පුවත්

ශ්‍රී ලංකාවට තවත් පොල් ත්‍රිකෝණයක්
සැප්තැම්බර් 02 වන දිනට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව නව පොල් ත්‍රිකෝණයක් උතුරු පළාතෙහි යාපනය, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් හඳුන්වා දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.
අද (අගෝ:02) වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ‘වසරක ප්‍රගතිය’ යන තේමාව මූලික කර ගනිමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ජාවට සහභාගී වූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙම අදහස් ඉදිරිපත් කළේ ය.
අමාත්‍යවරයා තවදුරට ත් සදහන් කළේ, මෙම වසර තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ත්, 2023 වසර තුළ රබර් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 900ක්, පොල් අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක ආදායමක් අපේක්ෂා කරන බව ය.
ඔන්ලයින් ක්‍රමය හරහා ගෝලීය තේ වෙළෙඳපොළට තේ අලෙවි කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

තවත් රාජ්‍ය ආයතන 02ක් මුදල් අමාත්‍යාංශය යටතට
රාජ්‍ය ආයතන 02 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට්
නිවේදනයක් නිකුත් කර තිබේ.
එලෙස පවරාගෙන ඇත්තේ, සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයයි.
සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පැවති අතර ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ පැවතියේ ය.
එම ගැසට් නිවේදනය පහතින්,

වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වසා දැමේ
බෝවන රෝගයක් හේතුවෙන් වව්නියාව බන්ධනාගාරය සති දෙකක කාලයකට වසාදමා තිබේ.
ඒ අනුව, මීට දින කිහිපයකට පෙර වව්නියාව බන්ධනාගාරය වසා දමා ඇති බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේය.
වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට ඥාතීන්ට බන්ධනාගාරයට පැමිණීමට නොහැකි අතර රැඳවියන් නඩු කටයුතු සඳහා පිටතට රැගෙන යාම ද තාවකාලිකව නතර කර තිබේ.
සරම්ප රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය එලෙස වසා දමා ඇති බව වාර්තා වේ.
බන්ධනාගාරය තුළ පවතින ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාර රැඳවියන්ට සහ නිලධාරීන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.
වව්නියාව බන්ධනාගාරය තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් රඳවා සිටින අතර නිලධාරීන් 85 දෙනෙකු පමණ සේවය කරනු ලබයි.

අස්වැසුම ප්‍රතිලාභ කඩිනමින් ගෙවන්න කැබිනට් අනුමැතිය
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සදහා මූලික වටයේ දී ප්‍රතිලාභීන් දාහත්ලක්ෂ අනූ දෙදහස් දෙසිය හැටපහක් තෝරාගෙන ඇත.
ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් පහලොස් ලක්ෂ අසූඅට දහස් අටසිය තිස්පහක් සදහා ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකගතාව පළකළේය.
ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත්වීම සදහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84,374 දෙනෙකුට අභියාචනා සමාලෝචනය අවසන් කරන තෙක් දැනට ඇති කාණ්ඩයේ ගෙවීම් සිදුකෙරේ.
දැනට තෝරාගෙන ඇති ප්‍රතිලාභීන් අතුරින් 119,056ක් දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත්ව තිබේ.
එම විරෝධතා ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ද ගෙවීමට නියමිතය.
අස්වැසුම සදහා අයැදුම්කර මෙතෙක් තෝරාගෙන නොමැති වුවද දැනට සමෘද්ධිය ලබන 393,097 දෙනෙකුට අභියාචනා සමාලෝචනය කරන තෙක් එම ගෙවීම් ද සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය එකගවී තිබේ.
මේ අතර දැනට වකුගඩු රෝගාබාධ සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළින් සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් ගෙවීම් කෙරේ.
රැකබලා ගන්නා නිවාසවල හෝ ආගමික සිද්ධස්ථානවල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයින් 11,660 දෙනෙකු සදහා ද අදාළ ප්‍රතිලාභ තවදුරටත් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළකර තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ මාධ්‍යවේදී, හඩකැවීම් ශිල්පී සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වේ.
මියයන විට ඒ මහතා 69වියේ පසු විය.
සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රකට විය.
මෑත කාලීනව හඬකැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය.

