V2025

පුවත්

20 අහෝසි කරන කෙටුම්පත කතානායකට !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී අදාල කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාරදුන්නේය. ඉන් අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත භාර දෙනු ලැබීය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විත බව වාර්තා වෙයි.

හිතුන හිතුන වෙලාවට මරාදමන්න ජනතාව බ්‍රොයිලර් කුකුලු පැටව් නෙමෙයි  ! - කැටිපෙ

ආණ්ඩුවට සිතෙන සිතෙන වෙලාවට මරා දැමීම සඳහා ජනතාව යනු බ්‍රොයිලර් කුකුලු පැටවුන් හෝ පාලකයන්ගේ දෙපා මුළ සිටින කුරුළු පැටව් නොවන බව සමාජ දේශපාලන ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝටාගෝගම අරගල භූමියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

යන යකා කොරහත් බිඳගෙන යන බව පැරණි පිරුළකින් කියැවෙන බවත් කොරහ බිඳින්නට පටන් ගැනීමෙන් පෙනෙන්නේ යකා යන්නට හදන බව විය හැකි යැයි ද ඔහු පැවසීය.

ගෝල්ෆේස් අරගලය ගතානුගතික නායකයන් නොමැති සාමුහික අරගලයක් බවත් රටපුරා නැගෙන එවන් අරගල මර්දනයෙන් නැවැත්විය නොහැකි බව අවධාරණය කළ විමල් කැටිපෙආරච්චි, ඝාතන සැලසුම් වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සමාජ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක් සහභාගී වී සිටියහ.

නැව ගිලෙද්දී මීයන් පනියි : තවත් මන්ත්‍රීවරුන් 3ක් ස්වාධීනයි !

20 වන ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද (20) සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් තිදෙනා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස ප්‍රකාශ කර ඇත.

ෆයිසාල් කාසිම් මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේ දී මේ බව අද ප්‍රකාශ කළේය.

රෝස නොපිපෙන රඹුක්කන..!

අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික මාර්ගයක, එයටම ආවේනික විදියකට ගමන් කරන්න පුළුවන්. අපේ සෞරග්‍රහ සීමාවෙන් ඔබ්බට ගියාට පස්සේ වොයේජර් යානය ගමන් කරනවා වගේ හරියට.

එක දුරක් යනකම් පාලනය කරන්න පුළුවන් උනාට පාලනයෙන් මිදුනම එයාගෙම කක්ෂයක එයාටම ඕනි විදියට එයා ස්වාධීන විදියට ගමන් කරයි. ඉතින් නිර්මානයක තියන ලස්සනත් ඒ ස්වාධින ගමන් මාර්ගයක යන එකම තමයි. එයාගෙම ගමන් මාර්ගය ඇතුලේ එයාගෙම දේවල් සොයාගන්න එක අලුත් අත්දැකීමක් වේවි. හරියට ගුරු ශිෂ්‍ය සම්බන්දයක් වගේමයි.

මිරිහානෙන් ඇරඹුන ජනතා නැගිටීම ගෝල්ෆේස් එක දක්වා ගිහිල්ල එතැනදී ඒක අලුත් හැඩයක් ගත්ත. විචිත්‍රවත් උණා. බහුත්ව ස්වභාවයක් ගත්ත. රෝස මල් දුන්න. ඒවා ගත්ත.

පසුව ඒකෙ තිබ්බ විචිත්‍රවත් බව නිසාම ඒක ලොකු ජනතා ආකර්ශනයක් වෙත ගමන් කළා. අදටත් මිනිස්සු එනවා. විරෝධය දක්වනවා. හෝන් ගහනවා. පෝස්ටර් අල්ලගෙන ඉන්නවා. සෙල්ෆි ගන්නවා. ෆේස්බුක් දානවා. ඔව්..ලස්සනයි. මමත් දවස් හතරක් ගියා.

පස්සේ ඒක තොවිල් පවිල් කරන තැනකටත් ගමන් කරලා, රණවිරුවොත් ගෙනල්ල, දාන ශීල භාවනා තියල, ලේසර් බිම් ගහල, හොලෝ ලයිට් ගහල තවත් පොස්ට් මොඩන් තැනකට ගියා. ඒ ගැන මම පොස්ටුවක් දැම්ම. දේශපාලන විද්‍යාව ගැන උනන්දු කෙනෙකුට ලොකු රිසච් ඒරියා එකක් එතැන හැදිලා තියනවා.

රාජපක්ෂ විරෝධය කියන්නේ සහ රාජපක්ෂ කෙනෙක් ඉඳගත්ත අසීමිත බලයක් තියන විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම කියන්නේ හෝන් ගහල, පරරේ ගහල, ලේසර් බීම් ගහල, හොලෝ ලයිට් අහසට ගහල ෆුල් සොමියේ කරන්න පුළුවන් වැඩක් ගානට මේක පොදු ජනයාට ප්‍රක්ෂේපනය උනා. ප්‍රක්ෂේපනය කළා.

