නව මහ බැංකු පනත නිසා මින් ඉදිරියට රජයේ අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගහන්න බැහැ - මහ බැංකු අධිපති

නව මහ බැංකු පනත නිසා මින් ඉදිරියට රජයේ අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගහන්න බැහැ - මහ බැංකු අධිපති

නව මහ බැංකු පනත නිසා මින් ඉදිරියට රජයේ අයවැය හිඟය පියවීමට මුදල් අච්චු ගැසීම වැනි අහිතකර මූල්‍ය ක්‍රමවේද භාවිත කිරීමට අවස්ථාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ (SLEA) වාර්ෂික ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා...

ධනීය ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට අඩිතාලම වැටී තිබෙනවා

''මුදල් අච්චු නොගැසීම නිසා දිගුකාලීන මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීමට හැකි වෙනවා. රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ඉදිරියටත් පවත්වා ගැනීම අතිශය තීරණාත්මක යි. මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගනු ලැබූ දැඩි මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය පාලනය කිරීමටත්, විදේශ සංචිත මට්ටම ඉහළ නංවා ගැනීමටත් හැකි වී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ක්‍රමිකව ධනීය ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට අඩිතාලම වැටී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා විදේශීය ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡා සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ඉතා ම වැදගත්.

ආර්ථිකය සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත්වෙලා නැහැ

දේශපාලන හෝ සමාජීය වෙනස්කම් මධ්‍යයේ වුවද, ආර්ථිකයේ මූලික මූලධර්ම සහ විනය ආරක්ෂා කර ගැනීම රටේ අනාගත සමෘද්ධිය සඳහා අනිවාර්ය සාධකයක්. ආර්ථිකය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙලා නැහැ. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, අපනයන දිරිගැන්වීම සහ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම වැනි අංශයන්හි තවමත් විශාල අභියෝග පවතිනවා.''

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුර විමලරතන නාහිමියෝ ද අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාව ආර්ථික සෞභාග්‍ය ළඟා කර ගැනීමට නම්...

''ශ්‍රී ලංකාව ආර්ථික සෞභාග්‍ය ළඟා කර ගැනීමට නම් අනිවාර්යයෙන් අපනයන ආදායම වැඩිකර ගත යුතුයි. ආනයන වියදම් අඩුකර ගත යුතුයි. ඒ හරහා ගෙවුම් ශේෂයේ හිඟය අඩු කර ගත යුතුයි. ජාතික අයවැය හිඟය අඩුකර ගත යුතුයි. අපනයන ආදායම වැඩිකර ගැනීමේ දී කෘෂිකාර්මික අංශයේ දායකත්වය දැනට වඩා නව තාක්ෂණය හා මුසුවූ වානිජ කෘෂිකර්මාන්තයක් කරා අප පිවිසිය යුතුයි. කර්මාන්ත අංශයේ විශාල දියුණුවක් ඇතිකළ යුතු යි. සේවා අංශයේ ඉහළ ආදායම් ලබන මට්ටමකට රැගෙන යා යුතු යි. එහිදි මානව සම්පත සතු නිපුණතා සහ කුසලතා වැඩිදියුණු කළ යුතු යි. ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වේගවත් කළ යුතු යි.''

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා ද අදහස් දැක්වී ය.

මුදල් නාස්තිය සහ සංවර්ධන බාධා

''ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යා විෂය පථයේ දැවැන්තයා වන්නේ අභාවප්‍රාප්ත මහාචාර්ය ඒ. ඩී. වී ද එස් ඉන්ද්‍රරත්න මහතාය. එතුමා ගේ දැනුම සහ මග පෙන්වීම මේ විෂය ක්ෂේත්‍රයේ බල ගැන්වීමට ඉවහල් වුණා. එතුමා වැනි අයගේ ඇසුර ලැබීමත් සතුටක්. අද සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී එක් එක් ක්ෂේත්‍ර මනාව සම්බන්ධීකරණය නොවී තිබීම විශාල ගැටලුවක් වී තිබෙනවා. සරල උදාහරණයක් ගෙන පැහැදිලි කළ හොත් මාර්ගයක් කාපට් කොට පිළිසකර කර ටික දිනක් යන විට ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට එහි කඩතොලු කරනවා. එය සිදු කොට ටික කළකින් විදුලිබල ආයතන නැතිනම් දුරකතන සමාගම් තමන් ගේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට එහි ඉදි කිරීම් කරනවා. මේ නිසා අවස්ථා කිහිපයක දී ම අලංකාරව නිමවා තිබූ මාර්ගය කඩතොලු වෙනවා. එය මුදල් නාස්තියක් මෙන්ම සංවර්ධනයේදී බාධා සිදුවන්නක්. අපි මෙවැනි අඩුපාඩු ඇති නොවීමට වග බලා ගත යුතුයි.''

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ නව සභාපති මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක යන අය ද මෙහිදී අදහස් දැක්වූහ.

ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික විද්‍යාඥයින් රැසක ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත පිළිබඳව මෙලෙස වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.

ජේ.මුණසිංහ

nandala w

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න