V2025

පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකයි : ඉන්දියාව සහ චීනය අනුමැතිය දෙයි !

ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බව නිල වශයෙන් ඉන්දියාව ප්‍රකාශ කර දින කිහිපයක් තුළ චීනයද මූල්‍ය සහතික ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බවත් පවසමින් ලිපියක් චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී පුවත් සේවය පෙන්වා දී තිබේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන ලදි.

ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය කෙටි කාලීනව අත් හිටුවීමට චීනය තීරණය කර ඇති බවත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ණයහිමියන් එකතු වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කළ බව එන්.ඩී.ටී.වී පුවත් සේවය පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වූ මිලියන 22 ක ජනතාව වෙනුවෙන් මේ මොහොතේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දී ඇති බවයි.

විපක්ෂයේ සියලු පක්ෂ කරහැරියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ආණ්ඩුව මෙහෙයවමින් රාජතාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළ බවත් එහි වූ සාර්ථකත්වයට මේ කදිම සාක්ෂියක් බවත් විචාරකයන් පෙන්වා දෙයි.

රාජකාරිය පසෙක තබා මහා බැංකුව ආණ්ඩු කරන්න හදනවා - හිටපු මුදල් ඇමති රවී

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක චෝදනා කර සිටියි.

හිටපු මුදල් ඇමති රවී කරුණානායක මේ චෝදනාව එල්ල කර සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි සිය නිවසේ දී සෙනසුරාදා (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය .

රට කඩා ගෙන වැටිලා. ඒ වගේම ලෝකය කඩා ගෙන වැටිලා. විපක්ෂය දේශපාලන වේදිකාවේ සුරංගනා කතා කියමින් ජනතාව රවටනවා. විපක්ෂයට වැඩ පිළිවෙළක්-දර්ශනයක්-ඉලක්කයක් ඇත්තේ නැහැ. මේ විපක්ෂයෙන් රටට-ජනතාවට කිසිම සෙතක් ඇත්තේ නැහැ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ සෑම ප්‍රශ්නයකටම අලවන්න පුළුවන් පැලැස්තරයක් නොවෙයි. මේ අයත් එක්ක රටක් ගොඩනැගීම ඉතාම අසීරුයි. මේ අයත් එක්ක ගිහින් සාර්ථක වුණේ කොරියාව විතරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කතාව හොඳයි. නමුත් අප ඒ කොන්දේසි අනුව ක්‍රියා කළ යුත්තේ දේශීය මට්ටමේ වටිනාකම් ආරක්ෂා කර ගනිමිනුයි. සුද්දෝ ඇවිත් කිව්වා කියලා ඒ සියල්ල ගෙඩිය පිටින්ම අප බදා ගත යුතු නැහැ.

අවුරුදු හැත්තෑ හතරකට පසු රට කඩා වැටී තිබෙන්නේ උපතේ සිට විපත දක්වා සියල්ල නොමිලයේම ලබා දීම සහ සියල්ල නොමිලයේ බලාපොරොත්තු වන නිසයි. රටේ ආදායම රුපියල් ට්‍රිලියන දෙකක් වන විට රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් සඳහා රුපියල් ට්‍රිලියන 1.8ක වැය වනවා. ඒ අනුව අතේ ඉතිරි වන්නේ රුපියල් බිලියන 250ත් 300ත් අතර ප්‍රමාණයක් විතරයි. එවැනි සුළු මුදලකින් රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද..?

රටේ පොලී අනුපාත වැඩි කිරීම ඉතාම අසාධාරණයි. ශ්‍රී ලංකා මහා බැංකුව ක්‍රියා කරන්නේ ලෙඩා මළත් බඩ සුද්දයි යන න්‍යායට අනුවයි. ඇඟිල්ලක් කපා ලෙඩා බේරා ගැනීමට හැකියාව තිබිය දී ලෙඩාගේ බෙල්ලම කපා දැමීම හරිද..? මීට මාස හයකට පෙර 12%ත් 17ත් අතර පැවැති බැංකු පොලී අනුපාතය අද 30% ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් මිනිස්සුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වී නැහැ. මේ තත්ත්වය මිනිස්සු දරා ගන්නේ කෙසේද..? මහා බැංකුවේ නිලධාරීන්ට මේ යථාර්ථය ගැන අවබෝධයක් ඇත්තේ නැහැ.

අහිංසක පවුල් ජීවත් වන්නේ කෙසේද..? ඊට උත්තරයක් අවශ්‍යයි. උද්ධමනය පාලනය කිරීම සඳහා යැයි කියමින් පොලී අනුපාත වැඩි නොකර අලුත් මාර්ග, උපාය සහ උපක්‍රම පවිච්ච් කළ හැකියි. මහා බැංකුව දිගින් දිගටම මේ ක්‍රමය අනුගමනය කළොත් රටේ ව්‍යාපාර සියල්ල වසා දමීට සිදු වේවි.

අලුත් ගමනක් අවශ්‍යයි. මේ ප්‍රශ්න විසඳන්න බැරි නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ කරන්න උමනාවක් නොමැතිකමයි. රජයේ නිලධාරීන්ට නිර්මාණශීලීත්වයක් ඇත්තේ නැහැ. ඒ අය අලුතින් හිතන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් ලක්ෂ 17ත් 18ත් අතර ප්‍රමාණයක් සිටිනවා. රාජ්‍ය අදායමෙන් 84%ක් ඒ අයගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වැය වනවා. ඒ ගෙවීම් කළාට පසුව අතේ ඉතිරි වන බිලියන 350ත් 400ත් අතර මුදලකින් රට ගෙන යන්නේ කෙසේද..? විදේශ ණය රුපියල් ට්‍රිලියන එකක් ගෙවීමට තිබෙන අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500ක විතර පොලියක් ගෙවීමට තිබෙනවා. ණය ගෙවන්න තව තවත් ණය ගත්තොත් රට ඉදිරියට ගෙන යන්න බැහැ.

