන් කාටවත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.මොකද අපියි ගෙවන්නේ.මටත් නිකන් කන්න බෑ මොකක් හරි කරන්න ඕන.මම මේක දියුණු කලේ නැත්නම් මටත් යන්න වෙනවා.දැන් ආණ්ඩුවෙන් ජීවත් වෙන කාලේ ඉවරයි. ජනතාව බලන්නේ දේශපාලනඥයින්ගෙන් මේකට විසදුමක් හොයලා දෙන්න කියලා. ඒක අපි හොයලා දෙන්න ඕන.පරණ දේශපාලනය උවමනා නෑ ඡන්දයක් තියනවා කියලා පැනලා යන්න එපා.ඊට ඉස්සෙල්ලා බැහැලා මේ වැඩ කටයුත්ත කරන්න.මම ඔක්කොම පක්ෂ එක්ක කතා කරනවා මම කැමතියි ඔක්කොම එකට එකතු වෙන්න.”

සිරිකොතට අලි වගේම පොහොට්ටු පෙරහැරකුත් !

වැඩි දවසක් නොගිහින් සිරිකොතට අලි පෙරහරක් වගේම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරන බවත් එසේ වුවොත් සජබෙට සහ පොදුජන පෙරමුණට අබසරණ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බණ්ඩාරගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ තමයි එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රී ධූරයකට පසු බැහැලා විනාශ වුණේ.ඒක මුළු රටම දන්න කාරණයක් .

දැන් රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ගොඩ ගන්න හොඳම කාලේ මේක තමයි කියලා.

ඒ නිසා අද සමගි ජන බලවේගය විනාශ කරමින් පවතිනවා.අලි පෙරහැරක් සිරිකොතට යනවා කියන්නේ සජබ විනාස වෙනවා කියන එකයි.

ඒ වගේම තමයි ඒ පිටු පස්සෙන් පොහොට්ටුවේ කණ්ඩායමකුත් සිරිකොතට යන ලකුණු පෙනෙනවා.

ඒ පෙරහැරේ ඉන්නේ හොර මැරකම් දූෂණ චෝදනාවට ලක් වූ පුද්ගලයන්,ඒකයි දැන් සිටම රනිල් වන්දනාවේ යන්නේ.

මේක අපේ පොහොට්ටුව අය තේරුම් ගන්න ඕන එහෙම තේරුම් ගත්තෙ නැත්තං එක්සත් ජාතික පක්ෂෙට එදා වෙච්ච දේමයි පොහොට්ටුවටත් වෙන්නේ."

ලංවීම ණය ට්‍රිලියන භාගයයි : විකුණන්නවත් බැරි වෙයි ! චම්පික

ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමට උත්සාහ කළද එය මිලදී ගැනීමට කිසිවකු නො පැමිණෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.

අද වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 500 ක ණය බරක් දරාගෙන සිටින බවත් එම ණය බර සහිතව එය මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියි.

චම්පික රණවක මන්ත්‍රීවරයා මේ අදහස් දක්වා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ද එහි ඇති ණය බර සමග මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවනු ඇතැයිද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන් අතර රාජ්‍ය දේපල පුද්ගලීකරණය කරන බවට ආණ්ඩුව පැවසූවද බංකොලොත් වූ රටක ණය බරක් සහිත රාජ්‍ය දේපල මිලට ගැනීම සඳහා කිසිවකු නොපැමිණෙන බවත් ඔහු පැවසීය .

මගෙන් ඇහුවා නම් ගෝඨට යන්න එපා කියනවා : මම යන්නෙත් නෑ - මහින්ද

තමන්ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂට රට හැර නොයන ලෙස උපදෙස් දෙන බව හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

අවාසනාවට ඔහු කටයුතු කළේ ඔහු විශ්වාස කළ විශ්ෂඥයන්ගේ උපදෙස් මත බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇති අතර ,ඒ sunday times පුවත්පත සමග අදහස් දක්වමින් ය.

තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන බවත් හිටපු අග්‍රාමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසා ඇත .

තමන් දිගටම දේශපාලනයේ රැඳී සිටින බවත් එයින් විශ්‍රාම යාම සිදුකරන්නේ සුදුසු වේලාවට බවත් ඔහු පවසා ඇත .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දීමට තමන් අවශ්‍ය බවත් , ඒ සම්බන්ධයෙන් තීන්දුව පක්ෂය ගතහොත් තමන් නීතිඥයකු බැවින් උසාවියේ ප්‍රැක්ටිස් කරන බවත් ඔහු පවසා ඇත.

සිපෙට්කෝ ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි - ඇමති : වෘත්තීය සමිති රත්වෙයි !

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .

ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය පිළිබඳව එහි වෘත්තීය සමිති මීට පෙර දැනුවත් කළ බව කී අමාත්‍යවරයා විරෝධය පළකිරීමේ අයිතියට අභියෝග නොකළ ද ඛනිජ තෙල් සහ විදුලිබල යන ක්ෂේත්‍ර දෙකේම ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ට්වීටර් සටහනක්ද සිය ගිනුමේ තබා ඇත.

cpc

වෘත්තීය සමිති උද්ඝෝෂණයේ !

කෙසේ වුවත් අමාත්‍යවරයා මේ අදහස් දක්වන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති හෙට (22) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන පසුබිමකය .

උද්ඝෝෂණය හෙට පස්වරු 1ට සංස්ථාව ඉදිරිපිටදී සංවිධානය කර ඇති බවත් වාර්තා වෙයි .

සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් මෙම විරෝධතාව සංවිධාන කොට ඇති බව වෘත්තීය සමිති පවසයි .

මැතිවරණයක් අත ළඟ : පොහොට්ටු - අලි සන්ධානයක් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට සහ එජාපය සන්ධානගත වී තරග කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය.

ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවලට ලබන සැප්තැම්බර් 20දායින් පසුව මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමිවෙයි.

එනිසා ප්‍රධාන පක්ෂ ගණනාවක්ම දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තාවේ.

මෙම පුවත දේශය පුවත්පත වාර්තා කර ඇත .

මේ අතර කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා පෙන්වා දෙන්නේ වසරකින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර ඇති බවත් එම කාලය ලබන වසරේ මාර්තු 25 වන දිනෙන් අවසන් වන බවත් ය.

 

ඒ අනුව, මැතිවරණය පවත්වන දිනය ලබන සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සීතා එළියට! ගෝඨා පාර්ලිමේන්තුවට! අගමැති ධූරයටත් යෝජනාවක් !

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි සක්‍රීය දේශපාලනයට ගෙන ඒමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස සැලසුම් කොට ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමටය.

