V2025

පුවත්

ගාසා හි ළමා අරමුදලට” තවත් ඇමරිකානු ඩොලර් 590000ක්

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (H. E. Dr. Zuhair M H Dar Zaid) සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota)යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා විසින් භාර දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවක් අනුව 2024 මාර්තු මස 04 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගාසා තීරයෙහි පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන පසුගිය ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල පළමු අදියර යටතේ 2024-04-01 දින පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

එසේම ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාව විශාල වශයෙන් එම අරමුදල සමඟ අත්වැල් බැඳගනු ලැබීය.

ඒ අනුව 2024 ජූලි 31 දින දක්වා අරමුදල වෙත ලැබුණු ඇමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනුදහසක (590,000/) මුදල ද මෙලෙස ඊයේ දින පලස්තීන රජය වෙත භාර දීම සිදු විය.

අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි 31 දිනෙන් අවසන් කෙරුණු අතර ඒ සමඟ මානුෂිකත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පිරිනමයි.

වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසුරිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඇප මත මුදා හැර ඇත.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගැනුණි.

සැකකරුවන් අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝග නිකුත් කර ඇත.

නාමල් තනිකර පවිත්‍රාත් රනිල්ට !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

1723098060 1

1723098044 2

නොසිතූ දෙයක් !

 මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කර තිබියදී පවිත්‍රා අමාත්‍යවරිය , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකරමින් මෙවැනි තීන්දුවක් ගැනීම බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ සිදුවිමක් බවයි.

ඒ අමාත්‍යවරිය සහ ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න රාජපක්ෂවරුන් සමඟ අතිශය සමීපතම බැඳීමක් ඇතුව කටයුතු කළ නිසා බවත් ඔවුන් පෙන්වා දෙයි.

 කෙසේ වුවත් පසුගියදා ඇගේ පාක්ෂිකයින් නිවසටම පැමිණ ඉදිරි ජනාධිපතිවරණය අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළකිරීමට කටයුතු යෙදීමත්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පැවති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් බහුතරය , පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් බහුතරය ඇතුළු දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ වූ සාකච්ඡාවේදි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය දැක්වීමට එකඟතාව පළවීම යන සිදුවීම් විසින් අමාත්‍යවරිය ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිත බව හැඟුණු බවත් විචාරකයන් පවසයි. නමුත් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම හමුවේ ඇය ජනාධිපතිවරණය අවස්ථාවේ නිශ්ක්‍රීයව සිටිනු ඇතැයි ඇතමුන් අනුමාන කළ බවද විචාරකයන් සිහිපත් කරයි.

වාස් ගුණවර්ධන ඇතුළු 06කට පැනවූ මරණ දණ්ඩනය තහවුරු කෙරේ

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝ. 8) තහවුරු කර තිබේ.

ලබා දී ඇති දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම තීන්දුව ලබා දී ඇත.

විත්තිකරුවන් ඉදිරිපත් කළ එම අභියාචනා පෙත්සම් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කිරීම ආරම්භ කර ඇති අතර වසර 7 කට ආසන්න කාලයක් පැවති නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන ලදී.

2013 වසරේ මැයි 22 වන දා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් 2015 වසරේ නොවැම්බර් මස 27 වන දා මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

ලාල් කාන්ත අත්අඩංගුවට ගන්න අදහසක් ?

ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

 එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කලේ යැයි ලාල් කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා ඒ මත ඔහු අත්අඩංගුවට ගත හැකි බවයි.

එහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

අපි තමයි ජනතාවට පාර්ලිමේන්තුවට එන්න කිව්වේ. නමුත් අරගලයේ හිටපු සමහරු මගහැරිය නිසා ඒ දේ කරගන්න බැරි වුණා කියලා ලාල්කාන්ත කිව්වා. එදා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ජවිපෙ අරගලකරුවන්ට හැකි වූවානම් අද ලංකාවේ ඇතිවෙන්නේත් බංගලා දේශයේ තත්වයමයි. රට තවමත් ගිනි ගන්නවා.

ලාල් කාන්ත මහතා යෝජනා කරපු ආකාරයට අද බංගලාදේශයේ මහපාරේ නඩුව අහනවා. නඩු අහලා මිනිසුන් මරා දමනවා.

