Image

වධහිංසාවට ලයිසන් දෙන PTA අහෝසි කරන්නේ කවදාද?

වධහිංසාවට ලයිසන් දෙන PTA අහෝසි කරන්නේ කවදාද?

ජූනි 26 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ, වධහිංසා පැමිණවීම පිටුදැකීම සහ වින්දිතයන්ට සහයෝගය දැක්වීම සඳහා වූ ජාත්‍යන්තර දිනය (International Day in Support of Victims of Torture) ලෙසිනි.

දෛවෝපගත ලෙස, ඊට පෙර දින එනම් ජූනි මස 25 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ළඟදී ම මුළුමනින් ම ඉවත් කරන බවයි.

ANURAKUMARA

 

අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට, අමානුෂික පහර දීම් ඇතුළු නොයෙකුත් වද හිංසා පැමිණවීමට ඉතිහාසය පුරා ම වැඩිවශයෙන් අවභාවිත කෙරුණු මර්දනකාරී නීතියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැඳින්විය හැකි ය. එම මානව හිමිකම් විෂයෙහි, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය මත තැවරුණු, අද වන තුරුම යළි යළිත් අලුත් වන යෝධ කළු පැල්ලමකි.

මෙම පනත අහෝසි කරන ලෙස මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් දක්වන දෙස් විදෙස් ක්‍රියාකාරීහු දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටිති. එමෙන්ම ජාතික ජන බලවේගය බලයට පත් වීමට පෙර ඒ පිළිබඳ පැහැදිලි පොරොන්දුවක් ලබා දී තිබුණු අතර, මෙම කුරිරු නීතියෙන් වැඩිපුර ම පීඩා විඳ ඇති උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා එය ප්‍රබල සාධකයක් විය. එවැනි පසුබිමක, පමා වී හෝ ජනාධිපතිවරයා එම පොරොන්දුව අලුත් කිරීමත්, එය වධහිංසා පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට පෙර දින පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමත් සංකේතීය වැදගත්කමක් දරයි.

WhatsApp Image 2026 07 04 at 11.49.46 AM 1

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' යන නාමකරණය නිසා, එය ත්‍රස්තවාදය මැඩලන උපකරණයක් බවත්, නිර්දෝෂී මිනිසුන්ට එහි බලපෑමක් නැති බවත් සමහරු තවමත් විශ්වාස කරන මිථ්‍යාවකි. අපට මුණගැසුණු තෙරේසා කුමාරිගේ කතාව, ඒ මිථ්‍යාව විසුණු කර බිහිසුණු යථාර්ථය හෙළි කරන ප්‍රබල උදාහරණයකි.


තෙරේසා- කුරිරු නීතියක වින්දිතයෙක්

තෙරේසා කුමාරි ඇගේ කුඩා දරුවන් දෙදෙනාත් කැටුව සිකුරාදා දින සිය මව ගේ නිවස වෙත ගියේ සති අන්තය මව සමග ගත කිරීමේ අරමුණ ඇතිව ය. මාස කිහිපයකට පෙර ඇගේ සැමියා ඇය සහ දරුවන් දෙදෙනා අතහැර දමා ගොස් තිබිණි. ඉන් පසුව ඈ දරුවන් සමග බොහෝ සති අන්ත ගෙවා දැමුවේ සිය මවගේ නිවසේ ය. 2008 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක, සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් ඈ සොයා ඇගේ මවගේ නිවසට පැමිණියහ.

“මගේ ස්වාමිපුරුෂයා අපිව අතහැරලා යනකොට දරුවන් බොහෝම පොඩියි. මම ගෙවල් කිට්ටුව පෙර පාසලකට කෑම දීලා ඒ ලැබෙන සුළු මුදලින් තමයි දරුවො ජීවත් කළේ. සති අන්තෙට අපි අම්මලා ගෙ ගෙදර යනවා. එහෙම ගිය වෙලාවක ඉරිදා දවසක මාව හොයාගෙන අම්මලා ගෙ ගෙදරට පොලීසියෙන් ආවා. මගේ සැමියා අපරාධයකට සම්බන්ධ බවත්, ඔහු සැඟවී සිටින නිසා මාව අත්අඩංගුවට ගන්නා බවත් කියා ඉරිදා හවස 6ට විතර කාන්තා පොලිස් නිලධාරිනියන් කිසිවෙක් නැතිව මාව පොලිස් ජිප් එකට දාගෙන එක්ක ගියා. ඒ එක්ක ගිහින් වැරද්ද පිළිගන්න කියලා මට දිගට හරහට ගැහුවා. 'වැරද්ද පිළිගන්න හරි මම කරපු වැරද්ද දැනගන්න ඕන' කියලා කිව්වම, 'මගේ කට වැඩියි' කියලා ආපහු ගැහුවා. යකඩ පොලු වලින් පවා ඔළුවට ගැහුවා. තිබහට වතුර ටිකක් ඉල්ලුවාට වතුර ටිකක්වත් දුන්නෙ නෑ. කෑම කන්න දෙන්නෙත් නෑ. කෑම එක දීලා, කන්න කලින් අයින් කරලා ආයෙත් ගහනවා. අත්අඩංගුවට අරන් දවස් ගානක් යනතුරු මට මගේ පවුලේ අයට කතා කරන්න දුන්නෙ නෑ. නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට හෝ ඉඩක් ලැබුණේ නෑ.