ඒ අනුව පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක වන සීතා අරඹේපොළ සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව සලසා දීමට නියමිතව ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව තව සති කිහිපයකින් පිහිටුවීමට නියමිත නව ආණ්ඩුවේ අගමැති ධූරය සදහා ගෝඨාභය රාජපක්ෂගේ නම යෝජනා කිරීමන පොහොට්ටු මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඒ සදහා බහුතර මන්ත්‍රීවරුන් අස්සන් කොට යෝජනාවක් ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

රනිල්ට මාසයයි පුළුවන් ද : රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගතවී ඇත. දැන් අහන ප්‍රශ්නය රනිල්ට පුළුවන් ද යන්නය. ඊට පෙරළා නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ "රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?" යන්නය.

මේ ප්‍රශ්නය වර්තමාන දේශපාලන - ආර්ථික හැසිරීම හමුවේ කිහිපවරක් නැගූවද වැඩි නැත. සැබවින්ම දේශපාලන ප්‍රොපගැන්ඩා සහ දේශපාලන යථාර්ථය යනු එකක් නොව දෙකක් ය. එහෙත් එකක් අනික මත ඇතිකරන පීඩනය සුළුපටු නැත. ප්‍රොපගැන්ඩා විසින් මොන මතයක් හැදුවත් දේශපාලන යථාර්ථයෙන් ගැලවීමක් ද නැත.

මේ මොහොතේ තරම් ඒ බව ප්‍රායෝගිකව අත්විඳින තත්ත්වයක් මෑත ඉතිහාසයේ මතකයට එන්නේද නැත.

🎯 රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාවේ ඉරණම !

"රනිල්ට බෑ" කියා ප්‍රොපගැන්ඩා හදන්න යාම තවදුරටත් වලංගුත් නැත. ඒ අදාළ ප්‍රොපගැන්ඩාව හැදූවන් ඒ බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති නිසාය. ඒ රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව හැදුවේම රනිල්ට පුළුවන් බව හොඳින්ම දැන සිටි නිසා කියමින් ය.

මේ ඒ ගැන අටුවා ටිකා ලියන අවස්ථාව නොවේය. ඉතිහාසයේ එකම දේ දෙවරක් වන්නේ , පළමුව ඛේදවාචකයක් වූ දේ, දෙවනුව හාස්‍යක් කරමින්ය .

පළමුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව අවසන් වුණේ රාජපක්ෂ පවුල් පාලනය දරුණු ඒකාධිපතිත්වයක් බවට පත්කරමිනි. දෙවනුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව අවසන් වූයේ ට්‍රැජි කොමඩියකිනි.

ඒ මොහොත මෙසේ සාරාංශ ගතකිරීමට පුළුවන. දෙවනුව රනිල්ට බෑ කියූ ප්‍රොපගැන්ඩාව නිර්මාණය වුණේ, ජාතික ආරක්ෂාව , දේශීය ආර්ථිකය මුල් කරගෙනය. එහි අවසානය සටහන් වුණේ, ජාතික ආරක්ෂාව තබා තමාගේ ආරක්ෂාවවත් තහවුරු කරගන්න අසමත් ජනාධිපතිවරයෙකු බිහිකරමිනි. දේශීය ආර්ථිකය නම් විගඩම කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට ඇද දමනින් ය.

අවසානයේ ප්‍රතිඵලය සටහන්ව ඇත්තේ , ජාතික ආරක්ෂාව සහතික කරන අතර තුර මිහිමත යන එන මං නැතුව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව උපන් බිමට එන්න ආරක්ෂාව සැලසීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ උරමතට පැමිණෙමිනි.

ලංකා ඉතිහාසයේ මුහුණදීමට සිදුව ඇති දරුණුතම ආර්ථික අර්බුදයෙන් ලංකාවේ ජනතාව බේරාගැනීමේ වගකීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උරමතට පැමිණෙමිනි.

රනිල්ට බෑ කියූ දෙවැනි ප්‍රොපගැන්ඩාවේ ඊට වඩා දෙයක් ඇත්නම්, ඒ ලංකා ඉතිහාසයේ අසාර්ථකම විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉතිහාසයට එක්වීමය.

🎯 ඉතිහාසයේ සාක්ෂිය : ශක්තිමත් බැස්ටීල බින්ද විපක්ෂ නායක රනිල් !

රනිල්ට බෑ යන ප්‍රොපගැන්ඩාව කුඩු කරන්න ලංකා ඉතිහාසයේ දුර්වලම විපක්ෂ නායක ලෙස සජිත් ඉතිහාසයට එක්වීමත් හොඳටම ප්‍රමාණවත් ය.

ඔබට මතක නම් මෑත ඉතිහාසයේ ආර්ථිකය සෘන වූ චන්ද්‍රිකා පාලන සමයේ විපක්ෂ නායක රනිල් ය. ආර්ථිකය සෘන වූ අවස්ථාවේ දේශපාලන බලය ගන්න රනිල් වික්‍රමසිංහ සමත් වූවා පමණක් නොව , සෘන වූ ආර්ථිකය ධන කරන්නත් ඔහු ආණ්ඩුව මෙහෙයවීය.

තවත් උදාහරණයක් නම් තිස් අවුරුදු යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළීමය. 2009 යුද්ධය අවසන් වූ අවස්ථාවේ දේශපාලන විචාරකයන් බහුතරයක් හිතුවේ තවත් අවුරුදු 25 කට ලංකාවේ පාලනය රාජපක්ෂවරුන් ගෙන් ගැලවීම සුම්මා කියාය. එහෙත් දේශපාලන විචාරකයන් කඳ හරහා වට්ටමින් 2010 ජනාධිපතිවරණය වන විට රට තුළ රාජපක්ෂවරුන් තිත්ත වෙන තැනට දේශපාලනය හසුරවන්න සමත්වූ කප්පිත්තා රනිල් වික්‍රමසිංහ විය.

ඓතිහාසික දේශපාලන වරදක් ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නොගෙනෙන්න එදා රත්වුණ තැටියේ රොටිය කරකර ගන්න අවස්ථාවක් තිබුනා යන්න , ශක්තිමත් තර්කයකි.

