V2025

පුවත්

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය......

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය 'පුළුවන් සම්මුතිය' අද (29) එළිදැක්වුණි.

'රනිල් සමග රට දිනවන වසර පහක්' යන්න එහි තේමාවයි.

ජීවන බර අඩුකිරීම, රැකියා ලබාදීම, බදු සහන, අපනයන ආර්ථිකයකට පරිවර්ථනය ඇතුළු යෝජනා රැසක් ඊට ඇතුළත් ඇතුළත් කර තිබේ.

'රනිල් සමඟ රට දිනවන වසර පහක්' ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික ඉලක්ක පහක් මත පදනම් වී තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරයා එළිදක්වනු ලැබීය.

පස් අවුරුදු සැලැස්මේ විශේෂයෙන් අවධානයට යොමුකර ඇති කරුණු කිහිපයකි. 

බදු බරට සහනයක්

* බදු ක්‍රමවේදයට වෙනස්කම්.

* වෘත්තීය නිපුණයන්ට බද්දෙන් නිදහස් සේවා දිරි දීමනාවක්.

* අතුරු බදු අහෝසි කිරීමට පියවර.

මින් ඉදිරියට සිදුවන වෙනස්කම්

* රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නැත.

* අයවැය හිඟය පියවීම සදහා මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම්.

* විදුලි සහ ඉන්ධන මිල, ඒ සඳහා වැය වන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතුයි. විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, වහාම හා ඍජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා මුදල් ලබාදිය යුතුයි.

* සමාජ ආරක්ෂණය සඳහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතුයි.

අගහිඟකම් නැති පරපුරක්

* උවදුරුවලින් පීඩා විඳින අගහිඟකම් ඇති ජනගහනය 10% දක්වා අඩුකර සමාජ ආරක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

* ජීවනාධාර අවශ්‍ය පවුල් ලක්ෂ 24කට ප්‍රතිලාභ.

* දිළිඳු පවුල්වලට උපරිම 15,000ක් දක්වා දීමනා ලබාදෙන අතර එම පවුල්වල වකුගඩු, ආබාධ සහිත අයට සහ වැඩිහිටියන්ට වෙනම දීමනාවක්

ලස්සන 2048 කට

* මහ බැංකු පනත, රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්ථන පනත මඟින් නව රැකියා නිර්මාණය කිරීම.

* හැම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවසක අයිතිය.

* ජාතික ධනසම්පත අරමුදල ස්ථාපනය.

* සමූපකාර ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගතකරණය.

දේපොළ හිමිකම 

* වසර 4ක් තුළ කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම් නිවාසවල අයිතිය නිවැසියන්ට.  

* මධ්‍යම පාන්තිකයින්ට සහනදායි නිවාස ණය.

දේශගුණයේ ගුණ අගුණ

* දේශගුණික කාර්යයන් පිළිබඳ මහ ලේකම් කාර්යාලයක්.

* දේශගුණ විපර්යාස අරමුදලක්.

නවීන කෘෂි සංස්කෘතියක්

* වී ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ වෙනත් අවශ්‍යතා සඳහා රුපියල් 25,000ක සහනාධාරයක් ඍජුවම වී ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත.

* කන්නයෙන් කන්නයට වී වලට සහතික මිලක්.

මහ සයුරේ රළ පතරේ

* කුඩා ධීවර යාත්‍රාවන්ගේ සිට බහුදින ධීවර යාත්‍රා දක්වා මිලදී ගැනීම සඳහා සහන ක්‍රමයක්.

* ධීවර කර්මාන්තය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන දිරිමත් කිරීම.

කිරි නැති හින්දා රට කිරි දීලා

* පශු සම්පත් මණ්ඩලය සමග ඉන්දියානු තාක්ෂණය හා දේශීය විදේශීය ආයෝජකයින් සම්බන්ධ කරමින් කිරි අස්වැන්න ඉහළ නංවීමට දැවැන්ත වැඩපිළිවෙලක්.

* පාසල් දරුවන්ට නොමිලේ නැවුම් කිරි වීදුරුවක් දිනපතා.

* උසස් ජානමය කිරි හරක් 20,000ක් දේශීය කිරි ගොවීන්ට.

* දේශීය කිරි ගොවීන් වෙනුවෙන් සහන ණය.

යන්න රට වටේ

* සංචාරක ව්‍යාපාරය කඳුකරයට ව්‍යාප්ත කිරීම.

* අනුරාධපුරය සංස්කෘතික උරුමයේ නගරයක් බවට පත්කිරීම.

* නව සංචාරක කලාප තුනක්.


අපේ නිෂ්පාදන ජාත්‍යන්තරයට

* ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක්.

* බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත්කිරීම.

*  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ආයතනයක්.

*  කාබන් බද්දක් හඳුන්වා දීම.

බලශක්තිය

* හරිත හයිඩ්‍රජන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ආයෝජන දිරිමත් කිරීම.

* ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට.

ඩිජිටල් මාවත

* ඩිජිටල් පරිවර්ථනයක් උදෙසා තාක්ෂණ ප්‍රවර්ධන පනතක්.

* ඩිජිටල් පරිවර්ථන ඒජන්සියක් සහ තාක්ෂණ සහ නවෝත්පාදන සභාවක්.

* පූර්ණ ඊ රාජ්‍ය සේවයක්.

දැනුමෙන් සන්නද්ධ සමාජයක්

* සියලු වෘත්තීය පුහුණු පාසල් සහ මධ්‍යස්ථාන සඳහා "වොකේෂනල් ස්කිල්ස් ශ්‍රී ලංකා" නව ආයතනය පිහිටුවීම.

* පශ්චාත් පාසල් අධ්‍යාපන කොමිසම පිහිටුවීම.

* 2026 අවසානයට පෙර පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩල 9ක්.

* තාක්ෂණ හා කළමනාකරණ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් සෑම පළාතකටම.

* 2029 වනවිට දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය හා කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලය පිහිටු වීම.

අයන්න කියන්න ලොවටම ඇහෙන්න


* සියලු ගුරුවරුන්ට අලුත් දැනුම.

* සියලු පාසල් දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඉංග්‍රීසි ගුරුවරු 2500ක් අලුතින් බඳවා ගැනීම.

ආරෝග්‍ය පරමා ලාභා

* වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෙසා දේශීය හා විදේශීය පුහුණුවීම්.

* වෛද්‍යවරුන්ට විදේශීය පශ්චාත් උපාධි ලබාගැනීමේ පහසුකම්.

* කොළඹ ජාතික රෝහල දකුණු ආසියාවේ ප්‍රධානතම රෝහලක් බවට පත්කිරීම.

* සුහුරු සෞඛ්‍ය සේවයක් බිහිකරනවා.

* පෞද්ගලික රෝහල් නියාමනයට නීති හා පළාත් 9ට පෞද්ගලික රෝහල් ඇති කිරීම.

නිම් වළල්ලෙන් එහා ලෝකයට

* 2026 වනවිට පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීම.

* හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වැඩ ආරම්භ කිරීම.

* කොළඹ හා ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය.

පුරවර අසිරිය


* කළුතර සිට මීගමුව දක්වා තනි මහපුරවරයක් ලෙස සංවර්ධනය කිරීම.

ගමන බිමන

* ඩිජිටල් තාක්ෂණයෙන් වාහන හැසිරවීම සිට රියදුරු බලපත්‍ර ලබාදීම.

* මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ ඉදිරියට.

