V2025

විනෝදාස්වාද

5 වන වරටත් IPL ශූරතාව චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමිකරගත් චෙන්නායි කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත්විය.

ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකරගන්නේ 5වන වතාවටය.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සායි සුධර්සන් ලකුණු 96ක් රැස්කර ගත්තේ පන්දු 58කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමගිනි.

ඔහුගේ ඉනිම නිමකළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම තරගයේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ලබාගත් කඩුලු සංඛ්‍යාව 2කි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා චෙන්නායි කණ්ඩායම පිටියට පිවිසීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමිවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිතිකරුවෝ තියුණු තරගයකින් අනතුරුව පන්දුවාර 15 අවසානයේ ලකුණු 171 රැස්කරගෙන තරගයේ ජය හිමිකරගත්තේය.

එහිදී අවසන් පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව තිබුණි.

චෙන්නායි සියලු බලාපොරොත්තු සිය කර මතට ගත් ජඩේජා අවසන් පන්දු ද්විත්වයට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ලකරමින් ඒ වනවිටත් ගුජරාට් සතුව තිබූ ජය කණපිට හැරවීමට සමත්විය.

පේලේ නාමය ශබ්දකෝෂයකට !

ලොව එතෙක් මෙතෙක් බිහිවූ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු තරුව "පේලේ" ගේ නාමය ශබ්දකෝෂයක් සඳහා ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව පෘතුගීසි භාෂාවෙන් රචිත ශබ්ධකෝෂයක් වන "Michaelis dictionary" තුළට එම වචනය එක්කර තිබේ.

එහිදී එම ශබ්දකෝෂයේ සුවිශේෂී, අසමසම සහ අද්විතීය යන වචන සඳහා සමාන පදයක් ලෙස "පේලේ" යන වචනය එකතුකර තිබේ.

එය බ්‍රසීලයේ ජනප්‍රියතම ශබ්දකෝෂයක් වන අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වනදා 82 හැවිරිදි වියේ පසුවූ මෙම සුපිරි තරුව දිවියෙන් සමුගත්තේය.

‘ඔසරිය‘ ද මේ...............

'විලාසිතා' යනු කාලයෙන් කාලයට වෙනස් වන, නව දේවල් එකතුවන ක්ෂේත්‍රයකි.

විලාසිතා නිර්මාණයේ දී බොහෝවිට එතෙක් තිබූ දේ සමග අලුත් දේ සම්බන්ධ කිරීම මෙන් ම මෙතෙක් තිබූ දේ අත්හැර සිදුකරන නව නිර්මාණයක් වුව ද විය හැකි ය.

පසුගිය දිනෙක ඔසරියේ හැට්ටය සහ පොට සමග ඩෙනිම් කලිසමක් හැඳි තරුණ නිරූපිකාවකගේ ඡායාරූප පිළිබඳ ව සමාජ මාධ්‍යයේ සාකච්ඡාවක් නිර්මාණය විය.

"ඔසරිය" සරල ව සාරියේ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ලෙස හඳුන්වා දිය හැකියි. වර්තමානය වන විට තරමක් වෙනස් වී තිබුණ ද උඩරට රදළ සංස්කෘතිය තුළ කාන්තාවන්ගේ කුලවත්භාවය පෙන්වීමට ඔවුහු ඔසරිය ඇඳීම සිදු කළ හ.

yoihdsc

වර්තමානය වන විට විවාහ වන තරුණියන්ගෙන් අති බහුතරයක් මනාලියක් ලෙස සැරසීමට තෝරාගන්නේ ඔසරිය යි.

ඔසරිය යන වචනය "ඔහොරි" යන්නෙන් බිඳී ආවක්

ඉන්දියානු උප මහද්වීපය පුරා කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතාවක් බවට පත් වී තිබෙන සාරියට වඩා ඔසරියේ යම් වෙනස්කම් කිහිපයක් තිබේ.

සාරියේ සාමාන්‍යයෙන් ඉදිරිපසින් රැළි තබන අතර, ඔසරියේ ඇත්තේ ඉණ වටා ඇති නෙරියකි. වර්තමානය වන විට, විශේෂයෙන් ම මනාලියන් සඳහා ඔසරි නිර්මාණය කිරීමේ දී තනි සාරියකින් ඔසරිය නොඇඳ, එහි එක් එක් කොටස් වෙන වෙනම මසා ඇන්ඳවීම කලෙක සිට සිදුවන ප්‍රවණතාවකි.

ඔසරිය ඇඳීම යම් නිශ්චිත කාලයක ආරම්භ වූ බවට පැවසිය නොහැකි වුවත් එහි බලපෑම දකුණු ඉන්දියාවෙන් පැමිණි එකකි.