ඊළඟ අවස්ථාව 2015 ජනාධිපතිවරණය අවස්ථාවය. ඊළඟ ජනාධිපතිවරණය අවස්ථාවේ බලය ගන්න සූදානම් වෙන්න කියා එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ කිව්වේය. 2014 සටන් පාඨය " පුළුවන් " යනුවෙන් ගන්නා ලෙස උපදෙස් දුන්නේ ය. විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් බිම් කොටා ආණ්ඩුව ගන්න බිම සකස් කළ නමුත් , දෛවයේ සරදමක් ලෙස ජනාධිපති අපේක්ෂකයා වූයේ , සිවිල් සමාජ ප්‍රමුඛ බලවේග උස්සගෙන ආ මෛත්‍රීපාල සිරිසේන ය.

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ගේ බිම් කෙටීම සාර්ථක වූ නිසා මෛත්‍රීපාල සිරිසේන උඩින්ම ජනාධිපතිවරණය ජය ගත්තේ ය.

දින 52 ආණ්ඩු කුමන්ත්‍රණය පවා ජයග්‍රහණය කරන්න තරම් රනිල් වික්‍රමසිංහ කෙරුමෙක් වූයේ , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ හුරතල් දේශපාලන පුත්‍රයා ලෙස ප්‍රසිද්ධ වූ පසුබිමක බවත් මෙහිදී සිහිපත් කළ යුතුය.

අවසානයේදී සිරිසේන ජනාධිපති ගේ කෙරුවාව අවසන් වුනේ, දෛනික සරදම් කළේ රනිල්ට පමණක් නොව මුළු රටටම බව තහවුරු කරමින්ය .

🎯 ලංකා ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති සහ අසාර්ථකම විපක්ෂ නායක සහ රනිල්ගේ දේශපාලන ක්‍රීඩාව !

ලංකා ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපති සහ අසාර්ථකම විපක්ෂ නායක බිහිවූයේ ඒ අනුවය.

එජාප නියෝජ්‍ය නායක වූ සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන ද්‍රෝහීකම් තීරණාත්මක වංගුවක් ගෙන එක්සත් ජාතික පක්ෂය අතුගා දැමීය. ඒ 2020 මහ මැතිවරණය අවස්ථාවේ ය.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉතුරු වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණය. බහුතරයක් හිතුවේ රනිල් ප්‍රමුඛ එජාපය " ගමනක අවසන " සටහන් වූ බවය.

එහෙත් බාධා රැසක් මැද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගෙන පාර්ලිමේන්තු පැමිණි රනිල් වික්‍රමසිංහ , දේශපාලන සෙල්ලම යළිත් ඇරඹීය.

ගෝලීය වසංගතයක් වූ කොරෝනා අවස්ථාවේ වෛද්‍යවරුන් පවා කළ යුත්තේ කුමක්ද යන්න සොයන විට, ජනාධිපති ගෝඨාභය කැඳවූ, සර්ව පාක්ෂික සමුළුව ඇමතූ රනිල් කිව්වේ, " වැක්සීන් එකක් එනතුරු මුව වැසුම් සහ අත්වැසුම් භාවිතා කරමු" කියාය.

ඒ කොරෝනා වෙනුවෙන් වූ ප්‍රතිකාර‍යක් නොව රෝගය වලක්වා ගැනීමට උපක්‍රමයක් විය. සෞඛ්‍ය ඇමතිනියගේ සිට බොහෝ දේශපාලන කුහකයන් එය හාස්‍යට ලක්කළ බව අපට මතකය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නිකුත්වීම සමග රනිල් වික්‍රමසිංහ නිවැරදි බව තහවුරු වුනේය.

අනතුරුව මෙරට ආණ්ඩුව කොරෝනා වසංගතයට එරෙහිව තෙල්, පැණි, දුම් වට්ටි, මැතුරූ කළ පස්සේ යමින් පිස්සු නටන විට, රනිල් කිව්වේ, ඉක්මනින් වැක්සීන ඇනවුම් කරන්න කියාය. රනිල් වික්‍රමසිංහට ඉස්සර කරන්න ගිය සජිත් කිව්වේ, ජාතියටම ප්ලැකනිල් ගස්සන්න කියාය.

අවසානයේ කොරෝනා මේ තරමට හෝ පාලනය කරගැනුනේ, රනිල් වික්‍රමසිංහ මුලින්ම කියූ වැක්සීන නිසා මිස, සජිත්ගේ ප්ලැකනිල් නිසා නොවේය.

🎯 ආසයි බයයි සජිත් සහ " මම කරලා පෙන්නන්නම්" රනිල් !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සෑම ක්ශේත්‍රයකම එකසේ අසමත් විය. ඊනියා බදු සහන හමුවේ රනිල් වික්‍රමසිංහ තනියම ඊට විරෝධය දැක්වීය. බොරු ජාතික පුරාජේරු වෙනුවට පණ අදින ආර්ථිකය ශක්තිමත් කරන්න IMF යන ලෙස පැවසීය . රසායනික පොහොර සහ යෙදවුම් තහනම රටේ සාගතයක් ඇති කරනු ඇතැයි කීවේය. ඩොලරය කෘතිම ලෙස පාලනය කිරීම විදෙස් සංචිත අර්බුදයකින් කෙලවර වනු ඇතැයි කිව්වේය.

මේ ආකාරයට ගෝඨාභය පාලනයේ වැරදි අඩුපාඩු ප්‍රසිද්ධියේ විවේචනය කරන්න පමණක් නොව , ඉදිරියේ ඇති අවධානමත්, කළ යුත්තේ කුමක්ද යන්නත් ප්‍රසිද්ධියේ කිව්වේ රනිල් වික්‍රමසිංහ ය. ඊට සජිත්ගේ ප්‍රතිචාරය වූයේ , ගෝඨාභය ආණ්ඩුව රනිල්ව ප්‍රමෝට් කරනවා කීම පමණය. ඒ නිසා අර්බුදය ආරම්භයේ කැඳවූ සර්ව පාක්ෂික සමුළු වර්ජනය කිරීමය.

🎯 නිශ්චිත මොහොතේ නිවැරදි ඉලක්කය ගැනීම !

අවසානයේ, ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය පැමිණියේය.
ගෝඨාභය පාලනයට එරෙහිව කොන්දේසි විරහිතව නිර්පාක්ෂික සාමකාමී අරගලයක් දියත් විය. ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම පංතිය එහි කේන්ද්‍රය බවට පත්විය.

ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඉදිරියේ, අරගලය පාලනය කරගත නොහැකි වූ ජනාධිපති ගෝඨාභය , පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්කරවීය.

