පුවත්
සමෘද්ධියටත් වඩා මුදලක් අස්වැසුමට වෙන් කරලා !
සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද "අස්වැසුම" වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.
මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡාවලදි යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (12) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විටත් ඊට සුදුසුමක් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන්වීමට පෙර ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.
රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරිම අපේක්ෂාව බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට පවුල් ඒකක ලක්ෂ 18කට අධික ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාරය ලැබුවද එයින් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කර තිබුණේ, පවුල් ඒකක 1,280,747ක් පමණක් බවත් එයින් පවුල් ඒකක 887,653ක් (70%) "අස්වැසුම" ප්‍රතිලාභින් වශයෙන් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන හරහා ප්‍රතිලාභ අපේක්ෂා කළ ජනතාවට ඒ වෙනුවෙන් අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය ද මේ වන විට අවසන් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ කාලය තුළ අභියාචනා 982,770ක් ලැබී ඇති නමුත් මේ වන විටත් ප්‍රසිද්ධ කර ඇති ප්‍රතිලාභ ලේඛනයේ නම් සඳහන් පවුල් ඒකක 650,000ක් ඒ අතර වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් මෙසේ අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙන බවද පැවසීය.
එසේම අස්වැසුම වැඩසටහනෙහි ප්‍රතිලාභ ලේඛනයට අදාළ විරෝධතා 62,368ක් ලැබී ඇති ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.
ආබාධිත, වකුගඩු රෝගී හෝ වැඩිහිටි ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා ද නව වැඩපිළිවෙළක් ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත අතර, එතෙක් එම පිරිසට දැනට ලබන ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
පටු දේශපාලන වුවමනා ඉටු කර ගැනීමට සහ ඇතැම් වෘත්තීය සමිති මැදිහත්ව විවිධ බලපෑම් කළ ද එම බලපෑම් මඟින් ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හෝ නුසුදුස්සන් තේරීමට නො හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මුදල් අමාත්‍යාංශය විසින් සමාජ සුබසාධක වැඩසටහන ඍජුම ක්‍රියාත්මක කරන අතර, ජනතාව දිළිදුබවින් මුදා ගැනීමේ කටයුත්ත සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින බව ද පැවසූ අමාත්‍යවරයා දැනට සමෘද්ධි වැඩසටහන යටතේ ඇති අරමුදල් එම ව්‍යාපෘති සඳහා සුරක්ෂිතව යෙදවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ද පැවසීය.
ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබීමේ සිදුවීම ජනපති හෙළා දකී !
ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) පස්වරුවේ එක්වෙමිනි.
රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැඟිල්ලක් තුළ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වනදා ආරම්භ කෙරිණි.
පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුළත්වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1500කි.
මහල් 4කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.
සමරු ඵලකය නිරාවණය කර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
මෙම උත්සවය ආරම්භ කරමින් මාව හඳුන්වාදෙන අවස්ථාවේදී ප්‍රකාශ කළා මම අග්‍රාමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ දී මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම පිළිබද යෝජනාව සම්මත කළා කියලා. අද මෙහි පැමිණි විට ඉතා අලංකාරවත් අධිකරණ සංකීර්ණයක් දක්නට තිබෙනවා. ඒ වගේම අද මෙහි පැමිණෙන විට මට සිහිපත් වුණේ 1977 මම මෙම ප්‍රදේශයට පැමිණෙන විට මෙවැනි දියුණු මාර්ග පද්ධතියක් නොතිබු බවයි. පසුව නන්ද මැතිව් අමාත්‍යවරයා සහ කුලරත්න මැතිතුමා මෙම මාර්ග ඉදිකර ප්‍රදේශය දියුණු කළා.
අද මෙම ගොඩනැඟිලි සංකීර්ණය දෙස බැලු විට පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යයට සරිලන අන්දමේ ගොඩනැඟිල්ලක් මෙහි තිබෙන බවයි. රට තුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් අප මේ වන විට කැපවී කටයුතු කරනවා.
අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය සහ නීතියේ ආධිපත්‍යය අත්වැල් බැඳගෙනයි ඉදිරියට යන්නේ. කිසිසේත් එයින් බැහැර වීමට නොහැකියි. එසේ නම් සියලුදෙනා ඊට සහාය ලබාදිය යුතුයි. අගවිනිසුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපට තිබෙන්නේ වසර 200කට වඩා පැරණි අධිකරණ ක්‍රමයක්. එසේ බලන විට ආසියාවේ පැරණිතම නීති පද්ධතිය තිබෙන්නේ ලංකාවේ.
අද මෙම ගොඩනැඟිලි සංකිරණය නිසා මේ සියලුදෙනාට විශාල පහසුවක් ලැබෙනවා. ඒ වගේම අපේ අධිකරණ අමාත්‍යවරයාත්, අගවිනිසුරුතුමා සඳහන් කළ පරිදි නීතියේ ප්‍රමාදය අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අප ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතුයි. රටක් ඉදිරියට යාමට නම් නීතියේ ප්‍රමාදයක් සිදුවිය නොහැකියි.