ආර්ථිකය "Digital" කළ යුතුයි. නමුත් රාජ්‍ය සේවකයින් සහ නිලධාරීන් ඊට ඉඩ දෙන්නේ නැහැ.රට ඉදිරියට ගෙන යා යුත්තේ එවැනි නවීකරණයන් හරහායි. එවිට සියලු දෙනාට සාධාරණය ඉටු වන අතර අවශ්‍යම අයට පමණක් සහන හිමි වේවි. සම්පත් සියලු දෙනා අතර සමසේ බෙදී යාවි.

රටේ වියදම ට්‍රිලියන 4.5 දක්වා වැඩි වී තිබෙනවා. එම මුදලින් 35%ක ම වැඩි වී තිබෙන්නේ පොලී අනුපාතය නිසයි. හැම රුපියලක්ම වැඩි වන විට රජයේ වියදම අයවැයෙන් අවුරුද්දට රුපියල් බිලියන 40ක් වැඩි වනවා. පොලී අනුපාතය සියයට එකකින් වැඩි වන විට අවුරුද්දකට රුපියල් බිලියන 70ක් 80ක් විතර වැඩි වනවා. මේ පොලිය සියයට එකක් අඩු වන විට රටේ වියදම රුපියල් බිලියන 70ක් අඩු වනවා. පොලිය 5% දක්වා අඩු වුණොත් රටේ වියදමෙන් රුපියල් බිලියන 350ක් විතර අඩු වනවා.

මේ වගේ අලුතින් හිතන කට්ටිය ඉන්නවා. ඒ අයව පාවිච්චි කළ යුතුයි. මේ රටේ එක එක්කෙනාගේ පෞද්ගලික බූදලයක් විදිහට ගෙන යන්න ඉඩ නොදිය යුතුයි. මම ඇත්තටම කතා කරන්නේ හිතේ අමාරුවෙන්. අප වැඩ කරන විට සමහරුන් අපේ චරිතය ඝාතනය කර විවිධ ප්‍රශ්න ඇති කළා. ඒ චෝදනා සියල්ල පුස්සක් බව රට හමුවේ මේ වන විට ඔප්පු වෙලා තියෙනවා.
මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ රුපියල බාල්දු කර ඊට සමගාමීව පොලී අනුපාතය ද විශාල වශයෙන් වැඩි කිරීමයි. ඒ නිසා අලුතින් හිතන්න අවශ්‍යයි. සාමාන්‍ය ව්‍යාපාරයක් සිය ආදායමෙන් 30%ක පොලිය වෙනුවෙන් ද, 40%ක් විතර වැටුප් වෙනුවෙන් ද, විදුලිය සහ ජලය ඇතුළු අනෙකුත් වියදම් වෙනුවෙන් ද වෙන් කළාම එම ව්‍යාපාර ගෙන යන්නේ කෙසේද..?

උපයන විට ගෙවීමේ බද්ද මගින් 2023 දී රුපියල් බිලියන 100ක් විතර සොයා ගැනීමට ඉලක්ක කර තිබෙන. ඒ මුදල් ප්‍රමාණය උපයන්න බැරි බව දාන දැන ඒ බද්ද දැම්මේ ඇයි..? මිනිස්සුන්ට ගෙවන්න බැරි බද්දක් දැමීමේ ඇති වැඩේ මොකක්ද..? සුද්දෙක් ඇවිත් මේ බද්ද වැඩි කරන්න කියලා කිව්වා නම් ඒ ක්‍රියා මාර්ගය ගැනීමට නොහැකි බව කියා සිටීමට අපට ආත්ම ශක්තියක් තිබිය යුතුයි.

2023 රාජ්‍ය ආදායම ට්‍රිලියන 3.4ක් ඇස්තමේන්තු කර තිබෙනවා. උපයන විට ගෙවීමේ බද්දෙන් රුපියල් බිලියන 100ක් ඇස්තමේන්තු කර තිබුණාට එමගින් උපයා ගත හැක්කේ රුපියල් බිලියන 50ක් පමණ විතරයි. වැඩ කරන සාමාන්‍ය පුද්ගලයෙක් මේ බද්දෙන් කෙතරම් පීඩනයකට ලක් වෙනවා..? වැඩ කරන මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙලා නැති වුණාට වියදම ශීග්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒ අනුව මෙම උපයන විට බද්ද ගැන යළි සලකා බලන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ බද්ද ප්‍රායෝගික නැහැ.

EPF බදු ලිපි ගොනු මිලියන 14ක් තිබෙනවා. මේ හැම TAX FILE එකකටම මාසයකට රුපියල් 250ක් දැම්මොත් අවුරුද්දකට බිලියන 42ක් සොයා ගත හැකියි. සක්‍රීය බදු FILE මිලියන 3ක් තිබෙනවා. ඒ FILE වලින් හැම මාසයකම රුපියල් 750ක් ලබා ගත්තොත් අවුරුද්දකට බිලියන 27ක් ලැබෙනවා. ඒ වගේම තවත් ලක්ෂයක පමණ බදු FILE ප්‍රමාණයක් තිබෙනවා. ඊට රුපියල් 75,000ක බද්දක් දැම්මොත් එමගින් බිලියන 90ක් ලැබෙනවා. මේ ඔක්කොම එකතු කළා ම බිලියන 157ක් ලැබෙනවා. මේ වගේ සරල ක්‍රමයක් ක්‍රියාත්මක කළා නම් රටටත් ජනතාවටත් යහපතක් සැලසෙනවා.

උපයන විට ගෙවීමේ බද්ද හේතුවෙන් සාමාන්‍ය මනුස්සයෙකුගේ ආදායමෙන් මසකට 20%ක් අඩු වුණොත් ඔහුගේ ගෙවීමට තිබෙන හැකිය වගේම ඔහුගේ ජීවන රටාව ද වෙනස් වනවා. මේ දේවල් දෙස නිර්මාණශීලීව බලා අලුතින් හිතා වැඩ කිරීමට මහා බැංකුව ක්‍රියා කළ යුතුයි.

