ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේ දී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, නැවත වන වගා කිරීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන් සමග ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේ දී ය.
බලාත්මක අධිකාරියක් අවශ්‍ය යි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා සිදු වූ අවිධිමත් ඉදිකිරීම්, වගා කටයුතු සහ නඩත්තු නොකිරීම් ඊට හේතු වී ඇති බවත් මෙහි දී අවධාරණය කෙරුණු අතර, මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් කඩිනම් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. ඊට අදාළ පනත් මගින් බලාත්මක කරන ලද අධිකාරියක අවශ්‍යතාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර, එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. එම කටයුතු සඳහා මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහි දී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයෝ මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.
ආසියානු සංවර්ධන බැංකුවේ, මෙරට අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානී Cholpon Mambetova, එහි ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම සහ ස්වභාවික සම්පත් විශේෂඥ Sumith Pokhrel, සහකාර ව්‍යාපෘති නිලධාරී ක්‍රිෂාන්ති දාබරේ යන යන අය ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota සහ එම වැඩසටහන නියෝජනය කරමින් වගීෂා ගුණසේකර, සුගන්ධි සමරසිංහ යන අය ද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නිවාස,ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත යන අය සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද,රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


