V2025

පුවත්

රාජ්‍ය අමාත්‍ය ජයන්ත ඉල්ලා අස්වෙයි : බැසිල් පසුපෙළ කැඳවයි !

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ජයන්ත සමරවිර සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බව ඔහු අද (08) පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු එම පක්ෂය අද රැස්වී සිදු කරන ලද සාකච්චාවකින් පසු මෙම තීන්දුව ගනුලැබූ බවත් ඔහු පවසයි.

බැසිල් පසුපෙළ සමග සාකච්ඡාවක !

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් පැවත්වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ඉදිරි කටයුතු මෙන්ම විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූර වලින් එළියට දැමීමෙන් පසුව මතුව ඇති නව දේශපාලන තත්ත්වය හමුවේ ඊට මුහුණදීම ගැන මෙහිදී අවධානය යොමුකර ඇති බවත් දැනගන්නට ඇත.

වැඩ කරන අපේ විරුවා ගීතය ගැන : අජිත් රෝහණ කතා කරයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ දී භාවිතා කළ ‘වැඩ කරන අපේ විරුවා’ තේමා ගීතය සමාජ ජාල ඔස්සේ අවභාවිතා කිරීම ගැන විමර්ශනය අරඹා ඇතැයි සමාජ ජාලවල වාර්තා පළවන අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇත.

ඒ අදාළ ගීතය අවභාවිත කරන්නන් රහස් පොලිසියට ගෙන යන්නේදැයි මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී ඔහු පවසන්නේ එවැනි තීන්දුවක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

‘වැඩ කරන අපේ විරුවා’ ගීතය මේ දිනවල ඉන්ධන පෝලිම් ඇතුළු විවිධ ස්ථාන වල එය වාදනය කරමින් උපහාසය දනවන විරෝධයක් දක්වනු සමාජ මාධ්‍ය ජාල තුළ නිරීක්ෂණය වෙයි.

 

විමල් සහ උදය : පසුපෙළ අසුන් ගැනීම ප්‍රතිකේෂ්ප කරලා !

පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්වල අසුන්ගැනීමට හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (08) දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී තමන්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පනවන ලෙස ඒ මහත්වරුන් දැනුම් දී ඇති බව දැනන්නට ඇත.

තමන් පක්ෂ නායකවරුන් ලෙස කටයුතු කිරීම ඊට හේතු වී ඇති බවද ඔවුන් සදහන් කොට ඇති බව පැවසේ.

වාර්තා වන ආකාරයට ආසන වෙන්කර ඇත්තේ , හිටපු අමාත්‍ය විමල් වීරවංශ ට ආණ්ඩුවේ පසුපෙළ 73 වැනි ආසනයත්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ට 78 වැනි ආසනයත් වන ලෙසය.

 

ඇමතිලා නෑ නෑ ගෑවට : විදුලි කප්පාදුව දිගටම !

අඛණ්ඩව විදුලිය සැපයීම මේ වන විට අර්බුදයකට ලක්ව ඇති නිසා වැඩි කාලයක් විදුලිය කපා හැරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

හැකි සෑම අවස්ථාවකම විදුලි ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

එම නිසා ඉතා අරපිරිමැස්මෙන් විදුලි භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරි සෙනජිත් දසනායක පවසයි .

ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත යෑම, ඉන්ධන සැපයීම සීමා වීම, විදුලි ඉල්ලුම ඉහළ යාම ආදී ලංකා විදුලිබල මණ්ඩලය අභියෝග රැසකට මුහුණ දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එම නිසා හැකි සෑම අවස්ථාවකම විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කර සංරක්ෂණය කරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇත.

බැසිල්ගේ සහ ලොකුගේ ගේ කතා !

කෙසේ වුවත් පසුගියදා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසා සිටියේ මාර්තු 05 න් පසුව විදුලි කප්පාදුවක් සිදුනොවනු ඇති බවත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ය.

