V2025

පුවත්

මත් උවදුර පාලනයට පියවර රැසක්

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සදහා මූලික පියවර ලෙස ඒ සම්බන්ධයෙන් රටේ වත්මන් තත්වය නිසිලෙස අවබෝධ කර ගැනීම වැදගත් බැවින් අදාළ සියලු පාර්ශව ගෙන්වා සාකච්ඡා කිරීමට “රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී” තීරණය වී ඇත.

එම කාරක සභාවේ පලවෙනි රැස්වීම කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරිය යන ආයතන කාරකා සභාව ඉදිරියේ කැඳවා මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පවත්වා පවතින තත්වය හඳුනා ගැනීමට අවශ්‍ය බව කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස්  පැවසීය.

ඒ අනුව අදාළ ආයතන ලබන අගෝස්තු 10 වැනි දින කාරක සභාව හමුවට කැඳවීමට මෙහිදී තීරණය කරන ලදී.

මෙයට අමතරව, මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා වන උපායමාර්ගික සැලැස්මක් සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන අතර සම්බන්ධීකරණයක් ඇතිකිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම කාරක සහාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර, (වෛද්‍ය) උපුල් ගලප්පති සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන  සහභාගී වූහ.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති හමු වෙයි 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමු විය.

වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

කෙටි කාලීන හා මධ්‍යකාලීන සැලසුම් ඔස්සේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත්, එම සැලසුම් සකස් කිරීමේ දී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රටවල දියුණු සෞඛ්‍ය පද්ධතින් අධ්‍යයනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපතිවරුන් වන වෛද්‍ය චන්දික එපිටකඩුව, වෛද්‍ය හේමන්ත රාජපක්ෂ, වෛද්‍ය බෝධික සමරසේකර, වෛද්‍ය එස්. මතිවානන් යන මහත්වරු ප්‍රමුඛ නව නිලධාරී මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.doctor rw 1000px

සර්ව පාක්ෂික සමුළුවට ගිය උදවිය කරපු කියපු දේවල් මෙන්න !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබිණි.

පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් කියා සිටියේය.

එසේම පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමූහිකව කැපවී ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

මීට පෙර මම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සාකච්ඡා කළා. ප්‍රධාන වශයෙන් 13 වන සංශෝධනයේ අප ක්‍රියාත්මක කරන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණා. ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්මත කළේ 1987 වසරේදීයි. නමුත් අද වන විටත් ඊට සම්බන්ධ කරුණු ගණනාවක් විසඳි නැහැ.

මම මේ පිළිබඳ උතුර හා නැගෙනහිර මන්ත්‍රීවරු සමඟ සාකච්ඡා කරන විට ආණ්ඩුව 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන ගැටලුව ඔවුන් ඉදිරිපත් කළා. ඒ නිසා පළමුව උතුරට බලපාන ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර ඒ පිළිබඳ දැනට ආණ්ඩුවේ ස්ථාවරය දැනුම් දී තිබෙනවා.

එහිදී ගත් පියවර කිහිපයක් පිළිබඳ සඳහන් කරනවා නම් දූෂණයට විරුද්ධ පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ වගේම ත්‍රස්තවාදයට එරෙහි නීතිය පිළිබඳ කෙටුම්පත තව ටික දිනකින් අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටිනවා.විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තුවෙන් පිටත සංවිධාන ගණනාවක් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. වන්දි ගෙවීම ඇතුළු කරුණු ගණනාවක් මෙහි ඇතුළත්. මේ සියල්ල පිළිබඳ උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරු සමඟ ද මේ වන විට අප සාකච්ඡා කර තිබෙනවා.ඒ වගේමඋතුරේ සංවර්ධනය සඳහා ඊළග වසර 10 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සැලැස්ම පිළිබඳව ද මේ වන විට අප සාකච්ඡා කර තිබෙනවා.

බලය බෙදීම පිළිබඳ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අද මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා. 13 වන සංශෝධනය පිළිබඳ අප මේ වන විට ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කර තිබෙනවා. නමුත් මෙය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම මගේ ස්ථාවරයයි.

මේ රටේ පළාත් සභා 09ක් තිබෙනවා. මේ පළාත් සභා 09න් 07කම බහුතරයක් ජීවත්වන්නේ සිංහල ජනතාවයි. අනෙක් පළාත් 02 සිංහල ජනතාව සුළුතරයක් සිටින අතර උතුරේ නම් ද්‍රවිඩ ජනතාව බහුතරයක් ජීවත්වනවා. අප වැඩිපුරම පළාත් සභා ක්‍රියාත්මක කර තිබෙන්නේ දකුණේ. එහිදී අඩු පාඩු ගණනාවක් පිළිබඳ අපට අත්දැකීම් රැසක් තිබෙනවා. අප පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යනවා නම් එම අඩු පාඩු සකසා ගත යුතුයි.

1987 වසරේ ගෙන එන ලද පළාත් සභා පනතේ ද අඩු පාඩු බොහොමයක් තිබෙනවා. පරිපාලන සහ මුදල් පාලනය පිළිබඳ රෙගුලාසි කිසිවක් එහි නැහැ. ඒ වගේම පළාත් ඇමතිවරුන්ගේ බලතල පිළිබඳ එහි පැහැදිලිව සඳහන් වන්නේ නැහැ.

2017 වසරේ උතුරු හා නැගෙනහිර හැර අනෙක් පළාත් 07 ප්‍රධාන අමාත්‍යවරුන් පළාත් සභාවලට වැඩි බලතල ලබා දෙන ලෙසට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ සමඟම එම පළාත් 07 විපක්ෂනායකවරු ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. මෙම වාර්තාව අනුව තමයි වැඩකටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඊට අමතරව මේවා ක්‍රියාත්මක කිරීමට අදාළව නීති රජයක් ලෙස අප යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් පත් කිරීම, ඔවුන් ඉවත් කිරීම පිළිබඳ පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳවද මෙහි අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධව පළාත් සභාවට අයත් බලතල සම්පුර්ණයෙන් පළාත් සභාවලට ලබාදීම. හා සෑම පළාතටම පළාත් අධ්‍යාපන මණ්ඩලයක් පත් කිරීම, වෘත්තීය හා කාර්මික පුහුණු ආයතන පිළිබඳ බලතල පළාත් සභාවලට ලබා දිම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ හැකියාව හා ඒ පිළිබඳ නීති සම්මත කිරීම, කෘෂිකර්මයට අදාළ බිම් මට්ටමේ සේවා සියලු පළාත් සභා මගින් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳ අවශ්‍ය රෙගුලාසි සම්මත කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම සෑම පළාතකටම සංචාරක මණ්ඩලයක් පත් කිරීම පිළිබඳ මෙහි ඇතුළත්වනවා. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට බොහෝ රටවල වැඩකටයුතු සිදු කරන්නේ පළාත් සභා මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ සංචාරක මණ්ඩලවලින් බව කිව යුතුයි.