සාමාන්‍ය ජනතාව පමණක් නොවෙයි ආයෝජකයින් පවා අද අපට නීතිමය කටයුතු ප්‍රමාදවීම පිළිබඳ විවිධ ගැටලු ඉදිරිපත් කරනවා. මම මේ පිළිබඳ දීර්ඝ ලෙස කතා කරන්නේ නැහැ. අප නුවරඑළියේ පැවැත්වූ නීතිඥ සම්මේලනයේදී මේ පිළිබඳ විසඳුම් ගණනාවක් ඉදිරිපත් කළා.
අගවිනිසුරුතුමා සමඟ සාකච්ඡා කර ආණ්ඩුව වෙනුවෙන් අදාළ ඇමතිවරුත්, අගවිනිසුරුතුමා ඇතුළු අභියාචනාධිකරණයේ සභාපතිතුමා ඇතුළු විනිශ්චයකාරතුමන්ලා වගේම මහාධිකරණ, දිසාධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරමින්, ඒ වගේම ආණ්ඩු පක්ෂය, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් වගේම නිතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ එකට එක්වී මෙම ගැටලුව සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙය දීර්ඝකාලීන ගැටලුවක්. එම නිසා එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට චෝදනා කරමින් සිට මෙම ගැටලුව විසඳීමට හැකියාවක් නැහැ.
ඒ වගේම අපේ නීති ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඇතැම් නීති අධිකරණය තරම්ම පැරණියි. පොලිස් ආඥා පනත දැන් වසර 175ක් තිස්සේ කිසිදු වෙනස්කමකට ලක් වෙලා නැහැ. විශේෂයෙන්ම අපේ අධිකරණ ඇමතිතුමා මේ ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ඉස්සර නීතියක් සම්මත කර ගන්නේ මාස 06කට පමණ වරක්. නමුත් දැන් නිතර නව නීති ගෙන එනවා. මම හිතන්නේ මෙම වසර අවසන් වන විට මෙම නීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට සති දෙකක් නොවෙයි සති 03ක්වත් රැස්වීමට සිදු වනු ඇතියි.
අද මෙම උත්සවයේ කටයුතු ආරම්භ කළේ ආගමානුකූලවයි. මින් පිළිඹිබු වන්නේ අපේ රටේ තිබෙන ආගමික ලැදියාව පමණක් නොවෙයි. මූලික අයතිවාසිකමක් ලෙස ආගමික නිදහස ආරක්ෂා වන බවත් එයින් පිළිඹිඹු වෙනවා.
ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ සමස්ත සංකල්පය දැන් අභියෝගයට ලක්ව තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය එළැඹෙන බ්‍රහස්පතින්දා වන විට ඒ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
පසුගිය මාසයේ අග භාගයේ දී සල්වාන් මොමිකා (Salwan Momika) නමැත්තෙකු ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී කුරාණය පුළුස්සා දැමීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. පොලිසිය ඊට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කළත්, එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණ පරිපාලන උසාවිය සඳහන් කර තිබෙනවා.
මෙහිදී පොලිසිය ක්‍රියා කළේ ආගම් ඇදහීමේ අයිතිය මතයි. එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ශුද්ධ වූ කුරාණයට ගිනි තැබීමෙන් පසු එම ප්‍රදේශය තුළ විශාල කළබලයක් ඇති වුණා. ස්වීඩනයට සියලු රටවලින් බලපෑම් එල්ල වුණා.
සියලුදෙනා එය හෙළා දුටුවා. ඊශ්‍රායලය පවා සඳහන් කළේ මෙය සිදු නොකළ යුත්තක් බවයි. මෙය ඒබ්‍රහම්ගේ දෙවියන් පිළිබඳ ශුද්ධ වු ග්‍රන්ථයක් වන අතර එයට අගෞරව නොකළ යුතු බව එහිදී සඳහන් කෙරුණා.
ස්වීඩනය ද සඳහන් කරන්නේ ශුද්ධ වූ කුරාණය ගිනි තැබීම පිළිකුල් සහගත සහ අගෞරවනීය ක්‍රියාවක් සහ උසි ගැන්වීමක් බවයි. නමුත් ඔවුන් පසුව කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීම් පැවැත්වීමේ අයිතිය ව්‍යවස්ථාපිතවම ආරක්ෂා කළ යුතු බවයි.
මෙම ප්‍රතිචාරය හමුවේ ඇතැම් බටහිර ආණ්ඩු සඳහන් කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙය බවයි. මෙලෙස ඔවුන් එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙනාවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් පකිස්ථානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් තිබෙනවා.
මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එය 13 වැනි බ්‍රහස්පතින්දා ජිනීවාහිදී කැඳවා තිබෙනවා. දැන් මතුවන ප්‍රශ්නය මෙයයි. අප සියලුදෙනා මෙය සලකන්නේ ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසයි. නමුත් මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙන ඒමේ උත්සාහයක් තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට සියල්ල ගෙන ආ නොහැකි අතර එහි සීමාවක් තිබිය යුතුයි.
ඇතැම් රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ මෙම යෝජනාව සම්මත වුවහොත් එය බටහිර රටවලට පසුබෑමක් වන බවයි. මෙය බටහිර හෝ නැගෙනහිර හෝ උතුර හෝ දකුණ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි මේ ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්.