ලෝක වාර්තාවක් සමඟ ශ්‍රීලනිප දයාසිරි පාර්ශ්වය සජිත්ට !

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් ගිවිසුමක් අද (07) අත්සන් කෙරිණි.

එම ගිවිසුම අත්සන් කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතරය.

මේ සමඟ හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ශ්‍රීලනිප හිටපු ලේකම්වරයකු වන රෝහණ ලක්ෂ්මන් පියදාස ද සජබට එක්ව තිබේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝකවාර්තාවකට හිමිකම් කියන තැනට පත්ව ඇත. ඒ එකම පක්ෂය ජනාධිපති අපේක්ෂකයන් තුන් දෙනෙකුට සහාය දෙමිනි.

ඒ ශ්‍රීලනිප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ බහුතර පාර්ලිමේන්තු මැති ඇමති පිරිස ජනාධිපති අපේක්ෂක , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට, ශ්‍රීලනිප සිරිසේන පාර්ශ්වය ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ ට සහ දයාසිරි පාර්ශ්වය සජිත් ප්‍රේමදාස ට වශයෙනි.

GMOA අනුර හමුවේ !

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (06)පැවැත්විණි.

මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් තිබෙන ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කෙරිණි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍යය සංජීව තෙන්නකෝන් සහ ප්‍රධාන ලේකම වෛද්‍ය ප්‍රභාත් සුඛ දාස ඇතුළු විධායක සභාවේ නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන ද එක්ව සිටියහ.

මම එන්නේ සටනකට නෙවෙයි - ප්‍රතිපත්ති සමඟයි : ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි !

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිවෙක් සමඟ සටනක් නොමැති බවත් තමන් පැමිණෙන්නේ තම ප්‍රතිපත්ති සමඟ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (07) කොළඹ පැවති හමුවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

''ඇත්ත කියලා රට බේරගන්න ලෑස්තිද නැතිනම් බොරු කියල රට අවුල් කරන්නද කියලා අපි හිතන්න ඕනේ. කැමති නම් මට ඡන්දය දෙන්න''

''මම මේක ඉදිරියට ගෙනියනවා. මම අනෙක් අය වගේ පොරොන්දු දෙන්නේ නෑ. මම කරල පෙන්නලා තියෙනවා. අනෙක් අය පොරොන්දු දෙනවා'' යැයි ද ජනපතිවරයා පැවැසීය.

මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙවෙයි. මම එන්නෙ රටේ අනාගතය වෙනුවෙන්. අනෙක් අපෙක්ෂකයන් එන්නෙ ඔවුන් ගෙ අනාගතය වෙනුවෙන් යැයි ජනපතිවරයා වැඩි දුරටත් පැවැසීය.

ඇතැමුන්ට කතා කිරීමට හැකියාව තිබෙන්නේ දූෂණය පිළිබඳ පමණක් වන නමුත් තමා දූෂණය වැලැක්වීම සඳහා නීති රැසක් සම්පාදනය කර ඇති බවත්, අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. තමා කිසිවිටෙක දූෂණ චෝදනා ලැබූ කිසිවකු ආරක්‍ෂා කර නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

විවෘත විශ්වවිද්‍යාලයේ නීති සිසුන් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේකෂක සිසුන් 280ක් පමණ ඊයේ (06) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අවස්ථාව සළසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුව සිසුන් අතරට පැමිණි ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකට එක් විය.

ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව මෙහිදී විමසා බැලු ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය පිළිබඳ සිසුන් ඉදිරිපත් කළ ගැටලුවල‍ට ද පිළිතුරු ලබා දෙමින් ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට ද කටයුතු කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සිසුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති නීති උපදේශක බිම්බා තිලකරත්න, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නාමල්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂක ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ නම් කිරීමට තීරණය කර ඇත.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය එම පක්ෂයේ උත්තරීතර නායක, මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ මුලස්ථානයේදී සිදුවිය.

එහිදී නාමල් රාජපක්ෂගේ නම යෝජනා කරනු ලැබුවේ ඔහුගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.