IMG 20230727 WA0021ඒ වගේම ලක්ෂ 10කට වඩා ප්‍රාග්ධනයක් තිබෙන ව්‍යාපාර තමයි දැනට මහා ආණ්ඩුවේ නීතිවලට යටත්ව පවතින්නේ. එය අවම වශයෙන් මිලියන 250ක්වත් කිරීමට හෝ ඊට වඩා අවශ්‍යනම් එම සංශෝධන සිදු කිරීමට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් හැකියාව තිබෙනවා.

ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල යළි නිතියෙන් ඇති කිරීම පිළිබඳ මෙහි සාකච්ඡා කර තිබෙනවා. පළාත් සභාවලට අයත් විෂයයන් ගණනාවක් තවමත් පාලනය වන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ. ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙයට අමතරව පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. එහිදී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ පොලිස් ආඥා පනත අනුව බලතල කිසිවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. එහිදී අප පළමුව සිදු කළයුතු වන්නේ නව පොලිස් පනතක් ඉදිරිපත් කිරීමයි.

එසේම පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා අප වෙනම සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව පොලිස් බලතල හැර පළාත් සභා වෙත අනෙක් සියලු බලතල ලබාදීම පිළිබද සාකච්ඡා කර අදහස් ලබාගැනීමෙන් පසු, අවශ්‍ය නීති හා ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සියලුදෙනාගේ සහාය අපට අවශ්‍යයි.
අප පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යනවා නම් එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. පසුගිය වසර 10 -15 දෙස බැලූ විට පළාත් මට්ටමින් නිසි සංවර්ධනයක් සිදුව නැහැ. දිස්ත්‍රික් සංවර්ධන සභා තිබෙන සමයේ මීට වඩා වැඩ කොටසක් ඉටු වුණා. ආණ්ඩුවේ වගකීම වන්නේ ප්‍රතිපත්ති සකස් කර රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමයි. අනෙක් වැඩකටයුතු පළාත්වලට භාරදිය යුතුයි.

එසේම පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ පිළිබඳව ද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

අප කෙසේ හෝ මෙම ගැටලු විසදා ගත යුතුයි. මෙම ක්‍රමය සමඟ අපට තවදුරටත් ඉදිරියට යාමට හැකියාවක් නැහැ. එසේ නම් ලෝකයේ අනෙකුත් රටවල් මෙන් පළාත් සභාවලට බලය බෙදා දෙමු. දැන් පළාත් සභා 07ක කටයුතු කරගෙන යනවා. බලය ලැබුණා නම් තවත් වැඩ කළ හැකියි. ඒ නිසා මේ පිළිබඳ ඔබගේ අදහස් ලබාදෙන ලෙස මම යෝජනා කරනවා.

විශේෂයෙන් මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ඇමතිවරු තුන් දෙනෙක් පත් කර තිබෙනවා. සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒ පිළිබඳ සාකච්ඡා සිදු කරන අතර අගමැතිතුමත් එම කටයුතු සඳහා සහභාගි වෙනවා.

සති දෙක තුනකින් එම අදහස් අප වෙත ලැබෙනවා නම් ඉන් පසුව අවශ්‍ය නිති කෙටුපත් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් මෙම කමිටුවට සම්බන්ධ කර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස් බලතල ලබාදීම වෙනම සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ හැකියි. ඒ සමඟම පොලිසිය පිළිබඳ අප නව නීතියක් ගෙන එනවා. ඒ හා සමගාමීව තමයි මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට සිදු වන්නේ.
මෙම වගකීම් අප ඉටු කළ යුතුයි. ඒ සඳහා අප නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහිදී ඔබ සියලුදෙනාගේ අදහස් ලබාගැනීම සඳහා අද මෙම සාකච්ඡාව කැඳවනු ලැබුවේ. මෙම සාකච්ඡාවෙන් පසුව අදාළ කමිටුව සමඟ ද සාකච්ඡා කර සති තුන හතරකින් තීරණයකට පැමිණ අප මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරමු.

 මේ පිළිබඳ මගේ ස්ථාවරය මම ඔබට දැනුම් දුන්නා. ඒ වගේම එය කැබිනට් මණ්ඩලයටත් දැනුම් දී තිබෙනවා. මෙම කටයුත්ත මට තනිව කළ නොහැකියි. මට පාර්ලිමේන්තුවේ තිබන්නේ එක ඡන්දයයි. මෙය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම ඔබ සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටින්නේ.

ඒ වගේම මෙම කටයුතු සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට මට ජනවරමක් නැහැ. මට පමණක් නොවෙයි මීට පෙර සිටි ජනාධිපතිවරු 07 දෙනාට ද එම ජනවරම ලැබී තිබුණේ නැහැ. නීති සම්මත කිරීමේ ජන වරම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මට හැකියාව තිබෙන්නේ ඒවා ඉදිරිපත් කිරීමට පමණයි. අප මෙම යෝජනා ඉදිරිපත් කර අදහස් ලබා ගැනීමෙන් පසු නීති ඉදිරිපත් කරනවා.

මම ජනාධිපති ධුරයේ වගකීම භාරගත්තේ මේ රටේ තිබෙන ප්‍රශ්නවලට ඉතා කෙටි කාලයකින් විසඳුම් ලබාදීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය නිසියාකාරව ක්‍රියාත්මක කරනවාද, නැතිනම් එය සම්පුර්ණයෙන් අහෝසි කරනවාද කියා අප කඩිනමින් තීරණයකට පැමිණිය යුතුයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

බලය බෙදාහැරීමේ අරමුණ විය යුත්තේ දේශපාලන පක්ෂ ශක්තිමත් කිරීම නොව රටේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමයි. අද අපේ රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සාමූහික යම් ප්‍රයත්නයක් දැරිය යුතුයි. නැති නම් අනාගත පරපුර අප සියලුදෙනාට සාප කරාවි.

ව්‍යවස්ථාපිත බලය සැමවිටම භාවිතා කළ යුත්තේ දේශපාලන අරමුණු වෙනුවෙන් නොව රට සංවර්ධනය කිරීම සඳහායි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස දිය හැකි සහයෝගයක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා

කිසිම ජනාධිපතිවරයෙක් මෙම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. ඔවුන් මෙය ක්‍රියාත්මක නොකළේ ඇයි කියා අප පළමුවෙන්ම සොයා බැලිය යුතුයි. මෙය ක්‍රියාත්මක නොකිරීමට රටේ යම් කිසි ප්‍රශ්නයක් තිබිය යුතුයි.

