V2025

පුවත්

අතුරුදහන්වූවන්ගේ ළඟම ඥාතියාට ගෙවන මුදල ඉහළට !

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය සඳහා ගෙවනු ලබන මුදල රුපියල් ලක්‍ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද දක්නට නොලැබීමේ සහතිකය පදනම් කරගෙන අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුලේ ළඟම ඥාතියාට රුපියල් ලක්‍ෂයක දීමනාවක් එක්වර ගෙවීමට කැබිනට් මණ්ඩලය ඉකුත් මාර්තු මස තීරණය කළ අතර, එම මුදල ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීමට දීර්ඝ කාලයක් ගතවන නිසා මෙම දීමනාව ලබාදීමේදී අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානිපූරණ කාර්යාලය විසින් තහවුරු කිරීම ප්‍රමාණවත් බව ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

ජන ඒකරාශී පාලනයට පුහුණුව ජාත්‍යන්තරයෙන් ඉල්ලයි !

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක් අද(11) සිදු විය.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී ය.

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් , ජන ඒකරාශී වීම් පාලනය සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබේ.

ම ශ්‍රී ලංකා පොලිසිය ජන ඒකරාශී වීම් පාලනය කිරීමේදී කිසිදු පාර්ශවයක් අගතියට පත් නොවන ආකාරයෙන් කටයුතු කිරීමෙ වැදගත්කම බෙන් මෙලර් සඳහන් කර සිටියේය.

මෙම ජන ඒකරාශී වීම් නීත්‍යානුකූල අවසර ගැනීමකින් තොරව සිදුවන විට ශ්‍රී ලංකා පොලිසියට ඒ සඳහා ක්‍රියාත්මක වීමට සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එහිදී අවධාරණය කර ඇත.

නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන වගකීමක් බව බෙන් මෙලර් හා සාරා හල්ටන් පිලිගන්නා බවද මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් වෙත පවසා ඇත.

තවද ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත ජන එකතුවීම් පාලනය පිලිබඳව පුහුණු වැඩමුළුවක් සංවිධාන කිරීමට සහායෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මෙහිදී ඉල්ලීමක් කෙරිණි.

තවද ජන ඒකරාශී වීම්වලදී කුඩා දරුවන් පලිහක් විදියට යොදාගැනීම නොකල යුත්තක් බව බෙන් මෙලර්, සාරා හල්ටන් , ටිරාන් අලස් අමාත්‍යවරයාගේත් ඒකමතික අදහසව තිබේ.

ජොනී ඇතුළු 03කට විදෙස් ගමන් තහනමක් !

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් විදේශ ගමන් තහනමක් නිකුත් කර ඇත.

ඒ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරීවලින් ඉවත්කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුකළ බවට චෝදනාකොට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (11) කොළඹ මහාධිකරණය හමුවේ යළි අධිචෝදනා භාරදෙමින් අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේය.

නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධි චෝදනා භාරදීම සිදුවිය.

අනතුරුව විත්තිකරුවන්ට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප මත දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළේය.

මෙම නඩු විභාගය නොවැම්බර් 29 වනදා තෙක් කල් තැබීය.

ආණ්ඩුව නිසා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියකින් රට ගොඩනඟමු - ජනපති

රට ගොඩනැඟීමට අවශ්‍ය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා “ජාතික සභාව” වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයි ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) විවෘත කරමිනි.

තරගකාරී හා නවීන තාක්ෂණය යොදවා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

මම පළමුවෙන්ම මෙම සමාගමේ සභාපතිතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමා අනාගතය දිහා හොඳින් බැලුව කෙනෙක්. අපට තිබෙන ඖෂධ හිඟය පිළිබඳ එතුමාට හොඳ අදහසක් තිබුණා. එතුමා දැනගත්තා ලංකා වෙළෙඳපොළ ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා මේ සමාගම ලංකාවට අවශ්‍ය ඖෂධ සැපයීමට විතරක් නෙවේ, ජාත්‍යන්තරයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරමින් අපේ අපනයන කර්මාන්තයත් දියුණු කරන්න පියවර අරන් තිබෙනවා.

තරුණයෙක් ලෙස එතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයෙන් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා. මේ ආයෝජනය සිදු කර තිබෙන්නේ ලංකාවේ ආර්ථිකයේ අසීරුම කාල වකවානුවක බව කිව යුතුයි. අපේ වැය ශීර්ෂයේ තිබෙන හිඟකම මේ ආර්ථිකය කඩා වැටීමට එක හේතුවක්. අපට ලැබෙන විදේශ විනිමය අපේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ නිසා අපට සිදු වෙලා තිබෙනවා සෑම වසරකම ණය ලබා ගන්න. දැන් ණය ගෙවන්න බැරි තත්ත්වයකයි අපි ඉන්නේ. අපේ ආර්ථිකය යළි ගොඩනැඟිය යුතුයි. සාර්ථක වෙන්න නම් අපි එකක් මතක තියාගන්න ඕන. අපිට අවශ්‍ය විදේශ විනිමය අප උපයා ගත යුතුයි. විදේශ විනිමයේ හිඟයක් තබා ගන්න බැහැ. වැය ශීර්ෂ හිඟයක් තියාගන්න බෑ. අපේ අරමුණ විය යුත්තේ වැය ශීර්ෂයේ අතිරික්තයත් තබා ගැනීම. එහෙම නම් අපේ විදේශ ආදායම් වැඩි කර ගන්න ඕන.

ඒ සඳහා අපනයනය අරමුණු කර ගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ, වගා කරන බෝග වගේම ලබා දෙන සේවාවන් ඉහළ නංවා ගත යුතුයි. අපට අවශ්‍යව ඇත්තේ ඉතාම තරඟකාරී තාක්ෂණය යොදවන අපනයන කෙරෙහි යොමූ වූ ආර්ථිකයක්.

අද ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වී තිබෙනවා. සමහර අය වේලක් කුසගින්නේ ඉන්නවා. මේවට අපි දීර්ඝ කාලීන විසඳුමක් හොයන්න ඕන. නැවත ඒ තත්ත්වයට ගිහින් විසඳුම් සොයන්න බැහැ. ඒ නිසා තමයි අද ඉතා තරඟකාරී, නවීන තාක්ෂණය යොදවන අපනයන ආර්ථිකයක් ඇතිකරගන්න සැලසුම් හදන්නේ. ඒ සඳහා තමයි අපි ප්‍රතිපත්ති සැකසිය යුත්තේ.