ඊළඟට ආණ්ඩුවක් හදන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා කළේය. එහෙත් බල දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව, සාමාන්‍ය දැනුමත් අහිමි, පාලම ඇති විටත් ඒදණ්ඩේ යන සජිත් විවිධ කොන්දේසි දමා ඒ අභියෝගය ප්‍රතිකේෂ්ප කළේය. සරත් ෆොන්සේකා ගේ සිට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි පාර්ශ්ව නම් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අලුත් ආණ්ඩුවක් සඳහා කැඳවීම් කළත්, අර්බුදය විසඳීමට තියා සමනය කරන්න, ඒ වෙනුවෙන් අභියෝගය බාරගන්න , ධෛර්යයක් ඇති නායකයෙක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් නැතිව අරාජිකත්වය වෙත යමින් තිබූ, ලංකාවේ සුක්කානම රනිල් වික්‍රමසිංහ බාරගන්නේ ඒ පසුබිමේ ය.

🎯 රනිල් දොස්තර වෙයි !

පාලනය බාරගත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ක්‍රමයට වැඩේ කරන්න ගත්තේ ය. ජනාධිපති ගෝඨාභය රටින් පළාගිය විට, ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය ලබාගන්නට කටයුතු කළේය.

විපක්ෂ නායක සජිත් හිටියේ , අවම වශයෙන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වෙන්න තරම් හෝ ධෛර්යය අහිමි කරගෙන ය. ජනාධිපති ධූරය තෝරණ ජන්දය සඳහා ඩලස් යෝජනා කර පැත්තකට වුනේ ඒ නිසාය.

පාර්ලිමේන්තුවේ ජන්දය හරහා ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ සුක්කානම අතට ගත්තේ ය. ලංකාව නම් ICU රෝගියා ට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රසිද්ධියේ කිව්වේය. ඒ වෙනුවෙන් සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් සියලු දෙනාට ආමන්ත්‍රණය කළේය.

ඒ වන විට අයාලේ යමින් ප්‍රචණ්ඩත්වය වෙත යොමුවූ අරගලයට පවා රට ගොඩනගන්න ආරාධනා කළේය. එදා LTTE සංවිධානය කැබලි වූ ආකාරයට අරගලය කැබලි වුනේ ඒ අනුවය.

ඉන්ධන , ගෑස්, පොහොර අඛණ්ඩව සැපයීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගත් අතර , ඒ තුළ මධ්‍යම පංතිය ඔහු සම්බන්ධයෙන් නිල නොලත් විශ්වාසයක් තැබීය. ප්‍රකාශිතව මෙන්ම අප්‍රකාශිත ලෙසත්, "රනිල් සමහර විට කරයි- දීලා බලමු " ය සිතුවිල්ල බලයක් බවට පත්විය.

ආම්පන්න වෙත බනිමින් ඉන්න දුර්වල දේශපාලන කාර්මිකයා වෙනුවට ජනතාව වෙත විශ්වාසය කාන්දු කරන නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති භූමිකාව පෙරට ගත්තේ ය.

රනිල් ගෙදර යවන්න සූදානම් කළ අගෝස්තු 09 අරගලය , රනිල් වික්‍රමසිංහ ගෙදර යවනු වෙනුවට අරගලය ගෙදර යැවුණේ ඒ අනුවය.

මාසයක් ඉක්මයන තැන ඉන්ධන පෝලිම් අවසන් විය. ගොවියාගේ පොහොර ප්‍රශ්නයට පිළිගත හැකි වැඩපිළිවෙළක් සකස් කෙරිණ . ගෑස් පෝලිම් අවස්ථාවේ කළා පමණක් නොව , මිලත් අඩු කළේය. ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට , සාගත තත්ත්වයක් ඇති නොවීමට පියවර ගැනිණ .

පාසල් අධ්‍යාපනය , රාජ්‍ය - පෞද්ගලික අංශය සුපුරුදු ලෙස සක්‍රීය කිරීමට පියවර ගත්තේ ය. මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය මෙන්ම වෙළෙඳ පොළ හිඟය පියවීමට ක්‍රියාමාර්ග ගනිමින් ඇත. විදුලි කප්පාදුව පැය 12 සිට දිනකට පැය 2-3ක් දක්වා සීමා කර ඇත .

විදෙස් විනිමය අර්බුදය විසඳීමට IMF සමග සාකච්ඡා සාර්ථක කරගෙන ඉදිරියට යමින් ඇත . ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට සූදානම් කර ඇත .

ජනාධිපති ලෙස පත්ව, පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේ වික්‍රමසිංහ ජනාධිපති ලෙස,, අර්බුදය ජයග්‍රහණය කරවීමට මාර්ග සිතියම ඉදිරිපත් කර ඇත . සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික ඔස්තාර්ලා පවා ප්‍රසිද්ධියේ කියන්නේ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ තමන්ද අනුමත කරන බවය. ඔවුන් කවුරුත් සජිත්ගේ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කියන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය ලබා මාසයක් ගතවී ඇත. දැන් අහන ප්‍රශ්නය රනිල්ට පුළුවන් ද යන්නය. ඊට පෙරළා නැගිය යුතු ප්‍රශ්නයක් ඇත. ඒ "රනිල්ට බැරි නම් පුළුවන් කාටද ?" යන්නය.

RRU වෙනුවෙන් :

එස්. එල්. ශ්‍යාම්

බැසිල් ජනාධිපතිගෙන් ඇමතිකම් ගොඩක් ඉල්ලයි !

තනි තනිව ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකරන ලෙස පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත යුතුව ඇත්තේ, පක්ෂයක් ලෙස සාමුහිඛව බවත් ඔහු පවසා ඇත.

බැසිල් රාජපක්ෂ මේ බව පවසා ඇත්තේ එළඹෙන සතියේ සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් වන අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතව ඇති පසුබිමේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාව මුණගැසී අමාත්‍ය ධූර ඉල්ලමින් සිටින බවට ලැබුණු ආරංචියකට අනුව බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මේ හමුව පසුගියදා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති අතර එහිදී සඳහන්ව ඇත්තේ අලුත් කැබිනට් මණ්ඩලයේ ඇමැති ධුර ලබා දිය යුතු මන්ත්‍රිවරු දහසයකගේ නාම ලේඛනයක් බැසිල් රාජපක්ෂ විසින් සකස්කර ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

කෙසේ වුවත් එම ලේඛනයේ නම් සඳහන් නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා නොදෙන ලෙස විපක්ෂයෙන් එක් වීමට නියමිත මන්ත්‍රිවරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි. එසේම පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රී පිරිසක්ද මෙම පිරිසට අමාත්‍ය ධුර නොදෙන ලෙසත්, පසුගිය සමයේ අපකීර්තියට පත්වූ මේ පිරිස් වලට අමාත්‍ය ධුර ලබාදුනහොත් ජනතාව තුළ නව ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් නැතිවනු ඇති බවත් ඔවුන් දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් මෙවර ගැසට් නොකිරීමේ යෝජනාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂය පථයන් වෙන වෙනම ගැසට් කර තිබුණි.

