පුවත්

සිරිසේනගේ විදෙස් ගතවීම සැකයි : කාවින්ද බාල්දියක් පෙරළයි !
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.
හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද (10) ඒ වෙත පැමිණි අවස්ථාවේ ය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය .
"මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, එක පැත්තකින් පාස්කු මහ මොළකරු දැනගෙන එය වසන් කිරීමේ වරදට හසුවෙනවා. අනෙක් පැත්තෙන් ඔහු බොරුවක් නම් කියන්නේ, මේ අහිංසක මිනිසුන්ගේ මරණයට වගකිව යුතු පුද්ගලයාව වසන් කරන්න එහෙම නැත්නම්, පරීක්ෂණ නොමඟ යවන්න කටයුතු කරනවා ද කියන සැකය අපිට ඇති වෙනවා. කිසිසේත්ම එතුමා ඒ කළ ප්‍රකාශයෙන් පැනලා යන්න බෑ. හැබැයි අපි දකිනවා එතුමා සැරින් සැරේ ඒ ප්‍රකාශ වෙනස් කරනවා.
මෛත්‍රීපාල සිරිසේනට, රටත් කාලා. මිනිස්සුන්වත් කාලා දැන් එයාට වමාරන්න වෙලා තියෙන්නේ. අපිට බය මෛත්‍රී මෙච්චර රටේ ප්‍රශ්න ඇති කරලා, තායිලන්තය බලා ගිහින් තියෙනවා. මේක පැනයාමක් ද කියලා මට පෞද්ගලිකව හිතෙනවා. එයාව වහාම කැඳවලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිනවා."

ජපානයෙන් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්
කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේ දී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (10) දින කටුනායක ගුවන් තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේ දී පැවැත්වුනි .
මෙම උපකරණ පරිත්‍යාග කිරීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය ජපාන රජය වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කර තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය වෙත ගමන් මලු සහ සම්පූර්ණ සිරුරු පරීක්ෂා කළ හැකි අධි තාක්ෂණික පරිලෝකන යන්ත්‍ර , මුහුණු හදුනා ගැනීමේ පද්ධති වලින් සමන්විත ස්වයංක්‍රීය ප්‍රත්‍යන්ත පාලන ගේට්ටු , ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර , ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලයන්හි පහසුව සදහා ස්පර්ශයෙන් තොර සන්වේදක මත ක්‍රියාත්මක සනීපාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත සුහුරු වැසිකිළි 150 ක් , අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් සදහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයන් අතර විය .
මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා සහ නාවුක කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චචන්ද්‍ර , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි හිඩෙයාකි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , සංක්‍රමණිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාළදිවයින සදහා වන ප්‍රධානී සරත් දාස් ඇතුළු තවත් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වන ගුරුවරුන් 2500ක්
ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් 2,500ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
“සැමට ඉංග්‍රීසි” වැඩසටහන යටතේ මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441කි.
නමුත් ඒ සඳහා ගුරුවරුන් 6,500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවත්, බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී හඳුනාගෙන තිබේ.
ඒ අනුව, දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6,500 ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

වියපත් කලාකරුවන්ට සහනයක්
වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා ඊයේ (08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමින් පැවසීය.
ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් මෙහිදී සිදු කෙරිණි.
මාසිකව රු.7,500/- ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබාදීම සිදුකෙරුණි. එම දීමනාව රු.10,000/- දක්වා වැඩිකිරීමට ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට ටවර් හෝල් රඟහල පදනම මඟින් වියපත් කලාකරුවන් 122ට රු රු.10,000/- ක් බැගින් වූ විශ්‍රාමික ජිවනාධාරයක් ලබා දේ.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
මෙරට සංස්කෘතියට, විවිධ කලා ක්ෂේත්‍රවලට පණ දුන් ඔබ යළි හමුවීම සතුටක්. ඔබ සමග ඔබගේ තරුණ විය පහු වී තිබෙනවා. ටවර් හෝල් පදනම ඔබට ගෞරවය දක්වනවා වගේම ඔබගේ ජීවිතයට පහසුවක් එක් කිරීමේ බලාපොරොත්තු ඇතුව ආරම්භ කරන ලද මෙම ක්‍රියාදාමය ඉදිරියේ තවත් වැඩි දියුණු කිරීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.
කලාකරුවන් මුහුණදෙන ආර්ථික අපහසුතාවන් පිළිබඳව සාකච්ඡා කළ භාරකාර මණ්ඩලය, එම අපහසුතාවයන් යම්තාක් දුරකට හෝ මඟ හරවා ගැනීමට විශ්‍රාමික ජීවනාධාරය වැඩි කිරීමට තීරණය කළා. ඒ පවතින ආර්ථික අර්බුද හමුවේයි. අපහසුතා ඇති තවත් කලාකරුවන් ඉදිරියේදී මෙම විශ්‍රාමික ජීවනාධාර වැඩසටහන සඳහා එක් කර ගැනීමට හැකි වෙයි.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කලාව පණ පෙවූ අපේ රටේ කලාකරුවන් ඈත එපිට ගම්මානවල සිට අද ඇවිත් සිටිනවා. ඔවුන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවය සැමරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් ත්‍යාග පිරිනැමීමට ටවර් හෝල් රඟහල පදනම වාර්ෂිකව කටයුතු කිරීම අගය කොට යුතුයි. ඔබ සැමට රජයේ ගෞරවය යළිත් පුද කරනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක හා කලාකරුවන් රැසක් සහභාගි වූහ.

කෙහෙළියගේ රීට් පෙත්සම ගැන තීරණය අප්‍රේල් 30 වැනිදා
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය.
තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.
පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් "ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා " ස්වාමීනි...මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි ." යනුවෙන් කියා සිටියේය.
මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය.
බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය.
ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය.
ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය.
පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක්
මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.
ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
(උපුටා ගැනීම -BBC සිංහල සේවය )

ආර්ථිකය උඩුයටිකුරු කරන පනත මැයි මාසයේ පාර්ලිමේන්තුවට !
රට තුළ නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ තරුණ පරපුර ඉල්ලා සිටින වෙනස ලබා දෙමින් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති“ මගෙන් පටන්ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව“ අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
රට ශීඝ්‍ර දියුණුවකට ගෙන ගියේ නැත්නම් රටට අනාගතයක් නැහැ. රටේ ආර්ථිකය එක තැන පල්වීමට ඉඩ තබනවාද, එය ඉදිරියට ගෙන යනවාද නැත්නම් කඩා වැටීමට ඉඩ තබනවාද කියා තීරණය කළ යුත්තේ තරුණ පරපුරයි.
අද රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කළොත් රටේ ආර්ථිකය නැවත කඩාවැටීමකට ලක් වෙනවා. සෑම අයෙකුටම රට හැර යාමට ආර්ථික හැකියාවක් නැහැ. එසේනම් අප සියලු දෙනා එක්ව රටේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුයි.
දැනට රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ තරුණ තරුණියන් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන් වෙනසක් ඉල්ලා සිටිනවා. රට තුළ නව ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කරන්නේ එම වෙනස ලබාදීම සඳහායි. ඒ සඳහා අවශ්‍ය මූලික නීති මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේ දී සම්මත කර ගැනීමට අපේක්ෂා කරනවා. ආර්ථිකය වෙනස් කිරීමට නම් රටේ නීති පද්ධතිය ද වෙනස් කළ යුතුයි.
රට ශීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා ගෙන යාමේදී රජයේ සෑම දෙපාර්තමේන්තුවකම හා සංස්ථාවකම සහාය අවශ්‍ය වෙනවා. එසේ සිදු කිරීමට නොහැකි නම් එම ආයතන ව්‍යුහය සංශෝධනයකට ලක් කළ යුතුයි.
ඒ වගේම ගමේ ආර්ථිකය දියුණු නොකර රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ. දියුණු සෑම රටක්ම ග්‍රාමීය කෘෂි ආර්ථිකය දියුණු කර තිබෙනවා. ගමට නවීන කෘෂිකර්මාන්තය ගෙන ඒමට අප කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ ඒ නිසයි. එසේ නම් වෙනසක් සමඟ ඉදිරියට යනවාද, එක තැන පල්වෙනවාද කියා තරුණ ඔබ තීරණය කළ යුතුයි.
1977 එක්සත් ජාතික පක්ෂය බලය ලබාගත් අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට ඉදිරියට ගෙන යාම සිදු කළ යුත්තේ තරුණ පිරිස කියලයි. “ඔබ එය සිදුකිරීමට සූදානම් නම් මම අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන්නම් කියලා” එතුමා ප්‍රකාශ කළා.
ඒ අනුව තරුණ අප මැතිවරණයට ඉදිරිපත්ව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන් පසුව එතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. වසර 30ක් ගතවන බව පැවසූ මහවැලි ව්‍යාපාරය වසර 10කින් අවසන් කිරීමට හැකි වුණා. ඒ වගේම රටට අවශ්‍ය විදුලි බලය ලබා දුන්නා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමයේදී වෙළෙඳ කලාප දෙකක් ආරම්භ කළා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා රටපුරා ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ආරම්භ කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළා.
අප එදා තරුණයන් ලෙස මෙම වැඩසටහන් ඉල්ලා සිටියා. තරුණ පරපුර ලෙස අද ඔබ ඊට සූදානම් නම් අප එක්ව මෙම ගමන යමු. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අප කටයුතු කරනවා.
ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණ පනත ගෙනවිත් අප එම වැඩපිළිවෙළ ආරම්භ කරමු. තවද රජයේ මුදල් පාලනය කිරීමට නව මුදල් පනතක් ගෙන ඒමටද කටයුතු කරනවා.
අද රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් වුවත් රැකියා නියුක්ත කාන්තා නියෝජනය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව පනත් දෙකක් අප ගෙන එනවා. මේ සියල්ලම මෙම මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සමඟ රටේ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස සඳහා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරනවා.
ඔබව බොරුවෙන් මුලාකරන කිසිඳු පාර්ශ්වයකට මම ඉඩදෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. මෙම නව නීති ගෙන එන්නේ එම ප්‍රශ්න විසඳීමට බව කිව යුතුයි.
මෙහිදී තරුණ තරුණියන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය,
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, අප රටේ විවිධ අණපනත් ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ළඟදී පිහිටවූ ජනසභාව හොඳ පනතක්. දැන් ජනසභා පිහිටුවීම මන්දගාමී වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
පිළිතුර
ජන සභා හොඳ වැඩසටහනක්. මේ වන විට අත්හදා බැලීමේ පදනම මත කිහිපයක් ආරම්භ කර තිබෙනවා. ජනසභා නීතිගත කිරීමේදී ප්‍රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. එහි සාමාජිකයන් තේරීම වැනි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, ප්‍රශ්න විසඳගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. මේ වසරේ නොහැකි වුවහොත් ලබන වසරේදී යළිත් ජනසභා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය
අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී අඩුපාඩු සිදුව තිබෙනවා. දිළිඳු පවුල් සියල්ලටම අස්වැසුම ප්‍රතිලාභ ලැබෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.
