ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයකට ම පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් - නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයකට ම පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයක් - නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙන පිළිකා කලින් හඳුනා ගැනීමේ නව මධ්‍යස්ථානය (Cencer Early Detection Center- CEDC) විවෘත කිරීමේ අවස්ථාවට අද (09) එක්වෙමිනි.

එම මධ්‍යස්ථානය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැගිල්ලේ පළමු මහලේ දී ස්ථාපිත කෙරිණි.

වසර 22ක කාලය තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් පරීක්ෂාවට

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රධාන වශයෙන්ම පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ මුඛ පිළිකා හදුනා ගැනීම සිදුකරන අතර මෙහි දී හඳුනා ගන්නා පුද්ගලයින් කඩිනම් ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා විශේෂඥ වෛද්‍ය සායනවලට යොමු කරයි.

2004 වර්ෂයේ දී මෙම මධ්‍යස්ථානය රොටරි සමාජයේ හවුකාරීත්වයෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව ගෙවී ගිය වසර 22ක කාලය තුළ දී ලක්ෂයකට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක්කර, අවශ්‍ය පුද්ගලයින් ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යොමුකර ඇත. පසුගිය වර්ෂයේ දී පමණක් මෙම මධ්‍යස්ථානය, නව පිළිකා රෝගීන් 104ක් හඳුනාගෙන ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

අතිනවීන වෛද්‍ය උපකරණ පහසුකම්වලින් මෙම පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි...

අද වන විට පිළිකා මෙරට ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක්

''නවීන පහසුකම්වලින් සමන්විතව එම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම්කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළේ පවතින අඩුපාඩු ද හදුනා ගනිමින් ඊට කඩිනම් විසදුම් ද ලබා දෙමින් නව්‍ය විධිමත්, කඩිනම් වැඩපිළිවෙළක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා. අද ආරම්භ කළ මෙම මධ්‍යස්ථානය මෙරට සෞඛ්‍ය සේවාවේ පිළිකා රෝග ප්‍රතිකාර අංශයේ ප්‍රධාන සංදිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකි යි. පිළිකා රෝගී තත්ත්වයන් අද වන විට මෙරට ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී තිබෙනවා.

ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ අන්තර් අමාත්‍යාංශ මට්ටමින්

රෝග කාණ්ඩවලට යන වියදම දෙස බැලූ විට පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා රජයට විශාල මුදලක් වැය කිරිමට සිදුව තිබෙනවා. ඊට හේතුව ලෙස නව පිළිකා රෝගීන් 100ක් පමණදෛනිකව වාර්තා වීමත්, වාර්තාවන රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමත් පෙන්වා දිය හැකි යි. පිළිකා රෝගීන් ලෙස හඳුනා ගන්නා රෝගීන් පසු රෝගී අවධි තුළ හමුවෙනවා. ඒ ‌හේතුවෙන් ප්‍රතිකාර විධි කිහිපයක් ලබාදීමට සිදු වී තිබෙනවා. එමෙන්ම දිනකට 40 කට පමණ ජිවිත අහිමිවීමේ තත්ත්වයකට ද පත්ව තිබෙනවා. කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී පිළිකා රෝග වළක්වා ගැනිම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු යි. ඒ සඳහා බොහෝ සංවිධාන, ආයතන සහ පුද්ගලයින්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වෙනවා. පිළිකා රෝග වැළැක්වීම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ දී ආහාර සම්බන්ධව යම් සුරක්ෂිතාවයක් ඇති කිරිම සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. අන්තර් අමාත්‍යාංශ මට්ටමින් මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතු යි. අනිවාර්යයෙන් ම පරිසර සාධක, කෘෂි රසායන භාවිතය යන කරුණූ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

දිනකට මුඛ පිළිකා රෝගීන් දසදෙනෙක්; තිදෙනෙක් මිය යනවා

පිළිකාව මුල් අවස්ථාවේ දී ම තහවුරු කර ගැනිමට අවශ්‍ය උපකරණ සහ පහසුකම් ලබාදීම රජයේ වගකීමක් සේ සළකා කටයුතු කරනවා. එම වැඩපිළිවෙළට රොටරි සාමාජය දක්වන දායකත්වය පිළිබඳ සිය ස්තූතිය පුද කරනවා. අද නව පරිශ්‍රයක ස්ථාපිත මෙම පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය ප්‍රධාන මධ්‍යස්ථානය වන අතර මීට අමතරව යාපනය, මඩකලපුව, බදුල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් ආශ්‍රිතව මෙවැනි මධ්‍යස්ථාන විට ක්‍රියාත්මක වෙනවා.

මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකාවක්. බුලත්විට, දුම්කොළ සහ පුවක් හැපීම මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුවක්. දිනකට මුඛ පිළිකා රෝගීන් දසදෙනෙකු හඳුනා ගැනෙනවා. දිනකට මුඛ පිළිකා රෝගීන් තිදෙනෙකුට ජීවිත අහිමි වෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙනවා. කලින් හඳුනා ගැනීමෙන් මුඛ පිළිකාව සුවකළ හැකි යි. කල් පවතින සුදුලප, කල්පවතින රතුලප, කල්පවතින සුදු හා රතු ලප, මුඛයේ දැවිල්ල, ශ්ලේෂ්මල පටල තුනී වීම හා ඝන වීම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ බව සඳහන් වෙනවා.

දිනකට කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවනවා

ගැබ්ගෙල පිළිකාව කාන්තාවන් අතර සුලබ පිළිකාවක්. HPV එන්නත්කරණය, විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙක් පමණක් ඇසුරු කිරීම, ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම, දුම්බීමෙන් වැළකීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමුවීම මගින් ගැබ්ගෙල පිළිකාව වළක්වාගත හැකි බව ජාතික පිලිකා මර්දන වැඩසටහන පෙන්වා දෙනවා. වයස අවුරුදු 35 සහ 45 වයස් කාණ්ඩවල කාන්තාවක් නම් මෙම මධ්‍යස්ථානයකින් හෝ අදාළ තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මගින් පවත්වන සුවනාරී පැප් පරීක්ෂාව සිදුකර ගන්න පුළුවන්.

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන අතර දිනකට තිදෙනෙක් මිය යනවා. මුල් අවධියේ දී හදුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් සුවකල හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙනවා. වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසත්, වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3 කට වරක්, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙස එම වැඩසටහන මහජනතාවට දන්වා සිටිනවා.''

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් රත්නසේකර, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර, ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් වන හසරැලි ප්‍රනාන්දු, සුරාජ් පෙරේරා, රොටරි සමාජයේ සභාපති අරුණ ප්‍රනාන්දු, යන මහත්ම මහත්මීන් ඇතුලුව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළුව සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.

cencer 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න