සජිත්ගේ සහෝදරී සහ හිරුණිකා CID කැඳවලා !

ජනපති රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පස්වන පටුමග පිහිටි පෞද්ගලික නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස සහ හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි .

ඒ අදාළ නිවස ගිනි තැබීම සිදුවීමට පෙර නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම සහ එම ස්ථානයට පිරිස් කැදවීම සම්බන්ධයෙන් බවත් වාර්තා වෙයි .

අද (20) මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වෙයි .

 

ගෝඨාගමනයේ මාසේ මාරුවෙයි : මිරිහාන ගේ වටේ ආරක්ෂාව දැඩි කෙරේ !

බරපතළ ජනතා විරෝධය මැද රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මස අවසානයේ මෙරටට යළිත් පැමිණෙන බව සඳහන් වුවත් එය සැප්තැම්බර් මාසය දක්වා කල්ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ සැප්තැම්බර් දෙවැනි සතියේ පමණ හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (19) පැවති දුරකථන සංවාදයකින් පසු මෙම තීරණය ගෙන ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ වුවත් රාජපක්ෂ ඥාති පුත්‍රයකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසා සිටියේ අගෝස්තු 24 ගෝඨාභය රාජපක්ෂ යළිත් මෙරටට පැමිණෙන බවය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ සමීප පාර්ශව සඳහන්කර සිටියේ අගෝස්තු අවසානයේ ඔහු මෙරටට පැමිණීමේ අපේක්ෂාවක් ඇති නමුත් මෙතෙක් දිනයක් තීන්දුකර නොමැති බවය. එතෙක් ඔහු තායිලන්ත රජයේ විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින බවත් ඔවුන් පැවසීය.

කෙසේ වුවත් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව අවස්ථාවේ ද ප්‍රධාන කරුණු 2 අතර පළමු කරුණ වී ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යලිත් මෙරටට පැමිණීමට අවස්ථාව සැළසීම සහ ඊට අදාළ ආරක්ෂාව තහවුරු කිරීමය.

මිරිහාන නිවසේ ආරක්ෂාව දැඩි කෙරේ !

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස්දී ඇත.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස අවට ප්‍රදේශය ගැන විශේෂ සෝදිසියකින් පසුවන ලෙස ද වැඩිදුරටත් දැනුම්දී ඇත.

එම ප්‍රදේශයේ ඊයේ (19) පැවැති පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මෙසේ උපදෙස්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

තවත් සහතිකයක් ඉල්ලමින් : IMF නියෝජිතයන් ලංකාවට !

තම නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරයේදී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති බව වාර්තා වෙයි.

ඊට අනුව මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුවගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බව දැනුම්දී තිබේ.

දරුණු අර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

එසේම මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් එළඹෙන අගෝස්තු 24 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර එය තීරණාත්මක සාකච්ඡාවටයක් බවත් දැනගන්නට ඇත.

බැසිල්ගේ ඇමති ලැයිස්තුවට පොහොට්ටුව ඇතුලෙන්ම විරෝධයක් !

පොහොට්ටුව විසින් නව ඇමති ධූර සඳහා නම් කර එවූ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත සහ රෝහිත අබේගුණවර්ධනට ඇමති ධූර ලබා දීම ගැන , ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම විරෝධයක් මතුවෙලා.

මෙම විරෝධය දැඩිව මතු වී තියෙන්නේ පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයෙන්ම වීම විශේෂ කරුණක්.

මෙම ඇමති ධූර ලබා දීමට විරෝධය දක්වන පිරිස් කියන්නේ, ජනතා කෝපයට ලක් වී ඇති මෙම පුද්ගල චරිත, සන්තර්පනය සඳහා ලබා දෙන මෙම ඇමති ධූර, යළිත් ජනතා කෝපය අවුලුවා ව්‍යසනයක් ඇති කළ හැකියි කියලා .

පොහොට්ටුව තුළින් මතුව එන මෙම විරෝධය සමනය කර ගැනීමට, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රබලයින් කටයුතු කරමින් සිටින බවත් , වාර්තා වෙනවා.

ඒ වගේම පොහොට්ටු මැති ඇමතිවරුන් ජනාධිපතිටත් කිව්වලු, "අපේ පාටියෙන් එවලා තියෙන ලැයිස්තුව තරහට එවපු එකක් වගේ සර් නේද ?" කියලා .

දේශපාලන වාර්තාකරු

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් !

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

ඒ අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු සුදු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

පසුගිය සාමය පුරා බිත්තර මිල අඛණ්ඩව ඉහළයාම සම්බන්ධයෙන් පාරිභෝගික ප්‍රජාව වෙතින් දැඩි මැසිවිල්ලක් නැගිණ. එසේම මිල ඉහළ යාම සමඟ පරිභෝජනය අඩුවීම හමුවේ දරුවන්ගේ ප්‍රෝටීන් ඌණතාවක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවීම් අසන්නට ලැබිණ. ඒ අඩුම මිලකට ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගන්නට හැකියාව තිබුණේ බිත්තර අනුභාවයෙන් වූ නිසාය.

 

තෙල් බැරලයකින් ඩොලර් 36ක මහා වංචාවක් !

මෙරටට ඉන්ධන ගෙන්වීමේදී ප්‍රිමියම් හරහා 2022 වර්ෂයේ මේ වනතෙක් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන හයක ගසා කෑමක් සිදුකර ඇති බවට හෙළිදරව්වක් සිදුකරමින් තෙල් බැරලයකින් සිදුවන ඩොලර් 20ක වංචාවට කාංචන විජේසේකර සම්බන්ධ නැත්නම් විගණකාධිපතිවරයා ලවා පාරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවදාරණය කරයි.

මන්ත්‍රීවරයා ඊයේ (19) 'ජනතාව අපා දුක් විඳිද්දී, දේශපාලන මිනී කාක්කන් සිදු කළ, මහා හොරකම පිළිබඳ විශේෂ හෙළිදරව්ව, මැයෙන් සිදුකරනු ලැබූ මාධ්‍ය සාකච්ජාවට සම්බන්ධ වෙමින් මෙම හෙළිදරව්ව සිදුකරන ලදී.

එහිදී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද පැවසීය .