පිළිතුර
එම අඩුපාඩු මඟහරවා ගනිමින් කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් මෙම ප්‍රතිලාභය ලබාදීමේ දී සුදුසුකම් පිළිබඳව සොයා බලනවා. 2025 වසරේදී මෙම වැඩසටහන පරිගණකගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 24කට මෙම ප්‍රතිලාභය ලබාදීමට අපේක්ෂා කරනවා. අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ රටේ සියලු දළිඳු ජනතාවට සහනයක් ලබාදීමටයි.
ප්‍රශ්නය
බිඳ වැටී තිබූ මෙරට සංචාරක කර්මාන්තය මේ වන විට යහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. කුඩා ව්‍යාපාර කර්මාන්තකරුවන්ට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ බෙදී යන ආකාරයට වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවාද කියා දැන ගැනීමට කැමතියි.
පිළිතුර
කොරෝනා වසංගතය සහ රට තුළ ඇති වු අයහපත් ආර්ථික තත්ත්වය නිසා මෙරට සංචාරක ව්‍යාපාරය කඩාවැටීමකට ලක් වුණා. නමුත් මේ වන විට අපේ රටට සංචාරකයන් පැමිණීම නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
සංචාරක ව්‍යාපාරයේ මෙම නව පිබිදිමත් සමඟ කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන ලබාදීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම මෙරට සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර වර්ධනයකට ගෙන යාමට අප සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම පළාතකම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කමිටුවක් පත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය
වෘත්තීය පුහුණුව අවසන් කරන තරුණ තරුණියන් සඳහා ප්‍රමාණවත් රැකියා අවස්ථා නැහැ. වෘත්තීය පුහුණුව අවසන් කරන අභ්‍යාසලාභීන් සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර කුමක්ද කියා දැන ගැනීමට කැමතියි.
පිළිතුර
ආර්ථික අර්බුදය නිසා ඇතැම් පිරිසකගේ රැකියා අහිමි වුණා. මේ වන විට රට බංකොලොත්භාවයෙන් ඉවත් වෙමින් තිබෙනවා . විශේෂයෙන් රට තුළ ආයෝජන අවස්ථා පුළුල්වීමත් සමඟ නව රැකියා අවස්ථා රැසක් බිහි වෙනවා.
අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කැබිනට් අනුමැතියක්
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, 1988 අංක 27 දරන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය (සංශෝධන) පනත මගින් විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇත.
සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාව අනුව, වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ශිෂ්‍යභට නිලධාරීන් පුහුණු කර වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය (MBBS) උපාධි පිරිනැමීම සඳහා 2011 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කෙරිණි.
ඒ අනුව, දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා ගත හැකි බව රජය පවසයි.
එම අවස්ථාව තවදුරට ත් පුළුල් කරමින් 2024 අධ්‍යන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයැදුම්කරුවන් ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවාගැනීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධි හැදෑරීම සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එක දවසේ ජන්ද 2ක් බෑ : මැකොස පවසයි !
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක අවධාරණය කරයි.
මැතිවරණ දෙකම එකට පැවැත්වීම ජනප්‍රිය මාතෘකාවක් වුවත් එමගින් වියදම අඩුවේදැයි යන්න ගැටළුවක් බවත් සමහර විට මෙය වියදම වැඩිවීමට බලපාන කාරණයක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
නිශ්චිත කාලවලදී ඒ ඒ මැතිවරණ පවත්වන්නේ නම් කිසිදු ගැටලුවක් මතු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වර්ෂයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සූදානම් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ආර්ථික පරිවර්තනයේ දී නීති පද්ධතියද නවීකරණය විය යුතුයි- ජනපති
රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර නීතිඥවරුන් සමඟ ඊයේ (07) මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
එසේම සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරනවාද, නැත්නම් එය ආපසු හරවනවාද යන්න පිළිබඳ අප තීරණය කළ යුතුයි. මේ සඳහා එකඟත්වය පළ කරුණු සෑම අවස්ථාවකම පසුව එම තීරණය ආපසු හරවන බවට නරක නාමයක් ශ්‍රී ලංකාවට තිබෙනවා. රට වෙනුවෙන් අපට ලැබී ඇති අවසන් අවස්ථාව මෙයයි. ඒ නිසා මෙම ප්‍රතිලාභය ජනතාවට ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට අප බලාපෙරොත්තු වෙනවා.
රට හමුවේ ඇති වගකීමෙන් අප කිසිවෙකුට පැන යන්න බැහැ. ඒ නිසා එහිදී වැදගත් තීන්දු තීරණවලට එළැඹිය යුතුයි.
එසේම රටේ දැනට පවතින ආර්ථික ක්‍රමය සමඟ එක තැන සිරවී සිටිනවාද, නැතිනම් තරගකාරී අපනයන ආර්ථිකයකට යොමුව රටේ ආර්ථිකය ශක්තිමත් කර, නැවත රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවන්නට වග බලා ගන්නවාද කියා අප තීරණය කළ යුතුයි.
මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කළ හැකි බවට විශ්වාසයක් මා තුළ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත මෙන්ම මානව සම්පත්ද අප සතුව තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් පිටරටවල සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබනවා. අද ලෝකයේ විශාලතම වැවිලි සමාගම අයත් වන්නේ ලංකාවේ සමාගමකටයි. ඒ වගේම ලෝකයේ විශාලතම තේ වතු සමාගම අයත් රට ශ්‍රී ලංකාවයි. අපගේ ඇඟලුම් කර්මාන්තයට ලෝකයේ ඉහළ තැනක් හිමිව තිබෙනවා. එම නිසා උත්සාහ කළහොත් අපට ලෝකය දිනාගත හැකියි. එබැවින් අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. එහිදී නව ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
එසේම අපගේ වෙළෙඳ භාවිතාවන්වල විශාල වෙනස්කම් සිදුවිය යුතුයි. එහිදී බොහෝ නීති නවීකරණය කළයුතුයි. එසේම ලෝකය පිළිගත් නවීන නීති බොහොමයක් තවමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ. අප ලෝකයට අවතීරණවීමට නම් එම නීති පද්ධතියටද ඇතුළත් විය යුතුයි.
ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළේදී ඩිජිටල් ආර්ථිකයක් පිළිබඳ අප ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේදී ඩිජිටල්කරණය හා සම්බන්ධ සියලුම නීති ඊට ඇතුළත් විය යුතුයි.
ඒ වගේම දේශගුණික විපර්යාස පිළිබඳ නීති සහ නව පාරිසරික නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. එසේම නව මූල්‍ය නීති හා බැඳුණු වාණිජ නීති අප විසින් සම්පාදනය කරනවා. නව බැංකු නීති කෙටුම්පත් කරනවා. මෙම පියවර සමඟ ඉදිරි වසර 10 තුළ නව නීති පද්ධතියක් රට තුළ නිර්මාණය වෙනවා. එය ශ්‍රී ලංකාව දිගුකාලීන සංවර්ධනයක් කරා ගෙන යන වැඩපිළිවෙළක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.
නව නීති ගෙන එන අතරම පවතින නීතිවල සංශෝධනද සිදු විය යුතුයි. ශ්‍රී ලංකාව අයෝජන සඳහා සුදුසු රටක් ලෙස සාර්ථකවීමට නම් ඊට අදාළව ක්‍රියාත්මකවන නීති පද්ධතියේද සංශෝධනයක් අවශ්‍යයි. අප රට තුළ ආයෝජකයන් රඳවා තබා ගැනීමට නොහැකි එක් හේතුවක් වන්නේ නීතිමය කටයුතුවල තිබෙන ප්‍රමාදයයි.
එසේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමු කර තිබෙනවා. එවිට එය අක්වෙරළ ආර්ථිකයක් බවට පත් වනු ඇතියි. එය වෙනම අංශයක් ලෙස ක්‍රියාත්මක වන අතර අලුත් නීති මාලාවක්ද ක්‍රියාත්මක වෙනවා.
ඊට අමතරව, කාන්තාවන් සවිබල ගැන්වීමේ නීතිය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ නීතිය ගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.
රටේ සිදුකරන ආර්ථික පරිවර්තනයේ දී නීති පද්ධතිය ද නවීකරණය කළ යුතුයි. අප තීරණ ගත යුත්තේ තවත් වසර 20ක ඉදිරිය දෙස අවධානය යොමු කරමිනුයි. තවත් වසර 20ක් යන විට මා සහ මෙතන සිටින බොහෝ පිරිසක් ජීවතුන් අතර නොසිටීවි. නමුත් මෙහි සිටින තරුණ නීතිඥයන් මෙම නවීකරණ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි.
අද අපට ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ අවසාන අවස්ථාවයි. එබැවින් නවීකරණය වී ලෝකය සමඟ ඉදිරියට යනවාද, පසුපසට ඇද වැටෙනවාද කියා තීරණය කළ යුතුයි. 1948 නිදහස ලැබූ දා සිට අපට ලැබුණු කිසිඳු අවස්ථාවකින් අප නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ. නමුත් අප මෙම වසරේදී රට පිළිබඳ සිතා තීරණයකට එළැඹිය යුතුයි.
විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුද, නැතිනම් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද යන්න අද රට හමුවේ තිබෙන වැදගත් ප්‍රශ්නය බවට පත් කිරීමට ඇතැමුන් උත්සාහ දරනවා. එය වැදගත් දෙයක් කියා මා සිතන්නේ නැහැ. එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.
අද දවසේ වැදගත් ප්‍රශ්නය වන්නේ රටේ සිටින්නේ විධායක ජනාධිපතිවරයෙකුද, අගමැතිවරයෙකු ද යන ප්‍රශ්නය නොවෙයි. ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ කෙසේද යන ප්‍රශ්නයයි. ඒ නිසා සැබෑ අරමුණ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙමින් එම ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අප සියලුදෙනා එක් වෙමු කියා මම ආරාධනා කරනවා.
අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න , දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියහ.

ජනාධිපති අරමුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට !
2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ජනාධිපති අරමුදල දැනුම් දෙයි.
ඒ අනුව 2024 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ.
තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ (www.presidentsfund.gov.lk) පල කිරීමට කටයුතු කරනු ලබන අතර වැඩිදුර විස්තර සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව (www.facebook.com/president.fund) like/follow කර තබාගන්නා මෙන් ද ජනාධිපති අරමුදල දැනුම් දී සිටි.
තවද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආර්ථික අපහසුතා සහිත සිසුන් ලක්ෂයක් සදහා පිරිනැමෙන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් භාර ගැනීම මේ වන විට අවසන් වී ඇති අතර ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛන කලාප මට්ටමින් ඉදිරි මාසය තුළ ජනාධිපති අරමුදල වෙත ලැබීමට නියමිතව තිබේ.
එම නාමලේඛන ලද පසු අදාළ සිසුන් සදහා ශිෂ්‍යත්ව දීමනා වශයෙන් මසකට රුපියල් 3000 බැගින් මාසික වාරික 12ක් ගෙවීමට කටයුතු කෙරෙන අතර මෙම ශිෂ්‍යත්ව මුදල්ද 2024 මැයි මස සිට ලබා දීමට නියමිතව ඇත.
මීට අදාළ මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇත .

ටිල්වින්ගේ අනුමැතිය : අනුර - සජිත් විවාදයකට පමණයි !
ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව සහ සජබ ආර්ථික කමිටුව අතර විවාදයක් වෙනුවට ජනාධිපති අපේක්ෂකයන් වීමට නියමිත අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදයක් සඳහා පමණක් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අනුමැතිය පළකර ඇත.
ජාතික ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් අමතමින් ඔහු සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර ප්‍රතිපත්තියක් නැති කණ්ඩායම් සමග විවාද කරන්න ජාතික ජන බලවේගය සූදානම් නැති බවත් පවසා තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා මෙසේ පවසා ඇත .
‘සමගි ජන බලවේගයේ පිරිසක් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාද කරන්න අපිට අභියෝග කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැ¾දුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ අපිව හිර කරපු අයම අපට විවාදයකට කතා කරනවා.
ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමඟ ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජිත විවාදය ගැන ආපදා කළමනාකරණ තීන්දුවක් ගෙන ඇති බවය. සජබ ආර්ථික කමිටුව සහ ජාජබ ආර්ථික කමිටුව අතර විවාදය තුළ, ජාජබ පාර්ශ්වය වෙතින් ජවිපෙ ස්ථාවරය ඛණ්ඩනය වීම වළක්වා ගැනීමට මේ තීන්දුව ගෙන ඇති බව පැහැදිලි බව විචාරක මතය වී ඇත.
එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ජාජබ ආර්ථික ප්‍රතිපත්තිය සහ ජවිපෙ ප්‍රතිපත්තිය අතර ඇති විසංවාදය ගැන වාදයක් ඇතිවීම අහිතකර බව ටිල්වින් සිල්වා ගේ තක්සේරුව වී ඇති බවයි.

ජනපතිගෙන් අතිශය මානුෂීය පියවරක් !
මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ඊයේ (07) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය නිසා ජනතාවට පෝලිම්වල සිටීමට සිදුවීම නිසා රාමසාන් උපවාසය පවා නිසි අයුරින් සිදු කිරීමට හැකි වුණේ නැහැ. පසුගිය වසරේ සිට ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා අද වන විට සුපුරුදු ආකාරයටම රාමසාන් සමය සහ රාමසාන් උපවාසය සිදු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.
රාමසාන් කාලයේදී මුස්ලිම් ප්‍රජාව නිරාහාරව සිටිමින් උපවාස ශීලය රකිමින් කුසල් දහම් වඩමින් සිටිනවා. රාමසාන් උත්සවය සහ සිංහල අලුත් අවුරුදු සමය එකම කාලවකවානුක යෙදී තිබෙනවා. ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කළ හැකි සංස්කෘතියක් ඉතිහාසයේ සිටම මේ රට තුළ නිර්මාණය වී තිබෙනවා.
මේ වන විටත් පිරිවෙන් අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය වනවා සේම, මද්‍රසා පාසල් ද අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය කිරීමට අවධානය යොමු කර තිබෙනවා. 2019 කාල සීමාව තුළ මුස්ලිම් පොත් පත් සම්බන්ධයෙන් ඇති වු බාධා සොයා බලා ඒවා ඉවත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.
පසුගිය කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි වේදනාකාරී තත්ත්වයක පසු වුණා. එම තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයක් මඟින්, තමන්ට කැමති ලෙස අවසන් කටයුතු සිදු කර ගත හැකි නීති ඉදිරියේදී සකස් කරනවා. ඕනෑම කෙනෙකුට භූමදානය සඳහා හෝ ආදාහනය සඳහා අයිතියක් තිබෙනවා. එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුව සිදු කිරීමට අවශ්‍ය නීති අප සකස් කරනවා.
අද ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය සිදු කළත් ගාසා තීරයේ ඉතා කණගාටු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එහි මුස්ලිම් ප්‍රජාව තිස්පන්දහකගේ පමණ ජීවිත අහිමි වී තිබෙනවා. එම නිසා මෙවර ජාතික රාමසාන් උත්සවය නොපවත්වා එම මුදල් ගාසා තීරයේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම යුද්ධය අවසන් වූ පසුව ගාසා තිරයට පාසලක් ඉදිකර දීමටත් අප පොරොන්දු වී තිබෙනවා. පලස්තීන රාජ්‍යය බිඳ දැමීමට අප කිසිදා සහාය පළ කරන්නේ නැහැ. එම නිසා මෙම යුද්ධය නැවැත්වීම සඳහා අප සහයෝග ලබා දෙනවා.
කාන්තංකුඩි මුස්ලිම් පල්ලියෙන් රුපියල් මිලියන 10ක මුදලක් සහ කටු කැලේ ජුම්මා මුස්ලිම් පල්ලිය මඟින් රුපියල් මිලියන 2.2ක් සහ මුස්ලිම් විදේශ රැකියා නියෝජිත ආයතන මගින් රුපියල් මිලියන 3.5ක මුදලක් ගසා තීරයේ මුස්ලිම් ප්‍රජාව වෙත ලබාදීම වෙනුවෙන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමද සිදු විය.
මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවී සයිද් මවුලානා, අමාත්‍ය මනූෂ නානායක්කාර,රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ , අනුරාධ ජයරත්න , දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.newstube.lk/news?start=1494#sigProId1a45aaa387

අලුත් අවුරුදු ක්‍රීඩා තරග සඳහා මාර්ගෝපදේශ මාලාවක් !
අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කෙරෙන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අද (08) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ අලුත් අවුරුදු කාලය තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවය.
මෙහිදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පැවසුවේ ඇතැම් ක්‍රීඩා සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර ඇති බවය.
