ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ව්‍යාපාරයක් පෙරේදා (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වූ උත්සවයක දී ආරම්භ කළේ ය.
වැඩසටහනෙහි ප්‍රමුඛ අරමුණ
මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහ පැවැත්ම උදෙසා ක්‍රියාත්මකවන වැඩසටහනකි. මෙම ව්‍යාපාරය මගින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන්, තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග සබඳතාව වර්ධනය කිරීමට උනන්දුවක් කිරීමක් සිදු කරනු ලබයි. ඒමෙන් ම තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුළින් යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබධව අවබෝධයක් ඇතිකිරීම සහ ඔවුන්ව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද මෙයට ඇතුළත් වේ.
31 වන සභාපතිනිය වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි
මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි තෝරා පත්කර ගැනීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලිට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහි දී පැවැසී ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවට ම ආදර්ශයක්
මෙරට සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සියලු ම සාමාජිකයින් කැප වෙමින් සහ ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් මාතෘ සහ ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ රෝග පාලනය යනාදි ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරදීමට ඉහළ දායකත්වයක් ලබාදෙන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවටම ආදර්ශයක් ලබාදී ඇති බවත්, නව්‍යකරණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් ප්‍රජාවට සේවය කළ හැකි බව පෙන්වා දී ඇති බව ද පැවැසී ය.
අපගේ ජාතික සංවර්ධන ඉලක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍රීයව පවතින බවත්, එය සේවාවක් ලෙස පමණක් නොව සමාජීය හා ආර්ථික ප්‍රගතිය සඳහා පදනමක් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ හරහා රෝග වැළැක්වීමේ සත්කාර ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටින බව ද පැවැසී ය.
සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා පුළුල් අවබෝධයක්
ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය එම වැඩපිළිවෙළේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්ව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ දී නායකත්වය, විශේෂඥතාව සහ ක්ෂේත්‍ර මට්ටමේ දැනුම අත්‍යවශ්‍ය වන බවත් එම කටයුතු ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් සපුරාලන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා උපාය මාර්ග සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බවත්, එහි දී ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රෝග වැළැක්වීමේ සත්කාර, ප්‍රජා සහභාගීත්වය සහ සාක්ෂි මත පදනම් වූ පුහුණුව පිළිබඳ වූ විශේෂඥතාව එහිදී මූලික වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී පුනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් වෛද්‍ය ඒ.එස්. සන්තුෂ්‍ය ප්‍රනාන්දු යන අය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
(දීප්ති විජේතුංග)