"ඊයේ අපට මාධ්‍ය වලින් වාර්තා වුණා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මේ පිළිබඳව රහස් පොලීසියට පැමිණිලි කරලා තියෙනවයි කියලා මේ පිළිබඳ. ඒ වගේම මේවා ප්‍රකාශයට පත් කරපු පුද්ගලයින් පිළිබඳව සොයා බලා කටයුතු කරනවා කියලා.

ඒක විවෘත ක්‍රියාදාමයක්ද? අර නැනෝ යූරියා වංචාව අවස්ථාවේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළේ මොකක්ද? තමන්ගේ නිලධාරීන් හෝ තමන් ගැන කතා කරන්නේ නැතුව මේ සම්බන්ධයෙන් මම කරපු ප්‍රකාශයෙන් රජයට එරෙහිව මහජනයා උසිගැන්වීමේ චෝදනාව මත මට පරීක්ෂණයක් කරන්න කියලා රහස් පොලීසියෙන් ඉල්ලීමක් කරලා රහස් පොලිසිය ගිහිල්ලා උසාවි අවසරයකුත් ගත්තා. දැන් ඒ පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. කවුරුත් දන්නවා මේ නැනෝ යූරියා හරහා කරපු වංචාව. ඒ නිසා මේ කාංචන විජේසේකර මැතිතුමාගේ මේ මගින් සිද්ධ කරන්න යන්නේ මේවා වාර්තා කළ පුද්ගලයින් රහස් පොලිසියට ගෙන්නලා බියවැද්දීමද?

පළමුවෙන්ම කියන්න රහස් පොලීසිය කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වුණේ රටේ යුක්තිය පසිඳලන ස්ථානයක් හැටියට නෙවෙයි. දැන් ඒක දිගටම මේ නව පොලිස් ඇමතිවරයාත්, මේ ආණ්ඩුවත් යටතේ ක්‍රියාත්මක වෙන බව විටින් විට එහි රැගෙන යන පුද්ගලයින්ගෙන් පේනවා. ඒ නිසා පළවෙනි කාරණය මේ මගින් යුක්තිසහගත පරීක්ෂණයක්, විමර්ශනයක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න බැහැ. දෙවෙනි කාරණය මෙවැනි තාක්ෂණික කටයුත්තක් පිළිබඳ දැනුමක් රහස් පොලිසියට ඇත්තේ නැහැ. ඒ නිසා ඒ වගේම විදුලි හා බලශක්ති ඇමතිතුමාට අපි ප්‍රකාශ කරනවා ඔබලා මේවට සම්බන්ධ නැත්නම් මේ රටේ විගණකාධිපති කෙනෙක් ඉන්නවා ඔහුට මේ පිළිබඳ විශේෂඥ දැනුම ලබා දීලා ඒ පිළිබඳව තියෙන විශේෂඥභාවය තියෙන පිරිස් ලබාදීලා අවශ්‍ය පුද්ගලයෝ කවුද කියලා විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්න. ඒ අනුව මේ පිළිබඳ යුක්ති සහගත විසඳුමක් ලබා ගන්න පොලිස් ඇමති මේ සඳහා විගණකාධිපතිවරයාට විශේෂඥ සහාය ලබා දීලා කටයුතු කරන හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල, බලශක්ති ඇමතිතුමාටත් අපි ඉල්ලා හිටිනවා.

අපේ තර්කයට පදනම වුණේ මොකක්ද? මොකක්ද මේ ප්‍රිමියම් එක කියන්නේ? ප්‍රිමියම් එක කියන්නේ ප්‍රවාහන ගාස්තු, ඒ කියන්නේ ප්‍රේට් චාර්ජ් එක, රක්ෂණ ගාස්තු එක. ඒ වගේම ප්‍රධාන සැපයුම්කරුගේ ලාභය ඒ වගේම දේශීය ඒජන්තයාගේ ලාභය. මේ කියන සියලු දෙනාගේම එකතුව තමයි මූලික වියදමට අමතර වශයෙන් බැරලයකට ප්‍රිමියම් එක කියලා කියන්නේ. ඒ අනුව විටාල් සිංගප්පූර් ආයතනය විසින් දෙදාස් විසි දෙකේ දෙවෙනි මාසේ දහඅට, දහනමය දිනවල ගෙන එන ලද ගැසොලින් අනූ දෙක, ඒ කියන්නේ පෙට්‍රල් අනූ දෙක අනූපහ සඳහා බැරලයකට ප්‍රිමියම් ඩොලර් තුනයි දශම අටයි හතක් අය කරලා තියෙනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ දහ අට, දහනමය ගෙනාපු ඒවාට. ඒ මොකද මේවා අපි දෙදාස් පහළව වගේ කාලේ මේවා ඩොලර් එකයි දශම පහක් වගේ තිබුනේ. නමුත් අපි වර්තමාන කාලයේ අපි දන්නවා මේ විශේෂයෙන්ම රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු වැඩි වුණා. ඒ අනුව මේක යම්කිසි සාධාරණ ගාණක්. ඒ වගේම ඩීසල් ගෙන්නලා තියෙනවා දෙදාස් විසි දෙකේ දෙවැනි මාසේ විසි හත, තුනයි දශම හතරක් හා හතරයි දශම එකක් බැරලයකට, අඩු සල්පර් වැඩි සල්පර්ප ගෙනල්ලා තියෙනවා. ඒ අනුව ඔය කියන පර්යේෂණ නිලධාරීන්ට ඒවා බලන්න පුළුවන්.

දැන් මෙහෙම ගිහිල්ලා, මාර්තු, අප්‍රේල්, මේ යනාදී වශයෙන් ගිහිල්ලා දැන් හත්වෙනි මාසේ එනකොට මොකක්ද එතකොට තත්වේ? මේ කොරල් එනර්ජි සමාගම ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් ඒ කියන්නේ. ඩීසල්, හත්වෙනි මාසේ දාහතර, පහළව තොගයක් කීයද? බැරලයට ප්‍රිමියම් එක ඩොලර් විසිපහයි. කලින් ඩොලර් තුනට, හතරට තිබිච්ච ඒවා ඩොලර් විසිපහයි. ඒ වගේම අයි ඕ සී ඉන්දියා ගෙනල්ලා තියෙනවා ගෑස් ඔයිල් එක ඩොලර් විසි එකයි දශම හයයි හයට. ඒ දෙදාස් විසිදෙකේ දාසය, දාහත. ඒ වගේම අර කලින් ගෙනාපු එක ගෙන්නලා තියෙනවා ගැසලීන් අනූප ඒ කියන්නේ පෙට්‍රල් අනුපහ ඒකේ ප්‍රිමියම් එක ඩොලර් විසි එකයි සත හතලිස් පහයි. දෙදාස් විසි දෙකේ හත්වන මාසේ දහඅට, දහනමය ගෙන්නලා තියෙනවා ගෑස් ඔයිල් එකක්, ඒ කියන්නේ ඩීසල්, ඩොලර් විසිනමයයි දශම අටයි පහකට. මේ මෑතදී ගෙනාපු, ඒ කියන්නේ ගෑස් ඔයිල් හයිසල්ෆර්. කොරල් ආයතනය, පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට කීයද දාලා තියෙන්නේ? බැරලය එක්සත් ජනපද ඩොලර් එකසිය හතළිස් හතරයි දශම අටයි, නවයයි දෙකයි. ඒ වගේම ප්‍රිමියම් එක, ඩොලර් විසි හතරයි. එක්කහු කලහම එකසිය හැට අටයි දශම අටයි, නමයයි දෙකයි.