අද අපි විවෘත කරන මෙම ආයතනය ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙසත්, මම අගමැතිවරයා ලෙසත් ඉන්න කාලේ. රාජිත සේනාරත්න මහතා එදා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළා. අපි සියලුදෙනා මෙය ඉදිරියට ගෙන ගියා. මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිශ්ශබ්දවයි වැඩ කළේ. ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මේ වැඩපිළිවෙළ නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ. ඉන් පසුව මම ජනාධිපති වෙලා අද මේක විවෘත කරනවා.

අපි සියලුදෙනා එක ජාතික ප්‍රතිපත්තියක සිට කටයුතු කළයුතුයි. අපිට පුළුවන් එදිනෙදා වාද විවාද කරන්න. ඒත් අපි එක ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ ඉදිරියට යනවා නම් කිසි විටෙක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කළා. ආණ්ඩු ඇතුලේ ඇමතිවරු වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් කළා. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ.

අපිට හොඳ ආර්ථික රාමුවක් තිබිය යුතුයි. හොඳ සමාජ රාමුවක් වගේම දේශපාලන රාමුවක් තිබෙන්න ඕන. අපේ ආර්ථික රාමුව රඳා පවතින්නේ දේශපාලන රාමුවේ ස්ථාවරභාවය මත. ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරන්න බැරි නම් දුක් විඳින්නේ රටේ ජනතාව .

අද සියලු පක්ෂ මෙතන ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණ හැර. ඒ නිසා මම මෙතනදි කියන්න කැමතියි අපි ජාතික රාමුවක් අනුව වැඩ කරමු. එතකොට ආණ්ඩු මාරු වෙනවද, නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ. ඒ නිසයි දැන් පාර්ලිමේන්තුවේ සියලුදෙනාට සහභාගි විය හැකි අයුරින් කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙන්නේ.

අපි ජාතික සභා ඇති කළා. මම බලාපොරොත්තු වෙන්නේ මේක වේදිකාවක් කර ගන්න මේ ජාතික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන්න හා ඒවා ක්‍රියාත්ම කරන්න.

අද මෙම ව්‍යාපෘතියෙන් අපිට විදේශ විනිමය ලබා ගන්න නව මාර්ගයක් ලැබී තිබෙනවා. 2017 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ආවා වගේ අපි සියලුදෙනාට එකතුවෙලා එක ප්‍රතිපත්තියකට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එය අපි ඉෂ්ට කරගමු.

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල 

සේනක බිබිලේ මහතාගේ ප්‍රතිපත්තිය වුණේ ෆාමසි නිෂ්පාදන පිටරට යැවීමයි. අද යාඩෙන් ආයතනය විසින් සිදු කරනු ලබන්නේ ද එයයි. පහුගිය කොවිඩ් කාල කාලසීමාව තුළදී ඖෂධ වර්ගවල අවශ්‍යතාව තදින්ම දැනුනා. ඖෂධ අපනයනය කරන සමාගමක් ලෙසින් යාඩෙන් ආයතනය අද ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ සඳහා අප දායකත්වය සැපයිය යුතුයි. ජාත්‍යන්තර වේදිකාව තුළ යාඩෙන් ආයතනය ඉදිරියට ගෙන යාමට අපට දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනවා. මේ රට මුහුණ දී තිබෙන ඩොලර් ගෙන්වා ගැනීමට ද එමගින් හැකියාව තිබෙනවා මෙවැනි තරුණ ව්‍යවසායකයන්ට අප අත දිය යුතුයි . එමගින් අපේ රට තුළ විදේශ විනිමය ඉතිරි කරගත හැකියි.

 යාඩෙන් ලැබොරටරීස් ඖෂධ නිෂ්පාදන සමාගමේ සභාපති ශශීමාල් දිසානායක,

පසුගිය වසර දහයක කාලයේ දී යාඩෙන් සමාගම දිගු දුරක් පැමිණ තිබෙනවා. 2012 වර්ෂයේ දී දෙදෙනෙකුගෙන් මේ රසායනාගාරය ආරම්භ කළා. අද වනවිට සියයට සීයක්ම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේ රසායනාගාරයට හැකියාව ලැබී තිබෙනවා. මෙම ඖෂධ රසායනාගාරය අද ශ්‍රී ලංකා ඉතිහාසයට එක්ව තිබෙනවා. අද වනවිට රසායනාගාර කාර්ය මණ්ඩලය 110ක් මෙහි සිටිනවා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් 20 දෙනෙක් ද සේවය කරනවා. අති නවීන පහසුකම්වලින් අපේ රසායනාගාරය සමන්විතයි. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව විදේශයන්ට ඇදියන විශාල මුදලක් රටතුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.

යාඩෙන් ආයතනයේ සමරු පොතෙහි සමරු සටහනක් තැබීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වරාය හා නාවික ඇමති නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, දුමින්ද දිසානායක, මයන්ත දිසානායක, සුජිත් සංජය, හර්ෂණ රාජකරුණා, නිමල් ලංසා, ජේ.සී අලවතුවල, ඉරාන් වික්‍රමරත්න, , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20221010 WA0057

IMG 20221010 WA0052

 

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණයට  ශ්‍රී ලංකාව සහ ජපානය අත්සන් තබයි !

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරත වූහ.

ජපානය, ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් පිහිටුවා ගන්නා ලද කියතෝ සංවිධානයෙහි දෙවන ධුර කාලයෙන් (2013 – 2020) ඉවත්වීමෙන් පසුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායකවීම උදෙසා 2013 වසරේ දී ද්විපාර්ශ්වික ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලදී.

මෙම යාන්ත්‍රණය සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සමග ඒකාබද්ධව හරිතාගාර වායු විමෝචනය අවම කරමින් එම අවම කරන ලද ප්‍රමාණය සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ජපානය අතර බෙදී යන පරිදි සකස් කර ඇති යාන්ත්‍රණයකි.

ජපානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබද රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වන සමුළුවේදී ඇතිකරගත් පැරිස් ගිවිසුමෙන් එකඟ වූ ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව සඳහා අනුගත වීම උදෙසාය.