ආදායම් වැඩි කරන මාර්ග අවශ්‍යයි. වියදම් අඩු කරන මාර්ග අත්‍යවශ්‍යයි. රජයේ සේවකයින් ලක්ෂ 17ක් අපේ රටට අවශ්‍යද..? රටේ ලක්ෂ 230ක් ජීවත් වෙන්නේ මෙම රාජ්‍ය සේවයේ සිටින ලක්ෂ 17න් නම්, රාජ්‍ය ආදායමෙන් 84%ක් ම වැය වන්නේ රාජ්‍ය සේවයට නම් ප්‍රශ්නයක් තිබෙනවා නොවේද..? පුද්ගලික අංශයේ ලක්ෂ 80ක් සිටිනවා. ඒ අයට සත පහක වාසියක් නැහැ. රටේ සංවර්ධනයට රජයේ සේවයෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා ..?

මේ ප්‍රශ්නවලට ආණ්ඩුවෙන් හෝ විපක්ෂයෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒ නිසයි මම මේ කරුණු පැහැදිලි කළේ. අපි හිතන ආකාරය වෙනස් විය යුතුයි. රටේම TAX FILE තිබෙන්නේ ලක්ෂ 5යි. බදු ගෙවීමට හැකියාව තිබෙන්නේ එම සංඛ්‍යාවෙන් 35%යි. 2019 බදු අඩු කලාට පසුව එම FILEවලින් 50%ක් වසා දැම්මා.එසේ බදු අඩු කරන විට නිහඬව සිටී මහා බැංකුව අවුරුදු දෙකක් මුළුල්ලේ රට කඩා වැටෙන හැටි බලා ගෙන ඉඳලා මාස හයකින් රට නග්ගනවා කියලා එකපාරටම මිනිස්සු මත බර පැටවීම සාධාරණද..?

විදේශ රටවල අපේ වැඩ කරන ජනතාව එදා ලක්ෂ 15ක් සිටියා. ඒ අයගෙන් බිලියන 700ක් ලැබුණා.මේ වන විට ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. නමුත් ගිය මාසයේ ඒ අයගෙන් ලැබුණේ ඩොලර් මිලියන 470යි. මම හිතන ආකාරයට ඊට විශාල ප්‍රමාණයක් වැඩි විය යුතුයි. තමා උපයන ඩොලර් තමාගේ බැංකුවට ඩොලර්වලින්ම එවන්න හැකි ක්‍රමයක් විදේශ ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ යුතුයි.

මේ රටේ ව්‍යාපාරයක් කරන්න අද කෙතරම් අමාරුද..? රජයෙන් අනුමැතියක් ලබා ගන්න මාස තුන හතරකට වැඩ යනවා. නමුත් ඒ සියලු අනුමතීන් දවසින් ලබා ගත හැකියි. කෙතරම් නාස්තියක් සිදු වෙනවා ද..? අවුරුද්දකට මිලියන 2.1 ක නීතිමය ප්‍රශ්න තිබෙනවා.

අප කළ යුත්තේ සරල දෙයක් අපමයනය කරලා ඩොලර් සොයා ගැනීමයි. අපනයනය වැඩි කළ යුතුයි. විදේශිකයින්ට අපේ පුද්ගලික සහ රජයේ විශ්ව විදයල විවෘත්ත කර අවුරුද්දකට බිලියන 5ක් සොයා ගත හැකියි. ඒ වගේම අපගේ රෝහල් ද එසේ විදේශිකයින් වෙනුවෙන් විවෘත්ත කළ යුතුයි. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල අරින්විට අනතවදීන් උද්ඝෝෂණය කරනවා. කිසිම නවීකරණයක් කරන්න මේ අය ඉඩ දෙන්නේ නැහැ.

බැංකු පද්ධතිය නවීකරණය කිරීම, සංචාරක කර්මාන්තය අලුත් විදිහට ගොඩනැගීම, ධීවර කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය නවීකරණය කර කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම ආදිය අපට කළ හැකියි. ලෝකයේ වැඩිම නිවාඩු ප්‍රමාණයක් තිබෙන රටක් අපේ රට හැඳින්වීමට පුළුවන්.

රට බංකොලොත් වුණේ ආණ්ඩුව නිසා නොවෙයි. මුල්‍ය පාලනය තිබෙන මහා බැංකුව නිසයි. මම ආණ්ඩුවේ වගේම මහා බැංකුවේ වැරදිත් පෙන්වා දෙනවා. එසේ නැතිව රට අලුතින් හදන්න බැහැ. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේ. මහා බැංකුව අද කරන්නේ ඒ ඇයගේ රාජකාරිය නොවේ. ඒ අය ආණ්ඩු කරන්න හදනවා. එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්ද..? ප්‍රශ්නය රාජ්‍ය අංශයේ නිලධාරී වාදයයි.

''ජනතාව මුදල් නොදුනහොත් හිරේ යනවා" - හිටපු ජනපති

නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන  පවසයි.

නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා නියම වුණා.කෝටි 10ක් ගෙවන්න ආර්ථික ශක්තියක් නැහැ . ජනතාවගෙන් කෝටි 10 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෝටර් සයිකලයක්වත් නැහැ. රට වටෙන්ම සල්ලි එකතු කරන්න ඕන. සල්ලි නොගෙව්වොත් හිරේ යනවා.

සහෝදරයා වුණාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර පහ නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ දැම්මා. වෙන ආදායම් මාර්ගයක් නැහැ''

කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවතට

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ  පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුකාරවරයා විසින් ඊයේ(21) නිකුත් කර ඇත.

ඒ අනුව තුෂාර සංජීව විතාරණ  2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

තුෂාර සංජීව විතාරණ  සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් රැසක් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිතය.

පුංචි ජන්දය මාර්තු 09 !

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද දහවල් 12.00 න් අවසන් වුණි.

