පුවත්

LGBTQ + අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගෙනා : පනත් කෙටුම්පත ජනාධිපතිට !
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිණ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත ඊයේ (23) පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර තිබිණ.
LGBTQ + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් වන අතර මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බොහෝය.
එසේම ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ළංඝනය වූ අවස්ථා ද වාර්තා වී ඇත.
ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවකි. නමුත් නූතන මනෝ - වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකයි.
එසේම දියුණු රටවල් මෙම ප්‍රජාව දණ්ඩනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.
මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් යොමු කර තිබේ.

සනත් මිලාන් ඩෑන් ගේ දුරකථන CID යට : අධිකරණ නියෝගයක් !
ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළණ ගමගේ විසින් අද (24) මේ නියෝගය නිකුත්කර ඇත .
ජංගම දුරකතන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසත් දුරකතන භාරදීමෙන් පසුව අදාළ සැකකරුවන් මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇති බවත් වාර්තා වෙයි .

කෝප් කෝපා සභාපති පත්කිරීමට : පොහොට්ටුවෙන් බාල්දියක් !
පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පිටින් කෝප් සහ කෝපා කමිටුවලට සභාපතිවරුන් පත්කිරීමට යෝජනා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පොපෙ. ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විරෝධය පලකර ඇති බව වාර්තා වෙයි .
මන්ත්‍රීවරයා මෙසේ විරෝධය පලකර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ය.
අදාළ කමිටු පිහිටුවීමටත් කලින් සභාපති තනතුරු සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු යෝජනා කර ඇති බවත් ස්ථාවර නියෝගය අනුව එසේ කළ නොහැකි බවත් ලේකම්වරයා පෙන්වා දී තිබේ.
ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන්නේ පලමුව එම කමිටු පිහිටුවා ඉන් අනතුරුව සාමාජික මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් සභාපතිවරයා තෝරා පත්කර ගතයුතු බව යැයිද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි .
එහි දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා ඇත්තේ එම කමිටු දෙකේ සභාපති තනතුරු විපක්ෂයට ලබාගැනීමට කතානායකවරයා මීට පෙර පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී එකඟ වූ බවයි.

රාජ්‍ය සේවකයින් රට යනවානම් මාසිකව ඩොලර් ප්‍රමාණයක් එවිය යුතුයි.....
රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.
එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.
විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

මේ මගේ රට නිසා - මට සිහිනයක් තිබේ : සම්මන්ත්‍රණය අගෝස්තු 25 !
මේ රට ලෝකයේ ලස්සනම රටක් කිරීම ලාංකික අප වැඩිදෙනෙකුගේ සිහිනයයි.
ඒ සිහිනය වෙත යා යුතුව තිබෙන්නේ අප අද වැටී සිටින ස්ථානයේ සිටයි. එනම්, මේ ආර්ථික අර්බුදයේ සිටයි.
රාජ්‍යයේ පැවැත්ම අභියෝගයට ලක්කර තිබෙන මෙම දේශපාලන අර්බුදයේ සිටයි.
අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි.
අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි.
එමෙන්ම, ඒකාධිපතිවාදය පිටුදකින, සියලු ප්‍රජාවන් වෙත සාධාරණ අන්දමින් බලය බෙදී යන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පක්ෂ අභ්‍යන්තරය හරහා සමාජය හා පවුල දක්වාම විහිදෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකි. බලහත්කාරයන් හා ප්‍රචණ්ඩත්වය වෙනුවට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත දේශයකි.
මේ සිහින වෙනුවෙන්, පසුගිය කාලය තුළ විවිධ සංවිධාන හා කණ්ඩායම් කිහිපයක් එක්ව පැවති දීර්ඝ සාකඡාවන් කිහිපයකින් පසුව රටට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රථිසංස්කරණ ඉලක්ක කරමින් කටයුතු කිරීම සදහා ''මට සිහිනයක් තිබේ'' නමින් දේශපාලන ක්‍රියාකාරීත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ.
එම එකමුතුවේ පළමු පියවර වශයෙන් අගෝස්තු 25 සවස 3ට මහවැලි කේන්ද්‍රයේ දී මහජන සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇති අතර, ඒහි දී මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥ දුලාන් දසනායක, චින්තන ධර්මදාස හා අජිත් පැරකුම් ජයසිංහ යන අය එහි දී මූලික අදහස් දැක්වීමට නියමිතය.
මෙම අවස්ථාව සදහා සහභාගී වන ලෙසත්, මෙහි ඉදිරි කටයුතු වලදී ඔබගේ පුර්ණ සහාය අපේක්ෂා කරන බවත් සංවිධායක කමිටුව කියා සිටියි.

රන්ජන්ගේ නිදහස ගැන : ජනාධිපති කිව්ව කතාව හරීන් මාධ්‍යට කියලා !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමේ ලිපි ලේඛන සඳහා ප්‍රමාදයකින් තොරව අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් සහතික වු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පලවී ඇත.
ජනාධිපති සමාව යටතේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන බව ජනාධිපතිවරයා කියා සිටි බවද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසූ බවත් අදාළ මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙයි.

