Language Switcher

V2025

තැපැල් වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවයට පත්ව තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර  සඳහන් කළේ, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු තැපැල් කාර්යාලවල මේ වන විට විශාල ලෙස ලිපි එකතු වී ඇති බවයි.

තැපැල් වෘත්තිය සමිති පෙරේදා(17) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කල මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.

ඒ , අතිකාල දීමනා සහ ඇගිලි සලකුණු යන්ත්‍රවල පැමිණීම සහ පිටවීම සටහන් කිරිම ඇතුළු කරුණු 19 ක් මුල් කරගනිමින් ය.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පෙරේදා පස්වරු 4 සිට සේවයෙන් ඉවත් වී වැඩවර්ජනයක් ආරම්භ කළේ ය.

පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා සියලු තැපැල් කාර්යාල වල වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට වෘත්තිය සමිති තීරණය කලේ ඉන් අනතුරුවයි.

එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවා සංගමය, ශ්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ ඇතුළු වෘත්තිය සමිති 23 ක් වැඩවර්ජනයට එක්ව සිටියි.

ඒ අනුව දිවයින පුරා තැපැල් කාර්යාල 653ක සහ පාලන කාර්යාල 70ක සේවකයින් 18000ක් වැඩ වර්ජනයට එක්ව සිටියි.

තැපැත් වෘත්තිය සමිති මෙම වැඩවර්ජනයේ නිරතව සිටින්නේ සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමකදියි.

වෘත්තිය සමති ක්‍රියාමාර්ගය අතහැර සාකච්ඡා සදහා පැමිණෙන්නැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියි.

මේ අතර තැපැල් සේවක වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් ස්ථානවල ලිපි ලක්ෂ 15 කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇතැයි වෘත්තීය සමිති සඳහන් කළේ ය.