දැනට මෙම වැඩසටහන මොන්ගෝලියාව, බංගලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, මාලදිවයින, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, කොස්ටරිකා, පලාවු, කාම්බෝජියාව, මෙක්සිකෝව, සවුදි අරාබිය, චිලී, මියන්මාරය, තායිලන්තය හා පිලිපීනය යන රටවල් 17 ක්‍රියාත්මක කරනු ලබයි.

කාබන් විමෝචනය අවම වූ උසස් තාක්ෂණය භාවිතා කර හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එමගින් අඩු කරනු ලබන කාබන් විමෝචන ඒකක (Carbon Credit Sharing) දෙරට අතර බෙදී යන ලෙස මෙම යාන්ත්‍රණය සකස් කර ඇත.

මෙම යාන්ත්‍රණය (JCM) මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජය හෝ එහි පුද්ගලික අංශය තාක්ෂණික දායකත්වය සපයන අතර ඒ සඳහා වැය වන මූලික වියදමෙන් කොටසක් ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරේ.

එමෙන්ම මෙම යාන්ත්‍රණය යටතේ බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය හා කෘෂිකර්මය යන ක්ෂේත්‍ර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය.

එම නිසා, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ක්‍රියාත්මක කිරීම යටතේ කාබන් විමෝචනය අඩු කළ හැකි ප්‍රමුඛතම තාක්ෂණික සහ නව නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වාදීම ද එම ව්‍යාපෘතිවල ඉදිකිරීම්, යන්ත්‍ර සුත්‍ර හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගත හැකි වීම ද ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

ශ්‍රී ලංකාව 2016 සැප්තැම්බර් මස 21 දින දේශගුණික විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමට අනුගත වන ලදී. මෙම ගිවිසුමට අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සදහා ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන් බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය, කෘෂිකර්මය හා වනාන්තර යන ක්ෂේත්‍රන්ට අදාළව 2021 ජුලි මස 30 වැනි දින ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තුළින් පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බැඳී ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට ද දායක වනු ඇත.

ජපානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කාබන් හරකිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

තවද, මෙම යාන්ත්‍රණය (JCM), ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ ව්‍යාපෘති අනුමත කිරීම සඳහා දෙපාර්ශ්වයෙන්ම සමන්විත ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කරනු ලබන අතර එහි සම සභාපතිත්වය ශ්‍රී ලංකා රජය හා ජපන් රජය නියෝජනය කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මගපෙන්වීමෙන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ සුවිශේෂී අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශකර දමනු ඇත..!

තිලිණි ප්‍රියමාලි කේස් එක ගැන ගොඩක් කට්ටිය ගොඩක් දේවල් ලියල තියනවා දැක්ක. ගොඩක් අය සතුටු වෙන්නේ සුදු (දේශපාලනය) සහ කහ (ආගම) රෙදි ඇඳගත්ත උන් ටිකක් ඒක නිසා රෙදි ගලවා ගත්ත එක ගැන. රහත්, අර්හත්, සෝවාන්, සකෘදාගාමී සෙට් එකේ සුදු පැවැත්ම යට තියන කළු අඳුර ස්ත්‍රී ශරීරයක් හරහා නිරුවත් වීම එතරම් අලුත් දෙයක් නම් නෙවෙයි.

ලෝකේ කොහෙත් ගැහැණිය සහ සල්ලි එකට ගමන් කරනවා. ඒ ගමන ගොඩක් වෙලාවට අශ්ලීල එකක්.

අපි මේ කතා කරන්නේ සල්ලි නැතුව හොම්බ බිම ඇනුන රටක් ගැන. හිඟාකන රටක් ගැන. ලෝකේ පීචන් වෙන රටක් ගැන. එහෙම රටක ගැහැණියක් සහ ද්‍රවශීල ව්‍යාපාරයක් ගැන.

පිරිමි එකතු වෙලා සුදු රෙදි ඇඳගෙන හප කරපු රටක ප්‍රියමාලි මෙහෙම කරන එක විශ්වාස කරන්න බැරි දෙයකුත් නෙවෙයි.

සල්ලි හොයන්න ශ්‍රමයවත්, නිෂ්පාදනවත්, බුද්ධියවත් ඕනි වෙන්නේ නැහැ. ඕනි වෙන්නේ වසඟය. ඒ සඳහා වන සංඥා මැසිම (sign-machine) තමයි ප්‍රියමාලි මේ හදල තිබිල තියෙන්නේ.

ටෙලියක රඟපෑව, ප්‍රසිද්ධ උනා, දේශපාලකයෝ ටිකක් දැනහඳුනා ගත්ත, ලෝක වෙළඳ සංකීරණයේ ඔෆිස් එකක් දා ගත්ත, ලස්සනට ඇඳ පැළඳ ගත්ත, බිස්නස් ලෝකේ වචන ටිකක් අහුලා ගත්ත, හොලිවුඩ් ෆිල්ම් වල වගේ කළු ඇඳ ගත්ත බොඩි ගාඩ්ල ටිකක් ගත්ත. ගිණිකනා වට්ටන්න දැන් සියල්ල සුදානම්. මැෂින් එක රෙඩි. දැන් පුළුවන් අඳුරු ගුහා ඇතුලේ තියන ''නැති සල්ලි'' වලට ලංවෙන්න.

සල්ලි නැහැ කියල කිව්වට සල්ලි තියනවා. හැබැයි ඒවා තියෙන්නේ අඳුරු ගුහාවල. ඒ ගුහාවලට යන්න පුළුවන් නිශාචර වවුලන්ට විතරයි. මට අනුව ඔය කියන ප්‍රියමාලි එහෙම නිශාචර පැවැත්මක්. ප්‍රියමාලි එහෙම කරන්නේ සුදු රෙදි කච්චි ගණන් ඇඳලා, පන්සල් වටේ ගිහිල්ල. නිකම් පන්සල් නෙවෙයි. පෝස්ට් මොඩන් පන්සල්. සල්ලි දෙයියන්ගේ මල්ලි වෙච්ච පන්සල්.

ප්‍රියමාලි කියන්නේ මිනිස් පැවැත්ම ඇතුලේ බුජු බුජු ගාන මුදල් ආශාව, තණ්හාව, ලාභය උලුප්පල අරන් ඒක එක්ක සෙල්ලම් කරලා තමන්ගේ කොටස සාක්කුවේ දාගන්න පුළුවන් ද්‍රවශීල ප්‍රාග්ධන චරිතයක්.

මිනිස්සුන්ට ගුටි දීල රැකගන්න හදන දේශපාලනයේ සහ ආගමේ අශ්ලීල පැත්ත ඕක තමයි.

