V2025

පුවත්

මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසියි !

සුරාබදු දෙපාර්තුමේන්තුව විසින් බදු නොගෙවන ලද මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අහෝසි කර ඇත.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රන්දෙණිගල, වයඹ ඩිස්ටිලරීස් සිනර්ජි ඩිස්ටිලරීස්, සහ ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් යන සමාගම්වල මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත.

අයවැය සඳහා පෞද්ගලික අංශයේ යෝජනා !

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි ඊයේ (01) පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කළේය.

එහිදී රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිණ.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු පියවර මෙන්ම විවිධ ක්ෂේත්‍රවලදී ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් මෙවර අය වැයේදී අවධානය යොමු කරන ලෙස ද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කළ මෙම අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉදිරියේදී එම එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගෙන ගිය වැඩපිළිවෙළ ද මෙහිදී පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් විය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, ජනාධිපති උපදේශක චන්ද්‍රා ෂාෆ්ටර්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහත්වරු සහ පුද්ගලික අංශයේ ආයතන රැසක ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

IMG 20231102 WA0010

ඉන්දියාව හමුවේ ලංකාවට දරුණු පරාජයක් !

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) ඉන්දීය කණ්ඩායම සමග පැවති මූලික වටයේ තරගයෙන් දරුණු පරාජයකට ලක්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 55ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ලෝක කුසලාන ඉවත් වීමට සිදුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ඉතිරි වී ඇත්තේ තරග දෙකක් පමණි.

ශ්‍රී ලංකා පිල මීළඟ තරඟය නොවැම්බර් 6 වැනිදා බංගලදේශය සමගත් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසාන තරගය නොවැම්බර් 09 වැනිදා නවසීලන්ත සමඟත් පැවැත්වීමට නියමිතයි .

සෞඛ්‍ය සහ අධ්‍යාපනයට බිලියන 09ක් !

ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේය.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර  මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මෙසේද පැවසීය.

“GIS” සහ “GPS Mapping” මඟින් පළාත් පාලන ආයතනවල සියම මාර්ග ඛණ්ඩාංක ගත කර මාර්ග ඉන්වෙන්ට්රියක් සකස් කර එම මාර්ග 1987/ අංක 15 දරණ පළාත් පාලන ආයතන පනතේ විධිවිධාන ප්‍රකාරව ගැසට් නිවේදන මඟින් පලකර එහි අයිතිය පළාත් පාලන ආයතන වෙත තහවුරු කිරිමට නියමිතව තිබෙනවා.
අප එම වැඩපිළිවෙල වයඹ පළාත තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා.

එම ක්‍රමවේදය සියළුම පළාත් ආවරණය කිරිම සඳහා වන ප්‍රතිපත්තිමය තීරණය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර 2023.10.09 දින ඊට අනුමැතිය ලබා ගෙන තිබෙනවා.

වසර 36කින් සිදුකිරීමට අපොහොසත් වූ මාර්ග සිතියම් ගත කිරීමේ ක්‍රමවේදය අප වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ සිදුකරනවා.

එමෙන්ම උතුරු මැද හා උතුර යන පළාත් මේ වන විට මාර්ග හඳුනාගෙන ඛණ්ඩාංක සලකුණු කිරිම අවසන් කර තිබෙනවා. එය 2023.12.31 දිනට පෙර එම පළාත් දෙකෙහි කටයුතු අවසන් කිරීමට නියමිතයි. ඉතිරි පළාත් 06 සඳහා කාල රාමුවක් සකස් කර පුහුණුවීම් ලබා දී 2024 වසරේදි ඉලක්කය සපුරා ගැනිමට අපේක්ෂා කරනවා.

අප අමාත්‍යංශය යටතේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් හරහා පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට කටයුතු කරනවා. ඉන් සෞඛ්‍ය අංශය වෙනුවෙන් මිලියන 4,500ක් ලබා දීමට කටයුතු කරනවා. ලබන වසරේ ජූනි මාසය අවසන් වන විට අදාළ පළාත්වල සෞඛ්‍ය ගැටළු විසදීමට කටයුතු කරනවා.

