පොලිසියෙන් බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ පිළිමයේ ආරක්ෂාව සහතික කරන්න- පොලිස් ඇමති කියයි

පොලිසියෙන් බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ පිළිමයේ ආරක්ෂාව සහතික කරන්න- පොලිස් ඇමති කියයි

ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ ඔප්පු සහිත පන්සල් භූමිය තුළ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල් ගල තබා එදින පන්සල් භූමියේ තැන්පත් කළ බුදු පිළිමයට ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මතු වූ බවත්, බුදු පිළිමය ඊයේ රාත්‍රියේ එම ස්ථානයෙන් ඉවත් කරන්නේ ආරක්ෂාව තහවුරු කිරීමට බවත් රජය පවසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (17) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශක් කරමින් කීවේ, මෙම බුදු පිළිමයට තර්ජනයක් ඇති බවට බුද්ධි වාර්තා ලැබීමත් සමග එය ඉවත් කර පිළිමය සුරක්ෂිතව පොලිසියට වැඩම කරවූ බවත් අද දිනයේ නැවත එය තිබූ ස්ථානයේම තැන්පත් කරන බවත්ය.

මේ වනවිට පොලිසිය එම ස්ථානයට පැමිණ ප්‍රතිමාව තැන්පත් කිරීමට කටයුතු කරමින් සිටීයි.

එම අවස්ථාවට එක් වී සිටි ත්‍රීකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් මෙම පිළිමය එක්වරම ඊයේ රාත්‍රියේ රැගෙන ගියේ කුමක් නිසාදැයි කළ විමසීමේදී පිළිතුරු දුන් ඔහු කීවේ, බුද්ධි තොරතුරු මත මෙම ප්‍රතිමාවට තර්ජනයක් වී ඇති බව අනාවරණය වූ නිසා මෙම පියවර ගත් බවය.

ඒ සම්බන්ධව නිසි දැනුම්වත් කිරීමක් නොකිරීම, ගැටුමක් ඇති වීම සහ හිමිවරුන්ට පහරදීම සම්බන්ධව කළ විමසීමට පිළිතුරු නොදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේ, අවශ්‍ය නිල ප්‍රකාශ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ලබා දෙනු ඇති බවය.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුව ඇමතූ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මෙසේ පැවසිය.

“ත්‍රීකුණාමලය කොටුව සම්බුද්ධ ජයන්ති දහම්පාසල විහාරස්ථානයට අදාලව ඊයේ දිනයේ සිදුවීමක් වාර්තා වෙලා තියනවා.  තැන්පත් කරන ලද බුදු පිළිමයක් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පොලිසියට ඊයේ දිනයේ ඒ පිළිබඳව වාර්තාවක් ලැබුණා.”

“ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වුනා. ඒ වාර්තාවේ සඳහන් වුනේ තැන්පත් කරන ලද බුදු පිළිමය සම්බන්ධව යම් කඩාකල්පල්කාරී සිදුවීමක්….  එම බුදු පිළිමයට හානි කිරීමක් පිළිබදව තොරතුරක් ලැබුණා. “

“ඒ අනුව බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කරලා එහි ආරක්ෂාව සහතික කරලා තියනවා. ඒ වගේම ඊයේ හදිස්සියේ සිද්ධ වෙච්චි බුදු පිළිම තැන්පත් කිරීමක් අනුව තමයි ඒ කාරණය මතු වුනේ. අද දිනය වනවිට අපි පොලිසියට උපදෙස් දුන්නා එම බුදු පිලිමය නැවතත් එම විහාරස්ථානයේ තැන්පත් කරන්න කියලා.”

“මොකද අද දිනයේ සිට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබිලා තියනවා… එතන කලින් ආපන ශාලාවක් පවත්වාගෙන යනවා… ඒක නීති විරෝධීයි කියලා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. “

“අධිකරණ දෙන තීන්දුවක් අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ බුදු පිළිමය ඉවත් කරලා තියෙන්නෙ ආරක්ෂාව මත. මේ ඉඩම සම්බන්ධයෙන් තියන ගැටලුව අධිකරණයෙන් තමයි නිරාකරණය කරගන්න ඕන. ඒ හින්දා අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අද දිනයේ දී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා. අධිකරණය දෙන තීන්දු අනුව කටයුතු කරනවා. “

“බුදු පිළිමයේ ආරක්ෂාව සහතික කරලා තියනවා. මොකද නැවත අවාසනාවන්ත සිදුවීම් වෙන්න දෙන්න පුලුවන් කමක් නෑ. බුදු පිළිමය නැවත එම තිබුණ ස්ථානයට වැඩම කරවනවා.”

 “මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණය පැත්තෙන් එන පැමිණිලි අධිකරණයට කරුණු වශයෙන් වාර්තා කරනවා. අධිකරණය දෙන තීන්දුව අනුව ඉදිරි කටයුතු කරන්න පියවර ගන්නවා.  සාමය ආරක්ෂා කරන්න අවශ්‍ය පියවර ගන්න පොලිසියට කටයුතු දැනුම් දී තිබෙනවා.” ඇමතිවරයා කීවේය.


( lankasara- සමන් මල්ලවආරච්චි)

 





Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න