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශ කරල දානවා. මම කියන්නේ එක අතකට එහෙම වෙන්න ඕනි කියල.

එයා ඉස්සරහ දියවුණ පිරිමි කියන්නේ හයිය පිරිමි නම් නෙවෙයි. මොකද බුදුන් තණ්හා මර දූතිය ඉස්සරහා කෙළින් හිටියා. මුං වසඟ මැෂිම ඉස්සරහ දිය වෙලා යනවා. මම හිතන්නේ ගොඩක් අය මේ සිද්දිය නිසා සතුටු වෙන්නේ ඒ මහා පොරවල් කියල කියන මාධ්‍ය චරිත දියවෙලා යන හැටි දැකල. මරු...!

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි.

දමනු ඇත..!

ජනාධිපති රනිල්ගෙන් චන්ද්‍රිකාට තනතුරක් : ඉදිරිය ගැන ඉඟියක් ?

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කර තිබේ.

මෙම වැඩසටහනේ පළමු රැස්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 6 වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර, එම වැඩසටහන සඳහා ද හිටපු ජනාධිපතිනිය සහභාගීව සිටියාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම හදිසි ජාතික වැදගත්කමක් ඇති විෂයක් බැවින් රජයේ ආරාධනයෙන් එම වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කිරීමට තමන් එකඟ වූ බවයි.

හිටපු ජනාධිපතිනිය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක පුවත් මවන්නියක වන අතර ඒ හමුවේ මෙකී නව තනතුර ඉදිරි දේශපාලන සිතියම සම්බන්ධයෙන් අදහසක් මතුකරන්නක් බව විචාරක මතය වී තිබේ.

මේ වන විට ශ්‍රීලනිපයේ දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ප්‍රවේශයක හිටපු ජනාධිපතිනිය පසුවෙන අතර ඊට විකල්පයක් ලෙස හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ නායකත්වයෙන් දේශපාලන පක්ෂයක්ද නිර්මාණය කර ඇත.

දේශපාලන විචාරකයන් පවසන්නේ බොහෝ දුරට පක්ෂ මත පදනම් නොවූ, මේ අසීරු මොහොතෙන් රට ගොඩනගන ජාතික වැඩපිළිවෙළක් සහ ඊට සහය දක්වන බලවේග වල එකතුවක් ලෙස ඉදිරි දේශපාලනය හැඩ ගැසීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

එරික් සෝල්හයිම් ආයෙත් එයි !

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් අද(10) පස්වරුවේ මෙරටට පැමිණ ඇත .

ඉන්දියාවේ චෙන්නායි සිට ඔහු ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

වාර්තා වන ආකාරයට ඔහුගේ මෙම සංචාරයේදී මෙරට ඉහල පෙලේ රාජ්‍ය නායකයන් හමු වී සාකච්චා පැවැත්වීමට නියමිතව ඇත.

මීට පෙර එරික් සෝල්හයිම් මෙරට සාම සාකච්ඡා පිළිබඳ නෝර්වේ විශේෂ සාම නියෝජිතවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

වොයිස් එක නම් සෙමිනීගේ නෙවෙයිලු : ඇතුළට ගියත් තිලිණි නම් වැඩ !

මුදල් වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තිළිණි ප්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන.

මේක අද (10) පෙරවරුවේ සොයාගත්තා කියලා තමයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක කියන්නේ.

ව්‍යාපාරිකයින් සහ ප්‍රභූවරුන්ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගැනීමේ චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි පසුගිය 06 වනදා කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පස්සේ, මේ මාසේ 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන්නේ.

කොහොමටත් තිලිනි ගැන ඕපාදුපවලින් බුකිය රත්වෙලා.

අරගලෙන් පස්සේ දවසින දවස පල්ලම් බැහැපු ශෝෂල් මිඩියා, තිලිනිට පින්සිද්ද වෙන්න ඔන්න ආයෙත් නැගල යනවා..

ඔය අස්සේ මේ කේස් එකට අදාල කියන, හඬපට කීපයක්ම ශෝෂල් මිඩියා එකට දාලා.

පොලීසිය විසින් සිදු කර ලද විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ , ප්‍රසිද්ධ නිලියක් ලවා එම ප්‍රකෝටිපතියන් සමග, ලිංගික කටයුතු කතා කර, ඒවා පටිගත කළ ප්‍රසිද්ධ කරන බවට බිය වද්දා තර්ජනය කරල කියල..

# ඔන්න ඔය අස්සේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් බිය වැද්දීමට යොදාගත් නිලියකගේ බව පැවසෙන හඬ පටයක් මේ දවස් දෙක තුනේ සමාජ ජාලවල වයිරල් වෙලා.

අදාළ හඬ පටය, රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ ගේ එකක් බව, සමාජ ජාලවල සඳහන් වෙලා තිබුන.

කොහොම වුනත් සෙමිනි නම් කියන්නේ, ඒ හඬ පටය තමන්ගේ නෙමෙයි කියලා ..

පොලිසිය උසාවියට දාපු B රිපෝට් එකෙත් සෙමිනිගේ නමක් තිබුනේ නෑ ..

යූරියා ටෙන්ඩරයේ අවුල කියන්න අවස්ථාවක් !

ටෙන්ඩර් මගඩි ගැන කියමින් ව්‍යාපාරික තරග දේශපාලනය වෙනුවෙන් යොදාගන්නා පක්ෂ සංවිධාන සහ පුද්ගලයන්ට කදිම අවස්ථාවක් අමාත්‍ය මහින්ද අමරවීර ලබාදී ඇත.

ඒ යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව අදහස් පළ කරන හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම එම පක්ෂයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග මෙන්ම වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමය.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අදාළ සාකච්ඡාව හෙට (11)දවල් 12.00 ට බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

යුරියා පොහොර මිල දී ගැනීමේ වැඩ පිළිවෙලේ අඩුපාඩු ඇත්නම් ඒවා හඳුනා ගැනීමටත් රටේ කෘෂි කර්මාන්තයේ උන්නතිය හා ගොවි ජනතාව වෙනුවෙන් සිදු කරන ජාතික මෙහෙවරක් ලෙස සලකා මෙම වැඩ පිළිවෙළට අදාලව අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටී.