එම පළාත්වල තිබෙන පාසැල්වල පවතින අඩුපාඩු පිරිමසා ගැනීම වෙනුවෙන් තවත් මිලියන 4,500ක් ලබාදීමට ද අප කටයුතු කරනවා. ජනවාරී මාසයේ ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය මාස 06ක් තුළ නිම කිරීමට ද බලාපොරොත්තු වනවා.

ඒ වගේම පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින ස්ථිර නොකරන ලද සේවකයින් 8400ක් කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බදවා ගැනීමට කටයුතු කරනවා. ඔවුන් වසර 15ක හෝ ඊට ආසන්න කාලයක් සේවයේ නියුතු පුද්ගලයින් වනවා. පළාත් සභාවලට සේවකයින් 10,000ක පුරප්පාඩුවක් තිබුණා. ඉන් 6000කට වැඩි පිරිසක් බහුකාර්ය සේවකයින් ලෙස ලබා දී තිබෙනවා. මේ මස 10 වන දින වනවිට ඉතිරි පුරප්පාඩු සඳහා එම බහුකාර්ය සංවර්ධන නිළධාරීන්ගෙන් ආවරණය කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු සිදු කිරිමට අදාළව මෘදුකාංගය සකස් කිරීම ඉදිරි සති 02ක් වැනි කාලයක් තුළ නිම කිරිමට අපේක්ෂා කරනවා. එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාත තුළ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරිම 2023.11.30 දින වන විට ආරම්භ කිරිමට නියමිතයි.

ඒ වගේම ඝන අපද්‍රව්‍ය පිරිසැකසුම් කිරිම සහ සනීපාරක්ෂතා බිම් පිරවුම් ව්‍යාපෘතිය නමින් කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්වල සහ සියලු පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ගැටළු සඳහා විසදුම් ලබා දිම පිණිස වූ ව්‍යාපෘතිය 2024 ජනවාරි මාසයේදි ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.

බංගලාදේශයෙන් මෙරටට ඖෂධ පරිත්‍යාගයක්

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

එහි දී ඇමරිකානු ඩොලර් 58000 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී මෙරටට ලැබෙන බව අනාවරණය විය.

ඒ අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් වන බවත්, විශේෂයෙන් පිළිකා හා වකුගඩු ඖෂධ මේ අතර ප්‍රධාන වන බවත් ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පැවසීය.

මෙම ඖෂධ ආධාර තොගයට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවත් මහ කොමසාරිස්වරයා එහි දී පැවසීය.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානයන් සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාටත්, බංග්ලාදේශ රජයටත් විශේෂ ස්තුතිය පිරිනමන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පැවසීය.

මේ අතර පවතින ඖෂධ හිඟයට පිළියමක් වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා රජය හා බංග්ලාදේශ රජය අතර ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගු කාලීන වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ද මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා කෙරිණි.

පාස්කු ප්‍රහාරය : අධිකරණය මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයට තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ. 2) නියෝග කර තිබේ.

දෙසැම්බර් මස 30 වන දා හෝ ඊට පෙර එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස එහිදී නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

ඊට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් ද දෙසැම්බර් මස 30 වන දාට පෙර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

සීනි මත බද්දක්

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සීනි කිලෝ එකක් සඳහා රුපියල් 50 දක්වා එම බද්ද ඉහළ දමා ඇතැයි එම අමාත්‍යංශය පැවසීය.

එය අද (නොවැ. 2) සිට වසරක කාලයක් බලාත්මක වනු ඇත.

මෙතෙක් සීනි කිලෝ එකක් සඳහා එම බද්ද ශත 25ක්ව පැවතිණි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

1 1024x915

2 1024x820

නාමල් නිදොස් කොට නිදහස් කරයි

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (02) එම නියෝගය ලබා දී ඇත.

