පළාත් සභා මැතිවරණයේ දී විකල්පයක් නිර්මාණය වේවි - සජිත් ප්‍රේමදාස

 පළාත් සභා මැතිවරණයේ දී විකල්පයක් නිර්මාණය වේවි - සජිත් ප්‍රේමදාස

වෙනසක් අපේක්ෂාවෙන්, අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක්, වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක්, පළාත් සභා මැතිවරණ හරහා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂක අපේක්ෂිකාවන් සමග ගුරුගේ නේචර් පාර්ක් ශ්‍රවණාගාරයේ පැවැති හමුවක දී ය.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

නොහැකියාව නිසා රජය පිරිහිලා

''මේ වන විට රටත් ජනතාවත් අපේක්ෂා භාංගත්වයට පත් වෙමින් සිටිනවා. වෙනසක් අපේක්ෂාවෙන් අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක් වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක් පළාත් සභා මැතිවරණ හරහා නිර්මාණය කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. රට වෙනුවෙන් එකතු විය යුතු තැන්වල එකතු වීමටත් ඒකාබද්ධ විය යුතු තැන්වල ඒකාබද්ධ වීමත් සිදුවිය යුත්තේ පක්ෂයේ අනන්‍යතාව රැකගෙන යි.

වසර පහමාරක් පමණක් වයසැති සමගි ජන බලවේගයට මේ වන විට පළාත් පාලන මන්ත්‍රීවරුන් 1773ක්, පළාත් පාලන ආයතන 39ක සභාපතීත්වය සහ තවත් 21ක උප සභාපතීත්වයත් හිමි කරගෙන සිටිනවා. පළාත් පාලන ආයතන 340 ගණනින් 100කට වඩා වැඩි ප්‍රමාණයක සභාපති තනතුරු අරගෙන තියෙන්නෙ විපක්ෂයේ පක්ෂ.  ජනාධිපතිකම් පාර්ලිමේන්තුවේ 2/3ක බලය සහ පළාත් පාලන ආයතන බහුතරයක බලය රජයට තිබුණත් නොහැකියාව නිසා අද රජය පිරිහිලා.


වත්මන් රජය කතෝලික ප්‍රජාවත් රැවටුවා.

වත්මන් රජය රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර නැහැ. මේ රජය මුළු ජන සමාජයම රැවැට්ටුවා. අප්‍රේල් මාසය වන විට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන සුබආරංචිය දෙනවා කිව්වට තවමත් ඒ ආරංචිය නැහැ. වත්මන් රජය මුළු කතෝලික ප්‍රජාවම රැවටුවා. රජය මේ තොරතුරු සැඟවීම ම ගැටලුවක්. රට පුරා මිලේච්ඡත්වය රජ වෙලා ඊට අමතරව සමස්ත සමාජය ම නාදුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. යුක්තිය සාධාරණත්වය ඉටු වෙන්නෙ නැහැ. නීතියේ ආධිපත්‍ය බිඳ වැටී නීතිය වල්බිහි වෙලා. මේ මිනිමරු ඝාතන සංස්කෘතියට වගකිව යුත්තේ වත්මන් රජය යි.


2028 ණය ගෙවන්න බැරි වුනොත් අපි බංකොලොත් වෙනවා


මෙවැනි ගැටලු රැසක් මැද වත්මන් රජය විසිතුරු වචනවලින් තවමත් ජනතාව මංමුළා කරමින් සිටිනවා. එදත් අදත් කළේ මේ මංමුළාව ම යි. මේ මොහොත වන විට ඝාතන සංස්කෘතිය නැති කරන්න රජයට බැරි වෙලා තියෙනවා. බොරු මාධ්‍ය සැණකෙළ පවත්වන්නේ නැතිව හරි දේ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අද මේ කුඩු සංස්කෘතිය පාසල් පද්ධතිය පවා වෙළාගෙන අවසන්. එය නවත්වන්න රජයට සැලසුමක් නැහැ. බොරු සංදර්ශන හරහා තාවකාලික පැවැත්ම තහවුරු කර ගනිමින් සිටිනවා.

 
 2028 ණය ගෙවන්න බැරි වුනොත් අපි බංකොලොත් වෙනවා. 2028 අප රටක් ලෙස ණය ගෙවන්න බැඳී සිටිනවා. මේ විදේශ ණය ගෙවන්න නම් ඉහළ සංචිත ප්‍රමාණයක් තිබිය යුතු යි. ඒ සඳහා ආර්ථික වර්ධනය වේගවත් විය යුතු වුවත් මේ රජයට ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් නැහැ. විදේශ ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වෙනවා.''



 
 
 
sajith

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න