පාර්ලිමේන්තුවේ අසුනක් හිස් කියා මැකොසට පණිවිඩයක් !

මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබේ.

ඒ අනුව කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජිබුර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2023 ජනවාරි 20 වනදා සිට බලපැවැත්වෙන බවද මහලේකම්වරයා දන්වා තිබේ.

ඒ අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබුර් රහුමාන් ගේ අසුන හිස්වී ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවද මහ‍ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.

සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් - ජනපති

සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව" ගොඩනැඟීම පිළිබඳ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අරමුණයි.

සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගනිමින් සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර සංචාරක නගර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත අතර ඊට අදාළ සැලස්ම මෙහිදි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන යාපනය සහ වවුනියාව විශ්වවිද්‍යාල විසින්ද අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාල සංචාරක සැලසුම් කැලණි විශ්වවිද්‍යාලය සහ රජරට විද්‍යාලය විසින් ද ඉදිරිපත් කරන ලදී.

රුහුණු විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය සහ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කොළඹ‍‍ දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පේරාදෙණිය, වයඹ සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ඒකාබද්ධව සකස් කළ සැලැස්ම ද මෙහිදී ඉදිරිපත් කෙරණු අතර මඩකලපුව දිස්ත්‍රික්කය සදහා වන සංචාරක ප්‍රවර්ධන සැලැස්ම නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලය විසින් සකස් කර තිබිණි.
මෙම සියලු ව්‍යාපෘති පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ සංවර්ධන වැඩපිළිවෙළට දායක කර ගැනීම ඉතා හොඳ ප්‍රවණතාවයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික යොවුන් වේදිකාවට සම්බන්ධ මෙම වැඩසටහනට විශ්ව විද්‍යාලය පද්ධතිය දක්වන දායකත්වය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බිත්තරේට ගැසට් එකක් !

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඊට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44.00 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් විය යුතුය.

අදාළ ගැසට් පත්‍රය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත්කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඉන්දීය රජයෙන් ප්‍රතිචාරයක්

රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්  අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයාව ඉතා සුහදශිලීව පිළිගනු ලැබීය.

මෙම නිල සාකච්ඡාවලට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවකට ද එක් වූහ.

දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ විය.

‍ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය පී.වී නරසිම්හ රාඕගේ පාලනය ආරම්භ වූ 1991 වර්ෂයේදී ඉන්දියාවට ද අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දීය රජය එම අර්බුදය සමනය කර ගනු ලැබුවේ රජය සතු රන් සංචිත උකස් තැබීමේන් බව ද සිහිපත් කළේය.

එබැවින් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඉන්දියාවට ඇති බව පැවසූ ජයශංකර් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව පැවසීය.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේ දී ගිවිසුමකට අත්සන් තැබුණු අතර ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද සිදු විය.

ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල (HICDP- High Impact Community Development Project ) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට මෙහිදී අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ  ඊට අත්සන් තැබීය.

ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට 2005 වසරේ මැයි මාසයේදී අත්සන් තැබිණි. එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කෙරේ.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හතා 2017 වස‍රේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් ලෙස උඩරට නැටුම් සඳහා ඇකඩමියක් ඉදිකිරීමට මුල්ගල් තැබිණි. මහනුවර ඓතිහාසික දළදා මාළිගාව අසළ ඉදිකෙරුණු එම ඇකඩමිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් සිදු විය.

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කෙරුණු නිවාස 300ක් (ගාල්ල, මහනුවර, නුවරඑළිය – නිවාස 100 බැගින්) භාරදීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලැබීය.

නිවාස 60,000ක මෙම ව්‍යාපෘතියට අදාළ නිවාස 50,000ක ඉදිකිරීම් අවසන් කර තිබේ. වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 4000ක ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ යට‍තේ ඉදිකෙරුණු නිවාස 3300කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන්ය.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක “ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන” යටතේ අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඉදිකෙරුණු නිවාස ප්‍රතිලාභීන් ද වෙත ලබාදීම සංකේතවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මුජිබුර් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් අද පෙරවරුවේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් විය.

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

තමන් වෙත අසූ හාර දහසකට වැඩි මනාප ඡන්ද ප්‍රකාශ කරමින් තමන්ව දෙවන වරටත් පාර්ලිමේන්තුවට එවූ ජනතාවට සිය කෘතවේදීත්වය පළකරන බව පැවසූ මුජිබර් මන්ත්‍රීවරයා, මේ රටේ සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටින බවද පැවසිය.

සැලසුම් කොට ඇති පරිදි වහාම මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බලකරන බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන ලෙස ද ලෙසද ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහු ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මුජබර් රහුමාන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදුන්නේය.

මුජුබර් රහුමාන් ගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් තමාගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන බව එහිදී විපක්ෂ නායකවරයා පැවසීය

සමාජ සාධාරණත්ව කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නැයි ජනපති මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කරයි

මුස්ලිම් ප්‍රජාවගේ ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලවේ දී අද (19) පැවති සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය අමතමිනි.

75 වන නිදහස් උත්සවය සැමරීමට ශක්තිමත් සහ සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සියලු ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඕනෑම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත විය යුතු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසිඳු ආගමක් වෛරී ආගමක් නොවන බව ද පැවසීය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අෂ්- ෂෙයික් එම්. අයි. එම් රිස්වි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සියවැනි සංවත්සරය සමරන මේ අවස්ථාවේ එහි ආරම්භය පිළිබඳව සිහිපත් කළ යුතුයි.

1922 ආරම්භය, පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝකය විශාල පරිවර්තනයකට භාජනය වෙමින් පැවතියා. මුහම්මද් නබිතුමාගේ මරණයෙන් පසු සියවස් ගණනාව තුළ මුස්ලිම් ප්‍රජාව සහ එහි ආධිපත්‍යය යටතේ පැවති ඉඩම් සහ ජනතාව ඇතුළත් දේශපාලන-ආගමික රාජ්‍යය අහෝසි කිරීම එයට ඇතුළත් වෙනවා. ඒ වගේම එය ඉන්දියාවේ ස්ථාපිත කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් තිබුණා. නමුත් ලංකාවේ ඔබ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ආරම්භ කරනවා. එහි මුස්ලිම් චින්තනය මිස වාද විවාදයක් නැහැ.