මේ පිළිබඳ බුද්ධි අංශ තොරතුරුත් ලබාගෙන අවශ්‍ය පියවර ගන්න කියා අප යෝජනා කරනවා. මෙවැනි දෙයක් හදිසියේ එක්වර සිදු කරවාට වඩා විවිධ ජන කොටස්වල අදහස් ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවද මම සඳහන් කරන්න කැමතියි.

 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 

රටක සංහිඳයාව ශක්තිමත් කිරීම සඳහා එම රටේ ජීවත්වන සියලු පුරවැසියන් එක්සිත්ව සිටිය යුතුයි. එසේ නොමැති නම් ජාතික ආරක්ෂාවට පළමුවෙන්ම තර්ජනයක් එල්ල වෙනවා.

මට අද මෙම අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන අතර මෙම වැඩපිළිවෙළ සද්භාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් බව කිව යුතුයි. ඒ වගේම මෙය දේශපාලන උප්පරවැට්ටියක් නොවිය යුතුයි.

 ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව මෙම ධූරයට පත්ව සිටිනවා. පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් තමයි එතුමා ජනාධිපති ධුරයට පත් වුණේ. ඒ නිසා රජයේ වැඩපිළිවෙළ අප දැනගත යුතුයි.රජයක් තුළ පරස්පර විරෝධතා තිබෙන්න බැහැ. රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළේදී අප එක මතයක සිටිය යුතුයි. ඒ වගේම මෙම වැඩපිළිවෙළ විනිවිදභාවයකින් යුතුව ඉදිරියට ගෙන යා යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම 

මෙතන සිටින විපක්ෂයේ බහුතරයක් දේශපාලන පක්ෂ ඔබතුමාගේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණියේ යම්කිසි සැකයක් තුළයි. මෙම වැඩපිළිවෙළ සිදුකරන්නේ සද්භාවයෙන් ද යන සැකය අපට තිබෙනවා. බලය බෙදා හැරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අපගේ මුද්‍රාව ලබාගැනීමට දෝ කියන සාධාරණ සැකය අපට තිබෙනවා. අපට තිබෙන මෙම සැකය නැති කරන්න හැකියාව තිබෙන්නෙත් ඔබතුමාටමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ

අද ඉදිරිපත් කළ යෝජනාවලට අදාළ ඔබතුමාගේ ප්‍රවේශය ඉතා හොඳයි. ඊට විරුද්ධ වීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. නමුත් අපට පැහැදිළි කර ගැනීමට අවශ්‍ය වන්නේ මෙය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවලියක්ද, නැත්නම් වත්මන් ආණ්ඩුවේ යෝජනාවලියක් ද යන්නයි. මොකද පොදු ජන පෙරමුණේ ලේකම්තුමාගේ කතාවෙන් පසුව අපේ හිතේ තිබූ සැකය ටිකක් වැඩි වුණා.

ඒ නිසා ඔබතුමා පළමුව මෙය ආණ්ඩුවේ යෝජනාවක් බවට පත් කරගන්න. ආණ්ඩුවේ වැඩපිළිවෙළක් බවට පත්කරන්න. එම කෙටුම්පත අපට ඉදිරිපත් කරන්න. අප එය මුල් කරගෙන පුළුල් සාකච්ඡාවකට එකඟයි. ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ.

විශේෂයෙන්ම අපේ අගමැතිතුමා සහ කතානායකවරයා දෙපසින් තබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම පිළිබඳ අපට සතුටුයි. මොකද මම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. ඒ වෙනුවෙන් මැරුම් කෑ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. අදටත් බලය බෙදීම පිළිබද අපේ ස්ථාවරය අඹමල් රේණුවකින්වත් වෙනස් වී නැහැ. මේ පළාත් සභා පිළිබඳ තිබෙන නරක චිත්‍රය වෙනස් කළයුතුයි. එම නිසා ඔබතුමා ඉදිරිපත් කළ යෝජනාවලියේ “ඕ” හි අවසන් කරුණ ලෙස සඳහන් වෙනවා උතුරු සංවර්ධන සැලැස්ම පිළිබද. ඒ පිළිබද අවධානය යොමු කළ හැකිනම් එය ඉතා වැදගත් කාරණයක්. එම ජනතාව ඉල්ලා සිටින්නේ පොලිස් බලතල, ඉඩම් බලතල නොවෙයි, ඔවුන් ඉල්ලා සිටින්නේ කුඹුරට වතුර ටික, ජිවත්වීමට ක්‍රමවේදයක් සහ දරුවන්ට අධ්‍යාපන අවස්ථාවන් ඇතුළු මේ සංවර්ධන සැලැස්මයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 

ආණ්ඩුකම ව්‍යස්ථාවේ 13 වන සංශෝධනය ගෙන එන අවස්ථාවේදී හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා දුන් තීන්දුවේ සඳහන් වෙනවා “13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුනකි. එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාව නමැති ඉතා දුර්වල රැහැන් පටවලිනි. මෙම රැහැන් පට කැපුනොත් තමයි අපට ඇත්ත පින්තූරය පේන්න පටන් ගන්නේ” යනුවෙනි. අප මේ රැහැන් පට කපන්නේ නැතිව තමයි අවුරුදු ගණනක් පැමිණ තිබෙන්නේ. දැන් ඔබතුමා මේ යෝජනා කරන්නේ එම රැහැන් පට කපා දැමීම පිළිබඳව. එය ඉතා බරපතළ කාරණයක්.
ඒ වගේම රටේ ඒකීයභාවයට හානියක් නොවන පරිදි සංහිදියාව සහ සහජීවනය ඇති කිරීමට අප සතු යෝජනා කිහිපයකුත් තිබෙනවා. එය මම ලිඛිතව ඔබතුමාට භාරදෙනවා.

 පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් 

ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි බලය බෙදීමේ අරමුණ පළාත් සභා මට්ටමින් නියෝජිතයන් වෙත බලය පැවරීමයි. කෙසේ වෙතත්, මේ වන විට, රටේ පළාත් සභා නවයෙන් එකකවත් තේරී පත් වූ නියෝජිතයන් නැහැ. ඒ නිසා බලය බෙදීම පිළිබඳව කෙරෙන සාකච්ඡා අර්ථ විරහිත බව කිව යුතුයි. එබැවින් මෙහිදී ප්‍රධාන කරුණ විය යුත්තේ පළාත් සභාවල නිසි ලෙස මහජන නියෝජනයක් සිදුවන අයුරින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්

අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කාරක සභාවක් ඇති කිරීම සම්බන්ධයෙන් මා මීට පෙර පැවති සාකච්ඡාවේ දී කරුණු පෙන්වා දුන්නා. ඒ අනුව කලින් පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම නිර්දේශ කළා. නිසි සීමා නිර්ණය සමඟ මිශ්‍ර ක්‍රමයකට අවසානයේ යොමු වීමට සුදුසු නීති සම්පාදනය කිරීමට කමිටුව වෙත තවදුරටත් යෝජනා කළා.