එමෙන්ම මේ වනවිට අධිකරණය මඟහැර ගොස් සිටින එම නඩුවේ දෙවැනි විත්තිකරු වන ප්‍රභාත් කරුණාජීව ට සහ එම නඩුවේ සිව්වන විත්තිකාරියට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ද විනිසුරුවරයා මෙහිදී දැනුම් දී තිබේ.

එමෙන්ම ප්‍රභාත් කරුණාජීව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති විවෘත වරෙන්තු ආපසු කැඳවීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි නාමල් රාජපක්ෂ ට චෝදනාව එල්ල වී තිබුණි.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් තෙදින නිල සංචාරයක් සඳහා අද (නොවැ. 1) දිවයිනට පැමිණියාය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට ඉන්දීය මුදල් අමාත්‍යවරිය එක්වීමට නියමිත බව ය.

හෙට (නොවැ. 2) දින පැවැත්වීමට නියමිත එහි ප්‍රධාන දේශනය නිර්මලා සිතාරාමන් විසින් සිදු කරනු ලැබීමට නියමිත බව ද එම අමාත්‍යංශය පැවසීය.

අනතුරුව ඇය ත්‍රිකුණාමල‍යේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතව තිබේ.

ඇය යාපනයේ සහ මහනුවර යන ප්‍රදේශවල ද සංචාරයන්හි නිරත වනු ඇත.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු සමග නිර්මලා සීතාරාමන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

මෙරට ආගමික ස්ථානවල සූර්ය බලපද්ධති සවිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සමග අත්සන් කිරීමේ අවස්ථාවට ද ඇය එක් වීමට නියමිත ය.

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්...

සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත  පත් කර තිබේ.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත්තේ, හෙට (02) සිට වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදියි.

මාහාචාර්ය එම්. සුනිල් ශාන්ත  සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මීට පෙර සේවය කළේ ය.

මාර්ග අනතුරු වැළැක්වීම හා පාලනයට ඉහළ පෙළේ කමිටුවක් !

මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

සාගල රත්නායක මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති “Safe Roads – Safe Children” ජාත්‍යන්තර මාර්ග ආරක්ෂණ සමුළුව-2023 අමතමිනි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව විසින් මෙය සංවිධානය කර තිබිණි. මාර්ග අනතුරුවලට ලක් වීමෙන් ළමුන්ට මුහුණ දීමට සිදුවන වැළැක්විය හැකි මරණ සහ ජීවිත කාලය පුරාවට ආබාධිත තත්ත්වයට පත් වීම අවම කිරීම මෙවර සමුළුවේ දී මූලික අවධානයට ලක් වූ අතර ඒ වෙනුවෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, නීතිය හා සාමය ආදි ක්ෂේත්‍රයන්හි කාර්යභාරය පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක  මෙසේද පැවසීය.

මේ අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනාව ලැබෙන විට මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිතවීම් වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටියා. නමුත් මේ සඳහා ජනාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් හෝ ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් පිළිබඳව ඔබ අපගේ අවධානය යොමු කර තිබෙනවා.

මෙහිදී ගැටලු රැසක් දක්නට ලැබෙනවා. පළමුවැන්න වන්නේ නොසැලකිළිමත්ව රිය පැදවීමයි. අනිත් කරුණ වන්නේ අප භාවිතා කරන ත්‍රීරෝද රථ වැනි ඇතැම් වාහන නිසි ආරක්ෂිත ප්‍රමිතීන්ට නොගැළපීම. නමුත් අප මෙම අභියෝගය ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපට එක රැයකින් ත්‍රීරෝද රථ තහනම් කරන්න බැහැ. බොහෝ ජනතාවගේ ජීවනෝපාය වි ඇත්තේ ත්‍රිරෝද රැකියාවයි. එසේම බොහෝ පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතාව ඒ මත රඳා පවතිනවා. එම නිසා රටේ ආර්ථිකය දියුණු මට්ටමට පැමිණෙන තුරු ත්‍රීරෝද රථ වඩාත් ආරක්ෂිත වාහනයක් බවට පත් කිරීමට සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා.