මහ සෙනඟක් මැද රනිල්ව ස්වාධීන කර රවී වැඩ අරඹයි !
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ ස්වාධින සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවද අනාවරණය කළ රවී කරුණානායක 2024 වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණයක් පවත්වන බව ද හෙළි කර සිටියේය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව පැවසුවේ කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
එහිදී වැඩි දුරටත්අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.
මේ කාලය අපි සියලුම දෙනාට අමාරු කාලයක් කියන්න අපි දන්නවා. ඒත් මේ ප්‍රශ්නවලට කෙළවරක් අපි සියලුම දෙනා එක්වී සෙවිය යුතුයි. කන්න-බොන්න පුලුවන්ද, ළමයින්ගේ අධ්‍යාපනය කටයුතු කරන්නේ කෙසේද වැනි ප්‍රශ්න ඔබතුමන්ලාගේ ඔළුවල කැකරේනවා.
දේශපාලනයෙන් බිල්ලෝ මවලා රටක් ඉදිරියට ගෙනියන්න බෑ. අවතාර මවලා රටක් ස්ථාවර කරන්න බෑ. රටක් සංවර්ධනය කරන්න කියන දේ අමිහිරි වුණත් ඇත්ත කතා කළා නම් එකේ සැබෑ ප්‍රතිඵලය ලැබෙන්න වැඩි කල් යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට වුණේ එකයි. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ රටක් හදන්න පුළුවන් තරුණ පිරිසක්. වගේම අපේ කාන්තාවන් පිරිසක් .
මේ පුංචි ශ්‍රී ලංකාව එක්සත් කර ලෝකයට ගෙන යා යුතුයි. මේක තනියෙන් කරන්න බැරි ක්‍රියාවක්. අපි සියලුම දෙනා එකට එකතු වෙලා ඒ ඒකරාශී වීම ඔස්සේ රට එක්සත් කර හරි අඩිතාලමක් දාගන්න ඕනෑ. අපි මේ රට අලුත් ගමනකට ගෙනිච්චේ නැති නම් වැඩි දවසක් යන්න මත්තෙන් ආර්ථික ප්‍රපාතයකට වැටෙනවා. අන්න ඒ නිසයි දැනට තාවකාලිකව ඉදිරියට ගියාට ආර්ථිකය හදන්න අවුරුදු ගණනාවක් යනවා කියලා කියන්නේ.
අපි 1948 වර්ෂයේ නිදහස ලබා ගෙන රට හදනවා. සංචිත ඇති කරනවා. ඒ සංචිත නැවත පාවිච්චි කරලා රට බංකොලොත් කරනවා.ඒ නිසා මේ අවස්ථාවේ මම ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. සියලු දෙනා එකතු වෙන්න ඕන. සියලු භේද භින්න අත්හරින්න. ඒ ගමන අපි ගෙනියන්න ඕන රට වෙනුවෙන්. ජනතාව මුල් කොට ගෙන.
1978 ජේ ආර් ජයවර්ධන රටට අලුත් අරුතක් දුන්නා. පුංචි ශ්‍රී ලංකාව ලෝකයට එකතු කළා. එක්සත් කළා. ඒ ගමන තමයි අප යා යුත්තේ. 2022 වන විට ඒ වැටුණු රටට අද රනිල් වික්‍රමසිංහ පුනර්ජීවයක් දෙනවා. මේ සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂ නායකයෝ නොවේද..? මෙන්න මේක තමා එකම වෙනස. හැබැයි රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් නොවේ. පාර්ලිමේන්තුවේ අනික් පක්ෂවල ඡන්දයෙන් ගියපු ඒ අයගේ ඡන්දවලින්.
අන්න ඒ නිසා තමයි අපි සියලු දෙන එකට ඒකරාශී වෙලා රනිල් වික්‍රමසිංහව 2024 දී මේ රටේ ජනාධිපති ලෙස පත් කර ගත යුත්තේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටක් සංවර්ධනය කරන්න පුළුවන් පක්ෂයක්. 2015දී අපි රජයේ සේවකයන්ට රුපියල් 10000කින් පඩි වැඩි කරලා දුන්නා. ඒ රුපියල් 10000 පඩියටම දුන්නා. අපි පඩි වැඩි කළාට 60% ට තිබුණු අපේ ඡන්ද පදනම 4%ට අඩු වුණා.