ශ්‍රී ලංකාවේ අවසාන යුගවල දී රජකම් කළ රජවරුන් සමහරෙකු සඳහා බිසෝවරුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූ අතර මෙම ඇඳුම ඒ සමග පැමිණි එකක් බවට මතයක් තිබේ.

hasdhi

සාරිය ම යම් යම් වෙනස්කම් සිදු වී ශ්‍රී ලංකාව තුළ ඔසරිය ලෙස වර්ධනය වූ බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පවසයි. ඔසරිය යන වචනය "ඔහොරි" යන්නෙන් බිඳී ආවක් බව ඔහු පැවසුවේ ය.

"ඉස්සර ශ්‍රී ලංකාවේ කාන්තාවන් උඩුකයට හැට්ට ඇන්දේ නෑ. ඒ නිසා ඔවුන් සාරියේ පොට විවිධ ආකාරයට සකස් කරමින් ඔවුන්ගේ උඩුකය වසාගන්න උත්සහ කළා," මහාචාර්යවරයා පැවසුවේ ය.

ඔහු පවසන්නේ කාන්තාවන්ගේ අවශ්‍යතාව අනුව ඔවුන් සාරියේ යම් යම් වෙනස්කම් කර ඇති බවත්, ඒ අනුව ඔසරිය නිර්මාණය වී ඇති බවත් ය.

"කාන්තාවන්ට විවිධ දේවල් රඳවගන්න අවශ්‍ය වුණාම ඔවුන් සාරියේ පොට තියන විදිහ වෙනස් කළා. ඒ වගේ ම මල් නෙළන්න හෝ ඒ වගේ වැඩක දී දේවල් එකතු කරගන්න අවශ්‍ය විදිහට ඉදිරියේ ඇති නෙරිය පාවිච්චි කළා," ඔහු පවසයි.

ඔහුගේ මතය වන්නේ ඔසරිය යනු ශ්‍රී ලංකාව තුළ දී සාරියේ ඇති වූ වෙනස්කම් මත නිර්මාණය වූවක් බව යි. "1993 කාලයේ දී මම ඉන්දියාවේ ඉගෙන ගත්ත කාලයේ දී වත් මම ඉන්දියාව තුළ ඔසරිය ඇන්ද කාන්‍තාවන් දැකලා නෑ," ඔහු පැවසීය.

"වර්තමානයේ අපි සාරිය ලෙස හඳුනාගන්නා ඇඳුම ශ්‍රී ලංකාවේ මුලින් ම ඇන්ඳේ 1912 දී මල්ලිකා හේවාවිතාරණ මැතිණිය. ඒ කියන්නෙ අනගාරික ධර්මපාලතුමාගේ මෑණියන් විසින්. දඹදිව වන්දනා ගමනක් යාමට තමයි ඔවුන් ඒ විදිහට සාරියෙන් සැරසුණේ," යනුවෙන් මහාචාර්යවරයා පැවසුවේ ය.

'විලාසිතාවල දි ගැලපීමත් අත්‍යවශ්‍යයි'

වසර තිහක් තිස්සේ සාරි හා ඔසරි නිර්මාණකරණයේ යෙදෙන, සාරි අලංකරණය කිරීමේ උපදේශකවරියක් ලෙස කටයුතු කරන ශ්‍යාමනී ගුණරත්න ද ඔසරියේ විකාශනය ගැන අදහස් පළකළා ය.

"ඉස්සර අපි ඩිසයින් කළාට වඩා ගොඩක් වෙනස් විදිහට තමයි දැන් ඩිසයින් කරන්නෙ. කාලයත් එක්ක එන ප්‍රවණතාවයන් වෙනස් වෙනවා. විවිධ පාටවලින්, විවිධ මෝස්තරවලින් අපි සාරි, ඔසරි නිර්මාණය කරනවා. නමුත් මම හිතනවා හැමදේකට ම ගැලපීම වැදගත් කියලා," ඇය පවසයි.

සාම්ප්‍රදායික ඔසරියෙන් ඔබ්බට ගොස් වර්තමානය වන විට බොහෝ වෙනස්කම් ඊට සිදුව ඇතැ යි ඇය පවසයි.

"සාම්ප්‍රදායික ව ඔසරියේ පොට තබනවාට වෙනස් විදිහට දැන් මනාලියන් පොට තියනවා. බටහිර මංගල ඇඳුම්වල දිග වේල් එකක් එනවා. ඒ වගේ ම ඔසරියේත් දිගු පොටක්, හරියට වේල් එකක් වගේ, තියන ප්‍රවණතාවයක් වර්තමානයේ තිබෙනවා. ඒ වගේ ම ඔසරියේ යට කොටස ගවුම් විලාසිතා ආකාරයෙන් තරමක් පිම්බිලා එන විදිහට (Fish Tail) ආකාරයටත් සමහරුන් සකස් කරනවා," ඇය ඇගේ අත්දැකීම් පැවසුවා ය.