මංගල මතක ආවර්ජනය 26 මාතර දී
මංගල සමරවීරයන් දැයට අහිමි වී අගෝස්තු 24 වන දිනට වසරක් ගතවේ.
ඒ වෙනුවෙන් 24දා බොල්ගොඩ නිවසේ විශේෂ පින්කමක් පැවැත්වෙන අතර 25 දිනයේ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත්වේ.
අනතුරුව මංගල මතක ආවර්ජන සැමරුම අගෝස්තු 26 වනදා සවස 03 ට මාතර නුපේ පැරණි ඕලන්ද වෙළද මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එහිදී මහාචාර්ය රොහාන් සමරජීව සහ ශෙහාන් මාලක ගමගේ සම්බන්ද වන සංවාදාත්මක කතිකාවක් පැවැත්වීමට නියමිත අතර එය මෙහෙය වීම රන්දුලා ද සිල්වා විසින් සිදු කරනු ලබයි.
එමෙන්ම අනුෂ්ක උදාන ද ( වස්ති Production) සම්බන්ද වන විශේෂාංගයක් ද මීට ඇතුලත් කර තිබේ.

මුදල් කමිටුවට ඉදිරිපත් වූ යෝජනා සියල්ල : හර්ෂ එකෙන්ම අනුමත කරලා !
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට ( අතුරු අයවැයට) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි .
එසේම සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතටද එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වෙයි .
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 23) පෙරවරුවේ රැස්ව ඇති අතර එහිදී මෙකී අනුමැතිය හිමිව ඇත .
එසේම කාරක සභාවට ඉදිරිපත් කෙරුණු 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 2007 අංක 48 දරන විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සහ රේගු ආඥා පනත (235 වන අධිකාරිය) යටතේ යෝජනා සම්මතයන් සදහාද කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

2023 ට රාජ්‍ය ආදායම් වැඩි කරන වියදම් අඩුකරන අයවැයක් !
2023 අයවැය හරහා , සියයට 09ක් වන රාජ්‍ය ආදායම සියයට 11.3ක් දක්වා වැඩිකර ගැනීම, සියයට 18.9ක් වන රාජ්‍ය වියදම සියයට 18.1ක් වශයෙන් අඩුකර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ 4% අගයේ සිට ඍණ 1%ක අගයක් දක්වා අඩු කර ගැනීම සහ අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8% දක්වා අඩු කර ගැනීම යන ඉලක්කයන් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වෙයි .
එසේම 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (Zero-Based Budgeting) පදනම් කර ගනිමින් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් වන කැබිනට් තීරණය අමාත්‍ය මණ්ඩල කර්යාලය විසින් එම නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .
දිගු කාලීනව රාජ්‍ය ආදායම අඩුවීමත් රාජ්‍ය වියදම වැඩිවීමත් හේතුවෙන් ඇති වූ රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාව මේ වන විට උග්‍ර ආර්ථික අර්බුදයක් බවට පත් වී ඇත.
ඒ හා සම්බන්ධ ආර්ථික අභියෝග මධ්‍යයේ 2023-2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2023 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම වඩාත් විචක්ෂණශීලීව සහ උපක්‍රමික ප්‍රවේශයක් සහිතව සිදු කළ යුතුව ඇති අතර පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තීව්‍ර වීම වැළැක්වීමත් හා අනාගත තිරසරභාවය සඳහා අඩිතාලම දැමීමත් සිදු කළ යුතුව ඇත.
ඒ අනුව, 2023-2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් මත පදනම්ව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම, 18.9%ක් වන රාජ්‍ය වියදම 18.1%ක් වශයෙන් අඩු කර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ 4% අගයේ සිට ඍණ 1%ක අගයක් දක්වා අඩු කර ගැනීම සහ අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8% දක්වා අඩු කර ගැනීම යන ඉලක්කයන් 2023 වර්ෂයේ අයවැය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
එසේම, 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු ශූන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (Zero-Based Budgeting) පදනම් කර ගනිමින් සකස් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගෝඨාභයට ලංකාවට එන්න දෙනවද ? මානව හිමිකම් කොමිසමේ නිර්දේශ මෙන්න !
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ සමාජිකයින්ට ද යළි රටට පැමිණිම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර තිබේ.