නාමල් රාජපක්ෂ ගේ නම ප්‍රකාශයට පත්කිරීමට අදාල හේතු පාඨය එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් ප්‍රකාශයට කරනු ලැබිය.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මික සාගරට යවපු ලියුම මෙන්න : දිනේෂ් බෑ කියලා : ඉල්ලුම බැසිල් නැත්නම් නාමල්ට !

පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වයේ තේරීම වූ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත.

එම ලිපිය පහත දැක්වෙයි.

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම

පළමුව, 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් මා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයටත්, ඔබතුමාටත්, අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් මා ගේ හෘදයාගම ස්තූතිය පළ කරමි.

නමුත්, පෞද්ගලික හේතුවක් මත මා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව මෙයින් කාරුණිකව දන්වමි. පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි.''

ස්තූතියි මෙයට හිතවත්
ධම්මික පෙරේරා (පා.ම.)

IMG 20240806 WA0012

මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්ෂයේ නාමල් පාර්ශ්වය විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙතින් ඉල්ලා ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර පොදුජන පෙරමුණේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ලෙස ඉල්ලමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇත.

බංග්ලාදේශය ඉක්මනින් යථා තත්ත්වයට පත්වේවා : ඩොලර් මිලියන 200 සිහිකර ජනපති කියයි !

පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට බලාපොරොත්තු වන බවත්, වැවිලි ක්ෂේත්‍රය වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය කිරීම, තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ වෙනුවෙන් ක්‍රියාවට නංවා තිබෙන ප්‍රධාන වැඩසටහන් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (06) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ කෙරුණු 2024 පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ සමුළුව අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් “පැහැපත් අනාගතයක් සඳහා තිරසර මංපෙත්” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සමුළුව අද දිනය පුරා පැවැත්වෙන අතර පරිසර, සමාජ සහ පාලනය යන ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් 15 දෙනෙකු පමණ තිරසරභාවය සඳහා පරිවර්තනය වීම වෙනුවෙන් වැදගත්වන දැනුම, අවබෝධය සහ නවෝත්පාදන විසඳුම් බෙදා ගැනීම වෙනුවෙන් ඊට එක්ව සිටී.

මෙහිදී ක්ෂුද්‍ර, කුඩා,හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ විශිෂ්ටතා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

පසුගිය අවුරුදු තුන පුරා විවිධ සමුළු පවත්වමින් පරිසර, සමාජීය හා පාලනය (ESG) පිළිබඳ කතා කිරීම සම්බන්ධව මම පළමුවෙන්ම ඔබට ස්තූති කළ යුතුයි. විශේෂයෙන්ම පුද්ගලික අංශය ලෝකය වෙනස් වන ආකාරය පිළිබඳ සහ ආර්ථික, සමාජීය සහ පාලනය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බැවින් එය වැදගත් බව මම විශ්වාස කරනවා. අප එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම දකුණු ආසියාවේ සියලුම රටවල් අතරින් එසේ කළ හැකි හොඳම රට වන්නේ අප රට බව පැවසිය යුතුයි. මාලදිවයින අප හා සමාන නමුත් එය තරමක් කුඩා රටක්. මම හිතන්නේ අනෙක් රටවල් එයට සූදානම් නැහැ. ඒ නිසා අප මෙහි පළමුවැන්නා විය යුතුයි.

මෙහි දී පෞද්ගලික අංශයේ දායකත්වය පිළිබඳ මා ප්‍රශංසා කරනවා. අද ලෝකයේ භූ දේශපාලනික තත්ත්වය ඉන් විරුද්ධ දිශාවට ගමන් කරන බව ද ඔබ මතක තබා ගත යුතුයි. තිරසර සංවර්ධන ඉලක්ක, පැරිස් දේශගුණික සමුළුව සහ ග්ලාස්ගොව් සමුළුවේ එකඟතාවන් අතරමඟ නතරවී තිබෙනවා. එතැන් සිට අප එතරම් දියුණුවක් ලබා නැහැ.