මම මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයෙක් නොවෙයි. නමුත් මම හිතන්නේ ශුද්ධ වූ කුරානය බොහෝ වටිනා ග්‍රන්ථයක් බවයි. රේගෙදාස්හි භගවත් ගීතාව සහ බයිබලය ඒ හා සමානව අප සියලු දෙනාටම භාවිතා කළ හැකියි. ඒ හා සමානව ධම්ම පදයේ හෝ ත්‍රිපිටකයේ ප්‍රයෝජනවත් කරුණු ආදර්ශයට ගන්න බෞද්ධ නොවන ජනතාවත් සිටිනවා.
එබැවින් අප සියලුදෙනාම මෙය ආගමට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන නමුත් ඇතැම් බටහිර රටවලට අනුව එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතට ගැනෙනවා. එසේ සිදුව තිබෙන්නේ ඔවුන් පවතින ව්‍යාකූලත්වය අවම කිරීම සඳහා ප්‍රකාශනය පිළිබඳ සංකල්පය පුළුල් කිරීමට උත්සාහ කිරීම නිසයි.
එම නිසා ඔවුන්ගේ මතය වන්නේ බටහිර රටවල හර පද්ධතිය ව්‍යාප්ත කිරීමට ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යොදා ගන්නා බවයි. එසේම මෙම හර පද්ධතිය ලෝකය පුරා ව්‍යාප්ත කළයුතු බව ඔවුන් විශ්වාස කරනවා. අප සෑමවිටම ප්‍රජාතන්වාදය අගය කරනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත් මම කතා කරන්නේ මෙම සිදුවීමට අදාළවයි. මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වෙන කිසිවක් කතා කිරීමට මම කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව අප අපගේ වගකීම් සපුරා නොමැති බව මම පිළිගන්නවා.
ඒ නිසා අප තීරණය කළා අපේ අදහස් මොනවා වුණත් යුතුකම් ඉටුකරමින් ඉදිරියට යමු කියලා. අපි ජීනිවා මානව හිමිකම් කවුන්සලයෙන් අහන්නේ ඔබ ඇයි නිහඬ කියලා. කොමිසම මේ පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැත්තේ ඇයි? ඇයි ඔබ ඡන්දයක් එනකම් බලාගෙන ඉන්නේ? මෙය අප සියලුදෙනාටම ඉතා වැදගත් කාරණයක්. අපි පිළිපැදිය යුත්තේ කුමන හර පද්ධතිය දැයි පැවසිය යුතුයි.
අපගේ අධිකරණය බලය සහ පරමාධිපත්‍යය ලැබෙන්නේ ජනතාවගෙනුයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් ලෙස අප මානව හිමිකම් ප්‍රකාශය අනුගමනය කළ යුතුය. නමුත් එසේ නම් අප අනුගමනය කරන්නේ කුමන හර පද්ධතියක්ද? අපි මෙතෙක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සියලු නියමනයන් අනුගමනය කළා. නමුත් ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඒ සියල්ල රඳා පවතින්නේ ඔවුන් ගන්නා ස්ථාවරය මතයි.
ඔබේ ඇදහීමේ නිදහස අභියෝගයට ලක්කළ නොහැකියි. එමෙන්ම එයට වෙනත් අර්ථකථනයක් ලබාදෙමින් ප්‍රකාශනයේ නිදහසට මුවාවී ඇදහීමේ නිදහස අහිමි කළ නොහැකියි. මානව හිමිකම් ප්‍රකාශනය ඇති වූයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා භාෂණයේ සහ ප්‍රකාශනයෙන් නිදහස තහවුරු කර ඇති අවස්ථාවකයි. ඔහු ප්‍රකාශ කළ පරිදි දෙවැනි නිදහස වන්නේ ඕනෑම අයෙකුට තම කැමැත්ත පරිදි දෙවියන්ට නමස්කාර කිරීමට ඇති නිදහසයි. නමුත් මානව හිමිකම් ප්‍රකාශය පරිදි එය ආගම සහ ඇදහීම ලෙස කොටස් දෙකකට බෙදී තිබෙනවා.
එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රූස්වෙල්ට් පවසා ඇති පරිදි මෙය පුද්ගලයෙකුගේ ඇදහීමේ නිදහස සම්පූර්ණයෙන් උල්ළංඝනය කිරීමක්. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස අප සලකනවා නම් අපට ඉතිහාසය නැවත ලිවීමට සිදු වෙනවා. එසේ නම් සියලු යුදෙව් පොත් පත් සහ දෙව්මැදුරු පුළුස්සා දැමූ ඇඩොල්ෆ් හිට්ලර්ව නොබෙල් ත්‍යාගලාභියෙක් කළ යුතුයි. ඒ නිසා දෙකින් එකක් අප තීරණය කළයුතුයි. අපි මෙකක්ද කරන්න යන්නේ?
අප බ්‍රහස්පතින්දා මොකද වෙන්නේ කියා බලමු. ඔවුන් බලපෑම්වලට නතුව මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලෙස විනිශ්චයක් ලබාදුන්නහොත් එය දකුණ සහ බටහිර බලවතුන් අතර පැහැදිළී බෙදීමක් ඇති කරනවා.