එමෙන්ම ධාවන තරග, මැරතන් තරග ඇතුළු අවුරුදු ක්‍රීඩා සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ එහිදී සදහන් කළේය.
2023 වසරේ බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 124,760 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම වසරේ අප්‍රේල් මාසයේ දී බීමත්ව රිය පැදවීම් හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගල මරණ 07ක් සිදුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේය.
රජය විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශ මාලාව පහත දැක්වෙයි .
අලුත් අවුරුදු උත්සව සමයේ දී ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් by poornima on Scribd

ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායමක් !
අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
2020 දී එක්සත් ජාතික පක්ෂයේ අයිතිය ප්‍රකාශ කරමින්, සිරිකොත අල්ලා ගැනීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගය අද පොහොට්ටුවේ සභාපති ඇතුළු පිරිසට යටවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) පැවති දේශපාලන පක්ෂ නියෝජිත හමුව අමතමිනි.
2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමග මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද අද සියලුදෙනා රට පිළිබඳ සිතා රජයේ වැඩපිළිවෙළ සමඟ සහයෝගයෙන් ඉදිරියට යා යුතු බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය
ආර්ථික අර්බුදය හමුවේ 2022 ජූලි මාසයේ සිදුවූ දේශපාලන පෙරළිය සමඟ මෙරට පක්ෂ ක්‍රමයද වෙනසකට ලක් වුණා. අද සියලුදෙනාගේ සහයෝගයෙන් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට අපට හැකිව තිබෙනවා. මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම අප සියලුදෙනාගේ වගකීමක්.
පසුගිය වසර දෙක තුළ අප පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන නීති ඇතැම් අය සිය පාර්ලිමේන්තු කාලය තුළම සිදු කර නැහැ. රටේ ආර්ථික ගැටළු තිබුණද අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ආරම්භ කර, එතෙක් පැවති දීමනාව තුන් ගුණයකින් ඉහළ නැංවීමට අප කටයුතු කළා. ඒ වගේම ලක්ෂ 20කට උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ රටේ ආර්ථිකය යහපත්ව තිබූ කාල සීමාවේ ඉටු නොකළ වැඩකොටසක් බව කිවයුතුයි.
මෙම වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මට සහාය ලබා දී තිබෙනවා. පෙදුජන පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද කොටසක් මේ අතර සිටිනවා. ඒ වගේම වෙනත් පක්ෂවල අය ද සිටිනවා. මේ සියලුදෙනා එකට එක්ව සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි.
පොදුජන පෙරමුණේ සිටියත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියත් වෙනත් පක්ෂයක සිටියත් රජයේ මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට යනවාද නැද්ද යන තීරණය ගැනීමට පමණයි තිබෙන්නේ.
පසුගිය කාලයේ දේශපාලන පක්ෂ තුළ බෙදිමක් ඇති වුණා. පොහොට්ටුවේ සභාපති සහ සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් එම කණ්ඩායම සමගි ජනබලවේගය අල්ලාගෙන සිටිනවා. 2020 සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත අල්ලාගන්න ඕන කියලා. එසේ පැවසු සමගි ජන බලවේගය අද පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායමට යට වී සිටිනවා.
අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂය නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළේ මමයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මේ සියලුදෙනා සමඟ අපි වැඩකළා.
අද සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය කියන්න කිසිම අයිතියක් නැහැ. අද අපට පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වැඩ කිරීමට සිදුව තිබෙනවා. රට වෙනුවෙන් අපි එකට සිටිය යුතුයි. අද දේශපාලනය වෙනස් වෙලා.
ඔබ සියලුදෙනා ගමට යා යුතුයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20න්, ලක්ෂ 10ක් මේ වන විට සකස් කර අවසන් කර තිබෙනවා. එම ඔප්පු මාසයක් තුළ ජනතාවට බෙදා දීමට අපිට එක්ව වැඩ කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඔබ සියලුදෙනා මනා සම්බන්ධීකරණයකින් යුතුව රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ සහාය ජනාධිපතිවරයා වෙත පළ කරමින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී එක් විය.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා, ගම සමග සම්බන්ධීකරණයට පළාත් පාලන හිටපු සභාපතිවරුන්ගේ සාමාජිකත්වයෙන් උපදේශක සංවිධානයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළේය.
ඒ අනුව ගම්වල තිබෙන ගැටළු පිළිබඳව සෘජුව ජනාධිපතිවරයාව සහ අගමැතිවරයාව දැනුම්වත් කිරීමට හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දැනට රජය ගෙනයන “අස්වැසුම” වැඩසටහන සහ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට ඍජුව සහභාගී වන ලෙස හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
එසේම පළාත් පාලන බල ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ නියමුවන් ලෙස ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

ශ්‍රීලනීප වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් පත්වේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබෙයි.
එහි වැඩ බලන ලේකම්වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක තේරි පත් විය.
අද (08) උදෑසන එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ජ්‍යේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන තිබේ.

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්
ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් 5 වැනි සැකකරුව මීට පෙර ඇප මත මුදාහැර ඇති බවත් ය.
එසේම 10 වන සහ 11 වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එතෙක් ඔවුන්ව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම නඩුව සඳහා සැකකරුවන් 11 දෙනෙක් සිටින අතර ඉන් 09 වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදෙස් ගතව සිටින බව සඳහන් ය.

කොම්පඤ්ඤවීදිය ද්විත්ව ගුවන් පාලම ජනතා අයිතියට
කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (08) ජනතා අයිතියට පත් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43කි.
රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බවට නිරීක්ෂණය වී තිබේ.