අර්ථාන්විත බලය බෙදාහැරීමක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී කළ ඒකාබද්ධ ප්‍රකාශ පිළිබඳවද මම අවධානය යොමු කිරීමට කැමතියි. කෙසේ වෙතත් එම පක්ෂයේම මහලේකම්වරයා ව්‍යකුලත්වයක් ඇති කරමින් බලය බෙදීම පිළිබඳ වෙනත් ස්ථාවරත්වයක් ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණක් බව කිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ අන්තර්ගතව තිබූ බලතල බොහෝමයක් මේ වන විට අපට අහිමි වී තිබෙනවා. පළාත් සභාවෙන් ඉවත් කර ඇති එම බලතල යළි ලබා දෙන ලෙස ඉල්ලා අප ජනාධිපතිතුමාට ලිපියක් ඉදිරිපත් කළේ මේ නිසයි.

අපගේ ඉලක්කය වන්නේ මැතිවරණවලට පෙර 13 වන ව්‍යවස්ථා සංශෝධනය දැන් තිබෙන තත්ත්වයට වඩා ශක්තිමත් කර ගැනීමයි. එබැවින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම පිලිබඳ අවධානය යොමු කිරීම සැබෑ ලෙසම පළාත් සභා ශක්තිමත් වීමක් වෙනවා.

 පූජ්‍ය අතුරලියේ රතන හිමි, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරතුංග, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු මෙහිදී අදහස් දැක්වූහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු සහ විවිධ පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230727 WA0022

කැලණිය ට නව උපකුලපතිනියක්

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා  නැවත පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ , අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක් සඳහායි.

ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

පැපුවා නිව් ගිනියාවේ සිට පැමිණෙන අතර තුර ඔහු සිකුරාදා (ජූලි 28) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව එම වාර්තා සදහන් කරයි.

ඒ අනුව, ඔහු සෙනසුරාදා (ජූලි 29) උදෑසන දක්වා මෙරට රැඳී සිටිනු ඇතැයි එම වාර්තා සඳහන් කර ඇත.

එම කෙටි සංචාරයකදී ප්‍රංශ ජනාධිපතිවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව ද වාර්තා වේ.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරට ය.

මෙම සංචාරය පිළිබඳව ප්‍රංශ ජනාධිපතිවරයා පෙර දැනුම් දීමක් සිදු කර නොමැති බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

උතුරට අලුතින් සංචාරක දුම්රියක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 04 වෙනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (25) පැවසීය.

එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වී සෙනසුරාදා අලූයම 6.00 ට කන්කසන්තුරේට ළඟා වන බවත් ඉරිදා රාත්‍රී 10:30 ට කන්කසන්තුරෙන් පිටත්ව එම දුම්රිය සඳුදා අලුයම 6.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අධි සුඛෝපභෝගී දුම්රියේ ආපනශාලා ඇතුළු සියලුම පහසුකම් ඇති බවත් එම දුම්රියේ ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත ධාවනයට

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරිමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත.

ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම් දීම ඊයේ (ජූලි 24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

වසර තුනකට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම බස් රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබා දීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට ඩිපෝ වෙත භාරදීමට නියමිත ය.

බිත්තර පාලන මිල ඉවතට.....

බිත්තර සඳහා පනවා ඇති පාලන මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ දුබුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් නියම කර තිබුණි.

පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

මේ අතර, ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට මුදා හැරීමට ද මේ වනවිට අවසර ලබා දී ඇති අතර ඒ තුළින් වෙළෙඳපොළ තුළ තරගකාරී මිලක් තීරණය වීමට ඉඩ හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

හිටපු ජනපති මෛත්‍රීට සභාපති ධූරයක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධූරයට පත්ව තිබේ.

කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වූ විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනමා ඇත.

ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුළුවෙන් පසු ජාත්‍යන්තර සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර එහි ප්‍රධාන අරමුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය හඳුනා ගැණිනි. ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරති.

විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික, සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේ ලා සැලකෙන සංවිධානයකි. එහි මූලස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්‍යන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනැමුනු අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇතුළු විශේෂ නියෝජිතවරුන් සහභාගිවී සිටියහ.

බිත්තර කිරා විකිණීම අවසන් ?

බිත්තර කිලෝග්‍රෑම් ලෙස අළෙවි කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට සහ සතොස අළෙවිසැල්වලට නිකුත් කිරීමෙන් පසුව පාලන මිල කාණ්ඩ දෙකක් අවශ්‍ය නොවන බවත් ඒ හේතුවෙන් එක් ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අවදානය යොමු වී ඇති බවය.

පාරිභෝගික කටයුතු අධිකාරිය සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක උපරිම මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් ඇත.

සංහිඳියා වැඩපිළිවෙල ගැන කියන්න සර්ව පාක්ෂික සමුළුවක් !

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතය.

මේ සම්බන්ධව කෙටි පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එළඹෙන 26 වනදා එය පැවැත්වෙන බවය.

එසේම මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මේ වන විටත් ඒ සඳහා ආරාධනා කිරීමට ජනාධිපති කාර්යාලය කටයුතු කර ඇති බවත් එහි සඳහන් කර ඇත.

ජයන්ත කැටගොඩගේ කෙටුම්පත සම්මත කිරීම පහසු නොවේ !

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම් දීම සිදුකර සිටියේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් අද (24) යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදීය.

නව සංචාරක උපාය මාර්ගය Visit Sri Lanka ළඟදීම !

රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන 'Visit Sri Lanka' ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති Bocuse d'Or 2023 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාව නිර්මාණ කිරීම Bocuse d'Or 2023 තරගය මගින් සිදු වේ.

Bocuse d'Or 2023 තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතින් සිදු විය.

ඉන්දියාවේ ඇස්තමේන්තු පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්, ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයින් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වයක් ඇති, ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බැවින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ‘Dilmah Tea’ හි නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අභාවප්‍රාප්ත මෙරිල් ජේ. ප්‍රනාන්දු  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉටුකළ මෙහෙවර ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

අද මෙම සභාවේ හිස් තැනක් තිබෙනවා. එය අප සියලුදෙනාටම දැනෙනවා. මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ මෙරිල් ප්‍රනාන්දු  නොමැතිව අද අප මෙහි හමු වන්නේ පළමු වරටයි.