එසේම මෙය ඇදහීමේ අයිතියක් ලෙස ඔවුන් තීරණය කළහොත් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පිළිබඳ පැහැදිලි සීමාවන් නිර්වචනය කළ යුතුයි. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන හානිය පිළිබඳ ප්‍රශ්නයකි. එහිදී ඔබ අනුගමනය කළ යුත්තේ කුමක්ද? මම අපේ විදේශ ඇමතිතුමාගෙන් ඇහුවා පොදු රාජ්‍ය මණ්ඩලයේදී මෙම ගැටලුව සාකච්ඡා කරමුද කියලා. එවිට අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ඒ පිළිබඳව තර්ක ඉදිරිපත් කිරීමට හැකියි. මම පළමුවෙන්ම කිව්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාට කතා කරන්න කියලා. පෙදුරාජ්‍ය මණ්ඩලය මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙය එක් පාර්ශ්වයකට පමණක් ලබාදිය නොහැකි අතර එවිට එය දේශපාලනීකරණය වෙනව. මෙය සමස්ත ජනතාවගේම අයිතිය විය යුතුයි. මෙය තමයි විශාලම අභියෝගය.
මානව හිමිකම් කවුන්සිලය ජනතාවගේ ඇදහීමේ අයිතිය ආරක්ෂා කර අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට සීමාවන් යොදනවාද, නැද්ද කියා තීරණය කළ යුතුයි. කෙසේ වෙතත් මෙය ආරම්භයක් පමණයි.
එසේ වුවද, මා සිතන්නේ, අපගේම වටිනාකම්, දකුණේ රටවල සාරධර්ම, අයිතිවාසිකම්වලට මානව හිමිකම් කවුන්සිලය ගරු කළ යුතුයි. මෙය වෙනස්කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහි වන ලෙස මම විදේශ අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පාකිස්ථානයේ යෝජනාවට සහාය ලබාදීමේ පළමු පියවර අප ගතයුතුයි.
බුදුන් වහන්සේ වදාළේ ‘සෑම ආගමික නායකයෙකුටම ගෞරවයෙන් සලකන්න’ යනුවෙනි. අප ද ඉල්ලා සිටින්නේ එයයි. අප පොදු රාජ්‍ය මණ්ඩලයේ දී මෙම කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ
මීට වසරකට පෙර මේ රටේ කිසිඳු නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගැනීමෙන් පසු රටේ නීතිය නැවත ස්ථාපිත කරමින් රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් සිටිනවා.
2018 වසරේ මෙම උසාවි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ එවකට සිටි අධිකරණ ඇමතිවරිය වූ තළතා අතුකෝරළ මහත්මියයි. වසර 05ක් ගතවීමෙන් පසු අද මෙම අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමට හැකිව තිබෙනවා.
රටේ දූෂණය වැළැක්වීම සඳහා නව පනත් 30කට අධික ප්‍රමාණයක් මේ වන විටත් අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරියේදී නීතිගරුක රටක් ඇති කිරීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන බව මේ මොහොතේ සිහිපත් කරනවා.
අධිකරණ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද උත්සව සභාව ඇමතීය.
ශ්‍රීපාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, පැල්මඩුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික නායකයින් ද, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්ච්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරල, වාසුදේව නානායක්කාර, ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, නීතිපති සංජය රාජරත්නම් මහතා සහ මහාධිකරණ, දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් විනිසුරුවරුන් සහ රත්නපුර නීතිඥ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපතිගේ සංහිඳියා ප්‍රයත්නය කවුරුන් වෙනුවෙන්ද ?
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්ය භාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදී ම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක ප්‍රකාශ කළේය.
සංහිඳියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසඳා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත් එම ප්‍රයන්තය සාර්ථක කර ගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අදහස් පළ කර සිටියේ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වමෙනි.
සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි විසින් අරමුණු පැහැදිලි කළ අතර, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ (truth reconciliation commission ) කාර්යභාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
එහිදී එම කොමිසම පිහිටුවීමේ අරමුණු ඉටුකර ගැනීම පිළිබඳ පැමිණ සිටි සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා විමසා සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
රටක් ලෙස ඉදිරියට යාමට සියලු පුරුවැසියන්ගේ එකඟතාව හා සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක එහිදි අවධාරණය කර සිටියේය.
මහ කන්නයට ගොවියන්ට පොහොර ගන්න වව්චර් දෙන්නේ නෑ !
පොහොර මිල දී ගැනීමේ දී ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය එළැඹෙන මහ කන්නයේ දී ක්‍රියාත්මක නොකරන බවත් වෙනුවට ගොවීන්ගේ ගිණුම්වලට ඍජුවම මුදල් බැර කිරීම සිදුකරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
මෙවර යල කන්නයේ දී රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට සහනාධාර ලබාදීමේ දී වවුචර් පත් හරහා එය සිදුකිරීමට රජය පියවර ගෙන තිබුණු අතර හෙක්ටයාර් එකකට රුපියල් 200,00ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 400,00ක් වශයෙන් යල කන්නයේ වී වගා කරන සියලුම ගොවීන්ට මෙම සහනාධාර වවුචර්පත් නිකුත් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් වවුචර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට වවුචර්පත් ලබානොදීමට තීරණය කළ බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී තිබෙයි.