උතුරට යතුරක්

*යාපනයට ගංගාවක් ව්‍යාපෘතිය හා පාලිආරු ගංගාව හරස් කොට නව ජලාශයක්.

*පූනරින් නව නගරය පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානය බවට.

* යාපනයේ සාහිත්‍ය උළෙලක් පැවැත්වීම.

නැගෙනහිර නවෝදාව

*ත්‍රිකුණාමලය සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට.

වතුකරයට හිරු පායයි

* වතු සේවක ජනතාවට නව ගම්මාන.

* ලයින් කාමරවල වෙසෙන අයට ඉඩමක්.

ගෞරවනීය කාන්තාව

* කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්මත කිරීම.

* කාන්තා මුලික පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව 3%ක පොලිය යටතේ සහන ණය.

දැයට පිපෙන මල්

* ළමා නිවාස, පෙර පාසල්, අතිරේක පන්ති, ක්‍රීඩා පුහුණු ආයතන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය.

යොවුන් වසන්තයේ

* ජාතික තරුණ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය.

* නව පරපුරේ කතිකාව ඇති කරමින් නව අදහස් රාජ්‍ය පාලනයට.

ක්‍රීඩාවට ජවයක්

* නව ක්‍රීඩා නීතියක්.

* ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කිරීම.

* ක්‍රීඩා පුහුණු ආයතනයක්.

* දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණය ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් කිරීම.

රාජ්‍ය සේවය

2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බව ද ජනාධිපතිවරයා සිය පස් අවුරුදු සැලැස්ම තුළින් එළිදක්වා ඇත.

* වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.

* රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.

* කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක්.

* රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.

* රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.

* ආපදා ණය මුදල ඉහළ නැංවීම, දේපළ හා නිවාස ණය යළි ලබාදීම.

* නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර.

* නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.

* විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

* නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීම.

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කිරීම.

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව

* ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මුලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 දී පාර්ලිමේන්තුවට.

* සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත්, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම.

* ඔවුන් සඳහා වූ ගොඩනැගිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනය.

* විශේෂ රැකියා කෝටාවක්.

අලුත් රස්සා ලක්ෂයක්

* 2025 වසර තුළ රැකියා 100,000ක් ලබාදීම.

* සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදි පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙලක් 2025 වසරේ ආරම්භ කිරීම.

* එම තරුණයින්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණුව ලබාදෙන අතර පුරා වසරක් පුරා ඔවුන්ට රජයෙන් රුපියල් 35,000ක දීමනාවක්.

* පුද්ගලික අංශයේ කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් එක් කිරීම හෝ පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වල රැකියා අවස්ථා හිමිකර දීම.

රට රස්සා

* විදෙස් ශ්‍රමිකයින්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදි පහසුකම්.

* විදේශ වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක්.

* විදේශයන්හි වැඩිහිටියන් රැකබලා ගැනීම, දාරක සුරැකුම් සේවාන්හි රැකියා අවස්ථා.

පොලිස් පුනරුදය

* පොලිස් නිලධාරීන්ගේ ආයතනික මෙන්ම පරිබාහිර විෂය දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් පොලිස් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.

සිරකරුවෝද මනුෂ්‍යයෝය

* විවිධාකාරයේ දඬුවම් ලබන රැඳවියන්, සිරකරුවන් රිමාන්ඩ් හා දිගු කාලීන බන්ධනාගාරගත කිරීම යළි විමසීමකට භාජනය කිරීම.

අනීතික මත්ද්‍රව්‍ය දරැලීම

* මත්ද්‍රව්‍ය මැඩලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය දක්වා සියලු කාර්යයන් ආවරණය වන පරිදි පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඩලීමේ අණදෙන මුලස්ථානයක් ස්ථාපිත කිරීමට නව පනතක් කෙටුම්පත් කිරීම.

සංස්කෘතික පුරවැසියෙක්

* මහනුවර ආශ්‍රිත බෞද්ධ ශිෂ්ටචාරය පිළිබඳ ඩිජිටල් කෞතුකාගාරයක් බිහි කිරීම.

* ත්‍රිපිටක අධ්‍යයනය සඳහා කෘත්‍රීම බුද්ධිය, නව තාක්ෂණික දැනුම ඇසුරින් පහසුකම් ඇති කිරීම හා මහා විහාර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම.

* දක්ෂිණ කෛලාශ කෝවිල් වන්දනාව හඳුන්වා දීම.

ලලිත කලා

* දේශීය කලාකරුවන්ගේ කුසලතා ඔපවත් කිරීමට, කලා හා සංස්කෘතික කේෂ්ත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවණතා උකහා ගැනීමටත් අවශ්‍ය පසුබිම සකසා දීමට ආනන්ද කුමාරස්වාමි ජාත්‍යන්තර කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය නම් කිරීම.

* දකුණු ආසියානු සංස්කෘතික කේන්ද්‍රයක් පිහිටුවීම.

* ජාතික චිත්‍රපට සංස්ථාව වර්තමාන ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට සරිලන සේ චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාවක් බවට පත්කර ෆිල්ම් ශ්‍රී ලංකා යනුවෙන් නම් කිරීම.

* වාරණ මණ්ඩලය අහෝසි කර ප්‍රසිද්ධ රැගුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට පනත සම්මත කිරීම.

යහපත් මාධ්‍ය පරිසරයක්

* ජනමාධ්‍යවේදය උදෙසා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම.

* විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීම.

අනිවාර්යයෙන් කළ යුතු සංශෝධන

* ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පාර්ලිමෙන්තුවට ලබාදීම.

* විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ ද ? නැද්ද ? යන තීරණය නව පාර්ලිමේන්තුවට පැවරීම.

* නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමේ කාර්යයද නව පාර්ලිමේන්තුවට ලබාදීම.

*පුරවැසි ඡන්දයෙන් තේරීපත්වන නියෝජිතයින්ට රජය සමග ව්‍යාපාර කරලීම අහුරන නීති සම්මත කිරීම.

* දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කිරීම.

පුරවැසියා බලගැන්වීම

* ඍජුවම ජනතා හඬට සවන්දීමේ අභිලාෂය ඇතිව සමාජ කොන් කිරීම් සහ බැහැරකිරීම් වැළැක්වීම උදෙසා ස්ථාපිත කෙරෙන සමාජ සාධාරණ කොමිසමස් ස්ථාපිත කිරීම.

*ප්‍රාදේශීය ග්‍රාමීය ජනතාව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක කරගැනීම ජන සභාවන්හි අරමුණයි. දැනට නියමු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. ඒවායේ අත්දැකිම් පදනම් කරගනිමින් රට පුරා ග්‍රාමසේවා වසම් 14,002ක ඇති 50,000 ඉක්මවන ගම්මාන සියල්ල නියෝජනය වන පරිදි ජන සභා පිහිටුවීම.
 

ශ්‍රී ලංකාව වටා ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ශාමි ෂාහීද් ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා ඊයේ (28) කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවිය.

මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා දිවයින වටා කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ගමන් කරමින් මෙම වාර්තාව සනිටුහන් කර තිබේ.

එහිදී ඔහු විසින් බේරුවල, අම්බලන්ගොඩ්, මිරිස්ස, හිරිකැටිය, රන්න, හම්බන්තොට, වැල්ලවාය, මොනරාගල, සියඹලාණ්ඩුව, පොතුවිල්, නින්දවූර්, චෙන්කලඩි, නිලාවේලි, මුලතිව්, පරන්තන්, පේදුරුතුඩුව, චුන්නාක්කම්, මන්නාරම, මැදවච්චිය, අනුරාධපුර, පුත්තලම, මාරවිල, මීගමුව සහ කොළඹ යන ප්‍රධාන නගර පසු කරමින් නැවත බේරුවලට පැමිණ තිබේ.