චාමර දයාසිරිට ගෙවල් හොයයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්තගෙන් හෝ හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායකගෙන් හෝ මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවසක් ඉල්ලා ගත හැකි යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීලනිප මහ ලේකම්වරයා කොළඹ නිල නිවසේ විදුලි බිල නොගෙවන බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

සුද්දො වගේ ඉන්නවා නම් සුද්දො වගේ ඉන්න ඕන. ආණ්ඩුවෙන් යනවා නම් භාර ගෙන සිටින නිල නිවාස ඇතුළු සියලු දේ ලස්සනට භාර දී යායුතුයි. ගෙවන්න ඕනෑ එක ගෙව්වා නම් ඉවරයිනේ. කාට හරි චෝදනා කරන්න කලින් තමන් පිරිසුදු විය යුතුයි. ගෙයක් දුන්නේ නැහැ කියලා එතුමා කියනවා මම අහගෙන. ගෙවල් තිබෙනවා මාදිවෙල. අපිට ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නෙ මාදිවෙල. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවන ලාල් කාන්තත් රන්ජන් රාමනායකත් ඉන්නේ මාදිවෙල. එතුමත් මාදිවෙලට ආවා නම් හොඳයි. ඩී. දහය ලාල්කාන්තගේ. ඒ පහ රන්ජන් රාමනායකගේ.

සනීපාරක්ෂක තුවා : ගැසට් නිවේදනය එළියට !

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඔක්තොම්බර් මස 7වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී බදුවලින් නිදහස් කර තිබේ.

අදාළ භාණ්ඩ කර්මාන්ත විෂය භාර අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශ මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටතේ බදුවලින් නිදහස්ව ආනයනය කිරීමට හැකි වේ.

දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ නිෂ්පාදනවල අමුද්‍රව්‍යවල බදු ඉවත් කිරීමට පසුගිය සතියේ තීරණය කරනු ලැබීය.

ඒ අනුව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල ගණන් අඩුවනු ඇති බව වාර්තා වේ.

දේශපාලන ක්‍රමයේ විප්ලවීය වෙනසකට : ජනාධිපති රනිල් සූදානම් වෙයි !

පාර්ලිමේන්තු ජන්ද ක්‍රමය, පළාත් පාලන ව්‍යුහය ඇතුළු දේශපාලන ක්‍රමයේ බරපතළ වෙනසක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වන බව පෙන්නුම් කරයි.

එකී සංශෝධන සිදුකිරීමට පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ සහයක් නොලැබුණොත් ඒ සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබීමත් තීරණාත්මක තත්ත්වයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් දක්වා ඇත්තේ වෘත්තීයවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදී වන අතර ඊට අදාළ ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය පහත දැක්වෙයි.

මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක් !

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් (කේවල හා අනුපාත ක්‍රමයක්) සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය ,

අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් ආර්ථිකයේ කඩා වැටීම. අනික මේ රටේ දේශපාලන ක්‍රමය රටේ බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කිරීම. මේ ආර්ථික කඩා වැටීම ඇති වුණේ දේශපාලන ක්‍රමය නිසා කියලා බොහෝ දෙනෙක් කියනවා.
ආර්ථිකය වෙනුවෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන අපි කතා කර තිබෙනවා. මම ඒ ගැන මෙතන වැඩිදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

එහෙත් දේශපාලන වැඩපිළිවෙළ ගැන අපේ අවධානය යොමු කළ යුතුයි. අද මේ රටේ ජනාවගෙන් බහුතරයක් රටේ දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නා ඔයට දාන්න කියලා කියනවා. එහෙම කියන්නේ පුද්ගලයන් නිසා නොවේ, දේශපාලන ක්‍රමය පිළිගන්නේ නැති නිසා.

පසුගිය මාර්තු මාසයේ මේ උද්ඝෝෂණ පටන් ගත්තේ දේශපාලන පක්ෂ නොවේ, දේශපාලන පක්ෂවල උද්ඝෝෂණවලට ජනතාව අවේ නැහැ. ජනතාව වෙනම ඉදිරියට ආවා. අවාසනාවකට මැයි, ජුනි වෙන කොට එක් එක් දේශපාලන සංවිධාන විසින් මේ විරෝධතා ව්‍යාපාරය තමන්ගේ අතට ගත්තා. ඒ සමගම ප්‍රචණ්ඩත්වයත් ආවා. ප්‍රචණ්ඩත්වය සමග රටේ ආණ්ඩු බලය අල්ල ගන්න ක්‍රියා කළා. ඒ නිසා එදා තිබුණු අරගලය කඩා වැටුණා.
තවමත් ජනතාව කියන්නේ මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ප්‍රචණ්ඩත්යට කවුරුවත් කැමති නැහැ. මේක අපි පිළිගන්න ඕන. මේ ආකල්පය වෙනස් කරමින් තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ.

පක්ෂ ක්‍රමය නිසා අද පාර්ලිමේන්තුවේ එක එක කණ්ඩායම් බිහි වෙලා තිබෙනවා. ජනාධිපති ධූරයට පත්වෙන්න මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒක රහසක් නොවේ. සුළුතරයක් වෙනත් අපේක්ෂකයන්ට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් ඡන්දය දුන්නා. සජබෙ ඒ වගේම ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරු මට ඡන්දය දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම මට ඡන්දය ලැබුණා.

මම පටු පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කරනවා. දැනට විපක්ෂයේ ඉල්ලීම අනුව පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අධීක්ෂණ කමිටු වගේ කමිටු ස්ථාපිත කරලා තිබෙනවා. ඒත් මේවා සම්පූර්ණ කරන්න බැරි වෙලා තිබෙනවා. සමහරු ජාතික සභාවට එනවා සමහර අය එන්නේ නැහැ. රට බලාපොරොත්තු වෙන්නේ සියලුදෙනාම එකට එකතුවෙලා වැඩ කටයුතු කරයි කියලා. අපි මෙතනින් නවතින්න හොඳ නැහැ.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා හිතලා ඒ අනුව අපි කටයුතු කළයුතුයි. ජනතාවට ගම් මට්ටමේ දේශපාලනය එපා වෙලා තිබෙන නිසා අද අලුත් සංකල්පයක් අපි පිළිගන්නවා. ආණ්ඩුව නොවේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා ජන සභා ක්‍රමය ඉදිරිපත් කරලා තිබෙනවා. හැම ඡන්ද කොට්ඨාසයකම ඒ ගමේ තිබෙන පොදු සංවිධාන එක් කරලා එක් කමිටුවකින් ඒ වැඩකටයුතු කරන්න. ඒවට තමයි ජනසභා කියන්නේ. ඒ ක්‍රමය හොඳයි. මීට පෙරත් මේ ක්‍රමය තිබුණා ග්‍රාමෝදය මණ්ඩලය හැටියට. ඒක ආණ්ඩුවට සම්බන්ධ එකක්, මෙය ආණ්ඩුවට සම්බන්ධ නොවන එකක්. මේ ජන සභා වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්න බලාපාරොත්තු වෙනවා.