එසේම බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මාධ්‍ය වෙත පවසා සිටියේ ඉදිරියට ඉන්ධන සහ විදුලි අර්බුදයක් ඇති නොවන බවයි.

එහෙත් ඒ සියල්ල වචන පමණක් බව මේ වන විට අත්දැකීම් විසින් තහවුරු කර ඇත.

8 වෙනිදා කප්පාදුව මෙහෙමයි !

මේ අතර හෙට(08) දිනයේදීද රට පුරා කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව E F කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලයේ පැය 2.30ක් ද විදුලිය කප්පාදු කරයි.

සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ පැය දෙකක් හා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද විදුලිය කප්පාදු කරයි.

ජාතික යුතුකමක් ලෙස : වීදි ලාම්පු දැල්වීමෙන් වලකින්න - බැසිල්

සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු මාර්තු 31 දක්වා අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මුදල් ඇමති මෙසේ ඉල්ලා ඇත්තේ විදුලිය පිරිමැසීම සඳහා මෙය ඉටුකරන ලෙසයි.

එසේම විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩි දුරටත් දැනුම් දී ඇති අතර ඊට අදාළ ලිපිය පහත දැක්වෙයි.

cc

වින්දිතයන්ට යුක්තිය ඉටුකරන්න මැදිහත් වෙන්න : කාදිනල් ජිනීවා සමුළුව අමතයි !

"අප ද සත්‍ය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද වින්දිතයින් හට යුක්තිය ඉටුකිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තිබේ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බියගැන්වීමේ උත්සහයක් දක්නට ලැබේ." යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

උන්වහන්සේ මේ අදහස් දක්වා සිටියේ අද (07) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් ය.

පාස්කු විමර්ශනවලින් පෙනී යන්නේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවත් අගරදගුරු එහිදී පැවසීය.

එහිදී උන්වහන්සේ මෙසේ සඳහන් කර සිටියහ.

ගරු සභාපතිතුමනි, හිතවත් නෝනාවරුනි මහත්වරුනි

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් දරු දැරියන් අසූ දෙදෙනෙකු (82) සහ රටවල් 14 ක ට අයත් විදේශිකයන් 47 දෙනකු ඇතුළුව මිනිසුන් 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර පන්සිය (500) දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මෙම සමූල ඝාතනය පිලිබඳ මුලින්ම ඇති වූ හැඟීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බවය. කෙසේ වුවද ඉන් අනතුරුව ලද විමර්ශන වලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි.

අප ද සත්‍ය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද වින්දිතයින් හට යුක්තිය ඉටුකිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තිබේ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බියගැන්වීමේ උත්සහයක් දක්නට ලැබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බිහිසුණු අපරාධය සිදු වී වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් පාස්කු ඉරුදින ඇත්තටම සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව අපි තවමත් අඳුරේ සිටිමු.

මෙම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බැවින්, අප එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස්කිරීම ඉදිරියටම කරගෙන යාමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍ය සොයාගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවත්වීම සහතික කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසටයි.

- මූලාශ්‍රය BBC සිංහල

බිත්තර බලකායක දෙදෙනෙකු හිරේ !

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළු භූමියට කඩා වැදී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බව කියන සැකකරුවන් දෙදෙනකු මේ මස 21 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද නියෝග කළාය.

ආනන්ද බණ්ඩාර හා රත්මල් අසිත කුමාර යන විශ්‍රාමික හමුදා සෙබළුන් දෙදෙනා එසේ රිමාන්ඩ් කැරිණි.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පසුගිය ජනවාරි 30 වනදා එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් කළගෙඩිහේන උත්සව ශාලාවකදී පැවැත්වෙමින් තිබියදී දහසය දෙනකු ගෙන් සමන්විත මැර කල්ලියක් සමළු භූමියට කඩා වැදී එහි නවතා තිබූ වාහන කිහිපයකට බිත්තර ප්‍රහාරයක් එල්ල කොට පැන ගොස් තිබිණ.

