V2025

පුවත්

අරගලයේ ඉදිරිය ගැන : සජිත්ගෙන් උපදෙස් නිකුත් වෙයි !

අරගලයේ ඉදිරි දිශානතිය සම්බන්ධයෙන් නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත්කර ඇත .

ඊට අනුව අරගලයට මුවාවී,කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්,ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වල නිරතවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මෙකී නිවේදනය අනුව අරගලයේ මූලික කොන්දේසි ආරක්ෂා කරගන්නට නොහැකි තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත.

විපක්ෂ නායක නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

ප්‍රචණ්ඩත්වය හෙළා දකිමු!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ ගිනිතැබීම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එකී සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බව අවධාරණය කරමු.

ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ සාධාරණත්වය රජයන සමාජයක් වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව පුරවැසි අරගලයකට එක්වූ අතර එහි උදාර අරමුණු කිසිම විටක පාවා නොදෙන්නට තරම් ඔවුන් විනයගරුක හා ශිෂ්ට සම්පන්න වූ බව අප තිරව විශ්වාස කරමු.

එහෙත් එකී අරගලයට මුවාවී,කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්,ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වලට අපි කොන්දේසි විරහිතව එරෙහි වෙමු.

පසුගිය දින කිහිපය තුළ, අරගල කරුවන්, මාධ්‍යවේදීන්,සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසකට ද ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වූ අතර ඒ පිළිබඳව ද පුළුල් පරීක්ෂණ පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.

ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී රටක් වෙනුවෙන් මෙතෙක් කල් සුරක්ෂිතව රැකගෙන ආ පුරවැසි අරගලයට කළු පැල්ලම් එක් කිරීමට වෙර දරන පිටස්තර බලවේග පිළිබඳව අපි අවධානයෙන් සිටිමු යැයි සමස්ත සමාජයෙන් ඉල්ලා සිටිමු.

මේ එළඹ ඇත්තේ ඉතාම තීරණාත්මක මොහොතක් හෙයින් සංසුන්ව සාමකාමීව,ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් සංහිඳියාව පෙරදැරිව කටයුතු කරන්නට එක්වන්න යැයි සමස්ත පුරවැසියන්ට ගෞරවයෙන් ආරාධනා කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

පෞද්ගලික දේපළ හානි එපා : නීතිඥ සංගමය අවධාරණය කරයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම ඇතුළුව දේපළ හානි කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් හෙළාදැක නිවේදනයක් නිකුත්කර ඇත .

මෙවැනි ක්‍රියාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා ජනතාවට විශාල හානියක් සිදු කරනු ඇති බවත් මෙවැනි ක්‍රියාවන් නොකරන ලෙසටද වෙනත් අයට මෙවැනි පහත් සාපරාධී ක්‍රියාවන් කිරීමට ඉඩ නොදෙන ලෙසටද ඉල්ලා සිටින බවත් අදාළ නිවේදනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම් ගේ අත්සනින් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

293096509 10158991767568562 3575692311380970645 n

යුරෝපා සංගමයෙන් සහ ඇමරිකාවෙන් දැනුම්දීමක් !

ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රජාත්නත්‍රවාදී,සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කර ඇත .

ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සහයෝගය ලබා දෙන ලෙසත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කර ඇති අතර ඒ, ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ය.

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වයට විසඳුමක් ලබා ගැනීමට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ වගකීමක් බවත් එම සටහනේ දැක්වෙයි .

එසේම ශ්‍රී ලංකා ජනතාවට ලබා දෙන සහාය ඉහළ දැමීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත .

ඇමරිකානු නිවේදනය !

මේ අතර ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇත .

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් මේ ඉල්ලීම සිදුකර ඇත .

එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් එහිදී සඳහන් කර ඇත .

ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත්විය හැකි දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් ඉක්මණින් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කරන ලෙස මෙම රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව පත්වන නව රජයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටින බවත් අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

එහිදී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳ අප්‍රසාදය පළ කළ අතර සෙනසුරාදා විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වයද විවේචනයට භාජනය කර ඇත .

සර්ව පාක්ෂික ආණ්ඩුවකට : සාකච්ඡා පිට සාකච්ඡා !