උසාවියකට ඉදිරිපත් නොකර මාස 11ක් තිස්සේ මාව පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටියා. ඒ අතරෙ දවසක, මාව ආයුධ තොගයක් ඉදිරිපිට තියලා පොටෝ ගත්තා. මාස එකොළහකට පස්සෙ මාව උසාවියට ඉදිරිපත් කළා. අවුරුදු අටක් පුරා මගේ නඩුව විභාග කෙරුණා. ඒ මුළු කාලයේම මාව රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබුණෙ. අන්තිමේ දි උසාවියෙන් මාව නිදොස් කොට නිදහස් කළා.”

මියෙන තුරා සුව නොවන හදවතේ තුවාලත්, පහර දීමෙන් ඇති වූ ශාරීරික අතුරු ආබාධත් ඇති තෙරේසා පැවසුවා ය.

ශ්‍රී ලංකා පොලීසිය විසින් තෙරේසා අත්අඩංගුවට ගෙන තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය. ශ්‍රී ලංකාවේ Prevention of Terrorism Act (PTA) හෙවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගුකාලීනව මානව හිමිකම් කුරිරු ලෙස උල්ලංඝනය කිරීමේ මෙවලමක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් කණ්ඩායම් සහ එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් දිගින් දිගට ම පෙන්වා දී ඇත. 1979 දී මාස හයක "තාවකාලික ප්‍රතිපාදනයක්" ලෙස හඳුන්වා දුන් මෙම පනත, අඩසියවසකට ආසන්න කාලයක් (වසර 47ක්) තිස්සේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, දිගුකාලීන රඳවා ගැනීම් සහ අමානුෂික වධහිංසා කිරීම් සඳහා අවභාවිත කළ අවස්ථා දහස් ගණනකි.

උතුරේ යුද්ධය නිම වීමෙන් පසුව ද, බලයේ සිටි විවිධ ආණ්ඩුවලට අභියෝගයක් වන දේශපාලන ක්‍රියාකාරකම් සහ ක්‍රියාකාරිකයින් මර්දනය සඳහා ද භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට එරෙහි අවියක් ලෙස ද මෙම පනත නිරන්තරයෙන් අවභාවිත කර ඇති අතර, අවස්ථා බොහෝ ගණනක දී එවැනි ක්‍රියාකාරකම්වල අනීතික සහ ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇත. අහ්නාෆ් ජසීම්, හිජාස් හිස්බුල්ලා, අසාත් සාලි, වසන්ත මුදලිගේ යන අය අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීන්දු ඒ පිළිබඳ මෑතකාලීන නිදසුන් ය.

PTA: නීතියෙන් ආවරණය වන වධහිංසාව


Untitled 13 3
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඕනෑම පුද්ගලයෙක් වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට සහ මාස 18කට අධික කාලයක් කිසිදු නිල චෝදනාවක් නොමැතිව රඳවා ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාව පවතී. අත්අඩංගුවට පත් පුද්ගලයන්ට නීතිඥ ප්‍රවේශය සීමිත වීම, දිගුකාලීන රඳවා ගැනීම් සහ අමානුෂික වධහිංසා තුළින් පාපොච්චාරණ ලබා ගැනීම මෙහි දී සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. විශේෂයෙන් මෙහි දී පොලිස් අධිකාරීවරුන් ඉදිරියේ ලබා දෙන ප්‍රකාශ (වධහිංසා යටතේ ලබාගත් ඒවා වුව ද) සාක්ෂි ලෙස පිළිගැනීම නිසා, සැකකරුවන් බරපතළ වධහිංසාවලට ලක් කිරීමට පොලිසිය පෙලඹේ. සැකකරුවන් ගේ අයිතිවාසිකම් සීමිත කිරීමට සහ බාහිර නිරීක්ෂණයෙන් තොරව රඳවා ගැනීමට විධායකයට සහ ආරක්ෂක බලධාරීන්ට ඇති පුළුල් බලතල පුරවැසියාගේ මූලික හිමිකම් පයට පාගා දමන ප්‍රධාන සාධකයකි.

