V2025

විනෝදාස්වාද

ලංකාවට සුපිරී ජයක් !

විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 09කින් ජයග්‍රහණයක් වාර්තා කළේය.

ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 15කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් රැස් කළ අතර ධනංජය සිල්වා ලකුණු 31ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 31ක් රැස් කළේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය සිය පන්දු වාර 20 තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 128ක් රැස් කර ගනු ලැබිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 45ක් ලබා ගත්තේය.

මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුලු 2ක් සහ වනිඳු හසරංග ලකුණු 25කට කඩුලු 2ක් දවාගනු ලැබීය.

ලංකා බණ්ඩාරනායකට හොලිවුඩයෙන් අවස්ථාවක්

සම්ප්‍රදාය, උරුමය, මහසෝනා වැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ජාත්‍යන්තර ඇගයීමට පත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායකට, සිනමාවේ වැඩිදුර හැදෑරීම සඳහා ඇමරිකාවේ GLOBAL MEDIA MAKERS නම් ආයතනය විසින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිව තිබේ.

මෙම ශිෂ්‍යත්වය ඔස්සේ හොලිවුඩ් සිනමා කර්මාන්තයේ ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වී වෘත්තීය මඟපෙන්වීම්, චිත්‍රපට නිෂ්පාදය, පුහුණුව, සම්බන්ධිකරණ ඇතුළු අවස්ථා රැසක් හිමිකර ගැනීමට ඇයට ඉඩ ලැබේ.

ඒ අවස්ථාව පිළිබඳ ලංකා සිය මුහුනු පොතේ මේ ආකාරයෙන් සටහනක් තබා තිබුනාය.

"මගේ පලවෙනි දීර්ඝ චිත්‍රපටය සදහා තියන පළවෙනි පියවර...

The very first step towards my first feature film...!

 මගේ පලවෙනි චිත්‍රපටිය, The Hail හි පිටපත හොලිවූඩ් සිනමාවේ ප්‍රවීනයන් සමඟ වැඩිදියුණු කරන්න පුර්ණ ශිෂ්‍යත්වයක් මට මේ අවුරුද්දේ හිමිවුනා. ලොස් ඇන්ජලීස් නුවර පිහිටුවලා තියන GLOBAL MEDIA MAKERS ආයතනය විසින් වාර්ෂිකව පවත්වන මේ නේවාසික සිනමා වැඩසටහනට මේ අවුරුද්දේ මට සහභාගිවීම සඳහා ලැබෙන මේ ශිෂ්‍යත්වය වෙනුවෙන් ස්තූති කරන්න ඉන්න ප්‍රධානම පුද්ගලයා Sanjeewa Pushpakumara. සංජීව අයියාගේ "අම්මා" චිත්‍රපටියට 2019 අවුරුද්දේ මේ වැඩසටනට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා. එයින් පසුව ඔහුට මේ වැඩසටහනට ලංකාවේ සිනමා කරුවන් නම් කරන්න ලැබෙන අවස්ථාවට, ඔහු ලංකාවෙන් නම් කරපු තරුණ සිනමාකරුවන් තුන් දෙනාගෙන් අවසානයේ මගේ චිත්‍රපටිය මේ වැඩසටහනට තෝරා ගන්නවා.

 ලංකාවේ මේ වෙලාවේ තියෙන තත්වේ එක්ක චිත්‍රපටි හදනවා තියා එදිනෙදා ජීව්තේ ගත කරගන්නේ කොහොමද කියලා හිතන්න වුනත්, අපිට ඉතිං සිනමාව එක්කම හැප්පෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ."

ලොව ප්‍රකට හැග්‍රිඩ් දිවිගමනට සමුදෙයි

ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් සිය දිවිගමනට සමුදී තිබේ.

මියයන විට ඔහු 72වන වියේ පසුවිය.

වේදිකාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු දශක 4කට අධික සිය රංගන දිවිය තුළ නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුවද රසික හදවත් තුළ ඔහුගේ මතකය රැඳී ඇත්තේ හැග්‍රිඩ් ලෙසය.

රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 41කි.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (ඔක්. 2) අලුයම ඔහු රෝහල්ගත කර ඇති අතර එහිදී මියගොස් ඇතැයි සඳහන් වේ.

රක්වානේදී උපත ලද ඔහු කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ, සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ ''A-9'' ටෙලි නාට්‍යයෙනි.

2008 වසරේ 'ප්‍රභාකරන්' සිනමාපටයෙන් දර්ශන් ධර්මරාජ්ගේ සිනමා ආගමනය සිදුවිය.

එතැන් සිට හෙළ සිනමාවේ ප්‍රතිභාන්විත තරුවක් වූ ඔහු ඉනිඅවන්, මචං, මාතා, දැවෙන විහඟුන්, ආලෝකෝ උදපාදී, ඇඩ්‍රස් නෑ, සුනාමි, කෝමාලි කිංග්ස් ඇතුළු සිංහල සහ දෙමළ සිනමා පට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේ ය.

තාත්වික රංග කෞෂල්‍යයෙන් සපිරි රංගන ශිල්පියෙකු ලෙස නිරන්තරයෙන් විචාරක පැසසුමට ලක්වූ ඔහු, දෙමළ මෙන්ම සිංහල රසික ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය කලාකරුවෙක් වන අතර කෙටි ජීවිත කාලය තුළ සිංහල සිනමාවේත් තමිල් සිනමාවේත් ඔහු තබා ඇති නොමැකෙන මුද්‍රාව සම්බන්ධයෙන් ලාංකීය සිනමා රසිකයන් ඔහුට ණයගැතිය.

Page 17 of 34