සද්ධාරතන හිමිට ඇප !
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබේ.
නඩුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අද (12) කැඳවනු ලැබු අතර සද්ධාරතන හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එහිදී සිදුකළ ඇප ඉල්ලීම සලකා බැලු අධිකරණය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇත.
පැමිණිල්ල විසින් සිදුකර ඇති චෝදනා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතට අදාළ නොවන බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
වී.ඒ සුගතදාස ආදර්ශයෙන් එජාපයට පුනර්ජීවනයක් ගේනවා : රවී K ප්‍රතිඥා දෙයි !
ජනපතිගේ අරමුණ සුබසාධන රාජ්‍යය ව්‍යවසායික රාජ්‍යයක් කිරීමයි !
සුබසාධන රාජ්‍යයක සිට ව්‍යවසායික රාජ්‍යයක් දක්වා ශ්‍රී ලංකාව ගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවත් “අස්වැසුම” වැඩසටහනේ අවසන් ඉලක්කය සවිබල ගැන්වුණ ව්‍යවසායක ජාලයක් නිර්මාණය කිරීම බවත් සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පැවසීය.
“අස්වැසුම” වැඩසටහනේ අවසන් අරමුණ වසර 2048 වන විට දිළිඳු බවින් තොර රටක් වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මේ බව සඳහන් කර සිටියේ අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් ඔවුන් සවිබල ගැන්වීමේ සැලසුම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරයාට බාර දෙන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා පාසල් යන වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වා ආරක්ෂා කිරීම සහ සවිබලගැන්වීමේ වැඩපිළිවෙළ ඊට ඇතුළත් බව ද කියා සිටියේය.
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය 10 වනදායින් අවසන් වූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකළේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වන නිසා බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට ලබන අගෝස්තු 01 වනදා සිට නැවතත් එම අවස්ථාව හිමි වන බවද සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මෙසේ ද පැවසීය.
“අස්වැසුම” වැඩසටහන අප හඳුන්වා දුන්නේ දීර්ඝ කාලයක් පුරා සමාජය තුළ පැවති විවේචනයකට පිළිතුරක් ලෙසයි. සමෘද්ධි ව්‍යාපාරය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී විවිධ අක්‍රමිකතා ඇති වූ බවට චෝදනා එල්ල වුණා.
විශේෂයෙන් සමෘද්ධි වැඩසටහන තුළ සමාජ සවිබලගැන්වීමේ ක්‍රමවේදයක් නොමැති බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සමාජ සුබසාධක මණ්ඩලය විසින් “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කළේ සමාජ සවිබල ගැන්වීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. අස්වැසුම වැඩසටහන දේශපාලනයෙන් තොර විනිවිද පෙනෙන ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය තුළම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙනවා. එසේම වාර්ෂිකව සුදුස්සන් ඇතුළත් කරගැනීමේ සහ නුසුදුසු පිරිස් ඉවත් කිරීමේ ක්‍රියාවලියත් ඊට ඇතුළත් වෙනවා.
මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් සවිබල ගැන්වීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් අපේ අමාත්‍යාංශයට භාර දුන්නා. ඊට අදාළ සැළැස්ම මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දෙනවා. එම සැලැස්ම වසර 03ක සැලැස්මක් වන අතර එම කාලය තුළ මෙම පිරිස සවිබල ගැන්වීම සිදු කෙරෙනවා.
මේ රටේ සමෘද්ධිලාභීන් ලක්ෂ 18න් සියයට 50කට වැඩි පිරිසක් වැඩිහිටියන්. ඔවුන් තරුණ වියේදී විවිධ රැකියාවල නිරත වුවත්, වයස අවුරුදු 60න් පසු සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් වී තිබෙනවා. ඒ පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව වයස අවුරුදු 18 සිට වසර 05ක කාලයක් ඒ සඳහා දායකවූවෙකුට අවුරුදු 60න් පසු විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. එම දායකත්වය අඛණ්ඩව ලබා දීමටත් හැකියාව තිබෙනවා. දායකත්ව කාලය අනුව විශ්‍රාම වැටුප වැඩි කර ගත හැකියි.
ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමාජ සවිබල ගැන්වීමේ කාර්යයේදී ඉතා වැදගත් වෙනවා. එමඟින් පුහුණු වෘත්තිකයින් බිහි කිරීම ඉලක්කයයි.
මෙම සමස්ත වැඩසටහන සඳහා අපට චීනයෙන් , ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් වගේම සමෘද්ධි බැංකු පද්ධතියෙන් සහය ලැබෙනවා. ඒ අනුව දිළිදුබව තුරන් කිරීමට නොව, පොහොසතුන් නිර්මාණය කිරීමට අප ඉදිරියේ දී මෙරට සමෘද්ධි බැංකු පද්ධතිය භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා.
අද සමෘද්ධි බැංකු පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමට ඇතැම් දේශපාලනඥයන් දැඩි උත්සාහයක නිරත වෙනවා. නමුත් අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ව්‍යාපාරයත්, සමෘද්ධි බැංකු පද්ධතියත් වඩා ජව සම්පන්නව ඉදිරියට ගෙනයාම සිදු වෙනවා.
