Language Switcher

V2025

නව ආසියානු වාර්තාවක් සමග මීටර් 800 කාන්තා රන් පදක්කම ලංකාවට !

මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය අද (16) පැවති අතර ඊට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න විනාඩි 2.00.66කින් තරගය නිමකර නව තරගාවලි වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගත්තා ය.

ඒ සමග මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවද ඇය නමට ලියවිණ.

මෙම තරගයේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ගයන්තිකා අබේරත්න විසින් දිනුගනු ලැබීය.

තරුෂි කරුණාරත්න බිඳ හෙලුවේ 1998දී චීන ක්‍රීඩිකාවක් විසින් තැබූ තරගාවලි වාර්තාවකි.

එමෙන්ම ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි වාර්තාවක් බිහිකළේ සුසන්තිකා ජයසිංහ වන අතර එය 2002 වසරේ දී මීටර් 200 ඉසව්ව වෙනුවෙන් පිහිටුවා තිබුණි.

ඒ අනුව ශ්‍රී ලාංකිකයෙක් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බිහිකළේ වසර 21කට පසුව වීමත් විශේෂත්වයකි.