ගල් අඟුරු වංචාව යටගසන්න ආණ්ඩුව උත්සාහ කරනවා - පා.ම. නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු

ගල් අඟුරු වංචාව යටගසන්න ආණ්ඩුව උත්සාහ කරනවා - පා.ම. නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු

මේ වනවිට රට තුළ ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිවී තිබෙන අතර ගල් අඟුරු වංචාව පිළිබඳව සිද්ධිය ද යටගසන්න ආණ්ඩුව උත්සාහයක නිරතවන බවක් පෙනෙන්න තිබෙන බවත්, ටෙන්ඩර් පටිපාටිය යටතේ ආනයනය කළ ගල් අඟුරු තොගයේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු...

ආණ්ඩුවේ කතාවලට අපිත් අහු වුණා

‘‘ජනතාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ ගෙඩාක් බලාපොරොත්තු ඇතිව, අපි පැරදුණාම අපිත් හිතුවා මේ ආණ්ඩුව වංචා දූෂණයෙන් තොරව රට පාලනය කරයි කියලා. බලං ගියහම ඒ කතාවලට අපිත් අහුවෙලා, ඉතිං ජනතාව බහුතරයක් අහුවුන එක පුදුමකුත් නෙමෙයි. එදා පන්නපු බහලුම් 323 සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනවිට නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන්න ආණ්ඩුව කටයුුතු කළේ නැහැ. ඒ වගේම පරික්ෂණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නවත් ආණ්ඩුව කටයුතු කළෙත් නැහැ. සමගි ජනබලවේගය මෙම ප්‍රශ්නය මතුකරන්න කටයුතු කළේ පසුගිය වසරේදී.

ආණ්ඩුව, ලක්විජය බලාගාරයෙන් ලබාදුන් වාර්තාව පිළිගන්නේ නෑ

මේ වනවිට ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් රට තුළ දැඩි කතා බහක් ඇතිවී තිබෙනවා. ගල් අඟුරු වංචාව පිළිබඳව සිද්ධියත් ආණ්ඩුව යටගහසන්න උත්සාහයක නිරතවන බවක් පෙනෙන්න තිබෙනවා. ටෙන්ඩර් පටිපාටිය යටතේ ආනයනය කළ ගල් අඟුරු තොගයේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ගල් අඟුරුවල ප්‍රමිතිය අඩු බව බලධාරින් පිළිගෙන තිබෙනවා. රටට ගෙන්වූ ගල්අඟුරුවලින් ප්‍රමාණයක් මේ වනවිට පුලුස්සා තිබෙන බවත් පිළිගෙන තිබෙනවා. නමුත් ලක්විජය බලාගාරයෙන් ලබාදුන් වාර්තාව පිළිගන්නේ නැති බවත් රජය සඳහන් කරනවා. කෙසේ නමුත් නොරොච්චෝලේ බලාගාරය සැදිමෙන් ජනතාවට වන හානිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළවුණා. මෙම බලාගාරය හරහා එම ප්‍රදේශයේ ජනතාවට විශාල සෞඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවන බවත් වාර්තා වුණා. නමුත් මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900 ක් ලැබෙනවා. නොරොච්චෝලය අක්‍රීය වුණොත් ලංකාවටම විදුලි අර්බුදයකට මුහුණ දෙන්නත් සිදුවෙන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙනැවිත් දහනය කිරිම හේතුවෙන් ‍නොරොච්චෝලේ අවට සිටින ජනතාව දැඩි කම්පනයකින් පසුවෙනවා.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමේ වගකීම බාර ගන්නේ කවුද...?