ඔහු මෙරට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ඉටු කළ කාර්යභාරය අපට අමතක කළ නොහැකියි. මම 2002 වසරේ අගමැතිවරයා ලෙස සිටින සමයේ ඒඩ්‍රියන් සේගා මෙරටට පැමිණි අවස්ථාව මට මතකයි. අපේ සංචාරක ව්‍යාපාරය පුළුල් කරන්නේ කෙසේද කියා ඔහු කතා කළා.

ඒ වගේම මෙරටට පැමිණි ජෙෆ්රි ඩොබ්ස්, බුටික් හෝටල් සංකල්පය පිළිබඳ කතා කළා. මෙම බුටික් හෝටල් සංකල්පය හරහා මෙරට වැවිලිකරුවන්ගේ “බංගලා”, බුටික් හෝටල් බවට පත් කරන්නේ කෙසේද යන්න කතා කිරීමට පටන් ගත්තා. මෙරිල් ක්‍ෂේත්‍රයේ නොසිටියත් එය අනුගමනය කළා.

ඉන්පසුව මම මැතිවරණයෙන් පරාජය වුණා. නැවත බුටික් හෝටල් බලන්න හැකිවෙයි කියා මම හිතුවේ නැහැ. දවසක් මෙරිල් ඇවිත් මට කිව්වා “මම ‘Tea Trails’ පටන් ගන්නවා” කියලා. ඔහු මට මුලින්ම බුටික් හෝටලයකට ආරාධනා කළා. අප සියලුදෙනාට ආඩම්බර වියහැකි ප්‍රමිතියකින් ඔහු එය ස්ථාපිත කර තිබුණා. එබැවින් ඔහු මෙරට තේ කර්මාන්තයට පමණක් නොවෙයි, සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ද ලබාදුන් දායකත්වය අපට අමතක කළ නොහැකියි. ඔහු කල්කුඩාවේ සූපශාස්ත්‍ර පාසලක් ද ආරම්භ කළා.

මම හිතන්නේ දේශපාලනඥයෙක් ලෙස මම වාසනාවන්තයි. අවුරුදු 40ක් තිස්සේ මම රට වටේ යන විට විවිධ කෑම වර්ග භූක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා . ඊයේ මම අනුරාධපුරයට ගියා. අපට ඉතා රසවත් වැව් මාළු ව්‍යංජනයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුණා. කාලයකට පෙර මට ත්‍රිකුණාමලයේ රසවත් බුරියානියක රස බලන්න ද ලැබුණා.

හෝටල්වලින් පිට සනීපාරක්ෂක පහසුකම් එතරම් හොඳ මට්ටමක නොතිබූ මීට වසර 40කට පමණ පෙර සිදුවීමක් මට සිහිපත් වෙනවා. අප දවසක් බටහිර වෙරළ තීරයේ හොඳම කකුළුවන් ව්‍යාංජනය තිබූ කල්පිටිය අවන්හලක් වෙත ගියා. මමත් සමඟ තවත් කිහිප දෙනෙකු මේ සඳහා එක්ව සිටියා. ඇත්තමට ඒ කකුළුවන් ව්‍යාංජනය ඉතා රසවත්. අනතුරුව අප මුහුදු පැලෑටි ජෙලි එකක් කෑමට ගත්තා. මෙම මුහුදු පැළෑටි ජෙලි පෘතුගීසීන්ගේ වට්ටෝරුවක් අනුව මුස්ලිම් කාන්තාවන් විසින් පිසිණු ලැබූවක්. ඉතින් කල්පිටියට ගියොත් මුහුදු පැළැටි ජෙලි හදන ආකාරයත් ඉගෙන ගන්න පුළුවන්.

මම ආහාර ගෙන එතැනින් පිටතට ඒමට පෙර ඔවුන්ගෙන් ඇහුවා “ඇයි සුදු මේස රෙද්දක් නැතිව කහ පැහැති රෙද්දක් දාලා තියෙන්නේ” කියලා . ඔවුන් මට කිව්වේ මේස රෙදි කාලෙකින් ලොන්ඩරියට දැම්මේ නැහැ කියලා. ඉතින් මෙම අවදානම තිබුණත් මෙම අත්දැකීම් ලබා ගැනීම වැදගත් වෙනවා.

අප දැන් රටක් ලෙස අලුත් ගමනක් යා යුතුයි. අප බංකොලොත් භාවයෙන් මිදීමෙන් පසු අපට ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ හැමදේම පහසුවෙන් ලබාගත නොහැකියි. ඇතැම් ණය ආපසු ගෙවීමේ දී කොන්දේසි තිබෙනවා. මෙම මුදල් උපයා ගැනීමට හැකි අයුරින් අපගේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගත යුතුයි.

අපේ රටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් මිලියන 2.5 ප්‍රමාණවත් වන්නේ නැහැ. අප දැන් වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කරගෙන සිටිනවා. ඉන් මිලියන 2.5ක් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් විය යුතුයි.ඉන්දියානු ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයින් මිලියන 10ක් පමණ ගෙන්වා ගත හැකි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආසියාවෙන් සහ ඉන්දියානු සාගර කලාපයෙන් පැමිණෙන සංචාරකයන්. එබැවින් සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද මෙම තරගයට සහභාගී වූ මෙහි සිටින තරුණ තරුණියන් අතරින් බොහෝ පිරිසක් තවත් වසර තුනකින් පමණ ශ්‍රී ලංකාව හැර යාමට ඉඩ තිබෙනවා. ඔවුන් මෙරට රඳවා ගැනීමට නම් මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුපවත් ඔවුන්ට ගෙවිය යුතුයි. ඔවුන්ට මාලදිවයිනේ හෝටල්වල ගෙවන වැටුප ලබාදීමට නම්, ඔබ මාලදිවයිනේ හෝටල්වලට සමාන මුදලක් අය කළ යුතුයි. එසේ අය කිරීම සඳහා, ඔබ එම හෝටල්වල ලබාදෙන සේවාව ලබාදිය යුතුයි.

අප ඉලක්ක කරන මිලියන 05ක හා මිලියන 10ක සංචාරකයන් දෙස බැලීමේ දී, ඒ අතර විවිධ වර්ගයේ සංචාරකයින් සිටිය හැකියි. සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරයක් සඳහා අපේ රටට හොද පසුබිමක් තිබෙනවා. අපේ සංචාරක ක්ෂේත්‍රය තුළ සූපශාස්ත්‍ර සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරන්නේ නම් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ආසියාවෙන් අපේ රටට පැමිණෙනවා. අප ඒ පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.
ඒ සඳහා අප වැඩි වශයෙන් කාර්ය මණ්ඩල පුහුණු කළ යුතුයි. ඒ සඳහා අප සූදානම් විය යුතු අතර හෝටල් පාසල් වැඩිදියුණු කිරීම සඳහා ද අප අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් සූපශාස්ත්‍ර පාසලක් ආරම්භ කිරීමට ද රජය බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව තනිව මේ සියලු දේ කරන තුරු බලා නොසිටිය යුතුයි. මේ සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍යයි. ඒ වගේම දැනට විවිධ ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික සුපශාස්ත්‍ර පාසල් ක්‍රියාත්මක වෙනවා. ඒ අයටත් සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව අප සොයා බලනවා.