ජනතාවට දැන් දැනිල තියනවා කරපු අපරාධයේ තරම. වැඩි ගණන්වලට තිබුණ භාණ්ඩවල මිළ අපිට පුළුවන් පමණින් අඩු කළා. ඔබලාගේ ශක්තියත් සමගින් මුල්‍ය විනයත් සමග. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ මේ රට හදන්න බැරි එක නොවෙයි හදන්න ඕන කමක් තියනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නය.
එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග තිබු පුගලික අමනාපකම් මත බැඳුම්කර ජීව උණ්ඩය පත්තු කිරීම නිසා පක්ෂය දෙදරා ගියා. ඒ හැමදෙයක්ම අන්තිමට ගියේ මගේ කර උඩින්. වැඩි කල් යන්න කලින් උසාවි ගිහිල්ලා උසාවිය සම්පුර්ණයෙන් මාව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. හැබැයි එකේ ප්‍රශ්නේ තිබුණේ මට. මගේ පවුලට. මගේ ළමයින්ට. මගේ ඡන්ද දායකයින්ට. ඒක නිවැරදි කරන්න පුලුවන්ද..? එවකට සිටි නීතිපති දැන් ඉන්නේ කොහෙද..? අපි හරියට ඉදිරියට වැඩ කරන්න ඕන නේද..?
මට අවශ්‍ය වන්නේ මේ රටක් හදන්න. ඉලක්කය කරන්න ඕන අපේ තරුණ පෙරමුණ. ඒ තරුණ පෙරමුණ තමයි අපේ අනාගතය. අපි කියනවා කර්මාන්ත ඇති කරනවා, ආයෝජන එනවා කියලා. එහෙත් ලොකුම ආයෝජනය තමයි අපේ තරුණ සම්පත. අද තාවකාලිකව ටිකක් අමාරු ජිවිතයක් ගත කළත් එන අවුරුදු 4-5 හොඳ අඩිතාලමක් අපි දමා ගත යුතුයි.
අපි නැගී සිටින්න ඕනෑ. මං කිවුවා වගේ මේ රට හදන්න බැරි එක නෙවෙයි හදන්න ඕන කමක් තියනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහ භාර ගත්තේ බංකොලොත් රටක්. ඔහු පාර්ලිමේන්තුව හරහා ජනාධිපති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නොවෙයි. ඒක අපි පිළිගන්න ඕනේ. අගය කරන්න ඕන. අනික් පක්ෂ එතුමාව විශ්වාස කරලා ඡන්දය දුන් නිසා අද රට හරි මාර්ගයේ යනවා නේද..? අද ඒ තනි අලියට පුළුවන් වෙලා තියනවා රට හරි මාර්ගයේ ගෙන යන්න. එක අලියෙක්ට මේ තරම් දෙයක් කරන්න පුළුවන් නම් අපි වගේ අනිත් අලි ටිකත් හිටියා නම් පෙරහැර ඉක්මනට යනවා නේද..?
අපි පුළුවන් තරම් ඉක්මන් කරලා ගමන් කරන්න අවශ්‍යි. හැබැයි ඒ ගමන සඳහා අපි පුළුල් සන්ධානයක් ඇති කරන්න අවශ්‍යයි. ඒ සන්ධානය ඔස්සේ තමයි අපි ඉදිරියට යා යුත්තේ. එහෙම තමයි අපේ රට ඉලක්ක කරා යන්නට හැකි වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම දෙනාම ඒකරාශී කරන්න පුළුවන් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ වැට්ටුවත් නැති කරන්න බැරි පක්ෂයක්. අන්න එක තමයි එක්සත් ජාතික පක්ෂයේ තියන වටිනාකම. මේ ඔක්කොම කියා ගෙන මේ බල මණ්ඩලය අද පටන් අරන් අද ඔයගොල්ල දුන්න පන්නරය මට නොවේ එක්සත් ජාතික පක්ෂයට. රනිල් වික්‍රමසිංහට. රනිල් වික්‍රමසිංහ යටතේ සියලුම දේශපාලන පක්ෂ එක්ක වැඩි කල් යන්න ඉස්සර අපි ඒකරාශී වෙමු. ඒකරාශී වෙන කොට නිර්පාක්ෂි ජනාධිපතිවරණයක් අපි ඇති කරලා පසුව පර්ල්ලිමේන්තු ඡන්දයක් හරහා වැරදුනු තැන නිවැරදි කරලා අලුත් රටක් හදන්න අපි කටයුතු කළ යුතුයි.
ඩිජිටල් කරණය සහ ගෝලිකරණය ඔස්සේ සංහිඳියාවවයි සමගිතාවයයි තුලින් මේ රට ඉදිරියට ගමන් කරන්න පුළුවන් මාර්ගයක් අපි ඇති කරන්න ඕනේ. එක තමයි අපේ ශක්තිය. දැන් විවේක කාලය අවසන්. දැන් රජයට රටක් සංවර්ධනය කරන්න සියලුම සහයෝගය දී ගෙන අපි ගමන් කරනවා. අපිට මේක කරන්න පුළුවන් හැකියාව තිබෙනවා.
https://www.newstube.lk/news?start=3402#sigProId35359dd9ab