ඒ එක්කම තමයි ගෝඨාගෝ ගම්මාන දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල ආවේ. ඉහත විරෝධය ප්‍රාදේශීයකරණය වුනේ. ඉතින් ගාල්ලේ, කෑගල්ලේ, නුවර ගෝඨාගෝගම් වැටුණා. මේ වෙනකොටත් තිබ්බ උතුරා යන ජනතා විරෝධය ගෝල්ෆේස්කරණය වීමක් දකින්න පුළුවන් උණා. ඊට සමාන්තරව මිල ඉහල යාම සහ තෙල් ගෑස් නැතිවීම එක්ක මිනිස්සු කුපිත වෙලා හිටියේ.

ගෝල්ෆේස් එකේ රෝස මල් දුන්නම පොලිසියේ අය ඒවා ගත්ත. ඒක මේ අරගලයේ වෙච්ච වැදගත් දෙයක්. අරගලය පැත්තෙන් ඒ දිනා ගැනීම වැදගත්. ඒ ගැන පෝස්ටුවක් පහළ ඇති.

හැබැයි මම පැහැදිලිව ලිව්වා ගෝටාගෝගම් ප්‍රාදේශීය වශයෙන් එනකොට ඒවා ගෝල්ෆේස් අවකාශයෙන් ඛණ්ඩනය වෙනවා නම් හොඳයි කියල. රඹුක්කන කියන්නේ අතිශයින් දේශපාලනීකරණය වෙච්ච කලාපයක්. ඔය කුරුණෑගල වගේමයි. ඒවායේ දේශපාලන අයිතිකාරයෝ ඉන්නවා. ඒවා ඒ අයගේ රාජධානි. ගොඩක් දේවල් පාලනය කරන්නේ ඒ අය. ඒක දැන් දශක ගණනාවක කතාවක්.

මම කියන්නේ අරගලකරුවන් බය වෙන්න ඕනි කියල නෙවෙයි. භූමිය තේරුම් ගන්න කියල. ගෝල්ෆේස් අදහස තියාගෙන ඒකෙන් ඛණ්ඩනය වෙන්න කියල. ගෝල්ෆේස් එකෙන් පරිවාරයට යනකොට භූමිය ගැන ඉවක් තියෙන්න ඕනි. මොකද දඩයම් බල්ලන්ට, වෘකයින්ට ඒ ඉව හොඳට තියනවා.

ටකරං තහඩුවට කක්කුස්සි වලට දේශපාලනය කරපු සහ කරන රටක රඹුක්කන සිද්ද වෙච්ච සිදුවීම ඒ පළාත දන්නා කෙනෙකුට අලුත් දෙයක් නෙවෙයි. සියළු අරගල කෑගල්ල ඇතුලේ පොඩි පට්ටම් උන අතීතය ඔයාලට මතක ඇති.

දැන් මැරුණ උන් වෙනුවෙන් හොලෝ බිම් ගහන්නේ කවුද?

තරුණ කට්ටියට විතරක් පාරට බහින්න කිව්වට එහෙම හරියන්නේ නැහැ. හැමෝම බහිනවා. ඒ බහින්නේ ගෝල්ෆේස් ආකෘතියට නෙවෙයි. හැබැයි එයාල හිතනවා ඇති මෙහෙ ඉන්නෙත් රෝස මල් ගන්න පොලිස් කාරයෝ කියල.

ෆැන්ටසි එකේ එහෙම තිබ්බට ඇත්ත භූමියේ එහෙම නැහැ. ඇත්ත භුමියේ රෝස මල් පැලවුණේ නැහැ. අවම වශයෙන් රඹුක්කන එහෙම උනේ නැහැ.

උතුරේ මේ විදියට අහසට හොලෝ බිම් ගහන්න 'රණවිරුවෝ' දෙයිද? මඩකලපුවේ දෙයිද? කල්මුණේ දෙයිද?

මම කියන්නේ නැහැ ගෝල්ෆේස් මධ්‍යම පන්තිය සහ රඹුක්කන දුප්පත් පන්තිය කියල. හැබැයි මේ දෙක නම් පැහැදිළිව දෙකක්. තවත් තැන් මිටත් වඩා වෙනස් ඇති.

'යුධ අපරාධ' කියන වචනේ තිබ්බ කියල ඊයේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ක්‍රියාකාරී කමිටුව ඇතුලේ ගොඩක් වාද විවාද කරලා ඒ වචනේ බහුතර අය විසින් අයින් කළා. මතභේදකාරී දේ නොකිය ඉමු කිව්වා. එහෙම කලේ ගෝල්ෆේස් කොල්ලෝ උපක්‍රම ශිලියි ඒ නිසා අපිත් උපක්‍රම ශීලි වෙමු කියල. ඒ කියන්නේ ගෝල්ෆේස් එකට ඕනි විදියට අපි සියල්ල ඉවසන සුළු - සියල්ල ඇතුලත් කරන සුළු - පෝස්ට්මොඩන් වෙමු කියල (all-inclusive postmodernity).