එම පාගමන තුළින් ඔහුගේ අරමුණ වී තිබුණේ ශ්‍රී ලංකාව සාමකාමී මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට රට තුළ නිදහසේ ආරක්ෂිතව සංචාරය කිරීම හැකි බව ලෝකයට පෙන්වීමයි.

ඔහු මෙම චාරිකාව තුළදී තමා ගමන් කරන ස්ථාන පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබිණි. ඒ හේතුවෙන් ඔහුට දෙස් විදෙස් විශාල පිරිසකට මෙරට සංචාරක අකාර්ෂණීය ස්ථාන පිළිබඳ දැනගැනීමටත් එමඟින් මෙරට සංචාරක කර්මාන්තයට විශාල ප්‍රචාරණයක් ලබාදීමටත් කටයුතු කර තිබේ.

මෙම හමුවේදී ජනාධිපතිවරයා විසින් මෙම තරුණයාගේ කැපවීම හා දක්ෂතාවය අගය කළ අතර ඔහුට විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් නුදුරු අනාගතයේදී ඔහුගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ වැඩ අරඹති

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද ඔවුන්ට නියමිත රාජකාරි ආරම්භ කළහ.

යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10 ක් වන අතර, ඊට අමතරව, රට පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 26 දෙනකු සම්බන්ධ වනබව පැවසේ. එම කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ නාවෝ සැන්චේස් අමෝර්ය. ඔහු ස්පාඤ්ඤය නියෝජනය කරයි.

මෙම කණ්ඩායම ‍අද (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී නිල වශයෙන් රාජකාරී අරම්භ කළ අතර, කණ්ඩායම් නායක නාවෝ සැන්වේස් අමෝර් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.

සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිරීක්ෂණය සදහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව කළ ඇරැයුමකට අනුව තම නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණි බවත්, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවේ මැතිවරණයට පැමිණි හත් වැනි අවස්ථාව මෙය බවත් අමෝර් මහතා එහිදී පැවසීය.

image 7d1f2decac 300x158

පොහොට්ටු මන්ත්‍රී ජගත් කුමාර සජබට

පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

දිළිඳුකම පිටුදැකීම හා සමෘද්ධි ව්‍යාපාරයට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණ ප්‍රධානියා ලෙස ඔහුව පත්කිරීමට සජිත් ප්‍රේමදාස තීරණය කර ඇතැයි ද පැවසේ.

ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මන්ත්‍රීවරයා, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වේ.

“සොබාදනවි” ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය ජනපති අතින් විවෘත කෙරේ

1977 ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත් කරගත් අයුරින් ඉදිරි දශකය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත්කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතින බවත්, යෝජිත ඉන්දියා-සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද එක්වීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර අද (28) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදෙමිනි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනය වෙනුවෙන් දායකවීම සඳහා අත්‍යාවශ්‍ය මෙරට විදුලිබල සැපයුම් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් වන ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද “සොබාධනවි” බලාගාරය මගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

අද ආරම්භ කරන ලද පළමු අදියරට මෙගාවොට් 220 ක ධාරිතාවයකින් යුත් F පන්තියේ ගෑස් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. මෙම අදියර විශ්වාසනීය විදුලි ප්‍රභවයක් සපයමින් ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දෙවන අදියර, 2025 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති අතර, වාෂ්ප ටර්බයිනයක් ස්ථාපනය කිරීම හරහා බලාගාරයේ ධාරිතාවයට අතිරේක මෙගාවොට් 130 ක් එකතු කරනු ඇත. මෙම අදියර ගෑස් ටර්බයිනයෙන් පළමු අදියරේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කෙරෙන තාපය උපයෝගී කර ගනිමින් බලාගාරයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති අතර අවසානයේ සමස්ත නිෂ්පාදනය මෙගාවොට් 350 දක්වා වැඩි කරයි.

සෝබාධනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානමින් සිටියි. ඒ අනුව මෙම විදුලිබලාගාරය මගින් රටේ ජනතාවට ස්ථාවර සහ දැරිය හැකි බලශක්ති සැපයුමක් ලබා දීම, කාර්මික වර්ධනය, රැකියා උත්පාදනය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා සහාය වේ. සංයුක්ත චක්‍ර ක්‍රියාවලිය මගින් රටේ වත්මන් විදුලි ඉල්ලුමෙන් ආසන්න වශයෙන් 12%ක් සපුරාලීමට අපේක්ෂා කරන අතර, රට පුරා සිටින දහස් සංඛ්‍යාත වැඩකරන ජනතාවට සහ වක්‍රව මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබේ.

සමරු ඵලකය නිරාවරණය කර “සොබාදනවි” බලාගාරය විවෘත කළ ජනාධිපතිවරයා එහි ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරීමට ද එක වූ අතර අනතුරුව කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියේය.

විදුලිබල බලාගාරයේ පළමු විදුලි සැපයුම වන මෙගාවොටි 220ක ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ 2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බවත්, ඒ තුළ ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

මෙම බලාගාරය ඉදිකිරීම පිළිබඳව මම එල්ටීඑල් (LTL) සමාගමට ප්‍රශංසා කරනවා. එල්ටීඑල් (LTL) සමාගම විසින් මේ වන විට අප රට තුළ බලාගාර රාශියක් ස්ථාපිත කර තිබෙනවා. එහිදි එල්ටීඑල් (LTL) සමාගම ලබාගෙන තිබෙන සාර්ථකත්වය පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වෙනුවෙන් මම ඔබට සුභ පතනවා. මෙම ව්‍යාපෘතිය ඔබ අත්කර ගෙන ඇති ජයග්‍රහණවල අලුත්ම ජයග්‍රහණය බව කිවයුතුයි.

2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යවශ්‍ය වෙනවා. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අපගේ විශේෂඥතාව වැඩි වන තරමට, ආසියානු කලාපය තුළ මෙන්ම අප්‍රිකාව තුළ අපගේ සාර්ථකත්වය පිළිබඳ පවතින අවස්ථා වැඩි වෙනවා.

සෝබාධනවි බලාගාරය මෙගාවොට් 350ක් උත්පාදනය කරන ශ්‍රී ලංකාව සතුව පවතින වැදගත් බලාගාරයක් බවට පත් වෙනවා. අප දැන් ආර්ථික සංවර්ධනයේ නව අදියරක් ආරම්භ කර තිබෙනවා. විදුලිබලය සහ බලශක්තිය නොමැතිව මෙම සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකියි. එනිසා අප ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

දිවංගත ඩී.ජේ.විමලසුරේන්ද්‍ර මහතා ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දීමත්, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඒ අනුව ඉදිරියට ගොස් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය ඉදිකිරීමත් අප ලද භාග්‍යයක් වුණා. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා යටතේ නිදහස් වෙළඳ කලාප සඳහා අතිරික්ත විදුලිය ලබාදුන් මහවැලි සහ

සමනලවැව ව්‍යාපෘති දෙකම ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම විදුලිබලය නොමැතිව ඇඟලුම් කර්මාන්තය දියුණු කළ නොහැකියි.