එසේ පැන යමින් සිටි පිරිස අතර සිටි සැකකරුවන් දෙදෙනා එහි සිටි පිරිසක් විසින් අල්ලා අල්ලා නිට්ටඹුව පොලීසියට භාර දී තිබිණ.

පෙර දිනයක ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් කුමාර පේලි මහතා මෝසමක් මගින් බී වාර්තාව කැඳවා බිත්තර ප්‍රහාරය එල්ල කොට පැන යමින් සිටි පිරිස අතර සිටි පුද්ගලයන් දෙදෙනකු අල්ලා නිට්ටඹුව පොලීසියට බාර දුන් නමුත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකොට මුදා හැර බී වාර්තාවක් පමණක් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව කියා සිටියේය.

මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ වරයා දක්වන ලද කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරිය එම සැකකරුවන් දෙදෙනා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.

එම බී වාර්තාව නැවත කැදවූ අවස්ථාවේ ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් කුමාර පේලි මහතා කරුණු දක්වමින් එම බිත්තර ප්‍රහාරයට සම්බන්ධව පොලීසියට අල්ලා දුන් සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ වතුපිටිවල මූලික රෝහලේ අංක 07 වාට්ටුවට ඇතුළත් කොට සිටියදී අධිකරණයට ඉදිරිපත් නොකරම මුදා හැර ඇති බවත් අනෙක් සැකකරුවන් දාහතර දෙනා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් පවා සිදු කොට නැති බව කියා සිටියේය.

- lankadeepa

විමල්ගේ සූදානම ඊළඟ ජනාධිපති වෙන්න : බැසිල්ගේ ගෝලයා හෙළිකරයි !

මෙරට මීලග ජනාධිපතිවරයා බවට පත්වීමට බලාපොරොත්තුවෙන් විමල් වීරවංශ විසින් ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන ලද බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කරයි.

ආණ්ඩුව හිතවාදී වෙබ් මාධ්‍ය වාර්තා කරන ආකාරයට තේ කෝප්පයේ කිඹුලන් පෙන්වීම නිසා වීරවංශටත් උදය ගම්මන්පිලටත් අමාත්‍ය ධුර අහිමි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

ආණ්ඩුව විවේචනය කරමින් විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පිරිස එල්ල කරන චෝදනා සම්පූර්ණ අසත්‍ය බව මෙන්ම ඔවුන් ධුරවලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ජනාධිපති බලතල අනුව බවත් ඔහු පවසා තිබේ.

විමල්ගේ නඩුවක් කල් තබයි !

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුව ලබන මැයි මස 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ නියෝග කර ඇත.

ඒ අදාළ නඩුව අද (07) කැඳවූ අවස්ථාවේ ය.

ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වෙයි.

මියගිය නැදුන්ගමුවේ රාජා : ජාතික වස්තුවක් කරලා !

මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

එසේම අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්තිරාජයාගේ සිරැර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබෙන බවත් වාර්තා වෙයි.

ඒ අනුව ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්තිරාජයා සිටිගම්පහ, වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් ඇති බවත් දැනගන්නට ඇත.

ආණ්ඩුවේ සපෝර්ට් එකට : කෝට්ටේ කුණු බිත්තර බලකාය වැඩ !

සමගි ජනබලවේගය පක්ෂයේ කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්‍යාලය වෙත අද (07) බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

මෙම බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ , සජබට එරෙහිව ආණ්ඩු හිතවාදී පිරිසක් ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් දියත්කර තිබූ අවස්ථාවේ ය.

මෙම ආණ්ඩු හිතවාදී උද්ඝෝෂකයන් පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ගේ මූලිකත්වයෙන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තවත් කාන්තාවන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමෙන් පසුව එදිනම රාත්‍රියේ ඇයගේ නිවස ඉදිරිපිටට රැස්වූ ආණ්ඩුව හිතවාදී පිරිසක් විරෝධතාවක් පැවැත්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවට ඇති ජනතා අප්‍රසාදය මෙවැනි කටයුතු හේතුවෙන් තවදුරටත් වර්ධනය වන බවයි.