හැබැයි පෙළපාලිය ඉවර වෙලා බලන කොට රඹුක්කන එවැනිම අපරාධයක් වෙලා. දැන් හැමෝම මුල්ලිවයික්කාල් ෆොටෝ නැවත දානවා.

ඉහත මීටින් එකේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කිව අපි අපේ දැනුම සහ අවබෝධය ඇතුලේ අනාගතවාදී වෙමු කියල. මතභේදකාරී වෙමු කියල. එහෙම මතභේදකාරී දෙයක් අවශෝෂණය කරන්න ගන්න ගෝල්ෆේස් එකට ශක්තිය ඇති කියලත් ඔහු කිව්වා. නමුත් ඒක ගෝල්ෆේස් සියල්ල දියවෙන සුළු සීතල වතුරේ දියවෙලා ගියා.

හැබැයි ඇත්ත භූමිය වෙනදා වගේමයි. රෝස මල් පැල වුණේ නැහැ.

ගෝල්ෆේස් වෝක් එකේ ඉඳල ආපහු එන ගමන් ෆෝන් එකෙන් ඉහත ප්‍රහසනයේ වාක්‍යය මම ටයිප් කළේ ඒ ඉච්ඡාභංගත්වය ඇතුලේ.

Image@ආපහු එනකොට මේ තරුණයා දැක්ක.

rambukana 1000px

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

සර් ලාස්ට් චාන්ස් මෙන්න : අනුර ප්‍රියදර්ශන යාපා පෙන්වා දෙයි !

පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා ඉල්ලා සිටියි.

ඒ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර ආණ්ඩුව වහාම ඉවත්වී අන්තර්වාර පාලනයකට ඉඩකඩ ලබාදිය යුතු බව ඔහු එහිදී පැවසීය.

මේ රාජපක්ෂවරුන්ගේ රටක් නොවන බවත් පවුල් පාලනයකට රට බාරදී බුදිය නොගන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය

ආණ්ඩු පක්ෂය පැත්තට වඩා විපක්ෂය පැත්තේ රට කළ හැකි හොඳ අය සිටින බවත් මේ ආණ්ඩුව නිලධාරීන්ට වැරදි ආකාරයට වැඩ කිරීමටදී බලා සිටි නිසා බවටත් ඔහු චෝදනා කළේය.

හැංගිලා සිටිමින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් ප්‍රශ්නය දුරදිග යෑම නිසා අද මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගල් ගහන තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් ඇමති රඹුක්කන ඝාතන පරීක්ෂණය කරලා ඉවරද ?

ඊයේ (19) රඹුක්කන සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර නැතත් පොලිසිය භාර අමාත්‍යවරයා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඒකපාර්ශවීය ලෙස අදහස් දක්වා ඇති බවත් ඒ අනුව සිදුවන පරීක්ෂණවල අපක්ෂපාතීබව ගැන ගැටලුවක් ඇති බවත් දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් මේ වන සඳහන් කරන්නේ අද (20) පොලිසිය භාර නව කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග දැක්වූ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ , ගරු කථානායකතුමනි, මම ඊයේ තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වැඩ ආරම්භකළේ. මේ තනතුරේ ඇති වගකීමත් එක්ක මම ඊයේ දවස පුරාම පාර්ලිමේන්තුවේ ඉතා කාර්ය බහුල වුණා.

ඊයේ රඹුක්කනදී මේ අවාසානාවන්ත සිද්ධිය ඇති වු වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාත්, පොලිස්පතිතුමාත් ඒ ගැන රටට පැහැදිලි කිරීමක් කළා.

රඹුක්කන සිද්ධිය ඇතිවු අවස්ථාවේදි එය පාලනය කර ගැනීම සඳහා පොලීසිය හැකි ක්‍රියාමාර්ග ගත්තා. පැය 10කට ආසන්න කාලයක් මේ අය බස් රථ නතර කරමින්, දුම්රිය නතර කරමින්, කළහකාරී ලෙස හැසිරුනා. පාසැල් ලමයින්, රැකියාවලට ගිය අය පැය ගණන් රස්තියාදු වුණා.

මේ කළහකාරීන් ත්‍රීවිල් රථයයකට ගිනි තියා තිබුණා. ඉන්ධන ලීටර් 33000 ක් සහිත බවුසරයක් ගිනි තබන්නට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට පැවරී ඇති බලතල අනුව එය පාලනය කළා. මේ ගිනි තැබීම වුණා නම් අද රඹුක්කනක් නෑ. පොලීසිය මේ අවස්ථාවේදී කටයුතු කලේ පොලිස් ආඥාපනත හා පොලිස් නියෝග අනුවයි.

පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය අනුවත් දණ්ඩ නීති සංග්‍රහය අනුවත් පොලීසියට මේ සඳහා අවශ්‍ය බලය තිබෙනවා.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ පවතින තත්ත්වය අනුව එහි සිටින ඉහළම පොලිස් නිලධාරියාට ඒ සඳහා තීන්දුවක් ගත හැකියි . පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් ඉහළ කෙනෙකුට තමයි ඒ තින්දුව ගන්න පුළුවන් .

පරීක්ෂණ වාර්තාව මේකද ?

අමාත්‍යවරයා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය.

"මේ ඝාතනය සම්බන්ධයෙන් මේ වෙනකොට ලංකා නීතිඥ සංගමය , මානව හිමිකම් කොමිසම සාධාරණ විමර්ශනයක් ඉල්ලා තිබෙනවා. පොලිස් විමර්ශනයක් සිදුකරන බවත් සඳහන් කරනවා. ඒ වගේම මහනුවර මානව හිමිකම් කොමිසමේ ශාඛාවේ නිලධාරීන් විමර්ශන අරඹා තිබෙනවා.

ඒ වගේම ජනාධිපති පවා කණගාටුව ප්‍රකාශ කර තියෙනවා. ඒ වගේම මේ වෙඩි තැබීම ගැන නියෝගය දුන්නේ දේශපාලනඥයකු බවටත් මාධ්‍ය වාර්තා පළවෙනවා.

ඒ පසුබිමේ පොලිස් ඇමති උද්ඝෝෂකයින් වැරදි කරුවන් කරලා ප්‍රකාශ නිකුත්කර තියෙනවා. දැන් කොහොමද සාධාරණ පරීක්ෂණයක් , විමර්ශනයක් ගැන බලාපොරොත්තු තියන්නේ ? මිනිස්සුන් ඉන්ධන නැති නිසා පාරට ආවේ. අසාධාරණ මිල ඉහළ දැමීමට තමයි විරෝධය පළකරේ. එහෙම පිරිසක් ඉන්ධන බවුසර් ගිනි තියයිද ? මේ ත්‍රස්තවාදීන් නෙවෙයි , මේ සාමාන්‍ය ජනතාව. ආණ්ඩුවට මතක නෑ ඔවුන්ට ජන්දය දුන්නේ මේ මිනිසුන් කියලා ".

රඹුක්කන ඝාතනය ගැනත් : ජනාධිපති කණගාටුයි කියයි !

රඹුක්කන ඊයේ (19) සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කණගාටුව පළකර ඇත.

ඒ සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ය.

සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකීය ජනතාවට ඇති අයිතිය තහවුරු කර ඇති බව එහිදී සඳහන් කර ඇත .

"මා ඉමහත් කණගාටුවකට පත්කළ රඹුක්කන සිදු වූ සිද්ධිය පිළිබදව විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත.

විරෝධතා දැක්වීමේ දී ප්‍රචණ්ඩත්වයට නොයන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි." යනුවෙන් එහි සඳහන් කර ඇති අතර අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

gota rambukkana

සජිත් ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශකද ?

"පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව කතානායක පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් බවත් ඔහු පැවසීය.

රඹුක්කන ඇතිවූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

"විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් කීප දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ මණ්ඩලයක් අපට අවශ්‍යයි. එසේ නැතිව නොයෙක් පොලිසි වලට පරීක්ෂණ කරන්න කියා වැඩක් නැහැ. මේ ආණ්ඩුවට තිබෙන්නේ වැලිකඩ සිරකරුවන් ඝාතනය කළ ඉතිහාසයක්.එදා හමුදා බස් රථයටත් ගිනි තැබුවේ ආණ්ඩුවේ නියෝජිතයන්. වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ වගකීම අප බාරගන්නවා.

සජිත්ගේ ප්‍රකාශය කතානායක ප්‍රතිකේෂ්ප කරයි !

කෙසේ වුවත් පක්ෂ නායකයන් සියල්ල පැවසුවහොත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සුදානම් බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය වැරදි බව කතානායක පවසා ඇත.

එහිදී තමන් පැවසුවේ මන්ත්‍රීවරුන් 113ක් සුදානම් කරගෙන පැමිණියහොත් ආණ්ඩු බලය ලබාදීමට ජනාධිපතිවරයා සුදානම් බව පැවසූ බවයි.

නමුත් එහිදී එයට විරෝධය දැක්වූ විපක්ෂනායකවරයා කියා සිටියේ පැහැදිලිව කතානායකවරයා කියා සිටියේ පක්ෂ නායකයන් සියල්ල පැවසුවහොත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සුදානම් බවයි.