එසේම මාර්ගවල තත්ත්වය පිළිබඳව ද අප අවධානය යොමු කළයුතුයි. අපේ රටේ මාර්ග පද්ධතිය එතරම් දියුණු තත්ත්වයක නැහැ. දකුණු අධිවේගී මාර්ගය ගත්තොත් අධික වර්ෂාව සමඟ එය ජලයෙන් පිරී යනවා.

ඔබේ වාහනයේ කිසියම් ගැටලුවක් තිබෙනවා නම් හෝ ඔබට වාහනය ධාවනය කරන විට නිදිමතක් දැනෙනවා නම්, ඒ සඳහා විශේෂ වු වාහන නැවැත්වීමේ මංතීරු තිබෙනවා නම් ඔබට ටික වෙලාවක් නැවතී සිට ඔබේ ගැටළුව විසඳාගැනීමට හැකියාවක් තිබෙනවා. එවිට අවධානමක් ඇතිවෙන්නේ නැහැ.

ඒ වගේම අනතුරු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදීත් ප්‍රශ්න මතු වෙනවා. ඔවුන්ට සිටින කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම සහ උපකරණ හා තාක්‍ෂණය නොමැතිකම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. නමුත් මේ සියල්ල නිවැරදි වන තුරු අප බලා සිටියහොත් තවදුරටත් මෙම ප්‍රශ්න සංකීර්ණ වෙනවා.

එසේ නම් අපට මේ සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන සැලසුම් තිබිය යුතුයි. මෙම කාර්යය භාර ගනු ලබන කමිටුව විසින් සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙනවා.

වාහන ආනයනය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළා. අපට වාහන ආනයනය පිළිබඳ විවෘත ප්‍රතිපත්තියක් තිබිය යුතුද, නැතහොත් වාහන ආනයනය සඳහා සෑම වසරකම නිකුත් කරන නිශ්චිත බලපත්‍ර ප්‍රමාණයක් පවතින සිංගප්පූරුවේ තිබෙන ක්‍රමයට සමාන ක්‍රමවේදයකට අප යා යුතුද යන්න එමඟින්‍ සොයා බැලෙනවා.

ඒ වගේම මාර්ගවල ධාවනය වන වාහන ප්‍රමාණය තිරසරව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක් වාහන රටින් පිට කිරීමද සිදු කළ යුතුයි. එවිට සාම්ප්‍රදායික ඩීසල් හෝ පෙට්‍රල් වාහනවලට සාපේක්ෂව විද්‍යුත් වාහන භාවිතා කිරීම පිළිබඳව ද අප සලකා බැලිය යුතුයි. මෙහිදී ඉදිරි ආර්ථික තත්ත්වය සහ මාර්ගවල තත්ත්වය වැනි විවිධ කරුණු පිළිබඳවද අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මාර්ග අනතුරු යන කාරණය ද මෙහිදී වැදගත් වෙනවා. මේ අනුව අදාළ සැලසුම් සකස් කිරිමේ දී මෙම කමිටුවට මේ සියලුදෙනා සමග සාකච්ඡා කිරීමට සිදු වේවි.

මෙහිදී සියලුදෙනාට පුළුල් කාර්යභාරයක් පැවරෙන අතර ඒ සඳහා සුදුසුම කාලය මෙය බව ද මම විශ්වාස කරනවා.

මේ අනුව මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතියි.

මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුව සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් අප දැනමටත් සූදානම් කර තිබෙන බවද කිවයුතුයි.

ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මේ වෙනුවෙන් වෙහෙසුණු ඔබ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා.

මාර්ග අනතුරු වැළැක්වීම සඳහා වන විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න 

මාර්ග අනතුරු හේතුවෙන් සෑම තත්පර 42කටම වරක් ලෝකයේ කුමන හෝ ස්ථානයක එක් මරණයක් සිදු වනවා. නමුත් ඉහළ ආදායම්ලාභී රටවල මාර්ග අනතුරු හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වන හෝ මරණයට පත් වන සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව අඩු බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ සිදු වූ මාර්ග අනතුරු හේතුවෙන් 2023 වසරේ මේ දක්වා මිය ගිය ළමුන් සංඛ්‍යාව 115ක් වෙනවා. බොහෝ විට මෙසේ මරණයට පත් වන්නේ හෝ ආබාධිත තත්ත්වයට පත් වන්නේ වයස අවුරුදු 15-44ත් අතර රටේ සංවර්ධනයට උරදෙන ශ‍්‍රම බලකායේ සාමාජිකයන් වන තරුණ පිරිසයි.