ලෝකය තවමත් COVID-19 වසංගත තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. චීනයේ ආර්ථිකය තවමත් උපරිමයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ සඳහා තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනයක් පිළිබඳ කතා කළ නමුත් ඔවුන් දැන් සඳහන් කර තිබෙන්නේ රැකියා වෙළඳපොළ අතුරුදහන් වී ඇති බවයි. ඒ නිසා අප ලෝකයේ ප්‍රධාන ආර්ථිකය දෙක දෙස අවධානය යොමුකළ යුතුයි. යුරෝපය ඉදිරියට ගමන් කරන නමුත් එහි ද ගැටළු තිබෙනවා. අප තිරසාර සංවර්ධන ඉලක්ක දෙස අවධානය යොමු කරන්නේ මෙවන් පසුබිමක් තුළයි.

අප තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගන්නේ කෙසේද, අප ඒ සඳහා අරමුදල් සපයා ගන්නේ කොහොමද, රටවල් කොපමණ ප්‍රමාණයකට මේ සඳහා මුදල් වියදම් කළ හැකිද? ඔබ පෙරළියක් අපේක්ෂා කරනවා නම් “පරිසර, සමාජීය හා පාලනය (ESG)” පිළිබඳ කටයුතු කරන්නේ කෙසේද? ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වුවහොත් එය විවෘත ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

නමුත් වඩාත් කණගාටුවට කරුණ වූයේ එක්සත් රාජධානියේ සිදු වූ දෙයයි.බොරිස් ජොන්සන් මහතා යටතේ, ග්ලාස්ගෝව් සමුළුව සහ එහිදී එකඟවූ මූලධර්ම සියලු දෙනා විසින් පිළිගනු ලැබුවා. වසර දෙකක් ඇතුළත, ඔහුගේම අනුප්‍රාප්තිකයා බවට පත්වූ රිෂි සුනක් මහතා, අසාර්ථක වූ ප්‍රතිසංස්කරණවලින් දක්ෂිණාංශික ඡන්දය ලබා ගැනීම සඳහා ඒ සෑම දෙයක්ම ආපසු හැරවූවා. අද අප එක්සත් රාජධානිය තුළ නව රජයක් පවතින බව දකිනවා. එය ආපසු හැරවීමට ඔවුන්ට අවශ්‍ය නමුත් එක්සත් රාජධානියට ඒ සඳහා තවදුරටත් මුදල් නොමැති බව අප මතක තබා ගත යුතුයි.

අපට ලැබෙන්න තිබෙන සියලුම අරමුදල් පිළිබඳ අප සාකච්ඡා කර තිබනෙවා. අප COP 27, 28, 29 සමුළු වලදී මේ පිළිබඳ සාකච්ඡා කළා. අප කොපමණ ප්‍රමාණයක් අරමුදල් ලබා දෙනවාද? අප ණය පිළිබඳ සමුළුව සඳහා පැරිස් නුවර දී හමුවූ නමුත් තවමත් අවසන් ප්‍රතිඵලයක් ලැබී නැහැ. එය නරක අතට හැරෙමින් පවතිනවා. මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය යුක්‍රේනය සහ ඊශ්‍රායලය සඳහා වැඩි මුදලක් වියදම් කර තිබෙනවා.

එම අරමුදල් අපිට මේ වෙනුවෙන් යෙදවිය යුතුව තිබුණා යැයි මා සිතනවා. යුරෝපය මේ සඳහා වියදම් කර ඇති මුදල් ප්‍රමාණය දෙස බලන්න. ඒ වගේම රුසියාව කොපමණ මුදලක් වියදම් කළාද කියා අපි දන්නේ නැහැ. ඒ අරමුදල් සියල්ලම මේ සඳහා යෙදවිය හැකිව තිබුණා. නමුත් එය සිදුවන්නේ නැහැ. දෙවනුව, මැදපෙරදිග තත්ත්වයත් ඒ හා සමානයි. ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බව පෙනෙන්ට තිබෙනවා. ප්‍රතිප්‍රහාර එල්ල කිරීම මඟින් ශ්‍රී ලංකාව ඇතුළු සියලු රටවලට අයහපත් ප්‍රතිවිපාක එල්ල වෙනවා.

අපගේ මිත්‍ර රටක් වන බංගලාදේශයේ දේශපාලනය පිළිබඳ කතා කිරීමට මා අදහස් නොකරන නමුත් ඒ පිළිබඳ යමක් සඳහන් කළයුතුයි. ෂෙයික් හසීනා මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගියත්, අප ඉතා අසීරු අවස්ථාවක සිටිදී ඇය අපේ රටට ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මම සිහිපත් කළ යුතුයි.