එය එසේ නොවන බව පවසන්නේනම් මහින්ද යාපා අබේවර්ධන කතානායක නොව ටොම් පචයෙක් බවට සජිත් ප්‍රේමදාස කියා සිටියේ ය.

විපක්ෂ නායක දුර්වලයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විපක්ෂ නනායකවරයා වත්මන් දේශපාලන අර්බුදය ජනතා අරගලය ට ජයග්‍රහණයක් සැලසෙන ආකාරයට කලමනාකරණය කරගන්නට අසමත් බවයි.

මේ මොහොතේ විපක්ෂයේ කාර්‍ය භාරය වන්නේ ජනාධිපති ගැන කතානායක කියන ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී සභාගත කිරීම නොවන බවත් , ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය හමුවේ සාමකාමී අරගලයට පිවිස ඇති ජනතාව වෙත ජයග්‍රහණය හිමිකරදෙන ආකාරයට කටයුතු කිරීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

එසේ නොවුණුහොත් ජනතා අරගලය අපතේ යනවා පමණක් නොව දැඩි රාජ්‍ය මර්දනයක් වුවත් දියත්වීමට හැකි බවත් දේශපාලන විචාරකයන් පවසයි.

සජිත්‍ට තියෙන්නේ රනිල් භීතිකාවක් !

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේද පැවසීය.

"සජිත් විපක්ෂ නනායකවරයා ට තියෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් භීතිකාවක්. ඔහු එයින් ගැලවෙන්න ඕන. විපක්ෂ නායක කියන්නේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි. ඔහු කිංස්ලි නොවිය යුතුයි."

"දැන් බලන්න විපක්ෂ නායක සජිත් කිංස්ලිගේ ජොබ් එක කරන්න ගිහිල්ලා නාගත්තා. විහිලුවක් වුනා. පස්සේ පොඩි ළමයි වගේ වාද කරනවා. ඒ වගේ නෙවෙයි , රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක විපක්ෂයේ සිටින ප්‍රමාණය අතින් කුඩා වුණත් ගුණාත්මක බවින් ඉහළ නායකයන්. විශේෂයෙන් රනිල්."

"රනිල් අද (20) වෙනකොට රඹුක්කන මියගිය තරුණයාගේ ඥාතීන්ට කතා කරලා . ඒ වගේම අර්බුදය ඊළඟට පැතිර යාමේ හැකියාව , ඒ කොහොමද යන්න පුරෝකථනය කළා. ඒ වගේම ඊයේ (19) රටේ මුල්‍ය පාලනය සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා."

 "එහිදී ඔහු අවධාරණය කළේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක තත්ත්වයට පත්කළ බව. දැන් බලන්න වෙනස. සජිත් පාර්ලිමේන්තුවේදී ඉංග්‍රීසි පන්ති තියනකොට රනිල් ඊළඟ අපේක්ෂාව වෙනුවෙන් රට සූදානම් කරනවා."

 

රාජ්‍ය අංශයෙන් ආණ්ඩුවට එරෙහිව කළු විරෝධතාවක් !

රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකතුව අද (,20) ආණ්ඩුවට එරෙහි කළු විරෝධතාවක් ප්‍රකාශ කර ඇත.

එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කර සිටියේ ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.

image 6407bb1563

ආර්ථිකයට හොඳටම කරලා : IMF නිවේදනය මෙන්න !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට ප්‍රථම රාජ්‍ය ණය ස්ථායීතාව ඇති කිරීමට පියවර ගත යුතු බව එම අරමුදල නිවේදනය කොට ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමග වොෂින්ටන්වලදී පැවැති සාකච්ජාවලින් අනතුරුව එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

මේ අතර රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂිහිරෝ නොසාකි පවසා ඇත්තේ, අඟහරුවාදා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමග ණය දීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, එසේ වුවත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනතාව, විශේෂයෙන් දුප්පත් ජනතාව සහ අවදානමට ලක්විය හැකි අය විඳින දුෂ්කරතා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා කනස්සල්ලට පත්ව සිටින බවයි.

ක්ෂණික මූල්‍ය පහසුකම් ලබාදීම සලකා බැලීම සඳහා ණය ආපසු ගෙවීමේ ඇති හැකියාව පරීක්ෂාකර බැලීම අවශ්‍ය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා අවධාරණය කර තිබේ.

රඹුක්කන දිවිපිදූ තරුණයාට : ගෝල්ෆේස් ආචාරය !

රඹුක්කන නරගයේ අද (19) පැවැති විරෝධතාවක් අතර තුර අමානුෂික පොලිස් වෙඩි ප්‍රහාරයක් නිසා මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර, ගෝල්ෆේස් නිර්පාක්ෂික විරොධතාකරුවන් ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය ආචාරය පුදකර ඇත.