ශ්‍යාමනී ගුණරත්න පවසන්නේ ඇඳුම් විලාසිතා වෙනස් වීම සහ නවීකරණය වීම සාමාන්‍ය දෙයක් බවයි.

"අපි ඉස්සර ඇඳපු විදිහ සහ අද ඇඳුම් අඳින විදිහ වෙනස්. හැමදාම එක ම දෙයක් කළොත් ඒවාට ඉල්ලුම අඩු වෙනවා. නමුත් මම හිතනවා විලාසිතාවල දි ගැලපීමත් අත්‍යවශ්‍යයි කියලා."

ඔසරියේ කොටසක් සහ ඩෙනිම් කලිසමක් හැඳ නිරූපණයේ යෙදුණු නිරූපිකාවගේ ඡායාරූප පිළිබඳ බොහෝ අය අදහස් දක්වා තිබූ අතර ඇතැම් අයගේ මතය වී තිබුණේ එය සංස්කෘතියට පටහැණි දෙයක් බවයි. එහි නොගැලපීම් තිබෙන බවට ද යම් අය අදහස් දක්වා තිබුණි.

knlknxc

'රංගම්මා' නම් දකුණු ඉන්දියානු බිසවගේ ඇඳුම

ඡායාරූපකරණය පිළිබඳ දේශකවරයෙක් හා "සරණ මංගල්‍යය" කෘතියේ කතුවරයා ද වන ඉන්ද්‍රනාත තේනුවර ද බීබීසී සිංහල සමග අදහස් පළ කළේ ය.

"මගේ කෘතියේ දී මම ලියලා තියෙනවා කොහොමද මේ ඔසරිය සහ අපේ විවාහ චාරිත්‍ර ආරම්භ වුණේ කියලා. ඔසරිය කියන්නේ දේශීය ඇඳුමක් නොවෙයි," ඔහු පවසයි.

"නායක්කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 'රංගම්මා' කියන දකුණු ඉන්දියානු බිසවගේ ඇඳුම ආශ්‍රයෙන් 1900 දී විතර තමයි මේක ආරම්භ වෙන්නෙ"

ඔහු පවසන්නේ මේ ආකාරයෙන් විලාසිතා වෙනස් වීම සහ නවීකරණය වීම යහපත් දෙයක් බව යි.

"මට ඒ තරුණ නිරූපිකාවගෙ ඡායාරූප දැක්කම හරිම ලස්සන යි කියලා හිතුණා. අපට විවිධ ඇඳුම් විවිධ විදිහට අඳින්න පුළුවන් නම් ඇයි ඔසරිය විතරක් බැරි?," ඔහු විමසයි.

"වර්තමානයේ දී මනාලියන්ව හැඩගන්වන අය ඔසරියේ විලාසිතා ඕනෑ තරම් වෙනස් කරලා තිබෙනවා. ඒ නිසා මේ තරුණියගෙ ක්‍රියාව විතරක් වැරදි වෙන්න විදිහක් නෑ. නමුත් මම හිතනවා ඇය ඒ නිරූපණයේ දී කළු පාට කලිසමක් නොඇඳ ඔසරියේ පාටට ගැලපෙන සුදු හෝ එවැනි වර්ණයක කලිසමක් ඇන්ඳා නම් තවත් සුන්දරවෙයි කියලා."

 (BBC සිංහල සේවය)

මව්වරුන්ට ප්‍රසූත නිවාඩු ලබා දීමට කැපවූ මහාචාර්යවරිය අවසන් ගමන් යයි !

වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු මහාචාර්යවරිය වූ ළමා රෝග විශේෂඥ මහාචාර්ය ප්‍රියානි සොයිසා සඳුදා (අප්‍රේල් 10) බොරැල්ල කනත්තේදී අවසන් ගමන් ගියා ය.

අප්‍රේල් මස 7 වන දා අභාවප්‍රාප්ත වන විට ඇය 97 වන වියේ පසුවූවා ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කළ ඇය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කළා ය.

1925 නොවැම්බර් මස 23 වන දා මොරටුවේදී උපත ලබා ඇති ප්‍රියානි සොයිසා මොරටුව වේල්ස් කුමරි විදුහලේ ආදි ශිෂ්‍යාවකි.

පසුව ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව උපාධිය ලබා ගත්තා ය.

බ්‍රිතාන්‍යයේදී වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා යළි ශ්‍රී ලංකාවට පැමිණි ඇය වෛද්‍යවරියක ලෙස සේවය කළ අතර, පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක ලෙස ද සේවය කළා ය.

