විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා චෙම්මනි සමූහ සුසානයෙන් එරමිණිය ගොතාගෙන ඉන්නා ආකාරයක් දිස්වන ඇටසැකිල්ලක් පළමු වතාවට පාදාගෙන තිබේ.
එය හින්දු චාරිත්‍රානුකූල භූමදාන සෙයියාවක් නොවන බව යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා විසින් තහවුරු කර ඇත. එම සිරුර හමුවී ඇත්තේ ඊයේ පාදාගත් ඇටසැකිලි පොදියත් සමගිනි.
චෙම්මනි සමුහ සුසානයෙන් සිකුරාදා (5) පාදාගත් සිරුරු 5 සමග හඳුනා ගෙන ඇති මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය හතලිහ දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ පුද්ගලයන් 11 දෙනකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.
ඊයේ පාදාගත් සිරුරු පොදියේ අඩුම වශයෙන් හිස් කබල් හයක්වත් තිබුණු බව වීඩියෝ දර්ශනවලින් දැකගත හැක.
චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 235 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.
ඊයේ විමර්ශන කටයුතු සිදුකෙරුණේ යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් යටතේය.
කැනීමේ නිරත විශේෂඥයන්ගේ ඉල්ලීම පරිදි ඊයේ හමුවූ සුවිශේෂ ආකාරයකින් පිහිටි ඇටසැකිල්ල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කැනීම් භුමියට කැඳවන ලද යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා ඉදිරියේ දී අධිකරණයට වාර්තාවක් ලබා දීමට නියමිත බව නීතිඥ වී එස් නිරංජන් වැඩි දුරටත් සදහන් කරයි.
සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබුනි.
එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කළේය.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල දරුවන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.
The leader.lk