ඒ නිසා මේ මොහොතේ ඇත්තටම වැටී සිටින පුද්ගලයෙකු ගැන හොඳ වචනයක් ප්‍රකාශ කිරීම සාධාරණ යැයි මම සිතනවා. කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා. බංග්ලාදේශයේ තත්ත්වය ඉක්මනින් සමථයකට පත්වේවායි අප ප්‍රාර්ථනා කරනවා. බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට මට සැකයක් නැහැ.කෙටි කාලීනව යම් යම් ප්‍රශ්න ඇති වේවි, නමුත් මතක තබා ගන්න ශ්‍රී ලංකාවේ අපටත් ඒ දේම සිදුවුණා. බංගලාදේශයේ විශාලතම ආයෝජකයින්ගෙන් අප ද එක් රටක් වන නිසා අපි ඒ රටේ රැකියා අවස්ථා ඇති කර තිබෙනවා.

ලෝකය තුළ පවතින තත්ත්වයන් යහපත් නොවන බව මෙම සිදුවීම්වලින් පැහැදිලි වෙනවා. නමුත් ශ්‍රී ලංකාව මෙම කටයුතුවලින් ඉවත් වන බවක් එයින් අදහස් වන්නේ නැහැ.

මෙම ගෝලීය සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ අක්කර 600ක ප්‍රදේශයක ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුල වන විට සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. වාණිජ ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් කාබන් අවශෝෂණය සඳහා නිවර්තන කලාප සහ ඉන්දියන් සාගරය යොදාගැනීම සඳහා නිවර්තන කලාප මුලපිරීම ඉදිරිපත් කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද ඔස්සේ 2040 වසර වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාලමින් සහ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා.

මේ සඳහා වාණිජමය ආයෝජන හරහා ගෝලීය මූල්‍ය පහසුකම් ආකර්ෂණය කරගැනීමට අප බලපොරොත්තු වෙනවා. වැවිලි කර්මාන්තයේ පවතින වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය වීම, තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීම හා ඩිජිටල්කරණය ඒ තුළ ප්‍රධාන අරමුණු බවට පත්වෙනවා. මීට අමතරව, තාක්ෂණික අධ්‍යාපනය සහ නවෝත්පාදනය සඳහා සහාය වීම සඳහා නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් ස්ථාපිත කිරීමට ද කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන HSBCහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් (Mark Surgenor) යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, ව්‍යාපාරිකයින්, පුද්ගලික ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මික ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරයි : නාමලුත් ඉල්ලා අස්වෙයි !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවීමට පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වයේ තේරීම වූ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තීරණය කර ඇත.

ඔහු මේ බව සඳහන් කරමින් පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ට ලිපියක් යොමු කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ පෞද්ගලික හේතු මත තමා ඉදිරිපත් නොවන බව යැයිද දැනගන්නට ඇත.

කෙසේ වුවත් පොදුජන පෙරමුණේ නාමල් පාර්ශ්වය ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් නම් කිරීමට නියමිතව තිබුණේ හෙට (07) පෙරවරුවේ උත්සවාකාරයෙනි.

එම උත්සවය පැවැත්වීම සඳහා පළමුව කොළඹ නෙළුම් පොකුණ ශාලා පරිශ්‍රය තෝරගෙන සිටියත් පසුව එය පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණ.

එසේම ඒ වෙනුවෙන් අද කොළඹ පුරා පෝස්ටරයක් ද අලවා තිබූ අතර එය පහත දැක්වෙයි.

IMG 20240806 WA0015

නාමලුත් ඉල්ලා අස්වෙයි !

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.

ඒ අනුව පුරප්පාඩුවූ එම සාමාජික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත නම් කර ඇති බවද කතානායකවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයද මේ අනුව පුරප්පාඩුව ඇත.

අනුරත් ඇප තියයි : සේරම 18 යි : මැතිවරණ පැමිණිලි 99 යි !

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් අද (06) වන විට 18 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ද අද එම පක්ෂයේ පිරිසක් ඇප තැම්පත් කිරීම සිදුවිණ.