ඒ හැර මෙවැනි ක්‍රියා හේතුවෙන් කිසියම් හෝ ජනප්‍රියත්වයක් ජනතාව වෙතින් ලැබීමට හැකිවෙතැයි මේවායේ සංවිධායකයන් සිතනවා නම්, ඒ සිහිවිකල් වූ උම්මත්තක ජන පිරිසක මිස, සිහිබුද්ධිය යහපත් ජනතාවගේ නොවන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඩොලර් බිලියනයේ ණය දෙන්න : ඉන්දියාවෙන් දැඩි කොන්දේසි !

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි දමා ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය දීර්ඝ කාලීන විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා උතුර හා නැගෙනහිර පළාත් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික හා උපයමාර්ගික ඉල්ලීම් ලැයිස්තුවක් මෙසේ ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති බව එම පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා හදිසි ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සඳහා ඩොලර් බිලියනයක ණයක් මේ අනුව ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිතය. මිට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමටත් කටයුතු කෙරිණි.

ඇමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදල ලබාගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණත් අවස්ථා දෙකකදීම එම සංචාරය අවලංගු කළේය.දෙසැම්බර් මාසයේදී ලබාගත් ණය මුදල මේ සතියේදී ගෙවීමට නියමිතව තිබේ.

ෙසන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගන්නට ලැබෙන්නේ, ඉන්දියානු ආන්ඩුව කොළඹ ආන්ඩුවෙන් දෙපැත්තෙන්ම හරිත එළිය එනතුරු බලා සිටින බවයි, එනම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය හා ණය ආපසු ගෙවීමේ අර්බුදයෙන් දිගුකාලීනව ගොඩ ඒම ඉලක්ක කරගත් ආර්ථික ක්‍රියාකාරී සැලැස්ම සහ ශ්‍රී ලංකාවේ ආර්තික ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දීය ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් කොළ එළියක් ලැබෙන තුරු ඉන්දියාව බලාගෙන සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

විශේෂයෙන්ම නැගෙනහිර ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඉන්දියාවේ මූලෝපායික අවශ්‍යතා ශක්තිමත් කරන සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් වැලක් ඉන්දීය ඉල්ලීම්වලට ඇතුළත් වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඩෝනියර් නිරීක්ෂණ ගුවන් යානා, ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් අලුත්වැඩියා කිරීමේ තටාකයක් සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ කලාපයේ වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත මුහුදු ගමන් සහතික කිරීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාවේ මුලපිරීමක් වන බහරේනයේ බුද්ධි බෙදාගැනීමේ කාර්යාලයක් වන බුද්ධි ෆියුෂන් මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු ස්ථානගත කිරීම ඊට ඇතුළත් කිරීම ඉන්දීය ඉල්ලීම් ඇතුළත්වෙයි.

ත්‍රිකුණාමලය අසල සාම්පූර් සහ ඒ අවට ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති (සූර්‍ය බලශක්ති) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඉන්දීය රජයේ ප්‍රධාන ඉල්ලීමකි.

පලෙයි ගුවන් තොටුපළ වාණිජ මෙහෙයුම් සඳහා නැවත විවෘත කිරීම සහ යාපනය අර්ධද්වීපයේ සංස්කෘතික ව්‍යාපෘති කිහිපයක් ද දැනටමත් ප්‍රසිද්ධ කර ඇති ලැයිස්තුවේ අයිතම අතර වේ.

