සමගි ජන බලවේගය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ වුව ද ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට විරුද්ධ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී ය.
එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න කිව්වේ අපි
''රජය ක්‍රියාත්මක කරන්න සුදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ දෙමාපියන් ගේ මුදලින් සුහුරු පන්ති කාමර උපකරණ, ස්මාර්ට් බෝර්ඩ් මිලට අරගෙන. රාජකීය විද්‍යාලයේ පවා මේ වෙනුවෙන් මුදල් එකතු කර සුහුරු පන්ති කාමර උපකරණ ලබා ගන්න යැයි කියා තිබෙනවා. කොලොන්න මැතිවරණය කොට්ඨාසයේ වීරබා මහා විද්‍යාලය, පනාමුර ප්‍රාථමික විද්‍යාලය යන විද්‍යාලවල පවා එවැනි ඉල්ලීම් සිදු කර තිබෙනවා. ජනාධිපතිවරයා වෘත්තිය සමිති හමුවූ අවස්ථාවේ කියන්නේ මේ සුහුරු උපකරණ රජයේ මුදලින් දෙනවා කියලා. නමුත් පාසල්වලින් දෙමාපියන්ට මේවා දෙන්න කියල කියනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න කිව්වේ සමගි ජන බල වේගය යි. එදා ඉංග්‍රීසි ජපන් චීන හින්දි භාෂා අධ්‍යාපනය ගැන, ICT ගැන කියද්දි, සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට එය නිර්දය ලෙස විවේචනය කළේ වත්මන් රජයේ අය ම යි. එදා එහෙම කිව්ව අය අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අසභ්‍ය දේවල් ගෙනවිත් අවසානයේ රජයම ඒවා නවත්වා දැන් දෙමාපියන් උපයෝගී කර ගෙන මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න යැයි කියමින් යනවා. දැන් රජය කරන්නේ සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන ගොබෙල්ස් න්‍යාය ක්‍රියාත්මක කිරීම යි. සමගි ජන බලවේගය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ වුවත් ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අධ්‍යාපනය අසභ්‍යකරණයට විරුද්ධ යි.
ප්‍රතිසංස්කරණ කල් දැම්මෙ ජනාධිපතිවරයා
1-6 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න එපා යැයි කිසි දින විපක්ෂය කියල නෑ. රජය ම ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක් සදහන් කර තිබෙනවා. එය කළේ විපක්ෂය නෙවෙයි ආණ්ඩුව. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 1-6 ශ්‍රේණිවලට ගෙන එන විට එයට අපි විරුද්ධ වුණේ නෑ; විරුද්ධ වූයේ 6 ශ්‍රේණිය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කිිරීම නිසා. අවසානයේ ජනාධිපතිවරයා මේ ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැමුවා. ජනාධිපතිවරයා කියන ආකාරයට තාක්ෂණික ගැටලු, ගුරු පුහුණු ගැටලු නිසා මෙය 2027 සිට කරන බවට පැවසුවා.
කරන ප්‍රතිසංස්කරණයක් හරියට කරන්න
විපක්ෂය කියන්නේ මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරන ලෙස යි. අසභ්‍ය වෙබ් අඩවි දාන එක ආණ්ඩුවේ කාගේ හෝ පුද්ගලික අභිමතය වුනත් එය රාජ්‍ය ප්‍රතිපත්තිය නොවිය යුතු යි. මේ වෙබ් අඩවිය ඇතුළත් වීම ගැන සමාජයේ විරෝධය මතු වෙද්දි පවා ඒවා මුද්‍රණය කර බෙදාහැර විශාල මුදලක් විනාශ කර එහි වරද විපක්ෂය පිට පටවන්න එනවා.
රජය ම අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව කුමන්ත්‍රණයක් ද...?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශ්වාසභංග ගෙන එන වැඩපිළිවෙළක් තිබෙනවා. එය ආණ්ඩුවේ අනුමැතිය පරිදි සිදුවිය යුතු දෙයක් නෙවෙයි. අධ්‍යාපන අමාත්‍යවරිය රටේ නැති වෙලාවේ විශ්වාසභංගයක් ගෙන ඒමට ආණ්ඩුව කැමති හේතුව සිතාගත නොහැකි යි. එතුමිය ට අසාධාරණයක් නොකර එතුමියටත් අදහස් පළ කරන්න අවස්ථාව ලබා දී මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු යි. මේ අවස්ථාවේ රජයම අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව කුමන්ත්‍රණයක් සිදු කරනවාද කියා සැකයක් පවතිනවා.''