මේ අතර මැතිවරණ කොමිසම පවසන්නේ ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බවයි.

ජූලි 31 වනදා සිට ඊයේ (05) පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බවද කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

රවීට අපහාස කළාට කෝකිලා කොන්දේසි විරහිතව සමාව ගනියි !

තමන්ට අපහාසයක් කර ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් බිලියන 02ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින්, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන ට එරෙහිව ගොනු කළ නඩුවක් අද ( 06) කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් විය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී සිටියේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා වෙතින් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවයි.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවද මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළාය.

ඒ අනුව අදාළ නඩුවේ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි වලට අනුකූලව කටයුතු කරන ලෙස පාර්ශව කරුවන්ට නියෝග කරන ලදී.

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී තිබේ.

රජය විසින් වරින්වර සිදුකරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්හට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇත.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරින්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි වේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක  සඳහන් කර ඇත්තේ, අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 තෙක් දීර්ඝ කර ඇති බවය.

ඒ අනුව අයදුම්පත් අගෝස්තු 9 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබීය යුතු වේ.

අයදුම්පත් ලැබීමේ දී සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගෝස්තු 8 සහ 9 යන දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනැවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

WhatsApp Image 2024 08 05 at 9.18.11 PM

හරි තීන්දුව නොගත්තොත් පොහොට්ටුවේ ඉරණම ප්‍රසන්න කියයි !

ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක,තුන රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පක්ෂය නිවැරදි තීන්දුව නොගතහොත් පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි වනු ඇති බවයි.

දිවුලපිටිය ආසනයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

ප්‍රශ්නය- ඔබතුමාව ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත්කර තිබෙනවා?

පිලිතුර- මම දන්න විදියට මාව දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුමෙන් ඉවත්කර තිබෙනවා.ඒක සාධාරණයි. මොකද අපි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන්න නෑ. මම රට ගැන හිතල තීන්දුවක් ගත්තා. මම මගේ තීන්දුවේ ඉන්නවා.

ප්‍රශ්නය- ඒ කියන්නේ පක්ෂය රට ගැන හිතන්නෙ නැද්ද?

පිලිතුර- තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ කරන කොට රට ගැන හිතන්න බැහැ.අද පක්ෂයට වෙලා තියෙන්නේ එහෙම දෙයක්. රට ගැන කැක්කුමක් තිබුණනම් 2022දි පක්ෂයේ නායකත්වය වෙන කෙනෙක්ට දෙන්න තිබුණා. ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනකොට අපේ නායකයෝ එයාට සහය දුන්නේ නෑ. මොකද ඔහුට ඒ අත්දැකීම නැති නිසා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න තීරණය කළේ අපේ නායකයන්.ඒක නිවැරදි තීරණයක්. ජනාධිපතිතුමා රට අමාරුවෙන් ගොඩ ගත්තම අයිතිවාසිකම් කියන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි අත්හදාබැලීම් කරන්න ගියොත් ආපහු ජනතාව පාරට බහිනවා. ඒ නිසා කයිවාරු නොගහ වැඩක් කරල පෙන්නපු මනුස්සයට ආපහු ර⁣ට බාරදෙමු කියල අපි කියන්නේ.

ප්‍රශ්නය- ඔබ ඇතුළු පිරිසක් පක්ෂයෙන් අයින්කළේ ජනාධිපතිතුමා ප්‍රවර්ධනය කරන්න ගිහිල්ලා නේද?

පිලිතුර- නිදහස් පක්ෂය 2015 අපිට මේ විදියටම සැලකුවා.අද ඒ පක්ෂයට මොකද වෙලා තියෙන්නේ.බුද්ධිමත්ව කටයුතු නොකළොත් පොහොට්ටුවට වෙන්නෙත් ඒකමයි. අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ආදරෙයි. ඒ ආදරය නිසාමයි පක්ෂය රැකිල තියෙන්නේ. එතුමා නැතිවුණ දවසට මේ පක්ෂය ඉවරයි.

ප්‍රශ්නය- දැන් පොහොට්ටුවට මොකද වෙන්නෙ?