එතකොට මේ සම්බන්ධයෙන් මම අද ගත්තා මේ සිංගප්පූර් ප්ලැට්ස් ප්‍රයිස්. සල්ෆර් ඩීසල්. හයි සල්ෆර්, ඩීසල් කීයද? ඩොලර් එකසිය විසි නමයයි. හැබැයි මෙතන කෝට් කරලා තියෙන්නේ කීයද? ඩොලර් එකසීය හතළිස් පහකට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම ප්‍රිම්යම් එක, ඩොලර් විසි හතරයි. මේකෙන් පේන්නේ මොකක්ද? මෙතන බැරල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා.ප්‍රිමියම් එකෙන් පමණක් ඩොලර් විස්සක් පමණ වැඩියි ඩොලර් මිලියන හයක් පමණ අතිරේක ලාභයක් ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ ඩොලර් එකසිය හතලිස් පහට කරපු නිසා එතනිනුත් සෑම බැරලයකටම ඩොලර් දාසයක පමණ මුදලක් ලැබෙනවා.

ඒ වගේම මේ තත්වයට මේ රට පත්වෙන්න ප්‍රධාන වෙච්ච ආයතනයක් තමයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. මේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ කෝප් සභාවට ආපු වෙලාවේ අපි ඇහුවා ඇයි ඕගොල්ලෝ මේ ඩොලර් බිල් ගෙවන්නේ නැත්තේ කියලා. ඩොලර් බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන හතරකට අධික ප්‍රමාණයක් ලංකා බැංකුවට, මහජන බැංකුවට හිර කරලා, පහයි දශම පහ ගානේ පොළී ගෙවන්නේ ඇයි කියන එක. කවුද මේකට වගකිව යුත්තේ කියන එක. අන්න ඒකත් හොයන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා.

දෙදාස් විසි එක, විසි දෙක වසර වල බිල් ගෙවන්නේ නැතුව, ඩොලර් බිලියන තරක පමණ ණයක් කැටි ගහලා ඒ ණය ලංකා බැංකුවට, මහජන බැංකුවට ලබා දීලා ඒ ආකාරයෙන් රටට ඩොලර් හිඟයක් ඇති වෙන විදියට ප්‍රධාන බැංකු දෙක බංකොලොත් වෙන තත්වයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තල්ලු කළේ කවුද කියන එක පිළිබඳව හොයන්න. මොකද රට බංකොලොත් භාවයට ඇද වැටෙන්න ප්‍රධානම හේතුවක් මේ විදිහට මේ බැංකු ක්ෂේස්ත්‍රය අඩපණ වීමට මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිල් නොගෙවා ඩොලර් අති විශාල ප්‍රමාණයක්, බිලියන හතරක පමණ ප්‍රමාණයක් හිර කර ගැනීම.

ඒ වගේම අපි කියනවා තව පරීක්ෂණයක් කරන්න. පහයි දශම පහක් පොලිය වැඩියි කියලා. සීයට තුනේ පොළියට ගේන්න පුළුවන් කියලා කැබිනට් පත්‍රිකාවක් දාලා ග්ලෝබල් කොන්සෙප්ට් කියලා ආයතනයකට ඩොලර් බිලියන දෙකයි දශම හයක් ගේන්න යෝජනාවක් ගෙනාවා. ඒකේ තිබුණා එකක්. ඩොලර් මිලියන එකසිය හැත්තෑ පහක එකක්. සීයට හතක එකක්. මේ එක කාටද ගියේ කියලත් හොයන්න. අන්න එතකොට මේවයේ අගමුල ඔක්කොම මහජනයාට දැනගන්න පුලුවන් වෙයි. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් විගණකාධිපතිවරයා හරහා කරන්න. ග්ලෝබල් කොන්සෙප් කියන එක බැලුවහම අන්තිමට රාජගිරිය පැත්තේ පුංචි තැනක් කියලා පාර්ලිමේන්තුවේ හෙළිදරව් වුණා. ඒ නිසා ඒ ඩීල් එක කරගන්න බැරි වුණා. හැබැයි ඒ ඩීල් එක වුණා. මේ ඇමතිවරයාගේ කාලයේ නෙවෙයි, ඊට කලින් වුණා. ඒ ගැන හොයලා බලන්න කියලත් අපි බලශක්ති ඇමතිවරයාට කියනවා.

අපි කාටවත් මඩ ගහන්න යන එකක් නෙවෙයි. මේ තරුණ ඇමතිවරයා අමාරුවේ දාලා රාජ පුත්තුන්ට පාර කපන්න යන ගමනක් නෙවෙයි. ඒ වගේම මේ ආණ්ඩුව අමාරුවේ දාන්න යන ගමනක් නෙවෙයි. සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් හතළිහක්, පනහක් මේ විදිහට ගසා කනවා නම් ඒක ඉතාම වැරදියි. ඒ නිසා මේවට හේතු මොනවද? මේවා මොන ආකාරයටද සිදු වෙන්නේ කියන එක පිළිබඳව විධිමත් ආකාරයේ පර්යේෂණයක් ඔය රහස් පොලිසිය හරහා උසාවි වලට මිනිස්සු දක්වලා, බය වද්දලා නෙවෙයි. කෙළින්ම විගණකාධිපතිවරයා හරහා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. විගණකාධිපති විශේෂඥ සහය අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් මේ තෙල් ක්ෂ්ස්ත්‍රය පිළිබඳ දැනුම ඇති විශේෂඥයින්ගේ සහය ලබා ගන්න. ඒ සඳහා උදව් කරන්නත් අපි ලෑස්ති බව ප්‍රකාශ කරනවා."

