V2025

විනෝදාස්වාද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත් වැඩි අවධානයක් දිනාගන්නා තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ(14 වැනිදා) පැවැත්වුණි.

එම තරගය කඩුලු 07කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළේය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි.

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 192කි.

ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 30යි පන්දු 03ක් තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 192ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මෙම ජයත් සමග තවදුරටත් මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූ ඉන්දියාව, එදා මෙදා තුර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්තානය හමුවේ අපරාජිත වාර්තාව රැකගැනීමටද සමත් විය. මේ දක්වා එක්දින ලෝක කුසලාන තරග 8 කදී පාකිස්තානයට එරෙහිව තරග වැදී ඇති ඉන්දියාව එම තරග 8 න්ම ජය ලබා ඇත.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 63 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 86 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය.

ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමින් සිය කණ්ඩයමේ ජයග්‍රහණය තහවුරු කළේය.

රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට ඕවර 42.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 191 ක් පමණි. එහිදී ජස්ප්‍රීට් බුම්රා ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත් අතර හර්දීක් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජදේජා සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන්හ.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක බාබර් අසාම් පන්දු 58 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 50 ක් රැස්කළ අතර මොහොමඩ් රිස්වාන් පන්දු 69 කින් ලකුණු 49 ක් රැස්කළේද හතරේ පහර 7 ක් සමගිනි. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 82 ක සම්බන්දතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් බාබර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව අවසන් කඩුලු 6 ම ලකුණු 29 ක් තුළ බිඳවැටීමෙන් පාකිස්තාන ඉනිම කඩා වැටිණ. අර්ධ ශතකය පෙනි පෙනි සිටියදී රිස්වාන් දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි.

පාකිස්තානය - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 191
අබ්දුල්ලා ශෆීක් 20, ඉමාම් උල්හක් 36, බාබර් අසාම් 50, මොහොමඩ් රිස්වාන් 49, ජස්ප්‍රීට් බුම්රා 19/2, හර්දීක් පාණ්ඩ්‍යා 34/2, කුල්දීප් යාදව් 35/2, රවින්ද්‍ර ජදේජා 38/2, මොහොමඩ් සිරාජ් 50/2)

ඉන්දියාව - ඕවර 30.3 කදී කඩුලු 3 ක් දැවී 192
(රෝහිත් ශර්මා 86, ශුබ්මන් ගිල් 16, විරාට් කෝලි 16, ශ්‍රෙයාස් අයියර් නොදැවී 53, ලොකේෂ් රාහුල් නොදැවී 19, ශහීන් අෆ්රිඩි 36/2)

තරුෂි ලක්මව රනින් සරසයි

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය.

ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20කි.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය.

2002 වසරෙන් පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්විය.

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලක මළල ක්‍රීඩා ඉසව්වකින් රන්පදක්කමක් ශ්‍රී ලංකාව දිනා ගන්නේ වසර 21කට පසුව වන අතරම මැදිදුර ඉසව්වක දිනූ පළමු රන් පදක්කම ද වේ.

මෙම තරගයට ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නද සහභාගී වූ අතර, ඇයට හිමිවූයේ අවසන් ස්ථානයයි. ඇයගේ තරග නිමි කාලය වූයේ මිනිත්තු 2:05.87කි.

මෙම රන් පදක්කමත් සමග ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 22 වැනි ස්ථානය දක්වා උසස් වීම් ලැබීය.

ශ්‍රී ලංකාව මේවනවිට රන් පදක්කමක් සහ රිදී පදක්කම් 02ක් දිනාගෙන සිටි.

චමරි අතපත්තු ICC මාසයේ හොඳම ක්‍රීඩිකාව ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

එම සම්මානය සදහා නිර්දේශ වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ලෝරා වොල්වාඩ් සහ නෙඩීන් ඩි කල්ර්ක් පරදවා 33 හැවිරිදි චමරි අතපත්තු ICC සැප්තැම්බර් මස ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට පාත්‍ර වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිවේදනය කරයි.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුසලය විසින් මෙම සම්මානය ලබාදී ඇති බව සඳහන් වේ.

එහිදී චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

වසර 17කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට....

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත්විය.

වසර 17කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් අද (03) හිමි විය.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙලේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ අවසන් තරගය චීනයේ හංග්ජොව්හිදී අද පැවැත්විය.

නදීෂා දිල්හානි ලේකම්ගේ මෙම තරගයේදී මීටර මීටර 61යි දශම 5යි 7ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය.

ඇය එම ඉසව්වට ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය එයයි.

ඒ අනුව 2006 වසරේදී සුසන්තිකා ජයසිංහගෙන් අනතුරුව ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම මෙය වේ.

අද පැවැති හෙල්ල විසි කිරීම කාන්තා රන් පදක්කම ඉන්දියාව දිනා ගත් අතර, ලෝකඩ පදක්කම හිමි වූයේ චීනයටයි.

Page 8 of 34