පිලිතුර- විනාශයක් වෙන්න යන්නේ.මේ වෙන්නෙ තමන්ගේ අපේක්ෂකයෙක් දාල ඩීල් එකක්. පක්ෂයේ අපේක්ෂකයාට දිනන්න බෑ. තරඟය තියෙන්නේ සජිත් – රනිල් අතර. අපිට ඩීල් නෑ. සල්ලිවලට පක්ෂය විකුණන්න දෙන්න බෑ. මේක මිනිස්සු හදපු පක්ෂයක්.

ප්‍රශ්නය- තනතුරු නැතුව ඔබ ඇතුළු පිරිසට මැතිවරණවලට යන්න පුළුවන්ද?

පිලිතුර- පක්ෂය දෙන තනතුරු දේශපාලන මණ්ඩලය වගේ තමයි. ඒකෙ ඉන්නෙ ගෙදර වැඩ කරන අය, තමන්ගේ සිකියුරිටි එක. නමුත් මහ⁣ පොළොව ඉල්ලන්නේ ආර්ථික අර්බුධයෙන් රට බේරාගත්තු නායකයා. අද වෙනකම් මම මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා නෙමෙයි. මට එහෙම පත්වීමක් දීල නෑ. මිනිස්සු තමයි ඒ පත්වීම දුන්නේ.බලෙන් දෙන නායකකම් මිනිස්සු කොයිතරම් දුරකට පිලිගනීද කියල බලමු.

ප්‍රශ්නය- පක්ෂයකුත් නැතුව මේ පවතින තත්ත්වය ඔබට ඉදිරිය අභියෝගයක් නෙමෙයිද?

පිලිතුර- නෑ… රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයෙන් පසුව පොහොට්ටුව හෝ වෙනත් පක්ෂයක් සමඟ සන්ධානගතවෙනවා. දැන් මේ රටේ තියෙන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. සියලුම දේශපාලන පක්ෂ,නායකයෝ,සියලුම ජාතීන් එකට එකතුවෙලා ඉන්නෙ අපේ වේදිකාවේ.මිනිස්සු බළාපොරොත්තු වෙන සිස්ටම් චෙන්ජ් එක අපේ පැත්තෙ තියෙනවා.

ප්‍රශ්නය- පක්ෂය ගත්තු තීරණය පිටුපස ඉන්නෙ කවුද? නාමල් රාජපක්ෂද?

පිලිතුර- බැසිල් රාජපක්ෂ මහතා මේ පක්ෂය එකට තියාගෙන ආවා. තනතුරු දෙනකොට අත්දැකීම් තියෙන කෙනෙකුට දෙන්න ඕන.

අත්දැකීම් නැති අය රට බාරගෙන 2022දි රටට සිදු වුණු දේම තමයි අද පක්ෂයට වෙමින් තිබෙන්නේ.

ප්‍රශ්නය – පොහොට්ටුවෙ බෙදාදීම ආණ්ඩුවට තර්ජනයක් නෙමෙයිද?

පිලිතුර- මම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පහුගිය අවුරුදු දෙකහමාරේදීම ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 113යි. අපිට ඉතුරු මාස දෙක,තුන තුළ මේ ගමන යන්න පුළුවන්.අපිට සරල බහුතරය තියෙනවා.

ප්‍රශ්නය- අන්තිමට පොහොට්ටුවට කී දෙනෙක් ඉතුරු වෙයිද?

පිලිතුර- හරි තීන්දුවක් ගත්තොත් අපි පොහොට්ටුව එක්ක ඉන්නවා.වැරදි තීන්දුවක් ගත්තොත් දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි.

ප්‍රශ්නය- පොහොට්ටුවේ ඉන්න අය ජනාධිපතිවරයාට සහය දක්වන්න එකතු වෙන්න ඔබතුමන්ලා සමඟ සාකච්ඡා කරනවද?

පිලිතුර- අපි අපේ මතය කියනවා. එච්චරයි. පක්ෂයේ මතය එක්ක හිටපු ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ කීම අහල අපිත් එක්ක එකතු වුණා. මහින්ද මහත්තයට ශක්තියක් වුණ එස්.එම් චන්ද්‍රසේන වගේ අත්දැකීම් තියෙන නායකයන් අද අපේ පැත්තට එනවා.

Page 47 of 464