ජනසභා ක්‍රියාත්මක වන විට ප්‍රාදේශීය සභා එක්ක සම්බන්ධීකරණය තියෙන්න ඕන. ප්‍රාදේශීය සභාවට ජන සභා ඉවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොමද අපි එකට වැඩ කරන්නේ කියලා සැලසුම් කරන්න ඕන. ප්‍රාදේශීය සභා ක්‍රමය ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. බොහෝ ප්‍රාදේශීය සභාවලින් ලාභයක් ලැබෙන්නේ නැහැ. ඒවත් යැපෙන්නේ බදු මුදල්වලින්. මුදල් ලබා ගන්න නගර සභා, ප්‍රාදේශීය සභා ඒවා පඩි ගෙවන්න යොදවනවා. එහෙනම් අපිට මේ ක්‍රමය ගැන හිතන්න තිබෙනවා.

නමුත් පසුගිය සැරේ අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හාරදහස, අටදහස කළා. රට ඉල්ලුවේ නැහැ, පක්ෂ නායකයින් එකතු වෙලා මේ වැඩකටයුත්ත කළා. එහෙනම් අපිට දැන් තිබෙන්නේ ඊළග ඡන්දයට කලින් මේ අටදහස, හාරදහස බවට අඩු කර ගන්න.

පාර්ලිමේන්තුවේ ඒ නීති සංශෝධනය කරන්න කටයුතු කරමු. එතනින් මේ වැඩපිළිවෙළ ආරම්භ කරමු. ඒ වගේම තවත් හදිසි සංශෝධනයක් තිබෙනවා. මේ ප්‍රාදේශීය සභාවල විධායක ප්‍රධානී ලෙස ඉන්නේ සභාපතිවරු. සමහර අය ඒකට විරුද්ධයි. ප්‍රාදේශීය සභා ක්‍රමයට පෙර නගර සභා, ගම් සභා තියෙන කොට එහෙම බලයක් තිබුණේ නැහැ. ඉතින් මම කියන්නේ අපි ප්‍රාදේශීය සභාවේ විධායක බලය විධායක කමිටුවට දෙමු. ඒකේ ප්‍රධානියා තමයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා. දැන් මුදල් කමිටු තිබෙනවා. ඒ වගේ විධායක කමිටුවක් ඇති කරමු. අපි මේ කරුණු දෙක ඉටු කර ගන්න ඕන ඊළග ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර. ඒක අපි කළ යුතු දෙයක් කියලා මම විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. ඊට අවශ්‍ය නීති කෙටුම්පත සකස් කරන්න කියලා අපි ඇමතිවරුන්ට දැනුම් දුන්නා.
ඒ වගේම මේ මනාප ක්‍රමයට බොහෝ දෙනෙක් කැමැති නැහැ. කවුරුත් මනාප ක්‍රමය ගැන ඉස්සෙල්ලා හිතුවේ නැහැ. ජේ.ආර් ජයවර්ධන මැතිතුමා දීර්ඝව හිතලා 1975 යෝජනා කළා ලැයිස්තු ක්‍රමය, ඒක අනිත් පක්ෂත් පිළිගත්තා. මොකද ඒකෙන් ලැබුණේ අනුපාත. ඒ අනුව අපි නගර සභා ඡන්ද පැවැත්වුවා. මහනගර සභා ඡන්ද පැවැත්වුවා. දිස්ත්‍රික්ක සංවර්ධන සභා ඡන්ද පැවැත්වුවා, ඒ ක්‍රමය සාර්ථකව අපි ඉදිරියට ගෙන ගියා. එහෙත් 1988 වර්ෂයේ හදිසියේම පාර්ලිමේන්තුවේ පක්ෂ තීරණය කළා ලැයිස්තු ක්‍රමය වෙනුවට මනාප ක්‍රමය ගේන්න. එක මනාපයක් නෙවේ, මනාප 03ක් දෙන්න. ඒ වගේම තමයි 196ක්ව තිබුණ මන්ත්‍රි සංඛ්‍යාව 225 බවට පත් කළා.
මේ රටේ දේශපාලනයේ දූෂණයට ප්‍රධානම හේතුව මනාප ක්‍රමය. ඉතින් අපි අලුත් ඡන්ද ක්‍රමයක් සකස් කරන්න ඕන. මනාප නැති ලැයිස්තු ක්‍රමය, නැත්නම් මිශ්‍ර ක්‍රමය (කේවල හා අනුපාත ක්‍රමය) මේ දෙකෙන් එකක් ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න ඕන. එන ඡන්දයට කලින් තීරණයක් අරගෙන ඒ ඡන්දය අලුත් ක්‍රමය යටතේ පවත්වන්න ඕන.

එතකොට සුදුසු පුද්ගලයන් තේරි පත්වෙනවා. මෙය අපි සිදු කළයුතු දෙයක්. අද පක්ෂ අතර එකඟත්වයක් නැහැ. ප්‍රධාන පක්ෂවලට එකක් කියනවා, සුළු පක්ෂවලට එකක් කියනවා. මෙහෙම ඉදිරියට යන්න බැහැ. දේශපාලන පක්ෂ මෙම තීරණය ගත යුතුයි.

මම අධිකරණ අමාත්‍යවරයා සමගත් සාකච්ඡා කළා. අපි පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරනවා. ඒක රැස් වෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕන. මේක කල් දාන්න ඉඩ දෙන්න බැහැ. මොකද ජුනි, ජුලි මාසය වෙනකොට තීරණයක් ගන්න බැරි නම් මම ජනමත විචාරණයකට යනවා ජනතාවගේ අදහස් ලබා ගන්න කොයි ක්‍රමය ද හොඳ කියලා.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කරනවා, ඒ ක්‍රම ගැන කතා කරනවා. කතා කරලා එක ක්‍රමයක් තෝර ගන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාව ඒ කටයුතු අවසන් කරන්න. නැත්නම් මම ජනතාවගේ අතට දෙනවා ඒ වැඩකටයුත්ත කරන්න. අපිට මෙවායින් ඉවත් වෙන්න බැහැ. අපි ඉදිරියට යා යුතුයි.