ඉතින් එදා තිබු ඇතැම් ප්‍රශ්නවලට අදත් ඔබ මුහුණ දෙනවා. පළමුව, අප සිටින්නේ 1922 දී නොසිටී ජාතීන් 150ක් පමණ සිටින වෙනස්ම ලෝකයකයි. එමෙන්ම අප එළැඹ සිටින්නේ විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුව මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සංවර්ධනය සමඟම ඇති වූ වෙනස්ම සියවසකටයි. අපට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අනාගතය දෙස බැලීමට සිදුව ඇත්තේ මේ පසුබිම තුළයි.

පළමුව ඉස්ලාම් ආගම පමණක් නොවෙයි, සියලුම ආගම් බලන්නේ ආගමේ හරය කුමක්ද යන්නයි. ආගමේ නිර්මල අරුත කුමක්ද සහ අප නූතන ලෝකය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද කියලයි. ආගමේ හරය අතීතයට, වර්තමානයට සහ අනාගතයට සරිලන අයුරින් තිබිය යුතුයි.

හොඳ උදාහරණයක් තමයි බුදුදහම. බුදු රජාණන් වහන්සේ ගංගා ඉවුරුවල දේශනා කරන විට ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, එහි එක් පදනමක් වන බුදුදහම සහිත ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට අපට හැකි වුණා. ගෞතම බුදුරදුන්ගේ කාලයේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය නොතිබුණත් අප එය පිළිගෙන ඊට අනුගත වුණා.

ඒ හා සමානව, අප සියල්ලන්ම වර්තමානයේ ජීවත් වෙමින් අනාගතය දෙස බැලිය යුතුයි. අපේ ආගමේ හරය කුමක්දැයි සොයා බැලීමට අතීතය ප්‍රයෝජනවත් වෙනවා. එනමුත් කිසිම ආගමක් වෛරී ආගමක් නොවිය යුතුයි. එය අනුකම්පා සහගත විය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඉස්ලාම් ආගම හෝ ක්‍රිස්තියානි හෝ වේවා ආගම් කිසිම ආකාරයකින් වෛරී විය නොහැකියි.
ක්‍රිස්තියානි ආගමේ ආකාරයට මෝසෙස්ව පිළිගැනීම සහ ක්‍රිස්තුස්වහන්සේව පිලිගැනීම මෙන්ම ඉස්ලාම් ධර්මයට අනුව නබිතුමාව පිළිගැනීම වෛරී ආගමක් නොවේ. එය ආගමික ප්‍රගතියක්. ඉස්ලාම් දහම මගින් මුහම්මද් නබිතුමා කළේ, එම පණිවිඩය තව දුරටත් ඉදිරියට ගෙන යාමයි. ඒ නිසා අපි කිසිම ආගමක් වෛරී ආගමක් බවට පත් නොකළ යුතුයි. නමුත් අපි එකට ජීවත් විය හැකි ආකාරය සහ එකිනෙකාගේ ආගම දෙස හරවත් ලෙස බැලිය යුතුයි.

සෑම ආගමක්ම උත්සාහ කරන්නේ එය අදහන අයට මෙන්ම අදහන්නේ නැති අයටද තම ආගම පිළිබඳ දේශනා කිරීමටයි. නමුත් ඒ ආගම අදහන්නේ නැති අයට
නොඇදහිලිවන්තයන්ට දේශනා කිරීමෙන් අදහස් කරන්නේ ඔවුන් ඕනෑම ආගමක සතුරන් කියලා නෙවෙයි. සෑම ආගමකම දැන් බොහෝ ආරවුල් දකින්න ලැබෙනවා. එය ඉස්ලාම් දහමේ පමණක් නොව, අනෙක් ආගම්වලත් අනාගතය කුමක්ද යන්න පිළිබඳව විශාල වාද විවාද සහ සාකච්ඡාවක් සිදු වෙනවා.

හැම ආගමකම හින්දු ආගමේ වේවා, බුද්ධාගමේ වේවා ප්‍රශ්න මතුව තිබෙනවා. අපි සාකච්ඡා කරන්නේ ඒ මොකක්ද කියලා. එබැවින් අපි සියල්ලෝම මෙම ගැටලුවට මුහුණදී සිටිනවා. නමුත් අපි අපගේ මූලික මූලධර්මවලින් ඉවත් නොවිය යුතුයි.

ඒ නිසා අපි ඉස්ලාම් ආගමේ මෙන්ම බුද්ධාගමේ, හින්දු, ක්‍රිස්තියානි ආගම්වලත් අපේ ආගමේ හරය සෙවීමේදී එම ප්‍රතිපත්තිවලට ගරු කළ යුතුයි. එවගේම අද අපිට දැනෙනවා ආගම වාණිජකරණය වෙලා කියලා. ඔව් ඇතැම් විට ආගම පාවිච්චි කරලා තියෙන්නේ යුද්දෙට සහ වෛරයටයි.එයින් අදහස් කරන්නේ ආපසු අතීතයට ගොස් යුද්ධ ආරම්භ කරන්න කියා නෙවෙයි.

දෙවනුව ආගම ඊටම අනුගතවී නූතනත්වයට මග පෙන්විය යුතුයි. ඉස්ලාමීය සෞදි අරාබියට හෝ නබිතුමාගේ උපත සිදුවූ කාලයට ආපසු යා යුතු යැයි කියන අයට, බැග්ඩෑඩ් අගනුවර වූ ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ගැන මොකද කියන්නේ තියෙන්නේ කියල මම අහනවා.

තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ රාජධානි දෙස බලන්න, යුරෝපය ශිෂ්ඨාචාරගත කිරීමට උපකාර වූ අයිබීරියානු අර්ධද්වීපයේ හෝ ස්පාඤ්ඤයේ මුස්ලිම් රාජධානි දෙස බලන්න. ඔටෝමාන් අධිරාජ්‍යයේ අතිවිශිෂ්ට සුලෙයිමාන් දෙස බලන්න. ඔබ ඔහුව ප්‍රතික්ෂේප කරනවාද? අපේ කලාපයේ පවා, අක්බර් අධිරාජ්‍යයා සහ ඔහු කලාප එකතු කිරීමට උත්සාහ කළේ කොහොමද? ඔහුව අනුගමනය කරමින් ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ සන්ධිස්ථානය ගැන ඔහුගේ මුණුපුරා කතා කළා. අපි එය ඉන්දු-පැසිෆික් ලෙස හඳුන්වනවා. නමුත් ඔහු කීවේ එය නොවේ. ඔහු අදහස් කළේ සාගර දෙකක එකමුතුව නොව හින්දු ආගමේ සහ ඉස්ලාම් ආගමේ එකමුතුව ගැනයි. එබැවින් ඔහු පැවසූ දේ පවා ගැටුමට මුල පිරුවේ එය වෙනත් ආකාරයකින් භූ දේශපාලනයට ඇඳෑ ගත් නිසයි.

ඔබ නූතනත්වය පිළිගෙන ඉදිරියට යනවාද? ආගම් එය කළ යුතුයි. ඔබට එය වෙනස් කළ හැකි මාර්ගයක් නෑ. ඉස්ලාම් ආගම සෞදි අරාබියේ ආරම්භ වූණත් එහි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව සිටින්නේ ඉන්දුනීසියාව, පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් පිහිටි දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බව කවුරුත් පිළිගත යුතුයි.

ඒ වගේම දැන් පවා ඔබට පෙනෙනවා වෙනස්කම් නිසා ලෝකයේ සියලුම රටවල ඇතිවී ඇති ගැටුම් පිළිබඳව. අපි දැන් බටහිර ශිෂ්ටාචාරය පිළිගෙන ඉවරයි. හොඳම උදාහරණය නම්, බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙකු ලෙස හින්දු ජාතිකයෙකු පත් වීම සහ ලන්ඩනයේ නගරාධිපතිධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් නියෝජනය කරන්නේ බටහිර සංස්කෘතීන් මිස හින්දු හෝ මුස්ලිම් සංස්කෘතීන් නොවේ. ඉතින් මේවා තමයි නූතනත්වය පිළිබඳ අද අපට පෙනෙන්න තිබෙන හොඳම උදාහරණ.

තුර්කියේ කෙමාල් අතාටර්ක්ගේ, ඊජිප්තුවේ ගමාල් නසාර් කළ දේ අපි ප්‍රතික්ෂේප කළ යුතුද? ඒවගේම ජනාධිපති සුකර්නෝ දූපත් 400 ක් එකතු කර ඉන්දුනීසියාව ඇති කළේ කෙසේද? බෝරෝබුදුර් සහ රාමායනයේ ජයග්‍රහණ මතකයේ තබා ගන්න. ඉතින් ඔබ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවාද? අපි මෙය පිළිගෙන ඉදිරියට යා යුතුයි. එබැවින් නූතනත්වය වැදගත් වන අතරම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර නවීන චින්තන මධ්‍යස්ථාන තිබිය යුතුයි. ඊට හොඳම උදාහරණය බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන අග්නිදිග ප්‍රදේශයේ පිහිටුවා ඇති විශ්ව විද්‍යාලයයි. ඒ වගේම අෂ්රෆ් මැතිනිය කාන්තාවක් විදියට තමන් කරපු ජයග්‍රහණ වෙනුවෙන් ඇයට සම්මානයක් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇය එය ලබා ගත යුතුයි. ඒවගේම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී දිවංගත අෂ්රෆ් අමාත්‍යවරයා ඉටුකළ කාර්යභාරය ද මා අගය කරනවා.

එය සියලු ආකාරයෙන්ම වඩාත් නවීන විශ්වවිද්‍යාලයක් විය යුතුයි. එය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන සියලු ජාතින්ට ප්‍රයෝජනවත් වන විශ්ව විද්‍යාලයක් විය යුතුයි. එය මුස්ලිම්වරුන්ට පමණක් සීමා කිරීමට උත්සාහ කළ හොත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අත් වූ ඉරණමම අත්විය හැකියි. ඒ නිසා එය හොඳින් සිහියට ගත යුතුයි.

එබැවින් නූතනත්වය යනු සාරය බව අප පිළිගත යුතු සහ අප ඉදිරියට යා යුතු දෙයයි. මම දකින්නේ මෙතැනදී පවා මුස්ලිම් සමාජය ඒ වෙනස්කම්වලට ලක්වෙමින් ඒ වෙනස්කම් ගැන සාකච්ඡා කරනවා. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) යනු ප්‍රධාන ප්‍රශ්නවලින් එකක්. ඒකට මම මැදිහත් වෙන්න යන්නේ නැහැ.

ඒක මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්නයක්. නමුත් මම එකක් කියනවා, ආපස්සට යන්න එපා. මුස්ලිම්වරුන්ට අහිතකර කිසිම ක්‍රියාවක යෙදෙන්න එපා. පහුගිය දවසක මම දැක්කා සමහර මුස්ලිම් ළමයි මේ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා. එය ඇත්ත වශයෙන්ම දරුවන්ගේ රැකවරණය පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීමක්. වැඩිහිටියන්ට අවශ්‍ය නම් එය කළාට කමක් නැහැ. එහෙත් දරුවන්ව ඉන් ඈත් කර තබන්න. ඒක ඇත්තටම මුස්ලිම් අය පිළිබඳව සෘණාත්මක තක්සේරුවක් ඇති කරන්නක් නිසා, ඒකට ඉඩ දෙන්න එපා. මට කියන්න තියෙන්නේ එච්චරයි.
දැන් ඔබ ඔබේ සියවන වසර සම්පූර්ණ කර තිබෙනවා. අපි අපේ නිදහසේ 75 වන වසරට මුහුණ දෙන්නේ. මේ කාලයෙන් වැඩි හරියක් අප ගත කරලා තියෙන්නේ එකිනෙකා සමඟ සටන් කරමිනි. මම හිතන්නේ දැන් සංහිඳියාවට සහ සහජීවනයට කාලයයි.