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සාකච්ඡා සභා රැසක් ක්‍රියාත්මක කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ සාකච්ඡා සභා කිහිපයක් අද (10) දිනයේ ද පැවැත්වෙන බවත් වාර්තා වෙයි .

ඒ අනුව පක්ෂ 09 කණ්ඩායමේ නායකයින්ගේ හමුවක් අද පැවැත්වීමට නියමිත බව කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි .

එහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පවසයි .

එසේම සමගි ජන සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි .

සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ මතුවී ඇති දේශපාලන තත්ත්වය, ඉදිරියේදී ගත යුතු කඩිනම් දේශපාලන තීන්දු රැසක් ගැනීමේ අරමුණින් අද රැස්වීම පැවැත්වෙන බවයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම්, දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදින් ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට සහභාගිවීමට නියමිත බවත් වාර්තා වෙයි .

නැව් දෙකක ගෑස් එයි !

ගෑස් මෙට්‍රික්ටොන් 3700 බැගින් රැගත් නෞකා දෙකක් අද (10) සහ හෙට (11) දිනයේදී මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වෙයි .

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ අද දිනයේදී මෙරටට ලඟාවීමට නියමිත නෞකාවේ ගෑස් හෙට (11) දිනයේ සිටම බෙදාහැරීමට කටයුතු කරන බවය.

ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළත කොළඹ නගරයේ තෝරා ගත් ස්ථාන 140 කදි ගෑස් සිලින්ඩර් 140,000 ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා පවසා ඇත .

මේ වන විට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ වැඩි කළ යුතු වුවත්, ජනතාව විඳින පීඩාවන් පිළිබඳව අවධානය යොමු කර රුපියල් 50 කින් පමණක් මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොහොර නැව ආවා : කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්වීමට නියමිතයි !

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු යූරියා පොහොර තොගය ඊයේ (09) මෙරටට ළඟා වූ බවත් අද (10) එය ඉන්දීය මහ කොමසාරිස් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාරදෙනු ඇති බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට අදාළ පොහොර තොගය මෙට්‍රික් ටොන් 40000කි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ අදාළ පොහොර තොගය 10 ක් ඇතුළත ගොවීන් වෙත බෙදාහරින බවයි .

එම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පැවසුවේ එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය ලොරි රථ මේ වනවිටත් සූදානම් කර ඇති බවය.

මේ අතර පොහොර තොගය නිල වශයෙන් බාරගැනීමෙන් පසුව තමන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත .

වැඩේ බාරගන්න : ෆොනී සූදානම් !

 රට තුළ යළි නිතිය හා සාමය ඇතිකරලීමේ වගකීම බාරගැනීමට තමා සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම දේශපාලන හිතවතුන් හට පවසා ඇති බව වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 දා ඉල්ලා අස්වීමෙන් පසුව මසක් ඇතුලතදී පාර්ලිමේන්තුව තුළ දී පැවැත්වීමට නියමිත ජනාධිපති තෝරා පත්කර ගැනීමේ ඡන්දයට ඉදිරිපත්වීමට මන්ත්‍රීවරයා ගේ සූදානමක් ඇති බවය.
 
එහිදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අරගලකරුවන්ගෙ සහය තමන්ට ලැබෙනු ඇති බවට මන්ත්‍රීවරයා විශ්වාසයෙන් සිටින බවත් දැනගන්නට ඇත .

ඊයේ (09) අරගල භූමියේදී, රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැන්නවුන් හට විරෝධතා එල්ලවූ නමුත් , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට අරගලය ඇමතීමට පවා අවස්ථාව හිමිව තිබීම කෙරෙහි මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ ද අවධානය යොමුව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි . 