සාමාන්‍යයෙන් වසරකට මෙරට පුද්ගලයන් 3000ක් පමණ මාර්ග අනතුරුවලට ලක්ව මරණයට පත්වෙනවා. මෙම තත්ත්වය වසරක් පාසා ඉහළ යන බව පෙනෙන්න තිබෙනවා.

මෙසේ සිදුවන අනතුරු හා සැසඳීමේදී අනාගතයේදී මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව මෙන්ම අබාධිත තත්ත්වයට පත්වන සංඛ්‍යාව දහස් ගණනකින් ඉහළ යනු ඇතියි. එමඟින් රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව අප විශ්වාස කරනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වින්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ද, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයන් සහ ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනිසෙෆ්, රතු කුරුස ඇතුළු ජාත්‍යන්තර සංවිධානයන්හි මෙන්ම විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

IMG 20231101 WA0004

IMG 20231101 WA0006

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ටෙන්ඩර් කැඳවයි !

ශ්‍රීලන්කන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්‍රතිව්‍යුහගතකරණය) ටෙන්ඩර් කැඳවා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ දෙස් විදෙස් මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙබ් අඩවිවල ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා ප්‍රසිද්ධ කර ඇති බවයි.

මෙම ටෙන්ඩර් කටයුතුවලට මැදිහත්ව සිටින්නේ මුදල් අමාත්‍යාංශය වන අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 120 කි.

ශාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තීන්දුවක් !

මෙරට ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය අපරාධයක් බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දුා ජයසූරිය අද (01) තීන්දු කළාය.

ඒ අනුව එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයක් වාහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ජන හා නිවාස සංගණනය 2024 ජනාධිපති කාර්යාලයෙන් ඇරඹේ !

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ විය.

ඒ අනුව මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරුණු අතර මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ නවීන තාක්ෂණය යොදා ගනිමින් ටැබ්ලට් පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කිරීම මෙන්ම භූ-අවකාශීය තාක්ෂණයන් සමඟ පරිගණක ආධාරක පුද්ගල සම්මුඛ සාකච්ඡා (CAPI- Computer Assisted Personal Interviewing) පැවැත්වීමයි.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර අවසන් වරට මෙම සංගනනය පවත්වනු ලැබූයේ 2012 වසරේදීය.

ශ්‍රී ලංකාවේ නීතිමය පදනමක් මත පැවැත් වූ මුල්ම ජන සංගණනය 1871 මාර්තු මස 27 වැනි දින පවත්වා ඇති අතර එය දකුණු ආසියාතික රටවල් අතර ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය විය.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට මෙන්ම රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වන ජන සංඛ්‍යාව එහි භූගෝලීය ව්‍යාප්තිය, ජනවාර්ගික ව්‍යාප්තිය හා ජනගහනයේ විවිධ ප්‍රජා විද්‍යාත්මක සමාජීය ලක්ෂණ මෙන්ම නිවාස පිළිබඳ තොරතුරු සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ප්‍රධාන දත්ත මූලාශ්‍රයන් ලෙස ලබා ගැනීම මෙම ජන සංගණනයේ දී සිදු කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලංකාවේ සියලුම ගොඩනැගිලි සඳහා අංකයක් ලබා දීම, සියලුම ගොඩනැගිලි ඒකක සඳහා ගොලීය ස්ථාන නිර්නායක (GPS පාඨාංක) ලබා ගැනීම, ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ඩිජිටල් කරණය කරන ලද (Digitized) සිතියමක් ලබා දීම මෙම ජන සංගණනයේදී සිදුවේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.පී. අනුර කුමාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20231101 WA0002

ඉන්ධන මිලේ වෙනසක් !