සාමාන්‍ය ලංකා නීතිය (සාක්ෂි ආඥාපනත) අනුව පොලිස් නිලධාරියකු ඉදිරියේ කරන කිසිදු පාපොච්චාරණයක් උසාවියක දී සාක්ෂියක් ලෙස පිළිගත නොහැකා ය. ඊට ප්‍රධානතම හේතුව පොලිසිය: පහරදී, වධහිංසා පමුණුවා හෝ බියගන්වා එවැනි ව්‍යාජ ප්‍රකාශ ලබා ගැනීමට ඇති ඉඩකඩ අතිශයින්ම සුලබ බැවිනි.

නමුත් PTA පනතේ ඇති භයානකම තත්ත්වය වන්නේ, සහකාර පොලිස් අධිකාරී (ASP) වරයකුට වඩා ඉහළ නිලධාරියකු ඉදිරියේ කරන පාපොච්චාරණ සාක්ෂි ලෙස උසාවිය ඉදිරියේ වලංගු වීමයි. සැකකරුවන් ගෙන් කෙසේ හෝ අත්සනක් හෝ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රඳවා තබා ගැනීමේ නියෝග (Detention Orders) යටතේ සිටින පිරිස් වෙත අමානුෂික ලෙස වදහිංසා පැමිණවීමට මෙයින් නීත්‍යානුකූල අවසරයක් ආරක්ෂක අංශ වෙත ලැබේ. රඳවා සිටින පුද්ගලයා බාහිර ලෝකයෙන් මුළුමනින්ම හුදෙකලා කර, ශාරීරිකව සහ මානසිකව උපරිම පීඩාවට පත් කර, විමර්ශන නිලධාරීන් ලියා දෙන ඕනෑම ලියවිල්ලකට බලහත්කාරයෙන් අත්සන ලබා ගැනීම මෙහි දී සිදු වේ. නැගෙනහිර පළාතේ තරුණ කවියකු වන අහ්නාෆ් ජසීම්, බරපතළ ලෙස මෙබඳු හිංසනවලට ලක් වූ අයුරු, ඔහුගේ මූලික අයිතිවාසිකම් නඩුවේ දී හෙළි විය.

Amnesty International, Human Rights Watch සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන පෙන්වා දෙන්නේ PTA යටතේ අත්අඩංගුවට ගන්නා බහුතරයකට ශාරීරික හා මානසික වදහිංසා පැමිණවීම විමර්ශනවල සාමාන්‍ය ක්‍රමවේදයක් (Routine Procedure) බවට පත්ව ඇති බවයි.

 

ප්‍රතිවාදීන්ට සහ සුළුතරයට එරෙහිව

torture

මෙම පනත, පැවති සියලුම රජයන් විසින් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සහ විරුද්ධවාදීන් මර්දනය වෙනුවෙන් සිතාමතාම අවභාවිත කර ඇත. විශේෂයෙන් ම මෙරට සුළුතර ප්‍රජාව වන දෙමළ සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින්, ජාතිවාදී දේශපාලන න්‍යාය පත්‍ර ශක්තිමත් කිරීමට මෙම පනත බහුලව ක්‍රියාත්මක වූ බව ප්‍රසිද්ධ රහසකි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මාස ගණනාවක් රඳවා තැබීම මෙන්ම, පසුගිය කාලයේ රට තුළ ඇති වූ ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ රජයට එරෙහිව හඬ නැගූ වසන්ත මුදලිගේ යනාදි ශිෂ්‍ය ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ ස්වාධීන මාධ්‍යවේදීන් නිහඬ කිරීමට ද PTA පනත සෘජුවම යොදා ගත්තේ ය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ වධහිංසාව යනු කිසිදු තත්ත්වයක දී, කිසිදු හේතුවක් මත සාධාරණීකරණය කළ නොහැකි ජාත්‍යන්තර අපරාධයකි. නමුත් ශ්‍රී ලංකාවේ PTA යටතේ එයට වක්‍රව “නීතිමය” රැකවරණයක් සහ මුක්තියක් (Impunity) ලබා දී තිබීම බරපතළ ඛේදවාචකයකි.

ජූනි 26: වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර දිනය

 

United Nations International Day in Support of Victims of Torture.jpg
1987 ජූනි 26 වනදා බලාත්මක වූ වධහිංසාවට සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය" (Convention Against Torture - UNCAT) සිහිපත් කරමින් මෙම ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කර ඇත. එහි මූලික අරමුණු වන්නේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම, එනම් ලොව පුරා විවිධ මර්දනකාරී අණපනත් සහ යුදමය වටපිටා තුළ නීති විරෝධී වදහිංසාවන්ට ලක්වූවන්ට සාධාරණය සහ සහයෝගය දැක්වීම, ඔවුන්ගේ මානසික-ශාරීරික පුනරුත්ථාපනය වෙනුවෙන් පෙනී සිටීම යි. තව ද වධහිංසාව පිළිබඳ ලෝකයට අවධාරණය කිරීමත් වධහිංසනයට එරෙහි ජාත්‍යන්තර දිනයේ අරමුණක් වේ. එහි දී වධහිංසාවන් යනු මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර නීති යටතේ කිසිසේත්ම, කිසිදු හේතුවක් (යුද්ධයක්, හදිසි තත්ත්වයක්, ජාතික ආරක්ෂාව හෝ දේශපාලන අස්ථාවරත්වයක්) මත සාධාරණීකරණය කළ නොහැකි, මෙන්ම කිසිඳු තත්ත්වයක් යටතේ සිදු නොකළ යුතු සාහසික අපරාධයක් බව ලෝක ප්‍රජාවට මතක් කර දීම සිදු කරයි.