අප ජල විදුලිය මත යැපීමේ අවසානය කරා ළඟා වන විට, ගෝලීය දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති සමඟ සමපාත වන නව බලශක්ති ප්‍රභවයන් වෙත පිවිසිය යුතුයි. පුනර්ජනනීය බලශක්තිය මීළඟට ශ්‍රී ලංකාවේ අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍රය වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතිනවා. යෝජිත ඉන්දියා-සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද අප එක්විය යුතුයි. අනාගතය මෙයයි. ඒ අනුව 1977 ආණ්ඩුවේ පාලනය යටතේ ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්තික වර්ධකය බවට පත් කරගත් ආකාරයට, ඉදිරි දශකය සඳහා අපගේ වර්ධක අංශය බවට පුනර්ජනනීය බලශක්තිය පත්විය යුතුයි.

බලශක්ති ක්ෂේත්‍රය මෙම වර්ධනය තුළ සැලකිය යුතු අංශයක් බවට පත්වෙනවා. අප සතුව ඇති දේ උපරිමයෙන් යොදා ගත යුතු අතර හරිත හයිඩ්‍රජන් පිළිබඳ අප මීළඟට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි.

ඔස්ට්‍රේලියාව හරිත බලශක්තිය පිළිබඳ ලොව සුපිරි බලවතෙකු වීමට කටයුතු කරමින් සිටිවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා අපේ රටට ගිගාවොට් 50ක පමණ ශක්තියක් පවතිනවා. මෙම ශක්තිය භාවිතා කිරීම වැළැක්වීම සඳහා එල්ලවන බාධකවලට අප ඉඩ නොතැබිය යුතුයි.

බලාගාර ඉදිකිරීම කඩිනම් කිරීමටත්, විරෝධතා ඇත්නම් ඒවා කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමත් කළ යුතුයි. මෙම ප්‍රවේශය පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව හරිත හයිඩ්‍රජන් වලින්ද අපගේ හැකියාවන් උපරිමයෙන් භාවිතා කිරීමට හේතුවෙනවා.

අපගේ ත්‍රිවිධ හමුදාවන්ට, විශේෂයෙන්ම නාවික හමුදාවට හරිත හයිඩ්‍රජන් භාවිත කිරීමට හැකි නම් ඒ තුළ ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් මගින් බල ගැන්වෙන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වන ආකාරය පිළිබඳ සිතා බලන්න. බලශක්තිය සඳහා පමණක් නොව තාක්ෂණික දියුණුව සඳහා ද බලශක්ති අංශය සතුව විශාල හැකියාවක් තිබෙනවා.

අප සියලු ක්ෂේත්‍ර සමඟ තාක්ෂණය ඒකාබද්ධ කළ යුතුයි. එහිදී අපට දක්ෂ ඉංජිනේරුවන් සහ වෘත්තිකයන් ද අවශ්‍ය වෙනවා. අප සතුව සිටින හොඳම අයගෙන් බොහෝ දෙනෙක් රට හැර යමින් සිටින නිසා රජය නව තාක්ෂණික විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අපට චෙන්නායි IIT හි මණ්ඩපයක් ලබා දීමට එකඟ වී තිබෙනවා. ගලහ ප්‍රදේශයේ ආරම්භ කිරිමට නියමිත මෙම මණ්ඩපය අවසානයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමු තාක්ෂණ විශ්වවිද්‍යාලය කුරුණෑගලින් ද, දෙවැන්න සීතාවක හෝ කිතුල්ගල ප්‍රදේශයේත්, තුන්වැනි විශ්වවිද්‍යාලය සියනෑ කෝරළයේ ද පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා අපට යොදාගත හැකි ස්ථාන පිළිබඳ සොයාබලමින් සිටිනවා.

මෙම උසස් අධ්‍යාපන ආයතන හතර ඇතුළුව, පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ද පහසුකම් පුළුල් කිරීමට කටයුතු කරන අතර මේ සියල්ල අනෙකුත් ආයතන සමඟ ද එක්ව අපව අනාගතය සඳහා සූදානම් කරනවා. තාක්ෂණයෙන් ඔබ්බට යමින් අප කෘතිම බුද්ධිය සඳහා ද විශාල වශයෙන් ආයෝජනය කරනවා. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අපගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. තාක්‍ෂණ සංවර්ධන පනත් කෙටුම්පත ද ඉක්මනින් සම්මත වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

අප තාක්ෂණය, හරිත ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාව නව වර්ධන යුගයකට සූදානම් වන්නේ එවිටයි. මම තවත් ඔබේ කාලය වැය කරන්නේ නැහැ. ඔබගේ සියලු උත්සාහයන්ට මා සුබ පතනවා.Sobadhanavi 63

 

ගෙඹි දේශපාලනයට තිත තබනවා - සජිත්

සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මේ බව  පැවසුවේ ඊයේ (27) අම්පාර පොතුවිල්හි දී පැවති ජන රැලියක් අමතමිනි.

වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට තිත

‘‘සමහර අයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වෙනවා. ඒ නිසා සමහරු ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේ දී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සුවා. ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළේ මම ඇතුළු සමගි ජන බලවේගය යි.

බියර් පර්මිට්, වයින් ස්ටෝර්ස්වලට, පගාවට, සල්ලිවලට, මොවුන් ජනතා වරම විකුණා දැමුවා. සමගි ජන බලවේග රජයක් තුළ මේ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබනවා. දැනට ඇති නීති පවා තවදුරටත් ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබනවා.

අප රට නිදහස් රටක් වුණත් ජනතාවට ආර්ථික නිදහස අහිමි වෙලා. අප රට ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී තිබෙන මොහොතක සියලු ම ජනතාව: ජාතිය, ආගම, පන්තිය, තරාතිරම් කුමක් හෝ වේවා මුළු රට ම එකට එකතු අවස්ථාව සැප්තැම්බර් විසි එක නිර්මාණය වෙනවා. සමගි ජන බලවේගයේ අපි: එකමුතුභාවයෙන්, ජාතික සමගියෙන්, සංහිඳියාවෙන්, මිත්‍රශීලීත්වයෙන්, එක්සේසත් වූ මාතෘභූමියක් ගොඩනගනවා.

ජනාධිපති ඉඩම් කාරක සභාවක්

රට ආර්ථික මර උගුලක පැටලිලා, ජනතාව ආර්ථික විනාශයකට ලක්ව තිබෙන මොහොතක මේ තීරණාතමක අවධියේ රට ගොඩනගන්න අවශ්‍ය ආර්ථික දර්ශනයඅපිම සතුව තිබෙනවා. දක්ෂයෝ සිටින්නේ සමගි ජන බලවේගය සමග නිසා අපිට විශාල වැඩකොටසක් සිදු කරන්න පුළුවන්.

අපි පැහැදිලිව ම ජනතාවගෙ ඉඩම් ගැටලුවට විසදුම් ලබා දෙනවා. කිරි ගොවියන්ට අවශ්‍ය තෘණ භූමි ලබා දීම ආදිය ද සිදු කරනවා. මේ සඳහා ජනාධිපති ඉඩම් කාරක සභාවක් ඇති කරලා ඒ හරහා ලංකාවෙ ම ඉඩම් ගැටලුවට තිරසර විසදුම් ලබා දී හැඩ ඔය ව්‍යාපාරය ද ක්‍රියාත්මක කරනවා. ඒ, අනික් දිස්ත්‍රික්කවල ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයට.