අප Visit Sri Lanka නමින් නව සංචාරක සැලැස්මක් මෙම අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දී එළිදැක්වීමට අපේක්ෂා කරනවා. එම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම කටයුතු අවසන් වූ වහාම එය එළිදැක්වීම අපේ අරමුණයි.

මෙම තරගය සංවිධානය කළ සහ දීර්ඝ කාලයක් පුරා මෙය පවත්වාගෙන එන ඔබ සියලුදෙනාට මම ස්තූති කරනවා. ඒ වගේම මෙම තරගය සංවිධානය කිරීම පමණක් නොව හොඳ සූපශාස්ත්‍ර පාසලක් ස්ථාපිත කිරීමට ඔබ අපට සහාය වනු ඇතැයි ද මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබ සියලුදෙනාට සුබපතනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොං ෆ්‍රැන්සුවා, , Bocuse d'Or ශ්‍රී ලංකා සභාපති රොහාන් ප්‍රනාන්දුපුල්ලේ, ඩෙල්මා තේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230724 WA0013

කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ සූදානමක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පැවසීය.

ඊට අදාළ කෙටුම්පත සකස් කිරීම මෙන්ම ශක්‍යතා අධ්‍යයනය සිදු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහි මූලික කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

වැවිලි කේෂ්ත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් බවත්, එයට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු අවශ්‍යතා සපුරාලීමට අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මීට වසරකට පෙර පැවති පොහොර හිඟය නිසා වැවිලි හා කෘෂිකාර්මික කේෂ්ත්‍ර දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. මේ හේතුවෙන් තේ කර්මාන්තය ඇතුළු අනිකුත් වගාවන් ද යම් කඩාවැටීමකට ලක් වුණා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය භාර ගැනීමෙන් අනතුරුව ගොවීන්ට නිසි පරිදි පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. එම නිසා මේ වන විට ගොවීන්ට අවශ්‍ය පොහොර ක්‍රමානුකූලව ලැබෙමින් පවතිනවා.

තේ, පොල්, රබර් ඇතුළු අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය සියලුම පොහොර වර්ග මේ වන විට තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළේ තිබෙනවා. ඒ වගේම රටවල් කිහිපයක පසුගිය කාලය තුළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය පොහොර මිල ගණන් මේ වන විට අඩු වෙමින් තිබෙනවා. කෙසේ වුවත් ගොවි ජනතාවට පොහොර නිසි වේලාවට ලැබීම හේතුවෙන් රටක් විදිහට දැන් කෘෂිකාර්මික හා වැවිලි කේෂ්ත්‍රයේ යම් ඵලදායීතාවක් පෙන්නුම් කරන බව පැවසිය යුතුයි.

2022 වසරේදී නිමි තේ නිෂ්පාදනය පැවතුණේ කිලෝ මිලියන 251ක් ලෙසයි. නමුත් මේ වසර අවසන් වන විට නිමි තේ කිලෝ මිලියන 280ක ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

පසුගිය වසරේ නිෂ්පාදනය අඩු වීමත් සමඟ තේ මිල විශාල ලෙස ඉහළ ගියා. වර්තමානය වන විට රුපියල ශක්තිමත් වීම නිසා තේ මිල ඊට සාපේක්ෂව අඩු වී තිබෙනවා. ලෝක තත්ත්වයන් මත, රුසියානු - යුක්‍රේන යුදමය වාතාවරණය නිසාත්, අපේ ප්‍රධාන ගැනුම්කරුවන් වන ඉරානය, ලිබියාව, සිරියාව වැනි රටවල පවතින සිවිල් ගැටුම් නිසාත් තේ අපනයනයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඒ වගේම ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීම වෙනුවෙන් ගෙවීමට තිබෙන ඩොලර් මිලියන 500කට ආසන්න මුදල වෙනුවට, තේ සැපයීම සඳහා පසුගියදා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මේ අනුව අදාළ මුදලේ වටිනාකමට සරිලන ලෙස තේ ලබාදීමට කටයුතු කරනවා. 'තෙල් වෙනුවට තේ' යන සංකල්පය යටතේ ඉරාන වෙළෙඳපොළට ශ්‍රී ලංකා තේ නැවත අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. මේ නිසා පසුගිය කාලයේ යම් ප්‍රමාණයකට අපෙන් ගිලිහුණු ඉරාන වෙළෙද පොළට නිමි තේ අපනයනය යළි වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම රබර් අපනයනයෙන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඊට වැඩි ආදායමක් 2021 වසරේදී ඩොලර් බිලියන 1.1ක් ලෙස ලැබුණා. ඒ කොවිඩ් සමය තුළ ලෝක වෙළෙදපොළේ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් ලැබුණු නිසයි. රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් මේ වසරේදීත් ඩොලර් මිලියන 900ත් ඩොලර් බිලියන 1ත් අතර ආදායමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

ලෝක ආර්ථික අපගමනයත් සමඟ සියලු අපනයන භාණ්ඩවල යම් අඩු වීමක් තිබෙනවා. ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කරන ආකාරයට තෙවැනි කාර්තුවෙන් පසුව එය නැවත සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනු ඇතැයි විශ්වාස කළ හැකියි. මේ නිසා ඉදිරි කාලයේදි නැවත වැවිලි බෝගයන්හි අපනයන ඉලක්ක සඳහා පිවිසීමට හැකියාව ලැබෙනවා.

මෑත කාලයේදී තේ සහ රබර්වලට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදනවල ද වැඩි වර්ධනයක් දක්නට ලැබෙනවා. 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදීත්, ඊට සාපේක්ෂව 2022 වසරේදීත් ආසන්න වශයෙන් වෙළෙදපොළ 15% - 20%ත් අතර ප්‍රමාණයකින් ප්‍රසාරණය වී තිබෙනවා. විශේෂයෙන්ම සක්‍රීය කාබන් නිෂ්පාදනය කරන පොල් කටුවලට, වගාවන් සඳහා යොදන කොහුබත්වලට, පොල්තෙල්, පොල් කිරි හා පිටි කළ පොල් සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් තිබුණා.

ඒ අනුව 2022 වසරේදී පොල් ආශ්‍රිත නිශ්පාදන මගින් ඩොලර් මිලියන 836ක අපනයන ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. මේ වසරේදීත් ඊට ආසන්න අගයකට ළඟා විය හැකියි. ඉදිරි වසර පහ ඇතුළත පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 – 2.00ක් දක්වා වැඩි කර ගැනීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.