ශ්‍රී ලංකාව බඳු රටක මෙම දිනය සැමරීම හුදෙක් වාර්ෂික උත්සවයකට හෝ නිල ප්‍රකාශනයකට පමණක් සීමා නොවිය යුතුය. මන්ද PTA වැනි අණපනත් හරහා තවමත් වදහිංසනය සිදුවීමට ඇති ඉඩකඩ නීත්‍යනුකූලව ම විවෘතව පවතින බැවිනි.

ජාත්‍යන්තර බලපෑම මත "නම වෙනස් කිරීමේ" සෙල්ලම

PTSA protest 003
ශ්‍රී ලංකාවට ලැබෙන GSP+ බදු සහනය යනාදි ආර්ථික වරප්‍රසාද පවා PTA පනත මුළුමනින්ම ඉවත් කිරීම හෝ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සංශෝධනය කිරීම මත රඳා පවතින බව යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ රජයන් PTA වෙනුවට නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් (PSTA / ATA) හඳුන්වා දීමට වරින් වර උත්සාහ කළහ.

නමුත් එම යෝජිත නව නීති කෙටුම්පත් මගින්ද පැරණි මර්දනකාරී ස්වරූපයම සහ වධහිංසනයට ඇති ඉඩකඩ වෙනත් මුහුණුවරකින් ඉදිරියට ගෙන යන බව මානව හිමිකම් නීතිඥවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. අපට අවශ්‍ය වන්නේ මර්දනකාරී පනත්වල "නම වෙනස් කිරීමේ" දේශපාලන සෙල්ලමක් නොව, පුරවැසියා ගේ මූලික අයිතීන් සහ මානව ගරුත්වය සුරකින සැබෑ ව්‍යුහාත්මක වෙනසකි.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම ස්වෛරී රටකට අත්‍යවශ්‍ය කරුණක් බව සැබෑය. නමුත් එය සිදු කළ යුත්තේ තවත් මනුෂ්‍යයෙකු ගේ මූලික අයිතිවාසිකම්, නිදහස සහ ජීවත්වීමේ අයිතිය සිඳබිඳ දමමින් නොවේ. දශක හතරකට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම පනත, ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නාමයෙන් පුරවැසියන් ගේ මූලික මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරන මර්දනකාරී මෙවලමක් වී ඇති බව දේශීය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම පෙන්වා දෙයි. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුව ද, මෙම පනත තවදුරටත් හකුළා නොගැනීම තුළින් පැහැදිලි වන්නේ ඕනෑම රජයකට තම දේශපාලන ප්‍රතිවාදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීමට ඇති හොඳම ආයුධය මෙය බවයි.

නීතියේ රැකවරණය ලැබිය යුතු සාමාන්‍ය වැසියන්, නීතිය විසින්ම අසරණ කරනු ලබන තෙරේසා වැන්නවුන්ගේ කථාන්දර අපට මතක් කර දෙන්නේ වදහිංසාව යනු මනුෂ්‍යත්වයට එරෙහි නොමැකෙන කැළලක් බවයි.

WhatsApp Image 2026 07 04 at 11.49.43 AM

ජූනි 26 වන දිනට යෙදෙන වධහිංසා වැළැක්වීමේ දිනයත්, ජනාධිපතිවරයා විසින් PTA පනත ඉවත් කිරීමට දුන් නව පොරොන්දුවත් හුදු දේශපාලන ප්‍රකාශවලට සීමා නොවිය යුතු ය. අප සැම ගේ අධිෂ්ඨානය විය යුත්තේ, PTA යනාදි අඳුරු පනත්වලින් තවදුරටත් මනුෂ්‍යත්වය තළාපෙළීමට ඇති ඉඩකඩ සහමුලින්ම අහුරා දැමීමයි. වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සහ නීතිය යනු මර්දනයේ මෙවලමක් නොව, යුක්තියේ සහ මානව හිමිකම්වල සැබෑ ආලෝකයක් කර ගැනීම වෙනුවෙන් අප නොබියව හඬ නැගිය යුතු ය.

WhatsApp Image 2026 07 04 at 12.08.50 PM

 

 

 

 

සෝබා කෝලියවංශ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න