අස්වැසුම ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එහි අභියාචනා කාලය පසුගිය සඳුදා දිනයෙන් අවසන් වුණා. එය තව දුරටත් දිර්ඝ කිරීමෙන් සිදුවන්නේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වීමයි. අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාලය හොඳටම ප්‍රමාණවත් කියා අප විශ්වාස කරනවා.
ඒ වගේම ලබන අගෝස්තු 01 වනදා සිට, මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට අලුතින් අයදුම් කිරීමට අවස්ථාව සැලසෙනවා. වාර්ෂිකව යම් කිසි ප්‍රමාණයක් මෙම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනවා වගේම විවිධ හේතු මත යම් පිරිසක් ඉවත් වීම සිදු වෙනවා. ඒ වගේම පාසල් වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වාම ආරක්ෂා කර සවිබලගැන්වීම මෙම අස්වැසුම වැඩසටහන තුළින් සිදු කෙරෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අරමුණ 2048 වන විට ශ්‍රි ලංකාව දියුණු රටක් බවට පත් කිරීම මිස දිළිඳුකම පිටුදැකීම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් සිටිනවා. අපට අවශ්‍ය කරන්නේ සුබසාධන රාජ්‍යයක් නෙවෙයි. අප නිර්මාණය කළයුත්තේ ව්‍යවසායික රාජ්‍යයක්. සුබසාධන රාජ්‍යයක් තුළින් දියුණු රාජ්‍යයක් ගොඩනැඟීමේ ඉලක්ක සපුරාගත නොහැකියි. ඒ සඳහා වන වැඩසටහන අද ක්‍රමාණුකූලව ඉදිරියට ගෙන යන බව කිවයුතුයි.
රුපියල් බිලියන 15ක් ඉතිරි කරගන්න : ආන්දෝලනාත්මක පඬු කරඳ ගස ඉවතට !
මෙරට තුළ පසුගිය සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස ඊයේ (10) එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
මේ සම්බන්ධයෙන් පරිසර සංවිධාන දැඩි විරෝධයක් පළකර සිටින නමුත් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළව රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවීම වළක්වාගැනීම සඳහා කැබිනට් අනුමැතියට යටත්ව ගස ඉවත් කළ බවය.
ප්‍රදේශවාසීන් පැවසුවේ ඊයේ පස්වරුවේ පැමිණි කණ්ඩායමක් මිනිත්තු විස්සක වැනි කාලයක් ඇතුළත එම ගස ඉවත් කරගෙන ගිය බවය.
කෙසේවෙතත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ තම ආයතනය නොදැනුවත්ව මෙම ගස ඉවත් කර ඇති බවය.
ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස 2021 පෙබරවාරි මාසයේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමිනි.
එම අවස්ථාවේ ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගෙන් සහ පරිසර සංවිධානවලින් ඊට ප්‍රබල විරෝධයක් එල්ල වුණි.
ජනපති නියමයෙන් ජන හා නිවාස සංගණනයක් !
ජන හා නිවාස සංගණනයක් සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2021 වසරේදී මෙරට 15 වන ජන හා නිවාස සංගණය සිදුකිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගත තත්වය නිසා එය කල් දැමීමට රජය තීරණය කළේය .
ඒ අනුව 2023 සහ 2024 වසර දී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදු කිරීමට නියමිතය.
මෙරට පළමු ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදු කෙරුණු අතර අවසාන සංගණනය සිදු කෙරුණේ 2012 වසරේදීය.
වරාය නගරයට අතිවිශේෂ ගැසට් පත්‍රයක් !
කොළඹ වරාය නගරයේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වරාය නගරයේ ආයෝජන අවස්ථා විධිමත් කිරීමේ අරමුණින් යුතුව එහි රෙගුලාසි දක්වා ඇති අතර ඒ අනුව ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නියමිතය.
මේ අනුව එම ව්‍යාපෘතිය තුළ රුපියල්වලින් ගනුදෙනු කිරීමේ හැකියාවද පවතී.
ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරි ආර්ථික සහ සමාජයීය අරමුණු ජය ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙරට ආර්ථිකය ගොඩනැංවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කළ අතර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි මිත්‍ර රාජ්‍යය ලෙස ඉන්දීයාව ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහාය ද ඇඟයීමට ලක් කළේය.
එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි ඉන්දීය නිල සංචාරයේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද හමු වී සාකච්ඡා පැවැත්වීය.
විපක්ෂය විකුණනවාට විරුද්ධ මත්තල පාඩුව මෙන්න !
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේ දී (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් ලෙස වාර්තා වන අතර එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බව අනාවරණය වී ඇත.
මේ බව අනාවරණය කර ඇත්තේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති ගුවන්තොටුපළ සහ ගුවන්සේවා පුද්ගලික සමාගමේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.
ඊට අනුව 2022 වසරේ දී මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති පාඩුව රුපියල් මිලියන 22,214කි.
ඉකුත් වර්ෂ 06 තුළ (2017 සිට 2022) මත්තල ගුවන්තොටුපොළ ලබා ඇති අලාභය රුපියල් මිලියන 42,818ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම ගුවන්තොටු පළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාවය මිලියනයක් පමණ වුවද ඉකුත් වසර 06 තුළම මත්තල ගුවන්තොටුපල හරහා ගමන්කොට ඇති මුළු ගුවන් මගින් සංඛ්‍යාව 103,324ක් බවද විගණන වාර්තාව සඳහන් කරයි. එසේම වසර 06ටම සිදුකළ මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,612කි.