අද මැතිවරණවලට විශාල මුදලක් වැය කරනවා. මම 77දී පැරණි ක්‍රමයටයි ඡන්දය කළේ, එදා වියදම් සීමා කළා. අද සමහර අය ඡන්දය කරන්න මිලියන 20-30, 50 වැය කරනවා. කොහොමද මේවා ආපසු ගෙවන්නේ. මේ ක්‍රමයෙන් මන්ත්‍රීවරු හිර කරලා තිබෙනවා. එහෙම නම් අපි ඡන්ද නීතියෙනුත් ඡන්දයට වියදම් කළ හැකි මුදල් පිළිබඳ සීමාවක් දාන්න ඕන. මම 77 ඡන්දයට ඉදිරිපත් වෙද්දි එම සිමාවන් තිබුණා. ඒ අනුව තමයි අපිට වැඩ කරන්න සිද්ධ වුණේ. ඒ කාලේ පෝස්ටරයක් ගහන්න බැරි වුණා. එහෙම නම් මැතිවරණයට වැය කරන මුදල් ගැන සීමාවන් ගේන්න කටයුතු කරන්න ඕන.

තව කාරණයක් තිබෙනවා අද අපේ දේශපාලන පක්ෂවල තරුණ පිරිස් නැහැ. හුඟක් අය පරණ අය එක්ක නමින් වැඩ කරනවා. අලුත් සංවිධාන නැහැ. එහෙම නම් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව ගැනත්, ඒවායේ වැඩකටයුතු ගැනත්, කොහොමද සාමාජිකයන් බඳවා ගන්නේ, කොහොමද මධ්‍යම කාරක සභා තෝරගන්නේ, කොහොමද අපේක්ෂකයන් තෝර ගන්නේ යන කරුණු ගැනත් වෙනම නීතියක් ඉදිරිපත් කරන්න ඕන.

දැනට ජර්මනිය වගේ රටවල දේශපාලන පක්ෂ නීතිය කියල නීති තිබෙනවා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. කොහොමද මුදල් එකතු කරන්නේ, මුදල් එකතු කරන්න බැරි අවස්ථා මොනවද මේ සියල්ල ගැන නීති තිබෙනවා. එවිට විනිවිදභාවයෙන් වැඩ කරන්න පුළුවන්. ඕන කෙනෙකුට උසාවියට යන්න පුළුවන් ඊට විරුද්ධව.

විනිවිදභාවය තිබෙන නිසා, ඒ වගේම මැතිවරණ වියදම් සීමා කරන නිසා ඒ රටවල පාර්ලිමේන්තුවෙන් මුදල් දෙනවා දේශපාලන පක්ෂවලට. ඡන්දයටත් මුදල් දෙනවා. පාර්ලිමේන්තුවෙන් දෙන එක වඩා හොඳයි පුද්ගලික ආයතනවලින් ගන්නේ නැතිව. ඒවා සීමා කරලා තිබෙන්නේ. ඇමරිකාවෙත් මේ ක්‍රමය තිබෙනවා. එහෙම නම් අපිත් මේ නීති ගේන්න ඕන. ඒ ගැන යෝජනා ලබාදීමට මම වෙනම කොමිසමක් පත්කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල ලබන වසර තුළ සිදු කළ යුතුයි.

අලුත් ආර්ථිකයක් සමග අලුත් ආකල්පයක් තිබෙන්න ඕන. ඒවගේම මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න බැහැ කියලා සමහරු දොස් කියනවා. මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන් ඒ අය විනය කඩලා තිබෙනව නම්, කෙසේ හෝ මෙය වඩා ශක්තිමත් කිරීමට මම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කරනවා වගේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ, සාරධර්ම පිළිබඳ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. පාර්ලිමේන්තුවේ ඒක අනුමත කරන්න ඕන. එංගලන්තයේ තියෙනවා Parliamentary Standard Act ඒ අනුව ක්‍රියා නොකරනව නම් ඒ ගැන වාර්තා කරනවා. එහෙම වාර්තා කළාම ඒ අය ජනමතය නිසාම ඉවත් වෙනවා. වෙන පියවරක් ගන්න බැහැ. දැන් ළඟදි එක්කෙනෙක් ඉවත් කරලා තිබෙනවා විවාදයෙන්.

එහෙමනම් අපි මේ සියලු නීති රීති ගේනවනම්, මේ සංශෝධන කරනවනම් අපිට පුළුවන් ජනතා විශ්වාසය දිනා ගන්න. එතකොට ඊළග ඡන්දයෙදි බොහෝ දෙනෙක් ගිහින් ඡන්දය පාවිච්චි කරනවා. 85%ක් ඡන්දය පාවිච්චි කරන්න වුවමනයි.

අපි ආකල්ප වෙනස් කරගන්න ඕන. තවම පරණ විදියට පෙළපාලි ගිහින් හරියන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ ගිහින් අරගලයට හේත්තුවෙලා තිබෙනවා සහයෝගය ලබා ගන්න. අරගලය හේත්තුවෙලා නැහැ,දේශපාලන පක්ෂවලට. අපිට තිබෙන්නේ ජනතාවගේ අදහස් අනුව නීති රීති ගෙනල්ලා ජනතාව කැමති අය පාර්ලිමේන්තුවට පත් කරගන්න අවස්ථාව ලබාදීමයි. මේ වැඩකටයුතු තමයි අපි ඉදිරියට සිදු කළ යුත්තේ.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා මහජන ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන, සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත යන මහත්වරුන් සහ නීතිඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් ගෙන් සමන්විත වෘත්තිකයන් පිරිසක් සහභාගි වූහ.

IMG 20221009 WA0038

කළුවර වප් පොහෝ විරෝධය අකුලගනියි !

රට පුරා සියලුම ආගමික ස්ථානවල අද (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ‘කළුවර වප් පොහොය’ විරෝධතාවය අත්හැර දමා ඇති බව වාර්තා වෙයි .

පන්සල් ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල එම ආයතන විසින් නොදරා රජය විසින් , එනම් ජනතා බදු මුදලින් දැරීමට බලකරන දේශපාලන තීන්දුවක් ලෙස එය සැලකිය හැකි ය.