පොහොර වංචාවට වගේම හිඟයටත් තිත තැබෙයි !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට : ජී.එල්. ගේ විරෝධය !
රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළු කාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පැවැසීය.
මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් කිසිවක් ඉතිරි නොවන බවද ඔහු පැවසූවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තමා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ බවත් සමස්ත පනත සමාලෝචනයට භාජනය කරන තුරු පනත ක්‍රියාත්මක කිරීමට ඉක්මන් නොවන්නේයැයි එහිදී ප්‍රකාශ කෙරුණු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
තව සති දෙකකින් ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ පනස් එක්වෙනි රැස්වීම ආරම්භ වෙනවා. සැප්තැම්බර් දොළොස් වැනිදා. ශ්‍රී ලංකා රජය මූල්‍ය අරමුදල සමග සාකච්ඡාව ටත් සූදානම් වෙනවා. ජීඑස්පී ප්ලස් සහනය අපේ රටේ අපනයනයට කෙලින්ම බලපාන දෙයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේන් මේ සියලුම ක්ෂේත්‍ර අගතියට පත් වෙනවා. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි .
ඒ වගේම රජය හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. අපි තීරණය කළා ඒ යෝජනාවට සහාය නොදීමට. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.
දැන් ඊට වඩා දරුණු පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන්න සූදානම් වෙනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍යයා දින අනූවකට රඳවා ගැනීමට නියෝගයක් ලබාගත්තා. මොකක්ද මෙතන තියෙන ත්‍රස්තවාදය. අපි දකින්නේ නැහැ මෙතන ත්‍රස්තවාදයක්.

රජිත් කීර්ති : ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට !
කැෆේ ආයතනයේ අධ්‍යක්‍ෂවරයෙක් හා හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් හට ජනාධිපති කාර්‍ය මණ්ඩලයේ ඉහළ තනතුරක් හිමිව ඇති බව වාර්තා වෙයි .
ඒ ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ලෙසය.
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

විශ්වවිද්‍යාල විවෘත කරන දවස මෙන්න !
රට පුරා සියලුම විශ්වවිද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි .
විශ්වවිද්‍යාල විවෘත කළ ද කිසියම් ශිෂ්‍යයකුට අවශ්‍ය නම් තවදුරටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද දේශනවලට සහභාගී විය හැකි බවත් ඔහු පවසයි .
ඒ අනුව රටපුරා රට පුරා සියලූ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු මුහුණට මුහුණලා සහ අන්තර්ජාලය ඔස්සේ යන ක්‍රම දෙකෙන්ම සැප්තැම්බර් මාසයේ සිට පැවැත්වෙන බවද ඔහු සඳහන් කර ඇත .
ඇතැම් විශ්වවිද්‍යාලවල අධයන කටයුතු මේ වන විටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන අතර තවත් විශ්ව විද්‍යාල කිහිපයක විභාග පැවැත්වෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසයි .
කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද සියළු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ඉකුත් කාලයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව සිදු කළ බව ද ඔහු සිහිපත් කර සිටියි .
මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු ද සුපුරුදු පරිදි ආරම්භ කර ඇත .

බිත්තර තොග හංගලා මාට්ටු වෙන්න එපා !
බිත්තර බෙදා හැරීමෙන් වැළකී තොග රැස් කිරීමක් සිදු කළහොත් එම බිත්තර රාජසන්තක කර සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.
ඔහු අවධාරණය කළේ, රජය විසින් පනවන ලද පාලන මිලට බිත්තර අලෙවි නොකරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බව ය.
මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අදහසක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය රඳා පවතින්නේ දේශීය බිත්තර නිෂ්පාදකයින්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මත බව ය.
යම් හෙයකින් ඔවුන් බිත්තර නිෂ්පාදනය නොකරන්නේ නම්, බිත්තර ආනයනය කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.
- mawbima

ත්‍රීරෝද රථ ගාස්තු තීරණය කිරීම : ගමනා ගමන කොමිසමට !
ත්‍රිරෝද රථ ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරීමට රජය තීරණය කර ඇත .
මේ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන අතර ඒයාපනය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගාස්තු තීරණය කිරීම ඇතුළු ප්‍රවාහන සේවාවලට නියාමන කටයුතු සිදුකිරීම වෙනුවෙන් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවය.

ගෝඨාභයට ආරක්ෂිතව එන්න දෙන්න : රාමඤ්ඤ නිකායේ අනුනායක හිමි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂා සහිතව මෙරටට පැමිණ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක නැදුන්ගමුවේ විජය මෛත්‍රී නාහිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් කර ඇත .
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරම්න් ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනතාව සතු මුදල් අයථා ලෙස පරිහරණය නොකළ අයෙකු බවත් අමෙරිකානු පුරවැසිභාවයද අත්හළ අයෙකු බවත් අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත.
තනතුරෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වුවද රටින් පිටව යන ලෙස හිටපු ජනාධිපතිවරයාට කිසිවෙක් ප්‍රකාශ කර නොමැති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

රංගන සහ කැලුම් ඇතුළට : ජෙහාන්ට ඇප !
ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය කොම්පඤඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලිස්ථානය වෙත රැගෙනගොස් ඇති බව වාර්තා වෙයි .
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මර්දනයට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට අද (22) පෙරවරුවේ පැවැත්වූ සාමකාමී නිහඬ විරෝධය අවසන් වීමෙන් පසුවය.
එසේම අරගලය කියමින් රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලුවී එහි විකාශන කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කැලුම් අමරසිංහ අද (22) බාර වු බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
පොලිසියට බාර වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත තිළිණ ගමගේ නියෝග කර ඇත .
ජෙහාන් අප්පුහාමි අධිකරණයට බාරවීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් විය.
Page 289 of 464