MBBS(Cey), DCH(Eng), MD(Cey), DSc (Ruhuna) Honoris causa, FRCP(Edin), FRCP(Lond), FRCPCH(UK), FCCP(SL), FSLCPaed යනු ඇයගේ අධ්‍යාපනික ගමන් මගේ පසු කළ සන්ධිස්ථාන කිහිපයකි.

ඊට අමතරව, ඇය වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපෑ නව පර්යේෂණ රැසකට ක්‍රියාකාරී ලෙස දායක වී තිබේ.

ලෝකයට ම බලපෑ ඇගේ සේවාව

අලුත උපන් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් මව් කිරි දීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සදහා පමණක් නොව ඒ සදහා අවශ්‍ය පරිපාලනමය පසුබිම සකස් කිරීමට මහාචාර්ය ප්‍රියානි සොයිසා කැප වී ක්‍රියා කළා ය.

1980 දශකයේදී මව් කිරි වෙනුවට වෙනත් ආදේශක කිරිපිටි හදුන්වා දීම සදහා වෙළෙද ප්‍රචාරණ කටයුතු අධිකව සිදු කරගෙන ගිය බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය පූජිත් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

"ඒ කාලයේ මව් කිරි වෙනුවට වෙනත් ආදේශක ලබා දීම සහ ඒවා ප්‍රචාරණය කිරීමට එරෙහිව මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය දැඩිව ක්‍රියා කළා. ඇය මේ පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය කරා ගෙන ගියා. ඒ අනුව තමයි, මව් කිරි ආදේශක සදහා වෙළෙඳ ප්‍රචාරණ කටයුතු කිරීම තහනම් කළේ," මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ පැවසීය.

ඇයගේ මෙම ක්‍රියාන්විතය හරහා මව් කිරි දීමේ අගය කෙරෙහි ලෝකයේ ම අවධානය යොමු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

"මහාචාර්යතුමිය එතනින් නැවතුණේ නෑ. මව් කිරි දීම වැදගත් වුණත් වැඩ කරන මව්වරුන්ට තමන්ගේ දරුවාට කිරි දෙන්න විදිහක් ඒ කාලයේ තිබුණේ නෑ. ඒ කාලේ ප්‍රසූත නිවාඩු තිබුණෙ නෑ. ඇය සටන් කළා මව්වරුන්ට මව් කිරි දීම සදහා ප්‍රමාණවත් ප්‍රසූත නිවාඩු සංඛ්‍යාවක් දිය යුතු බව. ඒ උත්සහය සහ කැපවීම නිසා තමයි ශ්‍රී ලංකාවේ මව්වරුන්ට ඒ මහගු අවස්ථාව ලැබුණේ. ඒක ශ්‍රී ලංකාවේ ළමා පෝෂණයට ඍජු ලෙස බලපෑවා," මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ය.

මේ අනුව, මේ වන විට දරු ප්‍රසූතියකදී මව්වරුන්ට වැඩ කරන දින 84ක වැටුප් සහිත ප්‍රසූත නිවාඩු හිමි වෙයි.

මහාචාර්ය ප්‍රියානි සොයිසා ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමට ද කැප වී ක්‍රියා කළ අයෙකි.

එතුමියගේ ක්‍රියාකාරිත්වය යටතේ ශ්‍රී ලංකාවේ පෝලියෝ තුරන් කිරීමේ කාර්ය සාධක බළකායක් ස්ථාපනය කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කර දැමීමට හැකි විය.

තනතුරු සහ වගකීම්

ඇය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය උදෙසා ක්‍රියාත්මක වූ ආයතන රැසක සභාපති ධුරය දැරීය.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති යන තනතුරු ඉන් කිහිපයකි.

1991 වසරේ ඇය විශ්‍රාම ලැබූ අතර විශ්‍රාම යන තෙක් තමන්ගෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළ බව මහාචාර්ය පූජිත් වික්‍රමසිංහ පැවසීය.

2017 වසරේදී ඇය එවකට ජනාධිපති ධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේන අතින් දේශමාන්‍ය ගෞරව සම්මානයට පාත්‍ර විය.

"ආදරණීය මවක්"

ඇය සිය වෘත්තිය කැපවීම් කරන අතරතුර සිය පවුල පිළිබදව ද අතිශයින් සංවේදී වූ "ආදරණීය මවක වූ" බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා පවසයි.

උගුර, කණ, නාසය පිළිබද ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආනන්ද සොයිසා සමග විවාහ වී සිටි මහාචාර්ය ප්‍රියානි සොයිසා දැරියන් සිව් දෙනෙකුගේ මවකි.

ඇය සිය කාර්ය බහුල ජීවිතය හමුවේ සිය පවුලේ සාමාජිකයින් සමග ද කාලය ගත කිරීමට අමතක නොකළ බව වෛද්‍ය පෙරේරා පවසයි.

bbc

Page 12 of 33