පොලිස්පතිව අභියාචනාධිකරණයට කැඳවයි !
සාමකාමී අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය අද (31) පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න ට නියම කළේය.
අභියාචනාධිකරණය මෙසේ නොතිසි නිිකුත් කර සිටියේ 2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය වගකිව යුතු බවට මානව හිමිකම් කොමිසමද නිර්දේශ කොට ඇතැයි කියමින් ක‍්‍රියාකාරී අරගලකරුවකු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බැලීමන් අනතුරුව ය.
මෙසේ නොතීසි නිකුත්කර සිටියේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසිනි.
ක‍්‍රියාකාරී අරගලකරුවකු වන ජනක් එස්. විතාරණ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතවරයා සහ නීතිපතවරයා, ඇතුළු පිරිසක් නම් කොට ඇත.
2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ක‍්‍රියාකාරී අරගලකරුවකු වශයෙන් කටයුතු කළැයයි කියන පෙත්සම්කරු සංවිධානාත්මක පිරිසක් පැමිණ අරගල භූමියට පහරදී ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා කළත් පොලිසිය එය වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කොට ඇත.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල රිට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.

ජාතික ගීතය වෙනස්කර ගැයුවාද ? පරීක්ෂණයක් !
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.
එම අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවය.
එය අනුමත කළ නොහැකි හෙයින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක පවසයි.
ජාත්‍යන්තර අවධානය යොමු වන වැඩසටහනකදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කනගාටුවට කරුණක් බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