මීට අමතරව දැනට පවතින නීතිය අනුව කැබලි කිරීමට හැකි වන්නේ අක්කර 10කට වැඩි පොල් ඉඩම් පමණයි. රටේ පොල් කර්මාන්තය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව අක්කරයකට වඩා වැඩි පොල් ඉඩම් ද කැබලි කිරීමට විශේෂ අවසරයක් ලබාගත යුතු බවට නීතියක් ඉදිරියේදී ගෙන එනවා. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත යළි පසුවිපරමක් සිදු කිරීමටද බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පොල් ගස ද “ගස් හෙළීමේ පනතට” දැනටමත් ඇතුළත් කර තිබෙනවා. මීට පෙර එම පනතට ඇතුළත් කර තිබුණේ කොස්, දෙල් සහ ගැහැණු තල්ගස පමණයි. ඉදිරියේදී පොල් ගස් දෙකකට වඩා කපා ඉවත් කරනවා නම් ග්‍රාම නිලධාරි මහතාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය ලබාගත යුතුයි කියන නීතියත් ක්‍රියාත්මක කරනවා. මීට අමතරව මේ වසරේ ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් කුරුඳු ඇතුළු අනිකුත් කුළු බඩු අපනයනය කිරීමෙන් උපයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයටත්, කෘෂිකර්මාන්තයටත් අදාළ සියලුම පර්යේෂණ ආයතන ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට නව යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙයට අදාළ මූලික කෙටුම්පත මේ වන විට සකස් කර තිබෙනවා. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක්. දැනට කෘෂිකර්මාන්ත සහ වැවිලි අංශවලින් ශක්‍යතා අධ්‍යනයක් ද සිදුකර තිබෙනවා. මෙහි මූලික කටයුතු මේ වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේ වැවිලි කර්මාන්ත කේෂ්ත්‍රයට බලපෑ පසුගාමී තත්ත්වයන් අවම කරගෙන ඉදිරි කාලයේදී වඩාත් ශක්තිමත්ව ඉදිරියට යෑමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. වැවිලි කේෂ්ත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන්න රජයක් විදිහට සූදානම්. එයට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු අනෙක් කාරණා වෙනුවෙන් අමාත්‍යාංශය ලෙස මැදිහත්ව කටයුතු කරනවා.

ආනයනික බිත්තර රුපියල් 35කට සතොසෙන්

රුපියල් 35.00ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු  පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරි සතිය තුළ අදාළ බිත්තර සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවය.

ආනයනික බිත්තර මෙතෙක් වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සිදුනොවූ අතර බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර තිබේ.

 ඒ අනුව සතොස සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ආනයනික බිත්තර නිකුත් කිරීමට මේ වන විට තීරණය කර ඇති බව වාර්තා වේ.

දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කළේය.

'මූල්‍ය විනයක් සඳහා ශක්තිමත් නියාමන අධිකාරියක් අවශ්‍යයි'- ඉරාන්

මූල්‍ය විනයක් තිබෙන්නට නම් ශක්තිමත් නියාමන අධිකාරියක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අවධාරණය කර

සිටියි.

බැංකු මෙන් මූල්‍ය ආයතන ද මහ බැංකුවට නියාමණය කළ නොහැකි නම් ඒ සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන්නැයි ඔහු ආණ්ඩුවට යෝජනා කර සිටියි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ග්‍රහණයෙන් දුප්පත් ජනතාව මුදා ගැනීමට වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඔහු මෙම කාරනා සඳහන් කර සිටියේ, බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව සිකුරාදා පැවති පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගී වෙමිනි.

'' ජනතා මිත්‍රශීලී පනත්වලට විපක්ෂයේ සිටම සහාය දෙනවා''

'' ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවතියේ රජය ගෙන එන අණ පනත්වලට විරුද්ධවන විපක්ෂයක්.. එහෙත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය රජය ගෙන එන හොඳ හා ජනතා මිත්‍රශීලී පනත්වලට විපක්ෂයේ සිටම සහාය දෙනවා. රජයට විපක්ෂය සහාය දෙනවා කියන්නේ එයයි. ඒ සඳහා පදවි තානාන්තර අවශ්‍ය නැහැ. දූෂණ විරෝධී පනත හා බහ බැංකුව ස්වාධීන කරන පනතටත් විපක්ෂය සහාය දුන්නා පමණක් නොව අවශ්‍ය සංශෝධන ද ඉදිරිපත් කළා'' යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

බැංකු ශක්තිමත් කිරීමට මහ බැංකුවට බලය දීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. බැංකු අධීක්ක්ෂණයේ දී බැංකුවක් පාඩු ලබන තත්ත්වයක් උදා වන විට එම බැංකුව පවරා ගැනීමට හෝ වෙනත් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට මෙම පනත මගින් මහ බැංකුවට බලය පැවරීම අපි පිළිගන්නවා.

මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකු නොවන මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අළලා ගැටලු රාශියක් පසු ගිය කාලය පටන් උදා වුනා. මහ බැංකුව මූල්‍ය ආයතන පාලනය කිරීමට තිබෙන බලතල නිසියාකාරව භාවිත නොකරන්නේ නම්, රජය ඒ සඳහා වෙනම අධිකාරියක් පත් කළ යුතු යැයි වික්‍රමරත්න මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

1988 වසර සිට 1992 දක්වා මූල්‍ය ආයතන 18 ක් යට ගියා, 2008, 2010 සහ 2018 වසර වලදීද පෞද්ගලික මූල්‍ය ආයතන කිහිපයක් වසා දමන්නට සිදු වුණා. 2019 වසරේ දී ඇතැම් මූල්‍ය ආයතන තැන්පතු භාරගැනීම අත්හිටවන තහනම් නියෝග නිකුත් කළා. බැංකු නොවන මූල්‍ය සමාගම් පාලනය කිරීමේ අවශ්‍යතාවය මෙමගින් ඔප්පු වෙනවා.

බැංකු මෙන් මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිසියාකාරව නියාමනය කිරීම මහ බැංකුව විසින් නිසි ලෙස සිදු කළ යුතුයි. එසේ නැතිනම් ඒ සඳහා වෙනත් ආයතනයක් පිහිටුවන ලෙස මන්ත්‍රීවරයා රජයට යෝජනා කළේය.

ෆිට්ච් ශ්‍රේණිගතකිරීම මගින් ලංකාවේ මූල්‍ය ආයතන ගණනාවක්ම 2022 වසරේ දී ශ්‍රේණි පහළට දැමුවේ ද මෙම පසුබිම හේතු කරගෙන බව වටහා ගත යුතුයි. මූල්‍ය විනයක් තිබෙන්නට නම් ශක්තිමත් නියාමන් අධිකාරියක් අවශ්‍යයි.