ගුවන්තොටුපල ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 36,564ක වියදමක් දරා ඇති අතර, එම මුදල ඵලදායි ලෙස භාවිත කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා ලබාගත් ඩොලර් මිලියන 190ක ණය සදහා වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් මිලියන 1,842ක මුදලක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් ගෙවා තිබුණි.
කෙසේ වුවත් මේ වන විට රාජ්‍ය ව්‍යවසාය කිරීමෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති අතර එම ප්‍රතිපත්තිය කොතරම් නිවැරදි ද යන්න මේ හරහා ද තහවුරු වෙයි. නමුත් විපක්ෂයේ කොටස් එකී ප්‍රතිපත්තිය විවේචනය කරමින් විරෝධය දක්වන්නේ වත්මන් ආණ්ඩුව ජාතික දේපළ විකුණන බව පවසමින්ය .
සුරක්ෂා රක්ෂණය නැවතත් : අධ්‍යාපන ක්‍රමයේත් වෙනසක් !
ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
රට තුළ තිරසර සහ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙන බවත්, එහිදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විෂය මාලා හඳුන්වාදීම මෙන්ම මානව සම්පත නිසි අයුරින් කළමනාකරණය කිරීම ද සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ අද (10) පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විවිධ හේතුන් මත නවතා දැමුණ "සුරක්ෂා" සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙසේද පැවසීය.
සංවර්ධිත රටවල අධ්‍යාපන අමාත්‍යංශය මධ්‍යම රජයට අයත් නොවන අතර එය පවතින්නේ පළාත් අමාත්‍යවරයෙකු යටතේයි. ඉන්දියාව, කැනඩාව, ජපානය වැනි රටවල මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන නිසා එහි දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත වී තිබෙනවා.
සන්ධීය රාජ්‍යවල එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබුණ ද අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේයි. ඒ වගේම පාසල් 399 ක් හැරුණු කොට අනිත් සියළුම පාසල් පවත්වාගෙන යනු ලබන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි.
2001 වර්ෂයේදී ජාතික පාසල් දහසක් නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය සිදුකරන විට මේ රටේ තිබුණේ ජාතික පාසල් 17යි.
නමුත් එක් එක් අධ්‍යාපන අමාත්‍යවරු ගත් තීන්දු තිරණ සහ දේශපාලන වැඩසටහන් අනුව ජාතික පාසල් ප්‍රමාණයේ වැඩිවීමක් සිදු වුණා. නමුත් ඒ තුළින් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇතිවූ බවක් කිව නොහැකියි. එක රැයකින් ජාතික පාසල් 28ක් බිහිවූ යුගයක් ඉතිහාසයේ තිබෙනවා. නමුත් මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අවශ්‍යයි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට සිසුන් පෙළගැස්විය යුතුයි.
කොවිඩ් 19 අභියෝගය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ විශාල පසුබෑමක් සිදු වුණා. ඒ වගේම පසුගිය කාලයේ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන සහ ගෑස් හිඟයත් සමග ඇති වූ සමාජයීය ගැටලු හේතුවෙන් පාසල් නිසියාකාරව පවත්වාගෙන යාමට හැකි වුණේ නැහැ.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා වෘතීය සමිති සහභාගී වූයේ නැහැ. එම තත්ත්වය දැන් සමතයකට පත්කරගෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම මේ වන විට සිදුකරගෙන යනවා. ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි.
එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සමග සම්බන්ධ වෙමින් පාසල් තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට ද සැලසුම් සකස් කර තිබෙනවා. මේ සඳහා ගුරුවරුන් 13,800ක් මේ වන විට පුහුණු කර අවසන්. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා පෙළපොත් යාවත්කාලීන කිරීම ද කඩිනම් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය යන විෂයන් 6 වසරේ සිට 9 වසර දක්වාත් 10 වසරේ සිට 13 වසර දක්වාත් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
විසි එක්වන සියවසට අදාළ සිසුවා නිර්මාණය කිරීමට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. රට තුළ තිරසර සහ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට සිදු කෙරෙනවා.
ඒ වගේම මයික්‍රෝ සොෆ්ට් වැනි ආයතනවලින් තොරතුරු තාක්ෂණයට අදාළ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරනවා.
මේ වන විට විදුහල්පති පුරප්පාඩු පන්දාහක් පමණ තිබෙනවා. එය පියවීම සඳහා තරග විභාගයක් පවත්වා බඳවාගැනීම් සිදුකිරීමට යාමෙදී වෘත්තිය සමිතියක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා. ගුරු පරිපාලන සේවය සඳහා බඳවාගැනීමට පුරප්පාඩු 22,000ක් පමණ තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවයේ සිටි අයත් අයදුම්කර තිබෙන අතර ඔවුන්ට තරග විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමි නොවීම පිළිබඳව ද අධිකරණය හමුවට ගොස් තිබෙනවා.