එම ප්‍රමාදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) විසින් සිදු කරයි.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්. ආර්. පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර යන මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එජාපය දෙකඩ කර ගොඩනැගු සජබ තුළ අද ඇත්තේ වෛරය පමණයි !
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය ගොඩනැඟූ බවත්, ඒ පිළිබඳ තමන් කණගාටු වන්නේ එතුමාගේ පියාගේ පාලන සමයේ දී පක්ෂය කැඩීයාමට ගිය අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කර දුන්නේ තමන් වීම නිසා බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (07) පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනි.
එක්සත් ජාතික පක්ෂය කැඩී යාමට ඉඩ නොතැබුවා නම් අද එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ඉදිරියට පැමිණෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, පක්ෂය දෙකඩ කරමින් ගොඩනැඟු සමගි ජනබලවේගය තුළ අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, එම පක්ෂය තුළ එක්සත් ජාතික පක්ෂයේ අයෙකු නම් කිරීම කිසාගෝතමිය අබ ඇටයක් සොයා ගිය ගමනටත් වඩා අසීරු වී ඇති බවත් පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකයාට ජනාධිපති ධූරය ලබා දීම නිසා පොහොට්ටුවෙන් ඉවත් වු පිරිස සමඟ එක්ව අගමැති ධූරය භාර ගැනීමට සූදානම් වු සමගි ජන බලවේගය තුළ අද ඇත්තේ ප්‍රතිපත්තියක් නොව, වෛරයක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය කිසිදා වෛරී දේශපාලනයක නිරත නොවන බවත් අද දවසේ සැබෑ අවශ්‍යතාවය වී තිබෙන්නේ රටේ ආර්ථිකය දියුණු කිරීම බවත් ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.
අද අප මෙහි රැස් වී සිටිනේ වෙනස් දේශපාලන වාතාවරණයක් තුළයි. 2022 අර්බුදය සමඟ රටේ ආර්ථිකය මෙන්ම දේශපාලන පක්ෂ ක්‍රමයද කැඩී ගියා. අද අපේ මූලික වගකීම වන්නේ කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් රටේ ආර්ථිකය බේරාගෙන ජනතාව ජිවත් කරවීමයි.
එක්සත් ජාතික පක්ෂය මෙම ආර්ථික අර්බුදය මුල සිටම හඳුනාගෙන සිටියා. අපි 2020 මැතිවරණයේ දී ප්‍රකාශ කළා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න නම් ඩොලර් බිලියන 03ක් අවශ්‍යයි කියලා. එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය පමණයි.
නමුත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය කඩලා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජන බලවේගය ඇති කරගත්තා. මා කණගාටු වන්නේ එතුමාගේ පියා යටතේ පක්ෂය කැඩී යාමට ගිය අවස්ථාවේ එදා පක්ෂය ආරක්ෂා කරදුන්නේ මම වීම නිසයි. කෙසේ හෝ මෙම පක්ෂය කඩන්නේ නැතිව අප ඉදිරියට ගියා නම් දේශපාලන වශයෙන් අද අප ශක්තිමත් පක්ෂයක්. අපට ආණ්ඩුවක් හදන්න අවස්ථාව තිබුණා.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වන විට ඔවුන් ප්‍රකාශ කළේ අපට මෙය කරන්න බැහැ කරන්න පුළුවන් අයෙකුට සහාය ලබා දෙනවා කියලයි. එම කාලයේදී ඔවුන්ගේ සහාය අවශ්‍යව තිබුණා.
ඇයි එදා අපට එක්වෙලා ආණ්ඩු බලය ලබාගන්න නොහැකි වුණේ. එක්සත් ජාතික පක්ෂයේ කොටසක් අද විපක්ෂයේ සිටින්නේ පක්ෂය කැඩුව නිසයි. ඒ වගේම මම අගමැති ධූරයට පත්වූ අවස්ථාවේ මට සහාය දෙන්න කියලා මම නැවත ඉල්ලා සිටියා. නමුත් එම සහයෝගය හිමි වුණේ නැහැ.
ඉන්පසුව මේ රටේ විශාල අර්බුදයක් ඇති වුණා. මම අගමැතිවරයා ලෙස ජනාධිපති ධූරය භාර ගැනීමට නියමිතව තිබුණා. එවිට කිව්වා සමගි ජන බලවේගයට ජනාධිපති ධූරය අවශ්‍ය නිසා විපක්ෂ නායකව ජනාධිපති කරන්න කියලා. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයාට රටේ ජනාධිපතිකම දෙනවා කියලා පොහොට්ටුවෙන් ඉවත් වු පිරිස සමඟ එකතු වෙලා අගමැති වෙන්න සුදානම් වුණා.
රටේ අසීරු අවස්ථාවේදී පොහොට්ටුවේ බහුතරයක් ප්‍රකාශ කළා අගමැතිවරයාට අවස්ථාව දෙමු, අප සහාය ලබා දෙන්නම් කියලා. සුළුතරයක් ඊට විරුද්ධ වුණා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහත්මයා කිව්වා පොහොට්ටුවේ සහය දෙන්න ඕන පොහොට්ටුවේ සාමාජිකයෙක්ට කියලා. ඉන්පසුව ඔහු ඇතුළු සුළුතරයක් විපක්ෂයට ගියා. පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ජනාධිපති ඡන්දයට ඉදිරිපත් කරන්න ඕන කිව්වා. එවිට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමව ඉදිරිපත් කළා. එවිට සජිත් ප්‍රේමදාස මහත්මයා පොහොට්ටුවේ අගමැති වෙන්න සූදානම් වුණා. මුලින් අගමැති ධූරය භාර ගන්න බැහැ කියලා පැනලා ගියා.