එහිදී ඔවුන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔහු සිහිපත් කිරීමටත් කටයුතු කරනු ලැබිණ.

මේ වන විට නිරායුද උද්ඝෝෂණකරුවන් ඉලක්ක කල පොලිස් ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේද අවධානය යොමුව ඇත.

රඹුක්කන පොලිස් ඝාතනය : මෛත්‍රී හෙළාදකියි !

රඹුක්කන අද (19) සිදුවූ පොලිස් ඝාතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළාදැක ඇත.

ඒ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ
2015 වසරේ සිට තමා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක් පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් කිසිදිනෙක උත්තර නොදුන් බවය.

හිටපු ජනාධිපති තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

my rambukkana

රඹුක්කන ඝාතනය : පොලිසිය සුපුරුදු වීනාව වයයි : නීතිඥ සංගමයත් මැදිහත් වෙයි !

රඹුක්කන දී අද (19) පොලීසිය විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව අදහස් පළ කර ඇති අතර ඔහු සඳහන් කරන්නේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා බලය පාවිච්චි කරන ලද බවත්ය.

එහිදී කරන ලද පොලිස් වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත්ව තවත් තුවාල ලැබූ 12 දෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මේ වන විට රඹුක්කන ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා ඇති අතර, එයින් නොනැවතී වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතියද පනවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවය.

නීතිඥ සංගමය මැදිහත් වෙයි !

මේ අතර විරෝධතාකරුවන්ට පොලීසිය වෙඩි තැබූ බව කියන රඹුක්කන ප්‍රදේශයේ අද සවස ඇති වූ සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කම්පනයට සහ කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සදහන් කරයි.

විරෝධතාකරුවන්ගේ සැබෑ දුක්ගැනවිලි හමුවේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඉතා සංයමයෙන් ක්‍රියා කරන බවට රජය සහතික විය යුතු බවත්, මේ සම්බන්ධයෙන්රී ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඔහු සදහන් කොට ඇත.

ෆේස්බුක් සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වැඩිදුර විස්තර ඇතුළත් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ද විශේෂ වාර්තාවක් කැඳවා ඇත.

රඹුක්කන පොලිසිය දඩයම අරඹයි !

රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය වසා සිටින විරෝධතාකරුවන් විසුරුවිම සඳහා රඹුක්කන පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර ‌එල්ල කළ බව වාර්තා වෙයි.

ඒ අවස්ථාවේ පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර උද්ඝෝෂකයන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට සමාජ මාධ්‍ය හරහා වාර්තා වන්නේ පොලිසිය උද්ඝෝෂණකරුවන් විසිරවීම සඳහා ජීව උණ්ඩ ද භාවිතා කර ඇති බවයි.

එහිදී උද්ඝෝෂකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

තවද පොලිස් ප්‍රහාරය හමුවේ තුවාල ලැබූ උද්ඝෝෂණකරුවන් කිහිපදෙනෙකු රෝහල් ගතකර ඇති බවත් වාර්තා වෙයි.

FB IMG 1650372465248

FB IMG 1650374301663

උගන්ඩාවට පැටවූයේ මොනවද ? අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාවට ප‍්‍රවාහනය කරන ලද මුද්‍රිත ද්‍රව්‍ය සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඒ 2021 සැප්තැම්බර් 23 සිදුකළ ප්‍රවාහනයක් සම්බන්ධයෙනි.

නීතිඥවරුන් වන එරන්ද වැලිඅංගේ, තාරක නානායක්කර, ඉන්දික පේ‍්‍රමතිලක විසින් ගොනු කර ඇති අතර අදාළ පැමිණිල්ල පහත දැක්වෙයි.

වර්ෂ 2022 අපේ‍්‍රල් මස 19 වන දින දීය.

අධ්‍යක්‍ෂ ජනරාල්
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

වර්ෂ 2021 සැප්තැම්බර් මස 23 වන දින ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ප‍්‍රවාහනය කරන ලද භාණ්ඩ සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටීම.

වර්තමාන ආණ්ඩුව විසින් සිදුකරන ලද සීනි බදු වංචාව ඇතුළු විවිධ දූෂණයන් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් බංකොලොත්භාවයට පත්වෙමින් සිටී.

රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්තමානයේ ලංකාවට ආනයනය කිරීමට නොහැකි වී ඇත්තේ රට තුළ ඩොලර් සංචිත ප‍්‍රමාණවත්ව නොමැති වීම හේතුවෙන් බව සියළුදෙනා දන්නා කරුණකි.

මෙරට තිබු ඩොලර් සංචිත ක්‍ෂය වීමට එක් හේතුවක් වී ඇත්තේ රට තුළට ඩොලර් නෝට්ටු ලෙස ලැබී තිබූ විශාල =ඩොලර් ප‍්‍රමාණයක් ලංකාවේ දේශපාලන බලවතුන් විසින් හෝ ඔවුන්ගේ සමීපතමයන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට කටයුතු කිරීම බව සමාජය තුළ විශාල කතිකාවතක් ගොඩනැගී ඇත.