ඉතින් අපි දැන් පටන් අරන් තියෙන්නේ ශ්‍රී ලාංකීය දෙමළ, ප්‍රශ්න මොනවද, අපි සංහිඳියාව කරා යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. ඒ වගේම අප එහි පළමු පියවර අරගෙන අපි නැවතත් පක්ෂ නායකයන් හමුවෙනවා. පැවැති සාකච්ඡාවලදී අපි විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. කඳුකරයේ දෙමළ ජනතාව සමාජයේ සෙසු අය සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද අපි සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

අනෙකුත් ජනවර්ග සහ ආගමික කණ්ඩායම් එයට ඒකාබද්ධ කර ගත යුතයි. මොකද මේවායේ ප්‍රතිලාභ ඔවුන්ට ලැබී නැහැ. අපි සම්පුර්ණයෙන්ම ඒකාත්මික විය යුතුයි. එමෙන්ම මට අවශ්‍ය වන්නේ මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කිරීමටයි. දැන් ඔබ මුහුණ දෙන ප්‍රශ්න මොනවාද? මම හිතන්නේ ඒකට හොඳ උදාහරණයක් තමයි 2018 දිගන කෝලාහලය. ඒ ගැන කතා කරන්න වෙනවා. ඒ වගේම 2019 පාස්කු බෝම්බ ගැනත් කතා කරන්න වෙනවා. මෙයට හේතු වූ කරුණු සහ ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව අප කතා කළ යුතුයි. කොළඹ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් සිටින මුස්ලිම්වරුන් හෝ මන්නාරම මුස්ලිම්වරුන් මුහුණ දෙන ප්‍රශ්නවලට වඩා හාත්පසින්ම වෙනස්.

අප ගෙනයන සාකච්ඡාවලට දෙමළ, උඩරට දෙමළ, ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල අය සම්බන්ධ කර ගන්නේ කොහොමද? ඔබේ දුක්ගැනවිලි, ඔබට දැනෙන සමාජ පසුගාමීත්වය පිළිබඳව සාකච්ඡා කරමු. මම හිතන්නේ එය සිදු කිරීමට මේ තමයි හොඳම කාලය කියායි.

ඒ විතරක් නෙවෙයි. අපි සිංහල අය අතරත් සාකච්ඡාවක් කරනවා. සමහර කණ්ඩායම් බලපෑමට ලක්ව වෙලා ඉන්නේ. විවිධ හේතුන් මත ඔවුන් සමාජය පිළිගන්නේ නැහැ. .මේ නිසා තමයි දිගුකාලීන ගැටලු පිළිබඳව සොයා බලන සමාජ සාධාරණත්වය කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ. එබැවින් ප්‍රශ්න ගැන ඉතා සෘජුව කතා කළ සමස්ත ලංකා ජම් ඉයියතුල් උලමා සංවිධානයෙන් මම ඉල්ලා සිටින්නේ මුස්ලිම් කණ්ඩායමද මෙය සමඟ එකතු වී එහි තුන්වන අදියර ලෙස මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්න සාකච්ඡා කරමු කියලයි.

අපි එකින් එක ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යමු. මම මේ සාකච්ඡා එකක්වත් එකට ගත්තේ නැහැ. මොකද ඒ ඒ පිරිස් තමන්ගේ ප්‍රශ්න වලට ප්‍රමුඛත්වය බලාපොරොත්තුවෙනවා. මේ විදිහට ගියොත් කිසිම ප්‍රශ්නයක් විසඳන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි වෙනස්ම ආකාරයට එකින් එක විසදා ගනිමින් ඉදිරියට යමු.

ඉතින් නිදහසේ 75 වනසංවත්සරයේදී අපි සියලු දෙනාම සැබෑ ශ්‍රී ලාංකිකයන් වෙමු. ඉන්පසු ඉදිරි වසර 25 දෙස බලමු. අපි ඉදිරි වසර 25 තුළ කුමක්ද කරන්නේ ? අපි ආරම්භ කරන එක් ආයතනයක් තමයි මේ සියලු කරුණු සාකච්ඡා කළ හැකි ඉතිහාස පිළිබඳ අධ්‍යයන ආයතනය. ඊට අමතරව රාජ්‍ය සහ වෙනත් ආයතන තිබෙනවා. අපට ඉදිරියට යාමට නව ආර්ථිකයක් ඇති කර ගැනීමට මේ සියල්ල අවශ්‍යයි.

ශ්‍රී ලාංකික ජාතිය ලෙස අප ශක්තිමත් වෙමු. සමාජ සාධාරණත්වය ජය ගනිමු. වාර්ගික සහජීවනය ඇති කර ගනිමු. අපට ඉතා තරගකාරී ආර්ථිකයක් වීමට හැකි වන පරිදි නව ආර්ථිකයක් ඇති කර ගනිමු. අපව සමෘද්ධිමත් වෙමු.

View the embedded image gallery online at:
http://www.newstube.lk/news?start=2664#sigProId82f5b3902c

ඉන්දීය විදේශ ඇමති ජයිෂංකර් ලංකාවට !

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් (Dr: S.Jaishankar) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (19) සවස පැමිණියේය .

ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සිව් දෙනෙකු ද මෙරටට පැමිණ සිටියි.

ඔවුන් මෙසේ ලංකාවට පැමිණියේ මාලදිවයින සංචාරයක් නිමා කරමින් වන අතර ඒ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින්ය.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි අතර එහි මාධ්‍ය ආවරණය කිරීමට ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හට ආරක්ෂක හේතූන් මත අවසරදී තිබුණේ නැත.