QR කේතය නිසා ඉන්ධන පරිභෝජනයේ අඩුවක් !
කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව මෙරට මාසික ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් අඩු වූ බවත් එමගින් ඉන්ධන ආනයනික වියදම අඩුකරගැනීමට හැකිවූ බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට ඩොලර් අර්බුදයකට ලක්ව සිටි අවස්ථාව කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් ලැබුණු වාසිය හේතුවෙන් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් යෙදවීමට හැකි වූ බවද ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනයේ සඳහන් කර ඇත.
කිව්.ආර් කේතය හදුන්වාදී වසරක් සම්පූර්ණ වන විට වාහන ලක්‍ෂ 65 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඇණහිටිණු ජපන් ව්‍යාපෘති යළි ඇරඹීමේ තීන්දුවක් !
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) මහතා අද (31) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.
ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමඟ නවතා තිබෙන සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ප්‍රතිලාභ අත්වන අන්දමින් යළි කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, එම සියලු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නිලධාරින් ද සම්බන්ධ කර ගනිමින් අදාළ ව්‍යාපෘති පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට ද තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කුකුළු මස් ආනයනයට අවසර
කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මේ බව පැවසීය.
පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවය.
මෙම තීරණය මගින්ද කුකුළු මස් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය කුකුළුමස් ආනයනයට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
එසේම ඉදිරියේදී නිෂ්පාදනය වැඩිකිරීම හරහා රටේ ජනතාවට දරාගත හැකි මිලකට කුකුළු මස් සහ බිත්තර ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටද එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කෘෂිකර්ම බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්.
නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.6ක සංවර්ධන බැඳුම්කර වලින් තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්. එම ප්‍රමාණයද සැලකිල්ලට ගතහොත් ප්‍රතිව්‍යුහගත කෙරෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 94.5%ක්.
සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කිරීමේදී ණයහිමියන්ට විකල්ප තුනක් ලැබුණා. මේ එක් එක් විකල්පය තෝරාගෙන ඇති ප්‍රතිශතය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එමෙන්ම, කිසිදු විකල්පයක් තෝරා ගෙන නැති 3%කට ආසන්න ණයහිමියන් කවුද යන්නත් පැහැදිලි නැහැ. මොවුන් බොහෝ විට විදේශ ණයහිමියන් විය හැකියි. ඔවුන්ට මුල් ගිවිසුමේ කොන්දේසී අනුව ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන බැවින් රජයට එරෙහිව නඩු මගට යාමේ අරමුණක් නැත්නම් මෙය තාර්කික නොවන තීරණයක්. එහෙත්, විවිධ හේතු මත මෙවැනි අවස්ථාවකදී 3%ක් වැනි පිරිසක් තාර්කික නොවන ලෙස කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්.
භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ හැකි කාලය අගෝස්තු 11 දක්වා කල් දමා ඇති අතර අගෝස්තු 16 දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිතයි.
ඉකොනොමැට්ටා ෆේස්බුක් පිටුවෙනි

තර්ජන සහ බලපෑම් නිසා SIU ලොක්කා රට හැර යයි !
පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන් ඔහු සිය පවුල සමඟ රට හැර යාම සඳහා ප්‍රබල විදේශීය රටකින් වීසා ලබාගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.
විශේෂ විමර්ශන අංශ අධ්‍යක්ෂවරයා තමන්ට එල්ල වී ඇති තර්ජන හා බලපෑම් නිසා පසුගියදා මෙතෙක් තමන් දැරූ පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ තනතුරින් පර්යේෂණ හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙස ස්ථාන මාරුවක්ද ලබාගෙන ඇත.
කෙසේවෙතත් පවත්නා තත්ත්වය අනුව ඔහු අද හෙටම සියලු තනතුරුවලින් ඉවත්ව විදේශගත වනු ඇති බව ප්‍රබල මානව හිමිකම් සංවිධානයක ප්‍රධානියෙක් දේශයට පැවසීය.
පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇතුළු ප්‍රබල අපරාධ ගණනාවක් ගැන විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයකු වන වික්‍රමසිංහ මහතා රට හැර යාමට තුඩු දුන් සිදුවීම් සම්බන්ධව ඉදිරියේදී ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවද මේ ගැන දේශයට කරුණු දැක්වූ මානව හිමිකම් සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කළේය.
- deshaya

ලෝක නායකයන්ගේ සහය ගැනීමේ සයන්ස් එක ගැන සිරිසේන කියයි !
ලෝකයේ රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමන් බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි .
තමා ලෝකයේ සියලුම නායකයන් සමග දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින් රට ගොඩනැගීමට ඒ අයගෙන් උදව් ලබාගත් බවද බවද ඔහු සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පැවසීය .
ADB වෙන්න පුළුවන් IMF වෙන්න පුළුවන්. World BaBank වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක්. ඒ වගේම ඒක විද්‍යාවක්. මම ගොඩක් ආඩම්බරයෙන් කියනවා, බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සබඳතාවක් තියාගෙන රට ගොඩනගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණත් සූදානම්. ඔප්පු කරල පෙන්නන්නත් සූදානම්.
මම චීනයෙන් ඇමරිකාවෙන් යුරෝපයෙන් ජපානයෙන් ජර්මනියෙන් වගේම ඉන්දියාවෙනුත් සහයෝගය ගත්තා. ඉතින් ඒ සහයෝගය ගන්න එකේ ක්‍රමයක් තියෙනවා. මම ගියේ ඒ ක්‍රමයට. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලඥයන් ගැන තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා.