මේ සම්බන්ධයෙන් අප විසින් කළ කරුණු සොයා බැලීමේදී පහත සඳහන් කරුණු අප හට අනාවරණය වී ඇත.

වර්ෂ 2021.09.23 වන දින ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානා තුනක් ලංකාවේ සිට උගන්ඩාවේ එන්ටෙබේ ගුවන් තොටුපොලට භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කර ඇති බව.
ශ‍්‍රී ලංකාව සහ උගන්ඩාව අතර එකී දිනයට පෙර හෝ පසුව ශ‍්‍රී ලංකා ගුවන් සමාගම විසින් ඍජු ගුවන් ගමන් සේවා පවත්වා නොමැති බව.

ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ‍්‍රී ලංකා ගුවන් සේවය විසින් ප‍්‍රවාහනය කර ඇති බහාළුම්වල ඇති ද්‍රව්‍යීමුද්‍රිත ද්‍රව්‍යයන් (Printing Materials) ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම.
ආදී වශයෙන් වේ.

ඉහත සඳහන් කළ ආකාරයට ගුවනින් ප‍්‍රවාහනය කරන ලද බහාළුම් ඇමරිකානු ඩොලර් විය හැකි බවට අප හට බලවත් සැකයක් මතු වී ඇත. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මේ දක්වා අදාළ මුද්‍රිත ද්‍රව්‍යයන් මොනවාද යන්න හෙළිකිරීමක්ද සිදුකර නොමැත.

එපමණක් නොව එකී බහාළුම් ශ‍්‍රී ලංකාව විසින් උගන්ඩා රාජ්‍ය සඳහා පත්කර ඇති මහ කොමසාරිස්වරයා විසින් බාරගෙන ඇති බවටද සමාජ මාධ්‍ය විසින් කරුණු හෙළිදරව් කර ඇති අතර එකී පුද්ගලයා විවිධ අනීතික ගනුදෙනු සඳහා කුප‍්‍රකට පුද්ගලයකු බවටද සමාජ මාධ්‍ය විසින් කරුණු හෙළිදරව් වෙමින් පවතී.

ඉහත සඳහන් කරුණු අනුව ඉහත කී බහාළුම් ශ‍්‍රී ලංකාවේ උගන්ඩා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන වෙළුපිල්ලේ කනන්තන් යන අය විසින් බාරගෙන ඇත්තේද සහ එසේ නම් එකී බහාළුම්වල සත්‍ය වශයෙන්ම අඩංගු වූයේ මොනවාද සහ එලෙස යවන ලද බහාළුම්වල හිමිකරු කවරේද යන්න සොයා දැනගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.

ඉහත සඳහන් බහාළුම් මගින් ලංකාව තුළ තිබූ ඩොලර් නෝට්ටු උගන්ඩාව වෙත යවා ඇත්නම් එය මහා පරිමාණ දූෂණයක් වන බැවින් ශ‍්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන ඔබතුමන් හට ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා කරුණු හෙළිදරව් කර ගැනීම සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇත.

කරුණු එසේ හෙයින් ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් මගින් නිසි කරුණු හෙළිදරව් කර ගන්නා ලෙසත්, දූෂණයක් සිදුවී ඇත්නම් අදාළ පාර්ශවයන්ට දක්‍ෂුවම් කර ශ‍්‍රී ලාංකිකයන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

නීතිඥ එරන්ද වැලිඅංගේ
නීතිඥ තාරක නානායක්කර
නීතිඥ ඉන්දික පේ‍්‍රමතිලක

ශාන්තට නොනවතින හූවක් : රාජපක්ෂවරුන් 03ක්

අගමැති මහින්ද රාජපක්ෂ හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් අද ( 19) පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුපෙළ අසුන්වල සිටිනු දැකගත හැකිවිය.

චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ එම හිටපු ඇමතිවරුන් තිදෙනාය.

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ අවසාන පේළියේ ආසනයකය.

ශාන්තට නොනවතින හූවක් !

මේ අතර පක්ෂයේ මතයට පිටුපාමින් ආණ්ඩුවේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර අද පාර්ලිමේන්තුව ඇමතීමට යාමේදී විපක්ෂය වෙතින් දැඩි බාධා එල්ල කෙරිණ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන එහිදී සභාව සන්සුන් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ අතර අවසානයේදී සභාව මිනිත්තු 10කට කල්තැබීමට ඔහු කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහය දීම ප්‍රතිකේෂ්ප කර පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීන්දු කල නමුත් ශාන්ත බණ්ඩාර රහසින් ගොස් රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීම හේතුවෙන් ඔහුගේ නිවස අසලට රැස්වූ පාක්ෂිකයින් ද පසුගියදා ඔහුට හූ කියා විරෝධය පළකර තිබිණ.