සමීක්ෂණයකට අනුව ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 507 ක් පමණ තිබෙන බව වාර්තා වී ඇති අතර ඔවුන් 225 % ක අධික පොළි අය කළා, පසුව එදා රජය පොළිය 30 % ක් විය යුතු යැයි සීමාවක් පැනැව්වා.

ලිංගික හිංසනවලට මුහුණ දිය නොහැකිව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබූ කාන්තාවන් 200 ක් පමණ දිවි නසා ගෙන තිබුණා. මෙම ආයතන දුප්පත් කාන්තාවන්ගේ මර උගුලක් වූ බව පසු ගිය කාලයේ ඔප්පු වුණා. නියාමන ක්‍රියාමාර්ගවල රාජ්‍ය අංශයේ උදාසීනත්වය සහ අසාර්ථකත්වය හේතුවෙන් 2018 වසරේදී පමණක් රුපියල් මිලියන 500ක් වැය කර රජයට මැදිහත් වීමට සිදු විය. එවැනි විනාශයකට වගකිව යුත්තේ කවුද?

මංගල එදා කියපු කතාව

එවැනි පළමු සහනය ප්‍රකාශයට පත් කරමින් 2018 දී එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙසේ පැවසීය.

'' මූල්‍ය සමාගම්වලින් සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබාගෙන 2018 ජූනි 30 වැනි දිනට මාස 3ක හිඟ මුදල් ඇති කාන්තාවන් 75,000 කට රුපියල් 100,000ක සීමාවක් දක්වා ණය සහන හිමිවේ. මෙම ණය සහන උතුරු නැගෙන හිර ඇතුළු දිස්ත්‍රික්ක 12 ක ජනතාවට හිමි විය. අපේ රාජ්‍ය බැංකු දෙකෙන් විශාල පරිමාණයෙන් ණය ලබා ගෙන ගෙවල නැතිව බොල් ණය ලෙස කපා හරින ලද මුළු මුදල මෙම දුප්පත් ජනතාව වෙනුවෙන් කපා හරින ලද ණය වලට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි ය. වර්තමානය වන විට ණය ප්‍රශ්න ඉතා උග්‍ර වී ඇති බැවින් රජය මේ දුප්පත් ජනතාව මූල්‍ය ආයතනවල ග්‍රහණයෙන් මුදා ගැනීමට වහා යම් පියවරක් ගත යුතුයි'' යැයි හෙතම අවධාරණය කළේය.

එහෙත්, මේ රජය සුරක්ෂිත රටක් හදන්න යැයි බලය අරගෙන පසුව අප්පච්චිලා, බාප්පලා පුතාලා සියල්ල රට බංකොලොත් කරන්න අත ඉස්සුවා. රාජපක්ෂ උපකාරක පන්තියෙන් භාගෙට දේශපාලනය ඉගෙන ගෙන, කබ්රාල්ගෙ ටියුෂන් එකෙන් භාගෙට ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන දැන් වික්‍රමරත්න ටියුෂන් පන්තියෙන් උපාධි ගන්න යනවා රට බංකොලොත් කරපු කට්ටිය. මෙහි අවසන් විපාකය සියල්ල අහිමිවූ ජනතාවට රජයේ රෝහල්වලින් දෙන බෙහෙත් පෙත්ත නිසා මර බිය හට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කථානායක අසුනට වතුර විසිකරලා සෙංකෝලය උස්සලා මිරිස් කුඩු ගහපු ඉතිහාසයයි එදා විපක්ෂයට තිබුනේ. එහෙත් ස.ජ.බ ය වරදට වැරදියි කියනවා, නිවැරදී දෙයක් නම් එය නිවැරදි යැයි නිර්භීතව එයට සහාය දෙනවා.

මහ බැංකු පනත පරිදි අට දෙනෙකුගේ ගණපූරණය සහිතව මුදල් මණ්ඩලයට 11 දෙනෙක් සිටිය යුතුයි රජය යෝජනා කර තිබුණා. එය සංවේදී තොරතුරු කාන්දු කිරීම හරහා දූෂණයට මග පාදන්නට ඉඩ තිබෙන බැවින් සාමාජික සංඛ්‍යාව අටට අඩු කරන ලෙස යෝජනා කළ විට ගනපූරණය තව දුරටත් අටක්ව තිබිය යුතු යැයි නීතිපති උපදෙස් දුන්නා යැයි රජයේ පාර්ශ්වයෙන් පැවසුවා. මුළු සංඛ්‍යාව අටට අඩු කරන කොට ගනපූරණය අටට වඩා අඩු කළ නොහැකි යයි කීම උම්මත්තක ක්‍රියාවක් නොවේ ද යැයි ඉරාන් වික්‍රමරත්න විමසිය. රටට හොඳම නීති ගෙන එන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන විපක්ෂය ස්වාධීන මහ බැංකුවක් වෙනුවෙන් පෙනීසිටින විට හත් දෙනෙකුගේ කමිටුවක අට දෙනෙකුගේ ගනපූරණය තිබිය යුතුයි යන බොළඳ කතා කීයමින් රජය විපක්ෂයේ සහාය ඉල්ලන්නේ කෙසේ ද යැයි ඉරාන් වික්‍රමරත්න ප්‍රශ්න කළේය..

පූජාභූමි සංවර්ධනය සඳහා නව සැලසුමක්

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා නව නීති පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මහා විහාර සහ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම මෙන්ම මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා කැපවූ කමිටුවක් ස්ථාපිත කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

එළවළු බීජ ආනයනය ගැන දැඩි තීරණයක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින් නතර කිරීම සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් අරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින්ම නැවැත්වීම ඉලක්ක කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය එළවළු බීජ නිෂ්පාදනය අරඹා තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  දැනට එළවළු බීජ අවශ්‍යතාවයෙන් පතෝල සියයට 100ක්, මෑකරල් සියයට 93ක්, කරවිල සියයට 89ක්, වම්බටු සියයට 79ක්, බෝංචි සියයට 64ක්, බණ්ඩක්කා සියයට 61ක්, මාළු මිරිස් සියයට 44ක්, තක්කාලි සියයට 27ක්, රාබු සියයට 39ක් වශයෙන් බීජ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව කීය.

මෙරට එළවළු බීජ අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 800,000 ක් පමණ වන අතර ඉන් උඩරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 100,000ක් ද පහතරට එළවළු සඳහා කිලෝ ග්‍රෑම් 700,000 ක්ද ලෙස බීජ අවශ්‍යතාවය පවතින බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම බීජ අවශ්‍යතාවය දේශීය බීජ නිෂ්පාදනයෙන් හා අනායනික බීජ මඟින් සපයා ගනු ලැබේ.

Page 179 of 474