කෙසේ හෝ මම ජනාධිපති ධූරයට පත් වුණා. මම එම වගකීම භාරගත්තේ දේශපාලනය ගැන හිතලා නොවෙයි, රට ගැන හිතලා. ඒ සඳහා සෑම පක්ෂයකම සහාය ඉල්ලුවා. කෙසේ හෝ අප සියලුදෙනා එකට එකතුව මේ ප්‍රශ්නය විසඳා තිබෙනවා. පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එදා ගම්වල එකිනෙකාට විරුද්ධව කටයුතු කළ කණ්ඩායම්. නමුත් අපි රට වෙනුවෙන් එකතු වුණා. දැන් රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.
එදා සමගි ජන බලවේගය කිව්වේ එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ අපේ ළඟයි, අපට සිරිකොත පමණයි නැත්තේ, අපට බලය ලබා දෙන්න අපි සිරිකොත අල්ල ගන්නවා කියලා. දැන් සන්ධානයක් හදලා ජී.එල් පීරිස් ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායම සමගි ජන බලවේගය අල්ලගෙන තිබෙනවා.
අද සජිත් සමඟ එකට අසුන් ගන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහත්මයා පමණයි. එක්සත් ජාතික පක්ෂයේ වෙන කිසිවෙක් එහි නැහැ. අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ අයෙකු නම් කිරීම කිසාගෝතමියට අබ ඇටයක් සොයා ගැනීමටත් වඩා අසීරු කාර්යයක් වී තිබෙනවා.
අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැහැ. එසේ නම් අද ඔවුන්ට එක්සත් ජාතික පාක්ෂිකයන් කියන්න බැහැ. පසුගිය මැතිවරණයේදී කිව්වේ නියම එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ ඔවුන් ළඟ කියලා. එවිට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඔවුන්ට ඡන්දය දුන්නා. දැන් ජී.එල්. පීරිස් ඇතුළු පොහොට්ටුවේ කණ්ඩායමට සමගි ජන බලවේගයට යට වුණහම ඊට එක්සත් ජාතික පක්ෂය කියන්නේ කොහොමද කියලා මම අහන්න කැමතියි. ඒ නිසා සමගි ජන බලවේගය ගමේ එක්සත් ජාතික පාක්ෂිකයන් නොමඟ යවා තිබෙනවා. ඔවුන් නැවත එක්සත් ජාතික පක්ෂය වටා පෙළගැසිය යුතුයි.
ජේ.ආර්. ජයවර්ධන මහතා සමග කටයුතු කර, ප්‍රේමදාස ජනාධිපතිවරයාව ආරක්ෂා කරමින් ඔහු සමග කටයුතු කර, ඩී.බී. විජේතුංග මහතාව ජනාධිපති කර එම පක්ෂයෙන්ම අගමැති වී ඉන්පසුව මම රටේ නායකත්වයට පත් වුණා. මා ඉදිරියට පැමිණියේ එවන් පරපුරක උරුමය සමඟයි. එක්සත් ජාතික පක්ෂය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කළා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමට ඡන්දය ලබා දුන් දෙලක්ෂ පනස්දහසට මම ස්තූතිවන්ත වෙනවා. දැන් අප එක්සත් ජාතික පක්ෂය ලෙස එක්ව කටයුතු කළයුතුයි. ඒ සඳහා ගමේ පාක්ෂිකයන් එක්කරගත යුතුයි.
අසීරු කාලයේ රට බේරගන්න පක්ෂ බේදයකින් තොරව අපි සියලුදෙනා එකට එකතු වුණා. ඇතැම් අය චෝදනා කරනවා මහින්ද රාජපක්ෂ සමඟ එක් වුණා කියලා. පොදුජන පෙරමුණේ බහුතරයක් මට සහාය ලබා දෙන්න එකඟ වුණා. එවිට එම බහුතරය සමඟ එක්වීමට මහින්ද රාජපක්ෂ මහත්මයාට සිදු වුණා. සභාපතිවරයා බහුතරයට විරුද්ධව කටයුතු කළා. මෙහි තිබෙන්නේ වෛරයයි. ප්‍රතිපත්ති නොවෙයි. නමුත් අප තුළ වෛරය නැහැ. අපට අවශ්‍ය රට දියුණු කිරීමටයි.
අද රට තුළ තිබෙන්නේ එදා තිබුණ ආර්ථික තත්ත්වය නොවෙයි. අද සියලු ජනතාවට ජීවත්වීමේ අයිතිය ලැබී තිබෙනවා. අප ආර්ථික වශයෙන් දිනෙන් දින ඉදිරියට යනවා. ඒ සඳහා අපි එකතුවෙලා කටයුතු කරමු.
අද අපි ආරම්භ කර තිබෙන අස්වැසුම සහ උරුමය වැඩසටහන් තුළ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති බව කිවයුතුයි. ඒ නිසා මෙම වැඩපිළිවෙළට විරුද්ධවීමට සමගි ජන බලවේගයට හැකියාවක් නැහැ. ඔවුන් ඊට සහාය ලබා නොදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් ඔවුන් ළඟ නොමැති නිසයි.
අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තිබෙන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පක්ෂය පිළිගන්න, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ වැඩපිළිවෙළ පිළිගන්න එමෙන්ම 1989 ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ආරක්ෂා කළ අය සිටින තැනයි යන පණිවිඩය ගමේ පාක්ෂිකයාට ලබාදෙන්න කියන ඉල්ලීම මම ඔබෙන් කරනවා.
අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ, මහනුවර මහනගර සභාවේ හිටපු නගරාධිපති කේෂර සේනානායක, එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක චානක අයිලප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Page 84 of 464