 

ඉන්ධන මිල ඉහළට : ජනතාව නොසන්සුන් !

 ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් ධීවර සහ ප්‍රවාහන සේවයේ නිරත කොටස් අතර දැඩි අසහනකාරීත්වයක් මතුව තිබේ.

ඒ අනුව රඹුක්කන , මාතර ඇතුළු රටේ ප්‍රදේශ කිහිපයකම ජනතාව අසංවිධානාත්මක  විරෝධතා උද්ඝෝෂණ දියත්කර ඇත. 

 ප්‍රධාන මාර්ග ගණනාවක් වාහන මගින් අවහිර කරමින් ජනතාව මෙසේ විරෝධතාවේ යෙදී සිටින බවත් වාර්තා වෙයි.

මීට පෙර පැනවූ  ඉන්ධන ලබා දීමේදී පනවා තිබූ  සීමා ඉවත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇති නමුත් ඒ සමග ඊයේ  (18) රාත‍්‍රියේ සිට සිපෙට්කෝ  බෙදුම්හල්වල මිල වැඩි කිරීමත් සමග මේ තත්ත්වය මතුව ඇත.

මේ අතර එකී ප්‍රදේශ වල පොලිස් බලඇණි සීරුවෙන් තබා ඇති බවත් වාර්තා වෙයි.

ඊයේ සිදුකළ ඉන්ධන  මිල වැඩි කිරීමේදී සුදු ඩීසල් ලීටරයක් රුපියල් 113කින් ඉහල දමා ඇති අතර එය මෙතෙක් එක් වරකදී සිදු කරන ලද වැඩිම මිල නැංවීමයි.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
oil p 1000px

#GOHOMEGOTA : අපේක්ෂාවේ සත්‍යක්‍රියාවට : ආණ්ඩුවෙන් බාල්දියක් !

නිර්දේශපාලනික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව, අප්‍රේල් 21දා සංවිධානය කෙරෙන, 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව'ට ආණ්ඩුව පාර්ශ්වයෙන්, දිගින් දිගටම බාධාකිරීම් සිදුවෙමින් තිබෙන බව, 'රැඩිකල් මැද සාමූහිකය' පවසයි.

මෙම සත්‍යක්‍රියාව, කොළඹ නිදහස් චතුරශ්‍රය අභියස පැවැත්වීමට සැලසුම්කර, ඒ පිළිබඳව අවසර ලබාගැනීමට කටයුතු කර තිබුණත්, අවසන් මොහොතේ එම ස්ථානය ලබාදිය නොහැකිබව, සංස්කෘතික අමාත්‍යංශ බලධාරීන් දැනුම් දී ඇති බවත් රැඩිකල් මැද සාමූහිකය පවසයි.

ඒ අනුව 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව', අප්‍රේල් 21දා පස්වරු 5.00 සිට 7.00 දක්වා, විහාර මහා දේවි උද්‍යානයේ, නෙලුම් පොකුණ ඉදිරිපිට පැවැත්වීමටයි, 'රැඩිකල් මැද සාමූහිකය', තීන්දු කර ඇත.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ, සාධාරණ ඉල්ලීම් අනුව, රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් , අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත්, මෙහි මුලික අරමුණ වන බව රැඩිකල් මැද සාමූහිකය සඳහන් කරයි.

රැඩිකල් සෙන්ටර් සාමූහිකය' මේ වෙනුවෙන් ඉදිරිපත් කරන සම්මුතියේ යෝජනා පෙළක් ද මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.

සම්මුතියේ යෝජනා පෙළ මෙන්න !

1- රාජපක්ෂවාදය අවසන් කිරීම.

2- 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.

3- රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් ඇති කිරීම.

4- සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.

5- ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම

6- ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

7- අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.

8- පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.

9- රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම

10- මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.

11-නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.

12-වංචා දූෂන සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.

13- දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

14- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

15- පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා පුරවැසි වේදිකාවක් පිහිටුවීම, එම යෝජනා පෙළයි.

සුදු වතින් සැරසී එන්න !

ඒ වෙනුවෙන් සුදු වතින් සැරසී, අප්‍රේල් 21දා පස්වරු 5.00 සිට 7.00 දක්වා, විහාර මහා දේවි උද්‍යානයේ, නෙලුම් පොකුණ ඉදිරිපිටට පැමිණෙන ලෙස රැඩිකල් සෙන්ටර් සාමුහිකය ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

'රැඩිකල් මැද සාමූහිකය' යනු, 'සැබෑ දේශප්‍රේමී' අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, මංගල සමරවීරයන් විසින් ආරම්භකළ දේශපාලන මෙහෙයුමකි.

Page 270 of 392