ඒ පාර සජිත්ට ලයිෂන් ප්‍රශ්නයක් !

"විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. බස් එක එළවන්නෙ ලයිසන් එකක් තියාගෙනද ?" යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රශ්න කළාය.

බස් රථ ධාවනය කරවීමට වෙමන ධාවන බලපත්‍රයක් අවශ්‍ය බව පැවසූ ඇය වැඩිදුරටත් ප්‍රශ්නකර සිටියේ විපක්ෂ නායකවරයාට එම රියදුරු බලපත්‍රය තිබේද කියාය.

රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුව අමතමින් මේ ආකාරයට විපක්ෂනායකවරයා ප්‍රශ්න කල අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුව තිබෙන බවත් අවධාරණය කර සිටියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ඩයනා රාජ්‍ය අමාත්‍යවරියගේ මේ ප්‍රශ්න කිරීම හමුවේ නුදුරේදීම විපක්ෂ නායකවරයා බර වාහන රියදුරු බලපත්‍රයක් ගෙන එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇති බවය.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කරයි !

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (19) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 5.00 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 2.00 කින්, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 8.00 කින්, සුදු කැකුළු සහල් (දේශීය) සහ සම්බා සහල් (දේශීය) කිලෝවක් රුපියල් 10.00 බැගින්, සුදු නාඩු (දේශීය) රුපියල් 9.00 කින්, සුදු නාඩු (ආනයනික) රුපියල් 8.00 කින්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 6.00 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 7.00 කින්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 50.00 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 5.00 කින් සහ හාල්මැස්සෝ කරවල කිලෝවක් රුපියල් 20.00 කින් අඩු කළ බව ද සතොස පවසයි.

ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 180.00 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 216.00 කට, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 187.00 කට, සුදු කැකුළු සහල් (දේශීය) කිලෝවක් රුපියල් 179.00 කට, සම්බා සහල් (දේශීය) කිලෝවක් රුපියල් 210.00 කට, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 189.00 කට, සුදු නාඩු (ආනයනික) රුපියල් 180.00 කට, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 239.00 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 370.00 කට, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1730.00 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 235.00 කට සහ හාල්මැස්සෝ කරවල කිලෝවක් රුපියල් 1100.00 කට මිලදී ගතහැකි බව ද සතොස වැඩි දුරටත් සඳහන් කරයි.

වෙනම තරග කළත් බැඳීමේ බිඳීමක් නෑ - සිරිසේන

පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම තරග කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ‘අත’ ලකුණ යටතේ පළාත් පාලන ආයතන 218කට ඇප තැන්පත් කර ඇති අතර, තවත් ආයතන 61ක් සඳහා නිදහස් ජනතා සන්ධානය ලෙස හෙලිකොප්ටරය ලකුණින් ඇප බැඳ තිබෙන බව ද ඔහු සඳහන් කරයි.

මෙතෙක් ඇප තැන්පත් කර නැති පළාත් පාලන ආයතන 62 ක් ඇති අතර, ඒ සඳහා ද හෙට (20) දිනයේදී ඇප තැන්පත් කරන බව හිටපු ජනාධිපති සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (19) ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වන අතර
නාමයෝජනා භාරදීමෙන් පසු සන්ධානයක් ලෙස එක්ව කටයුතු කරන බවත් සන්ධානය සමඟ ඇති බැඳීමෙහි කිසිඳු බිඳීමක් සිදුව නැති බවත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමේ ප්‍රගතිශීලී දේශපාලන පක්‍ෂ හා එක්ව නිදහස් ජනතා සන්ධානය ගොඩනැගුවත්, නාමයෝජනා සඳහා අපේක්‍ෂකයන් තේරීමේදී ඇතිවූ ගැටලු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩි බලයක් ඇති ප්‍රදේශවලට වෙනම තරඟ කිරීමටත්, තවත් ප්‍රදේශවලට සන්ධානයක් ලෙසත් තරඟ කිරීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.

බොරු විරෝධ පුස්සක් වෙයි : මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි !

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (18) දවස පුරා පැවැත්විණ.

මෙම පනත් කෙටුම්පත ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සිය විරෝධය පළ කළහ. පනත් කෙටුම්පත විවාදයට ගන්නේ නම් ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට පනත බල නොපාන බවට වගන්තියක් ඊට ඇතුළත් කරන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි නමුත් ඊට ආණ්ඩුව පාර්ශ්වයෙන් එකඟත්වයක් ලැබුණේ නැත.

ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබේ.

හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වූ සුමිත්‍රා පීරිස් මිය යන විට 88 වැනි වියේ පසු විය.

1978 දී ඇරඹි ඇගේ සිනමා නිර්මාණ චාරිකාවේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට, කලාත්මක හා සිනමානුරූපී චිත්‍රපට රැසකි. ගැහැනු ළමයි (1978) සිට වෛෂ්ණාවී දක්වා ඇගේ නම ඉදිරියේ ලියැවී ඇති සිනමා කෘති අතර, ගැහැනු ළමයි, ගඟ අද්දර, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා වැනි නිර්මාණ විශේෂ වන අතර යහළු යෙහෙළි, මායා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ වැනි චිත්‍රපට ද රසික ආදරයට පත් වූ නිර්මාණ විය.

පවිත්‍රාට සහ ජීවන්ට කැබිනට් ඇමතිකම්

ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා දේවි වන්නිආරච්චි නව අමාත්‍යවරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දුන්නේ ය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ, පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි.

මෙම අමාත්‍ය ධුරය කලින් දැරු මහින්ද අමරවීර අද උදෑසන ඉන් ඉවත් වුණේ ජනාධිපතිවරයාට නව අමාත්‍යවරයෙකු පත් කර ගැනීමට ඉඩ සලසමිනි.

Page 149 of 383