සැප්තැම්බර් විසි එක්වැනිදා ජයග්‍රහණයෙන් පස්සෙ නැවත වරක් ඉඩම් නොමැති ජනතාවට ඉඩම ලබා දීලා, නිවසක් නොමැති ජනතාවට නිවසක් ලබා දීලා නැවත වරක් ගම් උදා යුගය බිහි කරනවා. දුගී දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවා ගන්න නව වැඩසටහනක් දියත් කරනවා. සමෘද්ධිය, ජනසවිය, අස්වැසුම, ආදී වැඩසටහන්වල හොද ගුණාංග එක් කර දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා. ඒ සමග ම මාස විසි හතරක් ඇතුළත මාස්පතා රු. විසි දහස බැගින් ලබා දෙනවා.

අතුරුදහන්වුවන්ගේ පවුල් උදවියට යුක්තිය - අලි සබ්රි

අතුරුදහන්වුවන්ගේ පවුල්වල හා ඔවුන්ගේ ආදරණීයන්ට ගෞරවණිය අවසානයක් මෙන්ම යුක්තිය සහතික කිරීමට අප කැපවීමෙන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි පැවසීය.

අගෝස්තු මස 30 වැනිදාට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාත්‍යන්තර අතුරුදහන් වු තැනැත්තන්ගේ දිනය සැමරීම සදහා කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අතුරුදහන් වු තැනැත්තන් සදහා වන කාර්යාලය විසින් උත්සවය සංවිධානය කර තිබු අතර, සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

මෙරට පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීම මුලික කර ගනිමින් ආරම්භ කරන ලද අතුරුදහන් වුවන්ගේ කාර්යාලය මේ වන විට අතුරුදහන් වුවන්ගේ තත්වය තීරණය කිරීම හා ඒ සදහා විසදුම් ලබාදීම වෙනුවෙන් සිදු කරන ලද කාර්ය භාරය හරහා ජනතාව අතර, විශ්වාසය තහවුරු කර ගෙන සිටිති.

එක් දහස් නවසිය අසුවේ සිට මේ දක්වා පුද්ගලයින් දා හතර දහස් පන්සීයයක් අතුරුදහන්ව තිබෙනවා. අතුරුදහන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සදහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇතැම් අය අතුරුදහන් වු ජනතාවට පවතින ගැටළු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. උතුරේ හෝ දකුණේ මේ කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයින් බව වටහා ගත යුතුයි. ඔවුන්ට පවතින ගැටළු විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවලට භාවිතා කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි. යුද්ධයට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දොලොස් දහස් නවසීයක් ක් රජය විසින් පුනරුත්ථාපනය කර නිදහස් කළා. ඒ අය නැවතත් ත්‍රස්තවාදී කටයුතු සදහා සම්බන්ධ වුණේ නැහැ.

තම ඥාතීන් අතුරුදහන් වීම හේතුවෙන් අසහනකාරී තත්වයට පත්ව සිටින අයගේ හඩට කන්නොදී ඉදිරියට යා නොහැකි බව වටහා ගත යුතුයි. මේ සදහා අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.

සත්‍ය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය පිහිටුවීම මගින් අතුරුදහන් ජනතාවට සාධාරණය ඉටු කර ගැනීම සදහා තවදුරටත් අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ කටයුතු සදහා අන්තර්ජාතික ප්‍රජාව ලබා දෙන තාක්ෂණික සහයෝගය අගය කරනවා. ඒ වෙනුවෙන් ගෞරවය පුද කරනවා. නමුත් ඔවුන් අපේ රටේ අභ්‍යන්තරව කටයුතුවලට බලපෑම් නොකළ යුතුයි. මිලියන 22 ක් වු ශ්‍රි ලාංකීය ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කිරීම අපගේ අරමුණ බවද අමාත්‍යතුමා සදහන් කළේය.

මෙම අවස්ථාවට අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ සභාපති, නීතිඥ, මහේෂ් කටුලන්ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, නීතිපති, ජනාධිපති නිතීඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය, Siri Walt, අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ, ජේ.තත්පරන් මහත්මා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් හා අතුරුදහන් වු තැනැත්න්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ.

වැල් පාලම කපලා යන්න හැදුවොත් අපි ඔක්කොම ගඟේ - ජනපති

වැල් පාලමෙන් ගොඩ යනවාද ? නැත්නම් ගඟට පනිනවාද ? යන තීරණාත්මක තීන්දුව ජනතාව සතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (27) මාවනැල්ලේ පැවති ජන රැලියේදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කෙරුණු තවත් ජන රැලියක් මෙලෙස මාවනැල්ල බස් නැවතුම්පොළ අසලදී අද පස්වරුවේ පැවැත්වුණි.

"එදා ඔය හැම කෙනාම දුක් වින්දා. පැය කීයක් පෝලිම්වල හිටිය ද? ගෑස් නැතුව කොච්චර කල් හිටිය ද? ත්‍රීවිල් එකට ඉන්ධන සොයාගන්න හිටිය ද? එහෙම අවස්ථාවක මම රට භාර ගත්තේ... ඒක නැති කරන්න."

"මට මේ සියලුදෙනා දුන්න සහයෝගය නිසා රට ගොඩගන්න පුළුවන් වුණා. අද අපි ආර්ථික ස්ථාවරභාවයට ගමන් කරනවා. සම්පූර්ණයෙන්ම එතනට ඇවිල්ලා නෑ. තව ඉදිරියට යන්න ඕනේ. අපි අනාගතය ගැන හිතලා වැඩ කරන්න ඕනේ."

"ඉතින් මේ දුර යනවා නම් අපි මේ ගිය මාර්ගයේ යන්න ඕනේ. අපි වැල් පාලම සම්බන්ධ වුණ මාර්ගයේ යන්න ඕනේ. එතනින් දැන් අයින් වෙන්න බෑ. ඒ අය කියන්නේ දැන් ඒ වැල් පාලම කපලා යන්න කියලා. වැල් පාලම කපලා ගියොත් අපි යන්නේ ගඟට... එච්චරයි."

"මම බැලුවා ජනතා විමුක්ති පෙරමුණේ (NPP) ප්‍රකාශය.. අඩුම බිලියන 200ක් වත් අඩු වෙනවා.ආදායම අඩු කරලා කොහොමද වියදම වැඩි කරන්නේ. ඒ ගණිතය දන්නේ නැතිනම්, ඒ ආර්ථිකය දන්නේ නැතිනම් මේ අය බලන්නේ වැල් පාලම එක පැත්තකින් කපන්න නෙමෙයි දෙපැත්තෙන්ම කපන්න. අපි මේ වැල් පාලම අතහරින්නේ නැතුවයි මේක කරන්නේ."

adaderana.lk

ෆවුසිට අත්හිට වූ සිර දඩුවම්

වාහනයක් අවභාවිත කිරීමේ වරද පිළිගැනීමෙන් පසු හිටපු අමාත්‍ය ඒ.එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය අද (27) වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ය.

සිර දඩුවම වසර 10කට අත්හිටුවීමට විනිසුරු නවරත්න මාරසිංහ  නියෝග කළේය.

එමෙන්ම විත්තිකරුට රුපියල් ලක්ෂ 4ක දඩ ගෙවීමට ද අධිකරණය නියෝග කළේ ය.

අල්ලස් කොමිසම විසින්  මෙම නඩුව පවරා තිබූ අතර,  නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම, වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අමත්‍යාංශයේ මුදල් වලින් වැය කිරීම ඇතුළු අධි චෝදනා 04ක් යටතේ පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ දඩුවම් නියම කෙරිණි.

ආදි වාසී අයිතිවාසිකම් රකින්න නව නීතියක්

ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇත.

එහිදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීම යෝග්‍ය බවට තීරණය කර ඇත.