Q&A: ඔබතුමා ඇතුළු කණ්ඩායමට දැන් බරපතළ චෝදනාවක් තියෙනවා. ඔබතුමන්ලා මේ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්, අඩුම ගානේ පැමිණිල්ලක් දාන්නේ නෑ. මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා ඊට පස්සේ මොකක් හරි එකක් දාලා කට වහගන්නවා කියන අදහස. ඇයි එහෙම කරන්නේ? ඔබතුමන්ලා වගකීම හෙළි කරනවා වගේම ගිහිල්ලා කරන්න හැකියාවක් නැද්ද?

"කවුරුත් මාධ්‍ය වල දැක්කා අපි පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. කෝප් එකට මාව පත් කළොත් මම මේවා නගනවා. ඒ වගේම මේ පැමිණිලි මේ රටේ කරලා තියෙනවා. උදාහරණයක් හැටියට මේ ගල් අඟුරු වංචාව ගැන, අල්ලස් දූෂණ එකට පැමිණිල්ලක් තිබුණා. මාවත් ගෙනාවා සාක්කියට. ගෙනල්ලා මොකද කිව්වේ? මේක නම් කෙරෙන වැඩක් නෙවෙයි කියලා එතන ඉන්න නිලධාරියා මට කිව්වා. මම කියනවා. අල්ලස් දූෂණ කොමිසමට මගේ ප්‍රකාශය දෙදාස් දාසයේ සිදුවෙච්ච සිදුවීම ගැන හෙළිදරව් කරන්න කියලා. ඒ වගේම මේ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා මම මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට කිව්වා. එතුමා මේ ගැන පත් කළා. උපාලි අබේරත්න මහතාගේ මූලිකත්වයෙන්. මම සාක්කියක් දුන්නා. මතක තියාගන්න ඒ ගල් අඟුරු සිද්ධිය සම්බන්ධ වාර්තාව විතරක් ඔහු නිකුත් කළේ නැහැ. අනික් ඒවා සම්බන්ධයෙන් නිකුත් කළා.

ඉතින් ඒ නිසා මෙය පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද? මේ පැමිණිලි විභාග වෙන්නේ නැත්තේ කාගේ ප්‍රශ්නය මතද? පැමිණිලි කරලා තියෙනවා. කිසි තේරුමක් වෙලා නැහැ. ඒ පැමිණිලිවලට කිසිම වැඩක් වෙලා නැහැ. ඒ ආයතන සියල්ලම බලවතුන්ගේ අත යට තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. මම කියනවා අල්ලස් දූෂණ කොමිසමට ඒ දෙදහස් දොළහේ සිදුවෙච්ච වංචාව පිළිබඳව පැහැදිලි වාර්තාවක් විගණකාධිපතිවරයා නිකුත් කරලා තියෙනවා ලංකා ෆෝල් සමාගම එක්ක. මහින්ද රාජපක්ෂට බය නැතුව ඒ බිල් ගෙවන්න බැහැයි කියලා තමයි අපි එළියට බැස්සේ. ඒ බිල් අපි නෑ කියලා තමයි අපි එළියට බැස්සේ. අපට එරෙහිව ඒ කාලේ ඒගොල්ලන්ගේ පුත්තු පවත්වාගෙන ගිය පත්තර වලින්, පුවත්පතෙන් එහෙම ගැහුවා. නොයෙක් දේවල් සිද්ධ වුණා. ඒ එකකින්වත් අපි සැලුනේ නැහැ. අපි ඒ පිළිබඳ මහජනයාට ඇත්ත කතා කරලා ගියා. ඒවාට යුක්තිය ඉෂ්ඨ කරගන්න ගියා. නමුත් යුක්තිය ඉෂ්ට වුණේ නැහැ. නමුත් කවුරුත් මේ රටේ අය දන්නවා. මේ රටේ රාජ්‍ය දේපළ කොහොමද අපහරණය කළේ? කොහොමද මේ අය ජීවත් වෙන්නේ කියන එක කිසිම ආදායමක් නැතුව, කිසිම ආකාරයක රැකියාවක් නොකර, කොහොමද මේගොල්ලෝ ජීවත් කියන එක මේ මුළු රටම දන්නවා. හැබැයි මම කියනවා මේ දෙදාස් දොළහේ සිද්ධියට සම්බන්ධ සමාගම වන ටෝරියන් ආයතනයේම හිටපු පුද්ගලයෝම තමයි වෙනත් නමකින් සුප්‍රිම් සැට් නමින් දැන් ඇවිත් තියෙන්නේ. අර චන්ද්‍රිකාව ගුවනට යවන පට්ටපල් වංචාව. ඒක නිසා ඒ පිළිබඳව තියෙන විගණකාධිපතිගේ වාර්තාවට පිළිතුරු දීම ගල් අගුරු සමාගමත්, බලශක් අමාත්‍යංශයෙත් වගකීමක්."

ජාතික ලැයිස්තුවෙන් ගෝඨාභය පාර්ලිමේන්තුවට !

ධූරය අත්හැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව හරහා යළිත් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙම  මාසය අග භාගයේ හිටපු ජනාධිපතිවරයා යළිත් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර එහිදී ඔහුගේ ආරක්ෂාව හා විදෙස් සංචාර සඳහා අවශ්‍ය රාජ්‍යතන්ත්‍රීක භාවය ලබාගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත.

එහිදී  ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත්කිරීම වෙනුවෙන් වියත්මග සංවිධානය නියෝජනය කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි වෛද්‍ය සීතා අරඹේපොල ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක්, සාමාන්‍ය මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේනය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ද මේවනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

දැවැන්ත ජනවිරෝධය හමුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ජූලි 09 වැනිදා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව අතර අනතුරුව ඔහු සිංගප්පුරුවට ගියේය. එහි වීසා කාලය අවසන් කල ගෝඨාභය රාජපක්ෂ මේ වන විට වෙසෙන්නේ තායිලන්තයේය.

මේ හැර ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට ගෝඨාභය වීසා අයදුම් කළ නමුත් ඒ රටවල් වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

ජැක්සන්ගේ සුවදුක් බලන්න : ජනාධිපති රෝහලට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත ගොස්  හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පියකු වන ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසා ඇත.
 
රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනීගේ බිරිඳ, කුමාරි මුණසිංහ වෙත ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය  ප්‍රාර්ථනා කළ බවත් වාර්තා වෙයි.
 
එසේම  ඔහුගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස එහිදී දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.
 
වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනීට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙසද, ඊට සිය උපරීම සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වෙයි.
 
ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගෙ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ප්‍රකාශ කර තිබේ. 
 
රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටි බවද   වාර්තා වෙයි.
 

Page 290 of 464