ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීමේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා සහභාගි විය.
නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කරමින් වාර්තා සහ සැලසුම්වලින් ඔබ්බට ගොස් නිවාස අහිමි වූ ජනතාව තුළ නව නිවසක හිමිකාරීත්වය පිළිබඳ අපේක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
එමෙන්ම, නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳව මෙහි දී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එම ඉඩම් ලබාදීම පිළිබඳ ආයතන අතර එකඟතාව ඇතිකර ගැනීමත් සමග ම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
දිට්වාවලින් හානි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමු කරමින් හානි සිදු වූ, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 21හි වැඩ මේ වසරේ අවසන් කරන ලෙසත්, පළාත් මාර්ග සංවර්ධනයට අවශ්‍ය සමස්ත ප්‍රතිපාදන පිළිබඳ ඇස්තමේන්තු සකස් කර එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවත් අවධාරණය කළේ ය.
තවද, කුඹුරු ඉඩම්වලට සහ වගා ඉඩම්වලට දිට්වා ආපදා තත්ත්වය මත එක් රැස් වූ වැලි සහ ගල් ඉවත් කිරීම වෙනුවෙන් අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ගොවි සංවිධානවල දායකත්වය ලබා ගනිමින් එම කටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