එසේම ඩෙල්ෆ්ට් දූපතේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉන්දීය රජයට අවශ්‍ය වේ.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකාවෙන් සහතිකයක් තුරු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ මුදල් අමාත්‍ය රාජපක්ෂ ඩොලර් බිලියනයක ණය පහසුකමක් සඳහා නවදිල්ලි නුවරට යාමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බැවින් ඔහුගේ සංචාරය පිළිබඳව අදහස් දැක්වීමට අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත්, පසුගිය සතියේ, දූත මණ්ඩලය ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ට නිල කටයුත්තක් සඳහා හදිසියේ පැරීසියට යාමට සිදු වූ බැවින් පසුගිය සතියට නියමිතව තිබූ සංචාරය නැවත සැලසුම් කළ බවයි.

ජයිශංකර් මහතා මීට පෙර මාර්තු 18 වැනිදා කොළඹට පැමිණීමට නියමිතව සිටි නමුත් මහ කොමසාරිස් කාර්යාලය මෙම සංචාරය පිළිබඳව දැඩි ලෙස මුනිවත රකිමින් සිටියි.

– අද

හිරුණිකා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

මේ බව දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඊට අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූයේ යයි චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා ඇත.

කෙසේ වෙතත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තමන් ඇතුළු පිරිස කිසිදු අපරාධයක් සිදුකර නොමැති බවත් ඇය පැවසූ බවත් අදාළ පුවත පවසයි.

පාන් මිල රු. 100 ඉක්මවයිද ?

පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

“අද වෙනකොට බේකරි 1000 ක් පමණ වහලා දාලා තියෙනවා වැඩ කරගන්න බැරුව. අනිත් බේකරිත් වැඩ කරන්නේ සතියට දවස් 5යි. ඉතින් මේ විදියට යනකොට ඉදිරියේදී පාන් ගෙඩිය රුපියල් 100 නම් පනිනවා අනිවාර්යයෙන්ම. 100 නෙවෙයි 150න් වත් මෙහා නැවතුණොත් ඇති මේ යන විදියට. මේ තියෙන බඩු ගණන්, ගෑස්, අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100 ට වැඩියෙන් විකුණන්න ඕනෙ. 100 ට අඩුවෙන් විකුණුවා නම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියක් නෙවෙයි. ඉතින් අපට කියන්න දැන් කරුණු ඉතුරුවෙලා නැහැ. අර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ සියලුම ප්‍රශ්න ටික අපේ කර පිටට ඇවිල්ලා ඉවරයි. තව සතියක් මේ විදියට ගියොත් මුළු ලංකාවෙ තියෙන සියලුම බේකරි ටික වහලා දාන මට්ටමට එයි. ඉතා සුළු ප්‍රමාණයක් විතරක් පවතීවි, 90%ක් බේකරි හිමියන් බැංකුවලට ණය ගෙවාගන්න බැරුව වහ බොන තත්වයට පත්වෙනවා. අපි රජයේ බලධාරීන්ට කියන්නෙ අප පිළිබඳව සැලකිල්ල දක්වන්න. අපේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒත් එහෙම කරන්න පුළුවන් වෙයිද කියලාත් සැකයි. මේ සියල්ලටම මුල ඩොලර් ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට විසඳුමක් එනතුරු අපේ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙ නැහැ”

ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම ද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ එන්.කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මේ බව පැවසුවේ අද (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එස්.බී. ඇතුළට ගත්තාට ලොහාන් කණස්සල්ලෙන් !

සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  කණස්සල්ලට පත්ව සිටින බව ලංකා සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

ඒ හේතුවෙන් ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට ඔහු සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් දිලුම් අමුණුගම  ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූ අතර එස්.බී. දිසානායකද කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට එක් විය.

ලොහාන් රත්වත්තේ  තම හිතවත් පිරිස් සමග සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරූ පුද්ගලයන්ටද මෙම රජයේ කැබිනට් අමාත්‍ය ධුර හිමිවීම ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඔහු ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ  බොහෝ දෙනා හැර යද්දී තමන් සමග දිගටම සිට ඔහු අරක්ෂා කල බවද රත්වත්තේ  තවදුරටත් සඳහන් කර ඇත.

ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී , බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 97 වන වියේ පසුවිය.

ප්‍රහසන,රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියව සිටි ඒ මහතා රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මාස්ටර් සහ වීසා සමාගම් රුසියාවේ මෙහෙයුම් අත්හිටුවයි

ක්‍රෙඩිට් කාඩ්පත් සමාගම් දෙකක් වන මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් සමාගම් රුසියාවට සිය සේවා සැපයීම අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අදාල සමාගම් මගින් රුසියානු බැංකුවල පාරිභෝගිකයන්ට ලබාදුන් කාඩ්පත් මින්පසු අක්‍රිය වනු ඇත.

මීට අමතරව රුසියාවෙන් බැහැර රටකදී නිකුත් කරන ලද මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් රුසියාව තුළදී මුදල් ගනුදෙනු සඳහා භාවිතා කිරීමටද නොහැකි වනු ඇත.

මෙම තත්වය හේතුවෙන් රුසියානු බැංකු බරපතල ගැටලුවකට මුහුණ දෙනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන අර්බුදය හේතුවෙන් අදාල සමාගම් රුසියාවට මෙසේ සම්බාධක පනවා තිබේ.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පවත්වා ඇත. විනාඩි 30 කට ආසන්න කාලයක් පැවති මෙම සංවාදයේදී යුක්රේනයට ආර්ථික සහන ලබාදීම සම්බන්ධයෙන් සහ රුසියානු සම්බාධක තවදුරටත් දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

යුක්රේනයට ප්‍රහාරක ගුවන් යානා සැපයීමට අදාල ගිවිසුමකට එළඹීමට පෝලන්තය සහ ඇමරිකාව සූදානම්ව සිටී.

මෙම ගිවිසුමට අනුව පෝලන්තය, සෝවියට් යුද සමයේදී භාවිතා කළ ප්‍රහාරක යානා කිහිපයක් යුක්රේනය වෙත සැපයෙනු ඇති අතර ඒ වෙනුවට පෝලන්තයට ඇමරිකාවෙන් එෆ් 16 වර්ගයේ නවීන ප්‍රහාරක යානා කිහිපයක් ලැබෙනු ඇත.

යුක්රේනය විසින් ප්‍රහාරක යානා සපයන්නැයි සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම ගිවිසුම ක්‍රියාත්මක වනු ඇත.

යුක්රේන – රුසියා අර්බුදයේදී ඉන්දියාව රුසියානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ලොව ප්‍රබල රටවල් රැසක විවේචනයට ලක්ව තිබේ. ප්‍රබල රටවල් රැසක් ඉන්දියාවට බලපෑම් කරමින් සිටින්නේ රුසියාව සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක් ගන්නා ලෙසයි.

රුසියාවට එරෙහිව පසුගියදා ජගත් සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉන්දියාව වැළකී සිටියේය.

ඉන්දියාව ආනයනය කරන යුද උපකරණවලින් 50% කට ආසන්න ප්‍රමාණයක් සපයන්නේ රුසියාව වන අතර මේ නිසා ඉන්දියාවට සෘජුවම රුසියාවට එරෙහිව යා නොහැකි තත්වයක් මතුව තිබේ.

යුක්රේන-රුසියා අර්බුදය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවට මේ වනවිටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා ඇති අතර, විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයට යා හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බවත් එම ආයතනය පවසයි.

ජනාධිපති - ගම්මන්පිල හමුවක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අතර අද (05) උදෑසන හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් වාර්තා කර ඇති ආකාරයට මේ අනුරාධපුර ප්‍රදේශයේ දී සිදුව ඇත.

ඒ ප‍්‍රභූවරුන්ගේ ජෝතිෂ්‍ය කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී දේශපාලන කතාවක් සිදුව නොමැති බවත් එහි සඳහන් කර ඇත.

Page 282 of 385