විගණනකාධිපතියේ අකුණු සන්නායක කම්බි හොරුන් මාට්ටු !
ජාතික විගණාධිපති දෙපාර්තමේන්තුව හා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පිහිටා තිබෙන බත්තරමුල්ල පොල්දූව හන්දියේ ගොඩනැගිල්ලේ භූගතව සවිකර තිබෙන අකුණු සන්නායක වයර් සහ තඹ කම්බි කපා සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගනුලැබූ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම සැකකරුවන් තඹ කම්බි කපා ඇත්තේ ජල ටැංකියකට ආරක්ෂාවට යොදා තිබෙන වයර් වලින් බව ද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් සමග සොරාගත් රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා අකුණු සන්නායක වයර් සහ තඹ කම්බි රාජගිරිය පරණ අබලි ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී වරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා එම ජායාරූපය සැකකරුවන් විකුණා ඇත්තේ රුපියල් ලක්ෂ අටක 8 ක පමණ මුදලකට බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 24 පසුවන රාජගිරිය පදිංචි තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ය.

රට පුරා අයිස් වැස්සක් !
අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් දහඅට දහස් නවසිය පනස් පහකට පසුගිය වසරේදී නඩු පවරා ඇති අතර ඉන් වැරදිකරුවන්වූ සංඛ්‍යාවදාහත් දහස් නවසිය පනස් පහක් බව පොලිස් මූලස්ථානයේ 2022 වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.
එසේම අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තාවී ඇති අතර එය
වාර්තාගත ඉහළ යෑමක් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි .
තවද පසුගිය වසරේ දී අත්අඩංගුවට ගැනුණු අයිස් මත් ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 253 කට ආසන්නය.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වැඩිදෙනා අඩු වයස්වල පසුවේ.
මේ අතර බාබුල් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන්වූ සිද්ධි 97ක් පසුගිය වසරේදී වාර්තාවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ අනූ හත් දෙනාටම නඩු පවරා ඇති අතර ඉන් අනූ එක් දෙනෙක් වැරදිකරුවන්ව ඇත.

රුපියල අවප්‍රමාණයවීම තාවකාලිකයි - මුදල් රාජ්‍ය ඇමති
පසුගිය දින කිහිපය තුළ රුපියල අවප්‍රමාණය වීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු මේ බව සඳහන් කළේ, මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“අපි ඩොලරයට හා රුපියලට ඉල්ලුම සැපයුම මත වටිනාකම තීරණය වෙන්න ඉඩ දීලා තියෙනවා. අපි දකිනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් විතර තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවන්න කටයුතු කරන්න කියන එකට තමයි එකඟ වුණේ. ඩොලර් තැන්පතුවලින් තමයි ඔවුන් මේක මිලදී ගත්තේ. එතකොට තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා මේ ප්‍රමාණය ඩොලර් රැස් කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ නිසා බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන්න පුළුවන් මේක රැස් කර ගැනීම සඳහා. ඒ වගේ ම වෙළෙඳපොළෙන් යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා එක්ක රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවුණේ පසුගිය දින කිහිපය තුළ. මේ තත්ත්වය ඉල්ලුම සැපයුම මත ඇති වුණ තාවකාලික තත්ත්වයක්.”
මේ අතර, ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති 63ක් මේ වසර අවසානයට පෙර අවසන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 2030 වනවිට තවත් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් නිම කිරීමට ද සැලසුම් කර ඇති බව ය.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි
කරාතේ දෝ ක්‍රීඩාව සඳහා ජාතික සංගමය වන ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එම සංගමයේ කටයුතු තාවකාලිකව තවදුරටත් සිදුකරගෙන යාම සඳහා 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සඳහා එහි විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුවක් පත් කිරීම, නිලවරණය කැඳවීම හා පැවැත්වීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සිදුකිරීමට බලය පවරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
Page 190 of 486