මැතිවරණ සමයේ වතු කම්කරුවන්ට පො‌රොන්දු වූ කිසිවක් ම ඉටු කරල නැහැ - ඉන්ද්‍රානන්ද ද සිල්වා

මැතිවරණ සමයේ වතු කම්කරුවන්ට පො‌රොන්දු වූ කිසිවක් ම ඉටු කරල නැහැ - ඉන්ද්‍රානන්ද ද සිල්වා

ඡන්දයට පෙර වතු ප්‍රදේශවලට පැමිණි අනුර දිසානායක ජනාධිපතිවරයා, සියලු වතු කම්කරුවන්ට ජීවත් වීම සඳහා ඉඩමක් නිවසක් ලබා දෙන බවට පොරොන්දු වුව ද මේ වන තුරු ඒ කිසිවක් කර නැතැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (21) කොළඹ මහජන පුස්තකාලයේ පැවති "මලෛයහ තමිල් ජනතාවනි අත් නොහැර සටන් වදිමු!" තේමාවෙන් මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පෙබරවාරි 4වන දා පැවැත්වීමට නියමිත ජනතා සමුළුව ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා...

"පෙබරවාරි 4 වෙනිදා හැටන්වලදි මලහෛ තමිල් ජනතාවගේ සමුළුව පැවැත්වෙනවා. අපි දන්නවා මලහෛ තමිල් ජනතාව වසර 200ක් පුරා වහල් ජීවිතයක් තමයි ලංකාව ඇතුළේ ගතකළේ. තොණ්ඩමන්ල ගේ ඉඳන් සියලු දේශපාලකයන් ඔවුන්ව පාවිච්චි කළා. වර්තාමන ආණ්ඩුව පවා බලයට ආවේ වතුකරයේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමින්. ඒ පොරොන්දු එක්ක තමයි අම්බිගා වගේ කාන්තාවන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන්කම ලැබුණේ. නමුත් අදටත් ඔවුන්ගේ ඒ ඉල්ලීම් ඉටු කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. වතු කම්කරුවන් විදිහට ඔවුන් ලංකාවට ඇවිත් දැන් අවුරුදු 200කට වැඩියි. නමුත් අදටත් ඒ ජනතාවට ඉඩමක් නිවසක් නැහැ. ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ පුරවැසියෙක් විදිහට ලැබිය යුතු අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු මූලික අයිතීන් කිසිවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

මාලිමාවෙත් කයිවාරුව විතරයි

අපි දන්නවා මේ මලහෛ තමිල් ජනතාව ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සටන් බිමට ආවා. ඒ සටන්වල ප්‍රතිඵලයක් විදිහට යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් දිනාගන්න පුළුවන් වුණා. හැබැයි අදටත් මලහෛ තමිල් ජනතාව ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලැබිලා නැහැ. ඡන්දෙට කලින් වතු ප්‍රදේශවලට ඇවිත් අනුර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණේ සියලු වතු කම්කරුවන්ට ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දෙනවා කියලා. හැබැයි කයිවාරු ගැහුවට මාලිමා ආණ්ඩුව කිසිවක් කරලා නෑ. අපි සම අයිතිය ව්‍යාපාරය විදිහට මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න කියලා මේ ආණ්ඩුවට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. හැබැයි ඒ එකකටවත් ආණ්ඩුවෙන් උත්තරයක් ලැබුණේ නෑ. පසුගිය දවසක දෙමළ පුද්ගලයෙක් තමන් ගේ ප්‍රශ්නයක් කියන්න රජයේ ආයතනයකට කතා කළා ම ඔවුන් අහල තියෙන්නේ ඉංග්‍රීසි දන්නේ නැද්ද කියලා. අඩුමතරමින් දෙමළ ජනතාවට තමන් ගේ භාෂාවෙන් ප්‍රශ්නයක් විසඳගන්න තියන අයිතියවත් තවම ලැබිලා නැහැ. පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පවා වැඩිම විනාශයක් සිදු වුණේ මලහෛ තමිල් ජනතාවට. ඔවුන් ඉන්න ලයිම් නිවාස විශාල ප්‍රමාණයක් නාය ගියා. රැකියා අහිමි වුණා.

ආණ්ඩුව වතු හාමුපුත්තුන්ගේ පදයට නටන රූකඩ බවට පත් වෙලා

මෙහෙම තත්වයක් එක්ක තමයි මලහෛ තමිල් ජනතාවගේ සමුළුව පවත්වන්න අපි සූදානම් වෙන්නේ. මලහෛ තමිල් ජනතාවගේ ඉඩම් අයිතිය නිවාස අයිතිය සහ ඔවුන්ට ප්‍රමාණවත් මාසික වැටුපක් ලැබෙන්න ඕන. ඒ වගේම තමයි ඔවුන් ලංකාවේ පුරවැසියන් විදිහට සහ ජාතියක් විදිහට පිළිගන්න ඕන. අන්න ඒ ඉල්ලීම් එක්ක තමයි මේ සමුළුව පවත්වන්න අපි කටයුතු කරන්නේ. අපි දන්නවා 1972 පනතට අනුව වතු කම්කරුවන්ට නිවසක් තනා ගන්න ඉඩමෙන් 1/8ක ප්‍රමාණයක් දිය යුතුයි. නමුත් ඒ අයිතිය අදටත් ලැබිලා නැහැ. අදටත් මලහෛ තමිල් ජනතාව ඉන්නේ වතු හාමුපුත්තුන් ගේ ග්‍රහණයේ. ඔවුන් මේ ජනතාව සූරාකමින් විශාල ලාභයක් උපයනවා. ආණ්ඩුව පවා අද මේ වතු හාමුපුත්තුන්ගේ පදයට නටන රූකඩ බවට පත් වෙලා. නමුත් අපි සූදානම් නැහැ පරාජය බාර ගන්න. මලහෛ තමිල් ජනතාව ගේ ඉඩම් නිවාස ඇතුළු මූලික අයිතිවාසිකම් දිනාගන්නකල් සටන් කරන්න අපි සූදානම්. ඒ සටනත් එක්ක එකතුවෙන්න කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා."එැ්ප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න