කෙසේ වුවත් සමාජ මාධ්‍ය ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් මතුවූ අතර එය සංවිධානය කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බල දේශපාලන ව්‍යාපෘතියක කොටසක් ලෙස මෙය සිදුකරන බවත් එහිදී සඳහන් කර තිබිණ .

කෙසේ වුවත් සෝභිත හිමි පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ලබාදුන් පොරොන්දුව මත මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව වප් පුර පසළොස්වක පොහෝ දිනය වන අද දිනයේ රටපුරා වෙහෙර විහාරස්ථානවල සාමාන්‍ය පරිදි විදුලි පහන් දල්වා ආගමික කටයුතු සිදුකරන තත්ත්වයක් දකින්නට ලැබුණු අතර , ඇතැම් භික්ෂූන්ගේ අදහස වී තිබුණේ සෝභිත හිමි වැනි දේශපාලන භික්ෂූන් නිසා බෞද්ධයන් තවදුරටත් පන්සලෙන් ඈත් වෙන බවය.

 

පෝෂණයට විශේෂ බලකායක්

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනයට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාතාංශයේදී ඊයේ (08) පැවැත්වුණි.

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතය. 2022 සිට 2024 දක්වා හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

දිවයින පුරා ඒ ඒ වයස් කාණ්ඩ ඇතුළු විවිධ කාණ්ඩ ඔස්සේ එය ගෙනයාමට සැලසුම් කර තිබීමද විශේෂත්වයකි.

මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ එක් පළාතක් තෝරාගෙන අදාළ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය. ඔක්තෝබර් මාසය පෝෂණ මාසය ලෙස නම් කර ඇති හෙයින්, පෝෂණය සම්බන්ධවෙන් වන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෝෂණ ගුණය රැකෙන පරිදි දිවයිනේ සෑම රෝහලකම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ පෝෂණ අවශ්‍යතා සහිත පවුල් හඳුනාගෙන අදාළ අමාත්‍යාංශවල එකාබද්ධතාවයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණි.

වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ !

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විදෙස්ගත වීම හේතුවෙනි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ආරක්ෂක වියදම් : ලංකාවෙන් ලෝක වාර්තාවක් !

ලොව වැඩිම ආරක්ෂක වියදම් දරන රටවල් අතර ශ්‍රී ලංකාව 10 වැනි තැන හිමි කරගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද නවතම ආර්ථික සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් ලෙස ලොව වැඩිම ආරක්ෂක වියදමක් දරන රට උතුරු කොරියාවයි. ඇමෙරිකාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළු බලවත් රටවල්ද සිය රාජ්‍ය වියදම්වලින් ඉහළම ප්‍රතිශතයක් ආරක්ෂක කටයුතු සඳහා වෙන් කර ඇත.

මෙතරම් දැවැන්ත ආරක්ෂක වියදමක් දරන ශ්‍රී ලංකාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ 9 ක් (-9) තරම් පහළට ඇදවැටී තිබේ. මේ නිසා ලබන වසර මුල්භාගය වනවිට රටේ රාජ්‍ය, පෞද්ගලික අංශවල රුකියා කරන්නන් ලක්ෂ දෙකකට පමණ රැකියා අහිමිවනු ඇතැයි ද එම පර් යේෂණ වාර්තාවේ දැක්වේ.

එම වාර්තාව දක්වන තවත් විශේෂ කරුණක් වන්නේ ආසියාවේ වැඩිම රාජ්‍ය සේවක ප්‍රතිශතයක් සිටින රට ද ශ්‍රී ලංකාව බවය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 18% ක්ම රාජ්‍ය සේවකයන්ය. එහෙත් ඉතා දියුණු මැලේසියාවේ එම ප්‍රතිශතය 14% කි. මියන්මාරයේ 5% කි. සමස්ත ආසියාවම ගත් කල සෙසු රටවල රාජ්‍ය සේවක අනුපාතය 10% කි.

මෙම සුවිශේෂ ආර්ථික දත්ත සඳහන් වන සමීක්ෂණ වාර්තාව මුදල් අමාත්‍යාංශය හා එක්ව සකස් කර ඇත්තේ දිවයිනේ ප්‍රකට පෞද්ගලික ආර්ථික සමීක්ෂණ ආයතනයක් විසිනි. එකී වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කෙරෙන බවද මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

- deshaya

දේශද්‍රෝහි විපක්ෂය ආර්ථිකය ගැන බිල්ලන් මවනවා : හිටපු මුදල් ඇමති රවී

දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක චෝදනා කරයි.

රටේ ආර්ථිකය ගොඩනගා ජනතාව සවි බල ගැන්වීම සඳහා අවශ්‍ය පළමු අඩිතාලම මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යොදා ඇති බවත් 2002 දී මෙන්ම 2015 දී ද ආර්ථික ගොඩගැනීම එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකර පෙන්වා ඇති බවත් ඔහු පවසයි .

හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ය.

එහිදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් මෙසේද පැවසීය .

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් සම්මත වුණා තමයි. නමුත් එම යෝජනාව වලංගු වන්නේ අවුරුදු දහයකට පෙර තිබුණු තත්ත්වයකටයි. ස්වෛරී රටක් අප අපේ අනන්‍යතාවය රැක ගන්න කටයුතු කළ යුතුයි. ඒ අනුව අප කළ යුත්තේ එම යෝජනාව වැරදියි කියා ඔප්පු කර ජාත්‍යන්තරයේ සහය සහ විශ්වාසය දිනා ගැනීමයි.

රටේ ආර්ථිකය ගොඩනගා ජනතාව සවි බල ගැන්වීම සඳහා අවශ්‍ය පළමු අඩිතාලම මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොදා තිබෙනවා. රටේ සියලු ප්‍රශ්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳා ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද කියා සුද්දෝ අපට කියන්න අවශ්‍ය නැහැ. 2002 දී සහ 2015 දී අප වගකීම් භාර ගෙන ආර්ථිකය ගොඩනගා පෙන්නුවා.

දේශද්‍රෝහී විපක්ෂය කරන්නේ රට-ජනතාව එක්ක සෙල්ලම් කරමින් ආර්ථිකය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බිල්ලෝ මවමින් සිය අවස්ථාවාදී සහ පටු බල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමයි.

Page 189 of 384