IMF වෙතින් දැනුම්දීමක්

ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ඉක්මණින් විසඳුමක් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එතෙක් මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ තාක්ෂණික සාකච්ඡා දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

එසේම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහත්වරුන් එම නිවේදනය නිකුත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන රනිල් වික්‍රමසිංහ  සමඟ ප්‍රතිපත්තිමය මට්ටමේ සාකච්ඡා වටයක් පසුගිය දා අවසන් කළ බවත් එහිදී විසඳීමට මූල්‍ය ගැටළු කිහිපයක් තිබෙන බව හඳුනාගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට විශේෂයෙන්ම අවදානමට ලක් වූ සහ දුප්පත් ජනතාවට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත් තම ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඇති කැපවීම යළි අවධාරණය කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

ශවේන්ද්‍ර ජාතිය අමතයි - සාමය ආරක්ෂා කිරීමට ශ්‍රීලංකා වාසි ජනතාවගෙන් සහය ඉල්ලයි

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා වාසි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ මොහොතේ රටේ ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණ සාමකාමීව සහ ව්‍යවස්ථානුකුලව නිරාකරණය කරගැනීම අතිශයින් වැදගත්බව ඔහු පෙන්වාදෙයි.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ ඉල්ලීම සිදු කළේ, විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ත්‍රිවිධ හමුදාපතිවරුන් වන යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ද එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

දින ගණනාවක් ඉන්දියාවේ නිල සංචාරයකට සහභාගී ව සිටි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක හමුදා ප්‍රධානින් පිරිසක් යලි වහාම දිවයිනට පැමිණියේ ඊයේ (09) පස්වරුවේදීය.

දේශපාලන නායකයින් හැංගිලා !

මේවනවිට ජනාධිපතිවරයා සැඟවී සිටිමින් සිය ඉල්ලා අස්වීමේ දිනය ප්‍රකාශයට පත්කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ ද සිය අගමැති ධුරයෙන් ඉවත්වන බවක් දැනුම් දී තිබේ.

බන්ධුල ගුණවර්ධන ඊයේ සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වූ අතර තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කිරීමට නියමිතබව වාර්තාවේ.

එසේම මේවනවිට ආරක්ෂක හමුදාවන් හා පොලිසිය මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති අතර මහජන ආරක්ෂාව මුළුමනින්ම බිඳ වැටි තිබේ.

මෙම තත්වය තුළ ඇතැම් මාධ්‍ය රට පාලනය කිරීමේ වගකීම බාරගෙන තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

අරගලකරුවන් කොළඹ කඳවුරු බැඳගනී !

 ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වමින් ඊයේ කොළඹට එක්රැස්වූ අරගලයේ නිරත සාමාන්‍ය වැසියන් බොහෝ පිරිසක් මේවනවිටත් කොළඹ කොටුව සහ අවට ප්‍රදේශවල රැඳී සිටිති.

අද අලුයම සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවලදී නිරික්ෂණය වුණේ එම විරෝධතාකරුවන්ගෙන් විශාල පිරිසක් මේවනවිටත් ගාලුමුදොර අරගලභූමියේ රැඳී සිටින බවයි.

තවත් පිරිසක් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රය තුළත්, තවත් පිරිසක් කොටුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළත් රැඳී සිටිති. ඊට අමතරව කොටුව දුම්රිය ස්ථානයේ ද තවත් විශාල පිරිසක් තවදුරටත් රැඳී සිටින බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශවලට සහයෝගය ලබාදෙන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය හමුවක් පවත්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි වටපිටාවක් තුළයි.

ගෝඨා යන දවස මෙන්න !

ජූලි 13 තමන් ජනාධිපති ධූරයෙන් ඉවත්වන බව ගෝඨාභය රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වෙයි .

කතානායක ආරංචි මාර්ග මේ බව සඳහන් කර සිටියි.

මේ වන විට පක්ෂ නායකයන් ද කතානායක සමග පැවති සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ , ජනාධිපති සහ අගමැති ඉල්ලා අස්විය යුතු බවය.

පක්ෂ නායක තීන්දුව ජනාධිපතිට : තාවකාලික ජනාධිපති මහින්ද ?

කතානායක ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් විසින් අද (09) ගනු ලැබූ තීන්දුව කතානායකවරයා විසින් ලිඛිතවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මේ වනවිට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට කතානායකවරයා අදාළ ලිපියේ සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට මෙම පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බවකි.

මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ රවුෆ් හකීම් සිය ට්වීටර් ගිනුම් හරහා තහවුරු කර ඇත .

මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් , තාවකාලික ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන පත්වනු ඇත.

අගමැති නිවසට ගිනි තබයි

අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට ගිනිතබා ඇත.

අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් සිවු දෙනකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'සිරස' නාලිකාව විසින් ගෙන ගිය මාධ්‍ය මෙයුමෙන් පසු මෙම ගිනිතැබීම සිදුවිය.

අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මේ දිනවල රෝගාතුර තත්වයෙන් පසුවේ.

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තලදුව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුව කනගාටුව පළ කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

එම පිරිසට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් ප්‍රකාශක වරයා කීය.

මේ අතර පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අගමැතිද බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබිණ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අගමැති නිවෙස අසල උණුසුම් තත්ත්වයක්

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ නිවස ආසල පොලිසිය සහ අරගල කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ආසන්නයට ගොස් එහි මාර්ග බාධක බිඳගෙන ප්‍රවේශවීමට ගත් උත්සාහයක් වළක්වමින් පොලිසිය ඔවුන්ට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මෙම ප්‍රහාරවලින් සිරස මාධ්‍යවේදීන් ඇතුළු කීප දෙනෙක්ම තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම උණුසුම්කාරී තත්වය තවදුරටත් පවතියි.

සිරස මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්.....

අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසළදී ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදී සිටි සිරස නිවුස්ෆස්ට් මාධ්‍යවේදීන් 04දෙනෙකු ප්‍රහාරයට ලක් වී ඇත.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට දැඩිලෙස පහර දී ඇත.

මේ වන විට ප්‍රහාරය ලක්වූ පිරිස රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී.

වරුණ සම්පත්, සරසී පීරිස්,යූ.ඩී සින්දුජන්, ජනිත මෙන්ඩිස් යන අය  පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් අතර වේ.

04

ධුරයෙන් ඉවත් වීම ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා බහුතරය ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ පවසයි.

එතෙක් රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේය.

දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට ගෙන තමන් මෙම තීරණය ගන්නා බව ඔහු පවසයි.

එබැවින් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විරුද්ධ පක්ෂ නායකයින්ගේ මෙම නිර්දේශයට එකඟ වේ.

පාර්ලිමේන්තුව කැඳවන්නැයි අගමැති කතානායකගෙන් ඉල්ලයි

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති අතර,

පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් ද  කර තිබේ.

අරගලය මැද ප්‍රභූ පිරිසක් නෞකා දෙකකින් පිටවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ ගජබා නෞකා දෙකෙන් ප්‍රභූ පිරිසක් කොළඹ වරායෙන් පිටත් ව යන අයුරු සමාජමාධ්‍යවල වීඩියෝවක් සංසරණය වෙයි.

ප්‍රභූන් පිරිස කවුද යන්න තහවුරු වී නොමැති අතර, පිරිසක් ඉතා හදිස්සියෙන් බඩු බාහිරාදිය රැගෙන නෞකාවට නගින අයුරු ද එහි දර්ශනය වේ.

කොළඹ වරායේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ පුද්ගලයන් පිරිසක් රැගත් නෞකා දෙක වරායෙන් පිටත්ව ගිය බවයි.

මාධ්‍යවේදිනී මනෝහාරීගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක හා සාහිත්‍යවේදිනියක වන මනෝහාරී හේවාවසම් ගේ මෑණියන් වන H.M.A. සමරසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

මහනුවර ගුරුදෙනියේ පදිංචිව සිටි සමරසේකර මහත්මිය මිය යන විට 78 වන වියෙහි පසුවූවාය.

ඇයගේ දේහය මේවනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (10 ඉරිදා) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

'මිරර් ආර්ට්' වෙබ් අඩවියේ කතුවරිය වන මනෝහාරී සිය මවගේ වියෝව සම්බන්ධයෙන් ඇය විසින් ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් පහත පළවේ.

‘‘නිවුස්ටියුුබ්‘‘ මහෝහාරී හේවාවසම් මියගේ මෑණියන්ට නිවන් සුව පතන්නෙමු.

Mano 2022.07.09

 

Page 230 of 387