ඔන්මැක්ස් ඩී. ටී. ප්‍රයිවට් ලිමිටඩ් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචා සිදුකිරීම් පිළිබඳ මේ වනවිට පැමිණිලි 20,931 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇතැ යි රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා ඊයේ (09දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ට දැනුම් දී ඇත.
අගතියට පත් පාර්ශවයට පැමිණිලි ලබාදීම සඳහා 2025 ජුලි මස 25 සිට 2025 දෙසැම්බර් 2 දක්වා කල් ලබා දී තිබුණ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතීඥවරයා සඳහන් කළ සිටි අතර මේ වනවිට අනාවරණය වී ඇති කරුණු අනුව එකී වංචාව රුපියල් බිලියන 11කට වඩා අධික බව අනාවරණය වී ඇතැයි ද රජයේ අධිනීතිඥවරයා අධිකරණයට පැවසීය.
මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බොහෝ පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටින බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන් අතර, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එකී වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිය දී මුදල් ආපසු ගෙවන බවට එකඟවීම නිසා මුදාහළ සැකකරුවන් මුදල් ආපසු ගෙවීම සඳහා යෝජිත සැකැස්මක් ඉදිරිපත් කොට ඇති අතර එහි ආපසු ගෙවීමට එකඟවී ඇති මුදල ලෙස සටහන් කර ඇත්තේ රුපියල් බිලියන 2.6ක ප්‍රමාණයක් පමණක් බවත් රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

