“ශ්‍රී ලංකාවේ දැනුම් ආර්ථිකයකට මඟ පෑදීම” තේමාව යටතේ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ (SLEA) 21 වැනි වාර්ෂික ජාත්‍යන්තර සමුළුව අද (21) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති උත්කර්ෂවත්ව ආරම්භ විය.
ගාමිණී කොරයා පදනම සමඟ එක්ව සංවිධානය කරන මෙම සමුළුව උදෑසන 8.30ට ආරම්භ වූ අතර, පස්වරු 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙරට ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මහ බැංකු නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂකයන් සහ සිසුන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටිති.
සමුළුවේ සමාරම්භක සැසියේදී සංගමයේ සභාපති මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ පිළිගැනීමේ සහ සභාපති දේශනය පැවැත්වීය.
මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ
එහිදී ඔහු අවධාරණය කළේ, 1960 වසරේ සිට මේ දක්වා රුපියල් 1ක දළ දේශීය නිෂ්පාදිතයක් (GDP) උපයා ගැනීම සඳහා අවශ්‍ය ආයෝජන ප්‍රමාණය දෙගුණ වී ඇති බවයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් ඉදිරියට යා හැක්කේ ප්‍රාග්ධනය මතම පමණක් යැපීමෙන් නොව, දැනුම, නවෝත්පාදනය සහ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමෙන් බව ඔහු පෙන්වා දුන්නේය.
ගාමිණී කොරයා පදනමේ ගෞරවනීය සභාපති ආචාර්ය හර්ෂ අතුරුපාන මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීය.
ආචාර්ය හර්ෂ අතුරුපාන
ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මෙම අවස්ථාවට ගෞරවනීය අමුත්තා ලෙස සහභාගී විය.
මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක් විය.
ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර
සමුළුවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ කෘෂිකර්මය, කර්මාන්තය සහ සේවා යන සියලුම අංශ හරහා දැනුම ආර්ථිකය ව්‍යාප්ත කරන්නේ කෙසේද යන්න පිළිබඳව විවෘත සංවාදයක් ඇති කිරීමයි. පසුගිය වසරවලදී එක් එක් අංශය වෙන වෙනම සාකච්ඡා කළද, මෙවර දැනුම ආර්ථිකය හරස්කඩ තේමාවක් ලෙස තෝරාගෙන තිබීම විශේෂත්වයකි.
සමාරම්භක සැසියෙන් අනතුරුව සමාන්තර ශාස්ත්‍රීය සැසි 6ක් පැවැත්වේ. ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් යටිතල පහසුකම්, මානව ප්‍රාග්ධනය සංවර්ධනය සහ ශ්‍රම වෙළෙඳපොළ, අධ්‍යාපනය, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs), හරිත දැනුම පද්ධති, ආයතනික පාලනය සහ බුද්ධිමය දේපළ යන මාතෘකා යටතේ එම සැසි පැවැත්වෙයි.
1985 වසරේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය 2011 වසරේ පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත කරන ලද ආයතනයකි. වර්තමානය වන විට එහි ක්‍රියාකාරී සාමාජිකයන් 900කට අධික පිරිසක් සිටින අතර, ජාත්‍යන්තර ආර්ථික සංගමයේ (IEA) සාමාජිකත්වයද දරයි.
සටහන -ජේ.මුණසිංහ



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