ඒ අනුව, ඉඩම්, වනජීවී හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරීන්, නීතිපති දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාල ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා අදාළ මූලික කෙටුම්පත තවදුරටත් වැඩි දියුණු කර තිබේ.

එකී මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ජනපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් බැහැ දකියි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝරත්නය බැහැදුටු අතර එහි අනුනායක පූජ්‍ය වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් අකරැල්ලේ ඥානවංස ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය මහ ලේකම් පූජ්‍ය වාද්දුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ, නියෝජ්‍ය අධිකරණ ලේකම් පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමීන් වහන්සේ, කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පූජ්‍ය සූරියවැව හේමාන්නද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියහ.

මෙහිදී උන්වහන්සේලා සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය පළ කළහ.

අනතුරුව මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ නිකායික මහා සංඝරත්නය සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය පිළිබඳ මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව ද මහා සංඝරත්නය දැනුවත් කළේය.

එසේම පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතව මතුව ඇති ගැටළු, පූජා භූමිවලට අදාළ ඉඩම් ගැටළු පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධනයට අදාළව එහි ද්‍රවිඩ මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡා පිළිබඳවද ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ දැනුවත් කළේය.

අම්පාර හෝදාගෙන විමලවීරත් රනිල්ට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 සඳහා ද මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර නොගතහොත් පාරේ මිනිසුන් මරා දමන, ආගමික ස්ථානවලට පහර දෙන සහ අධිකරණය වසා දැමු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තැබූ, ලේ වැගිරෙන තවත් බංග්ලාදේශයක් බවට ශ්‍රී ලංකාව පත්ව ලෝකයේ විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක  පැවසීය.

එබැවින් තම පෞද්ගලික මති මතාන්තර පසෙකලා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

උහන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් ප්‍රියන්ත, හිටපු උප සභාපති ජගත් දේශප්‍රිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් ජා තුංගආරච්චි, මහඔය ප්‍රාදේශීය සභවේ හිටපු සභාපති ඉන්දික නිලන්ත යන මහත්වරුන් ඇතුළු පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් රැසක් සමඟ කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පස්වරුවේ පැමිණි විමලවීර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට සහතික විය.

අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡවට එක් වෙමින් විමලවීර දිසානායක  සඳහන් කළේ මෙය පක්ෂය අතහැර යාමක් නොවන අතර මෙම අවස්ථාවේ සියලුදෙනා රට සහ ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණයක් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමලවීර දිසානායක මෙසේද පැවසීය.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍යත්වය,  යුක්තිය නීතිය හා සාධාරණත්වය වැළලි යන අවසාන මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය නම් පහනේ අවසන් දැල්ල නිවී යාමට ඔන්න මෙන්න කියා තිබියදී එම ප්‍රජාතන්ත්‍රවාදයත්, රටත්, රටේ ආර්ථිකයත්, නීතියත් ආරක්ෂා කරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ජීවිත කාලයම එතුමා සමඟ දේශපාලන සටනක සිටියත් 2022 වසරේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මම දායක වුණා. අද පොහොට්ටුවේ සිටින සියළු මන්ත්‍රීවරුන් එදා එතුමා ජයග්‍රහණය කරවීමට ඡන්දය භාවිතා කළා. ඒ තීරණාත්මක අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් පහන් දැල්ල නිවීමට යන මොහොතේ එම වගකීම ගතහැකිව තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණක් බව අප දැන සිටියා.

එතුමා එදා ජනාධිපති නොවන්නට ඊළග පැය 24 තුළ ශ්‍රී ලංකාවේ උත්තරීතර සභාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ වන පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කොට අද බංග්ලාදේශය මුහුණදී සිටින තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්වීමට නියමිතව තිබුණා. නමුත් එතුමා පැය 24ක් තුළ මේ සියල්ල පාලනය කර ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියත් ආරක්ෂා කළා.  

අවසාන තීරණාත්මක මොහොතේ මේ රට ගලවා ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ ගෞරවය අප එතුමාට ලබා දිය යුතුයි. එතුමා ජනාධිපති නොවුණා නම් මම ඇතුළු කිසිවෙකු අද ඉතිරි වන්නේ නැහැ. අපේ ගෙවල් ගිනි තැබුවා, විනාශ කළා. මාව මරන්න හෙව්වා. ඒ මිලෙච්ඡත්වය නැති කර අප බේරාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

දෙවැනි යුද්ධය ඇති වූ අවස්ථාවේ මේ රට ආරක්ෂා කළේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ වගේම තෙල් පෝලිම්, ගෑස් පෝලීම්, ඖෂධ පෝලිම් මේ සියල්ල නැති කර එම ආර්ථික නරාවලින් අපව ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

අප සියල්ලට පෙර රට සහ ජනතාව ගැන සිතිය යුතුයි. රට ගලවා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට නම් අප දේශපාලන මතිමතාන්තර පසෙකලා එතුමාට සහාය ලබා දිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිවරයාව නොසිටියහොත් බංගල්දේශය වගේ ලේ වැගිරෙන, පාරේ මිනිසුන් මරා දමන, හින්දු කෝවිල්, බෞද්ධ විහාරස්ථානවලට පහර දෙන, අධිකරණය වසා දැමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගිනි තැබු ලේ වැගිරෙන තවත් බංග්ලාදේශයක් බවට පත්ව, ලෝකයේ විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වනවා.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වෙයි

70 දශකයේ යොවුන් සිනමාවේ පුරෝගාමියා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ (25) පස්වරුවේ බටුවත්තේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට  වයස, අවුරුදු 89 කි.

1935 වසරේ නොවැම්බර් 10 වැනිදාවක සුගතපාල සෙනරත් යාපා මහතාගේ උපත සිදුවෙන්නේ, අකුරැස්ස මලුදූව එරළුව ගම්මානයේදී ය.

ඔහු සිය සිනමා චාරිකාව ආරම්භ කරන්නේ හන්තානේ කතාව සිනමා පටයෙනි.

මෙරට බිහිවූ කඩවසම්ම රංග පෞරුෂය වූ විජය කුමාරතුංගයන්, හන්තානේ කතාව සිනමා පටය හරහා රිදී තිරයට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ද ඔහුට ය.

ධර්මසේන පතිරාජ, විජය ධර්මශ්‍රී, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර වැනි චරිත, හන්තානේ කතාව හරහා ඔහු ජනගත කළ දැවැන්තයින් වේ.

ලාංකේය සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ පෙම්බර මධූ සහ ඉන්දුට මල් මිටක්, සුගතපාල සෙනරත් යාපා මහතා හෙළ සිනමාවට දායාද කළ සෙසු සිනමා වත්කම් ය.

ඉතින්, සුගතපාල සෙනරත් යාපා මහතාණෙනි, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයක් තැනීමට දැක්වූ දායකත්වයට, ඔබට මල් මිටක්.

කොරියාවේ ධීවර රැකියා සඳහා ලංකික කාන්තාවන්ටත් අවස්ථාව

දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙලෙස අවස්ථාව ලැබූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා කොරියාව බලා පිටත්ව ගිය බව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ඇතුලත්වේ. ඔවුන් කොරියාව බලා පිටත්වීමට පෙර, දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදි.

දකුණු කොරියානු රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රි ලංකාවට ලැබී ඇත. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' - අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකි

ජාතික ජන බලවේගය විසින් තම ඉදිරි පාලනය කාලයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩපිළිවෙල ඇතුළත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ එළිදක්වන ලදී.