මෙම බඳවා ගැනීම් ප්‍රමාද වී තිබෙන්නේ ඒ නිසයි. සීයයක පිරිසකගේ මානව හිමිකම් ගැන කියමින් අධිකරණයට යාම නිසා ලක්ෂ හතළිස් දෙකක් වන සිසු දරුවන්ගේ මානව හිමිකම් මේ වන විටත් බිඳ වැටී තිබෙනවා. එම නිසා අධිකරණය මේ පිළිබඳව කඩිනම් තීන්දුවක් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී ඉදිරිපත් කළ තර්ටීන් ප්ලස් (13+) අධ්‍යාපන වැඩසටහන ඉදිරියට කරගෙන යාමට අප කටයුතු කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ස්ථාපිත කර අවශ්‍ය යෝජනා මේ වන විට සකස් කරමින් තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී රාජ්‍ය නොවන ආයතන සමඟ ඒකාබද්ධව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප සකස් කරනවා.
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහාත් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා වගේම ඔවුන් මේ රටේ ආර්ථිකයට දායක කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමටත් අප කටයුතු කරනවා.
වතුකරයේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය සුරැකීම සඳහා වතුකරයෙන් තෝරා ගන්නා සිසුන් ගුරුවරුන් ලෙස පුහුණු කිරීම සඳහා කොටගල ප්‍රදේශයේ පුහුණු විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම මගින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට කැපවෙනවා.
මෙම සියලු කාරණා සමග මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ පරිවර්තනය වෙනසක් ලබන වසරේ සිට ඇතිවනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
පර්ල් එක්ස්ප්‍රස් නෞකා වන්දි ගෙවීම : අධිකරණය වාර්තාවක් කැඳවයි !
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය සහ එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත .
ඒ එම පෙත්සම් අද (10) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බව චෝදනා කළේය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ මීට අදාළව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවය.
මෙම අවස්ථාවේදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට පෙන්වා දුන්නේ පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාදාමය නොපමාව සිදුවිය යුතු බවය.
ඒ සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන්දි ලබාගැනීමට අදාළ ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත් අගතියට පත් ධීවරයින්ගේ නීතිඥවරුන්ට නියම කළේය.
එමෙන්ම වන්දි ගෙවීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාලව ගනු ලැබූ පියවර ඇතුළත් වාර්තාවක් සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නියෝග කෙරිණි.
ඉන් අනතුරුව අදාළ පෙත්සම ඔක්තෝබර් මස 5 සහ 6 දිනවල කැඳවීමට නියම කළේය.
වජිර CID යයි !
මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මගින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
අදාළ කාරණය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය කරුණු රටට හෙළි කරන ලෙස ද වජිර අබෙිවර්ධන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසූයේ වැරදි පුවත් ප්‍රචාරය කරන්නන් හට ඉදිරියේදී නීතීමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
Lankadeepa
“ජනපති මැදුරෙන් පන්නපු බඩු 31දාට පෙර භාර දෙන්න” – ජනාධිපති ලේකම්
ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාර දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉල්ලා සිටී.
2022. 07.09 දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන එහි රැඳී සිටි කාල සීමාවේ ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වෙයි.
නීති විරෝධි ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයකු හෝ ආයතනයක් සන්තකයේ තබාගත හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපති ලේකම් සමන් ඒකනායක වැඩිදුරටත් දැනුම් දෙයි.
තවද, මේ පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකතන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා, ජාතික වැදගත්කමකින් යුතු මේ නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.
හිටපු පොලිස්පතිට සේවා දිගුවක්
පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සී.ඩී. වික්‍රමරත්නට මාස 03ක සේවා දිගුවක් ලබා දී ඇති බවය.
පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න පසුගිය 26 වැනි දින විශ්‍රාම ගනු ලැබීය.
කෙසේවෙතත් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳව විවිධ සාකච්ඡා පැවති අතර අද දිනයේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී අමාත්‍ය ටිරාන් අලස් විසින් සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
සී.ඩී. වික්‍රමරත්න මාර්තු මස 26 වනදින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ ද ඒ මහතාට මාස 03ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා මීට පෙර පියවර ගෙන තිබුණි.
ඒ අනුව ඔහුගේ ධුරකාලය දීර්ඝ කළ දෙවන අවස්ථාව මෙය වේ.
පාස්කු ප්‍රහාරය : සිරිසේන ඇතුළු චූදිතයන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටුපායිද ?
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිය පෞද්ගලික මුදලින් වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන ඇතුළු පාර්ශ්ව කිහිපයකට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය ලබන එළැඹෙන බදාදා දිනයෙන් අවසන්වීමට නියමිතව ඇත .
මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය ලබාදෙනු ලැබීය.
ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෝටි 10ක්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙස නියම කර තිබුණි.
එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කෝටි 5ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් කෝටියක මුදලක් ද වින්දිතයන් හට ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයේ සඳහන් වෙයි.
කෙසේවෙතත් වාර්තා වන ආකාරයට කිසිදු විත්තිකරුවෙකු මේ දක්වා වින්දිතයන් සඳහා වන අරමුදලට එම මුදල් බැර කර නොමැත.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ වන්දි මුදල් නොගෙවුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලෙකෙන බව නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.
Page 148 of 438