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9.00 කින් පහත දමා ඇති අතර සෙසු ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත .

අදාළ මිල සංශෝධනය පහත දැක්වෙයි .

01

ශ්‍රීලනිප 4% ට වැටිලා : දයාසිරි ප්‍රසිද්ධියේ කියයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ ජනමතය 50% සිට මේ වනවිට 4% දක්වා පහත වැටී ඇතැයි එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර තමා ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා ඉන් තමාට යුක්තිය ඉටු වේ යැයි අපේක්ෂා කරන බවද පැවසීය .

එහිදී වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගේ ක්‍රියාකලාපය කුමක් වුවත්, තමා කිසි විටෙක පක්ෂ නායකයා විවේචනය නොකරන බවය.

එසේම තමා කිසි ලෙසකින්වත් පක්ෂ නායකයාගේ පසුපසින් සිට පිහියෙන් අනින ජාතියේ අයෙකු නොවන බවත් , එවැනි පිරිස් මේ වනවිට පක්ෂ නායකයා අසලින්ම සිටීම නිසා ඉදිරියේදී ඔවුන්ගේ සැබෑ තතු දැනගත හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නොමැති බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.

විදුලි බල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට !

යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි .

සිය twitter ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුකෙරේ.

මෙම කෙටුම්පත පසුගිය මාස 10 පුරා සකස් කරන ලද්දක් බව අමාත්‍යවරයා සඳහ් කරයි. ඒ සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහාය ඇතිව ය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් යෝජිත සංශෝධන, නීති කෙටුම්පත් සම්පාදක විසින් සළකා බැලීමෙන් පසු මෙම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ සහතිකය පසුගිය සතියේ ලැබී තිබුණි.

අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ !

ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් පැවසීය.

දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙතෙක් නිෂ්පාදනය කරනු ලැබුවේ 40%ක ප්‍රමාණයක් වුවත් එය දෙගුණයක් කිරීමට අවශ්‍ය පියවර මේ විට ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මෙසේද පැවසීය.

ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය රජයක් ලෙස ලබා දී තිබෙනවා. එහි දී වැඩිම අවධානයක් යොමුකර සිටියේ ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහායි. එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා හා ගොවි ජනතාවගේ සහයෝගයෙන් සහල් අතිරික්තයක් නිෂ්පාදනය කිරීමට අප සමත්ව තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ.

ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නියමාකාරව ලබා දීමට සමත් වැඩපිළිවෙළක්ද පශු සම්පත් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය සමයේ මෙරට දියර කිරි නිෂ්පාදනය වූයේ අවශ්‍ය ප්‍රමාණයෙන් 40%ක් පමණයි. මේ තත්ත්වය සළකා බලා දියර කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම තෘණ වගාව වර්ධනය කිරීමට මෙන්ම ගවයන්ගේ ගුණාත්මකභාවය සහ පෝෂණ තත්ත්වය වැඩි කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සතුන්ට අවශ්‍ය ආහාර අඩුවක් නැතිව සැපයීම මඟින් දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව පවතිනවා.

ජාතික කිරි අවශ්‍යතාවය පිරිමැසීම සඳහා අනයනික පිටි කිරි මත පැවතීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම භාවිතා කළ යුතුයි. ජනතාව දියර කිරි භාවිතය සඳහා පෙළඹවීමට අවශ්‍යයි. එහිදී දියර කිරි ලබාගැනීම ජනාතවට පහසු කිරීම සඳහා ජංගම අලෙවි රථ යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙනවා. දියර කිරි පැකට් කර අලෙවි කිරීමටත් පියවර ගන්නවා.

වර්තමානය වන විට සත්ව ආහාර ආනයනයට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සහන ලබාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා.

වැසී තිබෙන සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම කුකුළු කර්මාන්තය ප්‍රවර්ධන සඳහා මව් සතුන් ප්‍රමාණය 85,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ අනුව වැසුණු කුකුළු ගොවිපලවල් නැවත විවෘත කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා.

Page 150 of 474