 ඒ, ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී අද (26) පැවති උත්සවයකදීය.

ඊට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එක්ව සිටි අතර, උත්සවය ආරම්භ කෙරුණේ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙනි.

අනතුරුව උත්සව සභාවට පැමිණි පිරිස පිළිගැනීමට සහ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සභාව දැනුවත් කළාය.

ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුවෙන් මහා සංඝරත්නයට සහ පූජක පක්ෂයට පිළිගන්වනු ලැබීය.

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යන්න තේමා කරගත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 230කින් සමන්විත වේ.

එහි පළමු පිටු 50 තුළ පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ඇතුළත් කර තිබේ.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවන කොටසට අන්තර්ගත කර තිබෙන්නේ ගෞරවනීය ජීවිතයක් ගත කරමින් සුරක්ෂිත රටක් ස්ථාපිත කිරීමට අදාළ වූ කරුණුය.

ලාංකිකයින්ගේ ජීවිත නවීන තත්ත්වයකට ගෙන එමින් පොහොසත් රටක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ සැලසුම් මෙහි තෙවන කොටසින් අවධාරණය කර තිබේ.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිව්වන සහ අවසන් කොටසට අන්තර්ගත කර තිබෙන්නේ අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහා නොසැලෙන රටක් නිර්මාණය කිරීමට අදාළ සැලසුම් පිළිබඳවය.

ඒ යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, මිත්‍රශීලි පොලිස් සේවාවක් සහ මතින් තොර රටක් ඇතුළු සැලසුම් සාක්ෂාත් කරගන්නා ආකාරය මෙහි දක්වා තිබේ.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසන් පිටුවේ දක්නට ලැබනේනේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ පණිවුඩයයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජෙනරාල් අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපති, රියෙන්සි අර්සකුලරත්න, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, කලාකීර්ති ආචාර්ය රවිබන්දු විද්‍යාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය උපාලි පන්නිලගේ, ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, හිටපු නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය, විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු විගණකාධිපති චන්ද්‍රසිරි මායාදුන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම් ජී කුලරත්න, DSI සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති නන්දදාස රාජපක්ෂ, සමාගම් අධ්‍යක්ෂ අශ්වින් නානායක්කාර, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපකුලපති මහාචාර්ය රාහුල අතලගේ, ජපාන ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බදතා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය එන්. එස්. කුරේ, එමරල්ඩ් ජාත්‍යන්තර ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. එෆ්.එම් ඉක්රම්, පොලිස් කොමිසමේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යන අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ, ශ්‍රී ලංකා විවෘත්ත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ජනහා සෙල්වරාසා, ප්‍රවීන සාහිත්‍යවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්ය අනුර කරුණාතිලක, හිටපු අමාත්‍යාංශ ලේකම් සහ සීමා නිර්ණය අභියාචනා කමිටු සභාපති අශෝක පීරිස්, ජාතික අපනයන මණ්ඩලයේ සභාපති ජයන්ත කරුණාතිලක, ජාතික අධ්‍යයන ආයතන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රමිලා ඉලේපෙරුම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ඕ.ජී දයාරත්න, විශේෂඥ වෛද්‍ය අශෝක ජයසිංහ, මහාචාර්ය සෝමරත්න බාලසුරිය, අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජ්‍ය ව්‍යාපාර පරිපාලනවේදී කනිෂ්ක නිරෝෂන්, පුරාවිද්‍යා විද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, ජාතික ජන බලවේගයේ ව්‍යාපාර සංසදයේ සාමාජික චන්න ගුණවර්ධන, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානආරච්චි, දේශීය ආදායම් පොදු සේවක ප්‍රධාන ලේකම් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් අජිත් පුෂ්පකුමාර, නීතිඥ සුපුන් විජේරත්න, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, මනෝචිකිත්සක, කථිකාචාර්ය තීක්ෂනා දේවින්දි, ප්‍රවීණ රංගන ශිල්පිණී චාන්දනී සෙනවිරත්න, මහාචාර්ය ගාමිණී පියදාස, ලංකා බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී පී.ඒ ජයසිංහ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී එච්. එම් හෙන්නායක බණ්ඩාර, PickMe , Digital Mobility Solutions Lanka Pvt Ltd ආයතනයේ ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ මහාචාර්ය ගීතා තරංගනී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර ඇතුළු විශාල පිරිසක් ඊට එක් වී සිටියහ.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින්

ජනපතිගේ සහායට ශ්‍රීලනිපයේ තවත් ප්‍රබලයින් රැසක්

දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රබල ක්‍රියාකාරින් ලෙස කටයුතු කළ පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක් වෙති.

කළුතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය ඇමතිනි, කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ප්‍රියංගනී අබේවීර, ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, එස්.ඩී. බන්ඩාරනායක මැතිතුමාගේ මුණුපුරු, පණ්ඩු බන්ඩාරනායක මහතාගේ පුත් ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක, කොලොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ශාන්ත රත්නායක, රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක උපාලි චන්ද්‍රසේන, අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක අනුර මුණසිංහ, දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක සාගර සුරේන් එදිරිවීර, පොතුවිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක විජයමුනි නිපුන සොයිසා, කැළනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තිලක් වරාගොඩ, ලග්ගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක අසිත වෑගොඩපොල, ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක චමිල ද සිල්වා යන මහත්ම මහත්මීන් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පෙරවරුවේ පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළහ.

පසුගිය කාලය තුළ රටේ සිදු වූ ආර්ථික කඩා වැටීම හමුවේ පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා එක් කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය බේරාගත් බව පෙන්වා දුන් මෙම නියෝජිතයින් ඉන්ධන සහ ගෑස් පෝළිම්වල ජාති ආගම්, පක්ෂ, පාට බේදයෙන් තොරව රටේ සියලු ජනතාව දුක් විඳි බවත්, නැවත රට එවන් තත්ත්වයකට පත්විමට ඉඩ දිය නොහැකි බවත් ප්‍රකාශ කළහ.

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සත්‍ය නිදි කරමින්, බොරුව වපුරමින් සිටියද, රටේ ජනතාව මේ වන විට සත්‍ය අවබෝධ කර ගනිමින් සිටින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන  ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

දැක්මක් නැති පිරිසට බලය පැවරීමෙන් රටේ ආර්ථික යළි කඩාවැටීමේ අවදානමක්

කිසිවෙකු භාර ගැනීමට අකමැති වු රට භාර ගත් තමා ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් කැප වෙද්දි, මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව තම බලය තහවුරු කර ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

තමා එදා මැතිවරණ පැවැත්වීමට මුදල් වැය කළානම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරැකීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකනවා නම් තමන් ඊට මුහුණදිමට සුදානම් බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ඊයේ(24) පස්වරුවේ දඹුල්ල බස්නැවතුම්පොළ භූමියේදි පැවති “පුළුවන් ශ්‍රී ලංකා” දඹුල්ල විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

දඹුල්ල ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් මෙම ජන රැලියට එක්ව සිටි අතර එහිදි ඔවුහු ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත්හ.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ 2022 ජුලි මාසයේ දී තමා මේ රටේ වගකීම භාරගත්තේ ජනතාව වෙනුවෙන් බවත්, රටේ එදා පැවති ගැටළුකාරී තත්ත්වය අවසන් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ තමා අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ ද ජනතාව වෙනුවෙන් බවත්ය.

දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති බලය ලබා ගැනීමට පමණක් උත්සාහ කරන පිරිසකට මේ අවස්ථාවේ රට භාරදුනහොත් රටේ විනාශය වළක්වා ගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පසුගිය දෙවසර තුළ අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡන්දය භාවිතා කළයුතු බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේ ද පැවසීය.

මම අද ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. එක් පක්ෂයකටවත් අයත් නැතිව රට වෙනුවෙන් මම ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටිනවා. මම මේ තනතුර භාරගත්තේ ජනතාව වෙනුවෙන්. එදා තිබුණ අර්බුද අවසන් කර රටේ ස්ථාවරත්වය ඇති කිරීමට මම කටයුතු කළා. මට අවශ්‍ය වුණේ එදා තිබු ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමටයි.

එදා එම ප්‍රචණ්ඩක්‍රියා නැවැත්වුවේ නැත්නම් පාර්ලිමේන්තුවත් අහිමිව අපටද අද බංග්ලාදේශයට මුහුණදීමට සිදුවු තත්ත්වයට මුහුණදීමට සිදු වෙනවා. එදා අවනීතිය රජ කළා. එක් කණ්ඩායමක් තමන්ගේ සතුරන්ට පහරදීමට පටන් ගත් අතර තවත් පාර්ශ්වයක් රට පාලනය කිරීමට උත්සාහ කළා.

නමුත් මම එක් කණ්ඩායමක ජනාධිපතිවරයා නොවී රට වෙනුවෙන් ඉදිරියට පැමිණියා. එදා අරගලයට සහාය ලබාදුන් තරුණ තරුණියන් රටේ වෙනසක් ඉල්ලා සිටියා. මම ඔවුන්ට ඇහුම්කම් දුන්නා. අද මම රට තුළ එම වෙනස ආරම්භ කර තිබෙනවා. එය ඉදිරියට ගෙන යාමට මට සහාය ලබාදෙන ලෙස මා ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
විපක්ෂ නායකයා කියන්නේ රටේ විකල්ප අගමැතිවරයායි. ජනතාව ආරක්ෂා කිරීමට විපක්ෂනායකයාටත් යුතුකමක් තිබුණා. නමුත් ඔහු එය ඉටු කළේ නැහැ. ඔහු පැනලා ගියා.අපි අසීරු කාලයකට මුහුණ දුන්නා. එහිදී අපට දුෂ්කර තිරණ ගැනීමට සිදුවණා. මුදල් මුද්‍රණය කිරීමට නතර කිරීමට සිදු වුණා. රජයේ වියදම් අඩු කිරීමට සිදු වුණා. ආදායම් උපයා ගැනීම වෙනුවෙන් අකමැත්තෙන් වුවද වැට් බදු වැඩි කිරීමට සිදු වුණා. මෙම ඇතැම් තිරණ ඔබටත් බරක් වුණා. අප සමහර තීන්දු ගත්තේ කැමැත්තෙන් නොවේ. එහිදී මෙම බර දරාගත් සියලු ජනතාවට මම ස්තුතිවන්ත විය යුතුයි. කෙසේ වුවත් අප එම පියවර නොගත්තානම් අද අපට රටක් නැහැ.

අද අපේ රටේ ආර්ථිකය දියුණු වී තිබෙනවා. ඒ සමඟම ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. එදා සමෘද්ධිය වෙනුවෙන් වැය කළේ රුපියල් බිලියන 60යි. අද අප අස්වැසුම වැඩසටහන වෙනුවනේ රුපියල් බිලියන 183ක් වැය කරනවා. එදා ලක්ෂ 16කට ලැබුණු එම ප්‍රතිලාභය අපි ලක්ෂ 24ක් වෙනුවෙන් ලබාදී තිබෙනවා.

එසේම වකුගඩු රෝගින්ට, වැඩිහිටියන්ට, ආබාධිත පුද්ගලයන්ට ලබාදෙන දීමනා ඉහළ දමා තිබෙනවා. රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදුන් අතර 2025 පාදක වසර කර ගනිමින් ජීවන වියදම ලෙස රුපියල් 25,000ක් ලබාදීමට තීරණය කර තිබෙනවා. එසේම ආරම්භක වැටුප ජීවන වියදම සමඟ රුපියල් 55,000ක් බව අප නියම කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් සඳහා රුපියල් 3,000ක අන්තර්කාලීන දීමනාවක් ලබාදුන්නා. මේ අප සිදුකළ ප්‍රධාන වැඩකටයුතු කිහිපයක් පමණයි. බංකොළොත් නොවු ආණ්ඩුවකට කිරීමට නොහැකි වු වැඩකොටසක් බංකොලොත් බව ප්‍රකාශ කරතිබු රටක්ව තිබියදී අප විසින් සිදු කළා.

අද වන විට අපේ රටට සංචාරකයන් පැමිණෙනවා. රට පුරා ආයෝජන කලාප ඇති කරනවා. ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ප්‍රදේශවල හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් 08ක් ලබාගත හැකි පරිදි දියුණු කිරීමට අප සහාය ලබා දෙනවා.මේ අතර ජනතාවගේ ජීවන බර අඩු කිරීමට ද අප පසුගි දෙවසර තුළ කටයුතු කළා.

දැක්මක් නැති අයට අපි රට භාරදෙන්න හොඳ නැහැ. දුන්නොත් මේ රට විනාශ වෙනවා. ඒ නිසා අප ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. තවත් වසර කිහිපයක් යන විට මේ ප්‍රශ්න සම්පුර්ණයෙන් විසඳා ගනිමින් අපට ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා.

ජනතාව වෙනුවෙන් අප ගෙන ගිය වැඩපිළිවෙළේදී විපක්ෂයේ කිසිවෙක් අපට සහාය ලබා දුන්නේ නැහැ. 2023 ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස රංජිත් මද්දුමබණ්ඩාරයි, හරිනි අමරසුරියයි අධිකරණයට ගොස් නඩු දැම්මා. නමුත් මේ රටේ ජනතාවට අවශ්‍ය වුයේ ජිවත්වීමට නිසා ජනතාවගේ ජිවන අයිතිය වෙනුවෙන් මට එම මුදල් වැය කිරීමට සිදු වුණා. නමුත් ඔවුන්ට අවශ්‍ය වුණේ රට අවුල් කිරීමටයි. මාස තුන හතරක් මැතිවරණ කරන විට ජනතාවට මෙම සහන ලබාදීමට නොහැකි වෙනවා.

මම මූලික අයිතිවාසිකම් උල්ළංඝණය කළා කියලා ඔවුන් අධිකරණ තීන්දුවක් ගත්තලු. නමුත් ජනතාවගේ මුලික අයිතිවාසික්ම සුරැකීම නිසා මා වෙනුවෙන් තීරණයක් ගත්තානම් ඊට මුහුණදීමට සුදානම් කියා මම ප්‍රකාශ කරනවා.

ඇසුරුම් කළ කසල දුම්රියෙන් අරුවක්කාඩුවට

ඇසුරුම් කළ කසල දුම්රියෙන් රැගෙන යෑම අද (25) පළමු වරට ආරම්භ කෙරුණි.

වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන ලද කසල පුත්තලම අරුවක්කාඩු කසල අංගනය වෙත 756 දුම්රිය එන්ජිමෙන් දැවැන්ත බහාලුම් 20කින්  රැගෙනවිත් තිබේ.

දුම්රිය මගින් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයේ ඇති තරාදිවලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාළ කසල පුරවා වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යන බව සදහන් වේ.

මෙම කසල තොගය කසල අංගනය වෙත ගොඩ බෑම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගත වනු ඇතැයි ද බලධාරීහු පවසති.

Page 41 of 464