ඒ වගේම ගල් අඟුරුවල අළු ප්‍රතිශතය සියයට 16 ක් විය යුතු බව විද්‍යාඥයින්ගේ ප්‍රකාශ කරනවා. නමුත් මෙවර ආනායනය කර තිබෙන ගල් අඟුරුවල සියයට 20 ත් 22 ත් අතර ප්‍රමාණයක් අළු තිබෙන බව තහවුරු වෙලා තිබෙනවා. ආනයනය කළ ගල් අඟුරු නැවත ඉන්දියාවට යවා පරික්ෂා කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් වන පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයෙන් ඉල්ලා සිටිනවා. ගල් අඟුරුවල කිලෝ කැලරි 6200ක් පමණ තිබිය යුතුයි. අවම වශයෙන් කිලෝ කැලරි 5900ක් වත් තිබිය යුතුයි. නමුත් ප්‍රශ්න සහගත ගල් අඟුරු තොගයේ තිබෙන්නේ ඊටත් වඩා අඩු කිලෝ කැලරි ප්‍රමාණයක්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා තිබෙන දින 41 දින 21 ක් දක්වා අඩු කිරිම සම්බන්ධයෙනුත් ප්‍රශ්නයක් මතුවෙනවා. අඩු දින ගණනකින් ප්‍රසම්පාදන කටයුතු සිදු කළත් ගල් අඟුරු නැව් ගෙන්වීමේදීත් ප්‍රමාදයක් සිදුවී තිබෙනවා. ගල් අඟුරු ගෙන්වා ගන්නා කාල සිමාවත් පහුවෙලා තමයි ලංකාවට ගල් අඟුරු ආනයනය කර තිබෙන්නේ. බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින්ට මේ සම්බන්ධයෙන් ආංශික අධික්ෂණ කාරක සභාවේදී පිළිතුර ලබාදීමට නොහැකිව අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් ඇමැතිවරයා වගකිම බාර ගන්නා බවක් නම් පෙනෙන්නට නැහැ.

අඟුරු ටෙන්ඩරය හරහා බිලියන 10 ක වංචාවක්

ප්‍රමිතිියෙන් තොර ගල් අඟුරු දහනය කිරීමේ දී විශාල හානියක් සිදුවෙනවා. ජනතාවට මේ හරහා විශාල හානියක් සිදුවෙනවා, වගාවන්ට විශාල හානියක් සිදුවෙනවා, බලාගාරයේ බොයිලේරුවලට විශාල හානියක් සිදුවෙනවා. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා හෝ ආණ්ඩුවේ වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තුවේ දී නිසි පිළිතුරක් ලබාදුන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වුණ පුද්ගලයෙකවයි බලශක්ති ඇමැතිවරයා ලෙස පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කළේ. ඔහු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද සිදුකරනවා. එවැනි පුද්ගලයකුට ලංකාවේ තිබෙන ලොකුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලබාදීමේ දී ප්‍රශ්නයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. මෙම ගල් අඟුරු ටෙන්ඩරය හරහා බිලියන 10 ක වංචාවක් සිදුවී තිබෙනවා. ඒ වගේම මෙගාවොට් 3 ක බොයිලේරු 3 කට ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් 39ක් පැයකට අවශ්‍ය වෙනවා. ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් 936 ක් දිනකට අවශ්‍ය වෙනවා. කෙසේ නමුත් වසරකට ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ තුනකට වඩා නාස්තියක් සිදුවෙනවා. ගල් අඟුරු මෙට්‍රටික්ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 100ක් ලෙස ගණනය කළහොත් ගල් අඟුරු ටෙන්ඩරය හරහා බිලියන 10 ක වංචාවක් සිදුවී තිබෙනවා.

මේ ආණ්ඩුව හොරකම් කරන්නෙ පක්ෂයක් ලෙස එකතුවෙලා

රජය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව සමගි ජනබලවේගය අවදායෙන් යුතුව බලාගෙන සිටිනවා. මෙම වංචාව සම්බන්ධයෙන් දැනුම් දිය යුතු සෑම තැනකට ම දැනුම් දෙන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. මෙම වංචාව සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු සමගි ජනබලවේගය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව කටයුතු කරනු ලබනවා. මෙවැනි වංචාවන් ජාතික ජනබලවේග රජය යටතේ සිදුවන බව සමගි ජනබලවේගය දැනගෙන සිටියා. ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගේ මුදල්වලින් තමන්ගේ අරමුදල් තර කර ගැනීමට උපන් පක්ෂ. තනි තනිව රජයේ මුදල් හොරකම් කරන බව කලින් ආණ්ඩුවලට මොවුන් චෝදනා කළා. නමුත් මොවුන් පක්ෂයක් ලෙස එකතුවෙලා හොරකම් කරන්න කටයුතු කරනවා. කෙසේ නමුත් රට තුළ සිදුවන වංචා දුෂණයන්ගෙන් ආණ්ඩුවට ගැලවෙන්න සමගි ජනබලවේගය ඉඩ ලබාදෙන්නේ නැහැ. පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න රජය වහාම කටයුතු කළ යුතුයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න